Thursday, December 13, 2018

සුමන්තිරන් අගමැති කරවමු !

අප අනුමාන කළ අයුරින්ම, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූල නොවන බව අද දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරන්නට යෙදිණි. මෙය ඉතා පැහැදිළිවම ජනාධිපති සිරිසේනගේ පරාජයකි - එසේම රනිල් වික්‍රමසිංහගේ ද පරාජයකි. බැලූ බැල්මට කෙනෙකුට එය මහින්ද රාජපක්‍ෂගේ පරාජයක් සහ රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණයක් වශයෙන් අර්ථ දැක්විය හැකි වුවත් අපේ දෘෂ්ඨි කෝණය මීට වඩා වෙනස් ය. කෙසේ වුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්පූර්ණයෙන් අධ්‍යයනය නොකර ඒ ගැන එක හෙළා පැවසීම යුතු නැත.

A.සුමන්තිරන් ගරු මන්ත්‍රීතුමා
ඉහත නඩුවේ දී රනිල් වික්‍රමසිංහ (එජාප) පැමිණිළි පාර්ශවය නියෝජනය කළේය. ඔහුගේ සහයට සුමන්තිරන් (දෙරාප) සහ හකීම් (මුකො වෙනුවෙන්) සහ දිසානායක (ජවිපෙ) සහ තානාපති කාර්යාල විදෙස් අරමුදල් මත යැපෙන නොරාජ්‍ය සංවිධාන ඇතුළු තවත් පාර්ෂව පෙනී සිටියහ. ප්‍රතිවිරුද්ධ පාර්ශවය නියෝජනය කරන ලද්දේ මහින්ද රාජපක්‍ෂ ඇතුළු පොහොට්ටු නඩයයි. ඒ අර්ථයෙන් ගත් කළ මෙය ඔවුන්ගේ පරාජයකි.

ඉහත කී කණ්ඩායම් වෙන් වෙන් වශයෙන් ගත් කළ සිංහල ජාතික අභිලාශ හා වඩාත් සමපාත වන්නේ කවර කණ්ඩායමක ක්‍රියාකාරකම් දැයි විමසුවොත් මේ නඩු තීන්දුව අනුව සිංහලයා ද පරාජය වී ඇති බව නිගමනය කළ හැක. නීතිය දන්නෝ නම් අප වම්හ යි පාරම් බෑ උදය ගම්මන්පිල්ල, ජී.ඇල්.පීරිස් ආදීන්ගේ මුඛ මේ වන විට පූට්ටු වී තිබිය යුතු අතර මහින්ද රාජපක්‍ෂ තමාගේ සහචරයින්ට බලු බැණුම් බණිනු මට හීනෙන් මෙන් ඇසේ.




අපේ නොවන අපේම නීතිය

ලංකාවේ අධිකරණය, වඩාත් නිවැරදිව කිවහොත් නීතිය, අපේ නොවේ - එය සුද්දන්ගේ ය. 1956 දී අප සිංහලය රාජ්‍ය භාෂාව කර ගත්තත්, 1972 දී අප බ්‍රිතාන්‍ය අධිකරණ පද්ධතියෙන් නිදහස් උනත් අප අපේම උරුමය මත අපේම නීතියක් තනා ගත්තේ නැත. එහි ප්‍රතිඵලය අධිකරණයේ බලය සිංහලයින් අතින් ගිලිහී යාමයි. විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන තුනෙන් තුන් වැන්නේ බලය තවමත් ඇත්තේ සුමන්තිරන් ඇතුළු බලපුළුවන් කාරයින් කිහිප දෙනෙකු අතයි. නීතිය අල්ලේ නටවන්නෝ ඔවුහු ය. ඔවුන් හා අධිකරණය තුලදී ගැටී ජයග්‍රහණයක් ගත හැකිනම් එයයි ලෝක පුදුමය.

ව්‍යවස්ථාදායකය සිංහලයින් විසින් හැසුරුවිය හැකි වුණත් වර්ථමාන ව්‍යවස්ථාදායකය වික්‍රමසිංහ සහ සුමන්තිරම් විසින් නැටවෙන කෝලම් මඩුවකි. තමන් විසින්ම ලියා ගත් ඒකාධිපති ව්‍යවස්ථාව මගින් තම ගජ මිතුරු කැළ හා එක්ව පක්‍ෂයේ බලය මෙහෙයවන්නේ යම් සේද එවැනිම ව්‍යවස්ථා නූල් සූත්තර මගින් පාර්ලිමේන්තුවේ බලය පවත්වාගෙන යාමට වික්‍රමසිංහ සමත් වී සිටී. අප මුල සිටම 19 ට විරුද්ධ වූයේ සතා කවුදැයි දන්නා නිසාවෙනි.

රනිල් වික්‍රමසිංහ කෛරාටික අංකූරෙකි. ඔහුගේ උවමනාවට ගෙනා 19 ට පක්‍ෂ වීම එදා එක්සත් ජනතා නිදහස් සංධානය එකඟ වීම වරදකි. ඔහුට නව ව්‍යවස්ථාවක් ගෙනැවිත් පාර්ලිමේන්තුව තුල සම්මත කර ගැනීමට ඉඩ නොදී සිටීමත්, බෙදුම්වාදීන් සතුටු කිරීම පිණිස නව ව්‍යවස්ථාවක් තැනීමට අටවා ගත් ඊනියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ කටයුතු ඉදිරියට කරගෙන යාමට නොහැකි තත්වයට පත් කිරීමත් සිංහලයන් වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සංධානය ක්‍රියා කළ යුතුව තිබේ. එය අසීරු මුත් අනාගත පරම්පරාව වෙනුවෙන් ඉටු කළ යුතු වගකීමකි. නැතිනම් මේ කණ්ඩායමේ මීළඟ රංගනය 1821 නැවත ප්‍රතිනිර්මාණය කිරීම මිස වෙනකක් නොවේ.



1818, 2018 හා ජාත්‍යන්තරය

ඉතිහාසය පුනරුච්චාරණය වෙමින් තිබේ. ඉංගිරිසින් විසින් සිංහලයා යටත් කර ගත්තේ නැත. 1815 දී සිංහලයා ඉංගිරිසින් සමග සමානයක් ලෙස ගිවිසුමකට එළඹුනාහු ය. බොරු නොකියන සිංහලයන් කෙසේ සිතුවත් ඉංගිරිසින් ගිවිසුම් ගසන්නේ පසුව කඩන්නටමය. මෙය වටහා ගත් සිංහලයින් 1818 දී ඉංගිරිසින් පළවා හැරීමට එක්සත් වුවත් ඒ වන විට ප්‍රමාද වැඩිය - ඉංගිරිසි පිළිකාව බොහෝ දුරට ඔඩු දුවා තිබිණි. ප්‍රතිඵලය සිංහලයින් පෙර නොවූ විරු අයුරින් තම නිජ බිමේදී ම ජාති සංහාරයට ලක් වීමයි. ඉංගිරිසින් ඒ අඩුව පුරවන්නේ කල්ලතොනින් මිලියන ගණනින් මෙරටට ගෙන ඒම මගිණි.

වසර 200 කට පසු 2015 දී සිදු වුණෙත් එවැනිම දෙයකි. දැන් වික්‍රමසිංහ-සුමන්තිරන් පිළිකාව ඔඩු දුවා අවසන් ය. එදා උඩරට ගිවිසුමෙන් ආපසු ලබා ගත නොහැකි අයුරින් සිංහලයේ බලය ඉංගිරිසින්ගේ අතට ලබා දුන්නේ යම් සේ ද 19 වන සංශෝධනය විසින් සිංහලයින් සතුව තිබූ විධායක සහ ව්‍යවස්ථාදායක බලය ඉංගිරිසින්ගේ අනුප්‍රාප්තිකයන් අතට ආපසු ලබා ගත නොහැකි අයුරින් අත්පත් කර දෙනු ලැබිණි. ඊට දුන් නාමය ස්වාධීන කොමිෂන් සභා ය. අද අධිකරණය විසින් තහවුරු කරන ලද්දේ ඒ තත්වයයි.

අද තීන්දුව විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට මතක් කර දෙන්නේ තමන්ගේත් තම පක්‍ෂයේත් දේශපාලන අනාගතය අඳුරේ බවයි. එකම පිහිට පොහොට්ටුව හා සංධානගත වී සිංහලයින් ආමන්ත්‍රණය කිරීම පමණි. මහින්ද රාජපක්‍ෂත් (ගෝඨාභය රාජපක්‍ෂත්) තේරුම් ගත යුතු වන්නේ දෙමළුන් හා මුස්ලිමුන් එකතු කර ගැනීමට කප්පං දීම මගින් සිදු වන්නේ සිංහලයා තවතවත් දුර්වල වීම බවත් මන්දෝත්සාහී වීම බවත් ය. එය මතු එන කවර හෝ මැතිවරණයකදී බලපානු ඇත. ජනාධිපතිවරණයේදී ලක්‍ෂ 58 ගත් රාජපක්‍ෂ මහමැතිවරණයේදී ගත්තේ ලක්‍ෂ 48 බව අමතක කළ යුතු නැත. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ද මහින්දගේ සහය ලැබූ පක්‍ෂය බහුතර චන්දයක් ලැබුවේ නැත.

තමන් ජාත්‍යන්තරය ජය ගත් බවට පම්පෝරි ගැසූ සිරිසේන පසුගිය මාස එකහමාර තුලදී ඊනියා ජාත්‍යන්තරය සිටින්නේ කා සමග දැයි යහමින් තේරුම් ගන්නට ඇත. සමහර තානාපතීන් සිටියේ පාර්ලිමේන්තුවේ ය; සමහරු අරලිය ගහ මන්දිරයේය. ලංකාවේ නිත්‍යානුකූල ජනාධිපති අඬ ගැසූ විට නොඑන තානාපතීන් සාමාන්‍ය මන්ත්‍රී වරායෙන් අනවසරයෙන් රැඳී සිටින රජයේ දේපළකට ඇතුළු වී සාකච්චා කරන්නේ මන්දැයි ඔහු සිතන්නේ නැද්ද ? දැන් ඔය එක තානාපතියෙක් දෙන්නෙක් පිටුවාල් කිරීමට කාලයයි. සිරිසේනට එය කළ හැක. අධිකරණය ඊට ඇඟිලි ගසන්නේ නැත.



පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තුව විසිරුවීම අත්හිටවා ඇති බැවින් දැන් පාර්ලිමේන්තුව රැස් විය හැක. පසුගිය දින වල පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කළ රැස්වීම අයුතු ජනරාශි මොඩලයේ දේශපාලන රැස්වීම ය. නැතිනම් බටහිර තානාපති වරුන් සතුටු කිරීම පිණිස සුමන්තිරම් විසින් පිටපත ලියා වික්‍රමසිංහ විසින් අධ්‍යක්ෂණය කර ජයසූරිය පොතේගුරා, දිසානායක බම්මන්නා ආදීන් සහිතව රඟ දැක්වූ කෝලම් ය. එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරුන් ට තවදුරටත් පාර්ලිමේන්තු සැසිවාර වලට සහභාගී නොවී සිටීමට ඉඩක් නැති වුවත්, මේ කරන නාඩගම දිගටම ගෙන යාම වෙනුවට ව්‍යවස්ථාවෙන් සීමා පනවා නැතිනම් ජනාධිපති විසින් පාර්ලිමේන්තුවේ වාරාවසාන කළ යුතුය.

අනතුරුව දෙපාර්ශවය සමගියෙන් කථානායක විසින් කරන ලද මගඩි සියල්ල අමතක කර මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුව පිළිගෙන කාරක සභා පිහිටුවා පසුව ගෙනෙන විශ්වාසභංගයකින් ඔහු පරාජය කළ යුතුය. 2015 ජනවාරි 9 න් පසු දී මහින්ද විසින් කළ යුතුව තිබුණෙත්, ඔක්තෝබර 26 න් පසු රනිල් විසින් කළ යුතුව තිබුණේත් එයයි. නිදහස් සංධානයේ මන්ත්‍රීවරුන්ගෙන් ඊට එතරම් දැඩි විරෝධයක් දැන් එල්ල වේ යැයි සිතිය නොහැක. අධිකරණයේ පමණක් නොව පාර්ලිමේන්තුවේ ද වැඩි වාසිය ඇත්තේ වික්‍රමසිංහ-සුමන්තිරන් කණ්ඩායම සතුව බව දැන් පැහැදිළි ය.

බලය තමන් අත ඇති බවට අවිනිශ්චිත භාවයක් නැති විට මීට වඩා විනයකින් කටයුතු කළ හැකි හෙයින් කථානායකට තමන් මෙතෙක් වියරුවෙන් මෙන් කළ වැරදි නිවැරදි කරගෙන ආපසු ඔක්තෝබර 26 වෙත ගොස් ආණ්ඩුව පිළිගෙන කාරක සභා පිහිටුවා විශ්වාසභංගයක් ගෙන ඒමේ බාධාවක් නැත. එවැනි විටෙක මහින්දගේ ආණ්ඩුව විශ්වාසභංගයට මුහුණ දී පරාජයට පත් වීම හෝ ඉල්ලා අස් වීම හෝ යන විකල්ප දෙකින් එකක් තිබේ. හෙට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන තීන්දුව මත නොරැඳී ඉහත පිළිවෙල අනුව කටයුතු කරන්නේ නම් අභියාචනාධිකරණයේ කාලය ඉතිරි වුණා වේ.

ඉන් පසුව තමාට අසීරු අවස්ථාවේ සහය දැක්වූ දෙමළ සංධානය හා මුස්ලිම් කොංග්‍රසය සමග ජාතික ආණ්ඩුවක් තනා ගත හැක. එවැනි විටෙක රනිල් අගමැති නොකරන්නේ යැයි පැවසීමේ හැකියාවක් ජනාධිපතිට නැත.



විපක්‍ෂනායක ධුරය

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය හොබවන ගමන් අගමැතිට සහය දීම මොන ප්‍රජාතන්ත්‍රවාදයට එකඟ දැයි තානාපතිලාගෙන් ම අසා දැන ගත යුතු ය. සම්පන්දන් සහ ඔහුගේ පක්‍ෂය එදා රනිල්ට එරෙහි විශ්වාසභංගයෙදී අගමැතිට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළේය. ඔහු සහ ඔහුගේ පක්‍ෂය රනිල් ගේ ආණ්ඩුව ගෙනා අයවැය සියල්ලටම පාහේ පක්‍ෂ වී තිබේ. ජඩසූරිය විසින් බිරුම් හඬින් සම්මත කළා යැයි කී අගමැති මහින්දට විරුද්ධව ගෙනා ඊනියා විශ්වාසභංග දෙකටම පමණක් නොව ඊයේ ගෙනා රනිල් අගමැති කිරීමේ යෝජනාවටද ඒ පක්‍ෂය සහය දිනි. විපක්‍ෂ නායක ධුරය අත්පත් කරගෙන සිටින දෙමළ රාජ්‍ය පක්‍ෂය පමණක් නොව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය බදාගෙන සිටින ජනතා විමුක්ති පෙරමුණද පාර්ලිමේන්තුව තුලදී රනිල් ගේ සභාගයේ කොටස් කරුවන් ය. විපක්‍ෂයේ තනතුරු දැරීමට මේ කණ්ඩායම් දෙකටම කිසි අයිතියක් නැත.

කථානායක මේ කරුණ පිළිගත යුතුව තිබේ. පිළිගෙන විපක්‍ෂයේ තනතුරු එක්සත් ජනතා නිදහස් සංධානයෙන් පත් වූ මන්ත්‍රීවරුන්ට ලබා දිය යුතුය. එසේම එය නිරූපණය වන අයුරින් 19 වන සංශෝධනයෙන් ඇති කළ ව්‍යවස්ථා සභාවේ සංයුතිය වහා වෙනස් කළ යුතුය. නඩු යාමට සිදු වුණත් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් හෝ එය කළ යුතුම කර්තව්‍යයකි.

මහින්ද රාජපක්‍ෂට පාර්ලිමේන්තුව තුල තනි බහුතරයක් නැති බව පැහැදිළි කරුණකි. එසේම රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ බහුතරයක් නැත. දෙමළ රාජ්‍ය පක්‍ෂය එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් සාදන්නේ නැතිනම් මින් පසු ඇති වන ආණ්ඩුවත් සුළුතර ආණ්ඩුවකි.
අද දිනට කලින් එජාප මන්ත්‍රීවරු මහින්ද අගමැතිට විරුද්ධව සුළුතර ආණ්ඩු ගැන ඉදිරිපත් කළ සියලුම අවලාද එයින් පසු රනිල්ට ද වලංගු ය.



ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව

19 ගෙන එන විට වික්‍රමසිංහගේ සිතේ තිබුණේ 2019 දී තමන් ජනාධිපති වීමට ය. රාජපක්‍ෂලා අතුගා දමන්නටම ඉලක්ක කර ගත් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නේ එහෙයිණි. සිරිසේන නැවත පොදු අපේක්‍ෂකයා නොවන්නේ යම් සේ ද වාර්ගික පක්‍ෂ වල සහය නොලබන කෙනෙක් 50% ගැනීම නොකෙරෙන බව ඔහු ගණනය කරන්නට ඇත. අප මුලින් කී පරිදි 19 වන සංශෝධනය විසින් ඇති කළ ව්‍යවස්ථා අර්බුදය වික්‍රමසිංහගේ බල ලෝභයේ ප්‍රකාශනය යි.

19 සංග්‍රහ කර තිබුණේ සිරිසේනට බැරි කර්තව්‍යයක් තමන්ට පුළුවන් වන ආකාරයෙනි. එනම් සිරිසේන ජනාධිපති තනතුරේ සිටින කාලය පුරාවට අගමැති අස් කළ නොහැකියි, පාර්ලිමේන්තුව විසුරුවා හළ නොහැකියි යන මන්ත්‍රය ජප කරමින් ඒ බව පෙන්වන ව්‍යවස්ථා වගන්ති පෙන්වමින් ඔහු බන්ධනය කර තබා ගැනීමටත්, තමන් ජනාධිපති වූ පසුව අනෙක් වගන්ති පෙන්වමින් සිරිසේනට බැහැයි කී දේ කිරීමටත් ය. එදාට විරුද්ධ වන්නට සාධාරණ සමාජ කාරයෙක් සිටියොත් ඌට අධෝ මුඛයෙනුත් හිනා වීමට වික්‍රමසිංහ-සුමන්තිරන් නඩය දත් මැදගෙන ඉන්නට ඇත.

අද තීන්දුවෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඒ බලාපොරොත්තුව බිඳ දමා ඇත. ඒ තීන්දුව ලබා ගැනීම පිණිස වික්‍රමසිංහ-සුමන්තිරන් කල්ලියටම අධිකරණය හමුවට යාමට සිදු වීම දෛවයේ සරදමකි.

එසේ යන්නට සිදු වීමෙන් පෙන්නුම් කරන්නේ මේ කල්ලිය පත් වී ඇති අසරණ තත්වය යි. ජනතාව ඉදිරියට ගොස් ජනතා වරමක් ඉල්ලීමට මේ කල්ලියට හැකියාවක් හෝ උනන්දුවක් හෝ නැත. කොටින්ම මේ කල්ලිය මහජනතාව මායිම් කරන්නේ නැත. මහජනතාව ගැන සිතන ව්‍යවස්ථාවෙන් සහතික කර දී තිබෙන ජනතා පරමාධිපත්‍යය ගැන අබමල් රේණුවක ගෞරවයක් තිබෙන කණ්ඩායමක් කූටෝපාය මගින් මැතිවරණ කල් දමා ගන්නේ නැත.



සුවිශේෂය

අද රටේ පවත්නේ සුවිශේෂ තත්වයකි. අධිකරණයේ ප්‍රායෝගික බලය කොහොමත් තිබුණේ සුමන්තිරන් ඇතුළු කණ්ඩායම (මේ ඔහු නියෝජනය කරන දේශපාලන පක්‍ෂය නොව ඔහු අයත් "ලිච්ඡවී වංශය" යයි පෙර ලිපියක විස්තර කරන්නට යෙදුණු කණ්ඩායම ගැන කෙරෙන සඳහනක් බව සැළකුව මනාය) අතේය. පාර්ලිමේන්තුවේ බලය ඔහු අත බව පසුගිය දිනවල ඔහු කළ පිටපත් රචනා අනුව වික්‍රමසිංහගේ අධ්‍යක්ෂණය යටතේ අනෙක් අය ඉදිරිපත් කළ රංගනයන්ගෙන් පෙනිණ. විශේෂයෙන් බලවතෙක් සේ හැසිරෙන හිටපු සභානායක කිරිඇල්ල පවා සුමන්තිරන් ඉදිරියේ හිමිජ්ජෙක් බව රටම දැක ගත්තේය. එක්සත් ජාතික පක්‍ෂ / පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමට සහභාගී වීමෙන් ඔහු පෙන්නුම් කළේ විශාලම කණ්ඩායම කුමක් වුවත් තනි බලවතා තමන් බවයි.

මේ තත්වය යටතේ ජනාධිපති සිරිසේන අග්‍රාමාත්‍ය ධුරයට සුමන්තිරන් නම් කරන්නේ නැත්තේ මන්දැයි ගැටළුවකි. සජිත් ප්‍රේමදාසගේ යෝජනාව අනුව වික්‍රමසිංහට සහය පාර්ලිමේන්තු දක්වන මන්ත්‍රීසංඛ්‍යාව 117 පමණකි. නමුත් කරුණු කාරණා සළකා බලන කළ සුමන්තිරන්ට සහය දක්වන මන්ත්‍රී පිරිස 123 කි. වික්‍රමසිංහ අගමැති වුවත් කෙරෙන්නේ සුමන්තිරන්ට අවශ්‍ය දේ නම් වික්‍රමසිංහට ප්‍රතිවාදීන් කියන තරම් බල ලෝභයක් - ඒකාධිපති වියරුවක් නැතිනම් ඔහු සුමන්තිරන් අග්‍රාමාත්‍ය ධුරයට යෝජනා නොකරන්නේ ඇයි ?

මා සිතනා අන්දමට වර්තමාන පාර්ලිමේන්තුවේ අගමැති කමට නිස්සා ගරු සුමන්තිරන් මන්ත්‍රී තුමා පමණෙකි. දිවංගත කදිරගාමර් මැතිතුමා අගමැති වීමේ ශක්‍යතාවක් තිබූ දෙමළෙකි. එහෙත් ඔහුට වඩා මහින්ද රාජපක්‍ෂ ඒ තනතුරට නිස්සෙක් වීම නිසා එතුමාට ඒ තනතුර අහිමි විය. සුමන්තිරන් මන්ත්‍රීතුමාට එවැනි ප්‍රතිවාදියෙක් නැත. සුමන්තිරන් මැතිතුමාගේ වාර්ගිකත්වය (දෙමළ මෙතෝදිස්ත බැතිමතෙක් වීම) ඒ තනතුරට නුසුදුසු කමක් නොවේ. හැරත්, සිංහල බෞද්ධයන්ම ප්‍රධාන තනතුරු වලට පත් විය යුතු යයි නියමයක් ව්‍යවස්ථාවේ හෝ වෙනයම් නීතියක හෝ නැත. දෙමළෙකු ලංකාවේ අග්‍රාමාත්‍ය තනතුරට පත් වේ නම් මේ ඊට සුදුසුම අවස්ථාවයි. ඊට ගැළපෙන අවස්ථාවක්, ඊට ගැළපෙන පාර්ලිමේන්තුවක් නැවත ලැබෙන්නේ නැත.


නව වසරක්, නව අග්‍රාමාත්‍ය වරයෙක්.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මීළඟ අගමැති
ගරු ඒබ්‍රහම් සුමන්තිරන් මැතිතුමාට
ප්‍රථම සුභපැතුම, දෙතිස් කතාවෙන් !




4 comments:

  1. කාගේ කාගෙත් ඉදිරි පියවරයන් මොනවාදැයි බලා සිටීම වඩා හොඳ බව මගේ වැටහීමයි.
    සිංහල මතවාදය සිංහලුන්ම එකතු වී මේ බිම මත පරාද කර දමනු ලැබ ඇති හෙයින් එය නැවත හිස ඔසවන දිනයක් කෙරෙහි බලාපොරොත්තු දල්වාගෙන හිඳිමු.
    සිංහලයාට සිංහල කම ගැන වටිනා කමක් දැනෙන දිනයක් උදා වේවා.

    ReplyDelete
    Replies
    1. 1818 pasu paminiya yuthuwa aththe 1821 yi.

      Delete
  2. මහමැතිවරණයක් සඳහා අවසර ඉල්ලලා ජනමත විචාරණයක් කැඳවන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. Maa balaporoththu wanne 19 ahosi Kireema sandaha janawaramak.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !