Wednesday, November 6, 2019

ජාතික ආරක්‍ෂාව සහ සනීපාරක්‍ෂාව

තව දින දහයෙකින් මෙරට නව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ වරණය පැවැත්වෙයි. මෙවර ජනාධිපතිවරණය ජාතික ආරක්‍ෂාව සහ සනීපාරක්‍ෂාව අතර සටනෙකි.

අපේක්‍ෂකයන් හතලිස් ගණනක් ඇප මුදල් තැන්පත් කළත් ඉන් තිස් ගණනක් නාම යෝජනා බාර දුන්නත් තරඟය ඇත්තේ දෙදෙනෙකු අතර පමණි. අනෙක් තැනැත්තෝ එක්කෝ තමාගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව අරමුණක් වෙනුවෙන් ඉදිරිපත් වූවෝ ය. නැතිනම් ව්‍යාපාරික උවමනාවන් වෙනුවෙන් / පෞද්ගලික කැපී පෙනීමේ උවමනාවන් වෙනුවෙන් ජනතා මුදල් කාබාසිනියා කිරීමට ඉදිරිපත් වූවෝ ය. එසේත් නැතිනම් ජයග්‍රහණයට වැඩි සම්භාවිතාවක් ඇති අපේක්‍ෂකයා වන ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහි මඩ ව්‍යාපාරය ශක්තිමත් කිරීම හෝ ඒ මහතාගේ ජයග්‍රහණය දිනක් දෙකක් පමා කිරීම හෝ වෙනුවෙන් කඩේ යන්නෝය. මෙකී හාදයන් තිස් ගණන ගැන කතා කිරීමේ තේරුමක් නැත.

ජනාධිපතිවරණ සඳහා තම ඉදිරිපත් වීම මුලින්ම ප්‍රකාශයට පත් කළ රාජපක්‍ෂ මහතා ඉතා ක්‍රමානුකූලව මුල සිට තම ප්‍රචාරක ව්‍යාපාරය කරගෙන යන බව පෙනිණ. එහෙත් ඔහුට ඉතාම ලැදි පාක්‍ෂිකයන්ටවත් හුරේ දැමීමට - නැවත නැවත කතා කිරීමට - ප්‍රතිවාදීන් දුර්මුඛ කිරීමට සමත් ආකර්ශනීය පොරොන්දුවක් ඔහු වෙතින් ඉදිරිපත් නොවීය. ගෝඨාභය රාජපක්‍ෂ මහතා අපේක්‍ෂකත්වය කරා තල්ලු කෙරෙන්නේ ජනතා ඉල්ලීම මතිනි. ඉනුත් සිංහල බෞද්ධ බලවේග ඉදිරියෙන් සිට දුන් තල්ලුව හේතු කොටගෙන ඔහුට අපේක්‍ෂකත්වය නොදී සිටීමට නොහැකි තත්වයක් උදා විය. ගෝඨාභය ඉල්ලූ ජනතාවගේ ප්‍රමුඛතාව ජාතික ආරක්‍ෂාව වූ අතර ඔහු වටා පසුව ඒකරාශී වූ අනෙක් ජනතා සංවිධාන වල ප්‍රමුඛතාව මහජන ආරක්‍ෂාව යැයි සිතමි. මේ දෙක දෙකකි. මීට අමතරව තම දේශපාලන අනාගතය ගැන සිතා හෝ වෙනයම් පෞද්ගලික වාසි උදෙසා වැල යන අතට මැස්ස ගැසීමට ගිය අයත් නැතුවාම නොවේ.




සජිත් ප්‍රේමදාස මහතාගේ නිල නොවන ප්‍රතිපත්ති ප්‍රකාශය (නිල ප්‍රතිපත්ති ප්‍රකාශය සොයමි.)
ඒ අයුරින්ම ප්‍රේමදාස මහතාගේ ඉදිරිපත් වීමද ජනතා ඉල්ලීමකි. එහෙත් මහජනතාව විසින් ගෝඨාභය ඉල්ලීම සහ මහජනතාව විසින් සජිත් ඉල්ලීම අතර වෙනසක් වෙයි. ගෝඨාභය ඉල්ලූ මහජනතාව ඒ කළේ පක්‍ෂ භේදයෙන් තොරවයි. පොහොට්ටු පක්‍ෂය කළේ මහජනතාව ඉල්ලූ අපේක්‍ෂකයාට තම පක්‍ෂයෙන් නාම යෝජනා ලබා දීමයි. ඔවුන්ට ඕනෑ නම් පක්‍ෂයක් නැතිව නන්නත්තාරව සිටි නාගයා ඉදිරිපත් කිරීමට ඉඩ තිබිණි. මේ දෙදෙනාම පොහොට්ටු පක්‍ෂයේ සාමාජිකයන් නොවේ. ගෝඨාභය පසුව සාමාජිකත්වය ගෙන ඇත්දැයි නොදනිමි.

මීට වෙනස්ව, සජිත් ඉල්ලුවේ පවත්නා ආණ්ඩුව කෙරේ කළකිරීමට පත්ව සිටි එක්සත් ජාතික පාක්‍ෂිකයන් ය. සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වීම හේතුවෙන් ගෝඨාභය ඉල්ලූ මහජනතාවගෙන් කොටසක් නැවත එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා වෙත විතැන් වීම බලාපොරොත්තු විය යුතුය. අප බලාපොරොත්තු වූ ලෙස කරුණාරත්න ජයසූරිය හෝ ඒ මහතා බලාපොරොත්තු වූ ලෙස රනිල් වික්‍රමසිංහ හෝ ඉදිරිපත් වී නම් ගෝඨාභය රාජපක්‍ෂ වාර්තාගත ඡන්ද ප්‍රතිශතයකින් ජය ගැනීමට ගැනීමට ඉඩ තිබිණි.



ඉදිරියේ ඇති අභියෝගය

රාජපක්‍ෂ ඉදිරියේ ඇති අභියෝගය දෙමළ ජාතිවාදීන් විසින් මෙහෙයැවෙන ඡන්ද කොට්ඨාශ වලින් (ප්‍රධාන වශයෙන් උතුරු පළාත, නැගෙනහිර පළාත, නුවරඑළිය දිස්ත්‍රික්කය සහ කොළොඹ නගර සීමාව) තමන්ට අඩු විය හැකි ඡන්ද ප්‍රමාණය අනෙක් කොට්ඨාශ වලින් පියවා ගැනීමයි. ඒ සඳහා ප්‍රශස්ථ උපක්‍රමය දැනට හපයක් බවට පත්ව තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් අපේක්‍ෂකයෙක් ඉදිරිපත් වීම වළක්වා එය හා සංධානගත වීමයි. ඊළඟට ජාතික ජාතිවාදී නොවන ඡන්ද හැකි තාක් තමා වෙත ආකර්ෂණය කර ගැනීමයි. රටේ දැන් පවත්නා තත්වය අනුව ජාතික ආරක්‍ෂාව තම කඳවුරේ ප්‍රමුඛතා අනුපිළිවෙලේ මුලට ගැනීම ඒ අතින් ඉතාම සුදුසු උපක්‍රමය වේ.

ප්‍රේමදාස ඉදිරියේ ඇති අභියෝගය දැනට නන්නත්තාර වී සිටින එක්සත් ජාතික පාක්‍ෂිකයා ඡන්ද පොළට ගෙන ඒමයි. ඒ සඳහා ඔවුන් උත්තේජනය කළ යුතුය. සාමාන්‍ය එක්සත් ජාතික පාක්‍ෂිකයන්, ඔවුන්ගේ ආර්ථික තත්වය සහ සාමාජයීය තත්වය කුමක් වුවත්, ඔවුන් එංගලන්තයේ, ඇමරිකාවේ නැතිනම් ඕස්ට්‍රේලියාවේ සිටියත්, බ්ලොග් මාගල් ලීවත්, උත්තජනය වන්නේ තුට්ටු දෙකේ කුණු කතා සහ මෝඩ කතා වලට බව සජිත් ප්‍රේමදාස හොඳහැටි දනී.

උපාදි පිට උපාදි ඇති උදය ප්‍රභාත් ගම්මන්පිල මේ කාරණාව නොදැන සිටීම සාමාන්‍ය පෙළත් අසමත් යැයි රවින්ද්‍රන් සංදේශ් අතින් ගෞරව සම්මාන ලත් සජිත් ප්‍රේමදාසගේ වරදක් අඩු පාඩුවක් නොවේ. සජිත් තමාගේ ජන්ද පදනමට මැනැවින් අමතන අතර මෙතෙක් දුර්මුඛ වී සිටි සාමාන්‍ය එජාප පාක්‍ෂිකයන් ක්‍රමයෙන් අළු ගසා බසා දමා නැගිටින ආකාරය දැන් දැන් පෙනේ. මෙය විශ්වාස නැති කෙනෙක් විසින් පරිශීලනය කළ යුත්තේ සිංහල බ්ලොග් මාගල් අවකාශයේ සජිත්ගේ පෑඩ් කතාව ගැන මෙතෙක් ලියැවුන ප්‍රශස්ති ය.

ප්‍රේමදාස දවසට එක බැගින් ගොන් කතා කියන්නේය, ඔහු කතා කරන තරමට ගෝඨාභයගේ ඡන්ද වැඩෙන්නේ ය ආදී වශයෙන් පම්පෝරි ගසන පොහොට්ටු දේශපාලන ඔස්තාද් ලා 2015 සිහියට ගත යුතුය. අඩු තරමින් ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණව පැවැත්වීමේ වගකීම දරණ ඊනියා ස්වාධීන කොමිෂන් සභාවේ හැසිරීම අධ්‍යයනය කළ යුතුය.



ස්වාධීනත්වය ?

මෙකී කොමිෂන් සභාවේ ස්වාධීනත්වය කොතෙක්ද යත් මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ඉහලම තර්ජනය ලෙස සළකමින් තනතුරේ සිටිමින්ම උසාවි ගිය හාදයෙක් තවමත් එහි සිටී. ඔහු දෙමළුන්ගේ අනාගතය ගැන දුක් වෙමින් නිවැරදි අයුරින් ඡන්දය දමන සැටි දෙමළුන්ට දෙමළෙන් කියා දෙන අයුරු රූපවාහිනියේ ප්‍රචාරය විය. සිංහලයින්ගේ අනාගතය ගැන කිසිවක් නොකියමින් එකී කොමිසමේ සභාපති තෙමේ ද ඒ උපදෙසම සිංහලෙන් දෙසනු බලා සිටියෙමි. මේවා නීතියේ සීමාව තුල රැඳී සිටිමින් තෝරා ගත් අපේක්‍ෂකයෙකුට පක්‍ෂව හෝ විපක්‍ෂව කෙරෙන අයුතු බලපෑම් ය.

ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ගැන කිව යුත්තේ කාරණා දෙකකි.
  1. [තමන්ගේ කැමැත්ත ඇති අපේක්‍ෂකයා දිනනු ඇති බව විශ්වාසනම්] ඔහුගේ නම ඉදිරියේ කතිරයක් ගසන්න.
  2. [තමන්ගේ කැමැත්ත ඇති අපේක්‍ෂකයා දිනනු ඇති බව විශ්වාස නැත්නම්] ඔහුගේ නම ඉදිරියේ 1 ලකුණු කර දෙවනුව සහ තෙවනුව කැමති අපේක්‍ෂකයන් ඉදිරියේ 2 සහ 3 ලකුණු කරන්න.
මක් නිසාද යත්, පළමු සහ දෙවන ස්ථාන වශයෙන් වැඩිපුර මනාප ලබන අපේක්‍ෂකයන් දෙදෙනාගේ දෙවන මනාප, තෙවන මනාප කිසිවිට ගණනයට නොගැනෙන බැවිණි.

ලංකාවේ සාතිශය බහුතරයක් ඡන්දය දෙනු ඇත්තේ අප ඉහත නම් සඳහන් කළ අපේක්‍ෂකයන් දෙදෙනාට මිස අනෙක් හං කෑලි වලට නොවේ. ඔවුන්ට ලැබෙන්නේ වැරදී වැටෙන ඡන්ද පමණෙකි. මැතිවරණ කොමිසම මේ උත්සාහ කරන්නේ ඒ සඳහාම බව පැහැදිළියි. විශේෂයෙන්ම පවතින රජය කෙරේ විශ්වාසයක් නැති නමුත් ජනාධිපති තනතුරට පත් වීමේ වැඩි ඉඩකඩක් පෙන්වන පාර්ෂවය කෙරේත් වැඩි ලැදියාවක් නැති ඡන්දදායකයින් වෙත අනිසි බලපෑමක් කිරීම මැතිවරණ කොමිසමේ අප්‍රකාශිත අරමුණ බව පෙනේ. කිසිදු අපේක්‍ෂකයෙකු විසින් මුල් වටයේ 50% ඉක්මවා ඡන්ද ලබා ගනු නොමැති බව නැවත නැවත ප්‍රකාශ කිරීම සහ එවැනි අවස්ථාවක කටයුතු සිදු කෙරෙන ආකාරය අවධාරණය කිරීම එවැනි ප්‍රතිඵලයක් වෙත මහජනයා සැළසුම් සහගතව යොමු කරවීමේ උපක්‍රමයකි.

කෙළින්ම කියතොත්, රාජපක්‍ෂ මහතා සහ ප්‍රේමදාස මහතා යන දෙදෙනාගෙන් එක් අයෙක් 50% ඉක්මවා යනු ඇති අතර අනෙක් තැනැත්තා ඊට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ගනු ඇත. ඉතිරි සියළුම අපේක්‍ෂකයන්, බත්තරමුල්ල, සිවාජිලිංගම් සහ හිස්බුල්ලා යන මහතුනුත් ඇතුළුව, 5% ට අඩු ප්‍රතිශතයක් ගනු ඇත. ඉඳින්, යම් අවාසනාවකට, දෙවන මනාපය ගැනීමට සිදු වුණොත්, දෙවන මනාපය ගැනීමට සිදු වන්නේ මං-පොර මානසිකත්වය නිසා හෝ වැරදීම නිසා හෝ වෙනත් හේතුවක් නිසා හෝ අර පඩ කෑලි වලට ඡන්දය දුන් 5% ට අඩු පිරිසගේ පමණි. එවැනි තත්වයක් යටතේ අති බහුතරයක් මහජනතාව ව්‍යාකූල කෙරෙන ප්‍රකාශ ඉදිරිපත් කිරීම අන්‍යයන්ගේ ආධාර සහ න්‍යාය පත්‍ර මත ක්‍රියාත්මක නොරාජ්‍ය සංවිධාන වලට තරම් වුවත් ලංකාවේ බදු ගෙවන මහජනතාවගේ මුදලින් නඩත්තු වන කොමිෂන් සභාවකට තරම් නොවේ.

මේ ක්‍රියාව අනුමත නොකළත්, ඒ ගැන කොමිසමට දොස් නොකියමි. හේතුව, සෑම අපේක්‍ෂකයෙකුටම සමානව සැළකීමට කොමිසම බැඳී සිටින බැවිණි. ඒ ඒ අපේක්‍ෂකයා ගනු ඇතැයි අපේක්‍ෂා කරන ඡන්ද ගණන සළකා ඒ ඒ අපේක්‍ෂකයන් වෙනස් කොට සැළකීමේ හැකියාවක් කොමිසමට නැත. වෙනත් වචන වලින් කියතොත්, කොමිසම පූර්ව නිගමනයක සිටිය යුත්තේ සෑම අපේක්‍ෂකයෙකුම සමාන ඡන්ද ගණනක් ලබා ගනු ඇතය යනුවෙනි. ඒ යුක්ති සහගත පූර්ව නිගමනය සඟවා "මෙවර" කිසිදු අපේක්‍ෂකයෙකු 50% ඉක්මවන්නේ නැති බවට ප්‍රචාරය කිරීම නම් සුදුසු නැත.



ඡන්දය අපතේ නොයෑම උදෙසා ...

කොතරම් උගත් වුවත්, බුද්ධිමත් වුවත් ඕනෑම කෙනෙක් අතින් වැරදි සිදු වේ. මේ ලියන අප පවා වැටුපෙන් මාස්පතා මහගෙදවල් දෙකකට වෙන වෙනම යැවිය යුතු මුදල් නොසැළකිල්ලෙන් එක ගිණුමකට බැර කර තිබේ. ඒවා නිවැරදි කර ගත හැකි වැරදිය. එහෙත්, ඡන්ද පත්‍රිකාව වැරදියට ලකුණු කළොත් සිදු වන්නේ එය රෝල් කර ඡන්ද පෙට්ටිය නොවන වෙන තැනක ගැසීමටය. පෙට්ටියට දැමීමෙන් පසු වරද සිහි වීනම් කළ හැකි දෙයක් ද නැත.

රාජපක්‍ෂ මහතාත් ප්‍රේමදාස මහතාත් මේ කරුණ හිතට ගත යුතුය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පමණක් "කතිරය විතරක් ගහන්න !" යි තම වාළුන්ට අණ දෙනු රූපවාහිනියේ දිටිමි. අනෙක් පාර්ශවයත් එයම කරන්නේ නම් මැනවි.



නව ජනාධිපති කෙනෙක්

තව දින කිහිපයකින් නව ජනාධිපති කෙනෙක් තනතුරේ දිවුරුම් දෙනු ඇත. ඒ ප්‍රේමදාස යුගයක් ද නැතිනම් රාජපක්‍ෂ යුගයක් දැයි කීමට කල් වැඩිය. කවුරු ජනාධිපති වුවත් රනිල් වික්‍රමසිංහගේ සිංහල විරෝධී ආණ්ඩුව දෙදරවා භාරකාර ආණ්ඩුවක් යටතේ මීළඟ මැතිවරණය පැවැත්විය යුතුය. එසේම තුප්පහි 19 වන ව්‍යවස්ථා සංශෝධනය හැකි ඉක්මණින් අහෝසි කළ යුතුය. ලිච්චවීන් ලෙස වික්‍රමසිංහ විසින් හැඳින්වෙන රෝයල් කොලිජී කල්ලිය විසින් ගසා කා ඇති ජනතා පරමාධිපත්‍යය නැවත පොදු ජනතාව අතට ගත යුතුය.

ප්‍රේමදාස යුගයක එය සිදු වේ නම්, දෙමළ ජාතිවාදී ග්‍රහණයෙන් ලංකාව නිදහස් වේ නම්, සජිත් ප්‍රේමදාස ජනාධිපති වුවත් අපට කම් නැත. දැනට පෙනෙන්නට ඇති කරුණු අනුව නම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටින අතර සජිත් ප්‍රේමදාස මහතා ජාතික ආරක්‍ෂාව outsource කර තිබේ. එතුමෝ පෙනී සිටින්නේ කාන්තාවන්ගේ සනීපාරක්‍ෂාව වෙනුවෙනි.

ඔබගේ තේරීම කුමන අපේක්‍ෂකයාද ?



11 comments:

  1. කරුමෙට සජිත් දිනුවනම්,
    ඊලඟට කරන්න පුළුවන් මොනවද?

    ReplyDelete
    Replies
    1. තවත් පස් අවුරුදු ප්‍රහසනයක් බලන්න ලෑස්ති වෙමු.. රට බල්ලට ගියාවේ අපි හිනා වෙලා ඉමු..

      Delete
    2. සනීපාරක්ෂාව නම් සජිත් දිනන එක තීරණය වෙන්නේ, එසේම වේවයි පතනවා. මොකද මේ තරම් විනාසයක් සිදුවෙලා තියෙද්දිත් එක නොදැනෙන රටකට තව හොදම එකෙන් කෙල විය යුතු නිසා

      Delete
    3. @anthoniyo bahijata:
      චන්ද පොළට ගොස් කතිරයෙන් කර ගත යුතු දේ අතපසු කර පසුව පාරට බැස උද්ගෝෂණය කරන්නට ගොස් වෙඩි කෑම අප ලත් මනුෂ්‍ය ජීවිතයට තරම් නොවේ.

      @සෙන්නා:
      දෙමළ නිජ භූමිය පිළිගැනීමට හෙවත් සිංහල නිජ භූමියෙන් තුනෙන් දෙකක් අත හැරීමට හිත හදාගත යුතුය.

      @Anonymous:
      මේ කතාව එක්සත් ජාතික පාක්‍ෂිකන් උත්තේජනය කිරීම පිණිස මිස දුගී කාන්තාවන්ට නොමිලේ පෑඩ් දීම අරමුණු කරගත් ප්‍රකාශයක් යැයි නොසිතමි. ඇත්තෙන්ම මේ ප්‍රකාශයෙන් උදම් වී සිටින්නේ ඒවා නොමිලේ අවශ්‍ය දුගී කාන්තාවන් නොව, වැඩි මිල ඒවා තෝරන මුදල් හදල් ඇති කාන්තාවන්ය, කාන්තාවන්ටත් වඩා මේ කතාව කරේ තියාගෙන යන්නේ මුදල් හදල් යහමින් ඇති පිරිමින් ය. ඉනුත් සමහරු විදෙස් වල රටවැසියෝ ය - හෙවත් - හිටපු සිංහලයින් ය.

      සජිත් ඉදිරියේ ඇති අභියෝගය සංඛ්‍යාවෙන් ඇකිලෙමින් සිටින සදාලෝකපූජිත™ එක්සත් ජාතික පාක්‍ෂිකයා ඡන්ද පොළට රැගෙන යාමයි. අන්‍යයන්ට ගොන් කතා සේ හැඟෙන මෙවැනි කතා කීමත්, ඒවා ප්‍රතිවාදීන් විසින් විවේචනය වන්නට ඉඩ හැරීමත් එක්තරා strategy එකකි. මින් දුගී / වෙන්ට ටොයි එක්සත් ජාතික පාක්‍ෂිකයා තුල තමන් පීඩිතයාය යන හැඟීම ඇති කර පක්‍ෂ බැඳීම තුලින් ඔවුන් ඡන්ද පොළ වෙත යැවෙන අතර සබුද්ධික™ හෙවත් පොෂ් / ටොයි එක්සත් ජාතික පාක්‍ෂිකයා ප්‍රහාරකයා බවට පත් වී රටේ නැති තර්ක ඉදිරිපත් කරමින් එක්සත් ජාතික පක්‍ෂය / ප්‍රේමදාස වෙනුවෙන් පෙනී සිටීමට පටන් ගනී.

      Delete
  2. සජිත් ඉල්ලුවේ පවත්නා ආණ්ඩුව කෙරේ කළකිරීමට පත්ව සිටි එක්සත් ජාතික පාක්‍ෂිකයන් නොවේ.
    සජිත් ඉල්ලුවේ සජිත්මය.

    ගෝඨාභය (ඇමරිකන් පාස්පොට් එකේ විදියට Gotabaya) ඉල්ලුවේ විමලසිරි සහ ගම්මන්පිලයි. එය මහජනතාවගේ ඉල්ලීම ලෙස ඉදිරිපත්කලේ ජනාධිපති රාජපක්ෂ මහතායි.

    ReplyDelete
    Replies
    1. මහජනතාව යනු වියුක්ත පට්ටපල් බොරුවක්

      Delete
    2. සජිත් ද සජිත් ඉල්ලූ බව සැබෑ ය. එහෙත් සජිත් ඉල්ලුවේ සජිත් පමණක් නම් ඔහුට අපේක්‍ෂකත්වය ලැබෙන්නේ නැත. එපමණක් නොව, රට පුරා එක්සත් ජාතික පක්‍ෂයට ඡන්දය දෙන මනුෂ්‍යයින් පොදුවේත් ආණමඩුව ප්‍රදේශයේ එක්සත් ජාතික පක්‍ෂයට ඡන්දය දෙන හෝ නොදෙන ගෙම්බන් විශේෂයෙනුත් සජිත් ඉල්ලන බව ඒ ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙක් රැස්වීමකදී කීය.

      ඒ අයුරින් නම් ගෝඨාභයත් ගෝඨාභය ඉල්ලූ බව පිළිගැනීමට සිදු වේ. රටේ සියලුම මනුෂ්‍යයින් ගෝඨාභය ඉල්ලුවත් ගෝඨාභයට එය අවශ්‍ය නොවී නම් වරප්‍රසාද සහිත ඇමරිකා ඔරුමිත්තනාඩුවේ රටවැසිකම ඔහු අත හැර දමන්නේ නැත.

      Delete
  3. මා අයත් වන මැතිවරණ කොට්ඨාශය සාම්ප්‍රදායික පිළිගැනීම අනුව සිංහල බෞද්ධ මතවාදය ශක්තිමත් ප්‍රදේශයකි (පතිරූපදේශ). පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී පොහොට්ටු පක්‍ෂය විසින් සියළුම කොට්ඨාශ ජයග්‍රහණය කළ, එසේම තව සතියෙකින් පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා අඩුම තරමින් 70% ප්‍රතිශතයක් ලබනු ඇතැයි උපකල්පනය කෙරෙන ඡන්ද බල ප්‍රදේශයකි.

    ඊයේ රාත්‍රියේ මේ ප්‍රදේශයේ නිවෙස් වල සංචාරය කිරීමේ අවස්ථාවක් උදා වූ අතර එහිදී සජිත් ප්‍රේමදාස විසින් උත්තේජිත පාක්‍ෂිකයන් දැක ගතිමි. ඉතා පැහැදිළිව දක්නට ලැබුණු සංසිද්ධිය නම් දුගී සමාජ ස්ථර වලට අයත් ජනතාව, කාන්තා පිරිමි වෙනසක් නැතිව, සජිත්ගේ ආගමනය විසින් උද්දීපනයට පත් කර ඇති ආකාරයයි. වික්‍රමසිංහ හෝ ජයසූරිය ඉදිරිපත් විණි නම් මේ දුගියන් ඡන්ද පොළට යන්නේ නැත. ඔවුන් එළිපිට ඉතා විවෘතව අතිමහත් උද්‍යෝගයෙන් යුතුව සජිත් ප්‍රේමදාස ගැනත්, ඔහුට ජය පතා සංවිධානය කෙරෙන රැස්වීම් ගැනත්, ඒවාට සහභාගී වීම ගැනත් කතා කරන්නට යෙදින.

    මීට ප්‍රතිපක්‍ෂව, රාජපක්‍ෂ පාක්‍ෂිකයන් යැයි කථාවෙන් හැඟවූ අය කතා කළේ කිසි උද්‍යෝගයක් නැතිව ඇල්මැරුණු ස්වභාවයෙන් ය. ඔවුන් එළිපිට දේශපාලනය කතා නොකළ අතර ඔවුන් වැඩි දෙනෙකුගේ මාතෘකාව වූයේ ගෑස් හිඟයයි. ගෑස් හිඟය ආණ්ඩුවේ නොහැකියාවම දැයි ඇසූ විට මේ අයට ඒ ගැනත් හැඟීමක් තිබුණේ නැත. කොටින්ම, MCC ගිවිසුම ගැනවත්, සජිත්ගේ පොරොන්දු පත්‍රයේ සැඟවී ඇති වික්‍රමසිංහ-සුමන්තිරන්-ජෑම්පති කුසංයෝගයේ දෙමළ ඊලම් ව්‍යවස්ථාව ගැනවත් මේ කිසිවෙක් කථා කළේ නැත.

    සිංහලයන් ඡන්දය දෙන්නේ කුමක් සිතා බලාද යනු ඒ සංචාරයෙන් අප සිතට නැගුණු පැනයයි.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කරුන හා එකඟයි

      Delete
    2. රෑට රෑට කොටු පැනල - නිවෙස් වල සංචාරය කිරීමේ අවස්ථාවක් උදාවුනා කිව්වම හිකෙනුත් පුනා

      Delete
  4. මමනම් සියනෑ කෝරලේ උඩුගහපත්තුවේ මීරිගම ආසනේ කෙනෙක්.
    අපේ පැත්තේ එජාපෙට කැමති සිංහල බෞද්ධයෝ තරමක් ඉන්නවා.
    අපේ නෑදෑයොත් සෑහෙන පිරිසක් එජාපයට ප්‍රියයි.
    ඒත් මේපාර ඒ හැමෝම වගේ කියන්නේ ඝෝඨට කතිරේ ගහනවා කියලයි.

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !