Wednesday, November 20, 2019

මා ගෝඨාභයට ඡන්දය දුන්නේ ඇයි ?

අභිනව ජනාධිපතිතුමා එම ධුරයේ ප්‍රතිඥා දී වැඩ බාර ගැනීමටත් ප්‍රථම ජනාධිපති උපදේශකයන් වැඩ බාරගෙන තිබෙනු දක්නට ලැබේ.

බුකිය පුරාත් පොදුවේ අන්තර්ජාලය පුරාමත් දක්නට ලැබෙන්නේ ඒ මහතාට දෙන ඔවදන් ය. රාජපක්‍ෂ මහතා මේවා නොබලන්නේ නම් යහපති. මක් නිසාද යත්, කළ යුතු සියල්ල ස්වයංජාත උපදේශකයන් විසින් මේ වන විටත් කියා දී ඇති බැවින් කොතැනින් පටන් ගන්නේද යන්න සිතා ගත නොහැකිව (ඇයි, තමන් කී දේ මුලින් නොකළැයි කියා කෙනෙක් උරණ විය හැකි බැවින්...) ලොවෙත් නැති රෝගයක් සෑදී අසරණ විය හැකි බැවිණි.


"මා ගෝඨාභයට ඡන්දය දුන්නේ ඇයි ?" නොහොත් කළ යුතු වැඩ හා නොකළ යුතු වැඩ


වැඩ බාර ගැනීම: කළ යුතු වැඩ හා නොකළ යුතු වැඩ වශයෙන් වර්ග දෙකකි
රටේ ජනාධිපති පත් වන්නේ මුලු රටේම මහජනතාවගේ බහුතර ඡන්දයෙනි. මෙතෙක් පත් වූ සියළුම ජනාධිපතිවරුන් වලංගු මුලු ඡන්ද සංඛ්‍යාවෙන් 50% ඉක්මවා ලබාගෙන ඇත. එහි අරුත, අනෙක් සියලුම අපේක්‍ෂකයන්ගේ මනාප එකතු කළත් තේරී පත් වූ ජනාධිපතිගේ මනාප සංඛ්‍යාව ඉක්මවිය නොහැකි බවයි. ඒ තත්වය යටතේ එක ඡන්දයක් යනු මහා දෙයක් නොවේ. ඔබත් මමත්, කොතරම් වචන වියදම් කළත්, කොතරම් සිත රවටා ගත්තත්, ජනාධිපති ඇසින් බැලූ කල එක ඡන්දයකි - ඊට වඩා දෙයක් නැත.

මෙහිදී පැහැදිළිව තේරුම් ගත යුතු වන්නේ තේරී පත් වූ ජනාධිපති කෙනෙකු පොදුවේ කටයුතු කිරීමේදී පුද්ගල විශේෂතා සැළකිල්ලට ගත නොහැකි බවයි. ඔබ ඡන්දය දුන්නේ කාටද යන්න ඡන්ද දිනයෙන් පසු වැදගත් නැත. ජනාධිපති රාජපක්‍ෂ මහතා විසින් තමන්ට විශේෂ පක්‍ෂපාතිත්වය ප්‍රකාශ කළ සිංහල ජනතාවට එදා පූජනීය මහ සෑ මළුවේදී විශේෂ ස්තූතියක් පුද කළ බව ඔබත් මාත් දනිමු. එතැනින් එහා යමක් බලාපොරොත්තු විය යුතු නැත. ඔහු දැන් සිංහල ජනතාවගේ පමණක් ජනාධිපති නොවේ. ඔහු සිංහල දෙමළ මුස්ලිම් සියළු ජනතාවගේ ජනාධිපති ය.

එසේම සැම විට සිහියට ගත යුතු කරුණ නම්, සිංහල ජනතාව 100% රාජපක්‍ෂ මහතාට පක්‍ෂව ඡන්දය නොදුන් බවත්, අසිංහල ජනතාව 100% ඔහුට විරුද්ධව ඡන්දය නොදුන් බවත්ය. එසේම ඔහුට පක්‍ෂ වූ සියල්ලන්ම දේශප්‍රේමින් ද, ඔහුට පක්‍ෂ නොවූ සියල්ලන් දේශද්‍රෝහීන් ද නොවේ. එසේම, ඒ මහතා විසින් මීළඟට පැවැත්වෙන ජනාධිපතිවරණයකදී උතුරු සහ නැගෙනහිර පළාත් වලත් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන නැවත ජනාධිපති ධුරයට පත් වීමේ දිගු කාලීන මහා සැළැස්ම දැන්ම සකස් කර ක්‍රියාත්මක කළ යුතුව තිබේ. නැතිනම් තව වසර පහකින් නැවත බෙදුම්වාදීන් බලයට පැමිණියහොත් සිංහලයා පත් වන්නේ ඊයේ සිටියාට වඩා අසීරුවකටය. රාජපක්‍ෂ මහතා පත්ව සිටින තත්වය ඔහුට පක්‍ෂපාතිත්වය ප්‍රකාශ කළ මහජනතාව සාවධානව තේරුම් ගනු ඇතැයි දෙතිස් කථාව අපේක්‍ෂා කරයි.


අභිනව ජනාධිපතිතුමා අතට ලැබී ඇත්තේ දෙකොණ ගිණි ගත් විලක්කුවකි. රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදය එක කොණකි. ඇමරිකානු ඔරුමත්තනාඩුවාසි ගරු ඉකොනොමැට්ටා තුමාට අනුව නම් දැන් රටේ ආර්ථිකය 2015 ට වඩා හොඳ ය. නමුත් මේ රටේ වෙසෙන ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ මෙහි අනෙක් පැත්තයි. ඇමතිවරුන් කෙසේ වෙතත් අමාත්‍යංශ ලේකම්වරුන් හරහා රට පාලනය කිරීමේ විධායක බලය ජනාධිපති සතු අතර තමන් රට වෙනුවෙන් විධායක බලය පාවිච්චි කිරීමට නොපැකිළෙන බව එතුමන් විසින් ප්‍රකාශ කිරීම අස්වැසිල්ලකි. ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයක ආර්ථිකය යහමගට ගැනීම දැඩි පාලකයෙකුට එතරම් අපහසු කර්තව්‍යයක් නොවේ.

මෙතෙක් රටේ තිබූ ප්‍රශ්නය නම් රටේ පාලකයා බවට පත් වීමට පක්‍ෂයක් අවශ්‍ය වීම නිසා පාක්‍ෂිකයන්ගේ සංහිඳියාව වෙනුවෙන් කටයුතු කරන්නට සිදු වීමයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා පක්‍ෂයක නිමැවුමක් නොවේ. ඔහු සෘජුවම මහජනතාවගේ ඉල්ලීමකි, මහජනතාවගේ තෝරා ගැනීමකි. රට වෙනුවෙන් රටේ මහජනතාව වෙනුවෙන්, කටයුතු කිරීමේදී තීරණ ගැනීමේදී ඔහුට දේශපාලන පක්‍ෂ සහ පුද්ගලයින් සැනසීමේ අවශ්‍යතාවයක් නැත. කිහිප දෙනෙක් තරහා වුණත් රටේ මහජනතාව තමන් සමග සිටීනම් ගැටළුවක් නැති බව එතුමාට සිතේවා. ජනාධිපති සිටින්නේ ජනතාව සමග නම් ජනතාව ජනාධිපති සමග සිටිනු ඇත.

නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා යටතේ රාජ්‍යාරක්‍ෂාව සහ මහජන ආරක්‍ෂාව ගැන අප එතරම් සිතිය යුතු නැත. එසේ වුවත්, ජනාධිපතිතුමාගේ ආරක්‍ෂාව ගැන බියක් තිබේ. පරිවාර රථ 3 කට අඩු කිරීම (මෙවැනි කතාවක් බුකියේ සංසරණය විය) වැනි ලාභ සෝබන වැඩ අවශ්‍ය නැත. රාජ්‍ය නායකයාගේ ආරක්‍ෂාව රටේ ආරක්‍ෂාව තරමට වැදගත් ය. විශේෂයෙන් ගෝඨාභය රාජපක්‍ෂ යන නම ඇති පුද්ගලයා බලවත් සමහරුන්ගේ වෛරයට දැඩිව පාත්‍ර වී සිටින කෙනෙක් බව ජනාධිපති ආරක්‍ෂක බලකායේ වගකිව යුත්තන් සිහියට ගත යුතුය. පොදු ස්ථාන වලදී ළමයින් හුරතල් කිරීම රාජ්‍ය නායකයාගේ වගකීමක් නොවේ. රාජ්‍ය නායකයාගේ වගකීම තමන්ගේම වැඩිහිටියන් අතරේ සුරක්‍ෂිතව හැදෙන පරිසරයක් ජාතියේ දරුවන් වෙත උදා කර දීමයි.



යට දැක්වෙන්නේ මීට පස් වසරකට පෙර අප විසින් ප්‍රතිචාරයක් වශයෙන් දෙතිස් කතාවේ දැමූ සටහනෙකි.

2004 ට පළමු අප නින්දට ගියේ හෙට අවදි වන විට ලංකාව තිබේදැයි නොදැන ය. රටක් වශයෙන් අපට හෙටක් තිබුණේ නැත. රනිල් වික්‍රමසිංහ මහතාගේ ලිබරල් ආණ්ඩුව විසින්, කොතැන කවුරුන් විසින් ලියන ලද්දේදැයි නොදන්නා ගිවිසුමකට, කිසියම් මූසල රාත්‍රියක අස්සන් කොට එළි වන ජාමෙට ලෝකයේ රටක් නැති දෙමළුන්ට රටක් සාදා දීමේ ඉඩකඩක් තිබිණි. අපට රෑ වන විට මෙකී ගිවිසුම් කෙටුම්පත් කෙරෙන ලන්ඩනයටත් ඒවා මුද්‍රණය කෙරෙන ඔස්ලෝ නගරයටත් සෞම්‍ය සැන්දෑව එළැඹීමත් මේ කටයුත්තට මනා පරිසරයක් සකස් කර දුන්නේය. 2004 චන්දයේ දී එවකට විපක්‍ෂනායක වූ මහින්ද රාජපක්‍ෂ අපට දුන්නේ අපේ රටක නිදහසේ හුස්ම ගැනීමේ බලාපොරොත්තුවයි. ඔබ ඉදිරිපත් කරන හේතු පාඨ සමග 100% ම අපේ එකඟත්වය වේ.

2005 දී අගමැති මහින්ද ජනපති කරන්නේ කොටි (මෙය කොටි නොව වග /-හෙවත් ව්‍යාග්‍ර-/ විය යුතුය. Tiger යනු කොටියා නොවේ) උවදුර මුලිනුපුටා දැමීමට මිස ගුවන්තොටුපොළවල්, වරායවල්, ක්‍රීඩාංගන, කුළුණු සහ අධිවේගී මාර්ග ඉදි කරවා ගැනීම පිණිස නොවේ. ඔහු ඒ අතින් ලංකාවේ සාර්ථකම පාලකයා වේ. එහෙත් 2010 දී අපි නොඉල්ලූ ජනාධිපතිවරණයක් ඔහු ලබා දී අනතුරුව මහ මැතිවරණය කැඳවන්නේ ඉතිරි වැඩය හෙවත්, ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම පිණිසය.

දෙමළ ජාතිවාදයේ අවිගත් පෙරමුණ පැරදවූ පසු අවිනොගත් පෙරමුණ පරාජය කළ යුතුව තිබිණි. ඒ ව්‍යවස්තා සහ නීති මගිනි. ජර්මනියේ හිට්ලර් පරාජය කළ පසු ජර්මන් ජාතිකවාදය මුලිනිපුටා දැමීමට කටයුතු කළ සේ දෙමළ වර්ගවාදය නීති මගින් ඉවත් කළ යුතුව තිබිණි. ඒ සමගම ඉස්ලාම් ව්‍යාප්තවාදයත් නැවතීමේ තිත තැබිය යුතුව තිබිණි. මහජනතාව මහින්ද වෙනුවෙන් 150 කට ආසන්න මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලබා දුන්නේ ඒ වෙනුවෙනි. එහෙත් ඒ වෙනුවට අපට දකින්නට ලැබුනේ දෙමළ වර්ගවාදය සහ ඉස්ලාම් ව්‍යාප්තවාදය සමග අතරමැදි සාමාදානයකට යෑමයි. මෙයට හේතුව අන්තර්ජාතික බලපෑම් කියා කිසියම් දේශපාලන විශ්ලේෂකයෙක් විසින් කිව හැක. එහෙත් මට චන්දය දෙන්නේ හිම බස්සන්, පිනිමුවන් සහ ඩොල්පින් මසුන් නොවේය කියා ජෝජ් බුෂ් පරිසර සමුළුවෙන් පසු කී කතාව මෙහිදී ගැළපෙයි.


නොවැම්බර 27, 2014.
සම්පූර්ණ අදහස >>> https://katha32.blogspot.com/2014/11/io-sirisena.html?+showComment=1417031701193#c3080616701530736952


එහිදී අප වැඩිදුරටත් සඳහන් කළේ පහත කරුණු ය.

2010 න් පසු මහින්ද ගියේ තමන්ගේ වල තමාම කපා ගැනීමේ ගමනකි. සර්වාගමික මොංගලයක් (අගමැති කම කෙසේ වෙතත්) බුද්ධසාසන ඇමති කමේ තබා ගැනීමත්, ඒ මෝඩයා එළිපිට කොන කපාගැනීමෙන් නොනැවතී එය වන වනා ප්‍රසිද්ධ ස්ථාන වල පිස්සු නටන්නට පටන් ගැනීමත් මේ වල කපා ගැනීම තීව්‍ර කළේය. නීති විරෝධී මත්ද්‍රව්‍ය හා සමග නම කියැවෙන පුද්ගලයින් කිසි පරීක්‍ෂණයක් නැතිව තමාගේ සෙවනේ තබා ගැනීම තවත් ගොංකමකි. ඉතා පැහැදිළිවම හෙළි කෙරුණු හෙජිං ආදී දූෂිත ගණුදෙනු සම්බන්ධ පරීක්‍ෂණ වල වැරදිකරුවන් නැත. මේ ආදී හේතු නිසා මහින්ද අද සිටින්නේ 2005 හෝ 2010 හෝ සිටි තැන නොවේ.

* 2005 දී අපි ඔහුට චන්දය දුන්නේ අවිගත් සතුරන් පැරදවීම පිණිසය.
* 2010 දී අපි ඔහුට චන්දය දුන්නේ අවි නොගත් සතුරන් පැරදවීම පිණිසය.

එහෙත් ඔහු සිතා ගත්තේ අපි 2010 දී 'කළ ගුණ සැළකුවා' ය කියානම් ඔහුට වැරදුණ තැන එතැනය. 2010 දී අපට කළගුණ සැළකීමට දෙයක් තිබුණේ නැත. 2015 තිබෙනවාද ?

2005 දී අප ඔහුට කළ දේට ඔහු 2009 දී කළගුණ සැළකුවේය. 2010 දී අප ඔහුට කළ දේට මේ වන විට ඔහු අපට කළගුණ සළකා තිබේද?


2015 දී අපගේ ඡන්දය මහින්ද රාජපක්‍ෂ වෙත ලැබුණේ නැත. එය සිරිසේන වෙතද වෙනකෙක් වෙතද ලැබුණේ නැත. ප්‍රතිඵල දැන් ඇස් පනාපිට තිබේ. එහෙත් ඒ ගැන කිසි පසුතැවිල්ලක් ද අප සිත තුල නැත. 2015 ට නැවත ගියත් පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ අපගේ මනාපය දිනා ගන්නේ නැත. හේතු ඉහත (2014 දී) අප ලියූ සටහන තුල තිබේ.



මෙවර අපගේ ඡන්දය ගෝඨාභය රාජපක්‍ෂ වෙත ප්‍රකාශ කර තිබේ. ඒ නිකං, රැල්ලට, හෝ කළ ගුණ සැළකීමට නොවේ. අප ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ කාරණා කිහිපයකි. සියල්ල දැන් සටහන් නොකරමි, ඉතාම ප්‍රමුඛ කරුණු දෙක පමණක් සටහන් කරමි. එකක් අනිවාර්‍යයෙන් කළ යුත්තකි. අනෙක් කෙසේවත් නොකළ යුත්තකි.

අ. සියවසේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය හෙවත් 19 වන සංශෝධනය ආපසු හැරවීම:

මේ සංශෝධනය ව්‍යවස්ථා විරෝධී ය. එය සම්මත වූ පාර්ලිමේන්තු සංදර්භය (සංයුතිය නොවේ) ප්‍රජාතන්ත්‍ර විරෝධී වන අතර අනුමැතිය ලබාගෙන තිබෙන්නේ හයි-ජැක් කළ ශ්‍රේෂ්ඨාධිකරණයකිනි. ජනමත විචාරණය යටත්ව මිස සම්මත කළ නොහැකි වගන්ති බොහෝ ගණනක් ජනමතවිචාරණයකින් තොරව සම්මත කරගෙන තිබේ.

රටේ පරමාධිපත්‍යය හිමි මහජනතාවට ව්‍යවස්ථාදායකය හරහා නොගොස් සෘජුව ව්‍යවස්ථා පැනවීමේ බලය ලැබෙන ජනමත විමසුම පවා මෙයින් ජනතාවගෙන් උදුරාගෙන තිබේ. කෙටියෙන් කියතොත් අනාගතය උදෙසා වැරදි පූර්වාදර්ශයක් සපයන මේ තුප්පහි ව්‍යවස්ථා සංශෝධනය නිසි පරිදි සම්මත නොවී යැයි සළකා එය නිශේධ කළ යුතුව තිබේ.

යෝජිත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ විසින් එය අහෝසි කරන බවට ප්‍රකාශයක් කිරීම යහපතකි. එය අගය කළ යුතුය. ක්‍රමය ඉක්මවා සම්මත කර තිබෙන මේ ව්‍යවස්ථා විරෝධී සංශෝධනය අහෝසි කිරීමේදී ක්‍රමය අනුගමනය කිරීමේ වරදක් නැතත් ක්‍රමය අනුගමනය කිරීම අත්‍යාවශ්‍යම නැතැයි දෙතිස් කතාවේ පිළිගැනීමයි. 2015 දී එවකට සිටි අගවිනිසුරු ඉවත් කළ ක්‍රමය අනුගමනය කිරීම පමණක් වුව සෑහේ යැයි සිතමි.


ආ. පළාත් සභා වල ප්‍රායෝගික වලංගුතාවය නැති කර ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උණ්ඩුක පුච්ඡයක් බවට පත් කිරීම:

රනිල් වික්‍රමසිංහ පළාත් සභා නැති කළේය. එවකට විපක්‍ෂ නායක සම්පන්තන් ද වික්‍රමසිංහගේ ව්‍යවස්ථා උපදේශක සුමන්තිරන් ද අනුර කුමාර ද ඊට සහය දුන්හ. දුර දිග නොබැලූ ඒකාබද්ධ විපක්‍ෂය පමණක් ඊට විරුද්ධ විය. පළාත් සභා මැතිවරණ පැවැත්වීම ඒ අවස්ථාවේදී පොහොට්ටුවට වාසිදායක වුවත් එය රටට වාසිදායක නැත. ඒ නිසා ඕනෑ නැති පණ්ඩිතකම් අතහැර පළාත් සභා වලට ස්වභාවික මරණයක් අත් කර දිය යුතුය.

පළාත් සභා මැතිවරණ මේ කපේදී නොපැවැත්විය යුතුය. දෙමළු පළාත් සභා ඉල්ලයි නම් රනිල්ගෙන්-සුමන්තිරන්ගෙන් ඉල්ලා ගන්නැයි කිව යුතු අතර ඕනෑම සීමා නිර්ණයක් පාර්ලිමේන්තුවේ දී පැරදවිය යුතුය. පළාත් සභා නැති කළේ රනිල්-සුමන්තිරන් බව දෙමළුන්ට කියා දෙමළුන් සෘජුව දිනා ගැනීමට උත්සාහ කරනු මිස දෙමළ නායකයින්ට දේශපාලන කප්පම් වශයෙන් ප්‍රදේශ වෙන් කර ගැනීමට ඉඩ නොදිය යුතුය.

එසේම ක්‍රමානුකූලව සැළසුම් සහගතව ගෙනෙන කෙටි පනත් ගණනාවක් මගින් පළාත් සභා වල වලංගුතාවය නැති කර ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උණ්ඩුක පුච්ඡයක් පමණක් බවට පත් කළ යුතුය. අනාගතයේ ගෙනෙන නව ව්‍යවස්ථාව ඒකීය රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමේදී දැනට ඇති ව්‍යවස්ථාමය බාධා (පළාත් සභා මින් ප්‍රධාන එකයි) ඉවත් කළ යුතුය.


තව කරුණු බොහෝ ඇතත් අපට දැනට ඉතාම වැදගත් මේ දෙක පමණි. මේ දෙක හරියාකාරව කළහොත් අභිනව ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අපේ ඡන්දයට සාධාරණය ඉටු කළා වේ.



සෙස්ස පස්සට ...





4 comments:

  1. රටටම එක සිවිල්නීතියක් ගෙනැල්ලා. අනිත් නිති දෙපාර්ශවයේම එකඟතාව පරිදිකරගන්න පුළුවන් විදියට හැදුවනම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. අදහස එතරම් පැහැදිලි නැත.

      Delete
    2. සිංහල දෙන්නෙක්ට දෙදෙනාගේ කැමැත්ත පරිදි ආගම වෙනස් නොකරම මුස්ලිම් නීතියට අනුව විවාහ වෙන්න ක්‍රමයක් හැදීම උදාහරනයක් හැටියට දෙන්න පුළුවන්.

      රටටම එක සිවිල් නිතියක් ගේන්න බැරිනම්.
      දෙපාර්ශවයේ එකඟත්වය අනුව උඩරට, තේසවලාම,මුස්ලිම් නීති හැමෝටම පිලිපදින්න ඉඩ දීම මගින් යම් ජන කොටසක් අයුතු වාසි ගැනීම වැලැක්විය හැකියි.

      Delete
    3. මුස්ලිම් සහ තේසවලාමේ නීති ආක්‍රමණිකයන් විසින් සංක්‍රමණිකයන් උදෙසා පැනවූ නීතිය.

      ඒවා ඉවත් කිරීම නිදහස ලැබූ වහාම කළ යුතුව තිබුණු මුත් අපේ ජනනායකයන් විසින් නොකළ දේ ය. මේ සඳහා පියවර ගැනීමේ යම් ශක්‍යතාවයක් තිබූ සේනානායක, බණ්ඩාරනායක I, බණ්ඩාරනායක II, ජයවර්ධන සහ රාජපක්‍ෂ I යන රාජ්‍ය නායකයන් යටතේ ඉටු නොවුණු මේ කාරණාව රාජපක්‍ෂ II විසින් ඉටු කෙරෙනු ඇත්දැයි විශ්වාසයක් නැත.

      "සිංහල දෙන්නෙක්ට දෙදෙනාගේ කැමැත්ත පරිදි ආගම වෙනස් නොකරම මුස්ලිම් නීතියට අනුව විවාහ වෙන්න ක්‍රමයක් හැදීම" හොඳ අදහසක් මෙන් පෙනුණත් නරක අදහසකි. නමුත් ඔබ අදහස් කරන්නේ මුස්ලිම් නීතියේ "මුස්ලිම්" යන්න ඉවත් කිරීමට (භෞතික හරය තබාගෙන අනාගමික බවට පත් කිරීමට) නම් එහි ගැටළුවක් නැත.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !