Thursday, May 23, 2019

මේල පළඳනාව සර්වාංග සන්නාහයක්...

"මුහුණු ආවරණය කරන්නේ මුස්ලිම් කාන්තාවන් පමණක්ද?" යන මැයෙන් ඉදිරිපත් කළ අපගේ පෙර ලිපියට ජගත් පතිරණ මහතා ප්‍රශ්නයකින් ම ප්‍රතිචාරයක් දමා තිබුණා.

විශාකා සිටුදුවගේ මේල පලඳනාවක් බුර්කාවක් නේද?

ඊට අප දුන් කෙටි පිළිතුර, නැත. එය බුර්කාවක් නොවේ යන්නයි.

අද ඒ ගැන වැඩිදුර කතා කරමු. අප මෙහිදී මේල පළඳනාව ගැන විස්තර කිරීම සඳහා මූලාශ්‍රය කොට ගැනෙන්නේ පූජාවලිය යි. එහි පූර්වාරාම පූජා කථා යටතේ විශාකාව සහ එතුමියගේ පළඳනාව ගැන මනා විස්තරයක් පෙනෙයි.




ජගත් පතිරණ මහතා තමාගේ ප්‍රශ්නය ගොඩ නගන්නේ මේල පළඳනාවත් බුර්කාවක් ය යන මතය හිතේ රඳවාගෙන ය, නැතිනම් අපගෙන් ඒ අදහස ස්ඵුට කෙරෙන අදහසිණි. තමන් ප්‍රශ්නය අසන්නේ මේල පළඳනාව බුර්කාවක් නොවේය යන මතය පෙරදැරිව නම් ඒ ප්‍රශ්නය වෙනත් ආකාර වලින් ඇසිය හැකිව තිබිණි.

ඒ නිසා සැකෙවින්ම ඒ මතය ඛණ්ඩනය කිරීම පිණිස කිව යුත්තේ මේල පළඳනාව එසේ මෙසේ පළඳනාවක් නොවන බව සහ බුර්කාව යනු හොර සිතැති ඕනෑම ස්ත්‍රියක් විසින් හෝ පුරුෂයෙක් විසින් හෝ සපයා ගත හැකි රෙදි කඩමාල්ලක් පමණක් වන බවයි. සමහර රටවල, උදාහරණයක් ලෙස තලේබාන් ඇෆ්ගනිස්ථානයේ සෑම ගැහැණියකටම බුර්කාව අනිවාර්‍ය කර තිබිණි. එය පැළඳීම නොකළ ස්ත්‍රීන්ට මරණ දඬුවම පනවන (මේවා මහමග කෙරෙන සාහසික ඝාතන මිස දඬුවම් පැනවීම් ද නොවේ) දර්ශන අන්තර්ජාලයේ ඇත. සව්දි අරාබිය සහ ඉරානය වැනි සමහර රටවල දස ලක්‍ෂ ගණනක් ස්ත්‍රීහු මේ රෙද්ද අඳිති - මුළු ලෝකයේම කෝටි ගණනකි.



පසුගිය අවුරුදු දෙදහස් හයසීය පමණක් සැළකුවත් මේල පළඳනාව පැළැඳූ පින් ඇති ස්ත්‍රීන් සිට ඇත්තේ තිදෙනෙක් පමණි. ඒ බැව් පූජාවලියේ පෙනෙන්නේ මෙසේයි.
"මේ මේල පලඳනාව නම් ධන ඇති කුලෙහි උපන් හැම ස්ත්‍රීන්ට ලැබෙන්නා වූ පලඳනාවෙක් නොවෙයි. කාරණ කිම යත්?

මේ මේල පලඳනාව ධරන්නා වූ ස්ත්‍රිය ඇතුන් පස්දෙනකුට බල ඇත මැනැව, ඒ පලඳනාව කැඬුවෙක ලාලා අල්ලේ තබාගෙන ඇවිදිනා වූ කෙල්ල ද ඇතුන් පස්දෙනකුට ම බල ඇත මැනැව. තෙසැට දහසක් රජනුවර ඇත්තා වූ මේ සා දඹදිවු තෙලෙහි මේ මේල පලඳනාව ලද්දාවූ ස්ත්‍රිහු නම් බන්ධුලමල්ල සෙනාධිපතීන්ගේ භාර්යයා වූ බන්ධුල-මල්ලිකාවෝය, බරණැස සෙන‍ානී නම් සිටාණන් දූ යස නම් මහ තෙරුන්ගේ මවු වූ අප බුදුන් බුදුවන දා කිරිපිඩු දන් දුන් සුජාතා නම් සිටුදියණියෝ ය, ධනඤ්ජය සිටාණන් දූ වූ මේ විශාඛාවෝ ය’යි යන තුන්දෙන ම ලද්දාහු ය. එසේ හෙයින් පින් කළාවූ ස්ත්‍රියකට මුත් මේ මේල පලඳනාව නො ලැබේම ය."
මේ අනුව නිගමනය කළ යුත්තේ මේල පළඳනාව ඉතා බරැති ආභරණයක් බවත්, එය පැළඳගෙන ගමන් කිරීම එසේ මෙසේ කෙනෙකුන් විසින් කළ නොහෙන බවත් ය.



ඉතාම කලාතුරෙකින් යම් ස්ත්‍රියයක් මේල පළඳනාවේ භාරය උසුලා සිටීමට හැකි ශක්තියක් ඇතිව ඉපැදුනත් එය පැළඳ සිටීමට වරම් නොලැබෙයි. මේ පළඳනාවේ වටිනාකම ඊට හේතුවයි. විශාකාවගේ මේල පළඳනාව සෑදීමට ගත් අමුද්‍රව්‍ය, ඒ සඳහා නියුක්ත කෙරුණු කාර්මිකයන් සහ මෙය නිම කිරීමට ගත වූ කාලය පූජාවලියේ මැනවින් විස්තර කෙරෙයි. ඒ ඒ මේල පළඳනාව නිමැවීම පිණිස ගත් අමුද්‍රව්‍ය, කාර්මිකයන් සහ ගත වූ කාලයන්හි සුළු වෙනස් කම් තිබිය හැකි වුවත් මීට වඩා බොහෝ ලාභයට සාදයි නම් එය මේල පළඳනාවක් වන්නේ නොවේ. විශාකාව සිය මයිලනුවන්ගෙන් ලත් ආභරණය එවැන්නකි.
"එ දවස් විශාඛාවන් පියාණෝ පන්සියයක් බඩාලුන් රැස්කොට මාගේ දියණියන්ට මේල පළඳනාවක් කරව යි පසළොස්දාසක් ඝනරන් හා සතර නැළියක් විදුරු හා එකොළොස් නැළියක් උතුම් වූ මුතු දෙවිසි නැළියක් පබලු හා තෙතිස් නැළියක් මැණික් හා මෙසේ මගධ නැළියෙන් සැත්තෑ නැළියක් අනගි වූ විදුරු මුතු පබළු මැණික් හා අවශෙෂ වූ සත්රුවන් පාවා දී මේල පලඳනාව පටන් ගැන්වූහ.

...

මෙසේ සාරමසක් වර්ෂාකාලය ගියකලමේල පළඳනාවත් නිමා ගිය.

...

ඒ මේල පලඳනාාව නව කෙළක් රන් පමණ අගනේ ය, කළ මිල ලක්ෂයක් දෙන ලද."
මේ තරම් වටිනා අමුද්‍රව්‍ය මේ සා විශාල ප්‍රමාණයක් භාවිතා කොට, බඩාලුන් පන්සීයක් කාර්‍යයේ යොදවා සියුම් කර්මාන්ත කොට සාර මසකින් නිමා කළ මේ ආභාරණයේ වර්තමාන වටිනාකම කොතෙක් විය හැකිද ? මෙවැනි ආභරණයක් මිලදී ගැනීමට තරම් වත්කමක් එංගලන්ත රජ පවුලටවත්, බෲනෛ හි සුල්තාන්ටවත් ඇත්ද ? එසේ වුවත්, සුල්තාන්ගේ බිරින්දෑවරුන්ට බුර්කා නම් කී දාහක් තිබෙනු විය හැකිද ?



ඒ මේල පළඳනාව කවරාකාර ආභරණයක් ද යත්,
"ඒ මේල පලඳනාවෙහි හුයකින් අවුණන ඇවිණිල්ලෙක් නැත, හුයින් කළමනා මේ රිදී කෙන්දෙන් කරන ලද ඒ පලඳනාව හිස්මුදුනෙන් හෙළාපීකල සර්වාඬ්ගය හොබවාගෙන දෙපිටිපත්ලින් පිටත්වසිටගන්ති.

ඒ ඒ ස්ථානයෙහි ඇණයතුරෙන් සන්ධි කරන ලද, එහි ගැට ඝනරන් ම ය ය, මල රිදී ම ය ය, මුදුනෙහි එක් සන්ධියෙක, දෙකනට දෙසන්ධියෙක, දෙවුරයට දෙසනිධියෙක, දෙවැලමිටට දෙසන්ධියෙක, දෙඋකුලට දෙසන්ධියෙක, දෙදණට දෙසන්ධියෙකැ යි මෙසේ සියලු ශරීර ය ඒ ඒ තැන් හොබවා සිටිනාවූ ඒ ආභරණයෙහි ඒ පළඳනාවෙහි ඉස්මුදුනෛහි එක් මයුර රූපයක් කරනලද.

ඒ මොනරාගේ දකුණැළයෙහි ඝනරන් ම ය වූ පන්සියයක් පියාපත, වමැළයෙහි එසේම පන්සියයක් පියාපත, තුඩ ප්රගවාලමය ව නිමනලද, ඇස් ඉන්ද්රයනීල මාණික්යපමයය, ග්රීිව ය හා පිල් ද ඉන්ද්රහනීලයෙන් ම නිමන ලද, තඹපත් ඝන රනින් ම නිමන ලද, කකුල් ද ඝනරනින් ම නිමන ලද.

ඒ පලඳනාව පැලඳගත්වේලෙහි විශාඛාවන් ඉස්මුදුනෙහි පර්වතයක් මුදුනෙහි නටන මොනරකුසේ ශොභමාන ය, දහසක් රන්පත් සුළං ගත්කල පඤ්චාඬ්ගික තූය්ය් ර්නාකද සේ මධුර වූ නාද ඇසෙයි, දුර සිටියන්ට ජීවමාන වූ මයුරෙකැ යි සිතෙයි, ළඟ දුටු කෙනෙක් ම පලඳනා ය යි දනිති "
මේ විස්තරය අනුව කිව හැක්කේ මේල පළඳනාව කිසි සෙත් බුර්කාව වැනි ස්ත්‍රී ලාලිත්‍යය සඟවන ඔවුන් රෙදි පොට්ටනි බවට පත් කරන බාච්චුවක් නොවිය හැකි බව නොවේද?

එය සිරුරට ගැළපෙන, ඊට ස්පර්ශ වන, කාන්තා ශරීරයේ මනා හැඩය මේ යැයි ඔප් නංවා පෙන්වන, අලංකාරය වඩවන පරිපූර්ණ ඇඳුමකි. පිළියෙන් නොකළ හෙයින් වස්ත්‍රයක් යැයි නොකීවත් වස්ත්‍රයක කාර්‍යය මනාව ඉටු කෙරෙන පළඳනාවකි. බුර්කාවක් වැනි රෙදි කඩමාල්ලෙක ගෙළට කණට අතට ආදී වශයෙන් නැවිය යුතු විවෘත විය යුතු තැන් හි "සංධි" තැබිය යුතුද ? තැබිය හැකිද ?

මේල පළඳනාව වනාහී සම්පූර්ණ ශරීරය වැසෙන සේ කළ "වෙඩි නොවදින" සන්නාහයක් වැනි ශක්තිමත් මුත් නම්‍යශීලි ආභරණයකි. එහෙත් එයින් අනන්‍යතාවය සැඟවෙන බවට සඳහනක් නැත. එහි ලෝහමය වූ සියුම් කර්මාන්ත විසින් මනා වාතාශ්‍රයක් ඇති කොට පැළඳ සිටින්නාට දහදියෙන් වන පීඩාවන් දුරු කරන්නට ඇතැයි උපකල්පනය කළ හැක. එසේ නොවී නම් කොතරම් වටනේ වුවත්, තමා කොතරම් ශක්තිමත් වුවත් මෙය ඇඟලාගෙන පැය කිහිපයක් සිටීම මනුෂ්‍යයෙකුට නම් නොහැක්කේමය. බුර්කාව ගැන කිව හැක්කේ කුමක්ද ?



මේ අලුත් අදහසෙකි. මේල පළඳනාව අතිශය වටිනා බවත් එය ඉතාම බරැති බවත් හිමිවරු බණටත් කියත්. එසේ වුවත් එය අංගාරක්‍ෂක පැළඳුමක් බව කියනු වෙන තැනක දැක නැත.

අපගේ අදහස නම් බන්ධුල මල්ලයා වැනි දඹදිව ජය කෙහෙළි නැංවූ රණ ශූරයන් මෙවැනි වටිනා සන්නාහ පළඳින්නට ඇති බවත් ඒවා යුද්ධයේදී ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරන්නට ඇති බවත් ය. කාන්තාවන් සාමාන්‍යයෙන් යුද්ධයට ගියේ නැති අතර සාමාන්‍යය යුධ නීතිය යටතේ ස්ත්‍රීන් ඉලක්ක කළේද නැත. මෙය වෙනස් වන්නට ඇත්තේ ඉස්ලාම් ආක්‍රමණිකයන් භාරතය ආක්‍රමණය කළ පසුය. එසේනම් මෙවැනි ඇඳුමක් ස්ත්‍රීන්ට කුමටද?

ඊට තනි වචනයේ පිළිතුරක් ඇත. ඒ පිළිතුර fashion ය. සාමාන්‍යයෙන් රණ ශූරයන්ගේ ස්ත්‍රීන් ද රණ ශූරියන් වූ අතර විශාකාව සම්බන්ධයෙන් ද උක්ත කාරණාව සත්‍ය බව කොසොල් රජතුමා විසින් විශාකාව ඉදිරියට කෝප ගැන්වුණු හස්තියෙක් එවීමේ කතාවෙන් පැහැදිළි වේ. සොළොස් හැවිරිදි විශාකාව මහ වැස්සක් වසින විට "සූසැට බරණින් සැරසිලා, නා කපනා වැසි වැටෙන වෙලේ ..." යි ගායනා කරමින් ගාට ගාටා ශාලාව වෙත ආ මුත්, හස්තියා ඉදිරියට පැමිණෙන විට ඈ කළේ පිම්මක් ඉදිරියට පැන අලියාටත් වෙට්ටුවක් දමා තම ඇඟිලි දෙකෙන් උගේ සොඬවැල මිරිකීමයි. මෙහිදී කොසොල් රජුගේ අලියාට මළ මුත්තර පහ වූ බවක් පූජාවලියේ දැක්වෙන්නේ එ කෙණෙහි ඇත් දිය සලා ඉලත්ති ලා මරණභයින් හඬ හඬා ආපස්සේ දිවපී ය. යනුවෙනි.

එවැනි ස්ත්‍රීන් අතර fashion සටනේ ඉදිරියෙන් සිටීමට මෙවැනි ආභරණයක් අත්‍යාවශ්‍ය ය. මහා ධනවත් ධනඥ්ජය සිටු තුමා තම දියණියට මේල පළඳනාවක්ම තනවා දෙන්නේ ඒ හේතුවෙනි.

එකළ දඹදිව රණ ශූර ස්ත්‍රීන් අතුරින් බොහෝ දෙනෙකුට මෙවැනි ආභරණයක් තිබෙන්නට ඇති මුත් මේල පළඳනාව යන නමින් ගැනෙන උතුම් ආභාරණයට හිමිකම් කී ස්ත්‍රීන් සිට ඇත්තේ තිදෙනෙක් පමණි. මේල පළඳනා හිමිව සිටි අනෙක් ස්ත්‍රීන් විසින් නොකළ දෙයක් විශාකාව විසින් කරන ලදී. ඒ තම ආභරණය වෙන්දේසියේ දැමීමයි. එය මිලදී ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවීමෙන් පෙනී යන්නේ එවැනි ආභරණයක් දැරීමට හේතු සම්පත් ඇති වෙන කෙනෙක් මුළුමහත් දඹදිව් තෙලෙහිම එකල සිටියේ නැති බවයි. සිටි අනෙක් දෙදෙනා, එනම් සුජාතාව සහ බන්ධුල මල්ලිකාව, විශාකාවට වඩා වැඩිමහල් වූ අතර ඔවුන් ඒ වන විටත් මේල පළඳනා සතුව සිටියහ. තමා විසින් අළෙවියට තැබූ මේල පළඳනාව තමා විසින්ම මිලදී ගැනීමට විශාකාවට සිදු වන්නේ එහෙයිණි.



අද ලෝක ජනගහණය බිලියන හතක් හෙවත් කෝටි හත්සීයක් වෙයි. පසුගිය දෙදහස් හයසිය වස පුරා ඉපිද මැරී ගිය අයවළුන් ද එක්ව ගත් කළ ජනගහනය ට්‍රිලියන කීපයක් වෙයි. මේ සා ජනකායක් අතරින් මේල පළඳනාව පළඳින තැනැත්තියන් සිට ඇත්තේ තිදෙනෙක් පමණක් නම් එය බුර්කා නම් රෙදි කඩමාල්ල හා සංසන්දනය කිරීමත් අපට - බෞද්ධයන්ට - කෙසේ වෙතත් පැරණි දඹදිව විසූ උතුම් මනුෂ්‍යයින්ට කෙරෙන නිගාවකි.


14 comments:

  1. මෙහෙමයි දෙතිස්,

    මම හිතන්නේ ජගත් ඔතන වලිගෙ පාගගෙන, බුර්කා කියන්නේ මුහුණ විතරක් වහන ඇස්වලට චූටි හිල් frame ඇති රෙදි කෑල්ලකට. ඇඟට අඳින්නේ අබායා කියල කළු ලෝගුවක්. (නිකාබ් කියන්නේ ඇස් විතරක් ඉතුරු වෙන්න නහයෙන් පහලට ඔක්කොම වැහෙන්න යටින් ලෝහමය ෆ්‍රේම් එකක් සහිත/ රහිත මුහුණු වැස්මක්. )

    ජගත් ලොක්කා සියල්ලම ටපලවාගෙනද මන්දා?

    මේ මේල පළඳනාව ගැන සිංහල විමානවස්තු ප්‍රකරණය- ix යෙහි තුන්වන පාරිච්ඡත්තකවර්ගකයෙහි අටවන මල්ලිකා විමාන වස්තුවහි නම් සඳහන් වෙන්නේ

    //“හිස පටන් පදාන්තය දක්වා සියලු ශරීරය රන් දැලින් වසනලදුව ග්රීමවාභරණ හස්තාභරණ පාදාභරණාදි වශයෙන් ඒ ඒ තන්හි අලඞකාර පිණිස මුතුමැණික් ආදී නොයෙක් රත්නයෙන් විසිතුරු කරණලද 'මේල පළඳනා' නම් ආභරණ විශෙෂයක් ගෙනගොස් පහන්සිත් ඇතිව පිරිනිවන් පා වදාළ ගෞතම බුදුන්ගේ ශරීරයට පූජාකෙළෙමි. ඒ කුශල කර්මපය හෙතු කොටගෙන මේ දිව්යදශ්රීප සම්පත් ලදිමි”යි කිව,/// කියලයි. මේ ගැන ඔබ හිතන්නේ කොහොමද?

    //සොළොස් හැවිරිදි විශාකාව මහ වැස්සක් වසින විට "සූසැට බරණින් සැරසිලා, නා කපනා වැසි වැටෙන වෙලේ ..." යි ගායනා කරමින් ගාට ගාටා ශාලාව වෙත ආ මුත්,//

    'සූසැට බරණින් සැරසීලා' ගීතය ලියලා තියෙන්නේ ජයරත්න ගමගේ විසින්. එතුමා මේ ගීතය රචනා කරලා තැපෑලෙන් නීලා වික්‍රමසිංහයන්ට එවනවා. ඉතින් නීලා වික්‍රමසිංහ මහත්මිය මේ ගීතය තෝරාගන්නා විට මෙහි පද මාලාවේ වෙනසක් කරලා තියෙනවා. මුලින්ම මේකේ තිබිලා තියෙන්නේ,

    "සූසැට බරණින් සැරසීලා

    නා කපනා වැහි වැටෙන වෙලේ

    පියෙන් පියට පියවර ඔසවාලා

    විසාකා තොමෝ පැමිණි විලාසෙන්

    මට එන්නට බෑ නිසංසලේ"

    නමුත් ස්ථායී කොටස (Chorus) තුන්වෙනි පේලියේ ටිකක් දිග වැඩි වීම නිසා තාල රූපයට නොගැලපෙන නිසා වික්ටර් රත්නායකයන් නීලා වික්‍රමසිංහයන්ට කියනවා "නංගෝ අපි මේ කොටස අයින් කරමු. එතකොට ගැලපෙනවා." අවසානයේ දී "පියෙන් පියට පියවර ඔසවාලා" කියන කොටස ඉවත් කරලා තමයි ගීතය නිර්මාණය වුණේ.

    ReplyDelete
    Replies
    1. ජගත් ලොක්කා ඉතින් මේකෙ විතරද්ද අනික් හැම තැනම වල්ගේ පාගාගෙන මොලේ උඩ වාඩි වෙලානේ ඉන්නේ.
      ඇති යාන්තන් විශාකා සිටුදුවත් යුදෙව් ක්‍රිස්තියානි බටහිරයෙක් කියා නොකිව්වා.

      Delete
    2. නොදන්නා දෙයක් දැන ගැනීමට ලැබුණා. ස්තූතියි.

      Delete
  2. https://www.suppressedhistories.net/articles/veil.html

    ReplyDelete
  3. පූජාවලිය කියවා ඇත. නමුත් මේ අදහස මටනම් දැනුණේ නැත.

    මේළ පළඳනාව යනු body armor එකක් බව කීම නව අදහසකි. විශේෂයෙන් බන්ධුල මල්ලයාගේ භාර්‍යාව සතුව එවැන්නක් තිබීම ඔය අදහසට රුකුලකි. පන්සීයක් මල්ලයන් එක හීයෙන් විද දැමූ බන්ධුලයාට මල පැන්න හැම අවස්ථාවකම මල්ලිකා වහ වහා මේළ පළඳනාව පැළඳ ගන්නට ඇතැයි සිතමි.

    එසේම මෙය කියවාගෙන යන විට විශාකාව විසින් කොසොල් රජුගේ හස්තියාට මල පනින්නටම (බන්දුලයාට පනින මල නොවේ) සොඬ මැඩ ලූ වේලේ මේළ පළඳනාව පැළඳ සිටි බව වාර්තා වී තිබේ දැයි කුතුහලයක් උපන්නේය. නව කෙළක් වටිනා බව කියන මේ ආභරණය විශාකා උපාසිකාව විසින් සිහි නැතුව පන්සලේ දමා පැමිණීම ගැන ඔබේ අදහස කෙසේද ?

    ReplyDelete
    Replies
    1. මෙය විශාකාවගේ සම්‍යක් ප්‍රයෝගයකි. විහාරයක් තනවන්නෙමි'ය කීවොත් මාමණ්ඩියා ඒ වියදම් දැරීමට කැමති වන්නේ නැත. මේල පළඳනාව විකුණන බව කීවොත් ඔහු ළය පැලී මිය යනු ඇත. පළඳනාව හාමුදුරුවන් ඇල්ලූ හෙයින් පන්සලට අයිතිය පන්සලට ගෑණු පළඳනා වැඩක් නැති බැවින් විකුනමි ය කී විට මාමණ්ඩියා දුර්මුඛ වෙයි.

      ඔව්, කොසොල් රජුගේ හස්ථියා මැඩ ලූ වේලේ විශාකාව මේල පළඳනාව පැළඳ සිටින්නට ඇතැයි සිතමි. ඒ සිද්ධිය සිදු වන්නේ ඈ විවාපත් වී සැවැත් නුවරට පැමිණි මුල්ම කාලයේ ය. හැරත් කොසොල් රජුත් හස්ථියා විශාකාව පාරේ එවන්නේ කොළු කමට මිස වෙනකට නොවේ.

      Delete
  4. ඔයවගේ ආභරණයක් කැරට් 22 රන් වලින් හදන්න බැ. කැරට් 15-16 රන් යොදාගත යුතුයි. මැනික් ඔබ්බවන්නේ රන්වල වටිනාකමට හිලව්වන්න වියයුතුයි.

    ReplyDelete
  5. දෙතිස් කථා දැනුම් ගබඩාව විවෘත්ත වී ඇති බවයි !!!!!

    ReplyDelete
  6. එතකොට නාලාගිරි දමනය කතාවේ තියෙන්නේ ලෙස්බියන්ලා (ආප්ප ගෑණු) බැල්කනිවල තිර රෙදි දාලා තිරයට මුවා වෙලා බලා හිටියා කියලා.

    ස්වර්ණ ති්ලකා කතාවේ තියෙන හැටියට ස්වර්ණ තිලකා ගේ තාත්තා ඇයව බූරුවෙක් පිටේ නංවලා රෙද්දකින් වහගෙන ගෙනිච්චා කියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ලෙස්බියන්ලා (ආප්ප ගෑණු) ගැන සඳහන් මූලාශ්‍රය කරුණාකර ඉදිරිපත් කරන්න. මේ දැන ගන්නට වටින කතාවක්.

      Delete
    2. ආප්ත ගෑණු = වැදගත් ස්ත්‍රීන්

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !