Thursday, July 18, 2019

පන්දු යවන්නන් අඩු කුලේද ?

...ලෝක කුසලානයට පසුවදනක්...



මෙවර පැවති දොළොස් වන ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ජයග්‍රහණය සත්කාරක එංගලන්ත කණ්ඩායම දිනා ගත්තේය. එය කිසිවෙකුට පුදුමයට කරුණක් වූයේ නැත. මේ දශකයේ පැවති ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලි තුනම පිළිවෙලින් ඒවායේ සත්කාරක කණ්ඩායම් විසින් දිනා ගැනීම සිදු විය. ඒ:
  • 2011: සත්කාරක ඉන්දියාව විසින් මුම්බායි හි දී ශ්‍රී ලංකාව කඩුළු 6 කින් පරාජය කර ද
  • 2015: සත්කාරක ඔස්ට්‍රේලියාව විසින් මෙල්බෝන් හි දී නවසීලන්තය කඩුළු 7 කින් පරාජය කර ද
  • 2019: සත්කාරක එංගලන්තය විසින් ලංඩන් හි දී නවසීලන්තය හතරේ පහරවල් කිහිපයකින් පරාජය කර ද
ආදී වශයෙනි.

ඉහත මුල් තරඟාවලි දෙකේ ම අවසන් තරඟය පරාජයට පත් වූ කණ්ඩායමත් තරඟාවලියේ සම සත්කාරකත්වය ඉසිලූ කණ්ඩායමක්ම වීම මෙහි විශේෂත්වයයි. එසේ වුවත් අවසන් තරඟය තම රටේ පවත්වා ගැනීමට ඒ රටවල් වල ක්‍රිකට් බලධාරීන් උත්සුක නොවීම හෝ අසමත් වීම හෝ හේතු කොටගෙන ඒ රටවල් වලට ක්‍රිකට් ලෝක කුසලානය අහිමි වූ බව ක්‍රීඩා ලෝලියෙක් තර්ක කළහොත් ඊට පදනමක් තිබේ.

ඊට පෙර සත්කාරක කණ්ඩායමක් විසින් ලෝක කුසලානය ජය ගෙන ඇත්තේ 1996 දී පමණක් වන අතර ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකාව තරඟාවලිය ජය ගත්තත් ඒ ශ්‍රී ලංකාව තුලදී නොව පාකිස්තානයේ ලාහෝර් හි දී ය.




මෙවර තරඟාවලියේ දැඩි විවේචනයට බඳුන් වූ අංගය නම් ඉතා වැදගත් තරඟ කිහිපයක් වර්ෂාව හේතුවෙන් අහිමි වී යාමයි. ඒ තරඟ ද විසඳුමක් දක්වා ගෙන යාමට තිබිණි නම් අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් වල වෙනසක් වන්නට ඉඩ තිබුණු බවක් බොහෝ දෙනාගේ අදහස විය. විවේචනයට ලක් වූ අනෙක් අංගය අවසන් මහා තරඟයේ ජයග්‍රාහකයා තේරූ ක්‍රමවේදය යි.

මා සිතන අන්දමට නම් අවසන් තරඟය ලකුණු සම වී (tie) නිමා වූ අතර සුපිරි ඕවරය ද ලකුණු සම වීම (tie) හේතුවෙන් අවසන් මහා තරඟය ජය පරාජයෙන් තොරව (draw) අවසන් විය. මේ හේතුවෙන් ලෝක කුසලානයේ ජයග්‍රාහකයා තෝරා ගැනීම පිණිස තරඟාවලි සංවිධායකයින් විසින් වෙනත් උපක්‍රමයක් යොදා ගැනිණ.

මෙහිදී අවධාරණය කළ යුත්තේ නවසීලන්තය අවසන් මහා තරඟය පරාජය නොවූ බව සහ එංගලන්තය එය ජය නොගත් බවය. නමුත් ප්‍රස්තුත තරඟයේදී වැඩි හතරේ / හයේ පහර ගණනක් එල්ල කර තිබීම හේතු කොටගෙන සංවිධායකයින් විසින් එංගලන්ත කණ්ඩායමට ලෝක කුසලානය පිරිනැමීමට තීරණය කරන ලදී.

මෙය කළින්ම ගෙන තිබූ තීරණයක් වන අතර සෑම කණ්ඩායමක් ම ඒ ගැන දැනුවත් ව ද සිටියේය. එහෙත් තරඟය ජය ගැනීමට අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට මිස ප්‍රතිවාදියාට වඩා වැඩි හයේ පහරවල්, හතරේ පහරවල් ගැසීමට ප්‍රමුඛතාවය දෙන සිරිතක් ගමේ ගොඩේ කුඹුරේ පොල් වත්තේ රබර් වත්තේ ක්‍රිකට් "සෙල්ලම්" කරන අප අතර මිස අන්තර්ජාතික තරඟ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අතර නැත.

ඒ නයින් ගත් කළ එල්ල කළ හයේ / හතරේ පහරවල් ගණන අනුව තරඟයේ ජය පරාජය තීරණය කිරීම නිවැරදි ක්‍රියාවක් නොවන බවට සැකයක් නැත. හයේ හතරේ පහරවල් වැඩි ගණනක් එල්ල කළත් අවසන් වශයෙන් ලබා ගත් ලකුණු ගණන සමාන බැවින් සහ හයේ / හතරේ පහරවල් වලට, දිවීමෙන් ලබා ගන්නා ලකුණු වලට වඩා වැඩි බරක් යෙදීම අසාධාරණයකි. එකම පන්දු වාර ගණනක් තුල කණ්ඩායම් දෙකක් සම ලකුණු ගනිද්දී එක කණ්ඩායමක් හතරේ / හයේ පහරවල් වැඩි ගණනක් එල්ල කර ඇත්නම් එහි අරුත ඒ කණ්ඩායම නිලකුණු පන්දු වැඩි ගණනක් වැය කොට (එනම් පන්දු වැඩි ගණනක් අපතේ යවා) ඇති බවයි. මෙහි අනෙක් පාර්ශවය සැළකූ කළ කිව හැක්කේ ප්‍රතිවාදී කණ්ඩායම වඩා හොඳින් පන්දු යවා ඇති බවයි. පරාජයට හේතුව විය යුත්තේ වඩා හොඳ පන්දු (නිලකුණු පන්දු) වැඩි වැඩියෙන් යැවීමද ?



ලකුණු සම අවස්ථාවක ජයග්‍රාහකයා තෝරා ගැනීම


ලකුණු සම අවස්ථාවක ජයග්‍රාහකයා තෝරා ගැනීමට මා නම් යෝජනා කරන්නේ වෙනත් ක්‍රමයකි. ක්‍රිකට් ක්‍රීඩාව කණ්ඩායම් ක්‍රීඩාවකි. එහි පන්දු යවන්නන් සහ පිතිකරුවන් යන දෙවර්ගයම සිටී (පන්දු රකින්නන් යැයි කොටසක් අවස්ථානුකූලව නම් කළත් කිසිවෙක් පන්දු රකින්නෙක් වශයෙන් කණ්ඩායමට ඇතුළත් කෙරෙන්නේ නැත. කෙරේනම් ඒ කඩුළු රකින්නා පමණෙකි). කණ්ඩායම් දෙකම නියමිත පන්දු වාර සංඛ්‍යාව අවසන ලබා ගත් ලකුණු සම වී නම් එහි අරුත කණ්ඩායම් දෙකෙහිම පිතිකරුවන්ගේ දක්‍ෂතා සමාන බවයි.

එවැනි විටෙක අමතර පන්දු වාරයක් (මගේ අදහස නම් පන්දු වාර දෙකක් විය යුතු බවයි) බැගින් කණ්ඩායම් දෙකටම ක්‍රීඩා කිරීමට දීම ඉතා හොඳ අදහසකි. කලාතුරකින් අවස්ථාවක මෙවර අවසන් තරඟයේදී සිදු වූ අයුරින් එයත් ලකුණු සමාන වීමේ ඉඩකඩ තිබේ.

එවැනි කෙටි තරඟයක් පැවැත්වීමකින් තොරවම තරඟයේ ජයග්‍රාහකයා තීරණය කිරීමට වෙනත් ක්‍රම නැතිද ? පැහැදිළිවම තිබේ. කණ්ඩායම් දෙකේම පිතිකරුවන්ගේ දක්‍ෂතා සමාන වී ඇති විටෙක පන්දු යවන්නන්ගේ දක්‍ෂතා සසඳා නොබලන්නේ උන් අඩු ජාති කාරයෝ ද?

මෙවැනි විටෙක හැරී බැලිය යුතු වන්නේ පන්දු යවන්නන් විසින් ප්‍රතිවාදී පිතිකරුවන් කී දෙනෙක් දවාගෙන ඇත්ද යන්නයි. ප්‍රස්තුත තරඟයේදී නවසීලන්ත කඩුළු 8 ක් බිඳ වැටුණු අතර ඒ අට එංගලන්ත පන්දු යවන්නන් හතර දෙනෙකු විසින් දවා ගන්නා ලදී. ඒ අයුරින්ම බිඳ වැටුණු එංගලන්ත කඩුළු දහයෙන් අටක් දවා ගන්නා ලද්දේ ද නවසීලන්ත පන්දු යවන්නන් සිව් දෙනෙකු විසිනි. ඉතිරි දෙක දුවද්දී දැවී යාම් ය. පන්දු යවන්නන් විසින් කළ දවා ලීම් පමණක් සැළකූ විට සමාන වන්නේ නම් අනෙක් ආකාර වලින් කළ දවා ලීම් ද සැළකිය හැක. ක්‍රිකට් ක්‍රීඩාවේ දැවී යාම් ආකාර 11 ක් අප දන්නා පරිදි ඇති අතර මේ ක්‍රම 11 ම මෙහිදී සැළකිය යුතුද යන්න ප්‍රශ්නයකි. විශේෂයෙන් වේලාවට නොපැමිණීම (Timed-Out) නිසා සහ පන්දු රකින්නන්ට බාධා කිරීම (Obstructing the Field) නිසා දැවී ගියා සේ සැළකීම ගණනයට ගත යුතු ද යන්න වැඩිදුර සංවාදයට බඳුන් කළ යුතු වුවත් පන්දුවට පහර දීමේදී ආබාධයට ලක් වී නැවත පහර දීමට නොපැමිණෙන අවස්ථාවක (Retired-Out) එය දැවී යාමක් සේ ගණනයට ගත යුතු නැති ය යන්න අපගේ අදහසයි.

හොඳයි, දැවී යාම් ද සමාන උනොත් ?

ලකුණුත් සමාන වී ඉහත විස්තර කළ පරිදි සංසන්දනය කරන කඩුලු ගණනත් සමාන වී නම් අන්න එවිටයි අමතර පන්දු වාරයක හෝ දෙකක කෙටි තරඟයකට අවස්ථාව.

Super over ලෙස හඳුන්වන අද පවත්නා ක්‍රමය 20-20 තරඟයකට ගැළපෙන මුත් පන්දු වාර 50 තරඟයකට සුදුසු නැත. තණ තිල්ලේ අන්ත දෙකින්ම පන්දු වාර දෙකක් බැගින් කණ්ඩායම් දෙකටම පන්දු යැවීමට ලබා දීමයි වඩා සාධාරණ. පිතිකරුවන් තිදෙනෙක් සහ පන්දු යවන්නන් දෙදෙනෙක් බැගින් කණ්ඩායම් දෙකෙන්ම නම් කර කෙටි තරඟයක් පවත්වා ජයග්‍රාහකයා තෝරා ගත හැක. එහිත් ලකුණු සමාන වී නම් පෙර ලෙසම කඩුළු ගණන සැළකිය යුතුය.

යම් හෙයකින් අමතර කෙටි තරඟයේත් ලකුණු ගණන හා කඩුළු ගණන සම වී නම් හතරේ පහරවල් ගණන් කිරීම වැනි විකාර නොකර යථාර්තය පිළිගෙන ඒ කණ්ඩායම් දෙකම සම ශූරයින් ලෙස ප්‍රකාශයට පත් කළ යුතුය.

එය කිරීමට අනුග්‍රාහකයන් කැමති නැතිනම් මේ තරඟාවලියේ පෙර අවස්ථාවක මේ කණ්ඩායම් දෙක හමු වූ තරඟයක ප්‍රතිඵලය (Head-to-Head Clash) අනුව කුසලානය පිරිනැමිය හැක. එසේ නැතිනම් තරඟාවලිය පුරාම ලබා ගත් ජයග්‍රහණ ගණන (Number of wins) සැළකිය හැක. එසේත් නැතිනම් තරඟාවලිය පුරා ශුද්ධ ලකුණු වේගය (Net run Rate) සැළකිය හැක. මේ සියල්ල තිබියදී හයේ හතරේ පහරවල් ගණන් කිරීම නම් නැවැත්විය යුතුමය.

තරඟාවලියේ මූලික වටයේ දී එංගලන්තය විසින් නවසීලන්ත කණ්ඩායම සම්පූර්ණයෙන් පරාජයට පත් කළ අතර එංගලන්තය සහ නවසීලන්තයට අතර මූලික වටයේ තරඟ ජයග්‍රහණ සංසන්දනයේදී 6-5 වශයෙන් එංගලන්තය ඉදිරියෙන් සිටී. මේ හේතුවෙන් උක්ත කවරාකාර සාධකයක් තීරණාත්මක සාධකය ලෙස ගත්තත් ලෝක කුසලානය එංගලන්තයට ම හිමි වනු ඇත. හතරේ පහරවල් ගණනය කිරීමට වඩා ඉහත ක්‍රම සාකල්‍යයෙන්ම නම්බුකාර ය.



කෙසේ හෝ, එංගලන්තය ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත්තේය. පාපන්දු, රග්බි ලෝක කුසලාන දිනා සිටි එංගලන්තයට මෙතෙක් අඩුවක් ව තිබුණේ ලෝක ක්‍රිකට් ලෝක කුසලානය පමණි. ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන් එංගලන්තය ක්‍රිකට් ක්‍රීඩාවේ ලෝක කුසලානය හිමි කර ගැනීමට මෙතෙක් කාලයක් බලා සිටීමට සිදු වීම එක්තරා ආකාරයකට පුදුමයකි. නමුත්, 1979, 1987, 1992 යන වසර වල අනුශූරතාවයෙන් සෑහීමට පත් වුණු එංගලන්තය මෙවර ලෝක කුසලානය දිනා ගත් අතර 2015 මෙන්ම මෙවරත් නවසීලන්තයට අනුශූරතාවයෙන් සෑහීමට පත් වීමට සිදු විය.

දැන් සියල්ල සම්පූර්ණය. චාලිස්ට රජකම බාර දී එලිසබත් වින්ඩ්සර මැතිණියට හිතේ සැනසිල්ලෙන් විශ්‍රාම ගැනීමට පුළුවන.

5 comments:

  1. මම එය ක්‍රිකට් වලට ආසා නෑ හැබැයි මම මේ දවස්වල වෙන බෝල සෙල්ලමක් ගහනවා.
    "බුබුලු බායාකාරියගේ අන්දරය 3" (Bubble witch saga 3)
    ඔයත් කරලා බලන්න.

    තව සෙල්ලමක් තියෙනවා
    "මහනුවර කුඩුපට්ටම් කිරීම සෝඩා අන්දරය 2" (Cndy crush soda saga 2)
    අබිං ගංජා පරාදයි

    ReplyDelete
  2. https://www.espncricinfo.com/story/_/id/27200532/why-count-boundaries-determine-wins-world-cup-here-three-better-ways

    ReplyDelete
  3. අල්මේදලා බෝල ගසති. අපිත් බෝල ගහමු.

    ReplyDelete
  4. පන්දු රකින්නන් විදියට කවුරුත් ගන්නේ නෑ කිව්වනේ. අන්න ඒක තමයි ජයග්‍රාහකයා තෝරන විදිය. තරඟයයි සුපිරි ඕවරයයි අනිත් ඔක්කොම අටමගල් සමයි නම් පන්දු යවන්නොයි පිතිකරුවෝයි වැඩක් නෑ. අර යාර තිහේ සීමාව එකොළහට බෙදල ඒකෙ ඉඳන් විකට් එකට බෝලෙන් ගහපන් කිව්වනම් ටීම් දෙකටම වැඩිම ඩිරෙක්ට් හිට් ගානක් යන එව්වන්ට දිනුම දුන්නහැකි.

    ප.ලි. ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරි තුන කාටවත් මතකද? උන් ඔක්කොම පොල් අඩියෝ. මේ ජයග්‍රාහකයා තෝරන ක්‍රමය අහඹුවක්ද?

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරි තුන ???

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !