Friday, October 18, 2019

ජාතික සංවිධානයන්හි ස්ථාවරය හා භූමිකාව

දෙමළ ජාතික සංධානය සිංහල විරෝධී ඉල්ලීම් නැවතත් ඉදිරිපත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් කිසිම සාකච්ඡාවක් කළ යුතු නැහැ. ඔය දෙමළ ජාතිවාදී ඉල්ලීම් නන්දිකඩාල්හි දී පරාජය කෙරුණා. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු නට්සි ඉල්ලිම් නැවතත් ඉදිරිපත් වුණා නම් චර්චිල් කුමක් කියන්න තිබණා ද? එහෙත් රනිල් දෙමළ ජාතික සංධානයට ප්‍රතිඥාවක් දී තිබෙනවා.



ජාතික සංවිධාන සම්මේලනයේ ස්ථාවරය හා භූමිකාව ඒ සම්මේලනයේ රැස්විමක දී සම්මත කර ගත් නමුත් එය පසුගිය දා පදනම් ආයතනයේ දී පැවති රැස්වීමේ දී ජනතාවට ඉදිරිපත් කෙරුණේ නැහැ. අප රටට නව ව්‍යවස්ථාවක් ඕන බව සැබෑව. 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව හෙවත් ජේ ආර් ජයවර්ධන ඉදිරිපත් කර සම්මත කර ගත් ව්‍යවස්ථාව රටට අහිතකරයි. එසේ වන්නේ එය මෙරට ඉතිහාසයට සංස්කෘතියට එකඟ ව ඒ පදනම් කර ගත් ව්‍යවස්ථාවක් නොවන බැවින්. එය චෙල්වනායගම්ගේ බෑණනුවන් වූ ඒ ජේ විල්සන් ප්‍රමුඛ පිරිසකගේ මැදිහත් වීමෙන් සකස් කරන ලද්දක්. එය ප්‍රංශ හා එක්සත් රාජ්‍ය (ඇමරිකාව) ව්‍යවස්ථා අනුව ඒ අනුකරණයෙන් සකස් කරන ලද්දක්. අපේ රටට ආගන්තුක ව්‍යවස්ථාවක්.

මේ ව්‍යවස්ථාව යටතේ අප අවුරුදු හතළිස්දෙකකට කිට්ටු කාලයක් ජීවත් වෙලා තියෙනවා. ව්‍යවස්ථාව දහනව වතාවක් සංශෝධනය වෙලා තියෙනවා. ඒ අතරින් දහතුන්වැනි සංශෝධනය හා දහනවවැනි සංශෝධනය අති භයානකයි. මේ සංශෝධන තවත් සංශෝධනයකින් අහෝසි කරන්න ඕන. ඒක තමයි පසුගිය දා රැස්වෙච්ච ජාතික සංවිධාන සම්මේලනය ප්‍රකාශ කෙළේ. ඒ එක්ක ම ඒ සම්මේලනයේ දී තවත් දේ ප්‍රකාශ වුණා. ගෝඨාභය රාජපක්‍ෂට ජනාධිපතිවරණයේ දී කොන්දේසි විරහිත ව සහාය දීමත් එකක්. එමෙන් ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරනු යන්න තවත් එකක්. මේ සමහර දේ ජාතික සංවිධාන සම්මේලනයේ ස්ථාවර. සමහර දේ සම්මේලනයේ භූමිකාව. මේ සියල්ල 2019 ජනාධිපතිවරණය සම්බන්ධයෙන්.




ස්ථාවරය

  1. ජාතික ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාවය සුරැකෙන, එක පොදු සිවිල් නීතියක් සහිත, ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටීම.
    1. 13වන සංශෝධනය ඉවත් කිරීම.
    2. 19වන සංශෝධනය ඉවත් කිරීම.
  2. 'විධායක ජනාධිපති ධූරය' අහෝසි නොකිරීම.
    විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා හෝ එම ධූරයේ බලය අවම කිරීම සඳහා හෝ එම බලය අන් අයකු අතට පත් කිරීම සඳහා හෝ කෙරෙන යෝජනා සියල්ල, අප රටේ නායකත්වය දුර්වල කොට, අපගේ රාජ්‍යය දුර්වල කිරීම සඳහා වූ අරමුණින් කෙරෙන යෝජනාවන් ලෙස අප සලකන අතර, එවන් යෝජනාවන්ට අපගේ විරුද්ධත්වය ප්‍රකාශ කරමු.
  3. ඉදිරි ජනාධිපතිවරණය 'නව ව්‍යවස්ථාවක්' ගෙන ඒම සඳහා වන ජනමත විචාරණයක් බවට පත් නොකිරීම.
  4. සියලුම
    1. ආගමික අන්තවාදී ත්‍රස්තවාදයන් හා
    2. දේශපාලනික අන්තවාදී ත්‍රස්තවාදයන්
    මුලුමනින්ම පරාජය කිරීම.
  5. පරිසරය සුරැකෙන, තිරසාර සංවර්ධනයක් සහිත, සිංහල බෞද්ධ රාජ්‍යයක් නිර්මාණය කිරීම උදෙසා වන ජාතික ආර්ථික, සමාජයීය හා සංස්කෘතික සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම.
  6. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව නිසි පරිදි බලාත්මක කිරීම වෙනුවෙන්, එනම් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමීම සහ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම යන වගකීම නිසි පරිදි ඉටු කිරීම.
  7. ලංකාවේ පැරණි බෞද්ධ සිද්ධස්ථාන සහ නශ්ඨාවශේෂ ආරක්ෂා කොට පවත්වා ගෙන යෑම පිණිස, ඓතිහාසික උරුම කළමනාකරණ පනතක් ගෙන ඒම.
  8. ශ්‍රී ලංකාවට හිතකර, ස්වාධීන, රාජ්‍ය ආරක්ෂාව තහවුරු වන, දේශපාලන නිදහස කේවල් නොකෙරෙන, ජාතික ආර්ථික ස්වෛරීත්වය ආරක්ෂා වන පරිදි සැකසුණු, නොබැඳි, බෞද්ධ රටවල් සමග විදේශ සබඳතා ශක්තිමත් කරන, බෞද්ධ ධර්මය මුල් කර ගන්නාවූ විදේශ ප්‍රතිපත්තියක් සකස් කිරීම.
  9. රටේ ඉතිහාසය සංස්කෘතිය අනුදත් විදේශ දූත පිරිසක් බිහිකර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ගයන් ගැනීම.
  10. රටට අහිතකරව සැකසුණු විදෙස් ගිවිසුම් අහෝසි කිරීම හෝ රටට හිතකර පරිදි සංශෝධනය කිරීම.
  11. විදේශිකයන්ට මේ රටේ ඉඩකඩම් මිලට ගැනීම සඳහා සකස් වූ නීති සියල්ල අහෝසි කිරීම හෝ රටට හිතකර පරිදි සංශෝධනය කිරීම.


භූමිකාව

  1. ඉහත විස්තර කළ ප්‍රතිපත්තිමය කරුණුවලට සහ ඉලක්කයන්ට එරෙහිව ක්‍රියාත්මක වන සහ විජාතික බලවේගයන්ට වහල්ව සිටින, වර්තමාන දේශද්‍රෝහී ආණ්ඩුව පළවා හැරීම.
  2. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, ආදී සියලුම සහෝදර ජනතාවන්ට එකසේ පිළිගත හැකි, අපගේ දේශයට සැබැවින්ම ඇළුම් කරන, එමෙන්ම ඉහත කී ඉලක්ක සාක්ෂාත් කර ගැනීම උදෙසා ශක්‍යතාවක් සහිත නායකයකු බලයට ගෙන ඒම.
  3. එම නායකයාට යථාර්ථවාදී ලෙස සහයෝගය ලබාදෙන දේශපාලන ධූරාවලියක් සහ සිවිල් පරිපාලනයක් බලගැන්වීම සඳහා කටයුතු කිරීම.
  4. අපගේ මාතෘභූමිය බේරාගැනීම සඳහා වන උක්ත ව්‍යායාමය උදෙසා, දිවයින පුරා විසිරී ඇති
    1. විහාරස්ථාන හා දේවාල
    2. හින්දු කෝවිල්
    3. ක්‍රිස්තියානි පල්ලි
    4. මුස්ලිම් පල්ලි
    මූලීක කරගනිමින් ජනතාව දැනුම්වත් කිරීම සහ ජනතාව ඒකරාශී කිරීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කිරීම.
  5. දිවයින පුරා ප්‍රාදේශීය 'සම්මන්ත්‍රණ', දිස්ත්‍රික් මට්ටමේ 'දිසා සමුළු' සහ ජාතික 'මහා සමුළු' සංවිධානය කර ජනතාව දැනුම්වත් කොට, ඉහත ඉලක්ක සපුරා ගැනීම සඳහා ජාතික සංවිධාන සම්මේලනයේ' ධජය යටතට සමාජය පෙළ ගැස්වීම.



No comments:

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !