Saturday, July 5, 2014

බාදක මැදින් දෑවුරුද්දක්



පළමු වසර සැමරුම් ලිපිය
දෙතිස් කතා අද සපුරන්නේ දෙවන වර්ෂයයි. මීට දෙවසරකට පෙර දෙතිස් කතා ඇරඹූ දා පටන් අද දක්වා පල වූ ලිපි ගණන අසූව ඉක්මවයි. එනම් දළ වශයෙන් සතියකට-හමාරකට එක බැගින් ලිපි පල වී තිබේ. මේ දෙවසරට දෙතිස් කතා කියැවීම් 21,000 පමණ වී ඇත. ඒ පසුගිය වසරට වඩා තරමක වර්ධනයකි. පළමු වසරේ දී ලේඛකයෙකු ලෙස සිතුවිළි දෙතිස් කතා වෙත බැඳුණු සේ ම මේ වසරේදී 'අවිද්‍යා' අප හා පෑහීම දෙතිස් කතා වෙත ලැබුණු මහත් ශක්තියෙකි. මේ අයගේ දැනුම ඉදිරියේදී වැඩි වැඩියෙන් දෙතිස් කතා පාඨක සමූහයා වෙනුවෙන් විවෘත වනු ඇත.

පළමු වසරේ වැඩිම කියැවීමක් ලද ලෝකය හට ගැනීම හා එහි නිරෝධය ලිපිය වැඩිම කියැවීමක් ලබමින් තවමත් පෙරමුණේ වෙයි. ඒ ලිපිය මේ වන විට දහස් වරකට වඩා කියවනු ලැබී ඇත. වැඩිම පාඨක ප්‍රතිචාර ලැබූ ලිපිය ලෙස සමනල පව්වේ සිරිපා පිහිටවූ වෙසක් පුර පසළොස්වක ලිපිය අභිබවා ඒ වසරේ පොසොන් හා ඇසළ පෝ දින ලිපි ඉදිරියට පැමිණ තිබේ. මේ ලිපි දෙකම පාඨක ප්‍රතිචාර සියය ඉක්මවා ලබා තිබේ. ඒ සාර්ථක සංවාදයක ලකුණකි. ඒ සියලු සුභ ලකුණු තිබියදීම සංවාද සඳහා සහභාගී වන පිරිසේ අඩුවක් පෙනෙන්නට තිබීම කනගාටුවට හේතුවකි. සිංහලයින්ට සිංහලයින් හා සිංහලෙන් කතා කිරීමට දෙයක් නැත්ද? ඇත්නම් ඒ දෙලොවට වැඩක් නැති ඕපාදූප පමණද?


දෙතිස් කතා ඉදිරි දැක්ම

දෙතිස් කතා වෙත වසරක් පිරෙන දා අප විසින් එහි දැක්ම සටහන් කළ'යුරු පහත දැක්වේ.
අපේ (එනම් 'සිංහල') සම්භාව්‍ය දැනුම ගැන අපේ යම් අවබෝධයක් වේ නම්, එය ඒ දැනුම ලබා ගැනීමට කැමති අය හා බෙදා හදා ගැනීමයි. එසේම, එවැනි දැනුම ඇති තව අය වෙත්නම් ඒ දැනුම අප වෙත ලබා ගැනීමට මණ්ඩපයක් තනා ගැනීමයි. බටහිර දාර්ශනිකයෙක් වරක් පැවසූයේ අප දෙදෙනා සතුව ඇපල් ගෙඩි දෙකක් වේ නම්, අප ඒවා හුවමාරු කර ගත් විට අපට ඇපල් ගෙඩිය බැගින් ලැබේ. එහෙත් අප සතුව දැනුම ඇත්නම්, අප ඒ දැනුම හුවමාරු කර ගත් විට අපේ දැනුම දෙගුණ වේ. යනුවෙනි. එහි සත්‍යයක් ඇත. දෙතිස් කතා ඒ දැනුම හුවමාරු කර ගැනීම පිණිස සැම විටම සැදී පැහැදී සිටී.
ඒ එසේමය. අපට නොමිලයේ පහසුවෙන් බෙදා හදා ගත හැකි යමක් වේද ඒ දැනුමයි. අපේ පැරැන්නන් ඒ ගැන මෙසේ කියා ඇත.

තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා
එසැඩ මනාවත් වතුරෙන් වල නොහෙනා
කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා
උගතමනා ශිල්පයමයි මතු රැකෙනා

එසේම දැනුම දීම වනාහි ධර්ම දානයකි. 'ධර්ම' යනු බහු අර්ථ පදයක් බව සැළකූ කළ මෙහි අරුත වඩා පැහැදිළිය. දැනුම බෙදා හදා ගන්නා විට ඒ ධර්ම දානයේ ආනිශංස දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් ලැබේ.

දැනුම දීම

දැනුම දීම ගැන කතා කරන විට අප පසුගිය වර්ෂයේ කළ පොත් දන් දීම ගැනද වචනයක් සඳහන් කළ මනාය.

පිදුණු පොත් පොත් වලින් කොටසක් හා ඒවා පිරික්සා බලන ස්වාමින් වහන්සේලා
දහම් අමා පැන් දන්සැල ලෙස අප විසින් නම් කළ මේ කටයුත්ත නම් කොළඹින් ඉතා දුර බැහැර දුෂ්කර පළාතක පිහිටි විහාරස්ථානයකට අප විසින් මිලදී ගත් පොත් පත් ගෙන ගොස් පරිත්‍යාග කිරීමයි. මේ කටයුත්තට බරපැන දැරීම දෙතිස් කතා පාඨකයින් වෙත නොපැවරුවත් සිතුවිළි ඇතුළු සහෘදයින් විසින් සුදුසු පොත් පත් වල නම් යෝජනා කරමින් ඊට දැක්වූ සහයෝගය සිහි කළ මනාය. එසේම අපගේ පළමු පාඨකයාගේ සාදර අනුග්‍රහයෙන් පොරොන්දු වූ පරිදි බුදුසරණ පුවත්පත ඒ විහාරස්ථානය වෙත ලැබෙන්නට සැලැස්වූ බවත් එය තවමත් අඛණ්ඩව ලැබෙන බවත් මෙහි සටහන් කොට තබන්නේ කෘතවේදිත්වයෙනි. ඒ ගැමියන් සහ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා මේ පොත්-පත් කියවන වාරයක් වාරයක් පාසා ඔබලාට සිදු වන පින අප්‍රමාණ වේ.

එසේනම් පසුගිය සියවසේ පහල වූ මහා ප්‍රාඥයා වන කුමරතුඟු මුනිදස් පඬි තුමන් විසින් දැනුම ගැනැ ලියැවුණු කවියෙකින් මේ හෑල්ල අවසන් කරමු.

පොරණ පඬින් කළ පත පොත්
නුවණ ලැබෙයි කියැවුව හොත්
නො දැනැ අකුරු කියවනු නැත්
අකුරු තමා නුවණ දෙතොත්
 
උදය මැ නින්දෙන් නැගෙන් නැ
පිරිසුදු වී තැනෙකැඉන් නැ
අකුරට බුහුමන් කරන් නැ
නුවණ වඩින දොර හරින් නැ


පසු සටහන: මේ වසරේ පොත් ලබා දීමේ අදහසක් නැත. ඒ වෙනුවට වෙනත් ප්‍රදේශයක පැවැත්වෙන කඨින පිංකමකට දායක වීමේ සැළසුමක් පවතී.

37 comments:

  1. සිතුවිළිJuly 5, 2014 at 6:46 AM

    කණිෂ්ක,
    අද දින උදයේම දුටු ඔබගේ මේ ලිපිය නිසා අළුත් වීමක්ම ලැබුයෙමි.
    දෙතිස් කථා වෙතත් ඔබටත් මාගේ හෘදයාංගම සුභපැතුම් !
    දෙවැනි වසර තුළ පළමු වසරට සාපේක්ශව මද වශයෙන් හෝ පාඨක අවධානය වර්ධනය වීමද සාධනීය සලකුනකි
    සාකච්ඡාවන්ට යොමුවන්නන්ගේ අඩුව නොතකා ඒ පිළිබඳ බලාපොරොත්තු නොතබා සද්භාවයෙන්ම මෙය ඉදිරියට ගෙන යාමට ඔබට ශක්තිය ධෛර්‍යය මා පතමි.

    කිසි දිනෙක දෙතිස් කථාවෙන් කාලය කා නොදැමූ දෙතිස් කථා බ්ලොගය බොහෝ දෙනාට වැඩ සාදන වඩා පුළුල් සාකච්ඡා මණ්ඩපයක්ම වේවා!

    මෙම අඩවිය තම දැනුමෙන් හා බුද්ධියෙන් පෝශනය කල වුන් ඔබ විසින් මතක් කොට ඇතත් තම නමින් ලිපි නොසැපයූවේ වුවද මෙහි වර්ධනය සැම විටම පැතූ සහ ඔහුගේ මනා අවබෝධයෙන් සාකච්ඡාවන්ට දායක වන අප සුමිතුරු "ජෝසප්" ගේ නම ඔබ අතින් සඳහන් නොවීමනම් මෙම ලිපිය තුළ සිදුවූ බරපතල අඩුවකියි මට හැඟුනි. එය නිවැරදි කිරීමක් වේනම් අගය කරමි.

    අඩුම ගනනේ මෙහි සාකච්ඡ වන දෑ කියවීම් පමණකින් පවා මෙයට දායක වන සියළු සහෘර්දයන්හට තෙරුවන් සරණ පතමි!

    ReplyDelete
    Replies
    1. ස්වාමිනී මට මෙසේද සිතේ කියා දිනක් ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඇමතීය. කෙසේද ආනන්දය කියා බුදුරදුන් පිළිවිසී.
      මේ සම්බුද්ධ සාශනයෙන් අඩක්ම පවතින්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය මතයි ආනන්ද තෙරුන් කීය.
      ...
      ...
      අනික් අඩ පවතින්නේ කවර කරුණක් මතදැයි බුදුරජාණන් වහන්සේ විමසූයේ නැත. එසේ නොකියන්න ආනන්ද එසේ නොකියන්න. අඩක් නොව මුළු සම්බුද්ධ සාශනයම පවත්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය මතයැ බුදුරදුන් ඒ වෙනුවට දේශනා කළහ.

      සිතුවිළි, ජොසෙෆ් ගැන අපටද කිව හැක්කේ ඒ කතාවමැයි. දෙතිස් කතා අද යම් තැනක වෙයිනම් දෙවසර සමරමින් අප කිසියම් පුරසාරමක් දෙඩුවේනම් ඒ සියල්ලේ හිමිකම ඔහුට ඇත. මේ සියල්ල ඔහු නිසාය.

      අප විසින් නොව ඔබ විසින් ඔහු සිහිපත් කිරීමම ඊට ශාක්‍ෂිය වේ.

      Delete
    2. ඔච්චර වර්ණනා කරන්නෙපා හලෝ, මට ලැජ්ජයි.

      Delete
  2. "උදය මැ නින්දෙන් නැගෙන් නැ" --- හික් !

    උදේ පාන්දර 9-10 ට විතර නැගිටලා කාරිය දැන් තමයි කම්පීතර රාජයා දිගෑර ගත්තේ. මෙන්න බොලේ කතා32 විපරිණාමයට ලක් වෙලා. මේ මොකද කියලා බැලින්නං තව අවුරුද්දකුත් ලබලලු. අවුරුද්ද මෙච්චර කොට උනේ කවදා ඉඳලද?
    කොහොමින් හරි ඒ අවුරුද්දේ පළවෙනි කොමෙන්ට් එක කොටන්න යනකොට සිතුවිළි ඉස්සර වෙලා. අහෝ !

    "උදය මැ නින්දෙන් නැගෙන් නැ" කියා මුනිදාස උන්නැහේ කිව්වේ නිකං කට කහනවට නෙමේ.

    හරි, කොහොම වෙතත් මේ ඉදිරි අවුරුද්ද සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියා ප්‍රර්ථනා කරනවා. ලේඛකයෝ කොහොම වෙතත් සාර්ථක ලිපි වැඩි වැඩියෙන් කියවන්න ලැබීමයි මගේ ප්‍රාර්ථනය.

    දෙතිස් කතා යනු දැනුම බෙදා ගන්නා තැනකිය කියනවාට වඩා වෙනස් විදියකට හිතන්න පොළඹවන, වෙනස් කෝණයකින් ලෝකය දකින්න හුරු කරන තැනක්ය කීවානම් තමා වඩා හොඳ.

    සිතුවිළි, මේ ගැන ඔබේ අදහස කුමක්ද?

    ReplyDelete
    Replies
    1. ඔබේ සුභාසිංශන වෙනුවෙන් තුති පුදමි. ලිපි කිහිපයක් ද ලියැවෙමින් තිබේ. ඔබේ නින්දෙන් අවදි වීමේ ගැටළුව ද ලිහී යාවා කියා පතමි.

      [උයන්න නොදන්නා බිරිඳක් ලැබුණොත් ඔබ උදයම නැගිටිනු ඇත. එසේ වේවා කියා මේ අවුරුද්දේ ප්‍රර්ථනා කරන්නද?]

      Delete
    2. සිතුවිළිJuly 6, 2014 at 8:49 AM

      ජෝසප්,ඔබගේ අදහස නිවැරදියි, ලේකඛයන් දුසිම් දෙකක් සිටියත් වැඩක් නැත උවමනා වනුයේ හරවත් හා අළුත් අදහස් මතුවීමයි
      සාර්ථක ලිපි යනුවෙන් ඔබ දක්වන සාර්ථකත්වය යනු එයයැයි සිතමි.

      දැනුම බෙදා ගැනීම යන සංකල්පය ඇත්තෙන්ම අදවනවිට යල් පිනූ දෙයකි. ගූගල් හා විකිපීඩියා ලඟ ඇත්නම් ඔබ නොදන්නේ කුමක්ද? දැනුම යනු ඉතා ලාබදායි සිලභ දෙයක් පමණි.

      එහෙත් වැදගත් වනුයේ නිවැරදිව සිතීමත්, වටහා ගැනීමත් යන දෑ නොවෙයිද?
      දෙතිස් කථා යනු වෙනස්ව සිතීමට මග පෙන්වන්නෙකු වීම වඩා වැදගත් වනු ඇත.
      දෙතිස් කථාහි සංකේතය ලෙස දෙ. ක. (2) යොදා ගැනීම කෙතරම් අපූරු පටිසෝතගාමී සිතුවිල්ලක්ද!

      අළුත් ඇහැකින් ලෝකය දකිමු, සිංහල කමේ වටිනා කම් රැකගෙන දහමේ හරයන් සොයා යමු!

      Delete
    3. ඔබ ඉතාම නිවැරදිව මා කී දේ වටහාගෙන ඇත. දැනුම බෙදා ගැනීම සමස්ත අන්තර්ජාලයේම කාර්යයකි. දෙතිස් කතා විසිනුත් කරන්නේ එයම නම් එහි අනන්‍යතාවය කුමක්ද?

      * දෙ.ක. පටිසෝතගාමී වන්නේ කෙසේද?
      * පටිසෝතගාමී යන්නෙහි අරුත කුමක්ද?

      පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි.

      Delete
    4. "දැනුම බෙදා ගන්නා තැනකිය" නොව "දැනුම හුවමාරු කිරීමේ මණ්ඩපයයි" කියාය අප විසින් ලියැවී ඇත්තේ. බෙදා ගැනීමත් හුවමාරු කිරීමත් අත්‍යන්තයෙන්ම වෙනස් අර්ථ දරන පද දෙකකි. ඊට පෙර අපේ වදනින් දක්වා ඇති ඡේදය හෙවත් දාර්ශනික අදහස ඒ අදහස වඩා පැහැදිළි නොකරන්නේද?

      අපට කීමට ඇවැසි වූයේ අප ලියන දෙයින් ඔබලා යමක් උකහා ගන්නා අතරම ඔබලා ලියනා දෙයින් අපද බෝ දේ උකහා ගන්නා බවයි.

      කෙසේ වෙතත් මෙය නැවත ලිවීමට සිත් විය. මක් නිසාද, අප හා දෙවසරක් ගත කළ මිතුරන් අපේ අදහස වටහා නොගනීනම් අන් අය ඒ වටහා නොගැනීමේ සම්භාවිතාව ඉතා අධික බැවිණි.

      Delete
    5. සිතුවිළිJuly 9, 2014 at 9:06 AM

      දැනුම බෙදා ගත්තා හෝ හුවමාරු කරගතා යන්න නොව දැනුම යන සංකල්පය තවදුරටත් වටිනා කමක් ඇති දෙයක් නොවේ යන්න මාගේ මතයයි.
      මා ඉහත කියා ඇත්තේද එයයි. ජෝසප් ඔබගේ මතය කුමක්ද?

      Delete
    6. සිතුවිළිJuly 9, 2014 at 9:09 AM

      පටිසෝතගාමී!
      වැඩි පන්ඩිත කථා කියන්න ගිහින් නා ගත්තවගෙයි නේද?
      අපේ මිතුරන් මේ වචනය ගැන තමන්ට වැටහෙන ආකාරය ගැන යමක් කියමුකෝ. මම වැරදිනම් හදා ගන්නත් එක්ක.

      Delete
    7. පටිසෝතගාමී යනු කුමක්දැයි මා දන්නේ නැත. දැන සිටියේ නම් එවැනි ප්‍රශ්නයක් අසන්නේද නැත.

      Delete
    8. "පටිසෝතගාමී" ය යන්න දැන ගැනීමට පෙර අනුසෝතගාමි ය යන්න දැන ගත යුතුය. සෝත යනු අප දන්නා තරමින් තේරුම් දෙකක් ඇති පදයකි. අර ජනප්‍රිය ලෝක නිර්මාණ ලිපිය කියවන විට "සොතඤ්ච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝතවිඤ්ඤාණං" යැයි තැනෙක දුටු මතකයක් තිබේද? මෙහි සෝත යනු ශ්‍රවණයයි. දිබ්බසෝත යැයි කියන විටද ඇත්තේ එම අරුතයි.

      මෙයට අමතරව සෝතාපන්න, යැයි කියැවෙන තන්හි එහි අරුත ප්‍රවාහය (හෙවත් දියවැල) වේ. සෝතාපන්න යනු ප්‍රවාහයට පැමිණි බවයි - හෙවත් නොවරදවාම සසරින් එතෙර කරන බවයි. මහා සාගරයේ දිය වැලකට අසු වූ සත්ත්වයෙක් සිතට නගා ගන්න.

      සෝතගාමි නම් ප්‍රවාහය සමග ගමන් කරන බවයි. මහා සාගරයේ දියවැලකට, ගංගා ප්‍රවාහයකට අසු වූ කෙනෙකුන් මහත් උත්සාහයෙන් ඉන් ගොඩ නොනැංගොත් ඒ සමගම ගමන යාම ස්ථිරය.

      එසේනම් අනුසෝතගාමී යනු කුමක්ද? 'අනු' යනු උපසර්ගයෙකි. මෙය අනුනාදය, අනුවාදනය, අනුගාමි / අනුගාමික යනාදී තැන් වල පෙනෙන පරිදි සෝතගාමි යන්නට අනු එකතු වූ කළ "අනුසෝතගාමී" ය යන්නෙහි අරුත ප්‍රවාහයට මැදි වී ඒ සමග ගමනේ යෙදෙන යන අරුත දෙයි. මෙහි වෙසෙසින් 'අනු' යන්න යෙදෙනුයේ ඒ ප්‍රවාහයෙන් ගැළවීමට කිසිදු උත්සාහයක් නොදරා කිසි ප්‍රතිවිරෝධයක් නැතිව ප්‍රවාහය හා සමගම යන බැවිණි.

      දැන් පටිසෝතගාමි දෙස හැරෙමු. 'පටි' යනු "ප්‍රති" යන්නයි. හෙවත් විරුද්ධාර්ථ පදයයි. එවිට පටිසෝතගාමී යන වචනයේ අර්ථය ගලන ප්‍රවාහයට එදිරිව හෝ ඒ හරහා හෝ යෑම වේ.

      සරලව කියතොත් රැල්ලට ගසාගෙන නොයා උඩුගං බලා පිහිනීම නැතහොත් ගඟ හරහා පිහිනීම ඉහත වදනේ අරුත වේ.

      /මේ අප දන්නා සිංහලය අනුව කළ විවරණයකි. වෙනත් විවරණ තිබිය හැක./

      Delete
    9. සිතුවිළි,
      දැන් favicon එක ලෙස දෙ.ක. දැමීම පටිසෝතගාමී වන්නේ කෙසේදැයි විස්තර කරන්න.

      (Joseph එය ඇසූ නිසා අපටත් කුතුහලයක් ඇති විය. ඔහුගේ දෙවන පැනයට ප්‍රමාණවත් පිළිතුරක් ඉහත දී ඇත.)

      Delete
    10. සිතුවිළිJuly 10, 2014 at 9:24 AM

      කණිෂ්ක,
      අනුසෝතගාමී හා පටිසෝතගාමී යන දෙවදන කෙරෙහි ඔබ දැක්වූ විවරනය ඉතා පැහැදිලියි. මා ඒ දෙවදන වටහාගෙන සිටින්නේත් රැල්ලට ගසාගෙන යාමත් උඩු ගං බලා පිහිනීමත් යන ලෙසින් තමා. එසෙම සෝතගාමී යන පදය ඔබ විග්‍රහ කර ඇති ආකාරය ඉතාම පැහැදිලියි.
      මා පිළිතුරක් නොදී ඔබලාගෙන් පිළිතුරක් පැතුවේ මෙවන් දාර්ෂනික විවරණයක් සැපයීමට මා අපොහොසත් වනු ඇතැයි සිතුනු නිසායි.

      රැල්ල යනු සම්මත හා පුරුදු පොදු සිතුවිලි රටාව නම් දෙතිස් කථා කීවිට එය 32 මිස 2 නොවෙයි. දෙතිස් කථා ගැන දෙ. ක. කී විට එය දෙ. ක. මිස 2 නොවෙයි.
      දෙතිස් කථා = දෙ. ක.
      දෙ. ක. = දෙක
      දෙක = 2

      එවිට දෙතිස් කථා = 2
      එසේනම් අනු සෝතගාමී චින්තනයකින් පමණක් හෙබි කෙනෙකු මා ඉහත දැක්වූ සමානතාවය පිළිගනීවිදැයි කියන්න.
      පටිසෝතගාමීව සිතීමට නොහැකි අයහට මෙවැන්නක් කීවොත් ඔබ විසින්ම පෙර තැනෙක කීවා සේ "ගෝ ටු හෙල්" කියා කියාවි.

      Delete
    11. "දෙතිස් කථා කීවිට එය 32 මිස 2 නොවෙයි. දෙතිස් කථා ගැන දෙ. ක. කී විට එය දෙ. ක. මිස 2 නොවෙයි."

      ගෝ ටු හෙල් !!!!

      මෙතන පොඩි අපභ්රංස ගතියක් තියෙනවා තමයි. ඒත් පොඩි පහේ විහිළුවක් කළාම ඒක පටිසෝතගාමී වෙනවනම් අර ඥානසාර හාමුදුරුවන් ලංකාවට සම්ප්‍රාප්ත වීමට නියමිත පාප් වහන්සේට බෞද්ධයින්ගෙන් සමාව ගන්නැයි කීම ඊටත් වඩා පටිසෝතගාමී නොවන්නේද?

      Delete
    12. සිතුවිළිJuly 10, 2014 at 5:39 PM

      ඒක පටිසෝතගාමී නැහැ අත්‍යන්තයෙන්ම අනුසෝතගාමියි

      Delete
    13. හික් !
      බලන්න මෝඩ කමට එකෙක් පොර වෙන්න හිතාගෙන කරන වැඩ නිසා කොහෙවත් යන ලපයි සිපයි නමක් හදාගෙන පබිලිසිටියක් දා ගන්නා ආකාරය.
      >> http://lankacnews.com/sinhala/main-news/118851/#comment-796157
      අපේ කණිෂ්ක සමහර ප්‍රශ්න වලට නිහඬතාවත් පිළිතුරක් හැටියට දෙනවා කියල සිතුවිළි තුමා දන්නවනේ. මේ යක්කු ඔය ටික දැනගෙන හිටියනම් සිංහල ජාතික ව්‍යාපාරය අද මීට වඩා හොඳ තැනක.

      Delete
    14. සිතුවිළිJuly 12, 2014 at 11:48 AM

      ජෝසප්,
      කිතුහඬ කාරයින්ගේ ලිපිය කියවූවිට මටත් ඊට පිළිතුරක් ලිවීමට අවශ්‍ය වූවා ඒත් කෙටියෙන් එය ලිවිය නොහැකි නිසා හා එහි කොමෙන්ටු දමා ඇති උන්ගේ හිස් දැක්මවල් තුල මම නිහඬ උනා.
      ඔබ එයට පිළිතුරක් දුන් බව දැනගෙන හිටියේ නැහැ.
      කෙසේ වෙතත් ඔබ විසින් එතරම් දිගට ලියා ඇති ලිපිය පල කිරීමට සී නිව්ස් තීරණය කිරීම තුලම එහි වැදගත් කම හා අර්ථවත්කම පෙනෙනවා.
      ඔබගේ අදහස් දැක්වීම කියැවීමට මා යොමුකලාට පින්.
      කිතුහඬෙහිත් උලමා වරුන්ගේත් බො.බ.සේත් හැසීරීම් නිරීක්ශනය කිරීමේදී මේ සියල්ල අනුසෝතගාමී බව ඔබ පිළිගන්නවා නේද?
      බෞද්ධයාට වැරදුනු තැන සොයන්න අමුතුවෙන් වෙහෙසිය යුතු නැතැයි මා සිතනවා.

      Delete
    15. මොන සෝතගාමී බවක් වත් මටනම් පෙනෙන්නේ නෑ. බො.බ.සේනාව නම් දිය පාරට බැහැගෙන වතුර බොර කරනවා.. අනිත් ගොබිලෝ ටික බොරදියේ මාළු බානවා. එච්චරයි.

      Delete
    16. සිතුවිළිJuly 14, 2014 at 8:12 PM

      උන් ඔක්කොම එකාට එකා පොර බද බද දිය පහර ගසාගෙන යන අතටම යනවා. උන් අතර තියෙන පොරේට කොයිතරම් හිත ගිහින්ද කියනවානම් උන් ඔක්කොම දිය පහරේ ගසාගෙන යන බවවත් උන් දන්නේ නැහැ.
      ඔන්න ඕක තමයි මෙතැන සැබෑවටම වෙමින් තියෙන්නේ. තමන් දිය පහරින් ගොඩ ඇවිත් හැකිනම් අතක් දික් කරලා තව එකෙක් ගොඩ ගන්න තරම් හිත එකඟ කර ගත හැකි එකෙක්වත් ඔතැන නම් නැතිව ඇති
      උන් ඔක්කොම පව් නේද?

      Delete
    17. ජොසෙෆ් ගේ පිළිතුර ඉතාම පරිණත බවක් පෙන්වයි. සිතුවිළි, ඔබ එය වටහා ගත්තේ නැති බවක් පෙනේ. අනුසෝතගාමී වීමත්, පටිසෝතගාමී වීමත් හැර තවත් දේ කළ හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

      අපේ පරණ චතුස්කෝටික කතාවට නැවත පැමිණීමට මේ සුදුසු අවස්ථාවයි.

      1. අනුසෝතගාමී වීම එකකි.
      2. පටිසෝතගාමී වීම අනෙකකි.
      3. අනුසෝතගාමී පටිසෝතගාමී වීම තව අමුතුම එකකි - බොදු බල සේනාව කරන්නේ සියල්ල පටලවාගෙන පඹ ගාලේ පැටලුණු නරියා මෙන් දැගලීමයි.
      4. අනුසෝතගාමී නොවී පටිසෝතගාමීත් නොවීම අන්තිම විකල්පයයි.

      අර කිතුහඬ හා හකීම් - අසාත් සාලි ඇතුළු අන්තවාදීන් ගැන කතා කිරීමට අවශ්‍යතාවක් අපට නැත. ඒ මිසදිටුවන් ගැන ඔබලා කැමති අයුරින් සිතා ගන්න.

      Delete
    18. සිතුවිළිJuly 15, 2014 at 5:00 AM

      ජෝසප් කියන පිළිතුරේ මා වටහා නොගත් ගැඹුර අනුසෝතගාමී හා පටිසෝතගාමි ප්‍රථිපදා පිළිබඳව චතුශ්කෝටිකයද?
      වෙන්න ඇති මට වැටහෙන්නට නැතිව ඇති
      මා කියනා දෙය ඔබතුමන්ලා මොහොතකටවත් වටහා ගත්තාදැයි මාද නොදනිමි.
      නානාත්ත්ථ කායා නානාත්ථ සංඥා සත්ත්වයින් වන අප වචන නමැති සංඥා තුලින් කරන මේ කථා බහ එකෙකු කියන දෙය ඒ විදියටම තවකෙකු වටහා ගන්නේ කෙසේද?
      මිසදිටුවන්ගේ උගුලෙහි පැටැලී උන්ගේ මග ගත් අපේ උන් ගැන මා කථා කිරීමට කොහොමත් අකැමැත්තෙමි.
      මිසදිටුවන් නොව උන්ගේ උගුලෙහි පටැලුනු උන් පිළිකුල් කරමි
      මා මීට බොහෝ කලකට පෙර කිවූ වදනක් නැවත කියමි. අප ජාතියක් ලෙස සැබෑ බුදුමග යතොත් අපට ලෝකය මවිත කල හැකිය
      ත්‍රස්තයාට උගේ බසින් පිළිතුරු දෙන සේ මිසදිටුවාට උගේ බසින් පිළිතුරු දීමට ගියහොත් අප ඒ සැනින් මිසදිටු බව වැලඳගෙන හමාර බව පිළිගත යුතුය.

      Delete
    19. මිතුරු ජොසෙෆ්ම ඔබට පිළිතුරු දුන්නේ නම් අගෙයි. පළමුව අප විසින් ඉදිරිපත් කෙරුණේ ඔහුගේ පිළිතුර ගැන අපගේ ම විවරණයයි.

      ඔබ "මා කියනා දෙය ඔබතුමන්ලා මොහොතකටවත් වටහා ගත්තාදැයි මාද නොදනිමි." යි කියනා බැවින් ඔබේ ඊට පෙර අදහස ගැන තවදුරටත් දෙයක් කිව යුතුව තිබේ. පහත වැකි දෙක විමසමු.
      (1) මොන සෝතගාමී බවක් වත් මටනම් පෙනෙන්නේ නෑ. බො.බ.සේනාව නම් දිය පාරට බැහැගෙන වතුර බොර කරනවා.. අනිත් ගොබිලෝ ටික බොරදියේ මාළු බානවා. එච්චරයි. - Joseph
      (2) උන් ඔක්කොම එකාට එකා පොර බද බද දිය පහර ගසාගෙන යන අතටම යනවා. උන් අතර තියෙන පොරේට කොයිතරම් හිත ගිහින්ද කියනවානම් උන් ඔක්කොම දිය පහරේ ගසාගෙන යන බවවත් උන් දන්නේ නැහැ. - සිතුවිළි

      මේ අදහස් දෙකම වටහාගෙන ඇත. එසේම ඒ දෙක දෙකක් බවද පැහැදිළිය. අප ජොසෙෆ්ගේ අදහස විවරණය කළ බැවින් ඔබේ අදහස ගැන යමක් කියම්හ.

      ඔබේ අදහසට අනුව මේ සියළු පාත්‍ර වර්ගයා අනුසෝතගාමී වේ. ඔබ දෙවනුව සඳහන් කරන්නේ අනුසෝතගාමී වීමෙන් ඉවත්ව අන් අයත් ඉවත් කර ගත යුතුව තිබෙන බවයි. ඔබ මෙහිදී ඉතා පැහැදිළිවම අනුසෝතගාමී වීමේ විරුද්ධාර්ථය ලෙස පටිසෝතගාමී වීම තෝරාගෙන ඇත. එයට අනුව ඔය දෙක මිස වෙනත් දෙයක් නැත. මිතුරු ජොසෙෆ්ගේ පිළිතුර ඔබේ පිළිතුරෙන් වෙනස් වන්නේ ඔහු බොදු බල සේනාව "සෝතගාමී" ලෙස නොදැක සෝතයට බැස ඉලක්කයකින් තොරව සෝතය හෙවත් ප්‍රවාහය ව්‍යාකූල කරමින් රැඳී සිටින බව පල කරන බැවිණි. මේ අනුසෝතගාමී හෝ පටිසෝතගාමී හෝ ලෙස හඳුනා ගත නොහැකි තත්වයකි. අපගේ අදහසත් එයම වේ.

      "අනුසෝතගාමී පටිසෝතගාමී වීම තව අමුතුම එකකි - බොදු බල සේනාව කරන්නේ සියල්ල පටලවාගෙන පඹ ගාලේ පැටලුණු නරියා මෙන් දැගලීමයි." යනුවෙන් අප විසින් සඳහන් කළේ එයයි.

      ප්‍රමාද දෝෂයක් වීනම් පසුතැවිල්ල ප්‍රකාශ කරමි.

      Delete
    20. සිතුවිළි,

      සියල්ල පීලි පැන ඇති බව පෙනේ..නැවත මුලට.
      1. මා කීවේ දෙ.ක. පටිසෝතගාමි නම් බො.බ.සේනාව ද ඊට වඩා පටිසෝතගාමි විය යුතු බවයි. මේ පළමුව විහිළුවකි. එහෙත් පදනම් විරහිත ප්‍රකාශයක් නොවේ. දෙ.ක. අනුසෝතගාමී හෝ පටිසෝතගාමී හෝ කීම සන්දර්භයෙන් පිටත වචන භාවිතා කිරීමක් බවයි ම ගේ අදහස.
      2. බො.බ.සේනාව අනුසෝතගාමී බව සිතුවිළි ගේ අදහසයි. මෙයට මා එකඟ නැත.
      3. "මොන සෝතගාමී බවක් වත් මටනම් පෙනෙන්නේ නෑ." යනුවෙන් මා අදහස් කළේ එයයි. මෙය ලියන විට චතුස්කෝටිකයක් ගැන තුන් හිතකවත් තිබුනේ නැත.
      4. "අනුසෝතගාමී පටිසෝතගාමී වීම තව අමුතුම එකකි " යන කණිෂ්කගේ අදහස මගේ අදහස තුලින් මතු කර ගත් නැවුම් සංකල්පයක් බව පෙනේ. මෙය බුදුරදුන්වත් දෙසූ තැනක් ඇත්ද? එසේ නැතිනම් බුදු හිමියන්ට වැරදීමක් වීද?
      5. කණිෂ්ක "ඉතාම පරිණත" යැයි කියන්නේ මා අදහස් කළා යයි ඔහු සිතන දේය.
      6. කණිෂ්කගේ අවසන් ප්‍රතිචාරයට නිවැරදි කල යුතු දෙයක් නැත.
      අවසන් වශයෙන්,
      "ත්‍රස්තයාට උගේ බසින් පිළිතුරු දෙන සේ මිසදිටුවාට උගේ බසින් පිළිතුරු දීමට ගියහොත් අප ඒ සැනින් මිසදිටු බව වැලඳගෙන හමාර බව පිළිගත යුතුය." යන ප්‍රකාශය මදක් පැහැදිලි කරන්න.

      Delete
    21. සිතුවිළිJuly 16, 2014 at 6:09 PM

      ජෝසප්,
      පළමුවම පඹ ගාල ලිහා දැමීමට ඉදිරිපත්වීම ගැන පින්. (පඹ ගාලේ පැටළුනු නරියන් කවුදැයි මගෙන් අහන්න එපා )
      1/ ඔබගේ විහිළු මාද බාරගත්තේ එසේමයි, එහෙත් එය හිස් ප්‍රකාශයක් කොට නොතැකූ බැවින් බොදු බල සේනාවෙහි හැසීරීම මාගේ දැක්මේහි තරමින් අනුසෝත ගාමී යැයි කීවෙමි.
      මා මුළින්ම දෙ. ක. = 2 පටිසෝතගාමී සිතුවිල්ලකියි කීවේද එතරම් ගැඹුරකින් යුතුවනම් නොවෙයි. එය මිනිසුන්ගේ පුරුදු සම්මත සිතුවිලි රටාවට වෙනස් සිතුවිල්ලක් බව කියා පෑමට පමණි.
      සන්ධර්බයෙන් පිටත මේ වචන නිකරුනේ යොදා ගැනීම මා අතින් සිදුවූ වරදකි.
      2/ ඔව් ඔවුන් ගේ ප්‍රථිපදාව අනුසෝතගාමී බව මාගේ වැටහීමේ තරමින් වගකීමෙන් කියමි. වරදක් ඇතොත් ඒ මේ මොහොතෙහි මා තුල ඇති අවබෝධයේ පමණි.
      3/ ඔබේ ප්‍රකාශය තුල චතුශ්කෝටිකයත් අන්තර්ගත වූ බවක් මටද සිතුනේ නැත.
      4/ අනුසෝතගාමී පටිසෝතගාමී වීම!! ඔව් මේක නම් නැවුම්ම සංකල්පයක් තමයි. කෙසේ වෙතත් මේ ප්‍රථිපදා දෙක අතර මැදුම් පිළිවෙතක් නැත. සුදුසු නුසුදුසු හැම දේටම චතුශ්කෝටිකයත් මැදුම් පිළිවෙතත් යෙදීමට තැත් දැරීම ක්‍රිකට් පිස්සා ජංගම දුරකතනයෙන් ස්පින් බෝල් කොට නැවත අල්ලා ගන්නවා වැනිය. (කැච් එක වැරදුනෝත්?)
      අනුසෝතගාමී වීම මෝහයේ ලක්ෂනය නම් ප්‍රග්ඥ්ඥාව විසින් කෙනෙකු පටිසෝතගාමී මගට ගෙන යා යුතුය.
      මෝහයත් ප්‍රඥ්ඥාවත් අතර මැදුම් පිළිවෙතක් විය හැකිද?
      බුදු හිමියන්ටත් වැරදීමක් වීද?
      5/ඔබ අදහස් කල දේත් ඔබ අදහස් කලා යැයි ඔහු සිතන දේත් මා නොදනිමි. ඔබ වදනින් කිවූ දේ අනුව ඔබ අදහස් කලායැයි මා සිතූ දේ පමනක්ම දනිමි.

      ත්‍රස්තයාට උගේ බසින් පිළිතුරු දෙන සේ....... මෙය තවත් සන්ධර්බයෙන් පිටත කථාවකි. පිළිතුරු දීමට අවසරද?

      Delete
    22. සිතුවිළිJuly 16, 2014 at 6:53 PM

      කණිෂ්ක,
      ඔබ නිවැරදිවම කියනා පරිදි මේ සියලුම පාත්‍ර වර්ගයා අනුසෝතගාමීයැයි මා නිගමනයකින් යුක්ත්ව ඉහත ප්‍රකාශය කලෙමි. ඉඳ හිට කරනා වූ පටිසෝතගාමී ප්‍රකාශයක් හෝ පහල කරනු ලබන එවැනි සිතුවිල්ලක් හැරුනු කල ඔබත් මාත් ඇතුළු සියළු සත්ත්ව සමූහයාම අනුසෝතගාමීය.
      බුදුහිමියන් දම් දෙසුවේ කුමටදැයි නිකමටවත් හිතූ කෙනෙකු වෙත්නම් කල යුතු වන්නේ තමා ගොඩ විත් අන් අය එකෙකු හෝ ගොඩ ගැනීම මිස ගසාගෙන යන දිය පහරෙහිම හිඳිමින් තෝ වැරදියි කියා අනෙකාට කනට ගසා ගොඩට යන පාර පෙන්වීම නොවෙයි.
      අනුසොතගාමී වීමෙහි විරුද්ධාර්ථය මිස අතර මැදක් නැතැයි මා තරයේ සිතමි (හේතු යුක්තව )
      සෝතයට බැස ප්‍රවාහය කළඹමින් වැනි යෙදුමක් යෙදීමේදී ඔබ පටලවාගෙනදෝයි මට නිකමට සිතුනි.
      මෙහිදී සෝතය යන්න ප්‍රතිවිරුද්ධ ලෙස අදහස් දක්වන බවක් ඔබ දකින්නට ඇත.
      මෙතැනදී සෝත යන පදය විග්‍රහ කරන්නේ සෝතාපන්න යන තැනෙදී මෙන්ම වුවද එය යෙදෙන්නේ ප්‍රථිවිරුද්ධ ලෙසිනි.
      සෝතාපන්න කීවිට ප්‍රවාහය යනු අරි අටඟ මගයි. කෙනෙකු වෙහෙසින් පිවිසිය යුත්තේ ප්‍රවාහයටයි, ප්‍රඥ්ඥාව වඩවමින් පිවිසිය යුත්තේ මේ ප්‍රවාහයටයි. බැසගත් කෙනා නිසැකවම ගමනාන්තය කරා ගෙන යනු ලබන ප්‍රවාහයයි.
      අනුසෝතගාමී කීවිට මේ නිතැතින් ගලා යන ප්‍රවාහයකි, සියළු සත්ත්වයා නොදැනුවත්වම පැටලී ඇදී යන ප්‍රවාහයකි. ඉන් ගොඩ ඒමක් ඇතැයිද නොදැන රැඳී සිටිනා ප්‍රවාහයකි.
      ජෝසප් කීවේ බල සේනාව ප්‍රවාහයට බැස කලඹන බවක් නම් ඒ සෝතාපන්න ප්‍රවාහයටද? නැතහෝත් සෝතගාමී ප්‍රවාහයටද?
      සෝතගාමී ප්‍රවාහයටනම් එහි බැස කැළඹීමක් නැත. එහි ගිලී ඇති එකා බොහෝ විට ගිලී ඇති බවවත් නොදනී. එහෙත් බොදු බල සේනාව උන් එහි ගිලී ඇති බව දනී ඉතින් කරන්නට තනනුයේ අනෙකුන්ට කනට ගසා මේකෙන් ගොඩ පලයන් කියා කීමට තැත් දැරීමකැයි මා දහස් කලෙමි. ගොඩ යාමක් අවැසි බවක්වත් නොදන්නා අනෙකා මුන්ට ප්‍රථිප්‍රහාර දෙමින් පොර බදන බවක් පමණයි මා කීවේ.
      මේ දෙපිරිසම ප්‍රවාහයෙහි ගසාගෙන යන අතර පොර බදයිනම් , ගොඩ ඒමට තැත් නොදරයිනම් ඒ අනුසෝතගාමී වීම මිස අන් කුමක්ද? මෙය අනුසෝතගාමී හෝ පටිසෝතගාමී ලෙස ඔබට හඳුනා ගත නොහැකි වුවද මා එය අනුසෝතගාමී ලෙසම දකිමි.
      කොටින්ම ජෝසප්ගේ උදාහරනය හා මා එකඟ නොවීමි. එම නිසා එය මාගේ දැක්මේ හැටියට ප්‍රථිසංස්කරනය කරවා පිළිතුරු දුනිමි. ඒ තුලින් ඔබලාට ගම්‍ය වූයේ මාගේ මෝඩ කමනම් මා ඒ ගැන නොතැවෙමි.
      අනුසෝතගාමී පටිසෝත ගාමී වීම තවකකි යැයි කියන ඔබගේ අදහස මා බැහැර කරමි. මේදක එක විට එක මග යාම කිසිසේතම නොවිය හැක්කකි. බොදු බල සේනාව අනුසෝතගාමී හා පටිසෝතගාමී පටලවාගෙන නැත. තමන් උපරිමයෙන් අනුසෝතගාමී ප්‍රථිපදාවෙහි යෙදෙමින් අනෙකාට පටිසෝතගාමී වීමෙහි වටිනාකම කියාදීමක් කරනා බව හැඟෙයි.

      Delete
    23. සිතුවිළිJuly 19, 2014 at 11:37 PM

      කථා 32ට ආවේනික වූ මහා ගැඹුරු, අර්ථාන්විත, ශාස්ත්‍රීය, දාර්ශනික, වූ නිහඬ බවේ පිළිතුරු මා ආශ්වාදනය කරමින් සිටිමි.
      පිළිතුරු ලබා දුන් සැමට බොහෝ පින්.
      තෙරුවන් සරණයි.

      Delete
    24. මේ අතිශය සියුම්, එසේම රුදුරු හා කර්කශ වාග් ප්‍රහාරයකි. අප කවර වරදක් කළාටද ?

      හා ...
      පිළිතුරු නොදී සිටීම පිළිතුරකැයි සැළකෙන තැනෙක,
      වරදක් නොකර සිටීම ද වරදක් වේ නම්,
      ඒ ගැන ආඩපාලි කිව හැක්කේ කාටද !

      Delete
  3. ඒ වගේම, අලුත් icon එක නම් මරේ මරු.
    දෙක මැද 2 !
    කලාත්මක අදහසක්. පාට දෙකත් හොඳට ගැලපෙනවා. ඒත්, අවුරුද්දෙන් අවුරුද්දට බ්ලොග් එකේ පාට වෙනස් කරන නිසා ඒකත් අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් කරන්න වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. Favicon එක.

      මෙය සාදා ගත්තේ පෙරදා රාත්‍රියේ ය. එවැන්නක් සාදා ගැනීමේ අවශ්‍යතාවයක් තිබුණත් ගැළපෙන රූපමය සැළැස්මක් මෙතෙක් සිතට ආවේ නැත. දෙ.ක. නොගැලපෙන්නේ නැතැයි සිතමි.

      Delete
    2. හා.
      කොහොමත් දෙ.ක. කියනකොට පොඩි කික් එකක් තියෙනවා.
      දෙතිස් කතා කියවනවට දෙක බලනවා කියන්න පුළුවන්, කොමෙන්ට් කොටනකොට දෙකට කොටනවා කියන්න පුළුවන් - හික් හික් හික් !

      Delete
    3. සිතුවිළිJuly 9, 2014 at 9:14 AM

      අහෝ!!! කණිෂ්කයානෙනි!!!

      Delete
  4. සිතුවිළි, ජොසෙෆ්,
    'පටිසෝතගාමී' ය යන වදන සඳහා අප විසින් ඉහත සැපයූ විවරණය වෙත නැවත එමු.

    "සෝතාපන්න, යැයි කියැවෙන තන්හි එහි අරුත ප්‍රවාහය (හෙවත් දියවැල) වේ. සෝතාපන්න යනු ප්‍රවාහයට පැමිණි බවයි - හෙවත් නොවරදවාම සසරින් එතෙර කරන බවයි. මහා සාගරයේ දිය වැලකට අසු වූ සත්ත්වයෙක් සිතට නගා ගන්න.

    සෝතගාමි නම් ප්‍රවාහය සමග ගමන් කරන බවයි. මහා සාගරයේ දියවැලකට, ගංගා ප්‍රවාහයකට අසු වූ කෙනෙකුන් මහත් උත්සාහයෙන් ඉන් ගොඩ නොනැංගොත් ඒ සමගම ගමන යාම ස්ථිරය.

    එසේනම් අනුසෝතගාමී යනු කුමක්ද? 'අනු' යනු උපසර්ගයෙකි. මෙය අනුනාදය, අනුවාදනය, අනුගාමි / අනුගාමික යනාදී තැන් වල පෙනෙන පරිදි සෝතගාමි යන්නට අනු එකතු වූ කළ "අනුසෝතගාමී" ය යන්නෙහි අරුත ප්‍රවාහයට මැදි වී ඒ සමග ගමනේ යෙදෙන යන අරුත දෙයි. මෙහි වෙසෙසින් 'අනු' යන්න යෙදෙනුයේ ඒ ප්‍රවාහයෙන් ගැළවීමට කිසිදු උත්සාහයක් නොදරා කිසි ප්‍රතිවිරෝධයක් නැතිව ප්‍රවාහය හා සමගම යන බැවිණි.

    දැන් පටිසෝතගාමි දෙස හැරෙමු. 'පටි' යනු "ප්‍රති" යන්නයි. හෙවත් විරුද්ධාර්ථ පදයයි. එවිට පටිසෝතගාමී යන වචනයේ අර්ථය ගලන ප්‍රවාහයට එදිරිව හෝ ඒ හරහා හෝ යෑම වේ.

    සරලව කියතොත් රැල්ලට ගසාගෙන නොයා උඩුගං බලා පිහිනීම නැතහොත් ගඟ හරහා පිහිනීම ඉහත වදනේ අරුත වේ."


    මේ විවරණය ඇසුරෙන් ඔබලාගෙන් බොහෝ ප්‍රශ්න බලාපොරොත්තු වීමි-විශේෂයෙන් ජොසෙෆ්ගෙන්.

    ප්‍රධානම ප්‍රශ්නය නම්, "සෝත" ප්‍රවාහ කීයක් පවතීද? යන්නයි. ඉන් නැගෙන අතුරු ප්‍රශ්න මහත් රාශියකි.

    ප්‍රස්තුතයට සම්බන්ද දෙ.ක., 2 යැයි ගැනීම එක් ප්‍රවාහයකට සාපේක්‍ෂව ගත් කළ සෝතගාමී වීමටත්, තවත් ප්‍රවාහයකට සාපේක්‍ෂව එසේ නොවීමටත් හැකි බව සරල නිරික්ෂණයකි. බොදු බල සේනාවේ ගෝසාව ද එසේමැයි. බුදුරජාණන් වහන්සේ, සෝතාපන්න යැයි කී තැනේදී සෝත යැයි හැඳින්වූයේ පැහැදිළිවම නිවන කරා නොවරදවා රැගෙන යන සත් තිස් බෝධි පාක්‍ෂික ධර්ම විය යුතුයි. එහෙත් සෝත යනු ඒ සෝතයම පමණක් විය යුතු නැත. සන්ධර්භය අනුව වචනය දෙන තේරුම වෙනස් වන බව සරල කරුණකි.

    අප ඉහත කළ විග්‍රහයේ සෝත යනු ප්‍රවාහ යැයි සඳහන් කළා මිස අදාළ සෝතය කිමැයි විස්තර කළේ නැත. ඒ නිසා අවස්ථාවට අදාළව සෝතය කුමක්දැයි අර්ථ දක්වා ගත යුතුය. ඒ අවස්ථාව තෝරා ගැනීමෙනි, බොදු බල සේනාව හෝ වෙනයම් කෙනෙක් හෝ සිටින්නේ කොතැනදැයි තීරණය කර ගත හැක්කේ.

    බොදු බල සේනාව සෝතයට බැස එය කළඹවන බව ජොසෙෆ් කී විට මා කළේ ඔහුට සුදුසු පරිදි සෝතය අර්ථ දක්වා ගැනීමයි. මෙය සිතුවිළි ට සාපේක්‍ෂව ම ගේ වරද වේ. සිතුවිළි ගේ සෝතය බුදුරජාණන් වහන්සේ අර්ථ ගැන්වූ සෝතයම විය යුතුයි. එසේ ගත් කළ බොදු බල සේනාව පමණක් නොව අපිද අනුසෝතගාමී වෙමු. දෙ.ක. නිරූපණයට 2 යොදා ගැනීමද අනුසෝතගාමි වේ.

    ReplyDelete
    Replies
    1. සිතුවිළිJuly 21, 2014 at 7:30 AM

      මිතුර කණිෂ්ක,
      මා ඔබලා හා සාකඡ්චාවෙහි නිරත වන්නේම ඔබලා පණ්ඩිතයින් යන දැකමක් මා තුල ඇති බැවිනි. මෙය මා එසේ ප්‍රකාශ කරනා වූ පළමු අවස්ථාව නොවෙයි.
      එසේ වූ පමණින් මා සියල්ල අදහන භක්තිවන්තයෙකු විය යුතුද? කිසිසේත් එසේ පිළිනොගනිමි. මා බුදු හිමියන් දෙසූ ස්‍රී ස්ද්ධර්මයද විමසන්නෙක්මි.
      එහෙත් එවන් විමසීමකදී මා හට පිළිතුරු දීමට බුදු හිමියන් අද නැත. උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දෙසූ ස්වාක්කාත වූ අකාලික වූ සද්ධර්ම සමූහයා ඒ වෙනුවට මා වෙත පිළිතුරු සපයයි.
      සද්ධර්මයද එය විමසනු රුචි වූ බාලයෙකුගේ ඉල්ලීම කිසිදින පැහැර නොහරින අතර ගැටළුව ඇත්තේ කොතැනද ඒ සඳහා පිළිතුරු ලබා දෙයි.
      ඔබලාගේ නිහඬ පිළිතුරු වටහා ගැනීමට තරම් මා ප්‍රඥ්ඥාවන්තයෙකු නොවිය හැක. එහෙත් එය අපරාදයකැයිද මා නොසිතමි. පුබ්බේතකත පුඤ්ඤතා යම් පමණකින් දරාගත් සසර සරණා තවත් එක් සත්ත්වයෙකු පමණක් වූ මා තුල අඩුලුහුඬු කම් කොතෙකුත් ඇත. ඇතැම දේ ඇති බව මා දනි නොදන්නා අඩු ලුහුඬු කමුත් බොහෝ විය හැකි බවත් දනිමි.
      ඇතැම් විට මා කීදේ ඔබ දෙපල මා කීසැටියෙන්ම වටහා ගන්නට ඇත. එසේ වටහා ගත් බව නුවනින් දැකීමට තරම් මා ප්‍රඥ්ඥාවන්ත නොවූවාද විය හැක.
      ප්‍රවාහයන් කීයක් වීදැයි වැනි වූ සංඛ්‍යාත්මක ප්‍රශ්නයක් ඔබ මගෙන් බලා පොරොත්තු නොවීම ගැන සතුටු වෙමි. මන්ද මේ තාක් මා කිසිදින එවැනි වූ ප්‍රශ්නයක් අසා නැති බැවින් හා සංඛ්‍යාත්මක පිළිතුරු මා අගය නොකරන බැවිනි. මා දකින හැටියට සංඛ්‍යාත්මක පිළිතුරු ඔබගේ සිතීමේ නිදහස අවුරුවා ලයි.
      ජෝසප්ට සාපේක්ශව සෝතය අර්ථ දැක්වීම ඔබගේ වරදක් ලෙස මා දැක්වූයේ නැත. කිසිවෙකුගේ වරදක් අල්ලා ගැනීමෙන් මා ලබන්නේ කුමක්ද?
      සිතුවිළිගේ සෝතය යයි දෙයක්ද නැත. මා අදහස් කරන්නේ බුදු හිමියන් විසින් සෝතය දෙයාකාරයකට අරුත් දක්වා ඇති බවත් සෝතාපන්න යන යෙදුමෙහි එන සෝතය පදනම් කර අරුත පැහැදිලි කරගත් අප ඊට ප්‍රථිවිරුද්ධාර්ථ වූ සෝතයක් ඇති සෝතගාමී යන්න ගැන සාකඡ්චාවෙහි යෙදී උන් බවයි.
      ඔබ අවසනට කියන පරිදි මාද සැබැවින්ම කියන්නේ අප සැම අනුසෝතගාමී බවම නේද?
      දෙ. ක. = 2 යන්න අනුසෝතගාමි යැයි කිවහැකි බව මා බැහැර නොකරමි.
      එය වෙනස් වූ සිතුවිල්ලක් බව කීමට මා යොදාගත් පමණට වඩා ගැඹුරු වදනකැයි මා ඉහත කියා ඇත.
      හොඳයි මින් මනත ඔබ පිළිතුරු නොදන කිසිවක් අරඹයා කිසිදු පැනයන් නොඇසීමට ඔබගේ නිහඬ පිළිතුරු වටහා ගැනීමට තරම් ප්‍රාඥ්ඥයෙකු නොවීම ගැන කණගාටු වෙමින් , බලාපොරොත්තු වෙමි.

      Delete
    2. සිතුවිළි මෙය වැරදියි.

      ඔබ අප හා සංවාද කළ යුත්තේ අප පණ්ඩිතයින් යන දැකමක් හේතුවෙන් නොවෙයි-සමානයන් ය යන දැක්මෙනුයි. මා කණිෂ්ක වර්ණනා කර ඇති බවත්, ඔහු විසින්ද මා වර්ණනා කර ඇති බවත් සත්‍යයක්. එහෙත් ඉන් කියැවෙන්නේ අප දෙදෙනා පණ්ඩිතයින් බව නොවෙයි. ඔහු හෝ මා හෝ කී දෙයක් ඔබ විසින් පිළිගත යුතුයි කියා සිතිය යුතු නැත. කණිෂ්ක බොහෝ අවස්ථා වල ඔහුගේ මත ඉදිරිපත් කරන විට නොවිමසා පිළිනොගන්න යි කියා ඒ මත ඉදිරිපත් කරනු දැක ඇත්තෙමි.
      ---

      "ඔබලාගේ නිහඬ පිළිතුරු වටහා ගැනීමට තරම් මා ප්‍රඥ්ඥාවන්තයෙකු නොවිය හැක."
      මෙය පුරුද්දකි. නිහඬ පිළිතුර දෙන අවස්ථා ඇත. එය පුරුද්දෙන් දත යුතුයි. එහෙත් මෙතැන නිහඬතාවය පිළිතුරක් ලෙස ගත හැකි ප්‍රශ්නයක් තිබුණිද? නැත. මට තේරෙන දේ නම් ඔබ මට මිස කණිෂ්කට ප්‍රශ්න ඉදිරිපත් කර නැති බවයි. මා පිළිතුරු නොදුන්නේ අවිවේකය නිසා මිස ඉතා ගැඹුරු "නිශ්ෂබ්ද" පිළිතුරකින් ඔබට සංග්‍රහ කර ඇති නිසා නොවේ.
      ---

      "මෙය සිතුවිළි ට සාපේක්‍ෂව ම ගේ වරද වේ" යැයි කණිෂ්ක කී තැන සිතුවිළි විසින් කණිෂ්ක වෙත වරදක් ආරෝපණය කරන ලදැයි කියවෙන්නේ නැත. ඔහු කියන්නට තැත් කරන්නේ වෙනත් දෙයකි.
      ---

      "මින් මනත ඔබ පිළිතුරු නොදන කිසිවක් අරඹයා කිසිදු පැනයන් නොඇසීමට ..." හික්!
      ඔහු පිළිතුරු නොදෙන බව ඔබ දැන ගන්නේ පිළිතුරු නො-දීමෙන් පසුව නොවේද? එසේනම් පැන නොවිමසා සිටින්නේ කෙසේද? මේනම් සිදු නොවන වැඩකි. හැරත්, මට වැටහෙන ලෙස ඔහු ඔබට පිළිතුරු දී ඇත. මේ අනවශ්‍ය ස්ථාවරයකට මාරු වීමකි. විශේෂයෙන්, මෙය තුන් දෙනෙකුගේ වන් මෑන් ෂෝ එකක් වී ඇති විට ඔබේ නිහඬතාවය සෑම අතින්ම හානිකරයි. ලංකා සී නිවුස් තවදුරටත් සංවාදයට නුසුදුසු තැනක් වෙමින් පවතින මේ වකවානුවේ දෙතිස්කතාව නිහඬ කිරීම පාපයකි. එය නොකරන ලෙස උදක්ම ඉල්ලා සිටිමි. ඔබ දෙදෙනාම මෙහි ලේඛකයන් ය. හුදෙක් කියවන්නන් සිටින්නේ මා පමණි.

      Delete
    3. සිතුවිළිJuly 22, 2014 at 7:12 PM

      හ්හ්හ්ම්ම්ම්ම්!!
      ප්‍රශ්නය අහන්න කලින් පිළිතුරු දෙන නොදෙන බව දන්නේ කෙසේද?
      හහ්! දන්නේ නැද්ද මට පරචිත්ත විජානන ඤානය තියෙනවා කියලා?

      එහෙම නෙවෙයි, මම කිව්වේ මම ප්‍රශ්නයක් ඇහුවහම පිළිතුරක් නොලැබුනොත් මම නිහඬ වෙනවා කියලයි.
      එහෙම නැතිව මම කථා 32 එක්ක තරහා වෙලා නිහඬ වෙනවා කියලත් නෙවෙයි.

      හැබැයි එතැන ඔබ වැදගත් කථාවක් කියනවා ඒ තමයි අපි තුන්දෙනාගේ වන් මෑන් ශෝ එක ගැන. මම නිහන්ඩ තාවයට එරෙහිව අදහසක් කීවේ මෙන්න මේ තත්වයට ප්‍රධානම හේතුව හැටියට මම ඒක දකින නිසයි.

      ජෝසප් ඔබ හොඳින් හිතා බලන්න, අතරමග නතර වුනු අපගේ සාකච්ඡා කීයක් නම් මේ අඩ්වියේ ඇතිද? ආසන්නම උදාහරණය අවිද්‍යාගේ ලිපියෙහි ඔබ අවසනට අසා ඇති පිළිතුරු නොලැබුනු ප්‍රශ්න දෙස බලන්න. මේ එක් උදාහරනයක් පමණයි.
      ඔබ යහ චේතනාවෙන් මෙහි ගෙන ආ උන් කෝ, උන්ට මක් වීද? මා පමණක් කොහොල්ලෑ ගාගත් එකෙකු මෙන් ඇලී සිටිමි.

      ඒ ඔක්කොටමත් වැඩිය අකණ්ඩව දිගටම ලිපි කිහිපයක් ලිවූ අවිද්‍යාට මක් වීද?

      සී නිව්ස් ගැන නම් කීමට දෙයක් නැත. අපගේ දායකත්වයෙන් තොරවූ පොහොය සාකච්ඡාව හාල් මැස්සා නියමසිංහ ඇතුළුව අර දෙවියන්ගේ ගෝලයෝ දෙතුන් දෙනත් සමග සුමණබෝධි හිමියන් අගේට කරගෙන යති.

      මා කථා 32 හැර යන්නට? එක්ක ආවා වගේ ලේසියෙන් ඒක නම් කරන්න බැරි වේවි!

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !