Sunday, April 26, 2015

වෙසක් සතිය

වෙස යනු නොයෙක් අරුත් දෙන පදයකි. එහෙත් අප කතා කරන්නට යන්නේ වෙස ගැන නොව වෙසක් ගැනය. සතිය යනු සුමානය සේම සිහිය යන්න වෙන්වෙනුත් යෙදේ. වෙසක් සතිය'ය කී විට බොහෝ විට අරුත් දැක්වෙන්නේ වෙසක් පුර පසළොස්වක දින සිට එළඹෙන දින හතයි. වෙසක් වෙනුවෙන් ගොඩ නැංවෙන තොරන්, සංවිධානය කෙරෙන සල්පිල්, සැණකෙළි හා නොයෙක් පිංකම් බොහෝ කොටම සතියක් පුරා පැවැත්වේ.



තොරන් බලන්නට, දන්සැල් කන්නට, සැණකෙළි කෙළින්නට වසරකට වරක් අවස්ථාව ලැබෙන වෙසක් සතිය එළැඹෙන්නේ වෙසක් පුර පසළොස්වක දාය. ලංකාවේ ක්‍රියාකාරී සිංහල බෞද්ධ ජනතාව ඒ උදෙසා කැප වී ලක ලැහැස්ති වන්නේ වෙසක් සතියට පෙර සතියේදී ය. එනම් වෙසක් පුර අටවකින් ඇරඹෙන මේ සතියේ දී ය. රට පිළිබඳ සිතන ගිහි පැවිදි දෙපක්‍ෂය වෙසක් සතියෙන් (සිහියෙන්) සිත් සනහාගෙන එළැඹෙන සතිය ගත කරන අතර, වසර පන්සියයකට නොඅඩු කාලයක් බෞද්ධ කමට එරෙහිව කටයුතු කළ බලවේග එකාවන්ව එක් වී තමන්ගේ දිර්ඝකාලින සැලැස්මේ වැදගත් කඩ ඉමක් පසු කරන්නට ලක ලැහැස්ති වෙමින් සිටී.

රටට හිතැති සිංහල බෞද්ධයින්ට වෙසක් සතියෙන් (සිහියෙන්) යුතුව මෛත්‍රී කරමින් ඉන්නට කාලය නොවේ. මේ වසරේ වෙසක් සතිය මග හැරුණොත් ලබන වසරේ එය නැවත එළැඹෙනු ඇත. එහෙත් බෞද්ධ විරෝධී බලවේග වලට නිරුපද්‍රිතව මේ කඩ ඉම පසු කරන්නට ඉඩ දුන්නොත් ලබන වසරේ වෙසක් සතියක් එළඹේ ද කියා කීමට දන්නේ වතිකානුවේ මහ ඒජන්තයා තබාගෙන ලෝකය පාලනය කරන සර්වබලධාරී දෙවියන් වහන්සේ පමණි.

වෙසක් සතිය වනසන කොඩිවිනය


වෙසක් සතිය කට උඩ තබාගෙන සිංහල බෞද්ධයින් වෙසක් සතියෙන් (සිහියෙන්) යුතුව දේශපාලන නිද්‍රාවක කල් යවන මොහොතේ, මේ රට පාලනය කරන යටත් විජිත ආණ්ඩුව උපක්‍රමශීලි ලෙස ක්‍රියාත්මක වෙමින් ලෝකයේ කොහේවත් ක්‍රියාත්මක නොවන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක නාමයෙන් රටේ ජනබලය මංකොල්ල කෑමට කටයුතු කරනු පෙනේ. මෙය කොඩිවිනයකි - මේ කොඩිවිනයට කියන නම 19 වන සංශෝධනය වේ. මහජනතාවට කොලේ වසා ගෙනෙන මෙවැනි කොඩිවින ලංකාවට කාලයෙන් කාලයට ඇතුල් වේ. බොහොමයක් කොඩිවින මෙරටට සැපත් වන්නේ ඉන්දියාව ඔස්සේ වීම දෛවයේ සරදමකි.

රෝ

19 වන සංශෝධනයේ මොළ කාරයා රෝ ඔත්තුකරුවෙක් ලෙස සැළකිය හැකි ජයම්පති වික්‍රමරත්න නැමැත්තාය. ජනාධිපති උපදේශක ධුරයකට පත් කරනු ලැබූ හෙතෙම නොයෙක් ප්‍රවාද (ප්‍රවාද යනු කතන්දර වේ. බොහෝ කතන්දර හිතළුය) ඉදිරිපත් කරමින් පදනම් ආයතනය ආදී නොයෙක් තැන් වල ශ්‍රී.ලං.නි.පක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ මොළ සේදීමට උත්සාහ කරනු දිටිමි. ජනමාධ්‍ය වලත් ඔහුගේ කියුම් සමහරක් ඉදිරිපත් විණි. යෝජිත සංශෝධනයේ සමහර අංග අධිකරණය විසින් ජනමත විචාරණයකට යොමු කළ යුතු බව කෙළින්ම තීන්දුවක් දී තිබියදීත් එය මගහැර තමාගේ කටයුත්ත කිරීමට හෙවත් ජනමතය මංකොල්ල කෑමට ඔහුට අවශ්‍යතාවයක් ඇති බව පැහැදිළි ය. ජනමතය මගහැරීම පිණිස වචන හරඹ කිරීම යහපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදය ද?

ජුන්ටාධිපති තුමාට අවශ්‍ය ජුන්ටාව විසුරුවා හැර බලය සියතට ගැනීමද ?

19 වඩාත්ම අවශ්‍ය ජයම්පතිටත් වඩා හොර-අගමැති රනිල් වික්‍රමසිංහටය. මෙහිදී 'හොර' යන විශේෂණය පිළිබඳ පැහැදිළි කිරීමක් අවශ්‍ය වන්නේ පදනම් කරුණු කාරණා සහ සාධක නොමැතිව ජහඃපාලන ටොයියන් විසින් බිලියන අච්චරක් හොරා කෑවා ආදී වශයෙන් කරන ලෙස මඩ විසි කිරීම අපේ ක්‍රමය නොවන බැවිණි. වික්‍රමසිංහ හොර අගමැතිවරයෙක් වන්නේ මැතිවරණයකින් තොරව අගමැති වීම නිසාම නොව, පාර්ලිමේන්තුවේ බහුතර බලයක් රහිතව ජනාධිපතිගේ විධායක බලතල වලට මුවා වී සදාචාර විරෝධීව ඒ ධුරය දරන නිසාය. ඔහුට 23 වැනිදායින් පසු ඒ ධුරයේ කටයුතු කිරීමට සදාචාරාත්මක අයිතියක් නැත. සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති කමත් ඊට දෙවෙනි නැත. නීති විරෝධී ලෙස පක්‍ෂ නායක කම ගත් සිරිසේන ඒ අනුහසින් නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් වහලුන් කරගෙන තමාගේ වික්‍රමසිංහ අගමැති ලෙස තබාගෙන සිටී. මන්ත්‍රීවරු සිරිසේනගේ වහලුන් වන්නේ යම් සේද සිරිසේන පිළිගැනීමට කැමති වුනත් නැතත් හේ වික්‍රමසිංහගේ වහලෙක් වේ. ඊනියා දින 100 සමරා (දින 104 පමණ ගිය තැන) කළ කතාවේදී සිරිසේන වහලුන් පිළිබඳව සඳහන් කළේ ටොයියන් සිතන ලෙස බයියන්ට අපහාස කිරීමට නොවේ. ශ්‍රී ලංකාවේ බලවත්ම පදවිය වන විධායක ජනාධිපතිධුරය ලැබීත් තවමත් වහල් ජිවිතයක් ගෙවන තමා ගැනම උපන් කණගාටුවෙනි.

වික්‍රමසිංහට අවශ්‍ය මැතිවරණයකින් මේ ජීවිත කාලයේදී ලබා ගත නොහැකි විධායක බලය වෙන ජිල්මාට් එකකින් තමා වෙත නතු කර ගැනීමය. දැනට ඔහු ඒ වෙනුවෙන් පවත්වාගෙන යන උපකරණය ජාතික විධායක සභා නමැති ජුන්ටාව වේ. එහෙත් ආඬි හත් දෙනාගේ කැඳ හැළියක් වන එය කෙරේ දීර්ඝ කාලීන විශ්වාසයක් තැබීම මුග්ධ කමක් බව ඔහු දනී.

ඊනියා ස්වාධින කොමිෂන් යනු අපට පෙන්වන ඇස් බැන්දුමක් පමණි. නිරපේක්‍ෂ ලෙස 'ස්වාධින' වන කොමිෂන් සභා නැත. අල්ලස් කොමිසමට වික්‍රමසිංහ විසින් පත් කෙරුණු 'හිතවතිය'ගේ ස්වාධින බව අප අත්දැක්කෙමු. අධිකරණයේ ස්වාධින කම පසුගිය සමයේ කෙරුණු පත් කිරීම් සහ ඉවත් කිරීම් වලින් මොනවට පැහැදිළි විය. අනෙක් සභා වලත් වෙනසක් නැත. මේ මොන මොන කොමිෂන් සභා දැම්මත් ඒවාට පත් වන්නේ තම තමාගේ හිතවතුන් සහ හිතවතියන් නම්, ඒ කොමිෂන් සභා වලට තබන නම් වල ඇති 'ස්වාධින' පදයේ වටිනාකම කොකාකෝලා බෝතලයේ සිටීමට ඉඩ ඇති කොකාගේ සහ කෝලා වලසාගේ වටිනාකමට වඩා වෙනස් නොවේ. මිලදී ගත් කොකාකෝලා බෝතලයේ කොකෙක් හෝ කෝලා වලසෙක් හෝ හමු වූ කෙනෙක් උන් රැගෙන පැමිණ අපට පෙන්වාම කීවොත් මිසක මේ කොමිෂන් සභා වල ස්වාධින කමක් ගැන විශ්වාස කිරීම උගහටය.

ජුන්ටාධිපති සහ ජුන්ටාව නොකැමති කවරකටද ?


කළයුතු වන්නේ මහජනතාව හා මුහු නොවී වෙනම පැලැන්තියක ජීවත් වන අමුතු සතුන්ගෙන් කිහිප නමක් එකතු කර මහජනතාවටත් පාර්ලිමේන්තුවටත් වග නොකියන මණ්ඩලයක් හෝ සභාවක් හෝ සාදා සියළු බලතල ඊට පැවරීම නොව, දැනටත් බලතල සහිතව සිටින පිරිස ඒ බලතල වැරදි ලෙස පරිහරණය කළහොත් ඊට එරෙහිව ක්‍රියා කළ හැකි ලෙස මහජනතාව සවිබල ගැන්වීමයි. කොමිෂන් සභා වලින් නොකෙරෙන්නේ ද එයමයි. මෙය නොරාජ්‍ය සංවිධාන අටවාගෙන ලෝකයේ ඇති හෝ නැති ප්‍රශ්න වවාගෙන කන කිනිතුල්ලන්ට නම් යහපත් දෙයකි.

ජනාධිපති සතුව බලතල තිබීමේ වැරද්දක් නැත. ජේ.ආර්., ප්‍රේමදාස, චන්ද්‍රිකා පමණක් නොව අහිංසක ලෙස පෙනෙන විජේතුංගත් විධායක බලතල නපුරු ලෙස පරිහරණය කළෝය. රාජපක්‍ෂ මේ අය කළාට වඩා වෙනස් දෙයක් කළේ නැත. ඔහු විධායක බලතල භාවිතා කළ අයුරු වැරදිය කියන අයගේ හඬට කන් දුන් මහජනතාව ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත් කළේ නැද්ද?

සිදු විය යුත්තේ ජනාධිපති ධුරයේ කටයුතු කරන විටත් ජනාධිපතිවරයාට එරෙහිව කටයුතු කළ හැකි වන ලෙස පුරවැසියා බලගැන්වීමයි. එසේ කරනු වෙනුවට ජනපදනමක් ජනබලයක් නැති අහසින් කඩා පාත් වන, බොහෝ විට විදෙස් ඔත්තුකරුවන් විය හැකි, තානාපති කාර්යාල සමග කටයුතු කරන, නොරාජ්‍ය සංවිධාන වෘත්තිකයන් සහ 'වික්‍රමසිංහගේ හිතවතියන්' මේවාට පත් කර බලතල දීමෙන් රැකෙන ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. මෙය 17 වන සංශෝධනයට එරෙහිව එදා පටන් අපට තිබුණු විවේචනයකි.

  • ජනතා ඡන්දයෙන් පත් වන ජනාධිපති සතුව විධායක බලතල තිබීමේ වැරැද්ද කුමක්ද?
  • ජනතා බලයෙන් පත් නොවන, ජුන්ටාධිපති තුමාගේ පාසැල් සගයින් සහ හිතවතියන්ගෙන් සුසැදි කොමිෂන් සභාවකට බලතල ලබා දීමේ සාධාරණත්වය කුමක්ද?
මේවා මේ රටේ ටොයියන්, බයියන්, ජුන්ටන්, බන්ටන් ආදී සියළු දෙනා විසින් මේ මොහොතේ සිතිය යුතු කරුණු වේ.


විප්ලවකාරයින් 19 ට කැමති ඇයි?

1971 දීත් 1988-89 කාලයේ දීත් සමාජවාදී විප්ලවයක නාමයෙන් දහස් ගණනක තරුණ ජීවිත අකාලයේ මිලාන කිරීමට දායක වූ ජනතා විමුක්ති පෙරමුණ 19 සම්මත කර ගැනීමට බල කරමින් ලංකාව පුරා පෝස්ටර අලවා තිබිණි. මෙය ධනවාදී සහ සමාජවාදී, නැතිනම් ප්‍රතිගාමී සහ ප්‍රගතිශීලි, එසේත් නැතිනම් අධිරාජ්‍යවාදී සහ අධිරාජ්‍යවිරෝධී බලවේග රට වෙනුවෙන් එකතු වූ දුර්ලභ අවස්ථාවක් ලෙස බොහෝ දෙනා විසින් විස්තර කිරීමට ඉඩ ඇත. එහෙත් එය සත්‍යය නොවේ.

අද දවසේ සමාජවාදී පක්‍ෂ, සමාජවාදී පෙරමුණු, සමාජවාදී බලවේග මේ කිසිවක් නැත. ගොර්බචෝෆ් ගේ ප්‍රතිසංස්කරණ ලෝක දේශපාලනයේ සමාජවාදයට තිබූ තැන අවලංගු කිරීමට සමත් වූ අතර අද සෝවියට් අරමුදල් අහිමි වීමෙන් පසු නඩත්තුව පිළිබඳ ගැටලුවකට මුහුණ දුන් ලෝකය පුරා සමාජවාදී බලවේග තම තමාට ජීවිකාව පිණිස අළෙවි කළ හැකි එකම වස්තුව වන 'සමාජවාදය' අධිරාජ්‍යවාදය වෙත අළෙවි කරමින් සිටී.

සියල්ලට වඩා බඩ ගැන සිතන, අතේ මුදල් ඇතත් හිතින් දුප්පත්, ජනයා මේ ලෝක තලයේ ජිවත් වන තාක් කල් සමාජවාදය නම් වෙළෙඳ නාමයට වටිනාකමක් තිබේ. "සාදුකින් පෙළෙනවුන් දැන් ඉතිං නැගිටියව්" කියා පුරෝගාමී සමාජවාදීන් රණ ගී ගැයුවේ ගැඹුරු යටි අරුතක් ඇතිව බව අපට දැන් පැහැදිළිය. වික්‍රමබාහු කරුණාරත්න, සිරිතුංග ජයසූරිය ආදී සියලු දෙනා කරන්නේ තමන් ධනවාදය අනුගමනය කරමින් අර කී දිළින්දන් වෙත සමාජවාදය අළෙවි කිරීමයි. සමාජවාදී දේශපාලන පක්‍ෂ සහ සංවිධාන අප මුලින් සඳහන් කළ නොරාජ්‍ය සංවිධාන අතර වෙනසක් ඇත්තේ නැත. දේශපාලන පක්‍ෂ ලෙස පෙනී සිටිය ද මේවා 'සමාජවාදය' සිය වෙළෙඳ භාණ්ඩය ලෙස තෝරා ගත් නොරාජ්‍ය සංවිධාන කොටසක් පමණක් වේ.

ජනතා විමුක්ති පෙරමුණ මේ අයගෙන් වෙනස් වන්නේ තමන් සතු ලාභදායි ශ්‍රම සම්පත ලාභ ලැබිය හැකි ව්‍යාපාරයක ආයෝජනය කිරීමට ඔවුන් දැක්වූ පරිචය හේතුවෙනි. ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන දේශපාලන භූමිකාව එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් කුලියට පෝස්ටර් ඇලවීමට සීමා වේ. සමහර අවස්ථා වල ජවිපෙ නායකයින් එජාපයේ කුණු අපුල්ලන බව අපට පෙනුණත් ජනතා විමුක්ති පෙරමුණට නම් අර මහා කර්තව්‍යය තමා වෙත තබා ගැනීම වෙනුවෙන් ගෙවන්නට වන පොඩි කොමිස් එකකි.

පල්ලියේ භූමිකාව

දැන ගන්නට ලැබෙන ලෙස රෝමානු කතෝලික පල්ලියේ ලංකා ශාඛාව 19 වන සංශෝධනයට සහාය පල කර තිබේ. එසේනම් මේ භයානක පෙර නිමිත්තකි. කතෝලික බිරිඳක් සමග සයනය කළ, විපක්‍ෂයේ කතෝලික මන්ත්‍රීවරයෙක් සමග වතිකානුවේ රවුම් ගැසූ හිටපු ජනාධිපති කතෝලික පල්ලියේ සුවච කීකරු සේවකයෙක් විය. අන්තිමට හාමුදුරුවනේ, අපි අතිනුත් වැරදි උනා, අපි වැරදි කළ අය නිදහස් කළා... කියා ඔහු ඇවැත් දෙසන විට, අගරදගුරු තැනගේ තර්ජනයට බිය වී යට ගැසූ මොරටුවේ ළමා කොල්ලයත් ඔහුගේ සිතේ තිබෙන්නට නැතැයි කීමට අපට නොහැක. දැන් සිටින ජනාධිපති කතෝලික පල්ලිය හා එවැනි සුවච කමක් නැත.

හැරත් හිටපු ජනාධිපති සමග රෑ එකට ආප්ප කා උදේ අනික් පසට එක් වී සියවසේ පාවාදීම කළ දැන් සිටින වහන්සේ තඹ සතේකට විශ්වාස කළ නොහැකි පුද්ගලයෙක් බව සිංහල බෞද්ධයින් නොදැන සිටියාට දීර්ඝ කාලීන සැළසුම් මත ක්‍රියාත්මක වන කතෝලික පල්ලිය දනී. ජනාධිපති ධුරයේ බලතල අඩු කර තමාට ආම්බාන් කර ගත හැකි සුවච පිරිසකට පවරා දීම වෙනුවෙන් කතෝලික පල්ලිය එළිපිට ක්‍රියා කිරීම ඒ අයගේ පැත්තෙන් බැලූ කළ කළ යුතුම කාර්යය වේ.

රෝමානු පල්ලිය පමණක් නොව හොර-අගමැති ධුරන්ධර වික්‍රමසිංහ අයත් වන එංගලන්ත පල්ලියත් මේ සම්බන්ධව ප්‍රකාශයක් (දැනටමත් නිකුත් කර නැතිනම්) අද-හෙටම නිකුත් කරනු ඇත. පල්ලි නිකායේ හාමුදුරුවන් වහන්සේලාත් එය අනුගමනය කරනු ඇත.


ඉහත කරුණු සළකා බැලූ කළ සිංහලයින්ට, විශේෂයෙන් සිංහල බෞද්ධයින්ට මේ වසරේ වෙසක් සතියක් නොතිබිය හැක. සිංහල බෞද්ධයින් නිදි වැදී සිටියොත් අපට අහිමි වන දේ දිනා ගැනීමට තව වසර 50 කටත් හැකි වේය කියා කිව නොහැක. අපට 1956 දී වාරයක් ආවේය. සිංහලය රජබස කර ගනු මිස ඊට වඩා දෙයක් කර ගැනීමට අපට හැකි වූයේ නැත. 2005 දී අපට ලැබුණු අවස්ථාව දෙමළ කැරැල්ල මැඩ පැවැත්වීමෙන් එහා ජයග්‍රහණයක් කරා ගියේ නැත. මීළඟ අවස්ථාව කවදා ආවත් ඒ වන තෙක් අප ජීවත්ව සිටීදැයි කිව නොහැක. ඒ නිසා අද කළ යුතු දේ අදම කළ යුතුව තිබේ.

ඒ නිසා යෝජිත 19 වන සශෝධනයට එරෙහි වෙමු. සියළු සිංහලයින් දැනුවත් කරමු. ඊට විරුද්ධ කරවිය හැකි සෑම මන්ත්‍රී වරයෙකුටම බලපෑම් කරමු. පාර්ලිමේන්තුවේ දී එය පරාජය කරවමු. පරාජය කළ නොහැකි නම් තුනෙන් දෙක ලබා ගැනීමට ඉඩ නොදෙමු. ඒ අද දවසේ සිංහලයාගේ ජාතික කර්තව්‍යයයි.

3 comments:

  1. නියම දේශපාලන සන්ධානයට මින්පසු 2/3 බහුතරයක්‌ ලබාගත නොහැකියි. එවිට අනාගත රජය තීරණය කරන්නේ අපියි

    'විමුක්‌ති කොටින්ගේ සන්නද්ධ සටන නිහඬ කිරීමෙන් පසු වාර්ගික අර්බුදය විසඳීම ද්‍රවිඩ සන්ධානයට පැවරී ඇත. දකුණේ ජාතිවාදීන් දෙමළ ජාතීන්ට කිසිවක්‌ දෙන්නේ නැහැ. ඒ නිසා අපට වෙන්වීමට අනුමැතිය දෙන්න යෑයි අපි ජාත්‍යන්තරයෙන් ඉල්ලා තිබෙනවා

    ReplyDelete
    Replies
    1. ටී එන් ඒ මන්ත්‍රී අඩෛකලනාදන් විය යුතුයි නේද?

      අනේ අපූරුයි, තව මොනවද ඉදිරියට කල යුතු වෙන්නේ. දැනටමත් ඔය අපූරුවට ඒ උන්දැලාට ඕනා විදියට රටම නටන්නේ.
      මම පසු ගිය සති අන්තයේ ජාතීන් අතර සුහද තාවය වෙනුවෙන් වාර්ශිකව පවත්වන කොළඹ ආනන්ද / යාපනය හින්දු විදුහල් අතර සුහද ක්‍රිකට් තරඟයට ආනන්ද ආදී සිසුවෙකු ලෙස ආරදිතයෙකු වශයෙන් සහභාගී වූවෙමි.
      ඔවුන් අප වෙත දැක්වූ සුහද තාවය හා පිළිගැනීම ඉහලයි ඒ පිළිගැනීමෙන් පස්සේ ඔවුන් ඉතා නින්දිත විදියට ආරාධිත අප වෙනුවෙන් නොව ඔවුන්ගේ පුළුවන් කාර කම පෙන්වීමට ජාතික ගීය "රෙගේ" තනුවක් වැනි ඔවුන්ගේ අපූරු වාදනයකට දෙමළ බසින් ප්‍රචාරය කළා.
      එහි සිටි ආනන්දීයයන් අති බහුතරය ඉන් දැඩි අසහනයකට හා අපහසු තාවයකට පත් වූ බව නම් නිසැකයි. කල හැක්කක් නොමැති ඇතැමුන් එයට සමගාමීව සිංහලෙන් ජාතික ගීය ගයනුද මා දුටුවා.
      යාපනය වෙළඳ පොල වෙත ගිය විට කොළඹින් ගිය අප කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ගනු දෙනු කල යුත්තේ දෙමළ ව්‍යාපාරිකයින් සමගයි. එහෙත් යාපනය දෙමළා කොළඹ පැමිණ ගනුදෙනු කරන්නේ කොළඹ ව්‍යාපාර කරන යාපනය දෙමළා සමගම පමණයි නේද?

      ඉතින් කවුද දැන් මේ රට පාලනය කරන්නේ?
      මේ හෙට වන දෙයක් නොව අද සිදුව ඇති දෙයකි!

      Delete
  2. ජාතික වැදගත් කමක් සහිත මාතෘකා ඔස්සේ මේ දිනවල කථා 32 හි පල වන ලිපි ඉතාම අපූරුයි. ඒ වගේම ඒවාට බොහෝ දෙනාගේ අවධානය යොමුවීමත් දකින්නට පුළුවනි.

    මම මේ ලිපි වෙනත් බොහෝ තැන් වල උපුටා දක්වනු ලබනවා. එය අපේ යුතුකමක් බවයි මගේ අදහස.

    ReplyDelete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !