Wednesday, March 6, 2019

ගල් අරක්කු අයවැය

මෙවර අයවැය හේතු කිහිපයක් නිසා වැදගත්ය. ඉන් පළමුවැන්න මෙය පමා වී පැමිණි අයවැයක් වීමයි. මෙවර අයවැය අඩු තරමින් මාස 5 ක් පමා වී පැමිණියේය. ඊළඟ අයවැයට ඉතිරි වී ඇත්තේ යන්තම් මාස 6 ක් පමණි. දෙවැනි හේතුව මැතිවරණ වර්ෂයක පැමිණි අයවැයක් වීමයි. අවුරුදු දෙකකට වඩා කල් දමමින් සිටි පළාත් පාලන මැතිවරණය නඩුවෙන් බේරීම පිණිස පැවැත්වූ ආණ්ඩුව පළාත් සභා මැතිවරණ වසර දෙකක් තිස්සේ කල් දමා ඇත. මේ වසර මුල පැවැත්වීමට දින නියම කර ගත් මහමැතිවරණය ඊනියා ස්වාධීන අධිකරණ කොමිසමේ උදව්වෙන් අවලංගු කර ගත් ආණ්ඩුව මේ වසර අගදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නොපැවැත්වීමට සියළු උප්පරවැට්ටි දමමින් සිටී. තුන් වැන්න රටේ පවත්නා අස්ථාවර දේශපාලන වාතාවරණය අනුව වර්තමාන මුදල් ඇමති විසින් ඉදිරිපත් කෙරෙන අවසන් අයවැය වාර්තාව මෙය වීමට ඇති ඉඩකඩයි.

ඕනෑම අයවැයක් සේම මේ අයවැයත් ආණ්ඩුවේ අනාගත සැළසුම් ගැන ප්‍රකාශයට පත් කෙරෙන සහ රටේ ආර්ථික ගමන් මග පිළිබඳව පුරවැසියන්ට අදහසක් ලබා ගැනීමට ඉඩකඩ සලසන්නක් වීම වැදගත්ම හේතුවයි.

අප අයවැය කතාවට සවන් දුන්නේ නැතුවා පමණක් නොව ඒ ගැන වැඩිමනක් පුවත් ඇසුවේ / කියවූවේ හෝ නැත. අපට දැන ගැනීමට ලැබුණු එකම කරුණ වාහන නිෂ්පාදන බදු වැඩි වීම පමණි. වාහන තබා බයිසිකලයක්වත්, ඒ තබා විල්බැරෝවක්වත් නිෂ්පාදනය නොකෙරෙන ලංකාවේ වාහන නිෂ්පාදන බදු කීයට වැඩි උනත් මොකෝ ... හඃ !




සමහරු කියන්නේ මෙවර අයවැය ගල් අරක්කු අයවැයක් කියාය. එහෙත් ආණ්ඩුවට මෙය දුප්පතා සුරකින අයවැයකි. එනම් දුප්පතා තවත් දුප්පත් කමේම ගිල්වා තබන අයවැයකි.

මේ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවකි. එයට හැකි එකම දේ තම විදේශීය හාම්පුතුන් ලියා දෙන දේ කීමත් (පසුගිය වසරේ දේශපාලන අර්බුද සමයේ කථානායක විසින් නිකුත් කළ ප්‍රකාශ කියවන්න), ඔවුන් විසින් සකස් කෙරෙන අණ පනත් මොන කූටෝපක්‍රමය යොදා හෝ සම්මත කර දීමත් (අතුරුදන් වූවන්ගේ කන්තෝරුව ගැන පණත, 19 වන සංශෝධනය, පළාත් පාලන ආයතන වලට 30% ගෑණු පත් කිරීම ආදිය බලන්න), ඔවුන්ගේ අභිලාශ වෙනුවෙන් පෙනී සිටීමත් පමණි. මේ ආණ්ඩුවේ විදේශීය හාම්පුතුන්ට මේ රට සහ ජනතාව දියුණු කිරීමේ උවමනාවක් නැත, එසේ නැති කල මේ ආණ්ඩුව එවැනි අභිප්‍රායක් ඇතුව කටයුතු කෙරෙත් ද?

ළඟ එන මැතිවරණ ඉලක්ක කර ගත් මේ ආණ්ඩුවේ ප්‍රධාන උපාය මාර්ග දෙක ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වේ. එහි පළමුවැන්න ටකරං කෑල්ලට කක්කුස්සි පෝච්චියට තම ඡන්දය විකුණන සාම්ප්‍රදායික එක්සත් ජාතික පක්‍ෂ ඡන්ද දායකයා ඉලක්ක කර ගත්තේ වෙයි. මේ පිරිස ඡන්දපොළ වෙත දක්කාගෙන යාම එක්සත් ජාතික පක්‍ෂය මුහුණ දෙන තීරණාත්මක අභියෝගය වේ (ඔවුන් blog බලන්නේද නැති බැවින් සිරිකොත වෙනුවෙන් සේවය සපයන හිටපු සිංහලයින්ගේ හෙවත් ඩයස්පොරවල් ගේ සේවය නොමිලේ ලැබුණේ වුවත් එය අපතේ ය). මේ අභියෝගය ජය ගැනීම පිණිස වික්‍රමසිංහගේ උපාය මාර්ගය ගම්පෙරළිය නමි. වැසිකිළි නැති ජනතාව ලක්‍ෂ 10 ක් සිටින බව අයවැය කතාව කරන මුදල් ඇමති විසින් පැවසෙන විට ඉන් කියැවෙන්නේ මේ සත්‍යය යි.

2015 මහමැතිවරණයට බැඳුම්කර කොල්ලයේ මුදල් භාවිතා වූ බව මේ වන විට ඉකොනොමැට්ටා තුමා වුව දන්නා සත්‍යයකි (සුජීව සේනසිංහට ගෙවූ බව හෙළි වූ මුදල පමණක් මිලියන 3 කි). මීළඟට එන මැතිවරණය කුමක් වුව ඒ වෙනුවෙන් වැය කිරීමට එක්සත් ජාතික පක්‍ෂයේ ආධාරකරුවන් අතට මුදල් ලැබෙන ක්‍රමයක් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා විසින් විවර කෙරේ. ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ප්‍රමුඛ රාජ්‍ය බැංකු වල ඇති මහජන මුදල් එක්සත් ජාතික පක්‍ෂයේ සංවිධායකවරුන් විසින් එවන ලැයිස්තු අනුව ඒ පක්‍ෂයේ ආධාර කරුවන් අතට බෝල් ණය වශයෙන් පත් කිරීම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හි අප්‍රකාශිත අරමුණයි. මෙයට විරුද්ධව මරාගෙන මැරෙන විරෝධතා දැක්විය යුතු ලිට්රෝ අමිල බ්‍රෝ ඇතුළු ජනතවි මුක්ති පෙරමුණ (වික්‍රමසිංහගේ වචනයකි) මීක් සද්දයක් නැත්තේ මන්දැයි පැහැදිළි මුත් වික්‍රමසිංහ හා ඔහුගේ හාම්පුතුන් සමග එවැනි ඩීල් නැතැයි සාමාන්‍යයෙන් සැළකෙන විමල් වීරවංස ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂ නඩයේ නිහඬතාව නම් ප්‍රශ්නයකි.

ජනතවි මුක්ති පෙරමුණ මේ දිනවල සියළු වැර යොදා ඇත්තේ ඒමට ඉඩ ඇති මැතිවරණයෙන් වැඩි ආසන දිනා ගැනීමට වඩා මැතිවරණ නොපවත්වා දැනට පවත්නා ආසන ගණනවත් හැකි තාක් කල් රැක ගැනීමටයි. ජනාධිපතිවරණය අහෝසි කිරීමටත් සීමා නිර්ණයක් පෙන්වා මහමැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමා ගැනීමටත් උපක්‍රමයක් වශයෙන් 20 වන සංශෝධනය ගෙනැවිත් ඇත්තේ එබැවිණි. ඒ මිස රටේ වෙනත් ප්‍රශ්න ඒ පක්‍ෂයට වැඩක් නැත.



මේ අයවැය සම්මත නොවෙතැයි සමහරු කියත්. ඒ සුරංගනා සිහිනයක් පමණකි. එක්සත් ජනතා නිදහස් සංධානයේ කොටසක් ආණ්ඩුවේ සිටියදී අයවැය නිකං ම සම්මත කර ගත හැකි තත්වයක් යටතේත් ආණ්ඩුවේ අයවැයට පක්‍ෂව ඡන්දය දුන් විපක්‍ෂ නායකයෙක් අපට සිටියේය. දැන් ඔහු විපක්‍ෂ නායක කමේ නැතත් ඔහු සතු මන්ත්‍රී ආසන ගණන එසේම තිබෙයි. එසේම ජනාධිපති විසින් තම බලතල ප්‍රකාරව පත් කළ නිත්‍යානුකූල අගමැතිට විරුද්ධව විශ්වාසය භංග වීමට දෙයක් කිරීමටවත් ඉඩ නොතබා හිස් විශ්වාසභංගයක් (විශ්වාසභංගය හිස් වන්නේ එහි විශ්වාසයභංග වීමට කරුණු සඳහන් නොවන නිසාය) ගෙනා තවත් පක්‍ෂයක් මේ පාර්ලිමේන්තුවේ වෙයි. එක්සත් ජාතික පෙරමුණ යටතේ තරග කළ සුළු පක්‍ෂ එතැනින් ඉවත් කර ගත හැකි යැයි සමහරුන්ගේ ඇස්තමේන්තුව වේ. අගමැතිධුරය දරමින් කර ගත නොහෙන දේ විපක්‍ෂනායකධුරය දරමින් කර හැකි යැයි සිතීම අනුවණ කමෙකි. ඒ නිසා මේ අයවැයේ කුමක් සඳහන් වුවත් එය සම්මත වීම අනිවාර්‍ය සිද්ධියකි - එය ස්වසිද්ධියකි.

යම් හෙයකින් එය සම්මත නොවී නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරේ යැයි සමහරු සිතත්. එයත් මුළාවක් බව අපගේ අදහසයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ක්‍රම සියල්ල පසුගිය අධිකරණ තීන්දුව විසින් අහුරා තිබීම ඊට හේතුවයි. අයවැය පරාජය වූවොත් පාර්ලිමේන්තුව ඉබේ විසුරුවා හැරෙන ප්‍රතිපාදන අපේ ව්‍යවස්ථාවේ නැත. එවිට සිදු විය යුතුව තිබෙන්නේ ජනාධිපති විසින් තම බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් කැඳවීමයි. එය ව්‍යවස්ථානුකූල නොවන බව අපට ඉගැන්වූ වික්‍රමසිංහගේ, ජයසූරියගේ, සම්පන්තන්ගේ සහ විදේශ නියෝජිතයන්ගේ ව්‍යවස්ථා සභාවේ සුරතල් අධිකරණය අද රට ගෙනැවිත් ඇත්තේ එවැනි ව්‍යවස්ථානුකූල අරාජිකත්වයක් කරා ය.

මෙවැනි දුක්ඛිත තත්වයක සිටින අප විසින් ඛේමාගේ කොල්ලගේ බොරු පුරාජේරු ගැන කාලය මිඩංගු කළ යුතුද ?



3 comments:

  1. දෙතිස් කතා ඔබට මතකද නංගිලා මල්ලිලාට බ්‍රේස්ලට් දෙනව, විට කන නාකින්ට චුවින්ගම් දෙනව කියල රනිල් ලොක්කා කාලයක් කිව්වා. ඊට පස්සෙ පස් දුන්න පලාතට පස්-දුන් කෝරලේ කියනව කිව්වා. තම මහ පැරකුම්බා වගේ රියල් පොරක් කිව්වා, මේකා දන්න ආර්ථිකයකුත් නැහැ, ගොවිතැනකුත් නැහැ. පෝර මිල වැඩිකර කුඹුරැ ඉඩම් ගොඩ කරන්න ඕනා කියපු මේ බැඳුන්කර හොර තක්කඩියට දැන් නම් හොඳටම පිස්සු, එහෙම නැත්නම් ගොන්ජ කිව්ව වගේ කොකේන් ගහලා. ඒත් විල මැද හරක් ගාලේ 225න් 224ක් අන්දලා කපටිකමින් සම්මත කරගත්තු 19 නිසා මුලු රටම අකමැති වුනත් වසර 4 1/2 ක් දිගටම මූ අගමැති. ඒකටත් දැන් හදන්නනෙ වැලේ වැල් නැතුව ඉන්න ජෙප්පො ලවා 20 ගෙනත් මැදමුලනවත් අන්දල මැරෙනකන් අගමැති වෙලා ඉන්න, එහෙම නේද? මේ කාලකණ්ණි ඒකාධිපති මලපෙරේත කැනහිලාව එලවන්න කරන්න තියෙන එකම මාර්ගය ගඩාෆිල, බැටිස්ටල, සාර්ල වගේ ආයුධ සන්නද්ධ කැරැල්ලක් මගින් පමණයි. නොදකින් මූව හෙන ගහල මැරිල යන්න ඕන.

    ReplyDelete
  2. අයවැය පරාද වී ආණ්ඩුව පෙරලෙන තුරු බලා සිටීම නම් එලුවාගේ අහවල් එක වැටෙන තුරු පස්සෙන් ගිය නරියාට නොදෙවෙනි බලා පොරොත්තුවක් බව මමද දකිමි.
    එසේම ඔබ මතු කරන ඉතා වැදගත් කාරනාව වූ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය ප්‍රෂ්නය. ඔබ කියනවා වගේම මමත් මේ ගැන විමල් ලාගේ හා ගම්මන්පිලලාගේ නිහඬ තාවය ගැන විමතියට පත්ව සිටිමි. මේ පැහැදිලිවම රාජ්‍ය බැංකු සතු මුදල් දේශපාලන හෙංචයියලාට බෙදා හදා දීමට ගන්නා තැතක් බවට කිසිදු සැකයක් නැත. දන්න කිසිදු සුළු පරින්මාන ව්‍යාපාරිකයෙකු ඒ ණය ලබා නැත. ඔවුන්ට ඒ සඳහා තැඹීමට ඉල්ලන ආකාරයේ ඇප නැත. එහෙත් බොහෝ දෙනා ණය ලබා තිබේ. එසේනම් ඒ කවුරුන්ද?

    අපිට මොකටද නේ ඕවා.
    වෙන දෙයක් බලාගෙන ඉඳිමු

    ReplyDelete
  3. හේමාගේ කොලුවා ගෙවල් හදනකොට කේමාගේ කොලුවා කක්කුස්සි හදනවලු. මට ඊට වඩා වැදගත් වෙන්නේ ජෙනිවා වල මොකද වෙන්න යන්නෙ කියන එකයි. මේ තුප්පහි අයවැය පරද්දන එක වැදගත්, ඒත් ජෙනිවා විගඩම පරද්දන එක ඊට වඩා වැදගත්.

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !