Sunday, June 13, 2021

හුළං සහ තෙල්

හුළං සොරුන් ගැන කතාව මෙතෙකින් නිමි'යි පසුගිය ලිපිය අවසන් කළෙමු. එසේ ලියා තබා නිදා ගන්නටත් පෙර ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දමා තිබේ. අප මුළින් සංවාදයට ගත් පිසින වායු ටැංකි මගඩිය සමාගමේ ක්‍රියාවක් වුවත් ද්‍රව ඉන්ධන මිල ඉහළ දැමීම ආණ්ඩුවේම ක්‍රියාවකි.

ද්‍රවිකෘත ඛණිජ වායු (LPG) සමාගම් ඔවුන්ගේ 18 L හොර ටැංකි එළියට දමන්නේ පසුගිය අප්‍රේල් මාසයේදී ය. ඒ කාලයේ සිටම එකී ව්‍යාපාරය පාඩු පිට පවත්වාගෙන යන බව සමාගම් විසින් ප්‍රචාරය කරන්නට යෙදිණි. සමාගම් පාඩු පිට පවත්වාගෙන යා යුතු නැත. කළ යුත්තේ මිළ වැඩි කිරීමයි. මිල වැඩි කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර දිය යුතුය. එතැනට ගිය විට තවදුරටත් ඒ තීරණය ව්‍යාපාරික තීරණයක් නොව දේශපාලන තීරණයක් බවට පත් වෙයි. කිලෝ ග්‍රෑම් වෙනුවට ලීටර වලින් ප්‍රමාණය සටහන් කර මහජනයාගේ ඇසට වැලි ගැසීමට සමාගමට සිදු වන්නේ මෙකී ස්තර දෙකෙහි මූලික අභිප්‍රායන් අතිපිහිත නොවන බැවිණි. පසුගිය ලිපියේ සඳහන් කළ ගැසට්ටුවේ ලාමක ටිං ටිං ගතියට හේතුව එයයි. සැමට තේරෙන අයුරින් කීවොත් මෙහිදී යොදාගෙන තිබෙන්නේ අපි විරුද්ධ වෙන්නම්, ඕගොල්ලෝ කරගෙන යන්න යන කුප්‍රකට යහපාලන+රතන ක්‍රමවේදයයි.



Saturday, June 12, 2021

හුළඟේ යන ගැසට්

සිරිමාවෝ ගේ ආණ්ඩුව ප්‍රසිද්ධ වූයේ හාල් පොලු මිරිස් පොලු වලටය. ජේ ආර් ගේ ආණ්ඩුව ප්‍රසිද්ධ කළු ජූලිය සම්බන්ධයෙනි. ප්‍රේමදාස භීෂණයට ප්‍රසිද්ධ අතර චන්ද්‍රිකා දූෂණයට ප්‍රසිද්ධ වූවාය. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව සමග බැඳී තිබෙන්නේ ඩුබායි මැරියට් හෝටලය රත්තරං අස්සයන් සහ ලම්බෝගිනිය. ඒ අතර සිරිසේන ආණ්ඩුව ප්‍රසිද්ධ වූයේ රනිල් සම්බන්ධයෙනි - ඒ ආණ්ඩුව කරගෙන ගියේ රනිල් විසින් වන අතර සිරිසේන කළේ හාමිනේගේ කෙහෙල් කොළයේ බත්පත කා ඔතා දුන් පත්තරයක් බලාගෙන සිටීම පමණි. ඒ ආණ්ඩුවේ පිය සටහන් අතර මහ බැංකු කොල්ලය සහ පාස්කු ප්‍රහාරය තිබේ. එය පරාජය කර පැමිණි මේ ආණ්ඩුව ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුව ප්‍රසිද්ධ කුමකටදැයි ඇසුවොත් දැනට දිය හැකි පිළිතුර ගැසට් වලට යන්නයි.

ගැසට් ගැසීම, ඒවා ආපසු හරවමින් නැවත ගැසට් ගැසීම සහ නැවත අකුරක් දෙකක් වෙනස් කරමින් නැවත නැවතත් ගැසට් ගැසීම ගැන අමතක කළහොත් ගෑස් ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව (පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය) ගැසට් එකක් ගසා තිබේ. මෙහි අඩංගු කරුණු ගැසට් එක නොගැසුවත් වලංගු විය යුතු කරුණු බව අපේ අදහස වුවත් ගෑස් සමාගම් වල ඉහළ පුටු රත් කරන මොළ වලට මතක් කර දීම පිණිස ගැසට් එකක් ගැසීමත් වැදගත්ය.



Tuesday, June 1, 2021

හුළං හොරුන්ගේ කතා වස්තුව - 3 කොටස

අප සතුව තිබෙන්නේ ලිට්‍රෝ (මීට පෙර ෂෙල්) සමාගමෙන් මිලදී ගත් කිලෝ ග්‍රෑම් 12.5 පිසින හුළං (ද්‍රවිකෘත පෙට්‍රෝලියම් වායු) ටැංකියකි. එය පසුගියදා අවසන් වූ අතර පුරුදු ලෙසින් එය මාරු කර ගැනීමට ගොස් (ඔව්, සංචරණ සීමා තිබියදීම තමා) සිදු වූ ඇබැද්දිය මීට පෙර සටහන් කෙරිණි. ඒ කතාව අවසන් කෙරුණේ ලිට්‍රෝ සමාගම කිලෝ ග්‍රෑම් 12.5 ටැංකිය පාරිභෝගික අපගෙන් ලබාගෙන ඊටම කිලෝ ග්‍රෑම් 9 ක් පමණක් පුරවා රුපියල් 100 ක් අඩුවෙන් අපට විකුණන්නේය යන නිගමනයට එමිණි.

අද එතැන් සිට.

ඉවරද ?


කතාව මෙතැනින් ඉවර වන්නේ නැත. සමාගම විසින් 12.5 kg ටැංකි වෙළෙඳ පොළෙන් ඉවත් කිරීම ක්‍රමානුකූලව කෙරේ. මා මුහුණ දුන් අත්දැකීමට මුහුණ දෙන වැඩි දෙනෙක් 18 L ටැංකියක් ගෙදර ගෙන යනු ඇත. ඔවුන්ට නැවත කිසිදා 12.5 ටැංකියක් ලැබෙන්නේ නැත. සමාගම එකතු කරගෙන යන සෑම ටැංකියක්ම අළුතින් පින්තාරු කර 18 L ලියා හුළං අඩුවෙන් ගසා නැවත එවනු ඇත. මාස දෙක තුනකින් වෙළෙඳ පොළේ ඉතුරු වන්නේ 18 L ටැංකි පමණි.



ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !