අද දින වන විට අප විසින් ලියෙමින් තිබූ ලිපියේ මාතෘකාව "වික්‍රමසිංහගේ ගම්පෙරළිය කලියුගය හා යුගාන්තය" විය. ඒ ජනාධිපති සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ දිනට පෙර ලිවීම ආරම්භ කළ එකකි. ඒ තිබියේවා, මේ වෙන එකකි.
සිරිසේන තබා J.R. ජයවර්ධන ආවත් තක්කඩි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ හැකියාවක් ඇතැයි අප සිතුවේ නැත.
සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරියා පමණක් නොව ඔහු බලයට ගෙනා හංස සංධානය ඊට එරෙහිව අධිකරණය හමුවට ගියේය - ගියා පමණක් නොව ජනාධිපති සිරිසේන විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ද ලබා ගත්තේය.
බැලූ බැල්මට සිරිසේන ලැබූ අන්ත පරාජයකි. සිරිසේනටත් වඩා මහින්ද රාජපක්‍ෂ විසින් ලැබූ පරාජයකි.
ශ්‍රී ලංකාවේ නිල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, එනම් සිංහල පිටපත, සම්පූර්ණයෙන් කියවා තිබුණත් අපට මග හැරුණු ඉතා වැදගත් කරුණක් නීතිපති වරයා විසින් එහිදී ගෙනහැර දක්වන්නට යෙදුණු බව පසුව දැන ගන්නට ලැබිණි.
ඒ පාර්ලිමේන්තුව වාරාවසාන කර ඇති අවස්ථාවක තුනෙන් දෙකේ ඡන්දයකින් ගෙනෙන යෝජනා ස්ථිරත්වයක් අභව්‍ය බැවින් ඒ අවශ්‍යතාව සම්පූර්ණ නොකරම ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හළ හැකි බවයි.
ඒ ගැන පැහැදිළි විස්තරයක් පහත සළරූ සටහනේ මුල් භාගයේ අඩංගුය.
ඒ තර්කය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගැනේ යැයි අපට ස්ථිරවම කිව නොහැක. මේ ගැන වැඩිදුර විභාගය නුදුරු දින වල පවත්වා දෙසැම්බර මුල් සතියේ අවසන් තීන්දුව දීමට නියමිතය.
ජනාධිපති සිරිසේන විසින් හෙට පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කළ යුතුව තිබේ. එය සාම්ප්‍රදායිකව කළ යුතු / හැකි අතර අධිකරණයේ අවසන් තීන්දුව ලැබෙන තෙක් මේ අස්ථාවරත්වය මෙසේම පවතිනු ඇත. රනිල් වික්‍රමසිංහට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීම පලක් නැති ක්‍රියාවක් වන අතරම මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයක් ගෙනැවිත් ඔහු ඉවත් කෙරෙන තෙක් රාජපක්‍ෂ විසින් ඒ තනතුර දැරෙනු ඇත.
මේ අතර ජනාධිපති සිරිසේන විසින් කල් නොයවා කළ යුතු දෙයක් තිබේ. ඒ රනිල් වික්‍රමසිංහගේ ඒකාධිපති බල වියරුව වෙනුවෙන්, අසාර්ථක බව ක්‍රියාවෙන් ඔප්පු කර ඇති ජයම්පති-සුමන්තිරන් ප්‍රමුඛ න්‍යායාචාර්යවරුන් විසින් කෙටුම්පත් කරනු ලදුව, ජනමත විචාරණයකට ලක් කළ යුතුයැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නිගමනයට අනුගත නොවී, සිරිසේන විසින් පක්‍ෂ ව්‍යවස්ථාවට පටහැණිව කුමන්ත්‍රණකාරීව ලබා ගත් පක්‍ෂ නායක තනතුරේ බලතල භාවිතා කර පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ අත අඹරවා, කූට ලෙස සම්මත කර ගත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර දැමීම උදෙසා ජනතාව හමුවට යාමයි.
මේ සටහන මීට මාස කීපයකට පෙර අප විසින් ලියවෙන්නේ ඒ වෙනුවෙනි. මක් නිසාද යත් වික්‍රමසිංහගේ තක්කඩි රැල විසින්ම පුන පුනා කියැවෙන පරිදි ව්‍යවස්ථාව සියල්ලන්ට ඉහළින් පවතින බැවිණි.
ව්‍යවස්ථාවට සුජාත භාවය ලැබෙන්නේ ජනතාවගෙනි.
තක්කඩි 19 වන සංශෝධනය ගෙන එන අවස්ථාවේ ජනාධිපති බලතල ජනතා පරමාධිපත්‍යයේ කොටසක් යැයි නිගමනය කර පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ජනාධිපති කෙරෙන් ඉවත් කෙරේනම් එය ජනමත විචාරණයකට යොමු කළ යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් දී ඇත්නම්, ජනමත විචාරණයකට ලක් නොකර 19 සම්මත කෙරිණි නම් එක්කෝ ඒ බලය ජනාධිපති කෙරෙන් ඉවත් කෙරී නැත. එසේ නැතිනම් අද හුරේ දමන මේ අයියලා විසින් එදා ශ්‍රේෂ්ඨාධිකරණය සහ මහජනයා රවටා ඇත.
ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වර්ථමාන ව්‍යවස්ථාවට පටහැණි බව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය වන්නේ නම් ජනාධිපති විසින් ඒ තීන්දුවට ගරු කළ යුත්තේය. එසේම 19 වන සංශෝධනය වෙනුවෙන් ජනමත විචාරණයක් අවශ්‍ය බවට වන පැරණි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවටද ගරු කළ යුත්තේය. ඒ අනුව ජනාධිපති විසින් කළ යුත්තේ 19 අහෝසි කිරීම පිණිස ජනමත විචාරණයක් කැඳවීමයි.
එහි ආනුෂාංගික ප්‍රතිඵල මින් පෙර ලිපියේ විස්තර කෙරී ඇති බැවින් නැවත කීම අත්‍යවශ්‍ය නොවේ.
No comments:
New comments are not allowed.