Friday, November 30, 2018

ව්‍යවස්ථා අර්බුදය සහ රටේ වාසනාව

සිරිසේන ඝාතන කුමන්ත්‍රණය අතේ පත්තු වීම රටේ වාසනාවකි



ලංකාවේ ව්‍යවස්ථා අර්බුදයක් ඇතැයි බටහිර ජනමාධ්‍යයේ මතයයි. බටහිර රටවල වෙසෙන, සිංහල බ්ලොග් ලියන, "හිටපු" සිංහලයන් පවා මේ අදහසේ දැඩිව එල්බගෙන සිටී. ලංකාවේද බොහෝ දෙනෙක් ඒ අදහසම දරත්. මේ අයගෙන් වැඩි දෙනෙක් සිතා සිටින්නේ පසුගිය ඔක්තෝබර 26 දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමාට පැවරී ඇති බලතල ප්‍රකාරව තම මතය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි දෙනෙකුගේ කැමැත්ත ඇති මන්ත්‍රීවරයා වන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය තනතුරට පත් කිරීම ඉහත කී අර්බුදයට හේතුව බවයි.

ලංකාවේ ව්‍යවස්ථා අර්බුදයක් ඇත්ත වශයෙන්ම පවතී. එහෙත් ඊට හේතුව අර පණ්ඩිතයන් කියන'යුරු වික්‍රමසිංහ වෙනුවට රාජපක්‍ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට ජනාධිපති සිරිසේන විසින් තීරණය කිරීම නොවේ - ඒ අර්බුදය ඇති වන්නේ පසුගිය ඔක්තෝබර 26 වැනිදා ද නොවේ.

ලංකාවේ පවතින අර්බුදයට එකම හේතුව රනිල් වික්‍රමසිංහ විසින් ස්වකීය බලලෝභී තුච්ඡ අරමුණ ඉටු කර ගැනීම පිණිස තම ඇම්බැට්ටයන් ලවා තකහනියේ ලියවා එවකට පැවති පාර්ලිමේන්තුව නොමග යවා සම්මත කර ගත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයයි. එකී තුප්පහි සංශෝධනයට එරෙහිව එදා සිට හඬ නැංවූ සහ ජනමත විචාරණයක් මගින් එය අහෝසි කළ යුතු යැයි යෝජනා කළ එකම පුද්ගලයා වශයෙන් අද රටේ ඇති වී තිබෙන තත්වය ගැන කාලකන්නි සතුටක් අපට තිබේ.






හොර පාරෙන් රටේ බලය ඇල්ලීමේ වික්‍රමසිංහගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය


ජනාධිපති සිරිසේන නව ප්‍රජාතාන්ත්‍රික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ය. පසුව හෙළි වූ පරිදි ඒ පක්‍ෂයේ නායකයා බ්‍රිතාන්‍ය පුරවැසියෙක් වන ලෝක හොරෙකි. එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ, ද්‍රවිඩ ජාතික සංධානය ලෙස සිංහලෙන් නම් කරගෙන පෙනී සිටින දෙමළ රාජ්‍ය පක්‍ෂය සහ ජනතා විමුක්ති පෙරමුණත් තවත් විදෙස් ආධාර ලබන NGO සංවිධාන කිහිපයකුත් සිරිසේනට සහය දැක්වීය. ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යය සහ බ්‍රිතාන්‍යය ප්‍රමුඛ බටහිර රාජ්‍යත් ඉන්දියාවත් ඒ සඳහා මූල්‍යමය සහ උපක්‍රමික සහයෝගය දැක්වූහ. මෙයින් සිරිසේනට හැර අනෙක් සියලු දෙනාට තම තමාගේ අභිලාෂයන් තිබිණි.

මුල් අවස්ථාවේදී සිරිසේන යනු හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග විසින් නැටවෙන රූකඩයක් පමණක් විය. ඔහුගේ මුළු ඡන්ද ව්‍යාපාරයම රඳා පැවතියේ රාජපක්‍ෂ ඒකාධිපති ගමනක් යන බව කියමින් තමා ජනාධිපති වුවහොත් ජනාධිපති බලතල භාවිතා නොකරන බව කියමිනුත්ය. තමා පොළොන්නරුවේ සිට (නාමමාත්‍රිකව !) රට පාලනය කරන බවත් රනිල් වික්‍රමසිංහට සර් කියන බවත් චන්ද්‍රිකා කුමාරතුංගට මැඩම් කියන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

මහජනතාවගේ පැත්තෙන් බැලුවොත් වික්‍රමසිංහට බලය ලබා දීමට නම් සිරිසේන ජනාධිපති විය යුතු නැත - වික්‍රමසිංහ ම ජනාධිපති කමට ඉල්ලා ජනතාවගෙන් ඒ බලය ලබා ගත යුතුය. දේශපාලන අභිලාශයක්, අනාගත දැක්මක් නැති සෙවලයෙක් රටේ වැදගත්ම තනතුරට ඉදිරිපත් කර හොර පාරෙන් රටේ බලය ඇල්ලීමේ වික්‍රමසිංහගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය රටේ ජනතාව විසින් පරාජය කළ යුතුව තිබිණි. එහෙත් රටේ කරුමය ගෙවාම නිම කළ යුතුව තිබුණු හෙයින් දෝ, නැතිනම් එවකට රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුර බල්ලා ලෙස පෙනී සිටි මහින්ද දේශප්‍රියගේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ වික්‍රම හේතුවෙන් දෝ, උතුරු සහ නැගෙනහිර පළාත් හි ඡන්ද හිමි නාම ලේඛණ වල සිටින සියලු දෙනාම පාහේ ඡන්දය ප්‍රකාශ කර තිබිණි. ඒ කරුණ විශේෂයෙන් සටහන් කළ යුතුව තිබෙන්නේ ඒ පළාත් වල සැබෑ පදිංචි කරුවන් ඉක්මවන ප්‍රමාණයක් (විදෙස්ගත වූ/ ත්‍රස්තවාදී කණ්ඩායම් වල සාමාජිකයන්ව සිට මිය ගිය/ අතුරුදහන් වූ අය) ඡන්ද හිමි නාම ලේඛණ වල තවමත් සටහන් වන බවයි. සාමාන්‍යයෙන් මැතිවරණයකදී එකී පළාත් වල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය අනෙක් පළාත් වලට වඩා බෙහෙවින් අඩු වන්නේ ඉහත හේතුව නිසාය.

අප සිරිසේනට විරුද්ධ වූයේ ඔහුට මුවා වී බලය ඇල්ලීමේ වික්‍රමසිංහගේ සහ සුමන්තිරන්ගේ කුමන්ත්‍රණය අප විසින් විනිවිද දකින ලද නිසාය. රටේ ජනතාව අප මෙන්ම බුද්ධිමත් බැවින් ඒ කුමන්ත්‍රණය විනිවිද දකිනු ඇති බවත් ඊට සුදුසු ක්‍රියා මාර්ග ගනු ඇති බවත් අපගේ තක්සේරුව විය. රටේ ජනතාව අපට වඩා බුද්ධිමත් විය - නැතිනම් විදේශ අරමුදල් වලින් රූපවාහිනී බදු ගෙන, facebook සහ blog ග්‍රහණයට ගෙන ප්‍රචාරක ව්‍යාපාර ගෙන ගිය රැඩිකල් සහ නව පරපුරේ බුද්ධිමතුන් තමාටත් වඩා බුද්ධිමත් බව ඒ ජනතාව සිතන්නට ඇත.



වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය


කෙසේ හෝ සිරිසේන ජනාධිපති විය. ඒ මොහොතේ සිට ඇරඹුණේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමයි.

සිරිසේන ජනාධිපති වී දිවුරුම් දුන්නේ සම්ප්‍රදායානුකූලව අගවිනිසුරු ඉදිරියේ නොවේ. දිවුරුම් දී ඔහු ඊළඟට කළේ පාර්ලිමේන්තුවේ ආසන හතළිස් ගණනක් පමණක් තිබූ වික්‍රමසිංහ අගමැති වශයෙන් පත් කිරීමයි. මේ පත් කිරීම ව්‍යවස්ථානුකූලදැයි හරියට පැවසිය නොහැක්කේ සිරිසේනගේ හිතේ තිබුණු දෙය අපට නිර්ණය කිරීමේ ක්‍රමයක් නැති බැවිණි. නමුත් ඒ පත් කිරීම සදාචාරයටවත්, වික්‍රමසිංහලා දැන් බෙරිහන් දෙන ඊනියා "පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට"වත් එකඟ නැත.

පාර්ලිමේන්තුවේ ආසන එකසිය හතළිස් ගණනක් තිබූ මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සංධානය විසින් ගෙනෙන විශ්වාසභංගයෙකින් වික්‍රමසිංහගේ සුළුතර ආණ්ඩුව ගෙදර යැවීම ඊළඟ පාර්ලිමේන්තු දිනයේදීම කළ යුතුව තිබිණි. එහෙත් තමාගේත් අනුන්ගේත් මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන උනන්දු වන තුප්පහි සංස්කෘතිය හේතුවෙන් ඒ අවස්ථාව රටට අහිමි විය. විශ්වාසභංගය ගෙනාවේ නම් සිරිසේන සතු එකම විකල්පය ක්‍ෂණික පාර්ලිමේන්තු මැතිවරණයකට යාම පමණි. එවැනි මැතිවරණයකින් මහින්ද රාජපක්‍ෂ නායකත්වය දෙන හෝ නොදෙන එක්සත් ජනතා නිදහස් සංධානය පරාජයට පත් වීමට ඉඩක් තිබුණත් අඩු තරමින් විපක්‍ෂ නායක ධුරය සහිතව අදට වඩා බලවත් තත්වයක සිටීමට ඉඩ තිබිණි.

නමුත් සිදු වූයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය යම් තරමකට ඇති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩි දෙනෙකු සිරිසේනට නතු වීම හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සංධානයේ නායකත්වය සිරිසේනටම පවරා මහින්ද රාජපක්‍ෂ මැදමුලනට පල්ලම් බැසීමයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය හේතුවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදු වූයේ පිරිමැසිය නොහැකි පාඩුවකි. 1994 සිට දරුණු ඒකාධිපතිත්වයකින් එක්සත් ජාතික පක්‍ෂය පාලනය කරන වික්‍රමසිංහ අතට රටේ තීරණ ගැනීමේ බලය පත් වීම හේතුවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ වැටෙන බව සිරිසේනටවත්, රාජපක්‍ෂටවත්, අනෙක් නිදහස් සංධාන මන්ත්‍රීවරුන්ට වත් සිතුණේ නැත. එහි ප්‍රතිවිපාකය අද රට පත් වී සිටින ව්‍යවස්ථා අර්බුදයයි.



වික්‍රමසිංහගේ ඒකාධිපති වියරුව විසින් දුන් වැරදි පූර්වාදර්ශ


දූෂණ චෝදනා මත පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයක් සම්මත කිරීමෙන් (එනම් ව්‍යවස්ථාපිත ක්‍රමවේදය මත) ඉවත් කරන ලද අගවිනිසුරුවරිය ඉවත් කළ ක්‍රමය හරි නැතැයි කියා ඒ වෙනුවට පත් වී ධුරය දරමින් සිටි අගවිනිසුරු නිකංම ගෙදර ඇරීම ගැන කිසි විදෙස් රටක තානාපති කෙනෙක් කට ඇරියේ නැත. එහෙත් ඒ දුන් පූර්වාදර්ශය, එනම් පාර්ලිමේන්තුවේ කටයුතු නිසි පරිදි සිදු වූවේ නැතැයි ප්‍රකාශ කර ඒ හේතුවෙන් එය සිදු නොවූ අයුරින් කටයුතු කිරීමේ ක්‍රමය සිරිසේන විසින් පසුගිය සති දෙකේදී යොදා ගන්නා ලද්දේ සුමන්තිරම්-අනුර කුමාර විසින් ගෙනෙන ලද්දේ යැයි කියන, ස්පීකර ජයසූරිය විසින් සම්මත වී යැයි වදාරණ ඊනියා විශ්වාසභංගය සම්බන්ධයෙනි. අනාගතයේ පත් වන ආණ්ඩුවක් විසින් මේ පූර්වාදර්ශය අනුව අහෝසි කළ යුතු අතුරුදහන් වූවන්ගේ ප්‍රඥප්ති පණත ඇතුළු අණ-පණත් කිහිපයක්ම තිබේ. වික්‍රමසිංහගේ කීකරු ජඩසූරිය විසින් පාර්ලිමේන්තු සම්ප්‍රදාය බල්ලාට දමා සම්මත කළ එකම යෝජනාව පසුගිය විශ්වාසභංගය පමණක් නොවේ. පළාත් සභා මැතිවරණ දින නියමයක් නොමැතිව කල් දමා ඇත්තේද මීට සමාන කූටෝපාය මගිනි. එවැනි අණ පනත් නිසි ක්‍රමවේදය අනුව සම්මත නොවී යැයි සළකා ඒවා අහෝසි වන්නට හැරීම ඊළඟ මැතිවරණයෙන් පසු පිහිටුවන රජයක ප්‍රමුඛ කාර්‍ය භාරය විය යුත්තේය.



වික්‍රමසිංහගේ ඒකාධිපති වියරුව විසින් පාර්ලිමේන්තුව අකර්මණ්‍ය කිරීම


දැන් පවතින තත්වය අනුව ලංකාවේ පාර්ලිමේන්තුවක් නැත. ඒ ජනාධිපති සිරිසේන විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී ඇති (හෝ පැවරී නැති හෝ) බලතල ප්‍රකාරව එය විසුරුවා හළ බැවින් නොවේ. වික්‍රමසිංහගේ ඒකාධිපති වියරුවට උඩගෙඩි දෙන තානාපති කාර්‍යාල වල බලපුළුවන්කාරකම් හිතට ගත් ජඩසූරිය විසින් පාර්ලිමේන්තුව කෝළම් මඩුවක් බවට පත් කර ඇති බැවිණි. පළමුව ඔහු ජනාධිපති විසින් නිසි ක්‍රමවේදය අනුව පත් කළ අගමැති තමා විසින් නොපිළිගැනෙන බව නිවේදනය කළේය. ඔහුට ඒ සඳහා අයිතියක් හෝ බලයක් හෝ නැත. දෙවනුව ඔහු පාර්ලිමේන්තු ක්‍රමවේදය සහ සම්ප්‍රදාය නොසළකා හැර ඊනියා විශ්වාසභංගයක් සම්මත කළේ යැයි නිවේදනය කළේය. ස්ථාවර නියෝග අත් හිටුවා විශ්වාසභංග ගෙන ඒමේ සිරිතක් නැත. අවශ්‍යමනම් ලිච්ඡවී පාලනය අවසන් වීම ගැන ශෝක ප්‍රකාශ යෝජනාවක් ගෙන ආ හැක.

එසේ ගෙනා ඊනියා විශ්වාසභංගය ද නීත්‍යානුකූල නොවන කූට ලියැවිල්ලක් බව අප විසින්ද වෙනත් අය විසින්ද පෙන්වා දෙන ලදී. එයින් පසුබට නොවූ ලැජ්ජා-බය නැති වික්‍රමසිංහ තෙමේ ජඩසූරිය ලවා අර යෝජනාවම සංශෝධනය කරවා බිරුම් හඬින් සම්මත වූ බව කියන්නට සැළැස්විය. මේ කිසිවක් නිත්‍යානුකූල සහ නීතිය ඉදිරියේ බලයක් ඇති ක්‍රියා මාර්ග නොවේ. අවාසනාවට අපේ රටේ පාර්ලිමේන්තුව තුල කෙරෙන දේ, එය පැහැදිළි නීති උල්ලංඝනයක් වුවත්, අධිකරණය ඉදිරියේ අභියෝග කළ නොහැක. අභියෝග කළත් ලංකාවේ කීර්තිමත් කථානායක වරයෙක් වූ අනුර බණ්ඩාරනායක විසින් ඉතා සැළකිල්ලෙන් ව්‍යවස්ථා නීති රීති සහ වෙනත් පූර්වාදර්ශ අධ්‍යයනය කරමින් දුන් විනිශ්චයකට අනුව පාර්ලිමේන්තුව අධිකරණ නියෝග පිළිගැනීමට බැඳී නැත. ඒ පූර්වාදර්ශය තවත් වැදගත් මහත්මයෙක් වන හිටපු කථානායක චමල් රාජපක්‍ෂ විසින් ද හිටපු දූෂිත අගවිනිසුරුතුමිය ඉවත් කිරීමට පාර්ලිමේන්තුව වෙත පැමිණි දෝෂාභියෝගයට එරෙහිව එකී අගවිනිසුරු තුමිය විසින් අධිකරණ නියෝගයක් ගත් අවස්ථාවේදී අනුගමනය කරන ලදී. දැන් සිටින කථානායක කිසි බියක් නැතිව පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් බවට පත් කරගෙන නීති විරෝධී යෝජනා ගෙනෙමින් මහජන මුදල් කාබාසිනියා කරමින් සිටින බව දිවංගත අනුර බණ්ඩාරනායක මහතා දන්නේ නම් තම වල තුලම ඇඹරී නැවතත් මියැදෙනු ඇත.

වික්‍රමසිංහගේ ගජ මිතුරු කැළ හෙවත් ලිච්ඡවී නඩය, ඔහුගේ වහළුන් සහ කුලී කාරයින්, වික්‍රමසිංහගේ ස්වාමින් වන තානාපති කාර්‍යාල සහ ඊනියා ජාත්‍යන්තර ප්‍රජාවත් මේ කිසිවකට අයිති නැති හිටපු සිංහලයිනුත් මොනවා කීවත් සිරිසේන විසින් මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම නිත්‍යානුකූල ය. ඉහත කිසිවෙක් එය අභියෝග කර අධිකරණය ඉදිරියට නොගියේ මේ නිසාය. ඒ අනුව ජඩසූරිය විසින් කළ යුතුව තිබුණේ විධිමත් ක්‍රමවේදය අනුව ආණ්ඩුව පිළිගෙන අදාළ කාරක සභා පිහිටුවා නියමිත පටිපාටිය අනුගමනය කර විශ්වාසභංගයකින් අගමැති රාජපක්‍ෂ ඉවත් කිරීමයි. මහින්ද රාජපක්‍ෂට බහුතරය නොමැති අතර එක්සත් ජනතා නිදහස් සංධානය වික්‍රමසිංහගේ ඊනියා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම හේතුවෙන් ඔහුටද බහුතරය තිබුණේ නැත.

පාර්ලිමේන්තු ආසන 105 හිමිව සිටි වික්‍රමසිංහගේ පක්‍ෂයටත්, ආසන 95 හිමිව සිටි රාජපක්‍ෂගේ පක්‍ෂයටත් බහුතරය නැතිනම් ඒ තත්වය යටතේ තවත් අලුත් ආණ්ඩුවක් පිහිටුවීම මිස විකල්පයක් ජනාධිපති සිරිසේන වෙත නැත. රට ඒ තැන වෙත තල්ලු කිරීමට නම් පාර්ලිමේන්තුව ක්‍රියාත්මකව පැවතිය යුතු අතර ඉහත කී කිසි කණ්ඩායමකට බහුතරය නොමැති බව පෙන්විය යුතුය. එක්සත් ජනතා නිදහස් සංධානය ඊනියා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම හේතුවෙන් වික්‍රමසිංහට බහුතරය නැති විය. ඒ හේතුවෙන් රාජපක්‍ෂ අගමැති ධුරයට පත් කෙරිණි. රාජපක්‍ෂ වෙත බහුතරය ඇති බව ජනාධිපති මතය නම් විපක්‍ෂය කළ යුතුව තිබුණේ නියමිත ක්‍රමවේදය අනුගමනය කරමින් ඉහත කී ක්‍රමය අනුව එය පෙන්වා දීමයි. එහෙත් බලලෝභය ඊට හරහට හිටියේය. වික්‍රමසිංහ එසේ ලෙහෙසියෙන් බලය අතහරින පුද්ගලයෙක් නොවේ. තමාගේ කීකරු ජඩසූරිය ඉත්තෙක් කරගෙන වික්‍රමසිංහ නැටූ නාඩගමින් පාර්ලිමේන්තුව අකර්මණ්‍ය විය. පාර්ලිමේන්තුව සකර්මණ්‍ය කිරීම මේ තත්වය යටතේ ජනාධිපති සතු ව්‍යවස්ථාපිත වගකීමකි. ඔහු විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හා අනුයාතව මහමැතිවරණයකින් වෙනත් පාර්ලිමේන්තුවක් තෝරා පත්කර ගැනීම ඒ සඳහා ඇති එකම ක්‍රමයයි.

වික්‍රමසිංහගේ ගජ මිතුරු කැළ ඉහත ක්‍රියා මාර්‍ගයට එරෙහිව අධිකරණය ඉදිරියට ගිය අතර අධිකරණය විසින් ජනාධිපති නියෝගය අත්හිටුවා තිබේ. එතැන් සිට වික්‍රමසිංහගේ ඒකාධිපති වියරුව විසින් දිනපතා පෙන්වා දෙමින් සිටින්නේ සිරිසේන විසින් එදා ගත් ක්‍රියා මාර්ගය නිවැරදි බවයි. කීකරු ජඩසූරිය, සුමන්තිරම්, අනුර කුමාර දිසානායක සහ විජිත හේරත්, ආදීන් විසින් මහජන මුදල් කාබාසිනියා කරමින් අපට පෙන්වා දෙන්නේ මෙය පාර්ලිමේන්තුවක් නොව කෝලම් මඩුවක් බවත්, මේ රටේ ක්‍රියාත්මක නිත්‍යානුකූල පාර්ලිමේන්තුවක් දැනට නැති බවත්, ස්වාධිපත්‍ය හිමි මහජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කිරීම පිණිස පාර්ලිමේන්තුව සක්‍රිය කිරීම ව්‍යවස්ථාවේ ආරක්‍ෂකයා වන ජනාධිපතිවරයාගේ වගකීමක් බවත්, ඒ අනුව නව පාර්ලිමේන්තුවක් තෝරා පත් කර ගැනීමේ අවස්ථාව රටේ පරමාධිපත්‍යය හිමි මහජනයා වෙත පවරා දීමට ඔහු ගත් තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල සහ නිවැරදි බවත්ය. මහජනතාව වික්‍රමසිංහගේ ඒකාධිපති වියරුව සහ ඔහුගේ ලිච්ඡවී ගැන්සි පාලනය අනුමත කරන්නේ නම් ඔහුට දැන් පවතින ආසන 105 ට වඩා වැඩියෙන් ජයග්‍රහණය කර දෙනු ඇත. ජනතාව ඊනියා දුෂණයෙන් - භීෂණයෙන් පිරුණු රාජපක්‍ෂ පාලනයකට කැමතිනම් ඔහුට දැනට පවතින ආසන 95 ට වඩා වැඩියෙන් ජයග්‍රහණය කරවනු ඇත.



වික්‍රමසිංහගේ විකල්පය

රාජපක්‍ෂට නැතත් වික්‍රමසිංහට තවත් විකල්පයක් තිබේ. ඒ තමාගේ හිතවත් දෙමළ රාජ්‍ය පක්‍ෂයයි. වික්‍රමසිංහ සතුව දැනට පවතින ආසන 100 ට ආසන්න ගණනට දෙමළ රාජ්‍ය පක්‍ෂයේ ආසන 14 ක් එක් වීනම් ඔහුට ලෙහෙසියෙන් බහුතරය පෙන්විය හැක. රටේ සැබෑ විපක්‍ෂයේ හඬ පාර්ලිමේන්තුව තුල යටපත් කිරීමේ වික්‍රමසිංහගේ ඒකාධිපති උවමනාව මත විපක්‍ෂ නායක ධුරය දෙමළ රාජ්‍ය පක්‍ෂයට ලබා දුන්නත් ඒ පක්‍ෂය ඇත්ත වශයෙන් සිටින්නේ වික්‍රමසිංහ සමගය. වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගයේදී ඒ ඊනියා විපක්‍ෂය සිටියේ වික්‍රමසිංහ සමගය. ලැජ්ජාවක් ඇත්නම් සම්පන්තන් ආණ්ඩුපක්‍ෂයේ අසුන් ගත යුතුව තිබුණේ එදාය. එහෙත් එක්සත් ජනතා නිදහස් සංධානය ඒ වන විටත් ආණ්ඩු පක්‍ෂයේ සිටියේය. දැන් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වී තිබේ. සම්පන්තන්ට දැන් බාධාවක් නැත. ඔහුට හෘදය ශාක්ෂියට බොරු නොකර දැන් වික්‍රමසිංහ සමග ආණ්ඩුපක්‍ෂයේ අසුන් ගත හැකිය. ඔහුට පමණක් නොව අවශ්‍ය වෙතොත් අනුර කුමාරට ද ඒ පැත්තට යා හැක. නමුත් වික්‍රමසිංහගේ කටු කන සුනඛයා පමණක් වන අනුරට එවැනි ආරාධනයක් ලැබෙනු නැත.



ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ වැදගත් කම

දැනට විභාගයේ පවතින පෙත්සම් ගැන විභාගයට තව සතියක් තිබේ. දෙසැම්බර හත් වැනිදා එහි අවසන් නියෝගය දෙත් ද නැතිනම් එය තව දිනකට කල් යා ද කීමට අපට නොහැක. එසේම මේ නඩු තීන්දුවට නොයෙක් පාර්ෂව වලින් කෙරෙන බලපෑම් ගැනද අසන්නට ලැබේ. ඇමති විමල් වීරවංශ ප්‍රකාශ කළ පරිදි සමහර විනිසුරුතුමන්ලාගේ දරුවන් සිටින්නේ පිටරටය. ඒ රටවල තානාපති කාර්යාල වලින් විනිසුරන්ට බලපෑම් කිරීමට උත්සාහ ගනිමින් තිබෙන බව ඔහු ගම්‍ය කරන්නට උත්සාහ කළ අදහසයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් බාහිර බලපෑම් වලට නතු විය යුතු නැත. හෘද ශාක්ෂියට එකඟව තමාගේ විනිශ්චය තම දරුවා වෙසෙන රටේ තානාපති කාර්‍යාලයේ මතය හා සමපාත වෙතොත් එකී විනිසුරුතුමන්ලා තම වෘත්තීය ගරුත්වය පිළිබඳ සැකයකට ඉඩ නොතබා මේ නඩුවෙන් ඉවත් විය යුතු බව අපගේ පෞද්ගලික අදහසයි. මා එතැන සිටියේ නම් කරන්නේ එයයි. රටේ වර්තමානය සහ අනාගතය ගැන මෙතරම් තීරණාත්මක නඩු තීන්දුවක් මීට පෙර දී ඇත්නම් ඒ 13 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් පමණක් බව අපගේ අදහසයි. පුරවැසියෙක් වශයෙන් පැත්තක් ගැනීම කළ හැකි වුවත් සමස්ථ ජාතියේ ඉරණම තීන්දු කෙරෙන තීරණාත්මක අවස්ථාවක සුළු හෝ සැකයකට ඉඩ තැබීම වගකිව යුතු තනතුරකට තරම් නොවේ.

ජනාධිපති සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල දැයි අපට හරි හැටි මතයක් නැත. මුලින් එය කළ නොහැකි බව සිතූවත් නැවත හැරී බලන කළ ජනාධිපති කළ දේ නිත්‍යානුකූල යැයි සිතේ. එසේ වුවත් අපගේ මතය මෙහිදී වැදගත් නොවන අතර අවසන් තීන්දුව ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය අතය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගත යුතු නිගමනය මේ යැයි සඳහන් කිරීමට අපට සුදුසුකමක්වත් අයිතිවාසිකමක්වත් නැත.



"ජනාධිපති ගේ ක්‍රියාව නිත්‍යානුකූලය"යි අපට සිතෙන්නේ ඇයි ?

ජනාධිපති ගේ ක්‍රියාව නිත්‍යානුකූලය යන නිගමනයට පැමිණීමට වික්‍රමසිංහගේ කූටෝපාය ගැන අවබෝධය අත්‍යාවශ්‍යය.

වික්‍රමසිංහ 19 වන සංශෝධනය ගෙනෙන්නේ ඊළඟ ජනාධිපතිවරණය ප්‍රබල ප්‍රතිවාදියෙකු නැති කර තනි අශ්වයෙකුගේ රේස් එකක් බවට පත් කර ගන්නා අභිප්‍රායෙනි. මහින්ද රාජපක්‍ෂට (දෙවරක් ජනාධිපති වීම), ගෝඨාභය සහ බැසිල් රාජපක්‍ෂට (ද්විත්ව පුරවැසි භාවය), පමණක් නොව එවැනි ජනප්‍රියතාවයක් නැති චූ කොල්ලෙක් වන නාමල් රාජපක්‍ෂට (වයස) ත් ඉදිරිපත් විය නොහැකි බාධක ඔහු ඉදිරිපත් කරයි. එපමණක් නොව ජනාධිපති සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හළ නොහැකි බවට බැලූ බැල්මට පෙනෙන වගන්ති (වසර 4 ½ සීමාව) ඊට එකතු කර තිබේ. එපමණක් නොව ව්‍යවස්ථා ගැටයක් ගසා අගමැති ඉවත් කිරීමටත් නොහැකි බව බැලූ බැල්මට පෙනෙන සේ එය නිමවා තිබේ.

මේ සියල්ල කරන්නේ ඊළඟ ජනාධිපතිවරණය තමන් දිනා ගැනීමට මිස වෙනකකට නොවේ. හොඳයි, එසේ බලතල ඇත්තෙන්ම ඉවත් කර ඇත්නම් ජනාධිපති වන්නේ කුමටද ? එයයි ප්‍රශ්නය. මට හිතෙන හැටියට 19 වන සංශෝධනයෙන් ජනාධිපති බලතල ඉවත් කර ඇති බව "බැලූ බැල්මට" පෙන්වන මුත් ඒවා ඇත්ත වශයෙන්ම ඉවත් කර නැත. වික්‍රමසිංහගේ අභිප්‍රාය වන්නට ඇත්තේ තමා ජනාධිපති වී මේ ව්‍යවස්ථා ගැට අනුව මොළේ කළඳක් නැති සිරිසේන විසින් භාවිතා නොකරන බලතල භාවිතා කිරීම විය නොහැකිද ? වික්‍රමසිංහයා ගැන සහසුද්දෙන් දන්නා අපට මේවා ඇස් උඩ ඉන්දාගෙන පුදුම වීමට කාරණා නොවේ.



වික්‍රමසිංහ අතපත්තු

මේ අනුව බැලූ කළ අපට සිතෙන්නේ සිරිසේන පඹයෙක්ව තමාට සර් කියාගෙන දිගටම සිටිනු ඇතැයි උපකල්පනය කළ වික්‍රමසිංහ විසින් ජනාධිපති බලතල අඩු කළ බව "බැලූ බැල්මට" පෙනෙන සේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ලියවන ලද බවත්, එමගින් වසර ගණනක් ගිණි පිඹ තැටි රත් කර දුන් සෝභිත උන්නාන්සේ ඇතුළු ඊනියා සිවල් සමාජකාරයින්ට සිරිසේනගේ පාලන සමය තුල ස්වයං මෝහනයකට සහ තාවකාලික ස්වයං වින්දනයකට ඉඩ හසර විවර කර දුන් බවත්, සිරිසේන ජනාධිපති වී සිටියදීම තමා අග්‍රාමාත්‍ය තනතුරේ සිටිමින් ඉදිරිපත් වන ජනාධිපතිවරණය හැකි වෙර යොදා ජය ගැනීමෙන් අනතුරුව තමාගේ පුරුදු ඒකාධිපති ගමන ආරම්භ කිරීමේ යටි අදහසින් සිටින්නට ඇති බවත්ය. සිරිසේන පඹයෙක් ලෙසින් දිගටම නොසිටින බවත්, ඊළඟ ජනාධිපතිවරණය ජය ගැනීම ඔහුගේද අභිප්‍රායක් වන බවත් වික්‍රමසිංහට මේ වන විට නොතේරී තිබෙන්නට ඉඩ නැත. අපට එය තේරුම් ගොස් දැන් වසරකට වඩා වැඩිය. මහින්ද රාජපක්‍ෂගේ පොහොට්ටු පක්‍ෂය පසුගිය පළාත් පාලන මැතිවරණයේ ලබා ගත් ප්‍රතිඵලය අනුව ජනාධිපතිවරණයක් ජය ගෙන රටේ ජනාධිපති වීම තමන් මුලින් තක්සේරු කළ පහසු නොවන බව ඔහුට පසක් වන්නට ඇත.

තමාගේ කටු කන කීකරු බලු කුක්කා වන අනුර කුමාර දිසානායක ලවා 20 වන සංශෝධණය නමින් තවත් තක්කඩි ලියවිල්ලක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මහජනතාව මගහැර ගොස් පාර්ලිමේන්තුව මාර්ගයෙන් තම ජනාධිපති සිහිනය සැබෑ කර ගැනීමටයි. එය සම්මත කර ගැනීමට තුනෙන් දෙක පමණක් නොව ජනමත විචාරණයක් ද අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළ හැකි බැවිණි ඔහු සිරිසේන ඝාතනය කර ජනාධිපති තනතුර හිස් කිරීමේ උපක්‍රමය වෙත විතැන් වන ලද්දේ.

ඉහත කරුණු සිතේ තබාගෙන ව්‍යවස්ථාව විමසුවොත්, වෙනත් වචනයෙන් කියතොත් සිතින් වික්‍රමසිංහව ජනාධිපති තනතුරේ තබා ව්‍යවස්ථාව විමසුවොත්, ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනණුකූල නොවන බව පහසුවෙන් නිගමණය කළ හැක. ඇත්ත වශයෙන් කියතොත් වික්‍රමසිංහ ජනාධිපති තනතුරේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීන්දුව ගත්තේ නම් තානාපති කාර්‍යාල වල නිලධාරීන්ටවත් ඊනියා සිවල් සමාජ කාරයින්ටවත් මැතිවරණ කොමිසමේ දෙමළ ජාතිවාදීන්ටවත් මෙසේ කිරිපණු ගාය සැදෙන්නේ නැත.

සිරිසේන ඝාතන කුමන්ත්‍රණය අතේ පත්තු වීම රටේ වාසනාවක් බවට පත් වන්නේ ඉහත කාරණාව හේතුවෙනි.



6 comments:

  1. ඔබේ ලියැවිලි අසාවෙන් කියවනවා දෙතිස් කතා. සමහරුන්ට දිරවන්නේ නැති උනත් ඒවායේ ඇති තොරතුරු පොහොසත් සහ සත්‍ය ඒවා!

    වෙලාවකට මට හිතෙනවා දහසකුත් එකක් වැඩ රාජකාරි මැද්දේ ඔබ නිතර මෙච්චර ලියන්නෙ හොහොමද කියලත්. නිතර ප්‍රතිචාර නොලිව්වත් හැමදාම ඔබේ අළුත් ලියවිලි බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. කියවන කෙනෙක් ඉඳහිට දමන ප්‍රතිචාරයක් අපට බොහෝ වටී. ඒ හොඳක් කීවත් නරකක් කීවත් අපට එය දිරි ගැන්වීමකි. කෙනෙක් මෙය කියවන බව දැන ගැනීම තවතවත් ලිවීමට අනුබලයකි.

      Delete
  2. දෙතිස් 2015- 2018 UNP ආණ්ඩුවේ දේශපාලන හිතවතුන්ට ලිට්රෝ ගෑස් සමාගමේ ගිණුමකින් මාසිකව ලබාදුන් දීමනාවන් සහ එම නම් ලැයිස්තුව අනාවරණය කර ගැනීමට හැකි විය.

    එම ලැයිස්තුවේ සඳහන් නම් 57 අතර පූජ්‍ය දඹර අමිල, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජස්ටින් ගලප්පත්ති, ජනක මල්ලිමාරච්චි සහ කොළඹට නුදුරු විහාරස්ථානයක අධිපති පදවිය දරන ප්‍රකට හිමි නමකගේ සොහොයුරියක්ද වෙති.

    ඒ අනුව ලිට්රෝ ගෑස් සමාගමේ ව්‍යාපාර සංවර්ධන විධායකවරුන් ලෙස 44 දෙනකුට සහ අමාත්‍යාංශ සම්බන්ධීකාරකවරුන් ලෙස අට දෙනකුටද සීමාසහිත ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා පෞද්ගලික සමාගමෙන් පස් දෙනකුටද මුදල් ගෙවා තිබේ.

    ඔවුන් සඳහා රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ විසිදහස දක්වා වන විවිධ මට්ටමේ දීමනාවන් මාසිකව ගෙවා තිබේ.

    මේ පිළිබඳව මුල් වරට හෙළි වූයේ පසුගියදා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයකදී ලිට්රෝ ගෑස් සමාගමේ රහසිගත ගිවිසුමකින් පූජ්‍ය දඹර අමිල හිමියන්ට මාසිකව රුපියල් 95,000ක මුදලක් ගෙවූ බවට කරුණු සැලවීමත් සමඟය.

    ඉන් පසුව සිදු කරන ලද ගවේෂණාත්මක විමර්ශනයකදී අනෙකුත් නම් සියල්ලද අනාවරණය කර ගැනීමට අපට හැකි විය. "සතපහක් වත් නැතිව මෙතනට ආවේ ගේම ගහන්න" කියාපු හොරගනයෝ බොරුකීම මතම අපාගත වනවා. මේගොල්ලන්ට පඩි දීලා ගෑස් සමාගම ගෑස් වැඩි කරලා ඒ මුදල් ඡනතාවගෙන් අරං, මේ වගේ කාලකන්ණි හොර ගනගේඩියෝ වහාම සාසනයෙන් නෙරපිය යුතුයි. කථාව කොහොමද? නමුත් මුගේ ක්‍රියාව කොහොමද? ඒක තමයි අනිත් අර මේල් නර්ස් සහ හොර සරත් මහාචාර්යවරයා. මුන් එක රොත්තට තියා ගිණි තියන්න ඕනේ අපිට පවු නැ.

    මේ ආචාර්ය,මහාචාර්ය කියාගන්නා හොරු පසුගිය කාලේ ගිරිය පුප්පා හන්දි හන්දි ගානේ කෑගැසුවේ, දැන් නේ අපිට තේරෙන්නේ. මුන්ගේ තරම අර සරත් කියන හොර මහාචාර්යවරයා කථා කරනකොට දැක්කද තියෙන සාන්ත දාන්ත කම? මුන් අඳින්නෙත් නනකොට බහුද්ද කොඩිය වෙන්න ඕනේ, එතරම්ම උප්සාසකයෝ. බෝ පැළ, දෙන්න ඕනේ දඩුවම් කාපු ඒවා වමාරන්න!

    ReplyDelete
    Replies
    1. අදහස් උපුටා දැක්වීමට ස්තූතියි.
      ---
      අඟර දඟර සාදුට දී ඇත්තේ පුන්‍යාධාරයක් ලු ! අනිත් ඈයොන්ට ?

      පසුගිය දිනෙක සිරිසේන සෘද්ධියෙන් පොළොන්නරුවේ ගෙන ගොස් වෙළේ සිටුවීමට අනුශාෂනා ප්‍රාතිහාර්‍ය පානා'යුරු බලා සිටි අපට මේ උන්නාන්සේට මෙතරම් ඇම්මක් ඇති වීම‍ට හේතු කවරේදැයි විමතියක් පහළ විය. එය උන්වහන්සේ අදහන කාල් මාක්ස් දර්ශණයට සිරිසේනගෙන් සිදු වූ හානියක් නිසා නොවන බවටනම් සැකයක් නොවීය.

      කෙසේ වුව, අපට ප්‍රශ්න කිහිපයක් වෙයි.
      - අඟර දඟර සාදු සිවුරක් ඇන්දත් බුදු දහම අදහන්නේ නැත. ඔහු අදහන්නේ මාක්ස් දහමයි - නැතිනම් එයින් පසුකාලීනව නිපන් දහමෙකි. ඒ දහමේ පුණ්‍ය සහ පුණ්‍යාධාර යන සංකල්ප තිබේද ?
      - ලිට්රෝ සමාගම මුන් වහන්සේට පුණ්‍යාධාර පිරිනැමුවේ මාක්ස් ධර්මය ප්‍රචාරය කරන්නද ? නැතිනම් බුදුදහම ප්‍රචාරය කරන්නේ යැයි වැරදි වැටහීමෙන් ද ?
      - එසේත් නැතිනම් ලිට්රෝ සමාගම තම වෙළෙඳ නාමය ප්‍රවර්ධනය උදෙසා දුන් දීමනාව අඟර දඟර සාදු පුණ්‍යාධාරයක් ලෙස සළකා පිළිගෙන වැළඳුවා ද?
      - ලංකාවේ සමස්ථ භික්ෂු ශාසනයට අපහාස කෙරෙමින් සිටින අතලොස්සක් චීවරධාරීන්ගේ ප්‍රතිමූර්තිය වන අඟර දඟර සාදු FCID විසින් නඩු දමා අර විශේෂ අධිකරණය විසින් නඩු අසා අනිසි ලෙස උපයා ගත් මහජනතාවගේ මුදල් නැවත අය කරගෙන මුන් හිරගෙදර දමන්නේ කවදාද ?

      95,000 ගණනේ අවුරුදු තුනක් ගින්දර කෑවේ නම් එය ලක්‍ෂ තිස් හතරකට වඩා මදක් වැඩි ගණනකි. මේ හොර ගණයා ඊනියා "පුණ්‍යාධාර" ලබා ගත්තේ ලිට්‍රෝ සමාගමෙන් පමණක් ද? නැතිනම් වෙනත් රාජ්‍ය ආයතන වලිනුත් ආධාර වැළඳුවාද යන්න සොයා බැලිය යුතුව තිබේ.

      එසේම මේ "ජාතියේ ලිපගිණි සැපයුම් කරු" ගෙන් ගින්දර කෑ ලැයිස්තුවේ සිටින්නේ මේ හොර ගණ ගෙඩියා පමණක් ද නොවේ. ආගම් ප්‍රචාරය කිරීම වෙනුවෙන් පුණ්‍යාධාර ලැබූ කතෝලික, ක්‍රිස්තියානි, බෞද්ධ, ඉස්ලාම් සහ හින්දු යන සියළුම ධර්ම ප්‍රචාරකයින් (ගෑස් සමාගම කියන අයුරු සන්නාම තානාපතිවරු) ගැන FCID විසින් සෙවිය යුතුය.

      Delete
  3. කතා කතු 2015 යහපාලන ජයග්‍රහණය පිටුපස අදිසි බලවේග රැසක් හිටියා. බල පෙරලියට අවශ්‍ය මුල්‍යමය හා මූලෝපාමය සහාය ආවේ පිටතින්. ඒ බලවේග යහපාලන රජයෙන් බලාපොරොත්තු වූ කාර්‍යභාරය ඉටුකිරීම සදහා යම් කිසි කාලයක් ඔවුන්ට ගැලපෙනම නායකයා වූ රනිල් වික්‍රමසිංහව බලයේ තබා ගන්නට අවශ්‍ය වුනා. ඒ නිසා තමයි 19 ව්‍යවස්ථා සංශෝදනය ගෙන ආවේ. පාර්ලිමේන්තුව වසර 4 1/2 විසුරවන්න බැහැ කියන 70(1) කොන්දේසිය රිංගවා ගත්තේ ඒ අනුවයි.

    නමුත් ඔවුන්ට යමක් වැරදුනා, 33 (2) වගන්තිය අනුව ජනාධිපත්වරයාට හැකියාව තිබුනා පාර්ලිමේන්තුව විසුරවන්න.

    අද උසාවියේ අභියෝගයට ලක්ව ඇත්තේ මින් කුමක්ද බලගතු යන්නයි.

    අද ජනතාව අසන ප්‍රශ්ණය මහින්ද රාජපක්ෂ ඉක්මන් වුනාද යන්නයි. කිසිසේත්ම නැහැ. ඔක්තෝබර් 26 අගමැති කම බාරගෙන ඔහු රට ලොකු අනතුරකින් ගලවා ගත්තා. ඒ නව ව්‍යවස්ථාවක් හරහා වසර ගනනාවක ජනාධිපතිවරණයත්, පාර්ලිමේන්තු මැතිවරනයත් යන දෙකම කල් දමා ගැනීමට තිබුන කපටි කුමන්ත්‍රණයක් පරාජය කිරීමයි. නව ව්‍යවස්ථාව සම්මත උනා නම් පාර්ලිමේන්තුව විසින් තෝරාගනු ලබන ජනාධිපතිවරයෙක් පත් වෙනවා.

    ඔක්තෝබර් 26 ට පෙර පාර්ලිමේන්තුවේ බල තුලනය තිබූ විදියට අනිවාර්යයෙන්ම පත්වන්නේ රනිල් වික්‍රමසිංහට අවශ්‍ය ජනාධිපතිවරයෙක්. ඊට පස්සේ ජනාදිපතිවරණයල් 2019 එන්නෙ නැහැ. අලුත් ව්‍යවස්ථාව සම්මත වූ පසු පාර්ලිමේන්තුවේ ආසන ගනන වෙනස් වෙනවා. ඒ සදහා සීමා නීර්න කමිටුවකින් වාර්ථාවක් දියයුතුයි අලුතින් පත් වු ජනාධිපතිවරයාට.

    නමුත් මේ සදහා කොපමන කාලයක් දෙන්වාද, එය යලිත් කල් දමන්වාද යන්න තීරණය කිරීමේ බලය තිබෙන්නේ වත්මන් පාර්ලිමේන්තුව විසින්ම පත් කරනු ලබන අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහගේ අන පිලිපදින්නෙක් වන දුර්වල ජනාධිපතිවරයෙකු විසිනුයි. ඒ කියන්නේ තව බොහෝ කලකට මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන්නේත් නැහැ.

    දැන් ඔබට තේරුම් යනවා ඇති තවත් බලා සිටියා නම් පහසුවෙන් චන්දයකට ගොස් දිනන්නට තිබුනා යන මතය වැරදි බව. අපේ ප්‍රජාතන්ත්‍රවාදී චන්ද අයිතිය උදුරාගන්නට ඔවුන් සැලසුම් කොට තිබු කපටි උපක්‍රමයයි මහින්ද රාජපක්ෂ අගමැතිකම බාරගැනීමෙන් වැලකුනේ.

    නමුත් ජනතාවට මහින්ද රාජපක්ෂවත් එදා ඒකාබද්ධ විපක්ෂයේ සිටි කන්ඩායමවත් මේ ආකාරයට බලයේ සිටින්නට අවශ්‍ය නැහැ. අවශ්‍ය මැතිවරණයකට යන්නයි.

    ස්ථාවර රජයක් පිහිටවීම සදහා නව පාලකයින් පත් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතාවට ලබා ගැනීමටයි අවශ්‍ය.

    ReplyDelete
    Replies
    1. අදහස් උපුටා දැක්වීමට ස්තූතියි.

      ජනාධිපති සිරිසේන විසින් ගත් මේ තීරණයේ වඩාත්ම සාධනීය ප්‍රතිඵලය වන්නේ වික්‍රමසිංහ-සුමන්තිරන් විසින් ස්වකිය වාලා වන AK දිසානායක ලවා ගෙන ආ 20 වන සංශෝධන යෝජනාව කුණු කූඩයට විසි වීමයි. එසේම ඔවුන්ගේ බටහිර ස්වාමීන් විසින් අප මත පටවන්නට හොඳටම ඉඩ තිබුණු බෙදුම්වාදී ව්‍යවස්ථාව පියවර කිහිපයකින් ආපස්සට හැරවීමට ද ඉහත ක්‍රියාමාර්ගය උපස්තම්භක විය.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !