Tuesday, December 18, 2018

(අරලිය) ගහක් උඩ (පනස්) රැයක්

පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අනුව සෘජුව මුළු රටේම මහජන ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව වසර 4 ½ යන තුරු විසුරුවිය නොහැක. අනෙක් අතින්, ශ්‍රේෂ්ඨාධිකරණයම මීට පෙර දුන් තීන්දුවක් අනුව මීට පෙර වසරක් ලෙස පැවති ඒ කාල සීමාව ජනමත විචාරණයකින් තොරව දීර්ඝ කළ නොහැක. 19 වන සංශෝධනය සම්මත කර තිබෙන්නේ පාර්ලිමේන්තුව විසින් පමණි. මින් පෙර දුන් තීන්දුව සහ ගිය සතියේ දුන් තීන්දුව එකට ගත් විට ඉන් කියැවෙන්නේ 19 වන සංශෝධනය ජනමත විමසුමකට යොමු විය යුතුව තිබුණක් බවයි.
වික්‍රමසිංහ මාධ්‍යයට තර්ජනය කරන අවස්ථාවක් (ජායාරූපය: www.colombotelegraph.com)
වික්‍රමසිංහ මාධ්‍යයට පියෙකු සේ ඔවදන් දෙන අවස්ථාවක්
එබැවින් ජනාධිපති විසින් වහ වහා කළ යුතුව ඇත්තේ 19 අවශ්‍ය ද නැද්ද යි මහජනයා විමසීම පිණිස ජනමත විචාරණයක් කැඳවීම මිස වෙනකක් නොවේ. ගෞරවනීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සතියේ දුන් තීන්දුව අනුව තමන් ඉදිරිපිට ඇති ස්වර්ණමය අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීම ජනාධිපති විසින් කළ යුතුය. ඒ ජනමත විචාරණයෙන් තව බොහෝ දෙනෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ වනු ඇති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ මැතිවරණයටත් වාරණ නියෝගයක් දෙනු ඇති බවත් පුරෝකථනය කළ හැකි මුත් ශ්‍රේෂ්ඨාධිකරණයට එදිරිව ශ්‍රේෂ්ඨාධිකරණය නඩු කියන අවස්ථාවක් අපට මින් මතු දකින්නට ලැබෙන්නේ නැත.




ඉතිහාසය නැවත නැවතන් පුනරුච්චාරණය වෙයි. ඉතිහාසය යනු ජයග්‍රහණයන් හා පරාජයන් ගැන කතාව මිස වෙනකක් නොවේ. 1815 දී අපි අපේ කෲර රජා පළවා හැරීමට සදාචාරවත් (civilized) ඉංගිරිසි රාජධානියේ අති උතුම් අධිරාජයා ගේ නියෝජිත මහත්වරුන්ට බාර දුන්නෙමු. ඒ සඳහා වියදම් ද අපිම දැරුවෙමු. 2015 දී ද අප එයම repeat කළෙමු.

1815 දී අප ඉංගිරිසින් හා උඩරට ගිවිසුම අස්සන් කළෙමු. 2015 දී 19 වන සංශෝධනය ගෙන ආවෙමු. ඉංගිරිසින් ගිවිසුම් ගසන්නේ ම පසුව කඩා දැමීමට බව අමතක කළෙමු. 1815 උඩරට ගිවිසුමෙන් සිංහලයන් වෙනුවෙන් සිංහලය ආණ්ඩු කිරීමේ බලය ඉංගිරිසින් වෙත පවරා දුන්නෙමු. 2015 දී රට පාලනය කිරීමේ බලය ස්වාධීන කොමිෂන් සභා ය යන නාමයෙන් හැඳින්වුණු ජුන්ටා සමූහයකට පවරා දුනිමු.

1815 දී අප රැවටුණ බව දැන ගත් මහජනතාව ඉංගිරිසින්ට එරෙහි අරගලය ඇරඹු විට කැප්පෙටිපොළලා ට ඊට එකතු වීම හැර විකල්පයක් තිබුණේ නැත. එහි ප්‍රතිඵලය 1818 විමුක්ති අරගලය හා ඒ පසුපස පැමිණි ජාති සංහාරය (genocide) ය. ජනශුන්‍ය කෙරුණු වෙල්ලස්ස සහ නැගෙනහිර පළාත් කල්ලතෝනින් පදිංචි වීමත් රක්‍ෂිත පෙදෙස් වූ උඩරට සම්පුර්ණයෙන් ම පාහේ විනාශ කර දහස් ගණන් අලි ඇතුන් වෙඩි තබා වන සීපාවන් නිකරුණේ මරා දමා බ්‍රිතානි ඉන්දියාවෙන් කෘෂිකාර්මික වහළුන් ගෙනැවිත් වෙළෙඳ වගා ව්‍යාප්ත කිරීමත් එහි ප්‍රතිඵල යි. ඉංගිරිසින් විසින් අපේ ජාතික විමුක්ති අරගලය කැරැල්ල ලෙස නම් කෙරිණ. ඒ වන විටත් ඉංගිරිසින් විසින් මෙහි ගෙනැවිත් ඉහල තැන් වලට පත් කර සිටි අසිංහලයින් සහ සිංහලත්වයෙන් වියෝ වෙමින් සිටි "හිටපු" සිංහලයින් විසින් ඊනියා කැරැල්ල මැඩ පැවැත්වීමේ දී ඉංගිරිසින් උදෙසා මහත් මෙහෙයක් ඉටු කරන ලදී.

2018 දී ද මහජනතාව අරගලය අතට ගත් විට රාජපක්‍ෂලාට සිරිසේනලාට ඊට එකතු වීම හැර වෙන විකල්පයක් නොවීය. ශ්‍රේෂ්ඨ ඔක්තෝබර විප්ලවය එහි ප්‍රතිඵලයයි. නමුත් 1818 දී ඉංගිරිසින් ජය ගත් සේ ම 2018 දී ද ඉංගිරිසින් ජය ගත්හ. විප්ලවය ව්‍යවස්ථා කුමන්ත්‍රණය ලෙස නම් කෙරිණ. මෙහිදී ත් ඉංගිරිසින් සහ ඊට පෙර ලන්දේසින් විසිනුත් ලංකාවට ගෙනැවිත් ඉහළ තැන් වලට පත් කර සිටි අසිංහලයින් සහ "හිටපු සිංහලයින්" විසින් තීරණාත්මක කාර්‍ය භාරයක් ඉටු කරන ලදී.



සිංහලයාට මේ රටේ හිමි තැන ලබා ගැනීම

1818 විමුක්ති අරගලයේ අරමුණ වූයේ ගිවිසුමෙන් අහිමි වූ සිංහලයාට මේ රටේ හිමි තැන ලබා ගැනීම මිස ඉංගිරිසින් සමූල ඝාතනය, කල්ලතෝනින් ඉංදියාවට මැලේසියාවට (එකල ඉන්දියාවක් හෝ මැලේසියාවක් හෝ නොතිබිණ) පළවා හැරීම නැතිනම් රොබට් බ්‍රවුන්රිග් ගඩාපි මෙන් මරා මහපාර දිගේ ඇදගෙන යාම හෝ නොවීය. 2018 දී ද මහජනනතාවගේ අභිප්‍රාය වූයේ 19 වන සංශෝධනයෙන් ඇති කළ විකෘති පාර්ලිමේන්තුව තුල සහ ඊනියා ස්වාධින කොමිෂන් සභා විසින් සිංහලයාට අහිමි කළ හිමි තැන නැවත දිනා ගැනීම මිස වෙනකක් නොවේ.

1818 දී අරගලය පරාජය වීමෙන් පසු ඉංගිරිසින් විසින් සිංහලයා තම නිජභූමිය තුලම තිරිසනුන් කොටසක් සේ නොසළකා හැරි තත්වයට පත් කරන ලදී. 2018 දී විප්ලවය පරාජය වීමෙන් පසු ඉංගිරිසින් විසින් සිංහලයාට ලබා දෙන වරප්‍රසාදය ද මීට වෙනස් එකක් නොවේ. පළාත් පාලන මැතිවරණ අවුරුදු 3 ක් නොතියා සිටින විට උණු නොවූ, පළාත් සභා මැතිවරණ අවුරුදු දෙකක් නොතියා තිබෙන විට උණු නොවූ මැතිවරණ කොමිසමේ දෙමළ ජාතිවාදීන්ගේ පපු කැවුතු මහාමැතිවරණය අවුරුද්දක් කලින් තබන විට උණු වන්නේ එහෙයිණි.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහි පෙත්සම් තවම විභාග කර නැතත් මහමැතිවරණය පැවැත්වීම වැළැක්වීමට වාරණ නියෝග දිනෙන් දෙකෙන් දෙන විට, ආණ්ඩුව අකර්මණ්‍ය කෙරෙන නියෝග එක දවසින් දෙද්දී ඒ නියෝගය අත් හිටුවන ලෙස කළ ඉල්ලීම සළකා බැලීමට සතියක් පමණ ගන්නා විට, ඉංගිරිසින්, අසිංහලයින් සහ හිටපු සිංහලයින් විසින් මේ රටේ ස්වාධින අධිකරණ පද්ධතිය ගැන සහතික දේ නම් ඒ දෙස නීතිය හරිහැටි නොදන්නා සාමාන්‍ය සිංහලයින් වන පොහොට්ටුවේ ආධාර කරුවන් විසින් සැක මුසු ඇසින් බැලුවත් තරමක් දුරට කල්පනා කරන්නෙකු විසින් සතුටු විය යුතු තත්වයකි.

දැන් "රණ විරුවන් දංගෙඩියට යැවීම"ට ජාත්‍යන්තර අධිකරණ අවශ්‍ය නැත. අපේ අධිකරණය ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව කරනවාටත් වඩා හොඳින් ඒ කාර්‍යය ඉටු කිරීමට සමත්ය. හැරත් අධිකරණයේ පත් කිරීම් කෙරෙන්නේ "ස්වාධින" කොමිසමක් විසින් නම් අධිකරණය පක්‍ෂපාතී යැයි කාට චෝදනා කළ හැකිද ? රටේ අගමැතිගේ "වැඩ තහනම්" කරන අධිකරණයක් නිකං අට-පාස් ආමි කාරයින් ට බය වෙයිද ?

ඉතා පැහැදිළිවම ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය රටේ මිනිසුන්ගේ කෙසේ වෙතත් ජාත්‍යන්තර ප්‍රජාවගේ හොඳ හිත දිනා ඇත. ඉංගිරිසින් 1818 දිනුවාට වඩා හොඳින් 2018 දී ඉංගිරිසින් වෙනුවෙන් අප පාලනය කිරීම පිණිස තෝරාගෙන ඇති අසිංහලයින් සහ "හිටපු සිංහලයින්" දිනා ඇත. තව ඉතිරිව ඇත්තේ 1833 ප්‍රතිනිර්මාණය කිරීම පමණි.



1833 ප්‍රතිනිර්මාණය කිරීම

මහින්ද රාජපක්‍ෂ ඇතුළු නඩය (මුල සිටම මේ විප්ලවයට ප්‍රතිවිරුද්ධ මතයක සිටි කුමාර වෙල්ගම හැර) පොහොට්ටුවේ සාමාජිකත්වය ගෙන අවසන්ය. එය හේතුවක් කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඔවුන් නෙරපා හැරි බව මැතිවරණ කොමිසම වෙත දන්වා යැවිය හැක. ඔවුන් එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරුන් බැවින් ඒ දන්වා යැවීම ඒ සංධානයේ ලේකම් තැන විසින් කරන පමාවෙන් (සමහර විට ලියුම තැපෑලේ තිබියදී ම) මැතිවරණ කොමිසම ඒ මන්ත්‍රීවරුන්ගේ ධුර අහෝසි කරනු ඇත. ඊළඟට පුරප්පාඩුවට පත් වන ගරු මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් සංහිඳියාව හා ජාතික ඒකාබද්ධතාව වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය තුමාගේ දෑත් ශක්තිමත් කිරීමට යා නම් කොහොමත් දෑත් ශක්තිමත් කරමින් සිටින ජනතා විමුක්ති පෙරමුණ හා එක්ව ඔවුන්ට 20 වන සංශෝධනය සම්මත කර ගැනීම ගැටළුවක් නොවේ.

අධිකරණය ගැන සැක සංකා තබා ගත යුතු නැත. 2002 දී ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාල සීමාව අවුරුදු 4 ½ කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය යැයි දුන් තීන්දුවට පයින් ගසා 2018 දී එසේ නොවේ යැයි තීන්දු දුන් අධිකරණය විසින් මීට පෙර ජනමත විචාරණයකට යොමු කළ යුතු යැයි තීන්දු කළ 20 වන සංශෝධනය ඒ වගන්ති සහිතවම වුවත් යථා පරිදි සම්මත වී යැයි කථානායක දැනුම් දුන්නොත් එය නොපිළිගෙන ඉන්නේ නැත. වෙහෙර ගිල්ල එකාට අග්ගලාව කජ්ජක් දැයි අපේ ජන වහරේ කතාවක් තිබේ. වික්‍රමසිංහට අවශ්‍ය සැබෑ සංශෝධන ඒ පනතට එකතු වනු ඇත්තේ අධිකරණය ඉදිරියට යාමට හැකි අන්දමින් එය ගැසට් කරන විට නොව අධිකරණය ඉදිරියට යා නොහැකි අවස්ථාවේ දී ය.

එය ලංකාවේ අධිකරණ පද්ධතියේ ස්වාධීන කම ගැන ප්‍රශ්නයක් නොවේ. අධිකරණයට ව්‍යවස්ථාවෙන් පවරා ඇති කර්තව්‍යය යම් කිසි පල් හෑල්ලක්, එහි අන්තර්ගතය කුමක් වුවත්, රටේ නීතිය බවට පත්ව ඇත්නම් එය ක්‍රියාත්මක කිරීම පමණකි. ඒ පල් හෑල්ල නිසි පරිදි සම්මත වීද නැත්ද යි සෙවීමේ හැකියාවක් අධිකරණයට නැත.


20 වන සංශෝදනයේ අරමුණ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන්මල්කඩ ලෙස සැළකිය හැකි සෘජු මහජන ඡන්දයෙන් පත් වන ජනාධිපති ධුරය මුලිනුපුටා දැමීමයි. ඒ වෙනුවට ඇති කෙරෙන්නේ නාමමාත්‍රික රාජ්‍ය නායකයෙකි. රනිල් වික්‍රමසිංහ විසින් සිරිසේන තබා ගැනීමට කැමති වූ ආකාරයේ සකලබුජං කෙනෙකි. ඒ ජනාධිපතිද පත් කෙරෙන්නේ රනිල් වික්‍රමසිංහ-සුමන්තිරන් ලීච්ඡවී නඩය අත බලය ඇති වර්තමාන පාර්ලිමේන්තුවෙනි.

ඊළඟ පියවර බෙදුම්වාදය ශක්තිමත් කරන ඊට නිල පිළිගැනීමක් ලබා දෙන නව ව්‍යවස්ථාවයි. එය හරියටම 1833 දී කොල්බෲත් කැමරන් යෝජනා අනුව වසර දහස් ගණනක් අවිච්ජින්නව පැවති සිංහලයේ ආණ්ඩුක්‍රමය සදහටම අහෝසි කර දැම්මා වැනිය. නැවත ආපසු යාමක් නැත.



ව්‍යවස්ථා කුමන්ත්‍රණ

වික්‍රමසිංහට මහජන කැමැත්තෙන් මේ රටේ ජනාධිපති වීමේ ප්‍රයෝගික හැකියාවක් නැත. එබැවින් බලය ලබා ගැනීම සහ පවත්වා ගැනීම උදෙසා ඔහු යොදා ගන්නේ ව්‍යවස්ථා කුමන්ත්‍රණ කිරීමයි. 19 වන සංශෝධනය ලංකාවේ ව්‍යවස්ථා කුමන්ත්‍රණ ඉතිහාසයේ අග්‍රඵලයයි.

අප දන්නා පළමු ව්‍යවස්ථා කුමන්ත්‍රණය 1972 ජනරජ ව්‍යවස්ථාව හඳුන්වා දුන් විට පාර්ලිමේන්තු කාලය වසර දෙකකින් දීර්ඝ කර ගැනීමයි. දෙවැන්න ඊට වඩා සාහසික ලාම්පු කලගෙඩි සෙල්ලම යි. එයින් පාර්ලිමේන්තුවේ කාලය වසර 11 ½ දක්වා දීර්ඝ කර ගති. තුන් වැන්න 13 වන ව්‍යවස්ථා සංශෝධනය යි.

ලාම්පු-කලගෙඩි සෙල්ලමේ දී මහජනයා රවටනු ලැබිණ - 13 වන සංශෝධනයේ දී අධිකරණය රවටනු ලැබිණ. ඊළඟට 17 වන සංශෝධනයේ දී එවකට සිටි ජනාධිපතිණිය, එනම් විධායකය, රවටනු ලැබිණ. අවසන් වශයෙන් 19 වන සංශෝධනයේ දී පාර්ලිමේන්තුව රවටනු ලැබිණ. පසුගිය සති හත පුරා රට දේශපාලන අර්බුදයක පැවතීමට හේතුව වික්‍රමසිංහගේ ඒකාධිපති බල වියරුව හේතුවෙන් අටවන ලද 19 වන සංශෝධනය මිස වෙනකක් නොවේ.

පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අනුව සෘජුව මුළු රටේම මහජන ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව මුල් වරට රැස් වී වසර 4 ½ යන තුරු විසුරුවිය නොහැක. අනෙක් අතින්, ශ්‍රේෂ්ඨාධිකරණයම මීට පෙර දුන් තීන්දුවක් අනුව මීට පෙර වසරක් ලෙස පැවති ඒ කාල සීමාව ජනමත විචාරණයකින් තොරව දීර්ඝ කළ නොහැක. 19 වන සංශෝධනය සම්මත කර තිබෙන්නේ පාර්ලිමේන්තුව විසින් පමණි - ජනමත විචාරණයක් මගින් නොවේ. මින් පෙර දුන් තීන්දුව සහ ගිය සතියේ දුන් තීන්දුව එකට ගත් විට ඉන් කියැවෙන්නේ 19 වන සංශෝධනය ජනමත විමසුමකට යොමු විය යුතුව තිබුණක් බවයි.

මහජනයා වෙතින් ලැබෙන සදාචාරාත්මක සුජාත බලය වෙනුවට ව්‍යවස්ථා කුමන්ත්‍රණ සහ බලහත්කාරී අතපෙවීම් සහ තර්ජන මගින් බලය සොයන එක මනුෂ්‍යයෙකුගේ බල වියරුව වෙනුවෙන් රට ව්‍යවස්ථා අර්බුදයකට තල්ලු කළ 19 වන සංශෝධනය අහෝසි කිරීම පිණිස ජනමත විචාරණයකට යාම ජනාධිපතිවරයාගේ මීළඟ පියවර විය යුතුය. 20 වන සංශෝධනය ගෙනැවිත් තමන් පණ ඇති රූකඩයක් කිරීමට පෙර වර්තමාන ජනාධිපතිවරයාට ඉතිරිව ඇති එකම අවස්ථාව ජනමත විචාරණයක් වෙත යාම පමණි. 19 අහෝසි කර ගැනීමට නොහැකි වුණොත්, 20 ත් සම්මත නොවුණේ වී නමුත් ඊළඟට පත් වන්නේ මීට වඩා බලතල අඩු ජනාධිපතිවරයෙකි.

එබැවින් ජනාධිපති විසින් වහ වහා කළ යුතුව ඇත්තේ 19 අහෝසි කිරීම පිණිස ජනමත විචාරණයක් කැඳවීම මිස වෙනකක් නොවේ. ගෞරවනීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සතියේ දුන් තීන්දුව අනුව තමන් ඉදිරිපිට ඇති ස්වර්ණමය අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීම ජනාධිපති විසින් කළ යුතුය. ඒ ජනමත විචාරණයෙන් තව බොහෝ දෙනෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ වනු ඇති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ මැතිවරණයටත් වාරණ නියෝගයක් දෙනු ඇති බවත් පුරෝකථනය කළ හැකි මුත් ශ්‍රේෂ්ඨාධිකරණයට එදිරිව ශ්‍රේෂ්ඨාධිකරණය නඩු කියන අවස්ථාවක් අපට මින් මතු දකින්නට ලැබෙන්නේ නැත.



හ්ම්, එතකොට ගහක් උඩ රැයක් ??

ගහක් උඩ උන්නේ වඳුරෙක්... ඌ ගහෙන් බැහැල ගෙදර ගියා.




No comments:

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !