Wednesday, December 18, 2019

බැරිස්ටර් ප්‍රශ්නය හෙවත් සුවිස් කෝළම

අතිශය ගාම්භීර සිද්ධියක් අති සරල ආකාරයෙන් විග්‍රහ කිරීමට හිටපු අමාත්‍ය පාඨලී රණවක මහතා යොදා ගත් වචනය "සරල රිය අනතුරක්" යන්නයි. මේ හා සමාන, නැත්නම් ඊටත් වඩා සරල අයුරින් ජනමාධ්‍ය සහ ඒවාට අරක් ගත් වේදීන් විසින් විග්‍රහ කෙරෙන, එසේ විග්‍රහ කිරීම විසින් සාමාන්‍ය ජනයාගෙන් වියෝ කොට තබන ගැඹුරු සිද්ධියකි සුවිස් එම්බසි ප්‍රශ්නය.

උමංදාව, එසේ නැතිනම් උම්මග්ග ජාතකය කියවා ඇති අය හොඳින් දන්නා දෙයකි ළාබාල මහෞෂධ පණ්ඩිතයන් ගැන ආරංචියෙන් දැන ගන්නා වේදේහ රජු විසින් ඔහු පරික්‍ෂා කිරීම පිණිස ඔහු වෙතට එවන ප්‍රශ්න. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් වහාම සුවිස් එම්බසිය විසින් ඔහු වෙත අත හරින ලද එවැනිම තෙරවිල්ලකි, ගානියා බැරිස්ටර් ප්‍රශ්නය.

අපට පෙනෙන අයුරින් නම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඒ ප්‍රශ්නයෙන් යන්තම් ගොඩ ගියත් ඉතිරි වසර කිහිපය ඉතාම ඉවසිල්ලෙන් සහ බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවයි ඉගෙන ගත යුතු පාඩම. තේරවිල්ල විසඳූ බව සැබෑ මුත් ගානියා බැරිස්ටර ප්‍රශ්නය තවම එහෙමම ය. එය නුදුරු අනාගතයේ දරුණු පසු කම්පන නිසැකවම ඇති කරනු ඇත.

සුවිස් ආණ්ඩුව විසින් තකහනියේ නිකුත් කරන ලද තක්කඩි නිවේදනය ළඟ එන පෙරහැර ගැන දන්වන කස හඬයි.



Wednesday, November 27, 2019

මහමැතිවරණය සහ රටේ අනාගතය

අපේ ගෞරවයට සදා ලක් වන ගරු ඉකොනොමැට්ටා තුමා තමන්ගේ බොජුන්හලේ මීට දින කීපයකට පෙර මෙවැන්නක් අලවා දමා තිබුණා.
රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ඔහේ ඇදගෙන ගියත් අතදිගහැර වැඩ කළ හැකි දේශපාලන බලයක් ඒ ආණ්ඩුවට ආරම්භයේදීවත් තිබුණේ නැහැ.
අලුත් ආණ්ඩුවටත් මහ මැතිවරණය වන තුරු තරමක ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එහෙත්, මහ මැතිවරණයෙන් පසුව පරණ ආණ්ඩුවට මෙන් මේ ආණ්ඩුවට ආණ්ඩුව පවත්වා ගැනීම ගැන හිත හිතා ඉන්න අවශ්‍ය වෙන එකක් නැහැ.
මෙයින් පළමු වැනි වාක්‍යය පමණක් ගෙන අප ඔහුට ප්‍රතිචාරයක් දැමුවත් සදා ලෝක පූජිත ඉකොනොමැට්ටා තුමාට එය ඉතා ඕනෑ කමින් මගහැරී තිබුණා. යට දැක්වෙන්නේ අප ඔහුට දැක්වූ ප්‍රතිචාරය.
රනිල් වික්‍රමසිංහ කෛරාටික ඒකාධිපතියෙකි. රජයේ සියළුම තනතුරු තම බලයට නතු කර ගත් රනිල් වික්‍රමසිංහ වැනි බූවල්ලෙක් අප උපන් තේකට දැක නැත. ඔහු ආණ්ඩු පක්‍ෂ සේම විපක්‍ෂයත් තම පාලනය යටතට ගත්තෙකි. සුමන්තිරන් (විපක්‍ෂ නායක සම්පන්තන්) සහ අකුදි යනු වික්‍රමසිංහගේ බල පරාසයට පිටත සිටියවුන් නොවේ. ඔවුන් දඩයමේ ගියේ එකටයි. එපමණක් නොව ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මගින් නීතියට ඇතුල් කළ 19 වන සංශෝධනයෙන් පිහිටුවා ගත් ඊනියා සුවාධින කොමිසන් වලට පත් කර සිටින තමාගේ (හෝ තම නිත්‍යානුකූල භාරියාවගේ හෝ) හිතවතුන් හරහා රටේ පාලන බලයේ වැඩි පංගුවක් ඔහු තවමත් අත් පත් කරගෙන සිටින බව ඔබ අමතක කරන්නේ ඇයි?

ඒ අතින් රාජපක්‍ෂලා වෙස්සන්තරලා ය. පසුගිය ඔක්තෝබර විප්ලවයෙන් පසු විපක්‍ෂ නායක ධුරය ලබා ගත්තත් ව්‍යවස්ථා සභාවේ තම නියෝජනය වෙනුවෙන් සටන් කිරීමට ඔවුන් උනන්දු වූයේ නැත.

එවැනි වටාපිටාවක සිටිමින් "අතදිගහැර වැඩ කළ හැකි දේශපාලන බලයක් ඒ ආණ්ඩුවට ආරම්භයේදීවත් තිබුණේ නැහැ" යි පට්ටපල් කෙබර ඇද බෑමෙන් ඔබ ඔබේ පක්‍ෂයට ලබා දෙන්නට උත්සාහ කරන උත්තේජනය කුමක්දැයි පැහැදිළි නෑ.
ඉකොනොමට්ටා තුමාට මගහැරී ගිය අපගේ ප්‍රතිචාරය ළඟ එක්තරා සුනඛයෙක් පහරා තිබෙණු දුටුවත්, දැමූ ප්‍රතිචාරය දැන් අපට නොව ඉකොනොමැට්ටා තුමාටම අයත් බැවින් ඒ ගැන තවත් වද වීමට ගියේ නැත්තේ තමන්ගේ දේවාලය පවිත්‍රව තබා ගැනීමට කපුවාට නැති උවමනාවක් පිට අයට හෙවත් ආතුරයන්ට තිබීමේ යුතුකමක් නැති බැවින්. හැරත් සුනඛයාත් කපුවාගේම නම් ?

බල්ලාට බල්ලාගේ අඩවියේ නිදැල්ලේ ඉන්නට ඉඩ හැර ඉකොනොමැට්ටා තුමාගේ කතාවේ ඊළඟ කොටසට සැපත් වෙමු.



Wednesday, November 20, 2019

මා ගෝඨාභයට ඡන්දය දුන්නේ ඇයි ?

අභිනව ජනාධිපතිතුමා එම ධුරයේ ප්‍රතිඥා දී වැඩ බාර ගැනීමටත් ප්‍රථම ජනාධිපති උපදේශකයන් වැඩ බාරගෙන තිබෙනු දක්නට ලැබේ.

බුකිය පුරාත් පොදුවේ අන්තර්ජාලය පුරාමත් දක්නට ලැබෙන්නේ ඒ මහතාට දෙන ඔවදන් ය. රාජපක්‍ෂ මහතා මේවා නොබලන්නේ නම් යහපති. මක් නිසාද යත්, කළ යුතු සියල්ල ස්වයංජාත උපදේශකයන් විසින් මේ වන විටත් කියා දී ඇති බැවින් කොතැනින් පටන් ගන්නේද යන්න සිතා ගත නොහැකිව (ඇයි, තමන් කී දේ මුලින් නොකළැයි කියා කෙනෙක් උරණ විය හැකි බැවින්...) ලොවෙත් නැති රෝගයක් සෑදී අසරණ විය හැකි බැවිණි.


"මා ගෝඨාභයට ඡන්දය දුන්නේ ඇයි ?" නොහොත් කළ යුතු වැඩ හා නොකළ යුතු වැඩ


වැඩ බාර ගැනීම: කළ යුතු වැඩ හා නොකළ යුතු වැඩ වශයෙන් වර්ග දෙකකි
රටේ ජනාධිපති පත් වන්නේ මුලු රටේම මහජනතාවගේ බහුතර ඡන්දයෙනි. මෙතෙක් පත් වූ සියළුම ජනාධිපතිවරුන් වලංගු මුලු ඡන්ද සංඛ්‍යාවෙන් 50% ඉක්මවා ලබාගෙන ඇත. එහි අරුත, අනෙක් සියලුම අපේක්‍ෂකයන්ගේ මනාප එකතු කළත් තේරී පත් වූ ජනාධිපතිගේ මනාප සංඛ්‍යාව ඉක්මවිය නොහැකි බවයි. ඒ තත්වය යටතේ එක ඡන්දයක් යනු මහා දෙයක් නොවේ. ඔබත් මමත්, කොතරම් වචන වියදම් කළත්, කොතරම් සිත රවටා ගත්තත්, ජනාධිපති ඇසින් බැලූ කල එක ඡන්දයකි - ඊට වඩා දෙයක් නැත.

මෙහිදී පැහැදිළිව තේරුම් ගත යුතු වන්නේ තේරී පත් වූ ජනාධිපති කෙනෙකු පොදුවේ කටයුතු කිරීමේදී පුද්ගල විශේෂතා සැළකිල්ලට ගත නොහැකි බවයි. ඔබ ඡන්දය දුන්නේ කාටද යන්න ඡන්ද දිනයෙන් පසු වැදගත් නැත. ජනාධිපති රාජපක්‍ෂ මහතා විසින් තමන්ට විශේෂ පක්‍ෂපාතිත්වය ප්‍රකාශ කළ සිංහල ජනතාවට එදා පූජනීය මහ සෑ මළුවේදී විශේෂ ස්තූතියක් පුද කළ බව ඔබත් මාත් දනිමු. එතැනින් එහා යමක් බලාපොරොත්තු විය යුතු නැත. ඔහු දැන් සිංහල ජනතාවගේ පමණක් ජනාධිපති නොවේ. ඔහු සිංහල දෙමළ මුස්ලිම් සියළු ජනතාවගේ ජනාධිපති ය.

එසේම සැම විට සිහියට ගත යුතු කරුණ නම්, සිංහල ජනතාව 100% රාජපක්‍ෂ මහතාට පක්‍ෂව ඡන්දය නොදුන් බවත්, අසිංහල ජනතාව 100% ඔහුට විරුද්ධව ඡන්දය නොදුන් බවත්ය. එසේම ඔහුට පක්‍ෂ වූ සියල්ලන්ම දේශප්‍රේමින් ද, ඔහුට පක්‍ෂ නොවූ සියල්ලන් දේශද්‍රෝහීන් ද නොවේ. එසේම, ඒ මහතා විසින් මීළඟට පැවැත්වෙන ජනාධිපතිවරණයකදී උතුරු සහ නැගෙනහිර පළාත් වලත් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන නැවත ජනාධිපති ධුරයට පත් වීමේ දිගු කාලීන මහා සැළැස්ම දැන්ම සකස් කර ක්‍රියාත්මක කළ යුතුව තිබේ. නැතිනම් තව වසර පහකින් නැවත බෙදුම්වාදීන් බලයට පැමිණියහොත් සිංහලයා පත් වන්නේ ඊයේ සිටියාට වඩා අසීරුවකටය. රාජපක්‍ෂ මහතා පත්ව සිටින තත්වය ඔහුට පක්‍ෂපාතිත්වය ප්‍රකාශ කළ මහජනතාව සාවධානව තේරුම් ගනු ඇතැයි දෙතිස් කථාව අපේක්‍ෂා කරයි.


Monday, November 18, 2019

සජිත් ප්‍රේමදාස සහ ආර්‍යාව

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයෙන් පරාජය ලැබීය. එසේම ඉන් අනතුරුව ඔහු එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක තනතුරෙන් ද ඉල්ලා අස් විය. දැන් ඔහු නිදහස් මිනිසෙකි.

En route to Colombo after casting my vote at Hambantota
මේ මැතිවරණ ව්‍යාපාරය තුල සජිත් වෙනුවෙන් වක්‍රව හෝ සහය දැක්වීමට අපට අවශ්‍යතාවයක් නොතිබූ මුත්, ඔහුට විරුද්ධව ව්‍යාපාරයක් ගෙන යාමට අවශ්‍යතාවයක් ද නොවීය. කෙටියෙන් කියතොත් ගුණකුත් නැති නුගුණකුත් කීමට නැති පතෝල දේශපාලනඥයෙක් වන ඔහු ජනාධිපති වීමට අප විරුද්ධ වූයේ ඔහු වටා සිටින සහ ඔහු නියෝජනය කඳවුරේ සිංහල විරෝධී ආස්ථානය හේතුවෙනි. සජිත් ජනාධිපති වී නම් සිරිසේන v1.0 නැවත ආරම්භ වීමට ඉඩ තිබිණි.

එක්සත් ජාතික පක්‍ෂයෙන් හෝ වෙනත් පක්‍ෂයකින් හෝ වන සජිත් ප්‍රේමදාසගේ ඉදිරි දේශපාලන ගමනට දෙතිස් කතාවේ සුභ පැතුම් !


Wednesday, November 13, 2019

විජේවීර ඝාතකයා හෙළි වේ ! තාජුදින්ටත් සාධාරණයක් ?

ජනාධිපතිවරණ කටේ අපේක්ෂාවේ අපේක්ෂකයාගේ ලොමු ඩැහැ ගැන්වෙන හෙළිදරව්ව...


ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා අතිශය කෘර ආකාරයෙන් මරා දැමීම තමන් හා ජනතා විමුක්ති පෙරමුණ විසින් කළ බව පසුගිය දා අනුර කුමාර දිසානායක සහෝදරයා නායක තුමා විසින් හෙළි කරන්නට යෙදින. ඔහුට අනුව තාජුදීන් ඝාතනය සුවපති රාජිතගේ කර්තව්‍යයකි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය - ඔබ විශ්වාස කළත් නොකළත් - අහිම්සා වික්‍රමතුංගගේ ගිණුමට බැර වෙයි.

කුමාර දිසානායක සහෝදරයා පෙන්වා දෙන පරිදි, අර පුංචි එකා, එනම් චාල්ස් ඇන්තනි, මරා දමන ලද්දේ සම්පන්තන් හිටපු විපක්‍ෂනායක තුමා ලවා යුරෝපයේ වෙසෙන දෙමළ සරණාගතයන් (ඉකොනොමැට්ටා තුමාට අනුව දෙමළ ඩයස්පොරවල්) විසිනි. පුංචි එකාගේ පියා මරා දමන ලද්දේ අප මෙතෙක් සිතා සිටි අයුරින් රාජපක්‍ෂලාවත් ෆොන්සේකාවත් නොවන අතර එය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කෙළින්ම LTTE සංවිධානයයේ නායකයාටම බාර දුන් කොන්ත්‍රාතුවකි.



අප කීවාට පමණක් විශ්වාස නොකරන්න. ඔහුගේ මුඛයෙන්ම අසන්න.


Wednesday, November 6, 2019

ජාතික ආරක්‍ෂාව සහ සනීපාරක්‍ෂාව

තව දින දහයෙකින් මෙරට නව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ වරණය පැවැත්වෙයි. මෙවර ජනාධිපතිවරණය ජාතික ආරක්‍ෂාව සහ සනීපාරක්‍ෂාව අතර සටනෙකි.

අපේක්‍ෂකයන් හතලිස් ගණනක් ඇප මුදල් තැන්පත් කළත් ඉන් තිස් ගණනක් නාම යෝජනා බාර දුන්නත් තරඟය ඇත්තේ දෙදෙනෙකු අතර පමණි. අනෙක් තැනැත්තෝ එක්කෝ තමාගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව අරමුණක් වෙනුවෙන් ඉදිරිපත් වූවෝ ය. නැතිනම් ව්‍යාපාරික උවමනාවන් වෙනුවෙන් / පෞද්ගලික කැපී පෙනීමේ උවමනාවන් වෙනුවෙන් ජනතා මුදල් කාබාසිනියා කිරීමට ඉදිරිපත් වූවෝ ය. එසේත් නැතිනම් ජයග්‍රහණයට වැඩි සම්භාවිතාවක් ඇති අපේක්‍ෂකයා වන ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහි මඩ ව්‍යාපාරය ශක්තිමත් කිරීම හෝ ඒ මහතාගේ ජයග්‍රහණය දිනක් දෙකක් පමා කිරීම හෝ වෙනුවෙන් කඩේ යන්නෝය. මෙකී හාදයන් තිස් ගණන ගැන කතා කිරීමේ තේරුමක් නැත.

ජනාධිපතිවරණ සඳහා තම ඉදිරිපත් වීම මුලින්ම ප්‍රකාශයට පත් කළ රාජපක්‍ෂ මහතා ඉතා ක්‍රමානුකූලව මුල සිට තම ප්‍රචාරක ව්‍යාපාරය කරගෙන යන බව පෙනිණ. එහෙත් ඔහුට ඉතාම ලැදි පාක්‍ෂිකයන්ටවත් හුරේ දැමීමට - නැවත නැවත කතා කිරීමට - ප්‍රතිවාදීන් දුර්මුඛ කිරීමට සමත් ආකර්ශනීය පොරොන්දුවක් ඔහු වෙතින් ඉදිරිපත් නොවීය. ගෝඨාභය රාජපක්‍ෂ මහතා අපේක්‍ෂකත්වය කරා තල්ලු කෙරෙන්නේ ජනතා ඉල්ලීම මතිනි. ඉනුත් සිංහල බෞද්ධ බලවේග ඉදිරියෙන් සිට දුන් තල්ලුව හේතු කොටගෙන ඔහුට අපේක්‍ෂකත්වය නොදී සිටීමට නොහැකි තත්වයක් උදා විය. ගෝඨාභය ඉල්ලූ ජනතාවගේ ප්‍රමුඛතාව ජාතික ආරක්‍ෂාව වූ අතර ඔහු වටා පසුව ඒකරාශී වූ අනෙක් ජනතා සංවිධාන වල ප්‍රමුඛතාව මහජන ආරක්‍ෂාව යැයි සිතමි. මේ දෙක දෙකකි. මීට අමතරව තම දේශපාලන අනාගතය ගැන සිතා හෝ වෙනයම් පෞද්ගලික වාසි උදෙසා වැල යන අතට මැස්ස ගැසීමට ගිය අයත් නැතුවාම නොවේ.




Friday, October 18, 2019

ජාතික සංවිධානයන්හි ස්ථාවරය හා භූමිකාව

දෙමළ ජාතික සංධානය සිංහල විරෝධී ඉල්ලීම් නැවතත් ඉදිරිපත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් කිසිම සාකච්ඡාවක් කළ යුතු නැහැ. ඔය දෙමළ ජාතිවාදී ඉල්ලීම් නන්දිකඩාල්හි දී පරාජය කෙරුණා. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු නට්සි ඉල්ලිම් නැවතත් ඉදිරිපත් වුණා නම් චර්චිල් කුමක් කියන්න තිබණා ද? එහෙත් රනිල් දෙමළ ජාතික සංධානයට ප්‍රතිඥාවක් දී තිබෙනවා.



ජාතික සංවිධාන සම්මේලනයේ ස්ථාවරය හා භූමිකාව ඒ සම්මේලනයේ රැස්විමක දී සම්මත කර ගත් නමුත් එය පසුගිය දා පදනම් ආයතනයේ දී පැවති රැස්වීමේ දී ජනතාවට ඉදිරිපත් කෙරුණේ නැහැ. අප රටට නව ව්‍යවස්ථාවක් ඕන බව සැබෑව. 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව හෙවත් ජේ ආර් ජයවර්ධන ඉදිරිපත් කර සම්මත කර ගත් ව්‍යවස්ථාව රටට අහිතකරයි. එසේ වන්නේ එය මෙරට ඉතිහාසයට සංස්කෘතියට එකඟ ව ඒ පදනම් කර ගත් ව්‍යවස්ථාවක් නොවන බැවින්. එය චෙල්වනායගම්ගේ බෑණනුවන් වූ ඒ ජේ විල්සන් ප්‍රමුඛ පිරිසකගේ මැදිහත් වීමෙන් සකස් කරන ලද්දක්. එය ප්‍රංශ හා එක්සත් රාජ්‍ය (ඇමරිකාව) ව්‍යවස්ථා අනුව ඒ අනුකරණයෙන් සකස් කරන ලද්දක්. අපේ රටට ආගන්තුක ව්‍යවස්ථාවක්.

මේ ව්‍යවස්ථාව යටතේ අප අවුරුදු හතළිස්දෙකකට කිට්ටු කාලයක් ජීවත් වෙලා තියෙනවා. ව්‍යවස්ථාව දහනව වතාවක් සංශෝධනය වෙලා තියෙනවා. ඒ අතරින් දහතුන්වැනි සංශෝධනය හා දහනවවැනි සංශෝධනය අති භයානකයි. මේ සංශෝධන තවත් සංශෝධනයකින් අහෝසි කරන්න ඕන. ඒක තමයි පසුගිය දා රැස්වෙච්ච ජාතික සංවිධාන සම්මේලනය ප්‍රකාශ කෙළේ. ඒ එක්ක ම ඒ සම්මේලනයේ දී තවත් දේ ප්‍රකාශ වුණා. ගෝඨාභය රාජපක්‍ෂට ජනාධිපතිවරණයේ දී කොන්දේසි විරහිත ව සහාය දීමත් එකක්. එමෙන් ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරනු යන්න තවත් එකක්. මේ සමහර දේ ජාතික සංවිධාන සම්මේලනයේ ස්ථාවර. සමහර දේ සම්මේලනයේ භූමිකාව. මේ සියල්ල 2019 ජනාධිපතිවරණය සම්බන්ධයෙන්.




ස්ථාවරය

  1. ජාතික ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාවය සුරැකෙන, එක පොදු සිවිල් නීතියක් සහිත, ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටීම.
    1. 13වන සංශෝධනය ඉවත් කිරීම.
    2. 19වන සංශෝධනය ඉවත් කිරීම.
  2. 'විධායක ජනාධිපති ධූරය' අහෝසි නොකිරීම.
    විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා හෝ එම ධූරයේ බලය අවම කිරීම සඳහා හෝ එම බලය අන් අයකු අතට පත් කිරීම සඳහා හෝ කෙරෙන යෝජනා සියල්ල, අප රටේ නායකත්වය දුර්වල කොට, අපගේ රාජ්‍යය දුර්වල කිරීම සඳහා වූ අරමුණින් කෙරෙන යෝජනාවන් ලෙස අප සලකන අතර, එවන් යෝජනාවන්ට අපගේ විරුද්ධත්වය ප්‍රකාශ කරමු.
  3. ඉදිරි ජනාධිපතිවරණය 'නව ව්‍යවස්ථාවක්' ගෙන ඒම සඳහා වන ජනමත විචාරණයක් බවට පත් නොකිරීම.
  4. සියලුම
    1. ආගමික අන්තවාදී ත්‍රස්තවාදයන් හා
    2. දේශපාලනික අන්තවාදී ත්‍රස්තවාදයන්
    මුලුමනින්ම පරාජය කිරීම.
  5. පරිසරය සුරැකෙන, තිරසාර සංවර්ධනයක් සහිත, සිංහල බෞද්ධ රාජ්‍යයක් නිර්මාණය කිරීම උදෙසා වන ජාතික ආර්ථික, සමාජයීය හා සංස්කෘතික සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම.
  6. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව නිසි පරිදි බලාත්මක කිරීම වෙනුවෙන්, එනම් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමීම සහ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම යන වගකීම නිසි පරිදි ඉටු කිරීම.
  7. ලංකාවේ පැරණි බෞද්ධ සිද්ධස්ථාන සහ නශ්ඨාවශේෂ ආරක්ෂා කොට පවත්වා ගෙන යෑම පිණිස, ඓතිහාසික උරුම කළමනාකරණ පනතක් ගෙන ඒම.
  8. ශ්‍රී ලංකාවට හිතකර, ස්වාධීන, රාජ්‍ය ආරක්ෂාව තහවුරු වන, දේශපාලන නිදහස කේවල් නොකෙරෙන, ජාතික ආර්ථික ස්වෛරීත්වය ආරක්ෂා වන පරිදි සැකසුණු, නොබැඳි, බෞද්ධ රටවල් සමග විදේශ සබඳතා ශක්තිමත් කරන, බෞද්ධ ධර්මය මුල් කර ගන්නාවූ විදේශ ප්‍රතිපත්තියක් සකස් කිරීම.
  9. රටේ ඉතිහාසය සංස්කෘතිය අනුදත් විදේශ දූත පිරිසක් බිහිකර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ගයන් ගැනීම.
  10. රටට අහිතකරව සැකසුණු විදෙස් ගිවිසුම් අහෝසි කිරීම හෝ රටට හිතකර පරිදි සංශෝධනය කිරීම.
  11. විදේශිකයන්ට මේ රටේ ඉඩකඩම් මිලට ගැනීම සඳහා සකස් වූ නීති සියල්ල අහෝසි කිරීම හෝ රටට හිතකර පරිදි සංශෝධනය කිරීම.


භූමිකාව

  1. ඉහත විස්තර කළ ප්‍රතිපත්තිමය කරුණුවලට සහ ඉලක්කයන්ට එරෙහිව ක්‍රියාත්මක වන සහ විජාතික බලවේගයන්ට වහල්ව සිටින, වර්තමාන දේශද්‍රෝහී ආණ්ඩුව පළවා හැරීම.
  2. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, ආදී සියලුම සහෝදර ජනතාවන්ට එකසේ පිළිගත හැකි, අපගේ දේශයට සැබැවින්ම ඇළුම් කරන, එමෙන්ම ඉහත කී ඉලක්ක සාක්ෂාත් කර ගැනීම උදෙසා ශක්‍යතාවක් සහිත නායකයකු බලයට ගෙන ඒම.
  3. එම නායකයාට යථාර්ථවාදී ලෙස සහයෝගය ලබාදෙන දේශපාලන ධූරාවලියක් සහ සිවිල් පරිපාලනයක් බලගැන්වීම සඳහා කටයුතු කිරීම.
  4. අපගේ මාතෘභූමිය බේරාගැනීම සඳහා වන උක්ත ව්‍යායාමය උදෙසා, දිවයින පුරා විසිරී ඇති
    1. විහාරස්ථාන හා දේවාල
    2. හින්දු කෝවිල්
    3. ක්‍රිස්තියානි පල්ලි
    4. මුස්ලිම් පල්ලි
    මූලීක කරගනිමින් ජනතාව දැනුම්වත් කිරීම සහ ජනතාව ඒකරාශී කිරීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කිරීම.
  5. දිවයින පුරා ප්‍රාදේශීය 'සම්මන්ත්‍රණ', දිස්ත්‍රික් මට්ටමේ 'දිසා සමුළු' සහ ජාතික 'මහා සමුළු' සංවිධානය කර ජනතාව දැනුම්වත් කොට, ඉහත ඉලක්ක සපුරා ගැනීම සඳහා ජාතික සංවිධාන සම්මේලනයේ' ධජය යටතට සමාජය පෙළ ගැස්වීම.



Monday, September 30, 2019

ගම් මට්ටම්-බිම් මට්ටම්-තම්මැට්ටම් ජනාධිපති

ඔය අපේක්‍ෂක කම දීපං ලමේකුට
එක්සත් ජාතික පාක්‍ෂිකයන් පුල පූලා බලා සිටි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා පසුගිය දා නම් කෙරිණ.

ඒ දිවංගත ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ සහ ශ්‍රීමතී හේමා ප්‍රේමදාස ආර්යාවගේ ආදරණීය පුත්‍රයා වූද, ජලනි ප්‍රේමදාස මහත්මියගේ ආර්යාවගේ ප්‍රේමනීය ස්වාමි පුරුෂයා වූද, එක්සත් ජාතික පක්‍ෂයේ එම ධුරය වැඩිම කාලයක් දැරූ නියෝජ්‍ය නායකයා වූද, ගම් මට්ටම් බිම් මට්ටම් තම්මැට්ටම් ස්වකීය පරචිත්ත විජාණනඥාණයෙන් හා බාහු බලයෙන් ඌර්ධවපාතනය කළා වූද, දුගී දුප්පත් එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ සදාවන්දනිය නායක තුමා වූ ද, ඡන්ද නැති ප්‍රජාතන්ත්‍රවාදය™ ලෝකයට මුල් වරට හඳුන්වා දුන් වර්තමාන යහපාලන ආණ්ඩුවේ උදාගම් පිළිබඳ අමාත්‍ය සදා ලෝක පූජිත ශ්‍රීමත් සජිත් ප්‍රේමදාස උතුමාණෝ ය.




Monday, August 19, 2019

අපේක්‍ෂාවේ අපේක්‍ෂකයා

ඊයේ ගාළු මුවදොර පිටියේදී ජනතා විමුක්ති පෙරමුණට සහය දක්වන මුත් එහි සාමාජිකයින් නොවන කිහිප ගේ සහභාගිත්වයෙන් ගොඩ නැගුණු ජාතික ජන බලවේගය විසින් පවත්වන්නට යෙදුණු රෝස පාට රැස්වීමේදී අපේක්‍ෂාවේ අපේක්‍ෂකයා වශයෙන් වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ™ විසින් එහි නායක අනුර කුමාර දිසානායක සහෝදරයා මහතාව උණුසුම් සහෝදරත්වයෙන් ප්‍රකාශයට පත් කරන්නට යෙදිණ.


මෙහිදී ඒ මහතා විසින් ප්‍රකාශ කරන්නට යෙදුණේ ඔබ මා කෙරේ තිබෙන විශ්වාසය බැඳීම අබමල් රොනකින්වත් හානියට බඳුන් වෙන්ට ඉඩ නොදෙන බව සහතික කරනවා වශයෙනි. තමන් හා තමන් සහය දක්වන කණ්ඩායම් විසින් මෙතෙක් කරන ලද දේශපාලනය ඉතාමත් කැත පිළුණු වූ ගඳ ගසන එකක් බව ප්‍රකාශ කළ ඒ මහතා තමන් පිරිසිදු මහජනයාට ලෙංගතු අවංක දේශපාලන පොරපිටියක් නිර්මාණය කරන බව සපථ කර ප්‍රකාශ කර සිටි මුත් තමන් එසේ කරන්නේ මන්ද යන වගත්, එය කරන්නේ කෙසේද යන වගත් විස්තර නොකිරීමට ද ප්‍රවේශම් විය. නොකෙරෙන වෙද කම බැවින් ක්‍රමවේදය අදාළ නැති බව සිතුවාද ?


Tuesday, August 13, 2019

ගෝඨාභය !


එක්සත් ජාතික පක්‍ෂයට හිතවත් කණ්ඩායම් විසින් මීට මාස කිහිපයකට පෙර කොළොඹ (සමහර විට මුළු රට) පුරාම අළවා තිබූ පෝස්ටරයක්.




Thursday, July 18, 2019

පන්දු යවන්නන් අඩු කුලේද ?

...ලෝක කුසලානයට පසුවදනක්...



මෙවර පැවති දොළොස් වන ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ජයග්‍රහණය සත්කාරක එංගලන්ත කණ්ඩායම දිනා ගත්තේය. එය කිසිවෙකුට පුදුමයට කරුණක් වූයේ නැත. මේ දශකයේ පැවති ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලි තුනම පිළිවෙලින් ඒවායේ සත්කාරක කණ්ඩායම් විසින් දිනා ගැනීම සිදු විය. ඒ:
  • 2011: සත්කාරක ඉන්දියාව විසින් මුම්බායි හි දී ශ්‍රී ලංකාව කඩුළු 6 කින් පරාජය කර ද
  • 2015: සත්කාරක ඔස්ට්‍රේලියාව විසින් මෙල්බෝන් හි දී නවසීලන්තය කඩුළු 7 කින් පරාජය කර ද
  • 2019: සත්කාරක එංගලන්තය විසින් ලංඩන් හි දී නවසීලන්තය හතරේ පහරවල් කිහිපයකින් පරාජය කර ද
ආදී වශයෙනි.

ඉහත මුල් තරඟාවලි දෙකේ ම අවසන් තරඟය පරාජයට පත් වූ කණ්ඩායමත් තරඟාවලියේ සම සත්කාරකත්වය ඉසිලූ කණ්ඩායමක්ම වීම මෙහි විශේෂත්වයයි. එසේ වුවත් අවසන් තරඟය තම රටේ පවත්වා ගැනීමට ඒ රටවල් වල ක්‍රිකට් බලධාරීන් උත්සුක නොවීම හෝ අසමත් වීම හෝ හේතු කොටගෙන ඒ රටවල් වලට ක්‍රිකට් ලෝක කුසලානය අහිමි වූ බව ක්‍රීඩා ලෝලියෙක් තර්ක කළහොත් ඊට පදනමක් තිබේ.

ඊට පෙර සත්කාරක කණ්ඩායමක් විසින් ලෝක කුසලානය ජය ගෙන ඇත්තේ 1996 දී පමණක් වන අතර ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකාව තරඟාවලිය ජය ගත්තත් ඒ ශ්‍රී ලංකාව තුලදී නොව පාකිස්තානයේ ලාහෝර් හි දී ය.




Tuesday, June 4, 2019

රතන හිමිගේ අපවත් වීම හෙවත් අපි විරුද්ධ වෙන්නම් ඔයාල කරගෙන යන්න

අතුරලියේ රතන හිමි දින හතරක මාරාන්තික අඛණ්ඩ උපවාසය අවසන් කළේය.

ඒ නැගෙනහිර හා බස්නාහිර ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස් වීම බාර දීමත් ආණ්ඩුවේ මුස්ලිම් වාර්ගික මන්ත්‍රීවරුන් හැත්ත බුරුත්ත පිටින්ම තමන් දරමින් සිටි ඇමති, නියෝජ්‍ය ඇමති රාජ්‍ය ඇමති තනතුරු වලින් ඉල්ලා අස් වීමත් හේතුවෙන් බවයි සැල.


ඒ අය අස් වූ නිසා රතන හිමි උපවාසය අවසන් කළේද නැතිනම් උපවාසය අවසන් කිරීම නිසා අර කී පිරිස ඉල්ලා අස් වූයේ දැයි අපට තවම පැහැදිළි නැත. රතන හිමිගේ ඊනියා උපවාසය අවසන් කිරීමේ තොරතුර අපට ලැබුණේ මුලිනි. එහෙත් මුලින් වූ සිද්ධිය එය යැයි එක හෙළා පැවසීමට එය ප්‍රමාණවත් හේතුවක් නොවේ.

එසේ වුවත් අතුරලියේ රතන යනු කවරාකාර අවස්ථාවාදියෙකුදැයි සෑහෙන කාලයක සිට දන්නා අපට ඔහුගේ මේ රංගනය සහ එය අධ්‍යක්‍ෂණය කළ තිර රචනය ලියූ ගස් ගොබිලන් ගැන දැන ගැනීමට වෙනත් අංජනම් බැලීමක් අවශ්‍ය නැත.



Thursday, May 23, 2019

මේල පළඳනාව සර්වාංග සන්නාහයක්...

"මුහුණු ආවරණය කරන්නේ මුස්ලිම් කාන්තාවන් පමණක්ද?" යන මැයෙන් ඉදිරිපත් කළ අපගේ පෙර ලිපියට ජගත් පතිරණ මහතා ප්‍රශ්නයකින් ම ප්‍රතිචාරයක් දමා තිබුණා.

විශාකා සිටුදුවගේ මේල පලඳනාවක් බුර්කාවක් නේද?

ඊට අප දුන් කෙටි පිළිතුර, නැත. එය බුර්කාවක් නොවේ යන්නයි.

අද ඒ ගැන වැඩිදුර කතා කරමු. අප මෙහිදී මේල පළඳනාව ගැන විස්තර කිරීම සඳහා මූලාශ්‍රය කොට ගැනෙන්නේ පූජාවලිය යි. එහි පූර්වාරාම පූජා කථා යටතේ විශාකාව සහ එතුමියගේ පළඳනාව ගැන මනා විස්තරයක් පෙනෙයි.




Friday, May 17, 2019

මුහුණු ආවරණය කරන්නේ මුස්ලිම් කාන්තාවන් පමණක්ද?

පෙර ලිපියෙන් අප විස්තර කළේ මුස්ලිම් කාන්තාවන් විසින් භාවිත කෙරෙන නොයෙක් ආකාරයේ හිස් ආවරණ ගැනයි. ඉන් සමහරක් විසින් එය පළදින්නාගේ මුහුණ ද ආවරණය කරයි. මෙය මහජන ආරක්‍ෂාවට තර්ජනයක් බව පැහැදිළි කළ අප මෙකී මුහුණු ආවරණ සම්බන්ධව ස්ථිර තහනමක් පැනවිය යුතු යැයි යෝජනා කළෙමු.


හිස් ආවරණ ගැන එවැනි ස්ථිර තහනමක් යෝජනා නොකළත් ඒ සම්බන්ධව ද යම් සීමා කිරීම් තිබිය යුතුය. උදාහරණයක් ලෙස ගිණි අව්වේ කිසියම් හිස් ආවරණයක් පැළඳ පැමිණෙන කෙනෙක් ගොඩනැගිල්ලක් තුල එය පැළඳ සිටීම අවශ්‍ය නැත. අප අයත් සංස්කෘතියට අනුව ගොඩනැගිල්ලක් තුල හිස් ආවරණ පැළඳ සිටීම අන් අයට අපහාසයකි. එසේ නොවන්නේ එකී හිස් වැසුම ස්වකීය නිලය හෝ තත්වය හඟවන නිල ඇඳුමේ කොටසක් වන්නේනම් පමණි.




Wednesday, May 15, 2019

මුස්ලිම් කාන්තාවන්ගේ `නින්ජා` හිස් ආවරණ

පසුගිය පාස්කු ඉරිදා කතෝලික පල්ලි ඉලක්ක කරගෙන එල්ල වූ "පිරිසිදු" ඉස්ලාම් භක්තිකයන්ගේ ප්‍රහාරයෙන් පසු මුහුණ ආවරණය කෙරෙන පැළඳුම් තහනම් කෙරෙන ගැසට් පත්‍රය නිකුත් කෙරිණ. මේ අතිශය ප්‍රමාද වී ගැනුණු තීරණයකි. මනුෂ්‍යාත්මභාවයක් ලැබ මෙළෝ උපන් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ හැඟීම් රහිත රෙදි පොට්ටනියක් මට්ටමට, එනම් තිරිසන් ආත්මභාවයකටත් අන්ත අසරණ භාවයකට, පත් කිරීම මේ ඊනියා වස්ත්‍රයෙන් කෙරේ. කිසි පැකිලීමක් නැතිව අරාබිකරයේ මිනිසුන් ගැහැණුන් ගල් ගසා මරන්නේ මේ ඉලව් රෙද්දේ පිහිටෙන් තමා.
මුස්ලිම් කාන්තාවන්ගේ හිස් ආවරණ
මුස්ලිම් කාන්තාවන්ගේ හිස් ආවරණ
මනුෂ්‍ය අනන්‍යතාවය සඟවන මේ වස්ත්‍ර තහනම් කිරීම කළ යුතුව තිබුණේ 2009 දී ම ය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ එය දැඩි ප්‍රතිරෝධයකින් තොරව කළ හැකිව තිබියදීත් කළේ නැත. දැන් සිරිසේන විසින් ද මෙය තහනම් කර තිබෙන්නේ හදිසි නීතිය යටතේය. හදිසි නීතිය දීර්ඝ නොකළ විටෙක මේ තහනම ඉබේ අහෝසි වනවා ඇත. එසේ වන්නට ඉඩ නොතබා මෙය සාමාන්‍ය නීතියෙන් තහනම් කිරීම කාලීන අවශ්‍යතාවයකි.




Friday, May 10, 2019

ඉයන් හිතන හැටි

ඉයන්ගේ අඩවිය හෙවත් Ian's Den අප ඉඳහිට ගොඩ වැඩෙන බ්ලොග් අඩවියකි. එහි නවතම ලිපියෙන් උපුටා ගත් කොටසක් යට දැක්වේ.

පාස්කු බෝම්බෙන් වැඩක් ගමුද?

"පාස්කු ඉරිදා සිදුවීම් ගැන විවිධ අදහස් දැක්වීම් විවිධ මාධ්‍යය වල තිබුණ. මේ ගැන මගේ අදහස නම් ටිකක් වෙනස්. හැමෝම මරාගෙන මැරුණ අයට සහ පාලකයන්ට දොස් කියනව. මේ දෙගොල්ල මේ සිද්ධියට දැනුවත්ව හෝ අතපසු කිරීම් වලින් පහසුකම් සැපයීමක් (facilitate) කලත් මේ මරණ වලට වගකියන්න ඕන ඒ මැරුණු අයමයි.

බුදු දහමේ යමෙක්ගේ මරණය වෙන අවස්ථා 4 ක් ගැන උගන්වා තියෙනව. ඒවා නම්;
  1. ආයුක්ඛය - සත්ත්වයාගේ හෝ පුද්ගලයා ගේ ආයුෂ අවසන් වීම.
  2. කම්මක්ඛය - සත්ත්වයාගේ හෝ පුද්ගලයා ගේ ජීවත්වීමට ඇති කර්ම ශක්තිය අවසන් වීම.
  3. උභයක්කය - ආයුෂ සහ කර්ම ශක්තිය යන දෙකම අවසන් වීම.
  4. උපච්ඡේදක මරණ - හදිසි කර්ම විපාක නිසා සිදුවන මරණය.
ඉහත හේතු හතරට අමතරව ඉස්ලාම් අන්තවාදීන් මරාගෙන මැරීම නිසා සිදුවන මරණ හෝ සිරිසේනගේ ඔක්තෝබර් 'විප්ලවයෙන්' පසු සරත් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යාංශය නොදීම නිසා ඇතිවූ මරණ කියා මරණයට හේතූන් බුදු දහමේ උගන්වන්නේ නැහැ."
මා ඉයන්ගේ අඩවිය කියවන්නට පෙළඹුනේ ම එහි දෙමළ බෙදුම්වාදය හා එහි ඉතිහාසය සම්බන්ධව පළ වූ ඉතා වටිනා කරුණු ඇතුලත් ලිපි හේතුවෙනි. එය විවිධ මාතෘකා යටතේ රසවත් ලිපි පල වූ සංවාද මණ්ඩපයකි. පසු කාලීනව ඉයන් පාගාගෙන සිරිකොතේ ප්‍රචාරක අංශය මේ අඩවිය අත්පත් කර ගැනීම නිසා ඊට පිවිසීම කෙමෙන් අඩු විය. එහෙත් මේ කතාවට ඒවා අදාළ නැත.




Tuesday, May 7, 2019

ඉස්ලාම් ත්‍රස්තවාදය සහ කතෝලික දේශපාලනය

මේ ලිපිය ලිවීම ඇරඹෙන්නේ ප්‍රහාරයෙන් සතියකට පසුය. එය ආරම්භ කළේ මෙලෙසිනි.

ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ප්‍රශස්ථ අයුරින් තම රාජකාරිය ඉටු කරනු පසුගිය සතිය පුරාම දිස් විණි. ඒ සම්බන්ධව අපගේ හදපිරි උත්තමාචාරය ඒ උතුමන්ට හිමි වේ. එසේම ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම්, ත්‍රස්තවාදීන්ගේ අඹුවන්ගේ (බහු වචන !) අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින, එසේම බේබද්දෙක් පාරේ ටෙලිෆෝන් කණුවක හැප්පුනත් සිංහල බෞද්ධයාට වරද පටවන කුරුඳුවත්තේ මුහන්දිරම්ලාගේ බෑගිරි ගෑම් ද පසුගිය සතිය පුරාම අසන්නට ලැබුණේ නැත. උන්ගේ මුඛ පූට්ටු කිරීම වෙනුවෙන් මරාගෙන මැරුණු මුස්ලිම් සහෝදරවරුන්ට අපගේ විප්ලවීය ආචාරය හිමි වේ.

වඩාත්ම පුදුමය උනුත් එකයි මුණුත් එකයි අපි තමයි සදාචාරාත්මක දේශපාලනේ කරන්නේ රට හදන්න අපට දෙන්න යනාදී නොයෙක් සටන් පාඨ දෙසමින් සියල්ලේ වරද රාජපක්‍ෂ නාමයට ඌනනය කරන්නට වෙර දරන රතු සීනු කාඩරයන්ගේ නිහඬතාවයයි. තමන්ගේ ජාතික ලැයිස්තු අපේක්‍ෂකයා අහිංසකයෙකු බව කීම හැර වෙනත් ප්‍රකාශයක් ඒ පක්‍ෂයෙන් අපට ඇසුණේ නැත. නායකතුමා සහෝදරයා තාම රටද ?

දැන් මේ වන විට ඉහත කී සෑම කණ්ඩායමක් ම දුඹුටු ගසා දමා ඇඳවල් යටින් එළියට බැස සිංහල බෞද්ධයාට විරුද්ධ නොයෙක් ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වී නැත. ඒ ගැන කතා කිරීම පසෙක තබා වෙනත් දෙයක් කතා කරමු.



Wednesday, April 24, 2019

මරුවා සමග වාසේ

හෙවත් ආණ්ඩුව ත්‍රස්තවාදීන් අතට පත් වීම


මා සිතන අන්දමට, පාස්කු ඉරිදා කතෝලිකයන්ගේ දින දර්ශණයේ වැදගත්ම දිනය වේ.
ප්‍රහාරයෙන් පසු
බෞද්ධ දින දර්ශණයේ වැදගත්ම දිනය වෙසක් පුර පසළොස්වක බවට විවාදයක් නැත්තේ සිද්ධාර්ථයන්ගේ උපත, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන ත්‍රිවිධ මංගල්‍යයම එදිනට සැමරෙන බැවිණි. මේ සිද්ධි වෙන වෙන දින වල සිදු විණි නම් වඩාත් වැදගත් දිනය කවරක් විය හැකිව තිබිණිද?
මා සිතන අන්දමට බෞද්ධයාට වඩා වැදගත් වන්නේ බුද්ධත්වය ලැබූ දිනයයි.

කතෝලිකයන්ට ඒ හා සමාන වැදගත් දිනයක් ඇත්නම් ඒ ජේසු ස්වාමිදරුවන් මරණයෙන් උත්ථානය වූ දිනය වේ.



Friday, April 5, 2019

මෝඩයාගේ ක්‍රීඩාව

ක්‍රිකට් ක්‍රීඩාව බොහෝ විට හැඳින්වෙන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව යනුවෙනි. එය gentlemen's game යන්නේ පර්වර්තනයකි. මේ නම පටබැඳෙන්නට හේතුව මෙකී ක්‍රීඩාවේ ඇති ඊනියා මහත්මා ගතියක් නොව වෙනත් ක්‍රීඩා වලට සාපේක්‍ෂව ෆුල් සූට් ගසා කරන ක්‍රීඩාවක් වීම බව සිතමි. පිජාමා ක්‍රිකට් ගසන මේ යුගයේ මහත්මා කතාව තේරුමක් නැත.

සමහරු මෙකී ක්‍රීඩාව කාලකන්ණි ක්‍රීඩාවක් ලෙස හඳුන්වත්. ඊට හේතුව කාලකන්ණි ජාතකයේ මේ ගැන සඳහන් වීම නොව මේ ක්‍රීඩාව දින පහක් පුරා පැවැත්වීමයි. සමහර විට එයත් ජය පරාජයෙන් තොරව අවසන් වේ. එක දවසෙන් ප්‍රතිඵල දෙන වරුවෙන් ප්‍රතිඵල දෙන "එක්දින" හා "T20" ක්‍රිකට් ගසන මේ කාලයේ ඒ කතාවත් එතරම් වලංගු නැත. තව සමහරු මේ ක්‍රීඩාව හඳුන්වන්නේ මෝඩයාගේ ක්‍රීඩාව නමිනි. ඊට හේතුව මිනිසුන්, විශේෂයෙන්ම නවයොවුන් සහ යොවුන් වයස් වල පසු වන්නන්, වැඩ පාළු කරගෙන ඉගෙනීම ආලපාළු කරගෙන රූපවාහිණී නම් ලත් යකාගේ පෙට්ටිය වට කරගෙන පැය ගණන් නාස්ති කිරීමයි. මෙයින් රටේ ජනතාවට අහිමි වන කාලය අති විශාලය. එහෙත් ඉන් ලැබෙන ආතල් එක හෙවත් සුදිය අර අහිමි වන කාලයේ වටිනාකමට වඩා වැඩි නිසාදෝ රටේ මහජනතාවගෙන් වැඩි පිරිසක් අවිඥානිකවම වෙළෙඳ දැන්වීම් වල ගොදුරු බවට පත් වෙති.




Monday, April 1, 2019

මෝඩයාගේ දිනය

අද අප්‍රේල් පළමුවැනිදා - මෝඩයාගේ දිනය.
මා මෙසේ කීවත් බොහෝ දෙනෙක් අද අප්‍රේල් පළමුවැනිදා බවවත් නොදන්නා අයුරින් තමා හැසිරුණේ. ඊට හේතු දෙකක් දිය හැකියි.
  • ඉන් පළමුවැන්න ආණ්ඩුව දිනපතා දෙන මෝඩ ආතල් වල හැටියට අප්‍රේල් පළමුවැනිදා කියා විශේෂයක් නැති වීම.
  • දෙවැන්න අප්‍රේල් පළමුවැනිදා වෙනුවට ජනවාරි අට වැනිදා ශ්‍රී ලංකාවේ මෝඩයාගේ දිනය ලෙස නිතැතින් පත් වී තිබීම.
ඔබ සිතන පරිදි මේ වසරේ මෝඩයාගේ දිනය කිසි රහක් නැති වීමට හේතුව කුමක්ද ?


Monday, March 11, 2019

අරුලනන්දන් අරුන් සිද්ධාර්ත් මෛත්‍රීයන් වූ හැටි

පසුගිය සති කිහිපයේ සිංහලයින් අතර ජනප්‍රිය වූ චරිතයක් වූයේ අරුලානන්දම් අරුන්ය. ඔහු තමා හඳුන්වා ගන්නේ අරුන් සිද්ධාර්ත් මෛත්‍රියයන් නමිනි. ඔහුම පවසන අන්දමින් අරුන් සිද්ධාර්ත් මෛත්‍රියයන් යනු තමාගේ තෙවැනි දරුවාගේ නමයි.



සිංහල අපට මෙන් නොව දෙමළුන්ට ඇත්තේ එක නමක් පමණි. සිංහල අපට පරම්පරාවෙන් ලැබෙන නමක් හෙවත් වාසගමක් තිබේ. පේඩි දුරයලාගේ ඩිංගිරියා කී විට 'පේඩි දුරයලාගේ' යනු පරම්පරාවෙන් එන නමයි, 'ඩිංගිරියා' යනු පුද්ගල නාමයයි. ඌරුවරිගේ වන්නියා කී විට 'ඌරුවරිගේ' යනු පරම්පරාවෙන් එන නමයි, 'වන්නියා' යනු පුද්ගල නාමයයි. බටහිර ආභාෂය අනුව නම් තැබීම ජනප්‍රිය වූ පසු වාසගම අගට ගියේය. සමහර සිංහලයෝ නමට මුලිනුත් අගිනුත් වාසගම් තබා ගනිත්. වර්ණකුලසූරිය පටබැඳිගේ උශාන්ත ජෝසප් චමින්ද වාස් ආදී වශයෙනි. මෙහි සැබෑ නම (නම්) වන්නේ උශාන්ත ජෝසප් චමින්ද යන්නයි. Solomon West Ridgeway Dias Bandaranaike නමින් ජනප්‍රිය හිටපු අග්‍රාමාත්‍යවරයාගේ පුද්ගල නාමය West Ridgeway යන්න පමණකි. එයත් ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරයෙක් සිහි වීමට තබන ලද්දකි. ඉතිරිය පරම්පරා නාමයයි. ඔහුගේ පියාගේ සම්පූර්ණ නාමය Solomon Dias Abeywickrema Jayatilleke Senewiratna Rajakumaruna Kadukeralu Bandaranaike වේ. මෙහි පුද්ගල නාමය කුමක්ද පරම්පරා නාමය කුමක්දැයි වෙන් කර හඳුනා ගනු සමත්හු වෙත්ද? සැබැවින් ඔහුගේ පුද්ගල නාමය Rajakumaruna Kadukeralu පමණකි.



Wednesday, March 6, 2019

ගල් අරක්කු අයවැය

මෙවර අයවැය හේතු කිහිපයක් නිසා වැදගත්ය. ඉන් පළමුවැන්න මෙය පමා වී පැමිණි අයවැයක් වීමයි. මෙවර අයවැය අඩු තරමින් මාස 5 ක් පමා වී පැමිණියේය. ඊළඟ අයවැයට ඉතිරි වී ඇත්තේ යන්තම් මාස 6 ක් පමණි. දෙවැනි හේතුව මැතිවරණ වර්ෂයක පැමිණි අයවැයක් වීමයි. අවුරුදු දෙකකට වඩා කල් දමමින් සිටි පළාත් පාලන මැතිවරණය නඩුවෙන් බේරීම පිණිස පැවැත්වූ ආණ්ඩුව පළාත් සභා මැතිවරණ වසර දෙකක් තිස්සේ කල් දමා ඇත. මේ වසර මුල පැවැත්වීමට දින නියම කර ගත් මහමැතිවරණය ඊනියා ස්වාධීන අධිකරණ කොමිසමේ උදව්වෙන් අවලංගු කර ගත් ආණ්ඩුව මේ වසර අගදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නොපැවැත්වීමට සියළු උප්පරවැට්ටි දමමින් සිටී. තුන් වැන්න රටේ පවත්නා අස්ථාවර දේශපාලන වාතාවරණය අනුව වර්තමාන මුදල් ඇමති විසින් ඉදිරිපත් කෙරෙන අවසන් අයවැය වාර්තාව මෙය වීමට ඇති ඉඩකඩයි.

ඕනෑම අයවැයක් සේම මේ අයවැයත් ආණ්ඩුවේ අනාගත සැළසුම් ගැන ප්‍රකාශයට පත් කෙරෙන සහ රටේ ආර්ථික ගමන් මග පිළිබඳව පුරවැසියන්ට අදහසක් ලබා ගැනීමට ඉඩකඩ සලසන්නක් වීම වැදගත්ම හේතුවයි.

අප අයවැය කතාවට සවන් දුන්නේ නැතුවා පමණක් නොව ඒ ගැන වැඩිමනක් පුවත් ඇසුවේ / කියවූවේ හෝ නැත. අපට දැන ගැනීමට ලැබුණු එකම කරුණ වාහන නිෂ්පාදන බදු වැඩි වීම පමණි. වාහන තබා බයිසිකලයක්වත්, ඒ තබා විල්බැරෝවක්වත් නිෂ්පාදනය නොකෙරෙන ලංකාවේ වාහන නිෂ්පාදන බදු කීයට වැඩි උනත් මොකෝ ... හඃ !




Thursday, February 21, 2019

ලක්ෂෙට කොඩිය

දෙතිස් කතාවේ පිටු බැලීම් ලක්‍ෂය ඉක්මවා ගියේය. අප මිතුරු ජොසෙෆ් විසින් ඒ බව සඳහන් කරන්නට යෙදිණ. ලක්‍ෂය මහාර්ඝ ඉලක්කමක් නොවේ. අපට පසුව ආරම්භ කරන්නට යෙදුණු ඉකොනොමැට්ටා ගේ බොජුන්හල ලක්‍ෂය ඉක්මවා ගියේ මීට බොහෝ කලකට පෙරය. වර්ෂ 2012 දී ආරම්භ කළ බ්ලොග් අඩවියක් 2019 දී පිටු බැලීම් ලක්‍ෂයක් වාර්තා කිරීම විශේෂයෙන් උදම් වන්නට කරුණක් නොවේ.

මිතුරු ජොසේෆ් මෙසේද කියයි.
"ඕකෙන් පනස් දාහක්වත් මමම වෙන්නැති. තව හතළිස්දාහක්වත් සිතුවිළි වෙන්නැති."
ඒ සත්‍ය නොවේ. මේ ලක්‍ෂයෙන් අඩු තරමින් දස දහසක් පසළොස් දහසක්වත් එක් කෙනෙකුට අයිති කර ගැනීමේ හැකියාවක් නැත. මේ කාලය පුරාවට රටවල් 126 කින් පුද්ගලයින් මේ වෙබ් අඩවියට පැමිණ තිබේ. එසේ වුවත් මේ අඩවියේ කරක් ගැසූ අය අතරින් 90% පැමිණ ඇත්තේ රටවල් 10 කිනි. ඒ,
  1. ලංකාව
  2. එක්සත් ජනපද රාජ්‍යය
  3. සිංගප්පූරුව
  4. ඔස්ට්‍රේලියාව
  5. කැනඩාව
  6. එක්සත් රාජ්‍යය
  7. එක්සත් අරාබි එමිරේට් රාජ්‍යය
  8. මාලදිවයින
  9. ඉතාලිය හා
  10. කටාර් රාජ්‍යයෙනි.
බහුතරය ලංකාවෙන් ආ බව පැහැදිළි මුත් ඒ 60% පමණි. අනෙක් රටවල් 40% කට ආසන්න දායකත්වයක් දරා තිබේ. මුල් කාලීනව රුසියානු ජනරජයෙන් බොහෝ සෙනගක් පැමිණුනත් දැන් ඒ අඩු වී තිබේ. මීට හේතුව එහි සිට දෙතිස් කතාව කියැවූ පාඨකයා හෝ කිහිප දෙනා නැවත සියරට පැමිණීම යැයි සිතමි.



Thursday, January 17, 2019

දෙමළ ජනතාවගේ ආරක්ෂකයා

2018 වර්ෂය අවසන් වී 2019 එළැඹිණි. ජනාධිපති සිරිසේනගේ පදවිප්‍රාප්තියේ සිව් වන සංවත්සරය පසු විය. මේ ඔහුගේ පළමු ධුර කාලයේ අවසන් වසරයි. ඔහුට තව ධුර කාලයක් ලැබේදැයි අප තබා සිරිසේන තබා සිරිසේනගේ ස්වාමින්වත් දන්නේ දැයි සැක සහිතය.

19 වන සංශෝධණය නම් කෛරාටික උපක්‍රමය හරහා බලය කොල්ල කා ගත් වික්‍රමසිංහ දැන් නමට අගමැති කම් කරයි. නමුත් රටේ සැබෑ අගමැති දෙමළ රාජ්‍ය පක්‍ෂයේ ඒබ්‍රහම් සුමන්තිරම්ය. සුමන්තිරම් විසින් විධායකය (ජනාධිපති සහ කැබිනට් මංඩලය) යම් තරමකට හිලෑ කරගෙන ඇත්තේ වික්‍රමසිංහට දමාගෙන ඇති නාස් ලණුවේ උදව්වෙනි. එය ලබා ගැනීම පිණිස තම ග්‍රහණයේ පැවති ව්‍යවස්ථාදායකයේ පාලනය යම් තරමකින් ළිහිල් කර හැරීමට ඔහුට සිදු විය. මහින්ද රාජපක්‍ෂ නමට විපක්‍ෂ නායක වුවත් 19 වන සංශෝධනය විසින් ඇති කෙරුණ ව්‍යවස්ථා සභාවේ සංයුතිය තවම වෙනස් වී නැත. එය තවම පවත්නේ සුමන්තිරම්ගේ ග්‍රහණයේ ය. අධිකරණයේ මතය සහ සුමන්තිරම්ගේ අභිමතය සුමට ලෙස සමපාත වීම අප දුටුවේ හිටපු දූෂිත අගවිනිසුරුවරිය ඉවත් කිරීමේ සිද්ධියටත් පෙර සිටය. දැන් ලංකාවේ ඔටුණු නොපළන් රජු සුමන්තිරන්ය.

මේ වර්ෂයේ ජාතික දිනය උදා වීමට පෙර නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට ඔහු විසින් කෙරෙන ප්‍රකාශ සුළු කොට නොතැකිය යුත්තේ මේ පසුබිම තුල සිටය. සුමන්තිරම්ගේ බලය කොතෙක් ද යත් සංඝ රුවනට වන්දනා කිරීම තබා ගරු සරු දී කතා කිරීමවත් නොදත් නමට අගමැති වික්‍රමසිංහ තෙමේ දැන් පන්සලක් පන්සලක් ගානේ බඩගායි - ගස් බදා වැළඳ ගනී - ඔලුව බිම ගහ ගනී. මේ සියල්ල කුමටද? සුමන්තිරන් ගේ අභිප්‍රාය ඉටු කිරීම පිණිස බෞද්ධයා රැවටීමටයි.



පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස් වූ ඊනියා ව්‍යවස්ථා සම්පාදක මංඩලය වෙත වාර්තාවක් යැයි කියැවෙන ලියැවිල්ලක් ඉදිරිපත් කෙරෙන ලදී. එය නව ව්‍යවස්ථාව තබා කෙටුම්පතක්වත් නොවන බව සුමන්තිරන්ගේ නාස් ලණුවෙන් ගැට ගැසී සිටින ගොනා වන වික්‍රමසිංහ පොළොවේ පස් කමින් දස අතේ සපත කළත් සිංහල පිටපතේ පුර්විකාවේ සඳහන් වන්නේ එය නව ව්‍යවස්ථාව බවයි.

එසේ හෙයින් සුමන්තිරන්ගේ ගොනා මොනා කීවත් ඒබ්‍රහම් සුමන්තිරන් රජතුමා විශ්වාස කරන අදහන භය පක්‍ෂපාත රට වැසියන් වන අපි ඉහත කී ලියැවිල්ල යම් යම් සංශෝධන සහිතව සම්මත වීමට නියමිත නව ව්‍යවස්ථාව බව සිතට ගෙන මනා සිහියෙන් යුතුව කියැවිය යුතුයි - අවබෝධ කොට ගත යුතුයි - එය රටට පොදුවේත් සිංහලයාට වෙසෙසින්මත් අහිතකර අනිටු විපාක දෙන ලියැවිල්ලක් බව පසක් කරගෙන එය පාර්ලිමේන්තුවට (පසුගිය සතියේ ඉදිරිපත් කෙරුණේ පාර්ලිමේන්තුවට නොව පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස් වුණ ඊනියා ව්‍යවස්ථා සම්පාදක මංඩලයටයි - ඊනියා යැයි සඳහන් කෙරෙන්නේ එවැනි මංඩලයක් සැදීම සහ පවත්වාගෙන යාම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන නැති සුමන්තිරන්ගේ/ වික්‍රමසිංහගේ හිතළු මත පමණක් කෙරෙණ කටයුත්තක් හෙයිණි.) ඉදිරිපත් කිරීම වැළක්වීමටත්, ඉදිරිපත් කෙරුණොත් සම්මත නොකිරීමටත්, යම් හෙයකින් ඊනියා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ එය විවාදයට ගෙන ඡන්ද විමසීමකට ගියහොත් එය කඩාකප්පල් කිරීමටත් සංවිධානාත්මකවත් වෙන් වෙන්වත් කටයුතු කළ යුතුයි. රට වර්තමානයේ පත් වී ඇති අසරණ තත්වය සහ සිංහලයා දේශපාලන වශයෙන් දුර්වල වී ඇති මට්ටම අනුව මෙය කිරීම පහසු නොවන බැවින් බෝධි පූජා කර සම්‍යක්දෘෂ්ඨික දෙවි දේවතා ආරක්‍ෂාව පැතිය යුතුය, දේව කන්නලව් කර පොල් ගසා මේ ගෙනෙන්නට සැරසෙන ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුව තුලදී ත් ඉන් පිටතදී ත් පක්‍ෂ වන්නන් පවුල් පිටින් හැඳි ගෑවී ඇඹරී තොලොංචි වී යන ලෙසට පලි ගැසිය යුතුය. බෙලි කටු, වාලම්පුරි, පෙඟ්ශුයි, විශ්වශක්ති, පාරමිතා බල, අලි මන්තර ආදී මෙකී නොකී සියළු බල එකතැන් කර කේන්ද්‍රගත කර නව ව්‍යවස්ථාව නම් අතිප්‍රබල කොඩිවිනය කපා දැමීමට වෙර දැරිය යුතුය.

1818 නිදහස් අරගලය මැඩ පැවැත්වූ ඉංගිරිසින් ඊළඟට කළේ සිංහලයාගේ ඉඩම් උදුරාගෙන ඒවා කල්ලතෝනින් අත පත් කර සිංහලයා චිරාත් කාලයක් තිස්සේ ගොවිතැන් කරගෙන වාවාගෙන කෑ ස්වකිය නිජ බිමේම බිම් අඟලක් හිමි නැති අසරණයෙක් බවට පත් කිරීමයි. 2018 විප්ලවය පරාජය කළ ඉංගිරිසින් (ඔව් සුමන්තිරන් පසුපස සිටින්නේ ඔවුන් තමා) වර්තමාන සිංහලයාට කරන්නට යන්නේත් එයම තමා.

මේ ව්‍යවස්ථාව සම්මත වුවහොත් සිංහලයාට
  • ඒකීය රාජ්‍යය නැති වේ. ඒ වෙනුවට ලැබෙනු ඇත්තේ "මධ්‍යම ආයතන සහ පළාත් ආයතන සංයුක්ත වන්නා වූ ඒකීය රාජ්‍යයක් / ඔරුමිත්ත නාඩු" වකි.

    කෙටියෙන්ම කියතොත් මේ කුණුහරුපයකි. උපමාවක් දෙතොත් මේ වනාහි තෙසක රියක පිටුපස ගසා ඇති 4WD ස්ටිකරයක් වැන්නකි. ස්ටිකරයක් ගැසූ පමණින් සක තුනක් පමණක් ඇති රිය 4WD නොවන්නේ යම් සේ ද "ඒකීය" යන වචනය වාක්‍යයක ඇතුලත් කළ පමණින් ඒ වාක්‍යයේ තේරුම ඒකීය රාජ්‍යයක් ගැන විවරණය කරන්නක් බවට පත් වන්නේ ද නොවේ. සුමන්තිරන් සිතා සිටින්නේ සිංහලයන් සිංහලවත් නොදන්නා මෝඩයන් බවද ? මධ්‍යම ආයතන සහ පළාත් ආයතන සංයුක්ත වන්නා වූ රාජ්‍යයක් ඔරුමිත්තනාඩුවක් වන්නේ වුවත් එය ඒකීය රාජ්‍යයක් නම් නොවේ. සිංහලයින් වත්ත බද්දට දී ඇස්සට දත නියව නීයවා සිටීමට සූදානම් ද?
මේ ගෙනෙන්නට සැරසෙන (වික්‍රමසිංහට අනුව ගෙනෙන්නට සැරසෙන්නේ නැති) ව්‍යවස්ථාවට විරුද්ධ වීමට සිංහලයන්ට ඉහත හේතුවම පමණක් ප්‍රමාණවත් ය. එසේ වුවත් ඒ සඳහා තව හේතු බොහෝ ගණනක් පූර්විකාව තුල පමණක් අන්තර්ගය. සරළව කියතොත් සම්පූර්ණ පූර්විකාව ම කෙබරයකි.

වර්තමාන පාර්ලිමේන්තුවට නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම සඳහා ජනවරමක් නැත. ඒ සඳහා ඊනියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැත. එසේ පිහිටැවුණු ඊනියා මණ්ඩලයකින් පත් කෙරුණු ඊනියා විද්වත් කමිටුවේ සිංහල විරෝධීන්ගේ මත සමබර කිරීම පිණිස සිංහල ජනමතය නියෝජනය කිරීමට එක විද්වතෙක් වත් නැත. ඒ මණ්ඩලයේ සමහරු මේ ඊනියා වාර්තාව සැකසෙන වකවානුවේ රටෙත් නොසිටි බව ද සැළයි. මෙකී ලියැවිල්ල ජයම්පති වික්‍රමරත්නගේ සහ සුමන්තිරන්ගේ හවුල් පෙම් කතාව බවත් අනෙක් විද්වතුන් කළේ එයට කණ අස්සන් ගැසීම බවටත් කතාවක් පවතී.

මේ තත්වය යටතේ ඊනියා "ව්‍යවස්ථාවක ස්වභාවයේ උත්තරීතර නීතියක් පනවා සම්මත කරවා ගැනීම" ගැන කතාව බොරුවකි. එවැනි අභිලාශයක් ශ්‍රී ලංකාවේ මහජනතාව ප්‍රකාශයට පත් කර නැත. එවැනි අභිලාශයක් ඇත්දැයි දැන ගැනීම පිණිස නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතුව තිබිණි. එසේම "ශ්‍රී ලංකාවේ මහජනතාව" වන්නේ "වාර්තාව" යැයි වික්‍රමසිංහ විසින් හැඳින්වෙන මේ පල් හෑල්ල ලියූ වඳ කෙහෙල් ගස් දහය දොළහ නොවේ. මේ පුද්ගලයින්ට එවැනි ප්‍රකාශයක් ඇතුල් කිරීමට බලයක් දුන්නේ කවුද යන්නම ප්‍රශ්නයකි.

මේ පූර්විකාවේ ඇති විසුළු සහගතම කොටස පහත දැක්වේ.

".... අපගේ උත්තරීතර, වාර්ගික, ආගමික, භාෂාමය සහ සංස්කෘතික විවිධත්වය...."

උත්තරීතර - ආච්චිගේ රෙද්ද !


ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !