Thursday, September 3, 2020

මිළින්ද ප්‍රශ්ණය සහ හුදී ජනයා





ඒ ජනාධිපති රාජපක්‍ෂගේ fb පිටුවෙන් උපුටා ගත්තකි. එහි වැඩි දුරටත් මෙසේ දැක්වේ.

"මෑතකදී මා ප්රමුඛ රජය විසින් කරන ලද යම් යම් පත්වීම්වලට විරුද්ධව විවිධ බලපෑම් ඉදිරිපත් වෙමින් පවතී. මේ පත්වීම් සියල්ල සිදු කරන ලද්දේ, අප රටේ ස්වෛරීත්වය, ජාතික ආරක්ෂාව මෙන්ම සෞභාග්යයේ දැක්ම ප්රතිපත්ති ප්රකාශය ක්රියාත්මක කිරීම වැනි ඉතා සුවිශේෂී කරුණු සලකා බලමිනි. එමෙන්ම, පත්වූ පුද්ගලයන්ගේ ජාති හිතෛෂිබව, සුදුසුකම් සහ පසුබිම පරීක්ෂා කොට අවස්ථාවෝචිත පරිදි රජයේ ප්රතිපත්ති සාර්ථකව ඉදිරියට ගෙන යාමට හැකි ආකාරයට පත්වීම් කර ඇති බැව් මම අවධාරණය කරමි.

ගැඹුරින් සිතා බලා කරන ලද පත්වීම් වෙනස් කොට, විවිධ බලපෑම් නිසා වෙනත් අය ඒ සඳහා යෙදවීමට කිසිදු අපේක්ෂාවක් මා තුළ නොමැත. එබැවින් යම් පත්වීමකට විරුද්ධව එය වෙනස් කරන ලෙස තමන්ට හෝ රජයට බලපෑම් නොකරන ලෙස මම සියලුදෙනාගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිමි.

පත්වීම්වලට විරුද්ධව අදහස්, උදහස් පළ කිරීමෙන් එසේ තෝරා පත් කරගත් පුද්ගලයින්ට භාර දෙන ලද කාර්යය හා කර්තව්යය නිසි පරිදි ඉටු කිරීමට නොහැකි වනවා පමණක් නොව, සමාජය තුළ එම පුද්ගලයින් අවතක්සේරුවකට ලක්වීමෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ ද දුර්වල වනු ඇත."


මේ නිවේදනය නිකුත් කිරීමට හේතු වන්නේ නව රජයේ කැබිනට් මණ්ඩලය පත් කිරීමේ සිට පහළට මෙතෙක් කෙරුණු යම් යම් පත් කිරීම් ය; එසේ නැතිනම් පත් නොකිරීම් ය.



ලංකාවේ දෙවැනියට වැඩිම මනාප ලැබූ සරත් වීරසේකර මන්ත්‍රීවරයාට රාජ්‍ය අමාත්‍යධුරයක් පමණක් ලබා දීමත් අග්‍රාමාත්‍යවරයාගේ පුත්‍රයාට කැබිනට් අමාත්‍යධුරයක් ලබා දීමත් එකකි. කිසි මනාපයක් නැතිවත් ජනාධිපතිවරයාගේ නඩු වලට (නොමිලේ?) පෙනී සිටීම පමණක් හේතුවෙන්, පත් කළ මන්ත්‍රී මොහොමඩ් අලි මහතාට බලවත් කැබිනට් ඇමති ධුරයක් වන අධිකරණ ඇමති ධුරය ලබා දීමත් තවත් හේතුවකි. කුමන්ත්‍රණ පිළිබඳ විශාරද විමල් විරවංශ මහතාට අනුව ජනාධිපති ලේකම් වරුන් අතරත් CIA කුමන්ත්‍රණ කරුවන් සිටී; ඔවුන් පැත්තකින් තබමු, ජනාධිපති ලේකම් වරයාත් විමල් විරවංශ මහතාට අනුව ආර්ථික ඝාතකයෙකි. පසුගිය මැයි මාසයේ කුප්‍රකට පඩි-බාගේ ගොන් කතාව කීමෙන් පසුව මෙතෙක් ඔහු කළ කී දෑ අනුව විමල් විරවංශ හරි යැයි අපට සිතෙන්නට ඉඩ තිබේ. මිළින්ද ප්‍රශ්ණය පැණ නගින්නේ මේ අතර ය.

දැන් ජනාධිපති මෙකී සකලවිධ පත් කිරීම් පිළිබඳවම නිල වශයෙන්ම නිවේදනයක් නිකුත් කර තිබේ. මේ නිවේදනයේ හරය වන්නේ "දැන් කට වහගෙන හිටපල්ලා" යන්නය. පුඤ්චි බණ්ඩා ජයසුන්දර මහතා දෙරණ නාලිකාවේ පෙනී සිටිමින් දිල්කා සමන්මලී සමග කළ සංවාදය අනුව පැහැදිළි එක දෙයක් නම් මහජනතාව දැන් 'දෙන දෙයක් කා බී වෙන දෙයක් බලාගෙන සිටීමට' හිත හදාගෙන සිටින බවට පූර්ව නිගමනයක ආණ්ඩුව සිටින බවයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂගේ ඉහත නිවේදනය හේතුවෙන් මිළින්ද ප්‍රශ්නය කතා කිරීමේ අදහස අතහැර දැමීමට අපට සිදු වෙයි, ඒ ගැන ගැටළුවක් නැත. නමුත් තවත් නිවේදනයක් මේ දින වලම ප්‍රචාරය විය. එහි හරය තමන් රාජ්‍ය උත්සව වලට මිස මගුල් ගෙවල්, කොටහළු ගෙවල්, පාටි වලට, කඨින පිංකම් වැනි පෞද්ගලික උත්සව වලට නොපැමිණෙන බවත් ඒවාට ආරාධනා නොකළ යුතු බවත් ය.

මෙහි හොඳ පැත්තක් ද ඇත. අප ඡන්දය දී ජනාධිපති කෙනෙක් පත් කර ගන්නේ අනුන්ගේ මගුල් වලට අස්සන් කරන්නට නොවේ. නමුත් එහි නරක පැත්තක් ද ඇත. ජනාධිපති ඉහත උපුටා දැක්වූ පළමු නිවේදනයෙන් කියන්නේ තමන් කළ පත් කිරීම් කාගේවත් බලපෑම් වලට වෙනස් නොකරන බවය. එනම් ඔහුගේ තීරණ ගැනීමේ සහායක කල්ලිය ඔවුන් බවය. රනිල්ගේ තුම්මුල්ලේ ඉස්කෝලේ ආදී ශිෂ්‍ය සංගමය මෙනි. අනෙක් පැත්තෙන් අර නොයනවාය කියන "පෞද්ගලික" අවස්ථා ඔහුගේ සහචර කල්ලියේ නොවන අයට (මේ අප වැනි සාමාන්‍ය ජනයා නොවීම වෙනම කතාවකි) ඔහු වෙත සමීප වී තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට ඇති අවස්ථා අහිමි කිරීමකි. මේ තමන් විසින්ම තනා ගත් සිර කූඩුවක තමන් විසින්ම වැටීමකි. රත්තරනින් තැනුවත් සිර කූඩුව නම් සිර කූඩුවම වෙයි. මේ එතරම් හොඳ දෙයක් නොවේ.



ලංකා ඉතිහාසයේ සඳහන් වන වඩාත් ධාර්මිකම රජතුමා කවුදැයි ඇසුවොත් ඊට සෘජු පිළිතුර එළාර නම් වෙයි; වෙනත් පිළිතුරු නැත. ඔහු ධාර්මික යැයි කියැවෙන්නේ ඒ රජතුමා විසින් නීතිය සැමට සමානව ක්‍රියාවේ යෙදැවූ බැවිනුත් රටවැසි තිරිසනෙකුට වුව (මෙය අතිශයෝක්තියක් විය හැක - එසේ වුවත් ගින්නක් නැතිව දුමක් නොනගී) රජු වෙත කෙළින්ම පැමිණ පැමිණිලි කිරීමේ යාන්ත්‍රණයක් තිබීමත්, එයින් සාධාරණය ඉටු වන සහ එසේ වන බව මහජනතාවට පෙනී ගිය බැවිනුත් නිසා මිස ඊනියා ධර්ම යුද්ධය යැයි නම් කර මිණී මරණ යුධ කළ බැවින් වත් සත්‍ය ක්‍රියා කර වැසි වැස්සවූ බැවින් වත් නොවේ.

වර්තමාන ගෝඨාභය රජතුමා තෝරා ගෙන තිබෙන්නේ මෙහි අනෙක් පැත්තයි. ආනවිළුන්දාව ඩෝසර් කරන්නේ යැයි කී විට ඔහු කරන්නේ හොරාගේ ඡන්ද ප්‍රතිග්රාහකයාගෙන් ඒ ගැන ඇසීමයි; සිංහරාජය කපන්නේ යැයි කී විට ඔහු කරන්නේ කැලය කපන්නට බලපෑම් කළවුන් සමග මාධ්‍ය ඉදිරියේ සංවාදයේ යෙදීමයි. පත් කිරීම් විවේචනය කළ විට දැක්වූ ප්‍රතිචාරය ඉහත දැක්විණ.

මේ යන පාර නම් මහළු වේදේහ රාජයා සේනක පුක්කුසාදී පඬි වරුන් සමග ගිය ගමනයි. වේදේහ රාජයාට තමන් ගැන අවබෝධයක් සහ තමන්ගේ පණ්ඩිතයන්ගේ තරම ගැන අවබෝධයක් තිබූ නිසා ළදරු මහෞෂධ පණ්ඩිතයන් සොයා ගැනීමට හැකි විය. එහි ප්‍රතිඵලය අටළොස් අක්ෂෞහිනියක් මහා සතුරු සේනාව විසින් වට කළේ වුවත් මියුළු නුවර ලේ බිඳකුදු නොසොල්වා ගළවා ගත හැකි වීමයි. ගෝඨාභය රාජයාට තමන් ගැනත් තමන් වටකොට සිටින ළාමක-පණ්ඩිතයන් ගැනත් හරි හමන් තක්සේරුවක් තිබේද ?




ප.ලි: 19 සහමුළින් අහෝසි කරණු මිස කෑලි කෑලි අහෝසි කළ යුතු නැත. එසේ කිරීමේදී:
  • ජනාධිපති ධුර කාලය අවුරුදු 5 සිට 6 දක්වා වැඩි වේනම් එය අවුලක් නොවේ. ඊට අකමැතිනම් මේ ධුර කාලයට පමණක් බලපාන අන්තර්කාලින විධිවිධානයක් සළසා ලිය හැක. එසේ නැතත් ජනාධිපති කැමතිනම් අවුරුදු හතරෙනුත් ජනාධිපතිවරණයක් තැබිය හැක.
  • ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රීධුරයට නුසුදුස්සන් කිරීම 19 යේ යහපත් ප්‍රතිපාදනයකි. එසේ වුවත් එය ඉතුරු කරගෙන 19 අහෝසි කළ යුතු නැත. 19 අහෝසි කර එය පසුව ගෙනෙන ව්‍යවස්ථාවක ඇතුල් කළ හැක.
  • තොරතුරු දැන ගැනීම මූලික අයිතියක් කිරීම මෙතෙක් පට්ටා ගැසූ 19 හොඳකි. එය විදෙස් අරමුදල් ලබන නොරාජ්‍ය සංවිධාන වලට මිස අප වැනි හුදියන්ට වැඩක් නැත. ඒ නිසා ඒවා රැක ගැනීමට එතරම් වද විය යුතු නැත. කොහොමත් කොළේ වසා ගැසීමට දක්‍ෂ රනිල් වික්‍රමසිංහ තොරතුරු දැන ගැනීමේ පනත නමින් ගෙන ආවේ තොරතුරු වසන් කිරීමේ පනතකි. ඒ නිසා මේ ප්‍රතිපාදන එතරම් වැඩක් ද නැත.
  • මහජනතාවට තමන්ගේ පරමාධිපත්‍ය බලය සෘජුවම ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව සැළසෙන ජනමත විචාරණය 19 වන සංශෝධනයෙන් පාර්ලිමේන්තුවට යට කොට ඇත. මේ තනි හේතුව නිසාම 19 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී ය. එය කිසිදු සළකා බැලීමකට යටත් නොකර විසි කර දැමිය යුතුය.
  • මහජනතාව විසින් ජනාධිපතිවරණයකදී තනි පුද්ගලයෙක් වෙත පවරා දෙන පරමාධිපත්‍ය බලයේ විධායක සංරචකය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නම් නොරාජ්‍ය සංවිධාන බැලයන් බලය හසුරුවන කෝලම් මඩුවකට පවරා දීම පාතාල ගේමකි. මෙය කළ සුමන්තිරම්-ජයම්පති බාන හැංගූ ආයුධ සොයන්නට රැගෙන යා යුතුව තිබේ. මේ ඊනියා සභාව අහෝසි කිරීම පළාත් සභා අහෝසි කිරීමට පමණක් දෙවැනි වන ජාතික සේවයකි.
තුනෙන් දෙක තිබෙන කෙටි කාලයේ අප නම් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන්නේ වැඩ දෙකක් පමණෙකි. එකක් කරන්නටයි; අනෙක නොකරන්නටයි.
  • 19 වන ව්‍යවස්ථා සංශෝධනය සහමුළින් අහෝසි කර 2015 දී සිරිසේන ජනාධිපති ධුරයට පත් වන විට පැවති තත්වයට ව්‍යවස්ථාව පත් කිරීම. (මේ වාක්‍ය දෙකක යෝජනාවකින් කළ හැක.)
  • කූටෝපායන් ගේ කෙළ පැමිණි රනිල් වික්‍රමසිංහ විසින් අහෝසි කර දමන්නට යෙදුණු පළාත් සභා මැතිවරණ ඔහුම නැවත බලයට පැමිණ තැබුවොත් මිස නොපැවැත්වීම (කිසිවක් නොකර සිටීමෙන් සහ ඉන්දියාවට අනවශ්‍ය පොරොන්දු නොදී සිටීමෙන් මෙය ඉබේම ඉටු වේ) සහ ව්‍යවස්ථා 13 වන සංශෝධනය ඉවත් කිරීමට යෝජනාවක් ගෙන ඒම (පළාත් සභා තාක්ෂණිකව අහෝසි වී ඇති පසුබිමෙක මේ යෝජනාව තුනෙන් දෙක නොලැබී අසාර්ථක වුවත් ගැටළුවක් නැත. එහෙත් ද්‍රෝහීන් හඳුනා ගැනීමේ පරීක්ෂාවක් වශයෙන් එම යෝජනාව ගෙන ඒම වැදගත් වේ).

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !