Tuesday, December 11, 2018

නඩුත් හාමුදුරුවන්ගේ

පසුගිය ඔක්තෝබර මස 26 දින ජනාධිපති සිරිසේන විසින් එවකට අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ මහබැංකු කොල්ලයේ ප්‍රධාන සැළසුම් කරු ලෙස සැළකෙන වික්‍රමසිංහ වෙනුවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජපක්‍ෂ පත් කිරීමට විරුද්ධව වික්‍රමසිංහවත්, ඔහුගේ සහචර සුමන්තිරන්වත්, වික්‍රමසිංහ වෙනුවෙන් බුරා පනින AK දිසානායකවත් උසාවි ගියේ නැත. ඒ ජනාධිපති නියමය නිත්‍යානුකූල සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව ඉටු කෙරී ඇති බවට අප විසින් සාධක කොට දක්වන ලද්දේ එම කරුණයි.

පසුව අභියාචනාධිකරණය විසින් කෝ වොරන්තෝ ආඥාවක් නිකුත් කරන්නේද නැත්ද යන නිගමනයට පැමිණීමට පෙර අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම පිණිස පාදක කර ගන්නා ලද්දේ වික්‍රමසිංහගේ කීකරු ජඩසූරිය විසින් ක්‍රම-විරෝධීව බිරුම් හඬින් සම්මත කර ගන්නා ලද්දේ යැයි නිවේදනය කර ගන්නා ලද ඊනියා විශ්වාසභංගය යි. තත්වයේ වෙනසක් ඇති කරමින් ජනාධිපති නියමය අනුව අග්‍රාමාත්‍යවරයා පත් කිරීම අභියෝගයට ලක් කරමින් ද දැන් පෙස්සමක් ඉදිරිපත් කර තිබේ.

පුණ්‍යාධාර ලබන පැමිණිලිකරුවෙක්

ඒ නඩුව ඉදිරිපත් කර ඇත්තේ මාක්ස් ආගමේ පූජකවරයෙක් විසිනි. එතුමෝ ඊට අමතරව බොහෝ වගකීම් දරන බව උසාවි පරිශ්‍රයේ දී ජනමාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කරන්නට යෙදිණි.



ඒ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක්, අධිකරණ සංඝනායක ධුරයක් (අධිකරණ සංඝ නායක ධුර ඇත්තේ බුද්ධ සාශනයේ බැවින් එතුමා සග ගණට අයත් බව නිගමණය කෙරේ - එනම් නිකංම චීවරධාරියෙක් නොවේ), පුරාවිද්‍යා උපදේශක, බුද්ධ සාශන අමාත්‍යංශයේ උපදේශක, රෝයල් ඒසියෑටික් සෝසයිටි එකේ සාමාජිකයෙක් ආදී වශයෙනි. ආධුනික ජනමාධ්‍යවේදියෙක් බව නිගමනය කළ හැකි ප්‍රශ්න අසන භවතා ප්‍රශ්න අසන්නට දන්නේ නැති බැවින් දඹර අමිල තුමා තමන්ම ප්‍රශ්නය අසාගෙන තමන්ම උත්තරය දෙයි. ඒ උත්තරය සරළය - ලිට්‍රෝ සමාගමේ CSR සඳහා වෙන් කෙරෙන මුදලින් තමන්ගේ සමාජ සේවා කටයුතු සඳහා පුණ්‍යාධාරා ලබාගෙන ඇති බවත් තමන් උදර පොෂණය (හෝ හොරඹුවන් නඩත්තු කිරීම හෝ) උදෙසා කිසි මුදලක් භාවිතා කර නැති බවත් පිළිතුරේ සාරාංශය වෙයි.



මේ පිළිතුර මුදල් ගෙවූ ලැයිස්තුවේ ඉතිරි අයත් ජප කළොත් දැනට හෙළි වී ඇති කරුණු අනුව ලිට්‍රෝ සමාගම ලංකාවේ සමාජ සත්කාර උදෙසා වැඩිම මුදලක් වෙන් කරන රාජ්‍ය ආයතන බවට පත් වීමේ ඉඩකඩක් ඇත. එවිට ලිට්‍රෝ ගෑස් භාවිතා කර ළිපගිනි දල්වන අපත් ඇතුළු ශ්‍රී ලංකාවේ මහජනතාව පෞද්ගලික මුදලින් පිං කිරීම අවශ්‍යම නැත.

ගෑස් ළිප පත්තු කරන වාරයක් පාසා පිං සිදු වන බැවින් කසාද බැඳ හනිමෝන් ගොස් ගෙදර එන අභිනව ගෘහණියක් තම ස්වාමි පුරුෂයාට තමන් අතින් උයන මංගල බත් පිඩ (ලංකාවේ වර්තමාන යුවතියන් කෑම උයන්නේ කසාද බැන්දාට පසුය සමහරු ඒත් කඩෙන් කති) පිළිගැන්වීමත් පෙර සකල ක්ලේශයන් ප්‍රහීන කර නිවන් නොදකින්නේ පිං කිරීමෙන් පමණක් නිවන් නොදකින බැවින් මිස වික්ටර රත්නායක කෙසේ ගැයුවත් නිවන් දැකීමට පිං මදි වීමෙන් නම් නොවේ.


කෙසේ හෝ දඹර අමිල සාදු තෙම ජනාධිපති විසින් කළ අගමැති පත් කිරීමට විරුද්ධව උසාවි ගියේය. මේ පෙස්සම විභාගයට නොගෙනම ඉවත විසි වීමේ වැඩි ඉඩකඩක් පෙනුණත්, වික්‍රමසිංහ-සුමන්තිරන් කල්ලිය තමාගේ සටන අධිකරණ ඔස්සේ ඉදිරියට ගෙන යාමට අදිටන් කරගෙන ඇති බවට මෙය සාක්‍ෂියකි. කොහොමත් පරදින නඩුවකට තමන් ඉදිරිපත් නොවී ආවොත් ආවා ගියොත් ගියා න්‍යායෙන් පුණ්‍යාධාර වෙනුවෙන් මාරාන්තික උපවාස කිරීමට ප්‍රසිද්ධ එතරම් වැඩකුත් නැති පුද්ගලයෙක් ලවා ඒ නඩුව ඉදිරිපත් කරවීම නුවණක්කාර කමකි. මෙසේ දඩ-මීමා වන්නේත් එනයින් අධිකරණය ඉදිරියේත් සමාජය ඉදිරියේ දීත් හෑල්ලුවට ලක් වන්නේත් සිවුරක් දමා ගත් පුද්ගලයෙක් වීම ඇන්ග්ලිකන් රනිල්-මෙතෝදිස්ත සුමන්තිරන්-කතෝලික දිසානායක (මේ අනුමාන ප්‍රකාශයකි - මෙහිදී අවධාරණය කෙරෙන්නේ කවර නිකායෙක වුවත් කිතුණුවන් බවයි) ඇතුළු සිංහල-බෞද්ධ විරෝධීන්ට ලැබෙන අමතර වාසියකි.

බෞද්ධයා දුර්මුඛ කිරීම 2015 මැතිවරණයේදී මෙන්ම ඊළඟ ඡන්දයේ දීත් තීරණාත්මක සාධකයකි. ලිට්‍රෝ සමාගමෙන් ඊනියා පුණ්‍යාධාර ලබන දඹර අමිලත්, අරලිය ගහ මන්දිරයේ non-stop සාජ්ජයක් දමාගෙන සිටි (තාමත් සිටීදැයි දන්නේ නැත) අනෙක් සඟ ගණත් අවසන් වශයෙන් කරන්නේ ඊළඟ මැතිවරණය ඉලක්ක කරගෙන සිංහල බෞද්ධයා දුර්වල කිරීමයි.



දෙමළ රාජ්‍ය පක්‍ෂයේ විහිළු

ඔක්තෝබර 26 ට පෙර පැවති තත්වයට නැවත යන්නැයි දෙමළ රාජ්‍ය පක්‍ෂය ජනාධිපති වෙත දන්වා ඇත. දෙමළ රාජ්‍ය පක්‍ෂය කියන තත්වය යටතේ ආණ්ඩු පක්‍ෂයේ සිටියේ එක්සත් ජාතික පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සංධානය (සිරිසේන පිළ) ත්, මුස්ලිම් කොංග්‍රසයත්, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයත් ය. මුස්ලිම් කොංග්‍රසයේ සිටියේ එකම මන්ත්‍රීවරයෙකි. ඒ ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතාය. ගරු ඩග්ලස් දේවානන්ද මහතා ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය නියෝජනය කරයි. එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරු සාතිශය බහුතරයක් පාර්ලිමේන්තුවේ ස්‌වාධීන වී (මෙහි අරුත නිල වශයෙන් පාර්ලිමේන්තුව තුලදී එක්සත් ජනතා නිදහස් සංධානය සමග කණ්ඩායමක් වශයෙන් ක්‍රියාත්මක නොවන බවත් ඒ හේතු කොටගෙන සංධානය විසින් ඒ ඒ මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි නොකෙරෙන බවත්ය.) සිටියත් වික්‍රමසිංහගේ කීකරු ජඩසූරිය විසින් ඒ කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්‍ෂය ලෙස පිළිගැනෙන්නේ නැත.

ඒ කණ්ඩායමට අඩු වශයෙන් මන්ත්‍රී ධුර 52 ක් හිමිය. ලක්‍ෂ හතළිස් අටක මහජන ඡන්දයක් ඒ කණ්ඩායම විසින් නියෝජනය කෙරේ. ජඩසූරිය විසින් විපක්‍ෂය ලෙස පිළිගැනෙන දෙමළ රාජ්‍ය පක්‍ෂය සතු ආසන ගණන 16 ක් පමණි. විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකධුරය දරන ජනතා විමුක්ති පෙරමුණ සතු ආසන ගණන 6 කි. මේ දෙකම එකතු කළත් එමෙන් දෙගුණයක් මුළින් කී "ඒකාබද්ධ විපක්‍ෂය" නම් කණ්ඩායම විසින් නියෝජනය කරයි. වික්‍රමසිංහගේ ස්පිකර විසින් පාර්ලිමේන්තුවේ ඇති කළ මේ විකෘතිය ප්‍රජාතන්ත්‍රවාදී හරයන්ට පටහැණි යැයි විදෙස් තානාපතිවරු, එක්සත් ජාතීන්ගේ සංවිධානය, විදෙස් අරමුදල් මත ක්‍රියාත්මක වන නොරාජ්‍ය සංවිධාන හා වික්‍රමසිංහ ආණ්ඩුවේ පුණ්‍යාධාර මත ක්‍රියාත්මක වන ඊනියා සිවිල් සංවිධාන බුද්ධිමතුන් හඬ නැගුවාද, නැත.



ජනාධිපතිට දැන් ලියුම් යවන ඊනියා විපක්‍ෂය අගමැතිට එරෙහි විශ්වාසභංගය අවස්ථාවේ අගමැතිට පක්‍ෂව ඡන්දය දුන්නේ නැත්ද, දුන්නේමය. සම්පන්දන්ගේ විපක්‍ෂනායක ධුරය ගැළවිය යුතුව තිබුණේ එදාය. දැන් වික්‍රමසිංහ අගමැති කිරීමට ලියුම් යවනු වෙනුවට තමන්ට හිමි නැති විපක්‍ෂ නායක ධුරය හිස් කර වික්‍රමසිංහ සමග පරිවාසයකට රජයකට යන්නේ යැයි දිවුරුම් පෙස්සං අස්සං කර දේ නම් එය පිළි නොගෙන සිටීමට ජනාධිපතිට හැකියාවක් නැත. "225ම අස්සං කර දුන්නත් රාළහාමි නොදෙමිය එළුවා" යනු ගැලරියට කරන කතාවක් පමණෙකි.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන තානාපති කාර්‍යාල කිඹුල් කඳුළු හෙළුවාට ප්‍රජාතන්ත්‍රවාදයට හානි වී තිබුණේ ඔක්තෝබර 26 ට පෙර ය. ඔක්තෝබර 26 දින සිදු වූයේ එක්සත් ජනතා නිදහස් සංධානය ඊනියා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමයි. ඒ සමගම ආණ්ඩුවට බහුතරය අහිමි වූ අතර ආණ්ඩුවේ මුක්කු ලෙස ක්‍රියා කරමින් සිටි ඊනියා විපක්‍ෂයේ තනතුරු තර්ජනයට ලක් විය. මන්ත්‍රී ධුර 95 ක් ඇති එක්සත් ජනතා නිදහස් සංධානය සම්පූර්ණයෙන් විපක්‍ෂයේ සිටියදී දෙමළ රාජ්‍ය පක්‍ෂයටත් ජනතා විමුක්ති පෙරමුණටත් විපක්‍ෂයේ ප්‍රධාන තනතුරු තබාගෙන සිටීමේ හැකියාවක් නැත. එක්සත් ජනතා සංධානයේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයැවූ මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂනායක ධුරයට පත් වීමත් පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨම මන්ත්‍රීවරයෙක් වන දිනේෂ් ගුණවර්ධන විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට පත් කිරීමත් ඊළඟ තරකානුකූල පියවරයි. ඒ අතර රනිල් වික්‍රමසිංහගේ සුළුතර ආණ්ඩුව දිගටම ගෙන යෑම ගැන තීන්දුවක් පසුව ගත හැකිව තිබිණි.

එක්සත් ජාතික පෙරමුණෙන් ස්වාධීන වී සිටි අතුරලියේ රතන, විජේදාස රාජපක්‍ෂ ආදී මන්ත්‍රීවරු නැවත ලං කර ගැනීමත් ජනතා විමුක්ති පෙරමුණ සමග පරිවාසයකට යාමත් වික්‍රමසිංහට තිබූ එක විකල්පයකි. එවිට දෙමළ රාජ්‍ය පක්‍ෂයට තමන් බලාපොරොත්තු වන ලෙස විපක්‍ෂයේ සිටිය හැක. එක්සත් ජාතික පෙරමුණ දෙමළ රාජ්‍ය පක්‍ෂය සමග ජාතික ආණ්ඩුවක් තනා ගත්තේ නම් ජනතා විමුක්ති පෙරමුණට තමන් ප්‍රාර්ථනා කරන අයුරින් විපක්‍ෂයේ සිටිය හැක. අනෙක් විකල්පය වන්නේ එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එකතු කරගෙන ආණ්ඩුව කරගෙන යාමයි. එය අර ඊනියා විපක්‍ෂයේ පක්‍ෂ දෙකේම අභිලාශ හා සමපාත වුවත් ජනාධිපති සිරිසේන බිය වන්නට ඇත්තේද ඒ විකල්පය ගැනයි. මන්ද බලය ඇති පැත්තට සංක්‍රමණය වීම හා ඇමති කමක් ලබා ගැනීම සෑම මන්ත්‍රීවරයෙකුගේ ම ඉලක්කය වන බැවිණි. ඔක්තෝබර 26 වැනිදා විපක්‍ෂ නායක වීමට සිටි මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීම එහි ප්‍රතිඵලය යි.

දැනට R සම්පන්තන් විසින් සම්ප්‍රදාය විරෝධී ලෙස හෙබැවෙන විපක්‍ෂ නායක ධුරය (ඩි ෆැක්ටෝ) එහි නියම හිමිකරු (ඩි ජුරේ) වන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ වෙත පිරිනැමීම ඔක්තෝබර 26 ට පෙර තත්වයට ආපසු යෑම ගැන ලියුම් ලියන දෙමළ රාජ්‍ය පක්‍ෂයේ අභිලාශය ද?



තවත් ප්‍රශ්ණයක්,

වර්තමාන (යේ විසුරුවා ලීම අත්හිටුවා ඇති) පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා නම්, කථානායක සමග පක්‍ෂ නායක රැස්වීම් වලට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් සහභාගී වන්නේ කවුද ?



2 comments:

  1. නම අමිල. විකිණෙන්නේ අනූ පන්දාහට. (දැනට අනාවරණය වී ඇති පරිදි)
    තනතුර අධිකරණ සංඝ නායක. උසාවි වඩින්නේ කොස් ඇට බෑවිල්ලේ බළලා (බළල් වහන්සේ) හැටියට.

    නඩුකාර උන්නාන්සේලාටත් රට ජාතික මට්ටමේ අර්බුදයක කියල වගේ වගක් නෑ. නිවාඩු පාඩුවේ නඩු විභාග වලට දින නියම කරනවා. ලබන වසරට ප්‍රතිපාදන වෙන් කර නැති නිසා ජනවාරි ඉඳල නඩුකාරයන්ටත් පඩි ගෙවීම අත්හිටුවීමේ නියෝගයක් ඉල්ලලා නඩුවක් දාන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අමිල = 95,000.
      ---

      අමිල සිවුර භාවිත කරන්නේ ඇලඩින් පාපිස්ස භාවිතා කරන අයුරිණි. එනම් බාධා රහිතව ස්ථාන වලට ඇතුල් වීමටයි. උක්ත කාරණාව සම්බන්ධයෙන් දඹර අමිලත්, ගලබොඩඅත්තේ ඥානසාරත් තව බොහෝ ශ්‍රමණයනුත් අතර සැළකිය යුතු වෙනසක් නැත.
      ---

      නඩුකාර හාමුදුරුවන් නඩු වලට දින නියම කරන ආකාරය ගැන අපේ විවේචනයක් ඇත්ත වශයෙන්ම නැත. ඔවුන් කරන්නේ වැටුප් සහ වරප්‍රසාද ලැබෙන රක්ෂාවකි. රටේ පොදු යහපත උදෙසා තම වරප්‍රසාද කැප කිරීමට සහය දෙන වෘත්තියක් හෝ වෘත්තීය සමිතියක් හෝ මෙරට ඇත්ද, නැත්තේමය. අඩු තරමින් කිසි සාධාරණත්වයක් නැති වසර පහක් ධුරය දැරීම උදෙසා පමණක් පිරිනැමෙන මන්ත්‍රී විශ්‍රාම වැටුප් අත් හිටුවීමට යෝජනා කරන මන්ත්‍රී වරයෙක් වෙත්ද? නැත්තේමය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මෙතරම් ප්‍රශ්නයකට තුඩු දීමට හේතුවත් ඒ විසුරුවා හැරීම හේතුවෙන් විශ්‍රාම වැටුප් අහිමි වන 70 පමණ වන පිරිසගේ අදෝනාව නොවන්නේද?

      මේ තත්වය යටතේ නඩුකාරයින් තම දරු මල්ලන් සමග කාලය ගත කළ හැකි මේ නිවාඩු කාලය අනුන්ගේ නඩු-හබ ආරවුල් වෙනුවෙන් උසාවියේ රස්තියාදු විය යුතු නැත. විශේෂයෙන් ඒ කාලය ගත කිරීමට සැළසුම් කර තිබුණේ විදේශ රටක නම් ඒ සංචාරය අවලංගු කිරීමේ ආවස්ථික පිරිවැය දරන්නේ කවුද ?

      දොස්තරවරුන්ට නොමිළේ විදෙස් සංචාර ලැබෙන අයුරින් නඩුකාර හාමුදුරුවන්ටත් ලැබෙන සංචාර තිබේදැයි දන්නේ නැත. එහෙත් සමුළු, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදී නානාප්‍රකාර නම් වලින් කා බී ජොලි කර ආපසු පැමිණීමේ ක්‍රමවේදයක් නැතිනම් එයයි පුදුමය.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !