Monday, March 11, 2019

අරුලනන්දන් අරුන් සිද්ධාර්ත් මෛත්‍රීයන් වූ හැටි

පසුගිය සති කිහිපයේ සිංහලයින් අතර ජනප්‍රිය වූ චරිතයක් වූයේ අරුලානන්දම් අරුන්ය. ඔහු තමා හඳුන්වා ගන්නේ අරුන් සිද්ධාර්ත් මෛත්‍රියයන් නමිනි. ඔහුම පවසන අන්දමින් අරුන් සිද්ධාර්ත් මෛත්‍රියයන් යනු තමාගේ තෙවැනි දරුවාගේ නමයි.



සිංහල අපට මෙන් නොව දෙමළුන්ට ඇත්තේ එක නමක් පමණි. සිංහල අපට පරම්පරාවෙන් ලැබෙන නමක් හෙවත් වාසගමක් තිබේ. පේඩි දුරයලාගේ ඩිංගිරියා කී විට 'පේඩි දුරයලාගේ' යනු පරම්පරාවෙන් එන නමයි, 'ඩිංගිරියා' යනු පුද්ගල නාමයයි. ඌරුවරිගේ වන්නියා කී විට 'ඌරුවරිගේ' යනු පරම්පරාවෙන් එන නමයි, 'වන්නියා' යනු පුද්ගල නාමයයි. බටහිර ආභාෂය අනුව නම් තැබීම ජනප්‍රිය වූ පසු වාසගම අගට ගියේය. සමහර සිංහලයෝ නමට මුලිනුත් අගිනුත් වාසගම් තබා ගනිත්. වර්ණකුලසූරිය පටබැඳිගේ උශාන්ත ජෝසප් චමින්ද වාස් ආදී වශයෙනි. මෙහි සැබෑ නම (නම්) වන්නේ උශාන්ත ජෝසප් චමින්ද යන්නයි. Solomon West Ridgeway Dias Bandaranaike නමින් ජනප්‍රිය හිටපු අග්‍රාමාත්‍යවරයාගේ පුද්ගල නාමය West Ridgeway යන්න පමණකි. එයත් ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරයෙක් සිහි වීමට තබන ලද්දකි. ඉතිරිය පරම්පරා නාමයයි. ඔහුගේ පියාගේ සම්පූර්ණ නාමය Solomon Dias Abeywickrema Jayatilleke Senewiratna Rajakumaruna Kadukeralu Bandaranaike වේ. මෙහි පුද්ගල නාමය කුමක්ද පරම්පරා නාමය කුමක්දැයි වෙන් කර හඳුනා ගනු සමත්හු වෙත්ද? සැබැවින් ඔහුගේ පුද්ගල නාමය Rajakumaruna Kadukeralu පමණකි.



දෙමළු මෙවැනි දිගු නම් පරම්පරාවෙන් පරම්පරාවට නොගෙනියති. උහු තම දරුවාට එක නමක් පමණක් තබති. ඒ නමත් බොහෝ විට දෙවියෙකුගේ නැතිනම් දේවතාවියකගේ නමකි. විෂ්ණු දෙවියන්ට නම් දහසක් ඇති බව මහාභාරතයේ කියැවේ. ජනප්‍රිය ක්‍රිකට් නිවේදක ලක්‍ෂ්මන් සිවරාමක්‍රිෂ්ණන් සිහියට නැගේ. දෙවියෝම සිව් දෙනෙක් එහි වෙති. රජය සමග කටයුතු කරන තැන්හි වාසගම අසන නිසා හෝ නැතිනම් බූදල් පිළිබඳ ගැටළු ඇති නොවීම පිණිස හෝ පවුල සමග ඇති බන්ධනය පෙන්වීම පිණිස පියාගේ නම සමහර විට යොදත්. ඒ අනුව පෙරියසාමි ගේ පුත්‍රයා පෙරියසාමි තංගවේළු විය හැකි අතර ඔහුගේ දියණිය තංගවේළු කමලිනී වන්නීය. කමලිනී වාසුවන් හා විවා වී ලැබෙන දරුවා වාසුවන් ජයපාලන් වීමට ඉඩ තිබේ.

ඉහත ක්‍රමය අනුව අරුලානන්දම් ගේ දරුවාට අරුන් යැයි නම තැබූ විට ඔහු අරුලානන්දම් අරුන් ලෙස ලේඛන වල හැඳින්වෙනු ඇත. අරුන්ට ද කොළු පැටියෙක් උපන් කළ ඔහුට සිද්ධාර්ත් මෛත්‍රියයන් යනුවෙන් නම් තැබීමේ බාධාවක් නැත. එක නම වෙනුවට දෙකක්ම දැමීම දුලභ මුත් ඊට තහනමක් නැති බැවිණි. එසේ වුවත් දරුවාට දැමූ නමින් පියා පෙනී සිටීම නම් ප්‍රචාරක උපක්‍රමයකි.



අරුන් ගේ කතා ගැන සැවොම කතා කරන බැවිනුත් ඔහු සිංහලයන් අතර වීරයෙක් ලෙස පිළිගැනීමට ලක් වී සිටින බැවිනුත් ඔහු ගැන නොදැන සිටීම සමානයන් අතර කොන් වීමට හේතුවකැයි සිතා ඔහුගේ සංවාද එකක් නොව තුනක් ම සොයාගෙන නැරඹුවෙමි. මේ ගැන උනන්දුවක් දැක්වූ යාපනයේ මිතුරෙකුට ඉන් එකක් පෙන්වූ විට ඔහුගේ ඇස් උඩ ගියේ පුදුමය නිසාමය. අරුන් ගේ සිංහල එතරම් ම නො-යාපන සිංහලයෙකැයි ඔහුගේ අදහස විය. ඒ අදහස ගැන එකඟ විය යුත්තේ යාපනයෙන් පැමිණි අප සමහර මිතුරන් ඉතා අපහසුවෙන් වහරණ සමහර සිංහල වචන අරුන්ගේ දිවේ නොගෑවී පහළට රූරා හැලෙන අන්දම දුටු විටය.

අරුන්ගේ කතා අතරින් ඉතාම වැදගත් කතාව දෙමළ රාජ්‍ය පක්‍ෂය ගැන කතාවයි. "දෙමළ ජාතික සංධානය ලෙස පෙනී සිටින දෙමළ රාජ්‍ය පක්‍ෂය" යනුවෙන් අප විසින් දෙතිස් කතාව පුරාම ඒ පක්‍ෂය හඳුන්වා දී ඇති වාර ගණන විසි තිස් ගණනකට වඩා වැඩි මිස අඩු නොවෙයි. සම්පන්තන්ගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුවේ සිටින කණ්ඩායම ඊට තේරී පත් වී සිටින්නේ ඉහත කී පක්ෂයෙනි - ඒ මිස දෙමළ ජාතික සංධානය යනුවෙන් දේශපාලන පක්‍ෂයක් හෝ පෙරමුණක් හෝ නැත.

ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය දෙමළෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි නම් වෙයි. එහෙත් ඉංගිරිසියෙන් එය පෙඩරල් පක්‍ෂය නමින් හැඳින්වෙයි. එය ආරම්භ වන්නේ 1949 දී ය - ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇති වීමටත් පෙරය. අපට උගන්වන්නට උත්සාහ කරන්නේ දෙමළුන් වෙනම රාජ්‍යයක් ඉල්ලන්නට හේතුව සිංහලය රජබස කිරීම හේතුවෙන් බවය. ඒ ප්‍රවාදයට අනුව නම් චෙල්වනායගම් ඇතුළු දෙමළ රාජ්‍ය පක්‍ෂ නායකයින් අනාගතය දකින නුවණින් යුතු පිරිසකි.

සත්‍යය නම් දෙමළුන් සිංහල රාජ්‍යය අත්පත් කර ගන්නට එහි අධිපතීන් වන්නට උත්සාහ කළ බවත් එය අසාර්ථක වූ බවත් ය. මෙහි තීරණාත්මක සන්ධිස්ථානය පොන්නම්බලම් ගේ පණහට පණහ ඉල්ලීමයි. එය අසාර්ථක වූ බැවින් ඉංගිරිසින් අතින් යම් දිනෙක සිංහලය අත්පත් කරගෙන එහි අධිපතීන් වීම ගැන සිහිනය පසෙක තබා සිංහලයෙන් හැකි තරම් භූමි ප්‍රමාණයක් උකහාගෙන එහි තනා ගන්නා දෙමළ රාජ්‍යයක අධිපතීන් වීමට ඒ දෙමළ නායකයින් හිත හදා ගැනීම පෙඩරල් පක්‍ෂය ඇති වීමේ හේතුවයි. සමහර විටෙක එහි පය ගසාගෙන අනාගත බලවත් ඉන්දීය රාජ්‍යයක ආධාර ඇතුව මුළු සිංහලයම යටත් කර ගැනීම දීර්ඝ කාලීන සැළසුම වූවා ද විය හැක. එසේ නොකර පසුව තමිල් ඊලම් ලෙස නම් කර ගත් ඒ ප්‍රදේශ වල පවත්නා ජල හිඟයට විසඳුම් නැත.



ඊනියා පෙඩරල් පක්‍ෂය හෙවත් ඉලංකෙයි තමිල් අරසු කච්චි හැඳින්වීමට ලංකාවේ දේශපාලනඥයන්ටත් ජනමාධ්‍ය වලටත් සිංහල වචනයක් නැත. එක්කෝ දෙමළ සංධානය නැතිනම් දෙමළ ජාතික සංධානය කියති. එසේ නැතිනම් අමු දෙමළෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි කියති. එසේත් නැතිනම් එයම කෙටි කර ITAK කියති. හරි සිංහල වචනය නොකියති. ආචාර්‍ය නලින් ද සිල්වා මේ කරුණ වසර ගණනක සිට පෙන්වා දුන්නත් කිසිවෙක් කණකට ගත්තේ නැත. ඔහුට පෙර ආචාර්‍ය හරිස්චන්ද්‍ර විජයතුංග ඒ බව අපට කියා දුන්නේය. කණකට ගත්තෝ නැත. දැන් මුඛ පූට්ටු වී සිටියත් ඇමති පාඨලී මේ කරුණ නොදන්නේ නොවේ - එහෙත් අවස්ථාවාදය හේතුවෙන් ඔහුත් නියම සිංහල වචනය ප්‍රකාශ කරන්නේ නැත. සිංහල ඡන්ද වලට කෙළ පෙරණ වීරවංශලා දෙමළ රාජ්‍ය පක්‍ෂය යන නම නිතර භාවිතා නොකරන්නේ ඇයි ?

ඉහත සියල්ලන්ට දෙමළෙක් වන අරුන් විසින් දුන්නේ අතුල් පහරකි. දේශපාලනඥයන් සිංහල දෙමළ වෙනසක් නැතිව සිතන්නේ තමා ගැන මිස අප ගැන නොවන බව අරුන් සිංහලෙන් කෑ ගසා පවසන කාරණය වෙයි. මේ අප නොදන්නා දෙයක් හෝ අපට අලුත් දෙයක් හෝ නොවෙයි. එසේම ඔහු දෙමළ ජාතිවාදයටත් පහර දෙයි. අරුන් සිංහලයින් අතර වීරයෙක් වන්නේ ඉහත හේතු ද්වය කරණ කොටගෙනය. සිංහල ජනතා උප විඥාණයේ දේශපාලනඥයන් සහ දෙමළ ජාතිවාදීන් ගැන සටහන් වී ඇති චිත්‍රය සමග අරුන් ගේ කතාව සමපාත වෙයි. සාමාන්‍ය අපට හඬක් නැත - ජනමාධ්‍ය අපට අපේ අදහස් වලට ඉඩක් නොදෙයි. අපට කීමට ඇති දේ ජනමාධ්‍යයේ ඉඩ කෙසේ හෝ ලබාගෙන අපට වඩා හොඳින් පවසන මිනිසා වීරයෙක් ලෙස සැළකීමේ වරදක් දැකිය නොහේමය.



එහෙත්,

දෙමළෙක් වන අරුන් එය කියා දිය යුත්තේ සිංහල අපට ද? නැත!

අරුන් ජනමාධ්‍ය වලට පොදුවේත් අතිපණ්ඩිතයන් ලෙස පෙනී සිටින ජනමාධ්‍යවේදීන්ට විශේෂයෙනුත් මේවා කියා දීම අගය කළ යුතුය. එහෙත් ඔහුගේ සැබෑ ශ්‍රාවකයන් විය යුත්තේ දෙමළුන් ය - යාපනේ දෙමළුන් ය - වෙල්ලාලයන්ගේ පීඩනයට මර්ධනයට හා පහත් කොට සැළකීමට නිරතුරුව භාජනය වන සාමාන්‍ය දෙමළුන් ය.

අරුන් සෑම කතාවකදීම ආවා කල්ලිය කියා එකක් නැතැයි පුන පුනා ප්‍රකාශ කරයි. ඒ ගැන වැඩිදුර ප්‍රශ්න කළ විට වැල් බයිලා කියා මග හරී. අරුන් අද ඔතැන (එනම් ජනමාධ්‍යයේ) සිටින්නේ ආවා කල්ලිය කියා දෙයක් ඇත්ත වශයෙන් ම ඇති නිසාය. ආවා කල්ලිය නොවන්නට අරුන්ට ජනමාධ්‍යයේ ඉඩක් විවර වන්නේද ? නැත. ආවා කල්ලිය කියා එකක් නැතිනම්, එහි නායකයා යැයි අරුන් හඳුන්වා දී කරන සාකච්චාවේ තේරුම කුමක්ද ? අරුන් ඒ බව නොපිළිගන්නා බව සැබැවි. "ඔබ ආවා කල්ලියේ නොවේනම් ආවා කල්ලිය කියා එකක් නැතිනම් මොන හු*** මෙතැන කරන්නේ" කියා සාකච්චාව අවසාන කර ඔහු පන්නා දැමීමට ජනමාධ්‍ය වලට කොන්දක් නැත. රටට ලෝකෙට මෙලෝ දෙයක් කර නැති නිකංම නිකං යාපනේ කොල්ලෙක් එක්ක සාද සාමීචි බලා ඉන්නට රටේ මහජනතාවට පිස්සුද ?

එසේම ඔහු යාපනයේ හමුදාකරණය ගැන කතා කරයි. යාපනයේ නොව රටේ ඕනෑම තැනක නිතර දෙවේලේ පෙනෙන අන්දමට හමුදාව සිටිය යුතු නැත. අරුන් සහ අනෙක් දෙමළු සිතා සිටින්නේ හමුදා සෙබළු විනෝදයට මුර සංචාර යන බවද ? හමුදාව රටේ කිසියම් ස්ථානයක මුර සංචාර කරන්නේ නැතිනම් මුරපොළවල් දමන්නේ අතේ පයේ හිරි ඇර ගැනීම පිණිස නොවේ. එය ආරක්ෂාව පිණිස අවශ්‍ය නිසාය. කඩු හරඹ පෙන්නා මිනිසුන් කපා කොටා බයිසිකල් වලින් පැන යන විට හමුදාවට බැරැක්ක වලට වී සිල් රැකිය නොහැක. හැරත් බෙදුම්වාදී කැරැල්ලක් පැවති ප්‍රදේශයක, ඒ කැරැල්ලට විදේශ ආධාර ලැබුණු බව පැහැදිළිව පෙනෙන සත්‍යයක් ව පවතින විට, කැරැල්ලට යොමු වූවන් සහ ආධාර කළවුන් සම්පූර්ණයෙන් මර්ධනය නොකෙරී (මින් අදහස් කෙරෙන්නේ සමූලඝාතනය නොවේ) පවත්නා විට නිකංම හමුදාව ඒ ප්‍රදේශ වලින් ඉවත් කිරීම ප්‍රයෝගික නැත.



අරුන්ගේ කතාව එසේම තිබියදී සිවාජිලිංගම්ගේ කතාව අසමු.



6 comments:

  1. අරුලනන්දන් අරුන් කාගේ හරි දේශපාලන ඉත්තෙක්. මම මුලින් හිතුවේ අරුන් ගෝඨාභයගේ ජනාධිපතිවරණ ව්‍යාපෘතියේ කොටසක් කියල, හැබැයි වික්කමසින්ගයා තකහනියේ කට ඇද දත් දොස්තරයත් ඇදගෙන අරුන් බලන්න යනකොට තත්වය ටිකක් සංකීර්ණ උණා. කොහොම උනත් මිනිහ යාපනේ දෙමළුන්ට විකල්ප දේශපාලන තෝරා ගැනීමක් දෙනවා, ඒක වැදගත්.

    සිවාජිලිංගම් එච්චර වැදගත් පොරක් නෙමෙයි, මිනිහ නන්දිකඩාල් වල අමුඩේ පිටිං පතබාලා හිටපු බංකර් තම්බිගේ ඥාතියෙක් ලු - මම හරියටම දන්නේ නෑ. මිනිහ කියන කතාව මිනිහාගේම කතාවක් නෙමෙයි. මම ඔය කතාව කුමාර පොන්නම්බලම් කියනවත් අහල තියෙනවා. අන්න ඩයල් !

    ReplyDelete
    Replies
    1. අරුන් ගෝඨාභයගේ ජනාධිපතිවරණ ව්‍යාපෘතියේ කොටසක් යැයි අපට සිතුණේ නැත. එහෙත් ඔහු දේශපාලනයක් කරන බවටනම් සැකයක් නැත. ජාතිවාදී විරෝධය (anti racism), සමානාත්මතාවය හා පෞද්ගලික නිදහස (liberty) අගය කිරීම මා ඔහුගෙන් දුටු ලක්‍ෂණ වේ. මේවා යාපනයේ කොතෙක් දුරට අළෙවි කළ හැකිදැයි අවබෝධයක් නැත. යාපනයේ නොව සිංහල වැඩි ප්‍රතිශතයක් වෙසෙන වෙනත් ප්‍රදේශයකින් මැතිවරණයකට ඉදිරිපත් වෙතොත් මන්ත්‍රීධුරයක් හිමි කර ගැනීම නම් ඔහුට අපහසුවක් නැතැයි සිතමි.

      Delete
  2. නිසැකවම අරූන් යනු කාගේ හෝ දේශපාලන් දාම් ලෑල්ලක ඉත්තෙකි.
    ඒ කාගේ පැත්තේ ඉත්තෙකුදැයි ජනතාව දැනටම ඉවෙන් මෙන් වටහාගෙන සිටිති.
    අරූන් ගැන නැගුනු හඬ නැගුනු වේගයෙන්ම බැස ගියේ ඒ නිසායැයි මම සිතමි.

    ReplyDelete
    Replies
    1. මේ ගැන අපට පැහැදිළි අදහසක් නැත.

      Delete
  3. ගෝඨාභය ද කරුජය සූරිය ද ?

    ReplyDelete
    Replies
    1. නයනෙ - සිතුවිළිMarch 21, 2019 at 9:48 PM

      කරූ ජයසූරිය කියන රූකඩය රනිල් භාවිතා කරන්නේ සිංහල බෞද්ධ චන්ද ඩැහැ ගැනීමේ කූට අරමුනින්මය.

      සිංහලයා මෙවරත් රැවටෙයිද?

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !