Tuesday, December 18, 2018

(අරලිය) ගහක් උඩ (පනස්) රැයක්

පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අනුව සෘජුව මුළු රටේම මහජන ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව වසර 4 ½ යන තුරු විසුරුවිය නොහැක. අනෙක් අතින්, ශ්‍රේෂ්ඨාධිකරණයම මීට පෙර දුන් තීන්දුවක් අනුව මීට පෙර වසරක් ලෙස පැවති ඒ කාල සීමාව ජනමත විචාරණයකින් තොරව දීර්ඝ කළ නොහැක. 19 වන සංශෝධනය සම්මත කර තිබෙන්නේ පාර්ලිමේන්තුව විසින් පමණි. මින් පෙර දුන් තීන්දුව සහ ගිය සතියේ දුන් තීන්දුව එකට ගත් විට ඉන් කියැවෙන්නේ 19 වන සංශෝධනය ජනමත විමසුමකට යොමු විය යුතුව තිබුණක් බවයි.
වික්‍රමසිංහ මාධ්‍යයට තර්ජනය කරන අවස්ථාවක් (ජායාරූපය: www.colombotelegraph.com)
වික්‍රමසිංහ මාධ්‍යයට පියෙකු සේ ඔවදන් දෙන අවස්ථාවක්
එබැවින් ජනාධිපති විසින් වහ වහා කළ යුතුව ඇත්තේ 19 අවශ්‍ය ද නැද්ද යි මහජනයා විමසීම පිණිස ජනමත විචාරණයක් කැඳවීම මිස වෙනකක් නොවේ. ගෞරවනීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සතියේ දුන් තීන්දුව අනුව තමන් ඉදිරිපිට ඇති ස්වර්ණමය අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීම ජනාධිපති විසින් කළ යුතුය. ඒ ජනමත විචාරණයෙන් තව බොහෝ දෙනෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ වනු ඇති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ මැතිවරණයටත් වාරණ නියෝගයක් දෙනු ඇති බවත් පුරෝකථනය කළ හැකි මුත් ශ්‍රේෂ්ඨාධිකරණයට එදිරිව ශ්‍රේෂ්ඨාධිකරණය නඩු කියන අවස්ථාවක් අපට මින් මතු දකින්නට ලැබෙන්නේ නැත.




Thursday, December 13, 2018

සුමන්තිරන් අගමැති කරවමු !

අප අනුමාන කළ අයුරින්ම, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූල නොවන බව අද දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරන්නට යෙදිණි. මෙය ඉතා පැහැදිළිවම ජනාධිපති සිරිසේනගේ පරාජයකි - එසේම රනිල් වික්‍රමසිංහගේ ද පරාජයකි. බැලූ බැල්මට කෙනෙකුට එය මහින්ද රාජපක්‍ෂගේ පරාජයක් සහ රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණයක් වශයෙන් අර්ථ දැක්විය හැකි වුවත් අපේ දෘෂ්ඨි කෝණය මීට වඩා වෙනස් ය. කෙසේ වුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්පූර්ණයෙන් අධ්‍යයනය නොකර ඒ ගැන එක හෙළා පැවසීම යුතු නැත.

A.සුමන්තිරන් ගරු මන්ත්‍රීතුමා
ඉහත නඩුවේ දී රනිල් වික්‍රමසිංහ (එජාප) පැමිණිළි පාර්ශවය නියෝජනය කළේය. ඔහුගේ සහයට සුමන්තිරන් (දෙරාප) සහ හකීම් (මුකො වෙනුවෙන්) සහ දිසානායක (ජවිපෙ) සහ තානාපති කාර්යාල විදෙස් අරමුදල් මත යැපෙන නොරාජ්‍ය සංවිධාන ඇතුළු තවත් පාර්ෂව පෙනී සිටියහ. ප්‍රතිවිරුද්ධ පාර්ශවය නියෝජනය කරන ලද්දේ මහින්ද රාජපක්‍ෂ ඇතුළු පොහොට්ටු නඩයයි. ඒ අර්ථයෙන් ගත් කළ මෙය ඔවුන්ගේ පරාජයකි.

ඉහත කී කණ්ඩායම් වෙන් වෙන් වශයෙන් ගත් කළ සිංහල ජාතික අභිලාශ හා වඩාත් සමපාත වන්නේ කවර කණ්ඩායමක ක්‍රියාකාරකම් දැයි විමසුවොත් මේ නඩු තීන්දුව අනුව සිංහලයා ද පරාජය වී ඇති බව නිගමනය කළ හැක. නීතිය දන්නෝ නම් අප වම්හ යි පාරම් බෑ උදය ගම්මන්පිල්ල, ජී.ඇල්.පීරිස් ආදීන්ගේ මුඛ මේ වන විට පූට්ටු වී තිබිය යුතු අතර මහින්ද රාජපක්‍ෂ තමාගේ සහචරයින්ට බලු බැණුම් බණිනු මට හීනෙන් මෙන් ඇසේ.




Tuesday, December 11, 2018

නඩුත් හාමුදුරුවන්ගේ

පසුගිය ඔක්තෝබර මස 26 දින ජනාධිපති සිරිසේන විසින් එවකට අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ මහබැංකු කොල්ලයේ ප්‍රධාන සැළසුම් කරු ලෙස සැළකෙන වික්‍රමසිංහ වෙනුවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජපක්‍ෂ පත් කිරීමට විරුද්ධව වික්‍රමසිංහවත්, ඔහුගේ සහචර සුමන්තිරන්වත්, වික්‍රමසිංහ වෙනුවෙන් බුරා පනින AK දිසානායකවත් උසාවි ගියේ නැත. ඒ ජනාධිපති නියමය නිත්‍යානුකූල සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව ඉටු කෙරී ඇති බවට අප විසින් සාධක කොට දක්වන ලද්දේ එම කරුණයි.

පසුව අභියාචනාධිකරණය විසින් කෝ වොරන්තෝ ආඥාවක් නිකුත් කරන්නේද නැත්ද යන නිගමනයට පැමිණීමට පෙර අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම පිණිස පාදක කර ගන්නා ලද්දේ වික්‍රමසිංහගේ කීකරු ජඩසූරිය විසින් ක්‍රම-විරෝධීව බිරුම් හඬින් සම්මත කර ගන්නා ලද්දේ යැයි නිවේදනය කර ගන්නා ලද ඊනියා විශ්වාසභංගය යි. තත්වයේ වෙනසක් ඇති කරමින් ජනාධිපති නියමය අනුව අග්‍රාමාත්‍යවරයා පත් කිරීම අභියෝගයට ලක් කරමින් ද දැන් පෙස්සමක් ඉදිරිපත් කර තිබේ.

පුණ්‍යාධාර ලබන පැමිණිලිකරුවෙක්

ඒ නඩුව ඉදිරිපත් කර ඇත්තේ මාක්ස් ආගමේ පූජකවරයෙක් විසිනි. එතුමෝ ඊට අමතරව බොහෝ වගකීම් දරන බව උසාවි පරිශ්‍රයේ දී ජනමාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කරන්නට යෙදිණි.



ඒ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක්, අධිකරණ සංඝනායක ධුරයක් (අධිකරණ සංඝ නායක ධුර ඇත්තේ බුද්ධ සාශනයේ බැවින් එතුමා සග ගණට අයත් බව නිගමණය කෙරේ - එනම් නිකංම චීවරධාරියෙක් නොවේ), පුරාවිද්‍යා උපදේශක, බුද්ධ සාශන අමාත්‍යංශයේ උපදේශක, රෝයල් ඒසියෑටික් සෝසයිටි එකේ සාමාජිකයෙක් ආදී වශයෙනි. ආධුනික ජනමාධ්‍යවේදියෙක් බව නිගමනය කළ හැකි ප්‍රශ්න අසන භවතා ප්‍රශ්න අසන්නට දන්නේ නැති බැවින් දඹර අමිල තුමා තමන්ම ප්‍රශ්නය අසාගෙන තමන්ම උත්තරය දෙයි. ඒ උත්තරය සරළය - ලිට්‍රෝ සමාගමේ CSR සඳහා වෙන් කෙරෙන මුදලින් තමන්ගේ සමාජ සේවා කටයුතු සඳහා පුණ්‍යාධාරා ලබාගෙන ඇති බවත් තමන් උදර පොෂණය (හෝ හොරඹුවන් නඩත්තු කිරීම හෝ) උදෙසා කිසි මුදලක් භාවිතා කර නැති බවත් පිළිතුරේ සාරාංශය වෙයි.



මේ පිළිතුර මුදල් ගෙවූ ලැයිස්තුවේ ඉතිරි අයත් ජප කළොත් දැනට හෙළි වී ඇති කරුණු අනුව ලිට්‍රෝ සමාගම ලංකාවේ සමාජ සත්කාර උදෙසා වැඩිම මුදලක් වෙන් කරන රාජ්‍ය ආයතන බවට පත් වීමේ ඉඩකඩක් ඇත. එවිට ලිට්‍රෝ ගෑස් භාවිතා කර ළිපගිනි දල්වන අපත් ඇතුළු ශ්‍රී ලංකාවේ මහජනතාව පෞද්ගලික මුදලින් පිං කිරීම අවශ්‍යම නැත.

ගෑස් ළිප පත්තු කරන වාරයක් පාසා පිං සිදු වන බැවින් කසාද බැඳ හනිමෝන් ගොස් ගෙදර එන අභිනව ගෘහණියක් තම ස්වාමි පුරුෂයාට තමන් අතින් උයන මංගල බත් පිඩ (ලංකාවේ වර්තමාන යුවතියන් කෑම උයන්නේ කසාද බැන්දාට පසුය සමහරු ඒත් කඩෙන් කති) පිළිගැන්වීමත් පෙර සකල ක්ලේශයන් ප්‍රහීන කර නිවන් නොදකින්නේ පිං කිරීමෙන් පමණක් නිවන් නොදකින බැවින් මිස වික්ටර රත්නායක කෙසේ ගැයුවත් නිවන් දැකීමට පිං මදි වීමෙන් නම් නොවේ.


Friday, December 7, 2018

නඩුව කල් ගියා

ජනාධිපති සිරිසේන විසින් ස්වකිය බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තුලින් තම මූලික අයිතිවාසිකම් කඩ වන්නේ යැයි විදෙස් අරමුදල් මත ක්‍රියාත්මක වන නොරාජ්‍ය සංවිධාන සහ ලංකාවේ දේශපාලන පක්‍ෂ කිහිපයක්, ඊනියා ස්වාධින මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් සාමාජිකයෙක් සහ තවත් අය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සම් හේතුවෙන් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ ක්‍රියාවලිය දින නියමයක් නොමැතිව කල් ගියේය.

පාර්ලිමේන්තුවේ පක්‍ෂ සංයුතිය
ඒ අතර හිටපු අගමැති සහ මහා බැංකු මංකොල්ලයේ ප්‍රධාන මොළකරු ලෙස සැළකෙන රනිල් වික්‍රමසිංහ විසින් අධ්‍යක්ෂණය කෙරෙන නාට්‍යයේ පොතේගුරු නොහොත් වික්‍රමසිංහගේ කීකරු ජඩසූරිය යන ආදර නාමයෙන් හැඳින්වෙන පාර්ලිමේන්තුවේ කතානායක තැන්පත් කරුණාරත්න ජයසූරිය සහ සහචරයින් විසින් දියවන්නා රංග පීඨය ඒකාලෝක කරමින් මහජන මුදල් කෝටි ගණනින් කාබාසිනියා කරමින් මහජනතාවට නාට්‍ය රසය බලෙන් කවමින් සිටී. තම නාට්‍යය සජීවී විකාශය නොකළ බවට චෝදනා කරමින් ජනමාධ්‍ය ප්‍රධානීන් පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත ගෙන්වා තර්ජනය කිරීම එහි නවතම පරිච්චේදයයි. මේ නාට්‍යයේ නිෂ්පාදනය තානාපති කාර්යාල කිහිපයකිනි, පිටපත රචනා කරන්නේ සුමන්තිරන් ය. අප එය මුදල් ගෙවා නැරඹිය යුතුය. වෙන නාට්‍ය මුදල් නොගෙවා නො-නරඹා සිටිය හැකි මුත් තානාපති-සුමන්තිරන්-වික්‍රමසිංහ-ජයසූරිය සහ සුනඛ නළු AK දිසානායක ඇතුළු පිරිවර විසින් පෙන්වන මේ නාට්‍යය නොබැලුවත් මුදල් ගෙවිය යුතුය.

උඩ පින්තූරය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි. එහි දැක්වෙන්නේ වර්තමාන (මේ වන විට විසුරුවීම අත්හිටවා ඇති) පාර්ලිමේන්තුවේ පක්‍ෂ සංයුතියයි.



ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !