Wednesday, November 27, 2019

මහමැතිවරණය සහ රටේ අනාගතය

අපේ ගෞරවයට සදා ලක් වන ගරු ඉකොනොමැට්ටා තුමා තමන්ගේ බොජුන්හලේ මීට දින කීපයකට පෙර මෙවැන්නක් අලවා දමා තිබුණා.
රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ඔහේ ඇදගෙන ගියත් අතදිගහැර වැඩ කළ හැකි දේශපාලන බලයක් ඒ ආණ්ඩුවට ආරම්භයේදීවත් තිබුණේ නැහැ.
අලුත් ආණ්ඩුවටත් මහ මැතිවරණය වන තුරු තරමක ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එහෙත්, මහ මැතිවරණයෙන් පසුව පරණ ආණ්ඩුවට මෙන් මේ ආණ්ඩුවට ආණ්ඩුව පවත්වා ගැනීම ගැන හිත හිතා ඉන්න අවශ්‍ය වෙන එකක් නැහැ.
මෙයින් පළමු වැනි වාක්‍යය පමණක් ගෙන අප ඔහුට ප්‍රතිචාරයක් දැමුවත් සදා ලෝක පූජිත ඉකොනොමැට්ටා තුමාට එය ඉතා ඕනෑ කමින් මගහැරී තිබුණා. යට දැක්වෙන්නේ අප ඔහුට දැක්වූ ප්‍රතිචාරය.
රනිල් වික්‍රමසිංහ කෛරාටික ඒකාධිපතියෙකි. රජයේ සියළුම තනතුරු තම බලයට නතු කර ගත් රනිල් වික්‍රමසිංහ වැනි බූවල්ලෙක් අප උපන් තේකට දැක නැත. ඔහු ආණ්ඩු පක්‍ෂ සේම විපක්‍ෂයත් තම පාලනය යටතට ගත්තෙකි. සුමන්තිරන් (විපක්‍ෂ නායක සම්පන්තන්) සහ අකුදි යනු වික්‍රමසිංහගේ බල පරාසයට පිටත සිටියවුන් නොවේ. ඔවුන් දඩයමේ ගියේ එකටයි. එපමණක් නොව ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මගින් නීතියට ඇතුල් කළ 19 වන සංශෝධනයෙන් පිහිටුවා ගත් ඊනියා සුවාධින කොමිසන් වලට පත් කර සිටින තමාගේ (හෝ තම නිත්‍යානුකූල භාරියාවගේ හෝ) හිතවතුන් හරහා රටේ පාලන බලයේ වැඩි පංගුවක් ඔහු තවමත් අත් පත් කරගෙන සිටින බව ඔබ අමතක කරන්නේ ඇයි?

ඒ අතින් රාජපක්‍ෂලා වෙස්සන්තරලා ය. පසුගිය ඔක්තෝබර විප්ලවයෙන් පසු විපක්‍ෂ නායක ධුරය ලබා ගත්තත් ව්‍යවස්ථා සභාවේ තම නියෝජනය වෙනුවෙන් සටන් කිරීමට ඔවුන් උනන්දු වූයේ නැත.

එවැනි වටාපිටාවක සිටිමින් "අතදිගහැර වැඩ කළ හැකි දේශපාලන බලයක් ඒ ආණ්ඩුවට ආරම්භයේදීවත් තිබුණේ නැහැ" යි පට්ටපල් කෙබර ඇද බෑමෙන් ඔබ ඔබේ පක්‍ෂයට ලබා දෙන්නට උත්සාහ කරන උත්තේජනය කුමක්දැයි පැහැදිළි නෑ.
ඉකොනොමට්ටා තුමාට මගහැරී ගිය අපගේ ප්‍රතිචාරය ළඟ එක්තරා සුනඛයෙක් පහරා තිබෙණු දුටුවත්, දැමූ ප්‍රතිචාරය දැන් අපට නොව ඉකොනොමැට්ටා තුමාටම අයත් බැවින් ඒ ගැන තවත් වද වීමට ගියේ නැත්තේ තමන්ගේ දේවාලය පවිත්‍රව තබා ගැනීමට කපුවාට නැති උවමනාවක් පිට අයට හෙවත් ආතුරයන්ට තිබීමේ යුතුකමක් නැති බැවින්. හැරත් සුනඛයාත් කපුවාගේම නම් ?

බල්ලාට බල්ලාගේ අඩවියේ නිදැල්ලේ ඉන්නට ඉඩ හැර ඉකොනොමැට්ටා තුමාගේ කතාවේ ඊළඟ කොටසට සැපත් වෙමු.



එහි කොටස් දෙකකි.
  1. අලුත් ආණ්ඩුවටත් මහ මැතිවරණය වන තුරු තරමක ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්.
  2. මහ මැතිවරණයෙන් පසුව පරණ ආණ්ඩුවට මෙන් මේ ආණ්ඩුවට ආණ්ඩුව පවත්වා ගැනීම ගැන හිත හිතා ඉන්න අවශ්‍ය වෙන එකක් නැහැ.
මේවා එක ආකාරයකින් ඉකොනොමැට්ටා තුමාගේ හිතළු වේ. මෙවැනි හිතළු අප විසිනුත් මීට පෙර ඉදිරිපත් කර තිබේ. එසේම මේ කරුණු බොරුම ද නොවේ. එහෙත් එපමණකින් මේවා සත්‍යය යැයි අප පාඨකයින් විසින් වටහා ගත යුතු ද නැත.

පවතින ආණ්ඩුවට ඇති ලොකුම හෙණය නම් වික්‍රමසිංහ සහ ඔහුගේ ලෝක පාලක ස්වාමින් විසින් අපත් ඇතුළු සියල්ලන් රවටා ගෙන එන ලද ව්‍යවස්ථා කුමන්ත්‍රණය හෙවත් 19 වන සංශෝධනය යි. පාර්ලිමේන්තුව තකහනියේ විසුරුවා හැර මහමැතිවරණයකට යා නොහැකියැයි දේශපාලන පිටියේ සැවොම පූර්ව නිගමනයකට පැමිණ සිටින්නේ, සහ එහි වාසිය වික්‍රමසිංහ-සුහන්තිරම්-අකුදි ලබා ගන්නේ, ඒ ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ පිහිටෙන්.



රැවටිල්ල


ඉහත "අපත්" යනුවෙන් සඳහන් කරන ලද්දේ 19 වන සංශෝධනය විෂයෙහි පෞද්ගලිකව අප රැවටිල්ලට ලක් වුණේ නැතැයි යන අධිමානයෙන් මේ ළඟක් වන තෙක් සිටි නිසයි. අප සිතා සිටියේ පරමාධිපත්‍යය සතු මහජනතාව විසින් මහජන නියෝජිතයන් මගහැර සෘජුව ව්‍යවස්ථා පැනවීමේ අවස්ථාව (ජනමත විචාරණය) ඉන් අහෝසි නොකෙරුණ බවයි. දැන් පෙනී යන පරිදි එයත් අපට නැති වී තිබේ. මේ අයුරින් තව මොන මොනවා ඔය වගන්ති අස්සේ නැති වී ඇත්දැයි ජෑම්පති - සුහන්තිරම් කුසංයෝගයෙන් අසා දැන ගන්නවා මිස අප වැනි හුදියන්ට එය ගෝචර නොවන බව පෙනේ. දැන් පෙනෙන පරිදි පවත්නා ව්‍යවස්ථාවම ව්‍යවස්ථා විරෝධී ය.

මේ තත්වය යටතේ, 19 වන සංශෝධනය නිසි අයුරින් සම්මත වී නැතැයි සළකා ගෝඨාභය රාජපක්‍ෂ විසින් කටයුතු කෙරේනම් රටේ නීතිය ට කළ හැකි කෙංගෙඩියක් නැත. නීතියම නීති විරෝධී බැවිණි. මෙය කවුරුන් විසින් හෝ අධිකරණයට ගෙන යා යුතු කරුණකි. 19 රටේ නීතියට ඇතුල් වූ සැක කටයුතු ආකාරය ගැන නිත්‍යානුකූල විමර්ෂණයක් සිදු විය යුතුය. මෙතරම් සාහසික ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් ලංකාවේ තබා ස්වාධීන වෙනත් රටකවත් සිදු වී ඇත්දැයි සැක සහිතය.

කෙසේ හෝ අපට මෙහිදී අවධාරණය කළ යුතු කරුණ වන්නේ ඉහත අප උපුටා දැක්වූ ඉකොනොමැට්ටාගේ ප්‍රකාශ බොරු නොවුණත් සත්‍යයෙන් දුරස් ප්‍රකාශ බවයි. අලුත් ආණ්ඩුවට මහමැතිවරණය තෙක් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් බව ඇත්තක්, එහෙත් මහමැතිවරණය අවසන් වීමෙන් (සහ එයින් ජයග්‍රහණය ලැබීමෙන්) ඒ ප්‍රශ්නය විසඳෙන බවක් එයින් ගම්‍ය වන්නේ නෑ. බහුතරය නොලැබුණොත් පත් වන්නේ තවත් අසීරු අඩියකට බව ඉකොනොමැට්ටා තුමා අපට සඟවයි.

කොටින්ම මහමැතිවරණයෙන් පසු එන්නේ තවත් අලුත් ආණ්ඩුවක් මිස ඊයේ පෙරේදා පටන් ගත් සුළුතර ආණ්ඩුව වන බැවින්, ඉකොනොමැට්ටාගේ උක්ත පළමු ප්‍රකාශය හරසුන්. මහමැතිවරණයෙන් පසුව මේ ආණ්ඩුව පවතින්නේ නෑ යන අරුතින් ඉකොනොමැට්ටාගේ දෙවන ප්‍රකාශයත් හරසුන් වුවත්, ඔහු ප්‍රකාශ කිරීමට උත්සාහ කරන දේ පුස්සක් වන්නේ ඒ නිසාම නොවෙයි.

ඒ අප අනේක වාරයක් විස්තර කර ඇති පරිදි මහ කොඩිවිනය වන 19 වන සංශෝධනය හේතුවෙන්. එසේ නොවන්නට නම් ගෝඨාභයත් රනිල් වික්‍රමසිංහ මෙන් ඒකාධිපතියෙක් බවට පත් වී ආණ්ඩු පක්‍ෂය විරුද්ධ පක්‍ෂය දෙකම තමන්ගේ මතයට අනුගත වන පිරිස් වෙත බාර දී ව්‍යවස්ථා සභාව තම අණසකට යටත් කර ගත යුතු වෙයි. නමුත් UNP කාරයන්ට සහ NGO කාරයන්ට ඒකාධිපතියෙක් සේ පෙනුණ මහින්දවත්, පෙනෙන ගෝඨාභයවත් එසේ කරණු ඇතැයි මා සිතන්නේ නෑ. මේ කිසි කෙනෙක් වික්‍රමසිංහ තරම් නරුම ඒකාධිපතියන් නොවෙයි. හැරත් මේ කිසි රාජපක්‍ෂ කෙනෙක් ව්‍යවස්ථා සභාව සහ ඊනියා ස්වාධීන සභා හේතුවෙන් තමන් මැදි වී සිටින භයානක තත්වය ගැන නිසි තක්සේරුවකින් සිටින බවක් තවම විද්‍යමාන වන්නේ නෑ.



රැවටිල්ලෙන් මිදෙන මග


මෙය යහපත් අයුරින් විසඳා ගැනීමට හැකි එකම මග නම් ඊළඟට කවදා හෝ පැවැත්වෙන මහමැතිවරණයෙකින් පොහොට්ටු-ශ්‍රී ලංකා සංධානය තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බහුතරයක් ලබාගෙන ප්‍රථම කර්තව්‍යය වශයෙන් 19 වන සංශෝධන කොඩිවිනය කපා දැමීමයි. දැන් UNP එකටත් එහි රඟ යන්තම් දැනී ඇති බැවින් වික්‍රමසිංහ වෙනුවට ඔහුගේ චක්-ගෝලයෙක් පත් නොවුණොත් සමහර විට ඔවුන්ගේ සහයත් යම් යම් කොන්දේසි යටතේ මේ සඳහා ලබා ගත හැකි වීමට ඉඩ තිබෙයි. නමුත් දෙමළ ජාතිවාදී සංධානයත් ගෝත්‍රවාදී ජවිපයත් 19 නම් කොඩිවිනය කැපීමට කිසිදු සහයක් දැක්වීමට ඉඩක් නෑ.

එවැනි තත්වයක් යටතේ UNP සහය බලාපොරොත්තු නොවී තුනෙන් දෙකේ බලයක් සහිත පාර්ලිමේන්තු කණ්ඩායමක් තනා ගැනීමට ගෝඨාභය ජනාධිපති තුමාගේ අවධානය යොමු විය යුතුයි. ඒ සඳහා උතුර සහ නැගෙනහිර දිස්ත්‍රික්ක පහ (හෝ දිගාමඩුල්ල හැර ඉතිරි හතර) ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ප්‍රමුඛස්ථානය ලැබෙන පරිදි එක කණ්ඩායමක් වශයෙනුත්, දිවයිනේ ඉතිරි දිස්ත්‍රික්ක සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ප්‍රමුඛස්ථානය ලැබෙන වෙනම කණ්ඩායමක් වශයෙනුත් ඉදිරිපත් වී මැතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුවක් සෑදීම ප්‍රසස්ථ උපක්‍රමය බව සිතමි.

අප එසේ සිතුවත් බැසිල් සහ අනෙක් අය මා මෙන් නොසිතන බව නොදන්නවා නොවේ. ඔවුන් කෙසේ සිතුවත් අපගේ අදහස නම් දැන් පසිඳු වී ඇති පොහොට්ටු සළකුණ අනිවාර්‍යයෙන් ජය ගත හැකි දිස්ත්‍රික්ක වල භාවිතා කිරීමත්, ජනාධිපතිවරණයේ දී පරාජය වූ හෝ අඩු වැඩි ඡන්ද ගණනක් ලෑබූ දිස්ත්‍රික්ක වල (විශේෂයෙන් සිංහලත්ව විරෝධී දේශපාලන නැඹුරුවක් පෙන්වන ඉහත කී දිස්ත්‍රික්ක සහ නුවරඑළිය, බදුල්ල, කොළොඹ සහ පුත්තලම ආදී දිස්ත්‍රික්ක වල) පුටුව ලකුණෙන් තරඟ වැදීමත් වඩාත් ප්‍රතිඵලදායක වනු ඇති බවයි. මේ ගැන සංඛ්‍යානමය විශ්ලේෂණයක් කිරීමට එකී පක්‍ෂ වලට සම්බන්ද විද්වතුන්ගේ අවධානය යොමු වේවා.



ජාතිවාදයට පිළිතුර


මහින්ද ජනාධිපතිගේ පසුගිය ධුර කාලයේ ලංකාවේ මුස්ලිම් මනුෂ්‍යයන් මෛත්‍රිපාල ජනාධිපතිගේ අවසන් කාලයට සාපේක්‍ෂව වැඩි නිදහසක් භුක්ති විඳි බව පැහැදිළි සත්‍යයකි. ඔහු හජ් වන්දනාවේ නොයනවා පමණි (කතෝලික බිරිඳ නොවන්නට එයත් යාමට ඉඩ තිබිණ). එසේම ගෝඨාභය යනු ජනාධිපතිවරණයට පෙර පටන් අප දුටු පරිදි මුස්ලිම් මිනිසුන් සමග (ගැහැණුන් සමග නොවේ) එකට කන-බොන, ඔවුන් සමග ඉෆ්තාර් උත්සව සමරණ මුස්ලිම් මිනිසුන්ගේ හිතවතෙකි. මෙවැනි තත්වයක් යටතේ ජාතිවාදී මුස්ලිම් පක්‍ෂ මගහැර නව නායකත්වයක් හරහා මුස්ලිම් ජනතාවගේ ඡන්දය තම සංධානයකට එකතු කර ගැනීම නොහැකි කටයුත්තක් නොවේ.

පොරොන්දු දේශයක් වෙනුවෙන් ඡන්දය දෙන දෙමළ මනුෂ්‍යයන්ගේ ඡන්දය ලැබේ යැයි බලාපොරොත්තු වීම නම් අනුවණ කමකි. එහෙත් දෙමළ මනුෂ්‍යයන් වැඩිපුර සිටින ප්‍රදේශ වලිනුත් පසුගිය ජනාධිපතිවරණයේ දී 10% පමණ ලබා ගැනීමට සමත් වීම බලාපොරොත්තු ඇති කරන්නකි. ඩග්ලස් දේවානන්දා, සමග උතුරෙනුත්, කරුණා සමග නැගෙනහිරිනුත්, මුත්තයියා සමග උඩරටිනුත් යම් දෙමළ ඡන්ද ප්‍රමාණයක් ආකර්ෂණය කර ගත හැකි වෙතැයි සිතමි. TM දිල්ෂාන්ට ආකර්ෂණය වන මුස්ලිම් ඡන්ද නම් නැත.

කාගේ කාගේ ඡන්දයෙනුත් අවසන් වශයෙන් 19 නම් කොඩිවිනය ඉවත් වේ නම් යහපතකි. එසේ වුවත්, ඉන් අනතුරුව මහින්දගේ ආණ්ඩුව (එය ගෝඨාභයගේ ආණ්ඩුව වේ යැයි සමහරු සිතත්) අයාලේ යෑම වැළක්වීම පිණිසත් පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්‍ෂයක් තිබිය යුතුය. මහින්දගේ කියුම් කෙරුම් අප තුල ඇති කරන්නේ එතරම් පහන් හැඟුම් නොවේ. විශේෂයෙන්ම මහින්ද නායකත්වය දෙන පක්‍ෂයේ අයිතිකාරයා බැසිල් වී ප්‍රකාශකයා GL පීරිස් වන තත්වයක් යටතේ ඒ පක්‍ෂයට සෘජුව තුනෙන් දෙකේ බලයක් දීම සිංහලයින්ටම පාරා වළල්ලක් වීමේ ඉඩකඩක් නැතුවාම නොවේ.




මා ගෝඨාභයට ඡන්දය දුන් බව සැබැවි.
නමුත් මා බැසිල්ට හෝ GL පීරිස්ට හෝ ඡන්දය දුන්නේ නැත.


සිංහලයාට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇති වැදගත් කම


ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යම් තරමකින් හෝ රැකී තිබීම අවශ්‍ය වන්නේ මෙන්න මේ බලතුලනය උදෙසාය. එදා බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවන්නේ කුමන අරමුණකින් වුවත්, පසුගිය දශක හයකට වඩා වැඩි කාලයක් පුරා සිංහලත්වයේ පක්‍ෂය වූයේ ඒ පක්‍ෂයයි. චන්ද්‍රිකා නම් කුමාරතුංග අවතාරය ඒ පක්‍ෂයේ බලය තහවුරු කර ගනිද්දී එයින් ඈත් වූ පාක්‍ෂිකයන් ලං වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වුවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිංහලත්වයේ පක්‍ෂය බවට තවම පත් වී නැත. සිංහලත්වයේ අනෙක් පක්‍ෂය වන මහජන එක්සත් පෙරමුණට පක්‍ෂයක් වශයෙන් දේශපාලන අනාගතයක් නැත. එවැනි තත්වයක් යටතේ මේ පක්‍ෂ වෙන වෙනමත්, සාමූහිකවත් ගන්නා තීන්දු තීරණ දෙස සිංහලයා වඩා විමසිලිවත් විය යුතුය.

සිංහලයා විචක්‍ෂණ නොවුණහොත්, පසුගිය වසර පහේදී වික්‍රමසිංහ ලවා බැරි වූ දේ රාජපක්‍ෂලා ලවා ඉටු කර ගැනීමට සමත් කෛරාටිකයින් අද දේශපාලනයේ (සහ එහි පසුබිමේ) සිටී. අමතක නොකරන්න, තමන්ට සහ තම පංතියේ එකට ඉගෙන ගත් මිතුරන්ට මීළඟ ජනාධිපතිරණයට ඉල්ලීමට නොහැකි වන ලෙසට බාධක දමන ව්‍යවස්ථා සංශෝධනයකට පක්‍ෂව අත ඉස්සූ මන්ත්‍රී රාජපක්‍ෂලාය අපට සිටින්නේ.

සිංහලයින්ගේ දේශපාලන අභිලාෂයන් රාජපක්‍ෂලාගේ අභිමතයන්ට පවරා දී අත පිස දා ගැනීමේ වරද සිංහලයින් විසින් නොකළ යුතුය. මීළඟ මහමැතිවරණයේ දී ඉතාම සිහි බුද්ධියෙන් ඡන්දය භාවිතා කළ යුතුය. එසේම ඊට වඩා පරිණත බුද්ධියකින් නායක කාරකාදීන්, විශේෂයෙන්ම නව ජනාධිපතිතුමා, ක්‍රියා කරතැයි බලාපොරොත්තු වෙමි.



කරුණු එසේ හෙයින්, දැන් දේශපාලනය පසෙක තබා වෙනත් දේ ගැන කථා කිරීමට කාලය විසින් ඉඩ ලබා දෙනු ඇතැයි සිතමි.


6 comments:

  1. වත්මන් දේශපාලන තත්වය තුල ඉතාම මැදිහත් හා පැහැදිලි විග්‍රහය මා මිත්‍ර කථා කතු ගෙන් දකින්නට ලැබීම ගැන බෙහෙවින් සතුටු වෙමි.
    එහෙත් මේ ලිපිය ස්වාධීනව කියවන දෙතිස් කථා පාටකයෙකුට ඔබ අතින් බරපතල වරදක් සිදුවී ඇතැයි සිතමි.
    මේ ඉකොනොමැට්ටාට පිළිතුරු සපයන තැනක් නොවිය යුත්තේමය.
    ඉකොනොමැට්ටාට දිය යුතු පිළිතුර එතැනදී සපයා, මෙතැන මේ විග්‍රහය පැහැදිලිව සිදු වුනි නම් මේ ලිපියේ වටිනා කම ඉතා ඉහලය.
    දැන් මේ කියවන්නේකු ඉකොනොමැට්ටා සොයා ඔහු කී දේද හැදෑරීමට සිදු වීම අනවශ්‍ය බරකි.
    ඉන් බැහැරව, බ්ලොග් අඩවි වලට පිවිස අසූචි හෙලන සිනඛයන් එදා සිට අද දක්වාම අඩු නැතිව සිටිති. ඔවුන් ගැන තැකීමක් කිරීම අපට තරම් නොවේයැයි මා සිතමි.

    කෙසේ වෙතත් මෙහි කරන විග්‍රහය ඉතා ගැඹුරින් වටහා ගත යුතු අනතුරු හැඟවීමක් බව සිතේ. එය රටට ලැදි මතයක පිහිටා ඇති සියල්ලෝම කියවා වටහා ගත යුත්තකි.

    ඊයේ පෙරෙදා සිදුවූ විල්පත්තු සීම අළුතින් ගැසට් කිරීමේ කථාවද ඊනියා ව්‍යවස්ථා සභාවේ පත් කිරීමක් වූ නීඉතිපති හරහා සිදුකල අපූරු කුමන්තරණයකැයි මට සිතේ. තව දුරටත් ඔහු හිටපු ජනාධිපතිගේ පාර්ශව කරුවෙකු යයි සිතිය හැකි වීම තුල මේ නව රජයට මුහුණ දීමට ඇති ප්‍රශ්නයේ බරපතල කම වඩා තීව්‍ර වේ.

    මේ සියල්ලේ ප්‍රතිපලයක් ලෙස වත්මන් ශ්‍රී ල නිප නියෝජිතයන් වැඩි ඇමාත්‍ය දූර හා වැඩි වරප්‍රසාද වෙනුවෙන් කේවල් කිරීමටත්, ඒ නිසාම පොදු ජනතාව අපේක්ෂා භංගත්වයකට පත් වී ඔබ අප සිහින දකින තුනෙන් දෙකේ ජයග්‍රහනය හීනව යාමටත් අවධානමක් ඇතැයි සිතිය යුතුය.
    මේ ගෙවෙන්නේ භයානක අතරමැද කාලයකි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතුවිළි.

      පළමුව කිව යුත්තේ ගරු ඉකොනොමැට්ටා තුමා අපේ පෙර අදහසට ප්‍රතිචාර දැක්වුවේ නම් මේ ලිපිය මේ අයුරින් නොලියැවෙනු ඇති බවය. එසේ වූවේ නම් මේ ලිපියේ මුල් කොටස එහිදී සංවාදයට ලක් වනු ඇත. එතුමා උක්ත ලිපිය ඔහුගේ ඊළඟ එකට පිවිසුමක් ලෙස පමණක් ගත් බැවිණි ඒ සංවාදය මෙහි ගෙන ඒමට සිදු වූයේ.

      කෙසේ වුව මේ ලිපියේ පශ්චිම කොටස ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා මුහුණ දෙන අභියෝගය හා කෙළින්ම සම්බන්ධය.
      ---

      ගරු ඉකොනොමැට්ටා තුමා ඔහුගේ ලිපියෙන් අපට කියන්නට හදන්නේ රනිල්ගේ අඩුපාඩුවක් නැති බවත් ඔහු ඉතා ප්‍රජාතන්ත්‍රවාදී බවත් ඒකාධිපති ලක්‍ෂණ ගෑවී වත් නැති බවත් පැහැදිළි බලයක් නැති ආණ්ඩුවක් ලැබුණු හේතුවෙන් ඔහුට මිහිමත ස්වර්ග රාජ්‍යය මෙහි අප වෙනුවෙන් මවා දීමට නොහැකි වූ බවත් ය. ඔහු කියන්නේ ගෝඨාභයට ලැබී ඇති ආණ්ඩුව ඉතා බලවත් එකක්, බවත් රනිල්ට බැරි වුණු ස්වර්ග රාජ්‍යය මෙහි මවා දීමට ගෝඨාභය සමත් විය යුතු බවත්, එය නොහැකි වුවහොත් එය ගෝඨාභයගේම වරද බවත් ය.

      අප මේ ලිපියෙන් කියන්නේ කෛරාටික ඒකාධිපතියෙකු වන රනිල් වික්‍රමසිංහ විසින් අටවා තිබෙන ව්‍යවස්ථා මර උගුල හේතුවෙන් ගෝඨාභය රාජපක්‍ෂගේ පය විලංගු ලා ඇති බවත්, රනිල් වික්‍රමසිංහ විසින් තවමත් අතහැර නැති විපක්‍ෂ නායක කම සහ පාර්ලිමේන්තු බලය භාවිතා කරමින් ගෝඨාභයගේ චරනයේ ඉම නිර්ණය කරනු ඇති බවත් ය.
      ---

      මා මෙහිදී අනාවැකියක් කියන්නම්.

      රනිල් වික්‍රමසිංහ සමහර විට හදිසි මහමැතිවරණයක් සඳහා පාර්ලිමේන්තුවේ සහය දෙනු ඇත. එසේම ඔහු එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් ද ඉවත් වීමට ඉඩ ඇත. නමුත්, ඊට පෙර ඔහු බලය තවදුරටත් තමා අතම රැඳෙන පරිදි ව්‍යවස්ථා වෙනස් කරනු ඇත. උදාහරණයක් ලෙස යහපාලනය උදෙසා එක්සත් ජාතික පෙරමුණ (UNFGG) ව්‍යවස්ථාවේ එජාප නායකයා පෙරමුණේත් නායකයා බව සඳහන් නම් එය වෙනස් නොකර එජාප නායකත්වය ඔහු අත හරින්නේ නැත.

      එසේම ඔහු විපක්‍ෂ නායක කම ඉතාම විශ්වාසවන්ත කෙනෙකුටවත් දෙන්නේ නැත. විපක්‍ෂ නායක නිල බලයෙන් ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙකි, එපමණක් නොව ඔහු අගමැති හා එක්ව තව කීප දෙනක් ද ඒ සභාවටම පත් කරයි. මේවා ගැන බරපතලක් නැති මහින්ද රවටාගෙන තමාට අවශ්‍ය දේ රනිල් කර ගනු ඇත. එසේම බැසිලුත් GL පීරිසුත් මටනම් කිසි සේත් විශ්වාස නැත.

      19 අහෝසි කිරීම හදිසි හා අනිවාර්‍ය කර්තව්‍යයක් ලෙස මා පෙර ලිපියේ සඳහන් කළේ මේ හේතුවෙනි. එසේම මේ ලිපියේ සඳහන් කළ පරිදි මා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශක්තිමත් වීම අපේක්‍ෂා කරන්නේත් මේ හේතුවෙනි.

      Delete
    2. මට අවශ්‍ය මේ පක්‍ෂ දෙකම එකතු වී තුනෙන් දෙකේ බලයක් ලැබෙන මුත් පොහොට්ටුවට පමණක් යන්තම් සරල බහුතරයක් ලැබෙන ආණ්ඩුවක් මීළඟ මැතිවරණයෙන් පත් වනු දැකීමයි. ජනාධිපතිවරණයේ ලැබූ ඡන්ද ප්‍රතිශතය 52% අනුව නම් එය කළ නොහැකි කර්තව්‍යයක්.

      නමුත් දැන් සුදු රෙදි පොරවාගෙන පන්සිල් ගැනීමට "නමෝතස්ස" කියමින් එන එජාපය මේ ලක ලැහැස්ති වන්නේ මීළඟ මහමැතිවරණයේ දී සිංහල ජනතාව රැවටීමට බව නොතේරීමට තරම් සිංහලයන් බබ්බු නම්, අප ඇත්ත වශයෙන්ම ඉදිරිය ගැන බලාපොරොත්තු තබා ගත යුතු නැත. සිංහල ජනතාව 65% ඉක්මවා ගෝඨාභය රාජපක්‍ෂ වෙනුවෙන් මනාපය පල කළේ නම් මීළඟ මැතිවරණයේදී එය 75% දක්වා වැඩි විය යුතු බව විශ්වාස කරමි.

      මුස්ලිම් ජාතිවාදී පක්‍ෂ ආණ්ඩුවේ නොමැති තත්වය යටතේ මුස්ලිම් මනුෂ්‍යයන්ට දැන් කෙළින්ම පොහොට්ටුව වෙත මනාපය ප්‍රකාශ කිරීමේ අවස්ථාව උදා වී තිබේ. එය කළමනාකරණය කර ගැනීම ඒ පක්‍ෂය සතුය. එහෙත් නැවතත් බැසිල් විශ්වාස නැත. සෛන්දමරද ප්‍රදේශයට නගර සභාවක් දෙන බව පොරොන්දු දුන්නේ මේ වල් බූතයා ය. හොඳ වෙලාවට මුස්ලිම් මිනිසුන් ගෝඨාභයට ඡන්දය දුන්නේ නැත. දැන් ඊළඟ මැතිවරණයේදී මූ ගොස් සෛන්දමරද ප්‍රදේශයට පළාත් සභාවක් දෙමිය කියන්නටත් ඉඩ තිබේ. එසේ පොරොන්දු දී ගන්නා ඡන්ද අවශ්‍ය ද? කළ යුත්තේ සුදුසු මානසික තත්වයක මුස්ලිම් මිනිසුන් ඒ ප්‍රදේශ වලින් ඉදිරිපත් කිරීමයි.

      දෙමළ ඡන්ද වෙත ද කෙළින්ම ආමන්ත්‍රණය කළ යුතුය. යාපනයේ දෙමළ වෙල්ලාලයින් පොහොට්ටුවට ඡන්දය නොදෙන මුත් අනෙක් ජනතාව වෙනම ආමන්ත්‍රණය කළ යුතුය. ඒ සඳහා පොදුජන එක්සත් පෙරමුණ හොඳ වාහකයක් බව මෙයින් ප්‍රකාශ කෙරේ.

      Delete
  2. ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය පසුගිය ඔක්තෝබර් බල අරගලයෙන් පස්සේ මාරු උනේ නෑ වගේම දැනුත් මාරු වෙලා නෑ. කලින් වතාවේ මහින්ද සටන් කළේ නෑ වගේම මෙවර ගෝටාභය උනන්දු වෙන බවක් පෙනෙන්නට නෑ. ජනපති නියෝජිත, අගමැති නියෝජිත කියල ඕකට පත්වෙලා ඉන්න එවුන්ට ඔක්කොටම වඩා ලැජ්ජාවක් හෝ සදාචාරයක් නෑ.

    දිස්ත්‍රික්ක බෙදාගෙන වෙන වෙනම ඉල්ලන එක මළාට කෙරෙන්නෑ. හැම දිස්ත්‍රික්කෙකම වෙන වෙනම ඉල්ලන එකනම් වෙන්න ඉඩ තියනවා. වෙනම ඉල්ලලා එක කොටසක් යුඑන්පී එක්ක ආණ්ඩු කරන්නත් ඉඩ තියෙනවා. එච්චරට දේශප්‍රේමී නොහොත් ඇමතිකම්ප්‍රේමී ජනතා නියෝජිතයො සෙට් එකක් ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. එපමණක් නොව, මහින්ද විපක්‍ෂ නායක වූ පසු විපක්‍ෂ නායකගේ නියෝජිත තැන වශයෙන් පත් කළේ හිටපු විපක්‍ෂ නායක සම්පන්තන් බවයි මගේ මතකය. එය කවරාකාරයේ ඩීල් එකක් විය හැකිද? සම්පන්තන් ඒ ධුරය දරන විට ඔහුගේ නියෝජිත වූයේ මහින්ද ද ?
      ---

      මා නම් පෙනී සිටින්නේ පොහොට්ටුව 60% ඉක්මවා ලබා ගත් දිස්ත්‍රික්ක වල එය 70 - 75% කර ගැනීමට උත්සාහ කිරීමත්, යාන්තම් දිනා ගත් හෝ 50% අඩුවෙන් ලබා ගත් දිස්ත්‍රික්ක වල වෙනත් ලකුණකින් ඉදිරිපත් වීමත් සුදුසු බවයි. විශේෂයෙන් 20% ගැනීමට අසමත් වූ දිස්ත්‍රික්ක වල වෙන ලකුණකින් ඉදිරිපත් වීම අත්‍යාවශ්‍ය ය.

      නමුත් බැසිල් ලා, GL ලා දේශපාලනය ගැන දන්නා තරම් අප දන්නේ නැති බැවින් සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පොහොට්ටුවට අකැමැති බැවින් ඔවුන් බොහෝ විට පොහොට්ටුව වෙනුවට වෙනම ලකුණකින් ඉල්ලනු ඇත. ලකුණ කුමක් වුවත් කණ්ඩායම් දෙකක් වශයෙන් වෙන වෙනම ඉල්ලීමයි අපගේ අපේක්‍ෂාව.

      මහින්ද ජනාධිපතිවරණයෙන් ලක්‍ෂ 58 ක් ගත්තත් ඔහු හෝ පොහොට්ටු පක්‍ෂය ඉන් පසු මේ ජනාධිපතිවරණය තෙක් එතරම් ඡන්ද ගත්තේ නැත. එජාපයත් මහමැතිවරණයේදී ගනු ඇත්තේ සජිත් ලබා ගත්තාට වඩා අඩු ඡන්ද ප්‍රමාණයකි. ගෝඨාභය ලබා ගත් ලක්‍ෂ 70 ඉහළට නැංවීම අසීරු වුවත් කළ නොහැකි දෙයක් නොවේ. අමතක නොකළ යුතු වැදගත්ම කරුණ නම් ජනාධිපතිවරණයේ දී පැමිණි ලක්‍ෂ දෙකක් යැයි කියන විදෙස්ගත ශ්‍රමිකයන් තව මාස තුනකින් නැවත පැමිණෙන්නේ නැති බවයි.

      Delete
  3. ස්විස් නාඩගම ගැන ඔබතුමාගේ විවරණය කෙබඳුද?

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !