Wednesday, November 22, 2017

ලැජ්ජා බය නැති අගමැති ?

ලැජ්ජා බය නැති ???
අද ඊයේ උදෑසන ලංකාව පුරා ගසා තිබූ පෝස්ටරයක සඳහන් වැකිය.

බොහෝ දෙනෙක් එහි පළමු වචනය කියවා නොගත් බවට සැකයක් නෑ.






මේ පෝස්ටරය නිර්මාණය කරන්නට ඇත්තේ එහි සඳහන් වන අයුරින්ම Green Blood කණ්ඩායම විසින් වන්නට ඇත. ඔවුන්ගේ fb අඩවියේත් 2009 සිට තවම හැදෙමින් පවතින වෙබ් අඩවියේත් සඳහන් වන්නේ "Green Blood | The People Who'll never leave UNP" වශයෙනි. එය ඇත්තක් වන්නට ඇත. එදා මැදමුලනේ ඉඳුල් කන වාළුන් සිටියේ නම් අද සිරිකොතේ වැසිකිළි සෝදන බැලයන් නොසිටීමේ හේතුවක් නැත.

එහෙත් අපගේ අවධානය යොමු වන්නේ මෙය නිර්මාණය කළ අය ගැන නොව මේ පෝස්ටරයෙන් ශ්‍රී ලාංකීය මහජනතාවට ඉදිරිපත් කෙරෙන පණිවුඩය ගැනයි.

බොහෝ දෙනෙක් කියවා නොගත්තද මින් කියැවෙන්නේ "ලැජ්ජා බය නැති අගමැති" යනුවෙනි.

දේශපාලනයේ යෙදෙන බොහෝ දෙනෙකුට ලැජ්ජා නහරය නැති වීම එතරම් අරුමයක් නොවේ. ආසන 50 වත් නැතිව වික්‍රමසිංහ අගමැති ධුරයේ දිවුරුම් දීම ලැජ්ජා නැති කමකි. එදා නම්බු පිට ගෙදර ගිය මහින්ද රාජපක්‍ෂ දැන් කරන හැංගිමුත්තන් දේශපාලනය ලැජ්ජා නැති එකකි. ජනාධිපති සිරිසේන රෑ ආප්ප කා පසුවදා උදේ එහා පැත්තට ගොස් තවමත් පම්පෝරි ගැසීම ඊට වඩා ලැජ්ජා නැති කමකි. චිට් එකෙන් අගවිනිසුරු ඉවත් කිරීම ලැජ්ජා නැති කමකි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සම්මත නොකළ යුතු යැයි විවරණය කළ පනත් කාන්තා නියෝජනය පෙන්වා හොර පාරෙන් සම්මත කර ගැනීම සහ එමගින් පළාත් සභා ඡන්ද කල් දමා ගැනීම ආණ්ඩුවක් විසින් නොකළ යුතු මට්ටමේ ලැජ්ජා නැති කමකි. කෝප් කමිටුවේ බැඳුම්කර මගඩිය විභාග කරන ගමන් චූදිතයා සමග පයුරු පාසානම් පවත්වා එය හෙළි වූ විට රටේ නැති වාද බයිලා කීම තවත් ලැජ්ජා නැති කමකි. ආසන 15 පමණක් තබාගෙන ආණ්ඩුවේ ඒකාධිපති පනත් වලට පක්‍ෂව චන්දය දෙමින් විපක්‍ෂ නායක - සංවිධායක ධුර දැරීම මේ සියල්ලට වඩා ලැජ්ජා නැති කමකි. ඊනියා ජාත්‍යන්තර ප්‍රජාවට සහ විදේශ බලවේග වලට අවශ්‍ය පරිදි රට මෙහෙයවීමත් රාජ්‍යරක්‍ෂාව බල්ලාට දැමීමත් ආරක්‍ෂක හමුදා නොරටුන්ට පාවා දීමත් සමාව නොදිය හැකි මට්ටමේ ලැජ්ජා නැති කම්ය. මේ සියල්ල මෙසේ වද්දී චන්ද 29 ක් පරාද වීත් පක්‍ෂ නායකත්වය වෙනකෙකුට නොදුන් අගමැති රනිල් වික්‍රමසිංහගේ ලැජ්ජා නැති කම ගැන කතා කිරීමත් ලැජ්ජා නැති කමකි.

එහෙත් අර පෝස්ටරයේ කියැවෙන්නේ ඉහත කිසිවක් නොවේ.

ඉන් කියවෙන්නේ මහ බැංකු අධිපති කමට විදේශිකයෙකු පත් කර "වරදක් උනොත් මම වගකීම ගනිමි"යි පළමුව සිංහනාද කළ වික්‍රමසිංහ "වැරදි වෙනවා තමා, ඒවා හදාගෙන ඉදිරියට යන එක තමා යහපාලනය කියන්නේ" කියමින් පල්ලම් බැසීමයි. මේ ලැජ්ජා නැති කම මිස අන් කුමක්ද ???

ජ්‍යෙෂ්ඨයින් සිටියදී පටිපාටිය කඩා තමන් විසින්ම පත් කළ නීතිපති ගෙන්වා තමන්ම හදාගත් ප්‍රශ්න අස්වා ඒවාට උත්තර දී නිකං සිංහයා වීම බය නැති කම නම් ඒ ගැන කිසිවක් නොකියා සිටීම යහපති.

අර පෝස්ටරයේ කියැවෙන්නේ ඇත්තකි. මේ නම්, "ලැජ්ජා බය නැති අගමැති" ම තමා.


ප.ලි: ලැජ්ජා බය යනු ලෝක පාලක ධර්ම වේ. ලෝකය පාලනය කෙරෙන්නේ ඒ මගිනි. මේ දෙක නැති වූ කළ මිනිසා තිරිසනා වේ. කිසි හිරිකිතයක් නැතිව තමන් යටතේ ඇති මහබැංකුව අතකොළුවක් කරගෙන වැඩ කරන ජනතාවගේ EPF අරමුදල හොරා කෑමට සිත් වන්නේ ලැජ්ජාව නැති වීමෙනි. ඒ ගැන විභාග කරන කොමිසමට ගොස් කිසි වග වීමක් (accountability) නැතුව වැල්-බයිලා කියා එලියට විත් සිංහ ගර්ජනා පාන්නේ බය නැති නිසාවෙනි.

ඉඳින්, රට පාලනය කෙරෙන්නේ ලැජ්ජා-බය දෙකම නැති මෝල් වහන්සේලා විසින් නම් ...

27 comments:

  1. රෝහණ විජේවීර මරා දමා 28 වසරකි.
    අද රෝහණ විජේවීරගේ පක්‍ෂය ඔහුගේම ලේ ගෑවී ඇති රනිල්ගේ අල්ලේ නැටවේ.
    දෙපාර්ශවයේම ජන ඝාතක ඉතිහාසය ආවර්ජනය කරමින් ජෙප්පන් විසින් ඉල් මහ විරු සමරුව සමරති.
    ඝාතනය වූ විජේවීරගේ සැමරුම් පෝස්ටරය මත ලේ තැවරුණු වික්‍රමසිංහගේ බය නැති පෝස්ටරය ඇලවීම උත්ප්‍රාසය නොවේනම් වෙන කුමක්ද ?

    ReplyDelete
    Replies
    1. අවුරුදු ගානකින් ජෝසප් සහෝදරයාගේ පිළිතුරක් දැකීම මහත් අමන්දානන්දයට හේතුවක්
      සැපෙන් සතුටින් සිටිනු ඇතැයි සිතමි.

      Delete
    2. කලින් කී ලෙස මැනේජරයා පිටිපස්සෙන් සිට කේවට්ටයා සේ බලා සිටින නිසා නිතර ලිවීමට නොහැක. අද ඌ නැත.

      නැතත්, මේක මරු මාතෘකාව ! ඊළඟට ෆොටෝ එක !!

      දැක්කම නොලිය ඉන්න බැරි උනා.

      දිරි ගැන්වීම් නොකලට මම හැමදාම වගේ මේකට ඇවිත් බලනවා. සී නිවුස් බල්ලට ගිහිං නිසා දැන් තියෙන්නේ සිතුවිලිගේ බ්ලොග් එකයි මේකයි kalaya.org එකයි විතරයි.

      Delete
    3. නිකමට කියන්නේ...
      සිතුවිළිගේ බ්ලොග් එකක් වෙනම පටන් නොගෙන මේකෙම ලියන්නයි තිබුණේ. මම දන්නවා දැන් පරක්කු වැඩියි.

      Delete
    4. නැහැ ජෝසප්, දැනටත් පරක්කු නැහැ. මම ඒදේ කරන්න හරිම කැමතියි ඒත් දෙතිස් කථා ගලා යන රිද්මයක් තියෙනවා. මම අනම් මනං ලියන්න ගියොත් ඒ රිද්මය හානි වෙයි කියල මට හිතෙනවා.
      අනික අපේ කේ හෙවත් කණිෂ්ක හෙවත් කථා කතු තුමාගේ රචනාවෙහි ඇති බුහුටි කම හා ඇසූ පිරූ තැන් ඉදිරියේ මට අලගු තියන්නටවත් නොහැකි ලෙස දැනෙනවා.

      ඉතින් මා මගේ තරම දනගෙන වැඩ කරන එක හොඳයි නේ.
      ඉදිරියේදී මා ගැනම විශ්වාසය තහවුරු වූ දිනෙයක මා නැවත මෙතැනටම පැමිනෙන්නට ඉඩ තියෙනවා.

      Delete
    5. තව දෙයක්, සිතුවිළිගේ බ්ලොග් එක ජෝසප් කියවනවා කියල දැන ගැනීම ඉතාමත් ප්‍රීතියට කාරනයක්.

      Delete
    6. විජේවීරගේ ලේ වික්‍රමසිංහගේ අතේ පමණක් නොව සෝමවංශ අමරසිංහගේ අතේද ගෑවී ඇතැයි සිතමි. ඒවා ගැන දැන් කතා කිරීමෙන් පලක් නැත. 89 ලේ ගැන 94-99 කාලයේ කතා කළ යුතුව තිබිණි.

      එහෙත් විජේවීර සමග රනිල්ගේ පෝස්ටරය ඇලවීම නම් - උත්ප්‍රාසය වේවා නොවේවා - ලැජ්ජා නැති වැඩකි.

      Delete
  2. මෙතන කියන්න තියෙන කථා සබ්බ සකල මනාවම කියැවී ඇති නිසා මීට තවත් ලියන්නටනම් දෙයක් ඉතිරි වී නැහැ.
    මේ ලැජ්ජා නැති පාහරයන්ගෙන් ගලවා ගැනීමට වත් රටක් ඉතිරිවේවිද කියන සැකයයි තියෙන්නේ.
    අනික් පිරිසත් ලැජ්ජා බය ඇති උන් නම් නෙවෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. අප සිටින්නේ විනාශයක් අත ලඟයි. බැලට් ඉල්ලා පාරට බසින ජනතාවට බුලට් එක ලැබෙනු ඇත. ඒ ගැන කතා කෙරුවොත් ඉයන්ලා රතුපස්වල මතක් කරනු ඇත.

      Delete
  3. මහින්දට තමා ලැජ්ජාවක් ඇත්තෙම නැත්තේ

    ReplyDelete
    Replies
    1. මහින්ද වීදි සටන් කරුවෙකි.

      1970 මන්ත්‍රී ධුරයකට පත් වන ඔහු 1977 දී මන්ත්‍රී ධුරයකට පත් වන්නේ නැත. කුප්‍රකට ලාම්පු කළගෙඩි සෙල්ලම හේතුවෙන් ඒ සඳහා 1989 වන තුරු බලා සිටීමට සිදු වේ. මේ අතර ඇති වන දේශපාලන හැල හැප්පිලි වලදී ඔහු මතු වන්නේ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙසිණි. 1994 වන විට ප්‍රේමදාස රජයට එරෙහිව ගොඩ නැගෙන දේශපාලන රැල්ල ඇති කිරීමේ ඔහුගේ දායකත්වය ඉමහත්ය.

      මා දකින අන්දමින් මහින්ද අවස්ථාව එන තුරු කල් මරන්නෙකි. ඔහු එළිපිට සටනට එන්නේ ජයග්‍රහණය පිළිබඳ ප්‍රමාණවත් සහතිකයක් ඇත්නම් පමණි. 1994 චන්ද්‍රිකා රජය විසින් ඔහුට කෙණෙහිලි කම් කරන විට කට්ට කාගෙන සිටියා මිස ගැටෙන්නට ගියේ නැත. ඔහු නැවත ඉදිරියට ආවේ රනිල් වික්‍රමසිංහ රජයක් පිහිටුවා ශ්‍රී.ලං.නි.ප.ය විපක්‍ෂයට විසි වූ පසුවය - එනම් චන්ද්‍රිකාගේ දුර්වල අවස්ථාවේදී ය. එය ඔහු කළේ තිරෙන් පිටුපස සිටිමින් ප්‍රාදේශීය දේශපාලනඥයන් අවනත කර ගැනීමෙන් පියවරෙන් පියවර මිස චන්ද්‍රිකාට එළිපිට අභියෝග කිරීමෙන් නොවේ.

      මහින්ද දැන් කරන්නේද එයයි. ඔහු ප්‍රාදේශීය දේශපාලනඥයන් හරහා දේශපාලනය කරනු මිස සිරිසේනට හෝ වික්‍රමසිංහට හෝ එළිපිට අභියෝග කරන්නේ නැත. එහෙත් ඔහු ප්‍රාදේශීය දේශපාලනඥයන් සහ ශ්‍රී.ලං.නි.පයේ දෙවෙනි පෙළ දේශපාලනඥයන් හසුරුවයි.

      පැහැදිලිවම ඔහුගේ අභිප්‍රාය නැවත බලය ලබා ගැනීමයි. අපේ අවශ්‍යතාවය සිංහල රට දිනා ගැනීමයි. දෙවැන්න කර ගැනීමට මේ මොහොතේ ඇති එකම මාර්ගය පළමුවැන්න ඉටු කර ගැනීම වුවත් එමගින් දෙවැන්න අනිවාර්‍යයෙන් ඉටු වනු ඇති බවට සහතිකයක් නැත. මහින්ද කිසි විටෙක සිංහල ජාතික ව්‍යාපාරය හා සාකල්‍යයෙන් එකඟ වන්නේ නැතුවා පමණක් නොව ඔහු වටා සිටින පෙඩරල්වාදී අවතාර මහින්දට සිංහල ජාතික අහිලාශ ඉටු කර දීමට ඉඩ දෙන්නේද නැත.

      මහින්ද කරනු ඇත්තේ කවදා හෝ එළඹෙනු ඇති ජාතික මැතිවරණයකදී සිංහල ඡන්ද ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය තරමට පමණක් තෝරා ගත් "සිංහල" සටන් පාඨ කිහිපයක් අළෙවි කිරීමයි. අප විසින් ඔහුගේ දේශපාලනය ලැජ්ජා නැති එකක් වශයෙන් හැඳින්වෙන්නේ එහෙයිණි.

      දැනට සිංහලයන් විසින් විශ්වාස කළ හැකි එකම දේශපාලන සත්ත්වයා මන්ත්‍රී කමක්වත් නැති සරත් වීරසේකර පමණි. එදා 19 වන සංශෝධනයට එරෙහි වන්නට තරම් දැක්මක් තිබූ එකම මන්ත්‍රී වරයා ඔහු පමණි.

      Delete
    2. විමල් වීරවංශ ගැන මොකද ඔබේ මතය.
      මටනම් හිතෙන්නේ එයා පළිඟු මැණිකේ ටෙලිනාට්‍යයේ සූරසේන වගේ කෙනෙක්.
      සූරසේනට තනිවම නායකත්වයක් ගන්න බෑ.
      නමුත් වෙනත් නායකයෙක්ට සූරසේනව යොදාගෙන යහපත් කටයුතුවල යොදවන්න පුළුවන්.
      ටෙලිනාට්‍යයේදී වුනේ සූරසේනව පාවිච්චි කරන්න පුළුවන් පුද්ගලයෙක් ගමේ හිටියේ නෑ.

      Delete
    3. මහින්ද ලැජ්ජා නැති සත්ත්වයෙකු වන්නේ ඇයිදැයි කතා කතු විසින් කරනාකාරයේ විග්‍රහයකින් තොරව වුවද බොහෝ සිංහලයන්ගේ විඤ්ඤානය විසින් හඳුනා ගෙන ඇත.

      සිංහල හඬ සීමිත අලෙවි කිරීමක් උදෙසා හෝ සැබෑ සිංහල හඬ නගන්නන් ( "සරත් වීරසේකරයන් " වැනි උන් විය හැකියි ) හට ඒ හේතුවෙන්ම බලයක් හා ඉඩක් පෑදේ යැයි මම සිතමි. .

      Delete
    4. විමල් වීරවංශ නායකත්ව ලක්‍ෂණ දක්වයි. එහෙත් එය මවා පෑමක් බව මගේ අදහසයි. විමල් නිමග්න වී සිටි දේශපාලන ව්‍යාපාරය විසින් ආරෝපණය කරන ලද පෞර්ෂය ඔහු තවමත් නඩත්තු කරයි. විරවංශට දැක්මක් ඇතැයි මට සිතෙන්නේ නැත. දේශපාලන තේරීම් කරන ආකාරය සැළකුවොත් අනුර කුමාරගේ ජනතා විමුක්ති පෙරමුණත් විරවංශගේ පෙරමුණත් අතර වෙනසක් නැත.

      විමල් වීරවංශට වඩා දිනේෂ් ගුණවර්ධන දැක්මක් ඇති නායකයෙකි. එහෙත් විශේෂයෙන්ම 19 වෙනි සංශෝධනයට සහය දීමෙන් මේ දෙදෙනාම අනාගතය විනිවිද දැකීමේ හැකියාව නැති පුද්ගලයන් බව පෙන්වා ඇත.

      පෞද්ගලිකව මා විශ්වාස කරන පරිදි සිංහලයාට විශ්වාස කළ හැකි එකම දේශපාලන නායකයා හරිශ්චන්ද්‍ර විජේතුංග පමණි. ඔහු හා එකඟ නොවන කරුණු කොතරම් තිබුණත් තෝරා ගැනීමක් වෙතොත් කිසිදු දෙගිඩියාවකින් තොරව මවිසින් ඔහු තෝරා ගැනෙනු ඇත. අවාසනාවට ඔහු අද ක්‍රියාකාරී දේශපාලනයේ නැත.

      සරත් වීරසේකරයන්ට දැක්මක් ඇතත් නායකත්ව ලක්‍ෂණ ඔප්පු කර ඇතත් ඔහු තවම දේශපාලන නායකයෙක් නොව පුද්ගලයෙක් පමණි. සරත්ට අනුගාමිකයින් සිටීද? මගේ අදහස නම් ආචාර්‍ය නලින් ද සිල්වාට ඔහුට වඩා අනුගාමිකයින් ප්‍රමාණයක් සිටින බවයි.

      නලින් දේශපාලනයට පැමිණිය යුතුය. ඒ කළුතර හෝ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලීමෙන් නොවේ - ජාතික ලැයිස්තුවෙනි. ජාතික ආරක්‍ෂාව සරත් වීරසේකරටත් ජාතික ඒකාග්‍රතාව සහ ජන වාර්ගික සංහිඳියාව (පාසැල් අධ්‍යාපනයද ඇතුළුව) නලින් ද සිල්වාටත් පැවැරෙන ආණ්ඩුවක් ලංකාව ලෝකයේ ඉහළට ඔසවා තබනු ඇත.

      Delete
  4. දැන් පවතින තත්වය ගැන ඔබතුමාගේ අනාවැකි කෙසේද?
    ඒකාබද්දය ශ්‍රීලනිපය සමග එකතුවේවිද?
    තමන්ට චන්දය දුන් බෙදුම්වාදීන්ගේ අපේක්ශා වලට පයින් ගසා ජනාධිපති සිරිසේන දැඩි තීන්දුවක් ගනියිද?

    ReplyDelete
    Replies
    1. ජනාධිපති සිරිසේනට ලබා ගැනීමට ඇති දේට වඩා නැති වීමට දේ තිබේ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරණය පරාජය වූ පසු ශ්‍රී.ලං.නි.පක්‍ෂයේ නායකත්වය ඔහුට නොපැවරිය යුතුව තිබිණි. අප නොදන්නා හේතුවක් කරන කොටගෙන රාජපක්‍ෂ විසින් පක්‍ෂය සිරිසේනට බාර දෙනු ලැබිණි.

      සිරිසේන විසින් මහින්ද හා සමග දිගටම සිටි පාක්ෂිකයින්ගේ සංවිධායක තනතුරු අහිමි කිරීමෙන් පසුව ඔවුන්ට නැවත රෙද්දක් ඇඳගෙන සිරිසේන හා එක් වීමේ නොහැකියාවක් තිබේ. සිරිසේනට විරුද්ධව ඡන්දය දුන් මහජනතාවකගේ පක්‍ෂයක් සමග සිරිසේනට කොතෙක් දුර යා හැකිද යන්නත් ප්‍රශ්නයකි. අනෙක් අතින් රනිල් වික්‍රමසිංහ ලැබෙන ඕනෑම අවස්ථාවක සිරිසේන එළවා දමා ජනාධිපති කම ගැනීමට බලා සිටී (ඒ සමගම එ.ජා.පයේ විධායක ජනාධිපති තනතුර අහෝසි කිරීමේ සටන් පාඨය සෝභිත හිමි ගිය මග යනු ඇත). එසේම නිදහස් පක්‍ෂය අරක් ගෙන සිටින බහිරවයා වන කුමාරතුංග මැතිණිය එවැනි එක් වීමකට දැඩිව විරුද්ධ වේ.

      අනෙක් අතින් ඒකාබද්ධ විපක්‍ෂය ලෙස පෙනී සිටින නිදහස් පක්‍ෂයේ කොටස් වලට සාම්ප්‍රදායික නිදහස් පාක්‍ෂිකයා රඳවා ගැනීමට හැකිද යන්න ප්‍රශ්නයකි. අන්තර්ජාලයේ කුමක් තිබුණද සහ ප්‍රසිද්ධියේ කුමක් කීවද මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන්නේ සාමාන්‍ය මහජනතාවයි. ඔවුන් සිරිසේනගේ නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සංධානයේ ලකුණ වෙනුවට ජී.එල්. පීරිස්ගේ පොහොට්ටුව්ට ඡන්දය දෙනු ඇතැයි බලාපොරොත්තු වීම අනුවණ කමක් බව මගේ හැඟීමයි. ඒකාබද්ධ විපක්‍ෂයේ අනෙක් පක්‍ෂ සහ කණ්ඩායම් වලට ඇති ජන පදනම මැන ගැනීමටනම් වෙනම තරඟ කිරීම හොඳ බව පෙනේ.

      මේ කරුණු සළකා බලන කල කිව හැක්කේ එළැඹෙන පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික සහ දෙමළ රාජ්‍ය පක්‍ෂ ප්‍රමුඛ සංධාන සැළකිය යුතු ජයග්‍රහණයන් අත් කර ගැනීමට නියමිත බවයි. සියල්ලම නොවේනම් බොහෝ පළාත් පාලන ආයතන මේ දෙක විසින් ජයග්‍රහණය කරනු ඇත.

      සිරිසේනගේ නිදහස් පක්‍ෂයට සහ මහින්දගේ නිදහස් පක්‍ෂයට කළ හැකි හොඳම දේ වන්නේ නිතරඟ ගිවිසුම් වලට ගොස් බුලත් කොලය ලකුනෙනුත් පොහොට්ටුව ලකුනෙනුත් වෙන වෙනම තරඟ කිරීමයි. එමගින් ආයතන කීපයක් හෝ දිනා ගැනීමට හැකි වනු ඇතැයි සිතමි.

      ආණ්ඩු බලය නැති පොහොට්ටුවට පළාත් පාලන ආයතන වල බලය වැදගත් නැත. ඒ නිසා එ.ජා.ප.යට වාසි ප්‍රදේශ වල විපක්‍ෂය වීම සුදුසුය. ආණ්ඩුවේ සිටින නිදහස් පක්‍ෂයට පළාත් පාලන ආණ්ඩුබලය වැදගත් ය. ඒ නිසා සාම්ප්‍රදායිකව ඊට වාසි තැන් වලින් පොහොට්ටුව ඉවත් විය යුතු බව මගේ අදහසයි.

      පළාත් පාලන මැතිවරණ ජය ගන්නේ කවුද යන්න පුරවැසියාට මිස සිංහලයාට වැදගත් නැත. සිංහලයාට ඇති තර්ජනය රනිල්-සම්බන්ධන් ආණ්ඩුව මිස සිරිසේන නොවේ. අප මේ ප්‍රශ්නය දකින්නේ ඒ කෝණයෙනි. රනිල්-සම්බන්ධන් හවුලට අභියෝග කළ හැක්කේ සිරිසේනට පමණක් වන නිසා සිරිසේන බිත්තියට හේත්තු කිරීම සිංහලයාගේ උපාය මාර්ගය නොවිය යුතුය. සිංහලයා කළ යුත්තේ නිදහස් පක්‍ෂය දුර්වල කිරීම නොව එය නැවත දිනා ගැනීමයි. ඒකාබද්ධ විපක්‍ෂයේ නිදහස් පක්‍ෂ කොටස් වල දේශපාලන උපාය මාර්ග තීරණය විය යුත්තේ එකී අරමුණ වෙනුවෙනි.

      නිදහස් පක්‍ෂයේ බිම් මට්ටමේ බලය තවමත් මහින්ද සතුය. ඔහුට එය ඕනෑම විටක භාවිතා කළ හැක. දැන් හොරගල් අහුලමින් සිටින මහින්ද රාජපක්‍ෂ නිසි මොහොතේදී මේ බලය නිවැරදිව හසුරවනු ඇති බව මගේ තක්සේරුවයි.

      Delete
  5. දෙතිස් කථා බ්ලොගයේ පල වූ "ලෝක හටගැනීම හා එහි නිරෝධය" ලිපිය දැනට වසර 5 කට ආසන්න කාලයක් ගතවී ඇතත්, එදා මෙදා තුර බ්ලොගයක පලවූ මා දකිනා වැදගත්ම ලිපිය මෙය බව මගේ හැඟීමයි.

    මේ ලිපිය දැනටත් ඉඳ හිට භාවිතා කරන බැවින් හා ලිපිය ආරම්බයේදීම කතු තුමා විසින් එම සූත්‍රය උපුටා ගත් ග්‍රන්තයෙහි නම හෝ එය සම්පාදනය කල හිමි නම
    ගේ නාමය ඔහු සතුව නැතැයි කීම නිසා මේ සූත්‍රය ත්‍රිපිටකයෙහි ඇති තැන පල කිරීම ඕනෑම අවස්ථාවක එය පරිහරනය කරන්නෙකුට වැඩදායක වනු ඇතැයි සිතමි.

    බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්ථන අනුව එය අඩංගු වන්නේ.

    සූත්‍ර පිටකයෙහි
    සංයුක්ත නිකායෙහි
    චතුත්ථෝ භාගෝ (සතරවැනි භාගයෙහි )
    සලඣයතන වග්ගයෙහි
    වේදනා සංයුක්තයෙහි (පලමු සංයුක්තය )
    යෝගකෙඛමි වග්ගෝ හි (එකොලොස් වැනි වග්ගය )
    හතර වැනි සූත්‍රය (ලෝක සමුදය සූත්‍රයයි )

    එසේම ත්‍රිපිටකය . ඕ ආර් ජී වෙබ් අඩවියට අනුව එය

    සූත්‍ර පිටකයෙහි
    සංයුක්ත නිකායෙහි
    සලායතන වග්ගයෙහි
    සලායතන සංයුක්තයෙහි (පළමු කොටස )
    යෝගෙක්ඛමී වග්ගයෙහි
    සිව් වැන්න ලෝක සමුදය සූත්‍රයයි

    එහි අන්තර්ජාල බැඳිය පහත පරිදි වේ.


    කථා කතු තුමනි,
    අදාල ලිපියෙහි ප්‍රථිcචාර සඳහා අවසර නැති හෙයින් මෙය මට ප්‍රථිcජාරයක් ලෙස සටහන් කිරීමට නොහැකිය.
    හැකිනම් ප්‍රථිහාරයක් ලෙස හෝ මෙය එම ලිපිය තුලම ඇතුළු කරන්න.
    එය ලොකු වටිනා කමක් වේවි.



    http://www.thripitakaya.org/tipitakaya/Index/127?s=1619

    ReplyDelete
    Replies
    1. http://katha32.blogspot.com/2013/04/buddhist-big-bang.html

      ඔබට පිං අනුමෝදන් කරමින් ඒ මග පෙන්වීම අඩංගු කළෙමි.
      මදක් කාලය මිඩංගු කර එය බලන්න.

      Delete
  6. ප්‍රභාකරන් වගේ යකෙකුට මෛත්‍රී කරන්නේ කොහොමද?
    - නයනේ - සිතුවිළි

    ReplyDelete
    Replies
    1. මේ සුවිශේෂ ප්‍රශ්නයකි - හෙවත් තෝරා ගත් ප්‍රශ්නයකි. ප්‍රශ්නය ඇසෙන්නේ පිළිතුරක් බලාපොරොත්තුවෙන් නොවේ.

      ප්‍රශ්න වලට පිළිතුරු දෙන ක්‍රම සතරක් ඇති බව මතක් කර ගන්න. සමහර විට ඔය ප්‍රශ්නය තථාගතයන් වහන්සේගෙන් ඇසිණි නම් උන් වහන්සේ තුෂ්නිම්භූත වීමට ඉඩ තිබිණි. සිතිවිළිට අනුව "එදා ඒ හාමුදුරුවනුත් ඒ ප්‍රෂ්නයට සාරථක පිළිතුරක් දී ගැනීමේ අසාර්ථක වුනා. ඒත් මනුස්සයෙක් කියල හිතලා මෛත්‍රී කරන්න් කියලා හාමුදුරුවන් ප්‍රශ්නයෙන් ලිස්සල ගියා."

      දැන් නැවත ප්‍රශ්නයට එමු.
      ප්‍රභාකරන් වගේ යකෙකුට මෛත්‍රී කරන්නේ කොහොමද?

      Delete
    2. මා මේ ප්‍රශ්නය තේරුම් ගන්නේ වෙනස් අයුරකිනි. අපි ජීවිතයේදී විවිධ චරිත රඟමු. දරුවෙක් දෙමාපියන් හමුවේ රඟන චරිතය පාසැලේදී ඒ අයුරින්ම රඟන්නේ නැත. ගුරුවරයෙක් නැති විට ඔහු වෙනස්ම චරිතයක් බවට පත් වෙයි. කසාදයෙන් පසු සිටින්නේ පෙර සිටි පෙම්වතා හෝ පෙම්වතිය හෝ ම නොවේ. පන්සලේ දී හැසිරෙන අයුරින් සැණකෙළියක හැසිරෙන අයෙක් වෙත්නම් ඒ ස්වල්ප දෙනෙකි.

      ඔබ අනුභව කරන්නේ නම් අනුභව කළ යුතුයි; ක්‍රීඩා කරන්නේ නම් ක්‍රීඩා කළ යුතුයි; භාවනා කරයිනම් භාවනා කළ යුතුයි. මලපහ කරමින් ම කැකිරි කෑම මනුෂ්‍යයෙකුට සුදුසු දෙයක් නොවේ.

      අර ස්වාමින් වහන්සේ සිටි තැන මා සිටියේ නම් ඇයට දෙන පිළිතුර වන්නේ...

      "ඔබ භාවනා කරන විට භාවනා කරන්න. මෛත්‍රී කරන විට මෛත්‍රී කරන්න. වෛර කරන විට වෛර කරන්න. කරන දෙය හරියට කරන්න." ආකාරයේ පිළිතුරකි.

      පෞද්ගලිකව මටනම් පුද්ගලයෙක් වශයෙන් සළකා වේළුපිල්ලෙයිගේ පිරබාහරන් මහතාට මෛත්‍රී කිරීමේ ගැටළුවක් නැත. එසේ වුවත් කිරිබත් උයාගෙන නොකෑවත් ඔහුගේ මරණයෙන් අපරිමිතව සතුටු වූ කෝටි දෙකක ජනකායක මාත් කෙනෙක්මි. නැවත හැරී බලන කළ පිරබාහරන් මිනීමරුවා සහ ඔහු මළ බව නිවේදනය කළ මිනීමරුවා අතර වැඩි වෙනසක් ඇත්ද?

      Delete
    3. නයනෙ - සිතුවිළිDecember 9, 2017 at 3:32 PM

      මේ ලිපිය ලියා කථා 32 කේ පල කරන්නට දෙන්වාද නැද්දයි දින දෙකක් සිතා කත තිස්දෙකේ දැන් යන රටාවට ඉන් බාධාවක් වේයැයි සිතා ඔහේ එතනම තියාගත්තා
      ඒත් දැන් බලනකොට ඒක මෙතැනත් සාකච්චට බඳුන් වෙලා.
      ජෝසප් එදා දුන් උපදෙස පිලි නොපැදීමෙ වරද දැනුයි තේරෙන්නෙ

      Delete
  7. වෛර නොකර මරා දැමිය යුතුයි

    ReplyDelete
    Replies
    1. මෛත්‍රී කරමින් ම එය කළ හැකිනම් අගනේය.

      Delete
  8. සුබ නව වසරක්!

    ReplyDelete
    Replies
    1. ජෝසප් සහෝදරයා ටත්, කථා කතු තුමාටත්, දෙතිස් කථා පාටක සැමටත් සුභ නව වසරක් වේවා!

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !