Wednesday, April 24, 2019

මරුවා සමග වාසේ

හෙවත් ආණ්ඩුව ත්‍රස්තවාදීන් අතට පත් වීම


මා සිතන අන්දමට, පාස්කු ඉරිදා කතෝලිකයන්ගේ දින දර්ශණයේ වැදගත්ම දිනය වේ.
ප්‍රහාරයෙන් පසු
බෞද්ධ දින දර්ශණයේ වැදගත්ම දිනය වෙසක් පුර පසළොස්වක බවට විවාදයක් නැත්තේ සිද්ධාර්ථයන්ගේ උපත, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන ත්‍රිවිධ මංගල්‍යයම එදිනට සැමරෙන බැවිණි. මේ සිද්ධි වෙන වෙන දින වල සිදු විණි නම් වඩාත් වැදගත් දිනය කවරක් විය හැකිව තිබිණිද?
මා සිතන අන්දමට බෞද්ධයාට වඩා වැදගත් වන්නේ බුද්ධත්වය ලැබූ දිනයයි.

කතෝලිකයන්ට ඒ හා සමාන වැදගත් දිනයක් ඇත්නම් ඒ ජේසු ස්වාමිදරුවන් මරණයෙන් උත්ථානය වූ දිනය වේ.



පාස්කු ඉරිදා දින බෝම්බ පිපිරීම් සිදු වූ බව අසන්නට ලැබුණු මොහොතේ ඇති වූයේ ඉතා දැඩි කෝපයකි. ඒ මනා ආරක්‍ෂක වටාපිටාවක තිබුණු රටක් මෙවැනි තත්වයට නැවත ඇද දැමූ තුච්ඡ පාලකයන් සම්බන්ධයෙනි - ඔවුන් පත් කර ගැනීමට තම මනාපය පල කළ අපේම සහෝදර රට වැසියන් සම්බන්ධයෙනි.

ප්‍රහාර වල ඉලක්කය කතෝලික දේවස්ථාන හා සංචාරක හෝටල් බව දැන ගන්නට ලැබුණු විට ඇති වූයේ කළකිරීම් සහගත භීතියකි. ගමක හෝ වීථියක අනවසරයෙන් පවත්වාගෙන යන යාඥා මඩුවකට කපුටෙක් රැගෙන යන කට්ටක් වැටුණත් බෞද්ධයන් විසින් ලංකාවේ පල්ලි කඩන බව ප්‍රචාරය කෙරෙන ජාත්‍යන්තර මාධ්‍ය විසින් මගේ රටට සහ සිංහලයින්ට එරෙහිව ප්‍රකාශ කිරීමට නියමිත ප්‍රචාරක යුද්ධය ගැන ඉවක් තිබුණු බැවිණි.

එහෙත් එයින් මේ සා මහත් පිරිසක් හානියට පත් වූ බව දැන ගන්නට ලැබුණු විට දැනුණේ හද කකියවන කම්පාවකි. අපගේ කතෝලික ඥාතීන් ද නැතුවා නොවේ. දැන් එතරම් නැතත් අපට ශක්තියක් වෙමින් අප හා මුල සිට එක්ව සිටි හා දැනටත් ඉඳහිට ප්‍රතිචාර එක් කරන හිත මිතුරු ජොසේෆ් ද කතෝලිකයෙකි - ඔහුගේ බොහෝ ඥාතීහු කතෝලිකයෝය. මේ විපත අපට වඩා ඔවුන්ට තරව දැනෙන බව දනිමි.
මේ විපතින් රෝහල්ගත වුණු සැමට ඉක්මන් සුවය පතන අතර මරණයට පත් වූ අයවළුන් නැවත මේ සංසාරයේ මෙවැනි විපත් වලට පත් නොවේවා යි ද පතමි !



මේ ප්‍රහාරයට ඉලක්ක වූයේ කතෝලිකයින් වුවත්, ප්‍රහාරය එල්ල කරන ලද්දේ ආගමික අන්තවාදීන් ලෙස සාමාන්‍යයෙන් හැඳින්වෙන ශුද්ධ ඉස්ලාම් භක්තිකයින් විසින් බව දැන ගන්නට ලැබුණු විට දැනුණේ අස්වැසිල්ලකි. ඉස්ලාම් ආගම යුදෙව් ආගමේ ම අරාබි පරිවර්තනයයි. කාන්තාර හරහා වැටී තිබූ මාර්ග ඔස්සේ වෙළෙඳාමේ ගිය මොහොමඩ් නැමැත්තා එවකට පැවති යුදෙව් ආගමේ ඉගැන්වීම් වලින් ඔකඳ වී ඒවා නොයෙක් වර්ග වල අරාබි එඩේරුන්ගේ ම්ලේච්ඡ සිරිත් විරිත් සමග එකට කලතා තනා ගත් ඉගැන්වීම් පිළිවෙළකිනි ඉස්ලාම් ආගම තැනී ඇත්තේ. එකම දෙවි තමා බවත්, තමාට නිති පතා පුද පූජා පැවැත්විය යුතු බවත්, වෙනත් දෙවියන්ට / දෙවිවරුන්ට වඳින පුදන අයවළුන් දඬුවමට ලක් කළ යුතු බවත්, උගැන්වෙන්නේ යුදෙව් ආගමේය.

කතෝලික ආගම තැනී ඇත්තේ යුදෙව් ආගමට සංශෝධන එකතු කළ ජේසුස්ගේ ඉගැන්වීම් ඔහුගේ ගෝලයන් හරහා රෝමයට සංක්‍රමණය වී රෝමන්වරුන්ගේ ඇදහිළි හා සම්මිශ්‍රණය වීමෙනි. බහුදේවවාදයක් වූ රෝමන් ඇදහිළි හා ඒකදේවවාදයක් වූ සංශෝධිත යුදෙව් ආගම් මිශ්‍ර වන විට දේවදූතයන් හා සාන්තුවරුන් ප්‍රාධූර්භූත වන්නට විණ.

ලංකාවට කතෝලික ආගම ගෙනාවේ පෘතුගීසින් විසිණි. රාගම තෙවත්තේ පල්ලියේ කුමක් කොටා තිබුණත් ඊට පෙර ලංකාවේ සංවිධානාත්මක කතෝලිකාගමක් තිබුණේ නැත. පරංගින් විසින් මුහුදුබඩ විහාරාරාම හා දේවාල විනාශ කර ඒ මත කතෝලික පල්ලි ගොඩ නැගූහ. ඉස්පන්චින් (ස්පාඥයන්) හා පරංගින් (පෘතුගීසින්) ලොව පුරාම කළේ එයයි. පසුව සැපත් වූ රෙපරමාදු ආගම් ඇදහූ ලන්දේසින් (ලංසි) විසින් කතෝලිකයන් කෝටුමස් කරන විට ඔවුන්ට රාජ්‍යාරක්‍ෂාව දුන්නේ සිංහල රාජධානියයි. ලංකාවේ වර්තමාන කතෝලිකයන් බොහෝ දෙනෙක් පැවතෙන්නේ පරංගි යුගයටත් වඩා එසේ ලන්දේසි යුගයේදී උඩරට බෞද්ධ රාජ්‍යයේ අනුග්‍රහය මත කතෝලික කෙරුණු සිංහලයන් වෙතිනි. ලක්දිව පාලනය ඉංගිරිසින් අතට පත් වූ පසු කතෝලිකකරණය සහ ඊටත් වඩා ක්‍රිස්තියානිකරණය නව ජවයකින් ඇරඹිණි. ඉංගිරීසිහු ක්‍රිස්තියානිකයෝ වූහ. අද ලක්දිව බලය හොබවන බොහෝ පවුල් (අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ ඇතුළුව) එංගලන්ත සභාවේ ක්‍රිස්තියානි කාරයෝ ය. නැතිනම් වෙනයම් හෝ නිකායෙක ක්‍රිස්තියානි කාරයෝ ය.

කතෝලිකයන්ට සාපේක්‍ෂව ක්‍රිස්තියානි කාරයෝ මූලධර්මවාදීහු වෙති. ජේසුස් විසින් පැරණි යුදෙව් ආගමට එකතු කරන්නට ඇතැයි සැළකෙන සංශෝධන තබාගෙන රෝමන් ඇදහිළි වලින් පරිණාමය වන්නට ඇතැයි සැළකිය හැකි කතෝලික ඉගැන්වීම් උහු ප්‍රතික්‍ෂේප කරති. මේ අරුතින් ඉස්ලාමිකයන් හා ක්‍රිස්තියානින් බොහෝ දුරට සමානය.



ලංකාවේ ඉස්ලාම් ආගම ව්‍යාප්ත වන්නේ වෙළෙඳාමේ පැමිණි අරාබි පුරුෂයන් හා සිංහල ස්ත්‍රීන් යහන්ගත (හෝ කැලෑගත හෝ - ස්ථානය අදාළ නැත) වීමෙන් බව හිටපු ඇමති අෂ්රෆ් සහ වෙනත් පිරිස් විසින් ව්‍යාප්ත කරන්නට යෙදුණු පට්ටපල් කෙප්පයකි. එවැනි අහේනියක් ලංකාවේ එවකට පැවතුණේ නැත. මේ කතාව ඉන්දියාවේ උපන් එකකි. ඉන්දියාව ආක්‍රමණය කළ ඉස්ලාමිකයන් විසින් ස්වදේශික පිරිමින් සංහාරය කෙරුණු අතර බොහෝ ස්ත්‍රීන් අඹු කමේ හෝ හොර අඹු කමේ හෝ තබා ගත්හ. සංහාරය නොකෙරුණු පිරිමින් ඉස්ලාම් ආගම වෙත හරවා ගැනිණි. ඉස්ලාම් බලය පිහිටවූ පෙදෙස් වල සිට ඉන්දියාවේ අනෙක් පෙදෙස් වෙත බොහෝ වෙළෙන්දන් සංචාරය කළ බව සත්‍යයකි. මේ සංචාර වලදී ඒ ඒ පෙදෙස් හි ස්ත්‍රීන් අඹු කමට හෝ වාල් කමට හෝ ගෙන පට්ටි ගැස්සවීම කෙරෙන්නට ද ඉඩ නැතුවා නොවේ.

ඉන්දියාවේ ඉස්ලාම් භක්තිකයන් බොහෝ දුරට ඉස්ලාම් කෙරුණු ඉන්දියානුවන්ගෙන් පැවතෙන්නන් ය. එහෙත් ලංකාවේ ඉස්ලාම් භක්තිකයන් ඉන්දියාවෙන් පාකිස්ථානයෙන් ඇෆ්ගනිස්ථානයෙන් මැලේසියාවෙන් ඉන්දුනීසියාවෙන් නැතිනම් ඉරාණය ඇතුළු මාධ්‍ය ආසියා රටවලින් සංක්‍රමණය වූවන් ය. වෙළෙඳාමේ පැමිණි අරාබීන්ට දාව සිංහල කාන්තාවන් විසින් වැදූ දරුවන් සිංහල බස හෝ අරාබි හෝ බස නොදොඩා දෙමළෙන් දොඩන්නේ වරිගේ නහ ගැනීම පිණිසද?



වර්තමාන ලංකාවේ අප අද දකින කතෝලික ආගම, අඩු තරමින් 50 දශකයෙන් පසු, බෞද්ධ සාරධර්ම හා සිරිත් විරිත් උකහා ගනිමින් දේශීය තත්වයන්ට අනුගත වෙමින් සිටියි. ගරු මර්සලිනු ජයකොඩි පියතුමා අර්නස්ට් පෝරුතොට ආදී පියතුමන්ලා මෙහිදී සිහියට නැගෙයි. උන් වහන්සේලා කරන්නට උත්සාහ කළ දේ ගැන බෞද්ධයෙක් වශයෙන් විවේචන තිබුණත් සිංහලයෙක් වශයෙන් උන් වහන්සේලාගේ සේවය අතිශයින් අගය කරමි.

ඉස්ලාම් භක්තිකයන් ගේ වර්තමාන හැසිරීම මීට ප්‍රතිවිරුද්ධ ය. සියවස් කිහිපයක් සිංහලයන් හා සහජීවනයෙන් සංහිඳියාවෙන් විසූ ඉස්ලාමිකයන්ට අරාබිමේනියාව වැළඳෙන්නේ දැන් වසර කිහිපයක සිටය. 2009 දී පිරබාහරන් ඔහුගේ අමුඩය පිටිං නන්දිකඩාල් කළපුවේ ගිල්වා දැමීමෙන් පසු මුස්ලිමුන්ගේ අරාබි-කැසිල්ල උත්සන්න වූ බව පෙනිණ. මේ ගැන පොත් පත් පවා ලියූ අග්‍රගණ්‍ය වියතෙකි වර්තමාන මෙගාපොලිස් අමාත්‍ය පාඨ ලී.

අරාබීන් මෙන් රැවුල් වැවූ ලෝගු දැමූ මැදි වියේ හෝ නාකි වියේ මිනිසුන් මහමගදී නිතර දකින්නට ලැබීමත්, ඔවුන් තමන්ගේ පට්ටිය පිටින්ම ගෝණි බිල්ලා කිට් එක අන්දවා පාරේ රැගෙන යාමත් සුලභ විය. ම්‍යන්මාරයෙන් පැමිණි සරණාගතයන් යැයි කී පිරිසක් හා බොදු බල සේනාව ඇති කළ කල කෝලාහලය මතකද? අරාබි රියාල් මුදලේ ආනුභාවයෙන් විල්පත්තු කට්ටි කර සනාථ කරන්නේ ලංකාවේ දී අනාථ වූ අයවළුන් ම ද ? බොදු බල සේනාව රුපවාහිනී කණ්ඩායමක් ගෙන කළ කඩා පැනීමේ දී සිංහලත් බැරි දෙමළත් බැරි පිරිසක් සිටියා මතකද? ඉස්ලාම් භක්තිකයන්ට "හලාල්" කෑම, ඉස්ලාම් භක්තිකයන්ට "තකාෆුල්" බැංකු, ඉස්ලාම් භක්තිකයන්ට "කාති" උසාවි, ඉස්ලාම් භක්තිකයන්ට "ෂාරියා" නීති, ඉස්ලාම් භක්තිකයන්ට "මද්රාසා" පාසැල්, ඒවායේ උගන්වන්න ඇෆ්ගනිස්ථානයෙන් "තලේබාන් මුල්ලා" වරු ... සියවස් ගණනාවක් මේවා නැතිව සිටි මේ මනුෂ්‍යයින්ට හදිසියේ මේවා උවමනා වූයේ ඇයි?

බොදුබල සේනාව, මහසොහොන් බලකාය, සහ තවත් වෙනත් (නම් මතක නැති) කුඩා කණ්ඩායම් නැගී එන ඉස්ලාම් ව්‍යාප්තවාදයට එරෙහි මතවාද සමාජගත කිරීම අරඹා දැන් දශක දෙකට වැඩිය. එසේ වුවත් කූරගල පුද භූමිය තවමත් මුදා නොගත් ප්‍රදේශයකි. දීඝවාපි ඇතුළු නැගෙනහිර දාගැප් ඩෝසර් කරන බුල්-ඩෝස් ලා නිදැල්ලේ ය. මුහුදු මහා විහාරයයේ ගල් කණු ඒ පුරාවිද්‍යා රක්‍ෂිතය අනවසරයෙන් අත්පත් කරගෙන සිටින කොනකපාළු ත්‍රස්තවාදීන්ගේ ලිප් ගල් ය. පන්සලට එන පාරේ යෑමටත් මුංගෙන් අවසර ගත යුතු තත්වයකි ඇත්තේ. අබිරහස් ලෙස අපවත් වී වදාළ පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේගෙන් පසු ඉස්ලාම් ව්‍යාප්තවාදයෙන් සිංහලයාට වන අකටයුතුකම් ගැන කතා කිරීමට කෙනෙක් නැත. බුරාගෙන පනින්නට සිටි කෙනාත් දැන් හිරේ ය. මේ තත්වය මෙනෙහි කරන විට නම් පාස්කු ඉරිදා ප්‍රහාරය වෙස් වළාගෙන පැමිණි ආශිර්වාදයකැයි සිතේ.



මේ ප්‍රහාරය කවුරුන් විසින් කළත් ඒ පසුපස සිටින්නේ ඉන්දීය ROW සංවිධානය යැයි අපගේ පළමු උපකල්පනය විය. ඒ උපකල්පනයට හේතු වූයේ ඔවුන්ගේම පැරණි කල්කිරියාවයි. කොටි, (වඩා නිවැරදිව කිවහොත් TIGER = ව්‍යාග්‍රයින්) ඇතුළු දෙමළ සංවිධාන පුහුණු කර ලංකාවේ ත්‍රස්තවාදී කටයුතු සඳහා යෙදවූයේ ඔවුන් ය. ඒ සඳහා කළ ගුණ ධනු මෙනෙවිය විසින් මැනැවින් සැළකිණ. එසේ වුවත් සමහරු පාඩම් ඉගෙන ගන්නෝ නොවෙති.

මේ පසුපස සිටින්නේ ISIS නමින් හැඳින්වෙන ඉරාක සිරියා ඉස්ලාමීය රාජ්‍යය නම් සංවිධානයේ ශ්‍රී ලංකා අනුබද්ධ සංවිධාන බව දැන් පිළිගැනෙන මතයයි. ISIS සංවිධානයට ආධාර අනුබල ලැබෙන්නේ CIA සංවිධානයෙන් වන බවටත් මතයක් වෙයි. හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය, ඇය විසින් අතුරුදහන් කරන්නට යෙදුණු රාජ්‍ය රහස් ලිපි ලේඛන ගැන කියැවෙන විට මේ ගැනත් කියැවෙයි. එහෙත් මේ එක් එක් අයගේ අනුමාන පමණි.

හැරත් දැන් එරට ජනාධිපති සද්ගුණවත් දානපති ඩොනඩ්ල් ට්‍රම්ප් මහතාය. ඔහුගෙන් එවැනි අනුබලයක් ත්‍රස්තවාදීන්ට ලැබෙන්නේ නැත. අනෙක් අතින් ඉස්ලාම් ත්‍රස්තවාදීන් උදෙසා ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම මොනවට ප්‍රගුණ කර සිටින Mossad සංවිධානයේ සම්බන්ධයක් තිබීමේ ඉඩකඩ ද බැහැර කළ නොහැක. කවුරු කළත් ඒ පසුපස කවුරු සිටියත් සිංහලයෙක් වශයෙන් අප දකින්නේ මේ අවස්ථාව ඉතිහාසය විසින් නිර්මාණය කර දුන් ස්වර්ණමය අවස්ථාවක් ලෙසයි.



නියපොත්තෙන් කැඩිය යුතු දේ පොරවෙන් කැපෙන තෙක් බලා සිටිය යුතු නැතත් අප එවැනි ජාතියකි. 1987 දී වඩමාරච්චියේදී අවසන් කර හැකිව තිබුණු දෙමළ ත්‍රස්තවාදය එසේ නොකිරීම හේතුවෙන් 2009 දී නන්දිකඩාල් කලපුවෙන් අවසන් කර දමන තෙක් බිළි ගත් ජීවිත ගණන දස දහස් ගණනෙකි. මින් වැඩි ප්‍රමාණයක් දෙමළුන් විය හැකි මුත් අවි නොදරා මියගිය සාමාන්‍ය වැසියන්ගෙන් බහුතරය සිංහලයෝය.

දැන් එළැඹී තිබෙන්නේ දශක තුනක් පමණ (අෂ්රෆ් විසින් මුස්ලිම් කොංග්‍රසය ඇරඹීම මෙහි ආරම්භය සනිටුහන් කරන බව සිතමි) හැංගි හැංගී වෙස් බැන්ද ඉස්ලාම් ත්‍රස්තවාදය එළියේ නටන හෝරාවයි. දෙමළ කැරැල්ලේ දී මෙන් නොව මේ අවස්ථාවේදී අපගේ සතුරන් බටහිර ලෝකයේ ද සතුරන් වේ. සතුරා ගේ සතුරා අපගේ මිතුරා ය යන තේමාවෙන් බටහිර ලෝකයේ ආශිර්වාදය අපට මේ අවස්ථාවේ ලැබිය හැකිය. අද පවත්නේ ද සිංහලයින් වෙනුවෙන්, එනම් රටේ සුජාත භූමි පුත්‍රයින් වෙනුවෙන්, නොව බටහිර තම ස්වාමින් ගේ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාත්මක වන ආණ්ඩුවකි. මේ ත්‍රස්තවාදීන් පහර දුන්නේ ද කතෝලික දේවස්ථාන වලටය. එය සිතා මතා කළ තෝරා ගැනීමක් ද නැතිනම් අත් වැරද්දක් දැයි තවම පැහැදිළි නැතත් ප්‍රහාරයෙන් මිය ගියේ පන්සල් ගිය බෞද්ධයින් නම් එය බටහිර ලෝකයේ මෙපමණ තැති ගැන්මක් ඇති කරන්නේ නැතුවා පමණක් නොව බටහිර ලෝකයෙන් වචනයෙන් හෝ මෙතරම් සහයක් ලැබෙන්නේ ද නැත.



ඒ ස්වර්ණමය අවස්ථාව දෛවය විසින් හෝ දෙවියන් වහන්සේ විසින් හෝ අල්ලඃ විසින් හෝ උදා කර දී තිබේ. හමුදා බුද්ධි අංශ දුර්වල කිරීමෙන් ඉහළ තනතුරු වලට LTTE සම්බන්ධතා තිබුණු අයවළුන් පත් කිරීමෙන්, දෙමළ ත්‍රස්තවාදී කැරැල්ල මැඩ පැවැත්වීමේ දී ඉහළ සේවාවක් කළ නිලධාරීන් කොන් කිරීමෙන් හා හැකි අවස්ථා වල ඇප දිය නොහැකි චෝදනා නගා සිරගතව තැබීමෙන් සහ විදෙස් තානාපති කාර්‍යාල සහ නොරාජ්‍ය සංවිධාන අනවශ්‍ය අන්දමින් සුරතල් කිරීමෙන් මේ ආණ්ඩුව විසින් ජනතාව විසින් තමන්ට පවරා ඇති මූලික වගකීම වන මහජනතාව ආරක්‍ෂා කිරීමේ වගකීම පැහැර හැර තිබේ. සත්‍යය නම් ඉස්ලාම් ත්‍රස්තවාදීන් සිටින්නේ ආණ්ඩුව ඇතුළේම බවයි. එහෙත් අග්‍රාමාත්‍යවරයා ජනමාධ්‍ය ඉදිරියේ හොටු පෙරාගෙන අඬන්නේ "අනේ මෙයාල ඔක්කොම දැනගෙන, හොර ගෙඩියා ! මට කීවෙවත් නෑ" කියාය. දැන් වැරදිකාරයා පොලිස්පති ලු.

පොලිස්පතිගේ වැරදි ඇතත් ආණ්ඩුවේ වැරදි පොලිස්පති මතින් යැවිය යුතු නැත. දැන් උදා වී තිබෙන්නේ බෙදී වෙන් වී එකිනෙකාට ඇඟිලි දික් කළ යුතු හෝරාවක් නොවේ. එක්ව සතුරාට මුහුණ දිය යුතු හෝරාවකි. ප්‍රථමයෙන් කළ යුතුව තිබෙන්නේ තම තනතුරට නොගැළපෙන තොත්ත බබා ප්‍රකාශ කිරීමෙන් අප රට විදෙස් ජනමාධ්‍ය ඔස්සේ නින්දාවට ලක් කළ ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ඒ තනතුරෙන් ඉවත් කිරීමයි. ඒ තනතුරට ඉතාම සුදුසු පුද්ගලයා රටම දනී. අවශ්‍ය බලතල ලබා දී තනතුර බාර ගන්නැයි ඔහුට ආරාධනා කරතහොත් ඔහු ඒ බාර ගෙන කාර්‍යය හරියට කරනු ඇත.

ඔහුම නැතත් වෙන කෙනෙක් ලවා හෝ කාර්‍යය කරවා ගත යුතුය. දැන් ගිණියම් වී ඇති අවස්ථාවේ මේ යකඩය තලා ගත යුතුය - නිවෙන්නට ඉඩ හැර ආඩපාලි කීම අද කළ යුත්ත හෙටට කල් නොදැමූ අපගේ පුරාණ සිංහලයන්ට කරන නින්දාවකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් නායකත්වය දෙන ඒකාබද්ධ විපක්‍ෂ කණ්ඩායම මීළඟට පැවැත්වේ යැයි සිතන ජනාධිපතිවරණය ගැන සිතීම පසෙක ලා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට මේ කාරණය උදෙසා සහය දැක්විය යුතුය. රනිල් වික්‍රමසිංහ ක්‍රිස්තියානි නුතනත්වයේ නියෝජිතයාය - මහින්ද රාජපක්‍ෂ මේ රටේ මධ්‍යස්ථ කතෝලික දේශපාලනයේ (සිංහල කතෝලික) සංකේතය යි. ඒ සංධානයට ජනාධිපති සිරිසේනත් එකතු වේ නම් අගනේය. ඉස්ලාම් සහ දෙමළ අන්තවාදීන් විසින් කෙරෙන කකුලෙන් ඇදීම් වලින් තොරව ඉදිරියට යා හැක්කේ එමගින් පමණකි.



වික්‍රමසිංහට එවැනි උවමනාවක්, අඩු තරමින් තමන්ගේ අගමැතිකමේ චිරපැවත්ම සළකා බලාවත්, ඇත්දැයි සැක සහිතය. ඒ බව ඔහුගේ පාර්ලිමේන්තු කතාවෙන් ඔප්පු විණ. තමන්ගේ වැරදි අඩුපාඩු පිළිගන්නා කෙනෙක් නම් මීට වඩා හොඳ අවස්ථාවක් ලැබෙන්නේ නැත. තමන්ගේ පසුපෙළ මන්ත්‍රීවරුන් ලවා විපක්ෂනායකගේ කථාවට බාධා කරන බවට තර්ජනය කරනු වෙනුවට තම වැරදි පිළිගෙන මේ නව සතුරාට එරෙහිව අත්වැල් බැඳ ගන්නා ලෙස ආරාධනා කළේ නම් අපගේ උපහාරය ඔහුට හිමි වේ. එහෙත් රනිල් වික්‍රමසිංහ නිවට තකතීරුවෙකි. රට වෙළාගෙන තිබෙන භීෂණයේ දිග පළල ගැන ඔහුට කිසි වැටහීමක් නැත. මේ තත්වය යටතේ විපක්ෂනායක මහින්ද රාජපක්‍ෂ බැසිල් ලවා හෝ කෙළින්ම ඇමරිකානු ජනාධිපති ඇමතිය යුතුය.

චීනය සහ රුසියාව සමග ඔත්තු සේවා සම්බන්ධතා දැඩි කළ යුතුය. ඉන්දියාව සමග දැනටත් පවත්නා සම්බන්ධතා කළමනාකරණයටත් සියළු විදෙස් ඔත්තු සේවා තොරතුරු විශ්ලේෂණය සහ ක්‍ෂණික තීරණ ගැනීමේ කටයුත්ත උදෙසා දක්‍ෂ නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ පෙළේ කමිටුවක් / මණ්ඩලයක් පත් කළ යුතුය. පසුගිය දෙමළ කැරැල්ල මැඩ පැවැත්වීමේදී යොදා ගත් උපාය උපක්‍රම මේ කටයුත්තේ දී ප්‍රමාණවත් නැත.

මේ සියල්ලටම වඩා ඊශ්‍රායලය සමග සම්බන්ධතා ඇති කර ගැනීම වැදගත් ය. මුස්ලිම් ඇමතිවරුන්ගේ බාධා කිරීම් හේතුවෙන් ඊශ්‍රායලය සමග තානාපති සම්බන්ධතා ඇති කර ගැනීම කර ගත නොහැකිවයි අප සිටියේ. මීට වඩා ඒ සඳහා සුදුසු අවස්ථාවක් එළැඹෙන්නේ නැත. ඌරාගේ මාළු ඌරාගේ ඇඟේ තබා කැපීමේ කලාව ඔවුන් අපට උගන්වනු ඇත. දෙමළ ත්‍රස්තවාදීන් සහ ශ්‍රී ලංකා හමුදාව එකම කඳවුරක දෙපස තබාගෙන වෙන වෙනම යුධ පුහුණුව දුන් කථා අප අසා ඇත. ඉස්ලාම් ත්‍රස්තවාදය මර්ධනය කිරීම පිණිස විදෙස් උපදෙස් හා උපකාර පතන්නේ නම් ඒ සඳහා ඊශ්‍රායලය මිස වෙනත් සුදුසු රාජ්‍යයක් මෙදියත ඇත්තේ නැත.


පසුවදන: තම තමන්ගේ දේශපාලන බල ව්‍යපෘති වලට වඩා රටේ සහ ජනතාවගේ ආරක්‍ෂාව වැදගත් වගකිව යුතු සියල්ලන් විසින් සිතට ගත යුතුය. අමාත්‍ය හර්ෂ හරීන් ප්‍රනාන්දු විසින් කළ ප්‍රකාශය රාජ්‍ය තාන්ත්‍රික නොවන බව සැබෑ මුත් එය නියම සිංහල ගතිය විදහා පෑමකි - පම්පෝරි ගැසීමකි. එහි ගැටළුවක් නැත. නමුත් ආරක්‍ෂක රාජ්‍ය ඇමති වශයෙන් වගකීමක් හිමි රුවන් විජේවර්ධන පාර්ලිමේන්තුවේ කළ නවසීලන්ත ප්‍රහාර කතාව මරි-මෝඩ කතාවකි. අප විසින් කළ යුත්තේ අපේ ප්‍රශ්ණය ජාත්‍යන්තරකරණය වන්නට ඉඩ හැරීම නොවේ. අග්‍රාමාත්‍ය වික්‍රමසිංහගේ ප්‍රකාශ ද ඊටම ගැළපේ. මේ හැලපයන් සිතන්නේ ඊනියා ජාත්‍යන්තර ප්‍රජාවට අප ගැන (වික්‍රමසිංහ සහ ඔහුගේ ආණ්ඩුව ගැන නොව රටේ ජනතාව ගැන) සැබෑ කැක්කුමක් ඇති බවද ?

මහජනයා පාරට බැස නීතිය අතට ගත යුතු නැති සේම තමාගේ ආරක්‍ෂාව තමාම සළසා ගත යුතු මට්ටමට අසරණ විය යුතුද නැත. රටක රජයක් ඇත්තේ මෙවැනි අවස්ථා වළක්වා ගැනීම පිණිසත්, එසේ නොහැකි අවස්ථා වල සුදුසු පරිදි ක්‍රියාත්මක වීම පිණිසත් ය. රටක ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පිහිටවිය යුත්තේ මෙවැනි ආපදා අවස්ථාවක ය. එසේ නැතිව තම බලාධිකාරය රැක ගැනීමට ඒකාධිපති ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම පිණිසවත් ඒ සඳහා මන්ත්‍රී වරුන්ට අල්ලස් වශයෙන් ඇමති කම් දීම පිණිසවත් නොවේ.

සියලු දෙනාට සිහි බුද්ධිය පහළ වේවා !

8 comments:

  1. අයියෝ !
    මාව මළගිය ප්‍රාණ කාරයෙක් ගාණට දාල.
    ---

    මා මතක් කළාට පිං, උපතින් මොකක් උනත් මම දැන් කතෝලික නෙවෙයි. මගේ ළඟ දන්නා අඳුනන කවුරුත් මේ බෝම්බ වලින් අනතුරට ලක් උනේ නෑ, හැබැයි අඳුනන අයගේ දන්නා අඳුනන අය කීප දෙනෙක් කටානේ සිද්ධියෙන් රෝහලේ - බරපතල නෑ. කොහොම උනත් පෞද්ගලික විස්තර මෙතෙනට අදාළ කර ගන්න ඕනේ නෑ.
    ---

    ආබාධ වලට ලක් උනු අයට සුවයත් මරණයට පත් වූ අයට නිවන් සැපත් ප්‍රාර්ථනා කරන්නම්.
    ---

    මේ ලිපියේ කියන බොහෝ කරුණු වලට එකඟයි, ඒත් කිසිම බාහිර රටක් මේ ප්‍රශ්නෙදි ඕනෙවට වඩා ලං කර ගන්න එක භයානකයි. මේක පිටිපස්සේ CIA ඇති කියලයි මම හිතන්නේ. එයාලගේ අනාගත මාර්ග සිතියමේ ලංකාව ලොකු රටක් - ටොලමිගේ සිතියමේ ලංකාවටත් වඩා ලොකු රටක්. ඉතිං රනිල් හරි මහින්ද හරි ට්‍රම්පට් කාරයට කතා කරලා උදව් ඉල්ලනවා කියන්නේ අර පරංගියාට ගෙරි හම එළා ගන්න දුන්න වගේ තමයි. මම ඒ යෝජනාවට සම්පූර්ණයෙන් විරුද්ධයි. හැබැයි ඊශ්‍රායලය එක්ක තානාපති සම්බන්ධතා නම් ඇති කර ගන්න ඕනේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් එකට කුද ගහ ගන්න කියන්නත් අමතක කරන්න එපා (ඔව් ! එයාල තම්බින්ගේ මානව හිමිකම් ගැනත් උනන්දුයි, බෞද්ධ රටවල් වලදී).
    ---

    අවසන් වශයෙන්,
    මේ ලිපිය ඉරිදා පත්තරේ මැද පිටුවේ පල විය යුතු වැදගත් ලිපියක්.
    ඔබ සැමට ස්තූතියි, ගිනිකෙළි සමග සුභ නව වසරක් වේවා ! දෙතිස් කතාව දිනේවා !!
    ---

    ප.ලි.: තාම බැලුවේ නැතිනම් මේකත් බලන්න >>> http://www1.kalaya.org/2019/04/blog-post_24.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර,
      මෙවර කාලය ලිපිය කියැවීමට බැරි වුනා. දැන් කියෙව්වා.

      Delete
  2. රටේ වත්මන් තත්වය ගැන සම්පූර්ණ විග්‍රහයකි.
    වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ හැසිරෙන උඩඟු හා වගකීම් විරහිත විලාශය මේ මොහොතේදී හෝ වෙනස්වී ඇති බවක් අපි නොදකිමු. එසේනම් ඔහුගේ මෝඩ උද්දච්ච චරිත ස්වභාවය හා තීරණ ගැනීම වෙනසක් වේ යැයි බලා පොරොත්ට්ය්හු තැබීම මිත්‍යාවකි.
    ඒ කෙසේ වෙතත් ඔබ අවසනට පවසන පරිදි සියළු දෙනාට සිහි බුද්ධිය පහළ වීමට මේ ආණ්ඩු කරන උන් බුද්ධිහීන තාවයෙන් මෙවන් අමන තීන්දු ගන්නවායැයි මානම් කිසි දිනෙක විශ්වාස නොකරමි.
    උන් වැඩ කරන්නේ උන්ගේ සවිඤ්ඤානිකව තැනූ න්‍යාය පත්‍රයකට අනුවමය. ඒ න්‍යාය පත්‍රය ගමන් කරන්නේ අප සිහින දකින සාධාරණ යුක්ති ගරුක සමානාත්මතාවයෙන් යුතු සංවර්ධිත දේශයක් කරා නොවනා වග අපේ මිනිසුන් තවමත් නොදැකීම ගැන නම් මා බරපතල ලෙස කනගාටුවට පත් වෙමි.

    ReplyDelete
  3. ජනාධිපතිවරණයකට මාස හයක් තියාගෙන රට වෙනුවෙන් නම් එකතු වෙයි මේං කියල. ජාතික ආණ්ඩු ගැන කතා කරන්නවත් එපා. දැන් වගේ දෙතුන් ගුණයක ඇමති පට්ටියක් නඩත්තු කරන එක ඇරෙන්න රටට අබමල් රොනක වැඩක් වෙන්නෑ. ජාතික ආණ්ඩුවක් අස්සේ 20 සම්මත වීමේ අවධානම කොහෙත්ම බැහැර කරන්න හොඳ නෑ. මේක ලංකාවනෙ.

    දේශපාලනිකව මේ සිද්ධියේ මම ප්‍රායෝගික එක හොඳක් දකිනවා. තුන් කොන් සටනකට ගිහින් ටාර්සන් (වැඩ බැරි) තුමාට වාසි අත්වෙන්න තිබුණු ජනාධිපතිවරණයේ තුන් වෙනියට ඡන්දේ ගන්න හිටපු තුමාගේ හුළං හොඳටෝම බැස්සා.

    පොලිස්පති තනතුර ජනාධිපතිට එකවර වෙනස් කළ නොහැකි වුවත් ආරක්ෂක ලේකම් කම වෙනස් කිරීමට අවශ්‍ය එක පෑන් පහරක් පමණි. 2015 ඉඳන් ලියන බෝල්පොයින්ට් පෑනේ තීන්ත ඉවරද කොහෙද.

    ReplyDelete
    Replies
    1. නයනෙ - සිතුවිළිApril 25, 2019 at 2:51 PM

      මේ උන්නැහේ තාම හිතන් ඉන්නේ උන්දෑ ග්‍රාමසේවක කියලා.
      කවුරු හරි මතක් කලාම තෝ රටේ ජනාධිපති කියලා, බරපතලප්කාශයක් කරලා කමිටුවක් පත් කරලා දහයට නිදියන්න යනවා.
      ඇහැරුනාම ඌට මතක ග්‍රාමසේවක කියලා විතරයි.
      ආයේ කවුරුහරි ටොක්කක් ඇනලා මතක් කරනකම් ඉහලින් නියෝග එනතුරු බලා ඉන්නවා.

      Delete
  4. මුස්ලිම් අන්තවාදියෝ සහ මුස්ලිම් ත්‍රස්තවාදියෝ කියන්නේ සංකල්ප දෙකක් බව මතක තබාගත යුතුයි. ත්‍රස්තවාදී නොවන අන්තවාදීන් සිටින බවත් මතක තබාගත යුතුයි.

    අනිත් අතට සිංහලයන් සමඟ සහයෝගෙන් හිටීමෙන් වැඩි වාසි ලැබුවේත් ඔවුන්මයි. ඒ නිසා ත්‍රස්තවාදී නොවන මුස්ලිම්වරු හරි ශෝක් කියලා නම් කියන්න එපා. අන්තවාදය එන්නේ ආගම තුලින්ම තමයි. හොඳම දේ තමයි මුස්ලිම් වරුන් සමඟ ගැටුම් ඇතිකර නොගැනීම සහ කිසිම වාසියක් නොවන ලෙස කටයුතු කිරීම.

    ReplyDelete
  5. නයනේ ගේ ෆේස්බුක් පිටුවට යන්න බෑනේ?

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !