Friday, February 14, 2020

වැලන්ටෛන්ලා බෞතිස්ම කිරීම හෙවත් උන්ගේ "අපේ හතේ පොත"

ඉඳහිට හෝ පල වන දෙතිස් කතා කියවන පාඨක සමූහයාට මැතිවරණයක් ලැබෙන නව වසරක් මුලින්ම පතමි. මේ කතා කරන්නට යන්නේ වැලන්ටෛන් දිනය ගැන නොවේ. මේ කියන්නට යන්නේ කිව යුතු නැතිව තිබුණු කතාවකි. "හතේ අපේ පොත" පහුගිය ආණ්ඩුව ගානේ හතේ ළමයින්ට දුන් පොතකි. අපේ සල්ලි (ඔව්, බදු සල්ලි) මේවාට වැය වී නැතුවා විය හැක. එබැවින් "නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ" යන පදනමින් මෙය කතිකා නොකළ යුතු මාතෘකාවක් බවයි අප සිතුවේ.

ආණ්ඩු කරන්නේ අප කියන දේ ම නොවේ, එසේම අප කිහිප දෙනෙක් විරුද්ධ වූවැයි කියා ආණ්ඩුවක් තමන් කරන දේ නවතන්නේ ද නැත. හැරත් ඔය කියන "ලිංගික අධ්‍යාපනය" ළමයි කොහොම හරි කවදා හරි ඉගෙන ගනිති. ඒවා වැළැක්විය හැකි / යුතු දේ ද නොවේ. පසුගිය ආණ්ඩුවේ විරුද්ධ විය යුතු මීට වඩා බරපතල ගැටළු දහසක් තිබියදී මේ පොතක් ගැන වද වීම අවශ්‍යද? ඒ අප සිතූ සැටියි.

එක්තරා ස්වාමින් වහන්සේ නමක් ආණ්ඩු මාරුවෙන් පසු ඒ ගැන හඬක් නගා facebook හි රැල්ලක් ඇති වීමෙන් පසුත් අප සිතුවේ මේ අනවශ්‍ය කලබැගෑනියක් බවයි. එහෙත් අප වැරදි බව පසක් කළේ පහත සංවාදයයි.



Wednesday, December 18, 2019

බැරිස්ටර් ප්‍රශ්නය හෙවත් සුවිස් කෝළම

අතිශය ගාම්භීර සිද්ධියක් අති සරල ආකාරයෙන් විග්‍රහ කිරීමට හිටපු අමාත්‍ය පාඨලී රණවක මහතා යොදා ගත් වචනය "සරල රිය අනතුරක්" යන්නයි. මේ හා සමාන, නැත්නම් ඊටත් වඩා සරල අයුරින් ජනමාධ්‍ය සහ ඒවාට අරක් ගත් වේදීන් විසින් විග්‍රහ කෙරෙන, එසේ විග්‍රහ කිරීම විසින් සාමාන්‍ය ජනයාගෙන් වියෝ කොට තබන ගැඹුරු සිද්ධියකි සුවිස් එම්බසි ප්‍රශ්නය.

උමංදාව, එසේ නැතිනම් උම්මග්ග ජාතකය කියවා ඇති අය හොඳින් දන්නා දෙයකි ළාබාල මහෞෂධ පණ්ඩිතයන් ගැන ආරංචියෙන් දැන ගන්නා වේදේහ රජු විසින් ඔහු පරික්‍ෂා කිරීම පිණිස ඔහු වෙතට එවන ප්‍රශ්න. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් වහාම සුවිස් එම්බසිය විසින් ඔහු වෙත අත හරින ලද එවැනිම තෙරවිල්ලකි, ගානියා බැරිස්ටර් ප්‍රශ්නය.

අපට පෙනෙන අයුරින් නම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඒ ප්‍රශ්නයෙන් යන්තම් ගොඩ ගියත් ඉතිරි වසර කිහිපය ඉතාම ඉවසිල්ලෙන් සහ බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවයි ඉගෙන ගත යුතු පාඩම. තේරවිල්ල විසඳූ බව සැබෑ මුත් ගානියා බැරිස්ටර ප්‍රශ්නය තවම එහෙමම ය. එය නුදුරු අනාගතයේ දරුණු පසු කම්පන නිසැකවම ඇති කරනු ඇත.

සුවිස් ආණ්ඩුව විසින් තකහනියේ නිකුත් කරන ලද තක්කඩි නිවේදනය ළඟ එන පෙරහැර ගැන දන්වන කස හඬයි.



Wednesday, November 27, 2019

මහමැතිවරණය සහ රටේ අනාගතය

අපේ ගෞරවයට සදා ලක් වන ගරු ඉකොනොමැට්ටා තුමා තමන්ගේ බොජුන්හලේ මීට දින කීපයකට පෙර මෙවැන්නක් අලවා දමා තිබුණා.
රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ඔහේ ඇදගෙන ගියත් අතදිගහැර වැඩ කළ හැකි දේශපාලන බලයක් ඒ ආණ්ඩුවට ආරම්භයේදීවත් තිබුණේ නැහැ.
අලුත් ආණ්ඩුවටත් මහ මැතිවරණය වන තුරු තරමක ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එහෙත්, මහ මැතිවරණයෙන් පසුව පරණ ආණ්ඩුවට මෙන් මේ ආණ්ඩුවට ආණ්ඩුව පවත්වා ගැනීම ගැන හිත හිතා ඉන්න අවශ්‍ය වෙන එකක් නැහැ.
මෙයින් පළමු වැනි වාක්‍යය පමණක් ගෙන අප ඔහුට ප්‍රතිචාරයක් දැමුවත් සදා ලෝක පූජිත ඉකොනොමැට්ටා තුමාට එය ඉතා ඕනෑ කමින් මගහැරී තිබුණා. යට දැක්වෙන්නේ අප ඔහුට දැක්වූ ප්‍රතිචාරය.
රනිල් වික්‍රමසිංහ කෛරාටික ඒකාධිපතියෙකි. රජයේ සියළුම තනතුරු තම බලයට නතු කර ගත් රනිල් වික්‍රමසිංහ වැනි බූවල්ලෙක් අප උපන් තේකට දැක නැත. ඔහු ආණ්ඩු පක්‍ෂ සේම විපක්‍ෂයත් තම පාලනය යටතට ගත්තෙකි. සුමන්තිරන් (විපක්‍ෂ නායක සම්පන්තන්) සහ අකුදි යනු වික්‍රමසිංහගේ බල පරාසයට පිටත සිටියවුන් නොවේ. ඔවුන් දඩයමේ ගියේ එකටයි. එපමණක් නොව ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මගින් නීතියට ඇතුල් කළ 19 වන සංශෝධනයෙන් පිහිටුවා ගත් ඊනියා සුවාධින කොමිසන් වලට පත් කර සිටින තමාගේ (හෝ තම නිත්‍යානුකූල භාරියාවගේ හෝ) හිතවතුන් හරහා රටේ පාලන බලයේ වැඩි පංගුවක් ඔහු තවමත් අත් පත් කරගෙන සිටින බව ඔබ අමතක කරන්නේ ඇයි?

ඒ අතින් රාජපක්‍ෂලා වෙස්සන්තරලා ය. පසුගිය ඔක්තෝබර විප්ලවයෙන් පසු විපක්‍ෂ නායක ධුරය ලබා ගත්තත් ව්‍යවස්ථා සභාවේ තම නියෝජනය වෙනුවෙන් සටන් කිරීමට ඔවුන් උනන්දු වූයේ නැත.

එවැනි වටාපිටාවක සිටිමින් "අතදිගහැර වැඩ කළ හැකි දේශපාලන බලයක් ඒ ආණ්ඩුවට ආරම්භයේදීවත් තිබුණේ නැහැ" යි පට්ටපල් කෙබර ඇද බෑමෙන් ඔබ ඔබේ පක්‍ෂයට ලබා දෙන්නට උත්සාහ කරන උත්තේජනය කුමක්දැයි පැහැදිළි නෑ.
ඉකොනොමට්ටා තුමාට මගහැරී ගිය අපගේ ප්‍රතිචාරය ළඟ එක්තරා සුනඛයෙක් පහරා තිබෙණු දුටුවත්, දැමූ ප්‍රතිචාරය දැන් අපට නොව ඉකොනොමැට්ටා තුමාටම අයත් බැවින් ඒ ගැන තවත් වද වීමට ගියේ නැත්තේ තමන්ගේ දේවාලය පවිත්‍රව තබා ගැනීමට කපුවාට නැති උවමනාවක් පිට අයට හෙවත් ආතුරයන්ට තිබීමේ යුතුකමක් නැති බැවින්. හැරත් සුනඛයාත් කපුවාගේම නම් ?

බල්ලාට බල්ලාගේ අඩවියේ නිදැල්ලේ ඉන්නට ඉඩ හැර ඉකොනොමැට්ටා තුමාගේ කතාවේ ඊළඟ කොටසට සැපත් වෙමු.



Wednesday, November 20, 2019

මා ගෝඨාභයට ඡන්දය දුන්නේ ඇයි ?

අභිනව ජනාධිපතිතුමා එම ධුරයේ ප්‍රතිඥා දී වැඩ බාර ගැනීමටත් ප්‍රථම ජනාධිපති උපදේශකයන් වැඩ බාරගෙන තිබෙනු දක්නට ලැබේ.

බුකිය පුරාත් පොදුවේ අන්තර්ජාලය පුරාමත් දක්නට ලැබෙන්නේ ඒ මහතාට දෙන ඔවදන් ය. රාජපක්‍ෂ මහතා මේවා නොබලන්නේ නම් යහපති. මක් නිසාද යත්, කළ යුතු සියල්ල ස්වයංජාත උපදේශකයන් විසින් මේ වන විටත් කියා දී ඇති බැවින් කොතැනින් පටන් ගන්නේද යන්න සිතා ගත නොහැකිව (ඇයි, තමන් කී දේ මුලින් නොකළැයි කියා කෙනෙක් උරණ විය හැකි බැවින්...) ලොවෙත් නැති රෝගයක් සෑදී අසරණ විය හැකි බැවිණි.


"මා ගෝඨාභයට ඡන්දය දුන්නේ ඇයි ?" නොහොත් කළ යුතු වැඩ හා නොකළ යුතු වැඩ


වැඩ බාර ගැනීම: කළ යුතු වැඩ හා නොකළ යුතු වැඩ වශයෙන් වර්ග දෙකකි
රටේ ජනාධිපති පත් වන්නේ මුලු රටේම මහජනතාවගේ බහුතර ඡන්දයෙනි. මෙතෙක් පත් වූ සියළුම ජනාධිපතිවරුන් වලංගු මුලු ඡන්ද සංඛ්‍යාවෙන් 50% ඉක්මවා ලබාගෙන ඇත. එහි අරුත, අනෙක් සියලුම අපේක්‍ෂකයන්ගේ මනාප එකතු කළත් තේරී පත් වූ ජනාධිපතිගේ මනාප සංඛ්‍යාව ඉක්මවිය නොහැකි බවයි. ඒ තත්වය යටතේ එක ඡන්දයක් යනු මහා දෙයක් නොවේ. ඔබත් මමත්, කොතරම් වචන වියදම් කළත්, කොතරම් සිත රවටා ගත්තත්, ජනාධිපති ඇසින් බැලූ කල එක ඡන්දයකි - ඊට වඩා දෙයක් නැත.

මෙහිදී පැහැදිළිව තේරුම් ගත යුතු වන්නේ තේරී පත් වූ ජනාධිපති කෙනෙකු පොදුවේ කටයුතු කිරීමේදී පුද්ගල විශේෂතා සැළකිල්ලට ගත නොහැකි බවයි. ඔබ ඡන්දය දුන්නේ කාටද යන්න ඡන්ද දිනයෙන් පසු වැදගත් නැත. ජනාධිපති රාජපක්‍ෂ මහතා විසින් තමන්ට විශේෂ පක්‍ෂපාතිත්වය ප්‍රකාශ කළ සිංහල ජනතාවට එදා පූජනීය මහ සෑ මළුවේදී විශේෂ ස්තූතියක් පුද කළ බව ඔබත් මාත් දනිමු. එතැනින් එහා යමක් බලාපොරොත්තු විය යුතු නැත. ඔහු දැන් සිංහල ජනතාවගේ පමණක් ජනාධිපති නොවේ. ඔහු සිංහල දෙමළ මුස්ලිම් සියළු ජනතාවගේ ජනාධිපති ය.

එසේම සැම විට සිහියට ගත යුතු කරුණ නම්, සිංහල ජනතාව 100% රාජපක්‍ෂ මහතාට පක්‍ෂව ඡන්දය නොදුන් බවත්, අසිංහල ජනතාව 100% ඔහුට විරුද්ධව ඡන්දය නොදුන් බවත්ය. එසේම ඔහුට පක්‍ෂ වූ සියල්ලන්ම දේශප්‍රේමින් ද, ඔහුට පක්‍ෂ නොවූ සියල්ලන් දේශද්‍රෝහීන් ද නොවේ. එසේම, ඒ මහතා විසින් මීළඟට පැවැත්වෙන ජනාධිපතිවරණයකදී උතුරු සහ නැගෙනහිර පළාත් වලත් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන නැවත ජනාධිපති ධුරයට පත් වීමේ දිගු කාලීන මහා සැළැස්ම දැන්ම සකස් කර ක්‍රියාත්මක කළ යුතුව තිබේ. නැතිනම් තව වසර පහකින් නැවත බෙදුම්වාදීන් බලයට පැමිණියහොත් සිංහලයා පත් වන්නේ ඊයේ සිටියාට වඩා අසීරුවකටය. රාජපක්‍ෂ මහතා පත්ව සිටින තත්වය ඔහුට පක්‍ෂපාතිත්වය ප්‍රකාශ කළ මහජනතාව සාවධානව තේරුම් ගනු ඇතැයි දෙතිස් කථාව අපේක්‍ෂා කරයි.


Monday, November 18, 2019

සජිත් ප්‍රේමදාස සහ ආර්‍යාව

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයෙන් පරාජය ලැබීය. එසේම ඉන් අනතුරුව ඔහු එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක තනතුරෙන් ද ඉල්ලා අස් විය. දැන් ඔහු නිදහස් මිනිසෙකි.

En route to Colombo after casting my vote at Hambantota
මේ මැතිවරණ ව්‍යාපාරය තුල සජිත් වෙනුවෙන් වක්‍රව හෝ සහය දැක්වීමට අපට අවශ්‍යතාවයක් නොතිබූ මුත්, ඔහුට විරුද්ධව ව්‍යාපාරයක් ගෙන යාමට අවශ්‍යතාවයක් ද නොවීය. කෙටියෙන් කියතොත් ගුණකුත් නැති නුගුණකුත් කීමට නැති පතෝල දේශපාලනඥයෙක් වන ඔහු ජනාධිපති වීමට අප විරුද්ධ වූයේ ඔහු වටා සිටින සහ ඔහු නියෝජනය කඳවුරේ සිංහල විරෝධී ආස්ථානය හේතුවෙනි. සජිත් ජනාධිපති වී නම් සිරිසේන v1.0 නැවත ආරම්භ වීමට ඉඩ තිබිණි.

එක්සත් ජාතික පක්‍ෂයෙන් හෝ වෙනත් පක්‍ෂයකින් හෝ වන සජිත් ප්‍රේමදාසගේ ඉදිරි දේශපාලන ගමනට දෙතිස් කතාවේ සුභ පැතුම් !


Wednesday, November 13, 2019

විජේවීර ඝාතකයා හෙළි වේ ! තාජුදින්ටත් සාධාරණයක් ?

ජනාධිපතිවරණ කටේ අපේක්ෂාවේ අපේක්ෂකයාගේ ලොමු ඩැහැ ගැන්වෙන හෙළිදරව්ව...


ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා අතිශය කෘර ආකාරයෙන් මරා දැමීම තමන් හා ජනතා විමුක්ති පෙරමුණ විසින් කළ බව පසුගිය දා අනුර කුමාර දිසානායක සහෝදරයා නායක තුමා විසින් හෙළි කරන්නට යෙදින. ඔහුට අනුව තාජුදීන් ඝාතනය සුවපති රාජිතගේ කර්තව්‍යයකි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය - ඔබ විශ්වාස කළත් නොකළත් - අහිම්සා වික්‍රමතුංගගේ ගිණුමට බැර වෙයි.

කුමාර දිසානායක සහෝදරයා පෙන්වා දෙන පරිදි, අර පුංචි එකා, එනම් චාල්ස් ඇන්තනි, මරා දමන ලද්දේ සම්පන්තන් හිටපු විපක්‍ෂනායක තුමා ලවා යුරෝපයේ වෙසෙන දෙමළ සරණාගතයන් (ඉකොනොමැට්ටා තුමාට අනුව දෙමළ ඩයස්පොරවල්) විසිනි. පුංචි එකාගේ පියා මරා දමන ලද්දේ අප මෙතෙක් සිතා සිටි අයුරින් රාජපක්‍ෂලාවත් ෆොන්සේකාවත් නොවන අතර එය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කෙළින්ම LTTE සංවිධානයයේ නායකයාටම බාර දුන් කොන්ත්‍රාතුවකි.



අප කීවාට පමණක් විශ්වාස නොකරන්න. ඔහුගේ මුඛයෙන්ම අසන්න.


Wednesday, November 6, 2019

ජාතික ආරක්‍ෂාව සහ සනීපාරක්‍ෂාව

තව දින දහයෙකින් මෙරට නව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ වරණය පැවැත්වෙයි. මෙවර ජනාධිපතිවරණය ජාතික ආරක්‍ෂාව සහ සනීපාරක්‍ෂාව අතර සටනෙකි.

අපේක්‍ෂකයන් හතලිස් ගණනක් ඇප මුදල් තැන්පත් කළත් ඉන් තිස් ගණනක් නාම යෝජනා බාර දුන්නත් තරඟය ඇත්තේ දෙදෙනෙකු අතර පමණි. අනෙක් තැනැත්තෝ එක්කෝ තමාගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව අරමුණක් වෙනුවෙන් ඉදිරිපත් වූවෝ ය. නැතිනම් ව්‍යාපාරික උවමනාවන් වෙනුවෙන් / පෞද්ගලික කැපී පෙනීමේ උවමනාවන් වෙනුවෙන් ජනතා මුදල් කාබාසිනියා කිරීමට ඉදිරිපත් වූවෝ ය. එසේත් නැතිනම් ජයග්‍රහණයට වැඩි සම්භාවිතාවක් ඇති අපේක්‍ෂකයා වන ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහි මඩ ව්‍යාපාරය ශක්තිමත් කිරීම හෝ ඒ මහතාගේ ජයග්‍රහණය දිනක් දෙකක් පමා කිරීම හෝ වෙනුවෙන් කඩේ යන්නෝය. මෙකී හාදයන් තිස් ගණන ගැන කතා කිරීමේ තේරුමක් නැත.

ජනාධිපතිවරණ සඳහා තම ඉදිරිපත් වීම මුලින්ම ප්‍රකාශයට පත් කළ රාජපක්‍ෂ මහතා ඉතා ක්‍රමානුකූලව මුල සිට තම ප්‍රචාරක ව්‍යාපාරය කරගෙන යන බව පෙනිණ. එහෙත් ඔහුට ඉතාම ලැදි පාක්‍ෂිකයන්ටවත් හුරේ දැමීමට - නැවත නැවත කතා කිරීමට - ප්‍රතිවාදීන් දුර්මුඛ කිරීමට සමත් ආකර්ශනීය පොරොන්දුවක් ඔහු වෙතින් ඉදිරිපත් නොවීය. ගෝඨාභය රාජපක්‍ෂ මහතා අපේක්‍ෂකත්වය කරා තල්ලු කෙරෙන්නේ ජනතා ඉල්ලීම මතිනි. ඉනුත් සිංහල බෞද්ධ බලවේග ඉදිරියෙන් සිට දුන් තල්ලුව හේතු කොටගෙන ඔහුට අපේක්‍ෂකත්වය නොදී සිටීමට නොහැකි තත්වයක් උදා විය. ගෝඨාභය ඉල්ලූ ජනතාවගේ ප්‍රමුඛතාව ජාතික ආරක්‍ෂාව වූ අතර ඔහු වටා පසුව ඒකරාශී වූ අනෙක් ජනතා සංවිධාන වල ප්‍රමුඛතාව මහජන ආරක්‍ෂාව යැයි සිතමි. මේ දෙක දෙකකි. මීට අමතරව තම දේශපාලන අනාගතය ගැන සිතා හෝ වෙනයම් පෞද්ගලික වාසි උදෙසා වැල යන අතට මැස්ස ගැසීමට ගිය අයත් නැතුවාම නොවේ.




Friday, October 18, 2019

ජාතික සංවිධානයන්හි ස්ථාවරය හා භූමිකාව

දෙමළ ජාතික සංධානය සිංහල විරෝධී ඉල්ලීම් නැවතත් ඉදිරිපත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් කිසිම සාකච්ඡාවක් කළ යුතු නැහැ. ඔය දෙමළ ජාතිවාදී ඉල්ලීම් නන්දිකඩාල්හි දී පරාජය කෙරුණා. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු නට්සි ඉල්ලිම් නැවතත් ඉදිරිපත් වුණා නම් චර්චිල් කුමක් කියන්න තිබණා ද? එහෙත් රනිල් දෙමළ ජාතික සංධානයට ප්‍රතිඥාවක් දී තිබෙනවා.



ජාතික සංවිධාන සම්මේලනයේ ස්ථාවරය හා භූමිකාව ඒ සම්මේලනයේ රැස්විමක දී සම්මත කර ගත් නමුත් එය පසුගිය දා පදනම් ආයතනයේ දී පැවති රැස්වීමේ දී ජනතාවට ඉදිරිපත් කෙරුණේ නැහැ. අප රටට නව ව්‍යවස්ථාවක් ඕන බව සැබෑව. 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව හෙවත් ජේ ආර් ජයවර්ධන ඉදිරිපත් කර සම්මත කර ගත් ව්‍යවස්ථාව රටට අහිතකරයි. එසේ වන්නේ එය මෙරට ඉතිහාසයට සංස්කෘතියට එකඟ ව ඒ පදනම් කර ගත් ව්‍යවස්ථාවක් නොවන බැවින්. එය චෙල්වනායගම්ගේ බෑණනුවන් වූ ඒ ජේ විල්සන් ප්‍රමුඛ පිරිසකගේ මැදිහත් වීමෙන් සකස් කරන ලද්දක්. එය ප්‍රංශ හා එක්සත් රාජ්‍ය (ඇමරිකාව) ව්‍යවස්ථා අනුව ඒ අනුකරණයෙන් සකස් කරන ලද්දක්. අපේ රටට ආගන්තුක ව්‍යවස්ථාවක්.

මේ ව්‍යවස්ථාව යටතේ අප අවුරුදු හතළිස්දෙකකට කිට්ටු කාලයක් ජීවත් වෙලා තියෙනවා. ව්‍යවස්ථාව දහනව වතාවක් සංශෝධනය වෙලා තියෙනවා. ඒ අතරින් දහතුන්වැනි සංශෝධනය හා දහනවවැනි සංශෝධනය අති භයානකයි. මේ සංශෝධන තවත් සංශෝධනයකින් අහෝසි කරන්න ඕන. ඒක තමයි පසුගිය දා රැස්වෙච්ච ජාතික සංවිධාන සම්මේලනය ප්‍රකාශ කෙළේ. ඒ එක්ක ම ඒ සම්මේලනයේ දී තවත් දේ ප්‍රකාශ වුණා. ගෝඨාභය රාජපක්‍ෂට ජනාධිපතිවරණයේ දී කොන්දේසි විරහිත ව සහාය දීමත් එකක්. එමෙන් ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරනු යන්න තවත් එකක්. මේ සමහර දේ ජාතික සංවිධාන සම්මේලනයේ ස්ථාවර. සමහර දේ සම්මේලනයේ භූමිකාව. මේ සියල්ල 2019 ජනාධිපතිවරණය සම්බන්ධයෙන්.




ස්ථාවරය

  1. ජාතික ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාවය සුරැකෙන, එක පොදු සිවිල් නීතියක් සහිත, ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටීම.
    1. 13වන සංශෝධනය ඉවත් කිරීම.
    2. 19වන සංශෝධනය ඉවත් කිරීම.
  2. 'විධායක ජනාධිපති ධූරය' අහෝසි නොකිරීම.
    විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා හෝ එම ධූරයේ බලය අවම කිරීම සඳහා හෝ එම බලය අන් අයකු අතට පත් කිරීම සඳහා හෝ කෙරෙන යෝජනා සියල්ල, අප රටේ නායකත්වය දුර්වල කොට, අපගේ රාජ්‍යය දුර්වල කිරීම සඳහා වූ අරමුණින් කෙරෙන යෝජනාවන් ලෙස අප සලකන අතර, එවන් යෝජනාවන්ට අපගේ විරුද්ධත්වය ප්‍රකාශ කරමු.
  3. ඉදිරි ජනාධිපතිවරණය 'නව ව්‍යවස්ථාවක්' ගෙන ඒම සඳහා වන ජනමත විචාරණයක් බවට පත් නොකිරීම.
  4. සියලුම
    1. ආගමික අන්තවාදී ත්‍රස්තවාදයන් හා
    2. දේශපාලනික අන්තවාදී ත්‍රස්තවාදයන්
    මුලුමනින්ම පරාජය කිරීම.
  5. පරිසරය සුරැකෙන, තිරසාර සංවර්ධනයක් සහිත, සිංහල බෞද්ධ රාජ්‍යයක් නිර්මාණය කිරීම උදෙසා වන ජාතික ආර්ථික, සමාජයීය හා සංස්කෘතික සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම.
  6. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව නිසි පරිදි බලාත්මක කිරීම වෙනුවෙන්, එනම් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමීම සහ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම යන වගකීම නිසි පරිදි ඉටු කිරීම.
  7. ලංකාවේ පැරණි බෞද්ධ සිද්ධස්ථාන සහ නශ්ඨාවශේෂ ආරක්ෂා කොට පවත්වා ගෙන යෑම පිණිස, ඓතිහාසික උරුම කළමනාකරණ පනතක් ගෙන ඒම.
  8. ශ්‍රී ලංකාවට හිතකර, ස්වාධීන, රාජ්‍ය ආරක්ෂාව තහවුරු වන, දේශපාලන නිදහස කේවල් නොකෙරෙන, ජාතික ආර්ථික ස්වෛරීත්වය ආරක්ෂා වන පරිදි සැකසුණු, නොබැඳි, බෞද්ධ රටවල් සමග විදේශ සබඳතා ශක්තිමත් කරන, බෞද්ධ ධර්මය මුල් කර ගන්නාවූ විදේශ ප්‍රතිපත්තියක් සකස් කිරීම.
  9. රටේ ඉතිහාසය සංස්කෘතිය අනුදත් විදේශ දූත පිරිසක් බිහිකර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ගයන් ගැනීම.
  10. රටට අහිතකරව සැකසුණු විදෙස් ගිවිසුම් අහෝසි කිරීම හෝ රටට හිතකර පරිදි සංශෝධනය කිරීම.
  11. විදේශිකයන්ට මේ රටේ ඉඩකඩම් මිලට ගැනීම සඳහා සකස් වූ නීති සියල්ල අහෝසි කිරීම හෝ රටට හිතකර පරිදි සංශෝධනය කිරීම.


භූමිකාව

  1. ඉහත විස්තර කළ ප්‍රතිපත්තිමය කරුණුවලට සහ ඉලක්කයන්ට එරෙහිව ක්‍රියාත්මක වන සහ විජාතික බලවේගයන්ට වහල්ව සිටින, වර්තමාන දේශද්‍රෝහී ආණ්ඩුව පළවා හැරීම.
  2. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, ආදී සියලුම සහෝදර ජනතාවන්ට එකසේ පිළිගත හැකි, අපගේ දේශයට සැබැවින්ම ඇළුම් කරන, එමෙන්ම ඉහත කී ඉලක්ක සාක්ෂාත් කර ගැනීම උදෙසා ශක්‍යතාවක් සහිත නායකයකු බලයට ගෙන ඒම.
  3. එම නායකයාට යථාර්ථවාදී ලෙස සහයෝගය ලබාදෙන දේශපාලන ධූරාවලියක් සහ සිවිල් පරිපාලනයක් බලගැන්වීම සඳහා කටයුතු කිරීම.
  4. අපගේ මාතෘභූමිය බේරාගැනීම සඳහා වන උක්ත ව්‍යායාමය උදෙසා, දිවයින පුරා විසිරී ඇති
    1. විහාරස්ථාන හා දේවාල
    2. හින්දු කෝවිල්
    3. ක්‍රිස්තියානි පල්ලි
    4. මුස්ලිම් පල්ලි
    මූලීක කරගනිමින් ජනතාව දැනුම්වත් කිරීම සහ ජනතාව ඒකරාශී කිරීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කිරීම.
  5. දිවයින පුරා ප්‍රාදේශීය 'සම්මන්ත්‍රණ', දිස්ත්‍රික් මට්ටමේ 'දිසා සමුළු' සහ ජාතික 'මහා සමුළු' සංවිධානය කර ජනතාව දැනුම්වත් කොට, ඉහත ඉලක්ක සපුරා ගැනීම සඳහා ජාතික සංවිධාන සම්මේලනයේ' ධජය යටතට සමාජය පෙළ ගැස්වීම.



ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !