Saturday, December 8, 2012

කඨින පූජා ගැන සටහනක්

මේ ලිපිය සිතුවිළි නමැති මා මිතුරා ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරකි. ඔහුගේ ප්‍රශ්න පහත පරිදි වේ.
  • කඨින චීවර පූජාව දහම හා බැඳෙන්නේ කෙසේදැයි ඔබට මා වෙත පහදා දිය හැකිද, එය සාමාන්‍ය චීවර පූජාවකට වඩා වෙනස් වන්නේ කුමන අයුරකින්ද?

  • "මා දකිනා හැටියට කඨින චීවර පූජාව යනු ධනවතුන් විසින්ම කරනු ලබන ලෞකික අපේක්ශා මුදුන් කොට කරන පින්කමකි, මෙ පින්කමෙහි ඇතුලාන්තය ගැන මා නොදනී." එමෙන්ම භික්ෂුවක් උදෙසා කරන අන් චීවර පූජාවකට වඩා මෙවැන්නක් උසස් වන්නේ කෙසේද? එය දහම හා ගැලපෙන්නේ කෙසේද? යන වගත් දැන ගැන්මට කැමැත්තෙමි.
මෙතැන් සිට සංගෘහිත වන්නේ ඔහුගේ ප්‍රශ්න වලට පිළිතුරුයි. රචනාව කෙටි කර ගැනීම පිණිසම කෙටි මාතෘකා බෙදා කරුණු වලට ගොනු කළෙමි. වැඩිදුර විග්‍රහ වලට නොයමි.

වස් විසීම, වස් පවාරණය හා චීවර මාසය

  • සියලු උපසපන් භික්ෂූහු වස් විසිය යුත්තාහ. වස් විසීමේ ක්‍රම දෙකකි. පෙරවස් විසීම හා පසු වස් විසීම වශයෙනි.
  • සාමාන්‍යයෙන් පෙරවස් සමාදන් වන්නේ ඇසල පෝ දිනයි, වප් පෝ දින පවාරණය කරයි. සාමාන්‍ය පසුවස් විසීම නිකිණි පෝ දින කර ඉල් පෝ දින පවාරණය කරයි.
  • වප් සහ ඉල් පෝ දින දෙක අතර කාලය චීවර මාසය වේ. කඨින පින්කම් පැවැත්විය හැක්කේ මේ මාසය තුලදී පමණි.
  • වස් නොකඩා රැක ගෙන පවාරණය කළ භික්ෂුවකට පමණි කඨින චීවරයක් පිලි ගත හැක්කේ. මේ හේතුවෙන් පසුවස් විසූ භික්ෂුවකට කඨින චීවරයක් පිළිගත නොහැක.

කඨින පිංකම සහ එහි දුර්ලභ බව

  • කඨින චීවරයක් පිළිගත හැක්කේ උපසම්පදා භික්ෂුවකට පමණි. එසේම මේ පිංකමට උපසම්පදා හිමි වරු පස්නමක් වත් සිටිය යුතුය. ලක්දිව උපසම්පදාව අතුරුදහන් වී තිබූ අඳුරු කාල වල වාසය කල පිංවතුන්ට මේ පිංකම කර ගත හැකි නොවීය.
  • එසේම කිසියම් ආරන්‍යයක, පන්සලක, විහාරයක වස් විසූ භික්ෂුන් නැතිනම් කඨින පූජාවක් කළ නොහැක. වස් විසූ භික්ෂුන් සිටියත් ඒ අය වස් බිඳගෙන සිටීනම් ඒත් මේ පූජාව කළ නොහැක.
  • වස් විසූ භික්ෂූන් කොතෙක් සිටියත් විනයානුකුලව ඇතිරිය හැක්කේ එක් කඨිනයක් පමණි, එනම් පූජා කළ හැක්කේ එක කඨින චීවරයක් පමණි.
  • එසේම, පූජා කරන වස්ත්‍රය කපා මසා පඬුපොවා සිවුරක් ලෙස සකස් කිරීමද වරුවක් තුල සිදු කළ යුතුය. මෙය වෙහෙස නොබලා කළ යුතු සියුම් කාර්යයකි.
  • කඨින චීවරය තෙවරක් පූජා කෙරේ. පළමු වර දායකයන් විසින් අරුණ නැගීමට පළමු මහසඟරුවනට වස්ත්‍රය පිළිගැන්වේ. දෙවනුව ඒ වස්ත්‍රය චීවරයක් ලෙස සකස් කර මහසඟරුවනට පිළිගැන්වේ. තෙවනුව මහසඟරුවන විසින් එහි සිටින භික්ෂූන් වහන්සේලා අතරින් ඒ විහාරයේ පෙරවස් වසා එය නොකඩා රැකගෙන මහා පවාරණයෙන් පවාරණය කළ සුදුසු නමක් තෝරා කඨින චීවරය පිළිගැන්වේ.
  • එසේ පිළිගැන්වීම විනය කර්මයකි. වෙනත් චීවර දානය හා ප්‍රතිග්‍රහණය විනය කර්මයක් ලෙස නොගැනේ. (මේ පිංකමට උපසම්පදා භික්ෂුන් පස් නමක් අවැසි වෙන්නේ එය විනය කර්මයක් වන බැවිණි.)
  • පළමු වර මහසඟ සතු කොට පිදුණු වස්ත්‍රය නැවත චීවර සම්පාදනය පිණිස දායකයන්ට පැවරීමත්, එසේ සකස් කෙරුණු චීවරය මහසඟ පිරිස විසින් එක් නමකට පූජා කිරීම නිසාත් මේ පිංකමට රැස්ව සිටින සියළු දෙනා එක වරම දායකයින් හා ප්‍රතිග්රාහකයින් බවට පත්වේ. මෙය සිදු වන වෙනත් අවස්තාවක් මට සිහි නොවේ.

කඨින චීවර පූජාවේ ආනිසංශ

දායකයාට මෙන්ම ප්‍රතිග්‍රහකයාට ද කඨින චීවර පූජාවෙන් ලැබෙන ආනිසංශ දහමේ විස්තර කෙරේ.

කඨින චීවරය පිළිගත් සංඝයා වහන්සේට ලැබෙන ප්‍රතිලාභ

කඨින චීවර පූජාව පිළිගත් මහාසංඝයා විසින් තෝරාගත් එක් නමකට එම චීවරය පවරනු ලැබේ. එය පිළිගන්නා නමට විශේෂ වරප්‍රසාද කිහිපයකට හිමිකම් ලැබේ.
  1. අනාමන්‍තචාරො : භික්‍ෂූන් වහන්සේ නමක් තමන්වහන්සේ වැඩ සිටින ආවාසයෙන් පිටත වඩින විට කිසිවෙකුට හෝ කියා වැඩිය යුතු ය. කඨින චීවරයක් පිළිගත් භික්‍ෂූන් වහන්සේ නමකට කිසිවෙකුට නොදන්වා ආවාසයෙන් පිටවිමෙවන් කිසිදු ඇවැතක් සිදු නොවේ.
  2. අසමාධානචාරො : සෑම දිනක ම අරුණු නැගෙන විට භික්‍ෂුව සමීපයෙහි තුන් සිවුර තිබිය යුතු ය. එසේ නොවුණහොත් ඇවැතක් සිදු වේ. එහෙත් කඨින චීවරයක් පිළිගත් භික්‍ෂූන් වහන්සේ නමකට තුන් සිවුර සමීපයෙහි නොතිබුණාට ඇවැතක් සිදු නොවේ.
  3. ගණභොජනං : සැදැහැවත් දායකයින් භික්‍ෂූන් වහන්සේලාට සිය නිවසේ දානයකට පොදුවේ ආරාධනා කළ යුතුය. පෞද්ගලිකව ආරාධනයක් පිළිගතහොත් ඇවැතක් සිදු වේ. එහෙත් කඨින චීවරයක් පිළිගත් භික්‍ෂූන් වහන්සේ නමකට දායකයාට අනුග‍්‍රහ පිණිස පෞද්ගලික ව හෝ නිවසකට වැඩම කොට දානය වැළදීමෙන් ඇවැතක් සිදු නොවේ.
  4. යාවදත්‍ත චීවරං : උපසම්පදා භික්‍ෂූන් වහන්සේ නමකට තුන් සිවුරක් අධිෂ්ඨාන කරගෙන පරිහරණය කරන්නේ නම්, ඊට අමතර ව සිවුරු පරිහරණය කළ නොහැක. එහෙත් කඨින චීවරයක් පිළිගත් භික්‍ෂූන් වහන්සේ නමකට සිවුරු ඕනෑම ප‍්‍රමාණයක් පරිහරණය කළ හැක.
  5. යො ච තත්‍ථ චීවරුප්පාදො සො නෙසං භවිස්සති : අන්‍ය අවස්ථාවන්හිදී සඟ සතුකොට පූජා කළ පූජාවන් තනි ව පරිහරණය කිරීම වරදකි. එහෙත් කඨින චීවරයක් පිළිගත් භික්‍ෂූන් වහන්සේ නමකට පූජා කරන ලද සියලූ ම දේවල අයිතිය හිමිවන අතර, සියල්ල පෞද්ගලික ව වුවද පරිහරණය කළ හැක.
මේවා සාමාන්‍ය භික්ෂු විනය ඉක්මවා යාම් වේ.

කඨින චීවර පූජා කිරීමේ ආනිසංශ

කඨින චීවරයක් පූජා කිරීමෙන් ලැබෙන අනුසස් බුද්ධ දේශනාවේ මෙසේ සඳහන් වෙයි.
"ගිරිරාජ සමංරාසිං - සංඝෙ දේති තිවිවරං
ඒකස්ස කඨින දානස්ස - කලං නාග්ඝති සෝළිසිං
මහාමේරු පර්වතය දක්වා උසට තුන්සිවුරු (තනිපට සිවුර, දෙපට සිවුර හා අඳනය) පූජා කළත්, කඨින චීවරයක් පිදීමෙන් ලැබෙන අනුසස්වලින් දහසයෙන් පංගුවක් හෝ නොලැබේය යනු එහි දළ අදහසයි.

පිරිසිදු දඹ රනින් අකනිටා බඹ ලොව දක්වා උසට සෑයක් සාදවා පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස කඨින චීවරයක් පූජා කිරීමේ කුසලයේ දහසයෙන් පංගුවක් වත් නොවන බව තව තැනක දැක්වේ.

කඨින චීවරය මැසීමට ගසන එක් ඉඳීකටු පහරකට තිසිහතර වාරයක් බැගින් සක්විති රජව ඉපදීමට තරම් හේතු සම්පත් ඇති බව
"ආරපථෙ ආරපෙථ - චක්කවත්ති සිරිං ලභෙ
අසිතිං ච චතුක්ඛත්තුං - චක්කවත්ති අහොසහං"
යන ගාථා පාඨය පැහැදිලි කරයි.
"පඨවිරිව න ජාතු කම්පතෙ - නචලති මේරු රිවාති වායුනා
වජිරමිව න භිජ්ජතෙ ඝනං - තමිද මතො කඨිනන්ති චුච්චති"
මහ පොළව මෙන් කම්පා නොවන මහමෙරමෙන් සුළඟින් නොසෙල්වෙන ඒකඝන වූ වජ්‍ර පර්වතයක් මෙන් නොබිඳෙන හෙයින් කඨිනය යන වචනය ව්‍යවහාර කෙරේ යනු ඉහත ගාථාවේ අදහසයි.

මෙසේ කඨිනානිසනිශංස ගැන කියැවෙන ගාථා බොහෝ ගණනක් ඇත. මේවායේ දැක්වෙන උපමා ඉවත් කර ඉතා සරලව කීවොත්
"මානුසිකාච සම්පත්ති - දේවලෝකේච යා රතී
යාච නිබ්බාණසම්පත්ති - සබ්බමේතේන ලබ්භති"
යන ගාථාවෙන් දැක්වෙන ලෙස මිනිස් ලොව, දෙව් ලෝ වල උතුම් සැප විඳීමටත් නිවන් දක්නා තුරා කල්ප ගණනක් සැපම ලබා දීමටත් මේ පිංකමට බලයක් පවතී. මෙය අට මහා කුසල් වල මුලටම කියවෙන්නේ නිර්වාණාවබෝධයටද මේ පින උපස්තම්භක වන නිසයි.

ටිකක් විස්තර කළොත්,
  • උපනුපන් සියලූ භවයන්හිදී දිව්‍ය සම්පත්, මනුෂ්‍ය සම්පත්, පරිවාර සම්පත්, ආහාරපාන, ඉඳුම්හිටුම්, වස්ත‍්‍රාභරණ මෙන් ම සියලූදෙනාගේ ගරුබුහුමන්, වැඳුම්පිදුම්, පූජාසත්කාර ආදිය හිමි වේ.
  • සියලූ දෙසින් පැමිණෙන සියලූ උපද්‍රවයන්ගෙන් ආරක්‍ෂාව ලැබේ.
  • සියලූ පූර්ව අකුසල කර්මයන්ගේ විපාකවල බලපෑම අඩු වේ.
  • මනුලොව උසස් කුල වලම උපදී.
  • චක‍්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය මෙන් ම ශක‍්‍ර සම්පත්තිය ද ලැබීමට හැකි වේ.
  • කොතැනක ඉපදුණත් ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් හා ප‍්‍රඥාවෙන් ආඪ්‍ය වූ ජීවිතම ලබයි.
  • සියලූ ක්ලේශ බන්‍ධනයන්ගෙන් මිදී නිවන් අවබෝධ කරගැනීමටත් හේතු වාසනාව ලැබේ

කඨින චීවර පූජාවේ පරිවාර දාන

මේ පිංකම කෙරෙන විට කඨින චීවරයට අමතරව තව චීවර හා වෙනත් කැප භාණ්ඩ ඕනෑ පමණක් සංඝික කර පූජා කළ හැක. ඒවාද කඨින පිංකමේ කොටස් බවට පත් වන හෙයින් අනෙක් දාන වලට වඩා මහත්ඵල මහානිසංශ වේ. කඨින පිංකමේදී පූජා කරන ඉඳි කටුව පවා බොහෝ සැප සාදා දීමේ සමත් වේ.

පෙර කළ රජ වරු පවා ඉතා උනන්දුවෙන් මේ පිංකම පැවැත්වූහ. බොහෝ රජවරු මේ පිංකම රාජ්‍ය අනුග්‍රහ සහිතව බොහෝ පිරිවර සමග එක් වී එදිනම කපු කැට නූල් අඹරා ඒවායින් රෙදි වියා ඒ වස්ත්‍ර වලින් කඩ කපා මසා චීවර නිපදවා කඨින චීවර ලෙස සකසා බොහෝ අවශේෂ පරිෂ්කාර සහිතව දන් දී පිරිවර සමග දෙව්ලෝ ගියහ.

ඒ නිසා කියන ලදී, පිං කැමැත්තෝ කඨින චීවර දානය කෙරේ සැදෑ ඇති කර ගනිත්වා !



ඉහත විස්තර කළ කඨිනානිශංස පිලිබඳ විශ්වාසය හේතුවෙන් ඕනෑම විහාරස්ථානයක වාර්ෂික කඨින චීවර පූජා පිංකම ඉතා සාර-භාර පිංකමක් වී තිබේ. පෙර මෙන් ජනයාගේ හිත සුව පිණිස චාරිකාවේ හැසිරෙන භික්ෂූන් දුර්ලභ මෙකල වසර පුරා පන්සලට වී සිටින භික්ෂූන් වහන්සේට අමුතුවෙන් ආරාධනා කර වස් වස්වති.

වස් කාලය පුරා නොයෙක් විසූක-දස්සන සහිත පුද පූජා පවත්වනු ලැබේ. වස් කාලය අවසානයේ හේවිසි හොරණෑ ගසමින් - භක්ති ගී කියමින් - නැටුම් නටමින් - මල් බයිසිකල් - කොඩි, සේසත් සහ සමහර විට අලි ඇතුන්ද සහිත පෙරහැරකින් කඨින චීවරය වීථි සංචාරය කර පන්සලට වඩම්මති. මග දිගට ජනයා හිමිදිරිය පින්න නොබලා ඊට පුද පූජා කෙරෙති. සමහර විට කඨිනය සමගම කප්රුක් පූජාද පවත්වති.

විශේෂයෙන් අගනුවර ආශ්‍රිත හා නාගරික ප්‍රදේශ වල විහාරස්ථාන වල කඨින චීවරය බාර ගැනීමම තරඟයක් වී තිබේ, කඨින චීවර පූජාව පැවැත්වීම තත්ත්වය ප්‍රදර්ශනයක් වී තිබේ. මේ සියල්ලට හේතුව ඉහත දැක්වූ කඨිනානිශංස මිස වෙනත් දෙයක් නොවේ.

සිතුවිළි මා මිතුර, "මා දකිනා හැටියට කඨින චීවර පූජාව යනු ධනවතුන් විසින්ම කරනු ලබන ලෞකික අපේක්ශා මුදුන් කොට කරන පින්කමකි" යන ඔබේ අදහස මින් තහවුරු වූ බව සිතෙන්නේද?

22 comments:

  1. මිතුරු කේ,
    ඔබගේ වටිනා කාලය යොදා මෙතරම් පරිපූර්ණ වූ පිළිතුරක් ගොනු කිරීම ගැන මා ඔබට අනේකවාරයක් පින් දෙමි.
    ඔබ අවසනට මා වෙතින් අසන පැනය අනුව මා සිතන්නේ අද විකෘති වූ තත්වයක් තුල මා සිතූ අයුරු නිවැරදි බවයි.කෙසේවෙතත් අන්සියළු සීලයන් මෙන්ම, වස් විසීමද අදාලභික්ෂුවගේ අවංකත්වය මතම පවතී. භික්ෂුව නිවැරදි යන පදනමේහි දායකයින් කරනා පූජාවෙහි යම් හරයක් ඇත.
    කෙසේ ව්තත් ඔබ කියා ඇති පරිදි මේ පූජාව මගින් පතනුයේ බොහෝ සම්පත් ඇති දෙව් මිනිස් සැපතයි. එනම් කෙලෙස් වඩවනා පැතුමයි. තෘශ්නාවෙන් බරිත ධනවතුන්ම (රජුන් උවත්) මෙයට පෙළැඹෙන්නේ ඒ නිසාම යැයි සිතමි.
    දානයෙහි පරම අපේක්ශාව වූ, අත් හැරීම මින් ඵල නොවනා බව මට සිතුනි.
    නිවන් මගට අවැසි පරම පෝශනය වූ කෙලෙස් තුනී කිරීමක් මෙහි නැත, මිනිස් ලොව වස්තුව ධනය ලැබූ තන්හාවෙන් බරිත වූ කෙනා මීලඟ බවයෙහිද තෘශ්නාවම සැතපවීමේ අරමුණින් මෙවැනි පින්කම් වල යෙදෙතැයි මට සිතේ
    සිතුවිළි

    ReplyDelete
    Replies
    1. හොඳයි සිතුවිළි,

      "අන්සියළු සීලයන් මෙන්ම, වස් විසීමද අදාලභික්ෂුවගේ අවංකත්වය මතම පවතී --- A" කියා ඔබ කියයි. ඔබේ පැනයත් මගේ පිළිතුරත් කඨින පූජාව ගැන මිස වස් විසීම ගැන නොවේ. කමක් නැත, කඨින චීවරයක් පූජා කිරීමට වස් විසූ භික්ෂුවක් අවශ්‍ය බැවිණි.

      පහත උපුටා ගැනීම ඔබේ ලියවිල්ලෙනි.
      "කෙසේ ව්තත් ඔබ කියා ඇති පරිදි මේ පූජාව මගින් පතනුයේ බොහෝ සම්පත් ඇති දෙව් මිනිස් සැපතයි. එනම් කෙලෙස් වඩවනා පැතුමයි. --- B"
      "දානයෙහි පරම අපේක්ශාව වූ, අත් හැරීම මින් ඵල නොවනා බව මට සිතුනි. --- C"

      හ්ම්, සිතුවිළි, ඔබට කවුරු හෝ මීට පෙර, භෞතිකවාදියෙක්, විඥානවාදියෙක්, හේතුවාදියෙක් හෝ ඕල්කොට් බෞද්ධයෙක් හෝ වෙනත් එවැනි අපභ්රංස වචනයකින් දමා ගසා තිබේද? එසේ තිබිය යුතුයි, නමුත් මගේ උත්සාහය ඔබට අළුත් උප්පැන්නයක් සෑදීමට නම් නොවේ.

      සිතුවිළි, මේ අයුරින් සිතා බලන්න.

      අනාගතයේ කාසාව කණ්ඨක නම් ගණින්නාන්සේලා පිරිසක් බිහි වන බව ඔබ අසා තිබේ යැයි සිතමි. සංඝික කර උන්ට දෙන දානයද බුද්ධ කාලයේදී රහතන් වහන්සේලාට දුන් දානයට සම වන බවත් ඒ දාන දෙකම මහත්ඵල මහානිසංශ වන බවත් දහමේ සඳහන් වේ. මා මුල් ලිපියේ සඳහන් කළ පරිදි දායකයින් විසින් කඨින චීවර පූජාව සිදු කරනු ලබන්නේ මහා සංඝයා විෂයෙහිය. මහා සංඝයාගෙන් නමක් තෝරාගෙන ඒ වහන්සේට චිවරය බාර කිරීම මහා සංඝයාගේ කාර්යයකි. ඔබේ මුල් තර්කය (A) වලංගු නැති බව මේ පැහැදිලි කිරීමෙන් පෙනේ යැයි සිතමි.

      ඔබ ප්‍රේතයන් ගැන කතා කියවා ඇත්ද? කාශ්‍යප බුදු රජුන්ගේ පිරිනිවීමේ සිට අපේ ගෞතම බුද්ධ කාලය දක්වා පොලොව හත් ගවුවක් වැඩුණු බවත් එකී ප්‍රේතයන් ඒ මුළු කාලයම ගින්නෙන් දැවෙමින් / කුසගින්නෙන්-පිපාසාවෙන් පෙළෙමින් ගත කළ බව එකී කතා වල කියැවේ. පොළව වැඩෙනවායැයි කියන්නේ වසර සිය ගණනකට අඟලකි. මා පෙන්වා දීමට උත්සාහ කරන්නේ අපායන්හි ජිවිත වලට සාපේක්ෂව මිනිස් ජීවිතය ඉතා කෙටි බවයි. ඔබ අර මා මුලින් කී වාදීන් ගෙන් කෙනෙක්යැයි ඔබම පිළිගන්නවානම් මෙතනින් එහා කියවිය යුතු නැත.

      ශ්‍රී ගෞතම සම්බුද්ධ සාශනය පවතී යැයි කියන්නේ පන්දහසක් කල් පමණි. ඉනුත් දෙදහස් හයසියයක් දැන් ඉකුත් වීය. ඔබ මේ භවයේම නිවන් දකින බවට හෝ මේ භාවයෙන් අනතුරුව සුගතිගාමී වනු ඇති බවට හෝ සහතිකයක් ඇත්ද? එසේ ඇත්නම් මා ඔබෙන් උපදෙස් පැතිය යුතුයි.

      අවාසනාවට බහුතර බෞද්ධයින්ට එවැනි සහතිකයක් නැත. කඨින චීවර පූජාවක් කර ගැනීමට උපසපන් භික්ෂුවක් නොසිටි අවාසනාවන්ත වසර සිය ගණනක් ගෙවුන බව ඔබ දනී. දැන් පවතින්නේ පින් කර ගත හැකි කාලයයි. පොළොව තෙමි ඇති විට වැපිරීම කළ යුතුය. වැස්ස පායා නියඟය ආ විට අහසට බැනීමේ තේරුමක් නැත. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තලු කිවේ ඇයි? එසේ කීවේ ඉදිරියට එන නරක කාලයේදී කරන දේ පල නොදරන බවයි. ඉදිරියට පින අඩු වේ. ඔබ අද හිඟන්නෙකුට රුපියල් 10 දී ලබා ගන්නා පින තව වසර 10 කින් රුපියල් 1000 දී වත් ලබා ගත නොහැකි වනු ඇත. මෙය උද්ධමනයයැයි ආර්ථික විශේෂඥයින් කියනු ඇත. එහෙත් අපේ ශාස්තෘන් වහන්සේ ආර්ථික විද්‍යාඥයෙක් නොවේ. මේ කීවේ ඔබේ දෙවන ප්‍රකාශය (B) ගැනය.

      දානයේ පරම අපේක්ෂාව අත් හැරීම බව සත්ත්යයකි කියා මොහොතකට සිතමු. මෛථුනයේ පරම අර්ථය කුමක්දැයි ඔබ සිතනවාද? මිනිස්සු දෙයක් කරන්නේ 'පරම' අර්ථය සළකාගෙන නොවේ. එසේ පරම අර්ථය සළකාගෙන පමණක් කියාවක්‌ කරයිනම් ඊට 'පරම' කියා විශේෂණ දැක්විය යුතුද නොවේ. දන් දීමේ පරමාර්ථය අතහැරීම වුවත් පින්-පව් අදහාගෙන දන් දීම නිවැරදි ක්‍රමයයි.

      සිතුවිළි,

      දන් දීමේ පරම අපේක්ෂාව අත් හැරීම නොවේ යැයි මම කියමි. අත්හැරීම පිණිස දන් දීම අත්‍යාවශ්‍ය නැත. සමහර ගෑණු සිය දරුවන් මහමග දමා යති. සමහර මිනිස්සු දරු-පවුල අතහැර වෙන ගෑණු සමග යති. දරුවෝ දෙමව්පියන් හැර දමා දුරු රට යති. කැඩුණු වාහනය මහමග දමා යති, ගිනිගත් නිවෙස හැරදමා එලියට පැන ගනිති. පරණ ගෘහ භාණ්ඩ විසි කරති. මේවා ද අතහැරීම්ය. එහෙත් දාන නොවේ.

      අතහැරීම නම් නෛෂ්ක්‍රම්‍යයයි. දානය නොවේ. මේ දෙක පටලවා ගත යුතු නැත. දානය තුල නෛෂ්ක්‍රම්‍යයද ඇත. එහෙත් එය නැති වූවා කියා දානය අසම්පුර්ණ නොවේ. වෙස්සන්තර රජු මන්ද්‍රි දේවිය ජූජක බමුණාට දීම දානයයි. සිදුහත් කුමරු යශෝධරා දේවිය මාලිගයේ දමා යාම නෛෂ්ක්රම්යයයි. මේ කීවේ ඔබේ තෙවන ප්‍රකාශයට (C) පිළිතුරකි.

      තවත් එක කරුණක් කියා අවසන් කරමි.

      දස වස්තුක සම්මා දෘෂ්ටිය යනු කුමක්දැයි ඔබ අසා ඇතුවා වීය යුතුයි. ඉන් පළමු එක 'දානයෙහි විපාක ඇත' යන්නයි. පින් පව් අදහාගෙන දන් දීම (එනම් සම්මා දිට්ඨියෙන් යුතුව දන් දීම) එසේ අදහා නොගෙන දන් දීමට වඩා මහත්ඵල මහානිසංශ වේ. එනම් පරලොව සැප වැඩිම පිණිස වේ.

      මේ කියූ කරුණු වල ගලා යාමේ අඩුපාඩු තිබිය හැක. වැරද්දක් දුටුවොත් මම නිවැරදි කරන්නම්. සිතුවිළි, අමනාප නොවී මේ ගැන සිතා බලන්න. ඔබේ අදහස් ඉදිරිපත් කරන්නේ නම් සතුටු වෙමි.

      මිතුර, ඔබේ මූලික අදහස වැරදි යැයි නොකියන නමුත් එයට පාදක වන ඔබේ දෘෂ්ඨිය විසින් ඔබ වැරදි මගක ගෙන යන බව කීම මගේ අභිප්‍රාය වූ බව මතක් කරමින් අවසන් කරමි.

      Delete
    2. ලිපියේ අන්තර්ගතය ගැනත් සිතුවිළිගේ ප්‍රතිචාරය ගැනත් තව දුරටත් සාකච්චා කිරීමට දෙයක් ඉතුරු කර නැත.
      නිදිමතේ කියෙව්වා වුනත් සිතුවිළිට නැවතත් පිස්සු (k... මේ ඔබ සම්බන්ද දෙයක් නොවේ)නොහැදෙවා කියා පතමි. මටත් පිස්සු හදා ගැනීමට අවශ්‍ය නැත. සිතුවිළි දෙන පිළිතුර අනුව මමත් යමක් කිව යුතුනම් කියමි.
      මගේ යෝජනා දෙක සළකා බැලීම ගැන තුති පුදමි.

      Delete
  2. k...,

    මේ ලිපිය කියවීමෙන් පසු ඔබ මගේ ගුරුවරයෙක් ලෙස මා මිතුරන්ට හඳුන්වා දීම ගැන මට ඇති වූ ආඩම්බරය දරා ගැනීම අසීරු විය. මා මෙය කියෙව්වේ සෙනසුරාදා උදයේය, එතැන් පටන් කිහිප වරක් මෙය කියෙව්වෙමි. ලියනවානම් මෙන්න මෙහෙම ලියපන්, නැත්නම් නොලියා නිකං හිටපන් කියා කීමට කිහිප වරක් සිත් විය. ඇත්තෙන්ම මේ ලිපිය මෙතෙක් ඔබ ලියූ වටිනාම ලිපියයි. මෙවැනි ලිපියක් ලිවීමට ඔබ යොමු කළ සිතුවිළිට පිං දෙමි. මෙහි එන බොහෝ කරුණු මටනම් අළුත් දේ වේ.

    මා මෙතෙක් ප්‍රතිචාරයක් නොදැක්වූයේ මෙයට මුල්ම ප්‍රතිචාරය දැක්වීමේ අයිතියක් සිතුවිළිට ඇතැයි සිතුන නිසායි. මා වැඩි කලක් රඳවා නොගැනීම ගැන ඔහුට ස්තුතියි.

    ලිපියේ අන්තර්ගතය ගැනත් සිතුවිළිගේ ප්‍රතිචාරය ගැනත් වැඩි දුර සාකච්චා කළ හැකියැයි සිතේ. එහෙත් තව දිනක් කල් ගනිමි.

    ReplyDelete
    Replies
    1. මිතුර ජෝසප්,
      මෙවන් කළන මිතුරු ඇසුරකට මා යොමු කල ඔබට ඒ සියලුපින් නොමදව හිමිවේ. මෙවන් ලිපියක් ගැඹුරින් විග්‍රහ කිරීමට තරම් මා දැනුවත් නොවෙමු. මා පිළිතුර ගොනු කොට ඇත්තේ දහම පිළිබඳ මා තුල ඇති අල්පමාත්‍ර අවබෝධයම පදනම් කරගෙනයි.
      මෙහි කරුනු සියල්ලම මට අළුත් දැනුමකි.
      මා මේ පිළිබඳ පල කල අදහස ගැන ඔබගේ හරවත් දැක්මක් කියවීමට ලැබේ නම් භාග්‍යයක් කොට තකමි.
      සිතුවිළි

      Delete
  3. මට අළුත් යෝජනා දෙකක් තියෙනවා.

    1. comment වලට අමතරව contact us පිටුවක් දමන්න.
    එවිට ලිපියටම අදාළ නැති මෙවැනි දේ කෙලින්ම කිව හැකියි. email යැවිය හැකි බව ඇත්ත. ඒත් ඔබේ email එක ප්‍රසිද්ධ කර නෑ. අනිත් එක email එකට වඩා මේ ක්‍රමය පහසුයි. ඔබට අදහස් ඉදිරිපත් කරන කෙනා ඔහුගේ email ලිපිනය නිරාවරණය කළ යුතු වෙන්නෙත් නෑ.

    2. ඔබේ "දෙවියනි ඔබ කොහිද" ලිපිය ගැන.
    මා ළඟත් පරම්පරාවෙන් පැමිණි (හික් !) ඔවැනි කතා කිහිපයක් තියෙනවා. ඒවත් එවන්න පුළුවන්. යෝජනාව මේකයි. 'අන්දරේ' වැනි, 'මහදැනමුත්තා' වැනි, 'නස්රුදින්' වැනි පුද්ගල නමක් තෝරා ගන්න. පාදිලියන් (father), පාස්ටරයන් (pastor) සහ සියළු ආකාර වල ක්‍රිස්තියානි පූජකයන් (priest) සඳහා ඒ නම යොදා ගන්න. විවිධ නිකාය වල, විවිධ මට්ටම් වල ක්‍රිස්තියානි පූජකයින් විවිධ නම් වලින් හැඳින්වෙන බව ඔබ දන්නා බව සිතමි. උදාහරණයක් ලෙස rev.ඩයස් වැනි නමක් මේ සඳහා සළකා බලන්න.

    මේවා ගැන ඔබේ අදහස් දැන ගැනීමටත් කැමතියි.

    ReplyDelete
    Replies
    1. ජොසේෆ් ස්තුතියි.
      1. මෙය මා කිරීමට සිතා සිටි දෙයක්. ඉක්මනින් කළ යුතු බව සිතේ.
      2. උත්සාහයක් දැරිය යුතුයි. මුලින් ඔබ කී ලිපිය ඔබ කියන නම යොදා ලියා බලන්නම්.

      Delete
  4. මිතුර "K"
    ඔබ මා කියවූ අයුරු විශ්මිතය.
    කිසිවෙක් මට භෞතිකවාදියෙකුයැයි දමා ගසා නැත, එහෙත් මා කලෙක කොවුර් වීරයෙකු කරගත් උග්‍ර භෞතිකවාදියෙකු / හෙතු වාදියෙකු විය, එහෙත් සෝම හිමියන්ට පින්සිදු වන්නට මා ක්‍රමයෙන් ඉන් මිදුනෙමි. තවමත් මා තුල එහි හොල්මන් ඇති බව මාහට විටින් විට වැටහේ.
    ඔල්කට් බෞද්ධයා කියන වචනයට මා රුචි නොවෙමි, එම නිසා ඒ ගැන නොදොඩමි.
    (A ) මා කීමට උත්සහ කලේභික්ෂුව අව්ංක බව හෝ නැති බව දායකයාට වැදගත් නොවනා බවත් භික්ෂුව අවංක සිල්වතෙකු කොට සලකා පින්කම කිරීම හරවත් බවය, භික්ෂුවගේ ඇතුලාන්තය භික්ෂුවගේම කාරියක් මිස දායකයාගේ කාරියක් නොවෙනා බවයි.
    දානය කරන්නේ මහා සංඝයා විශයෙහි බැවින් මාගේ මතය බිඳ වැටුනු බව පිළිගනිමි.
    මේ භවයේ නිවන් දැකීම කෙසේ වෙතත් මේ භවයෙන් පසු සුගතිගාමී වීමට මා පතමි, කරනා සෑම පිනක් පාසාම නැවත මිනිස් භවයක් ලැබුනහොත් ප්‍රඥාවෙන් සරු භික්ෂූත්වයක්ම පතමි, කාම භෝගී දිවිය නොපතමි.
    එසේ සහතිකයක් ඇත්නම් ඔබ මාගෙන් උපදෙස් පැතිය යුතුයැයි කියන්නේ ඇයිදැයි මා හොඳින් හඳුනමි.

    මිනිස් ලොව අප සැපයයි කියනා නොයෙක් දේ විඳිමු, එහෙත් ඒ සියල්ල අවසන් වන විට දුක්වෙමු, කෙතරම් පින් කර ලදද දෙව්සැපයත් සීමා සහිත බව මා දනිමි. එම නිසා මා කිසිවිට එවැන්නක් නොපතමි. වැඩි වැඩියෙන් දෙව් සැප පැතීම තුල මාගේ කෙලෙස් වැඩේයැයි මා බිය වෙමි. මා කෙලෙසුන් යම් පමණකට හඳුනා ඇත්තෙමි.

    සිඟන්නෙකුට රු 10ක් දී හෝ දානයක් දී දුන්නට වඩා ලැබෙන පින් බැංකු ගිණුමක් පවත්වාගෙන යාමට මා නොකැමැත්තෙමි. මා යමක් දුන් විට එය ලබන තැනැත්තා ඉන් ලබන තෘප්තියම විඳිමි. ඉන් තුටු වෙමි ඉන් එහා දෙයක් නොපතමි.
    පන්සලට යමක් දීමට අවස්ථාවක් ලැබුනු විට හැකි උපරිමය දෙමි, අනෙක් ගෙදරින් දුන්නේ කීයක්දැයි මට වැඩක් නැත, මා දුන් දෙය ගැන පන්සලේ හාමුදුරුවන් සතුටු නම් මා සතුටු වෙමි, උන් වහන්සේ සතුටක් නොදක්වයි නම් මා ඉවසමි, හැකි පමන දුන්නා යයි සතුටු වෙමි.
    මා කිසි විටෙකත් දෙව් මිනිස් සැප කෙලවර නිවන නොපතමි, මා කරනා කර්මයන් අනුව ලැබෙන දෙයක් බාරගනිමි යහපත් චේතනාවෙන් අනාගත කර්ම සංස්කරනය කිරීමට වෙහෙසෙමි, අතීත කර්ම ගැන නොතකමි,
    දෙව් මිනිස් සැපනම් වූ ලෞකික පැතුම් නොපතා කරනා සෑම පින් කමකින්ම ප්‍රඥාවම පතමි. දානයෙහි ඵල ඇති බව දනිමි, එම ඵලය ලෞකික වශයෙන් ලබා ගැනීම ඵල රහිත ක්‍රියාකියි සිතමි.
    අත් හැරීමත් දානයත් ගැන ඔබ කියා ඇතිදේ ගැන සතුටු උනෙමි.
    මා අදහස් කලේ දීමෙන් ලෞකික යමක් පැතීම මගින් ඔබගේ නිවන දුරස් වන බවයි, එහෙත් භහුතරයක් කාම භෝගී ගිහියන් සැපතෙහි භයානක කම නොදකින නිසා ඔවුන් මෙය කෙරෙහි බැඳෙනා බව සැබැවි.
    කටින චීවරය ගැන කීවොත් එහි ඵල විපාක ඔබ දක්වා ඇත්තේ පූර්ණ ලෙසම ලෞකික කාරනාය. මා මෙයට තන්හාධික ධනවතුන් පෙළඹෙනවායැයි කීවේ එම නිසාය.

    මා දහම ගැන විශාල දැනුමක් ඇත්තෙකු නොවෙමි, එහෙත් දන්නා ටික හැකි පමන අවබෝධ කිරීමට වෙහෙසෙන්නෙක්මි.


    මා මෙය දකින අයුරු වැරදියැයි ඔබ තවමත් සිතනවාද?
    මා තුළ භෞතිකවාදී චින්තන හොල්මන් තවමත් ඇති බවනම් පිලිගත හැක.

    මාගෙ මෙ අදහස් හිස් ප්‍රලාප ලෙස ඔබ දකීනම් ඔබගේ වටිනා කාලය නාස්ති කර ගන්න එපා, හරවත් යමක් ඇත්නම් තව දුරටත් කථා කරමු.

    ජෝසප්. මා හට පිස්සු හැදුනේ නැත, මෙය හරවත් සාකච්චාවකි,එම නිසා අවුලක් නැත, හැකිනම් ඔබගෙන්ද පිළිතුරක් බලාපොරොත්තුවෙමි
    සිතුවිළි

    ReplyDelete
    Replies
    1. සිතුවිළි,

      පළමුව පමාව ගැන සමාව අයදිමි. පිළිතුරු දීමට පෙර ඔබේ විස්තරය කියවා අවබෝධ කර ගැනුම අවශ්‍ය විය. 'පින් බැංකු ගිණුමක්' වැනි නමකින් විස්තර කළ යුතු දෙයක් මා දන්නා තරමින් මේ දහම තුල නැත. මේවා කැමතිනම් අනුගාමික නිධාන ලෙස හඳුන්වන්න.

      පිනක් කර යමක් ප්‍රර්ථනා කිරීමත් පින්-පව් හි විපාක අදහාගෙන කිරීමත් දෙකකි. පිනක් කර ලෞකික සැපතක් පැතූ විට එය ඉටු වේයැයි නියමයක් මේ දහමේ නැත. නමුත් එක් එක් ලෞකික සැප ලැබීම පිණිස කළ යුතු පින්, වඩා නිවැරදිව කිවහොත් ප්‍රතිපදා ඇත. පව් කරන මිනිස්සු මා මේ පවින් අසුවල් අපායේ ඉපදේවා කියා පව් කරන සිරිතක් නැත. උහු මේ පව්කම් හි විපාක මා කරා නොඒවා කියා පතමින්ම පව් කරති. එසේ කියා විපාකය ඔහු හැර යන්නේ නැත. අවස්තාව පැමිණි කළ විපාක දෙයි. සමහර සුළු කර්ම අහෝසි වී ගිය හැකි නමුත් එසේ වන්නේ විපාක දීමේ ඉඩකඩ වෙනත් කර්ම විසින් ඇහිරීම නිසා මිස වෙනත් හේතුවක් නිසා නොවේ.

      ඔබට ඔබේ ආදායමට නොගැලපෙන අඩි පහේ ත්‍රිමාන රූපවාහිනියක් ගැනීමට සිත් වීයයි සිතන්න, ඔබේ ප්‍රතිපදාව කුමක්ද? මෙවැන්නක් මුදලින් රුපියල් ලක්ෂ හයක් පමණ වේ. රූපවාහිනිය පමණක් තිබී පලක් නැත. ඊට සරිලන ශ්‍රව්‍ය පද්ධතියක් හා තැටි ධාවකයක් ද තිබිය යුතුය. එය තබා ගැනීමට සුදුසු කුටියක්‌ ඔබ නිවසේ නැතිනම් එයත් සකස් කර ගත යුතුය. දෝංකාර නොදෙන ලෙස තිර රෙදි දමා විදුලි පේනු සවි කර ඊට ගැලපෙන අළුත් වැඩියා කර ගැනීමට ඔබට සිදු වේ. අන්න එසේ කළ විට පමණි මුලින් කී රූපවාහිනිය දරා ගැනීමට ඔබ සුදුසු වන්නේ.

      මේ කටයුතු මෙලෙස කිරීම පමණක් ප්‍රමාණවත් නැත. රූපවාහිනිය මිලදී ගන්නා විට ඔබේ ඇස අන්ධ වුනොත්, නැතිනම් රූපවාහිනිය ගෙදර ගෙනෙන විට අනතුරකට ලක් වී එය බිඳී ගියොත්, නැතිනම් පරණ ණය කාරයෙක් පැමිණ හිලව්වට එය ගෙන ගියොත්... රූපවාහිනිය ගැනීමට වෙහෙසීම පමණක් ප්‍රමාණවත් නැත. ප්‍රවේසම් වීමත්/ කර ගැනීමත් කළ යුතුය.

      ඉහත උපමාවෙන් විස්තර කළේ පින්-පව් අදහාගෙන කටයුතු කරන අකාරයයි. මට රූපවාහිනියක් ලැබේවා කියා ප්‍රර්ථනා කරමින් සිටියාට ඊට අදාළ දේ නොකළොත් ලැබෙන දෙයක් නැත.

      දැන් උපමාව හැර දමා උදාහරණයකට එමු.

      ඔබ පින් කර ප්‍රඥාවම පතන බව කියයි. ප්‍රඥාකාරක ධර්ම මොනවාද? ප්‍රඥාව වැඩීමට නම්, ප්‍රඥාව දානය කළ යුතුයි, දැනුම දානය කළ යුතුයි, ධර්ම දානය කළ යුතුයි. ධර්ම දේශනා පැවැත්වීම, ඉගැන්වීම, පොත් පත් ලිවිම හා ලියවීම, පොත් පත් දීම, පාසැල් වලට උදව් කිරීම, පුස්තකාල සෑදීම, ඉගෙන ගන්නා අයට උදව් කිරීම පමණක් නොව ආලෝකය සැපයීමට පහන් දැල්වීම, මාර්ග සංඥා දැක්වීම පවා ප්‍රඥාව වැඩීමට හේතු වන පින්කම්ය. ධර්ම සාකච්චාව තවත් එකකි. ඒවා දැනගෙන විපාක ගැන විශ්වාසයෙන් කළ යුතුය. පැතුවද කම් නැත, නොපැතුවද විපාක ලැබේ. එහෙත් විපාක අදහාගෙන කිරීම එසේ අදහා නොගෙන කිරීමට වඩා මහානිසංශ වීමට හේතුවකි.

      ප්‍රඥාඝාතක කර්ම මොනවාද? ධර්ම දේශනා වලට බාධා කිරීම, ඉගෙන ගන්නා අයට හිරිහැර කිරීම... සමහර විට පුස්තකාල ගිණි තැබීම... ?
      නැත. නපුරුම ප්‍රඥාඝාතක කර්මය රහමෙර පානයයි - මදයට ප්‍රමාදයට හේතු වන රහමෙර පානයයි. පංචසීලයේ සිල් පදය පමණක් නොකියා එය බිඳීමේ විපාකත් සිල් පදයටම ඇතුල් කර කියන ඉතා සුවිශේෂ සිල් පදය මෙයයි. ප්‍රඥාව ප්‍රර්ථනා කරන තැනැත්තා, තමන් රහමෙර පානයෙන් වැළකිය යුතුයි - අනුන්ට පෙවීමෙන්ද වැළකිය යුතුයි - බොන්නන්ට අනුග්‍රහ නොකළ යුතුයි - සහය නොදැක්විය යුතුයි - නොවිකිණිය යුතුයි - ප්‍රචාරය නොකළ යුතුයි - නොඉවසිය යුතුයි - අනුමත නොකළ යුතුයි.

      වෙහෙස මහන්සි වී මුදල් එකතු කර රූපවාහිනිය මිලදී ගත්තාට එය රැක ගත නොහැකිනම් පලක් නැත. ප්‍රඥාවද එසේය. සමහර දක්ෂ ශිෂ්‍යයෝ විභාග ප්‍රතිඵල පැමිණෙන විට පෙම් පලහිලව්වක් හේතු කොටගෙන දිවි හානි කර ගනිති. සමහර ශිෂ්‍යයෝ ඉගෙන ගැනීමට විශ්ව විද්‍යාල ගොස් විප්ලව කිරීමට තීරණය කිරීම හේතුවෙන් අධ්‍යාපනය කඩාකප්පල් කර ගනිති. සමහරු ආබාධිත වෙති. මේවා සිදු වන්නේ අහේතුකව නොවේ.

      තව දුරටත් කිව යුතු වන්නේ මෙහි ප්‍රතිපල ලැබීමට ඔබ මිය ගොස් නැවත ඉපදිය යුතු නැති බවයි. බුදුදහම මළවුන්ට නොවේ, ජිවත් වන්නවුන්ටයි. ඔබේ ප්‍රතිපදාවේ විපාක මේ භවයේදීම අත් විඳිය හැක.

      cont...

      Delete
    2. සිතුවිළි,

      ඔබ ඉතා දිගු විස්තරයක් සපයා ඇත. එහෙත් අසා ඇත්තේ එකම ප්‍රශ්නයකි. ඔබ දකින අයුරු මා වැරදි යැයි කීවෙත් නැත. එය අනුමත කළේත් නැත. මගේ අදහස පමණක් වචන වලට පෙරළිමි. ඒ වචන ඔබේ අදහස් සම්පුර්ණයෙන්ම අනුමත නොකරන බව පමණක් ඔබට දැනෙන්නට ඇතැයි සිතමි.

      එසේම මේ කරුණ සටහන් කර තැබිය යුතුයි. ඉහත පිළිතුර (ප්‍රඥාකාරක ධර්ම හා ප්‍රඥාඝාතක කර්ම) ශක්තිමත් කිරීමට සුත්‍ර පාඨ දීමට මට නොහැක. ඒ මවිසින් මගේ අවබෝධයෙන් පමණක් ඒ පිළිතුර ලියූ නිසයි. එහි අඩුපාඩු සකසා ගැනීමට ඔබට හැකි යැයි සිතමි. ඔබට මෙය අනුමත කෙරෙන සූත්‍ර පාඨ ලැබුනොත් මා මතක් කර එය මෙහි දක්වන්න. මේ පිළිතුරු වැරදියැයි තහවුරු කෙරෙන සූත්‍රයක් ලැබුනොත් ඊට වඩා වැදගත් කාර්යයක් ලෙස සළකා එය ඉදිරිපත් කරන්න.

      ඔබේ සහභාගිත්වය මගේ වෙබ් අඩවියට ආලෝකයකි. ඔබේ ප්‍රශ්න මගේ ප්‍රඥා පාරමිතාවට අනුග්‍රහයකි. ඔබේ ප්‍රඥා පාරමිතාවටද මෙය උපස්තම්භක වේවා !

      ප:ලි:
      1) ලබන වසරේ (2013) දින දසුන සකසා ඉදිරිපත් කළෙමි. එහි සියළු ඡායාරූ අප විසින් මෑත කාලයේ ගිය ගමන් වලදී ගත් ඒවාය. එය ලබා ගැනීමට ඔබ කැමති වේ යැයි සිතමි.
      2) ඔබ නිතර ප්‍රතිචාර දක්වන නිසා dropdown එකෙන් Anonymous තෝරා නොගෙන ඊට උඩ ඇති Name/URL තෝරා ගන්නේ නම් පහසුවක් හා පිළිවෙලක් ඇති වනු ඇත. (URL දැමීම අත්‍යවශ්‍ය නැත - නම පමණක් දමන්න.)

      ඉහත 1 හා 2 ඔබ කැමතිනම් පමණි.

      Delete
    3. සිතුවිළි,

      ඔබ ලියූ දේට k පිළිතුරක් සපයන තුරු සිටියේ ඔහු මට පිළිතුරු දීමට අවශ්‍යතාවයක් ඇති නොවන ලෙසත්, යම් හෙයකින් මම වැරදි දෙයක් කීමට ඉඩ තිබුනත් එයත් වළක්වාලමින් පිළිතුරක් ගොනු කරන බවත් දන්නා නිසයි. මේ කරුනෙහිදී මා නිවැරදි බව ඔප්පු කෙරී ඇත.

      ඔහුගේ උපමාව හා ඊටත් වඩා උදාහරණය ඔබ තුල කම්පනයක් ඇති කරන්නට ඇතැයි අනුමාන කරමි. උපමානම් මා ද ඉදිරිපත් කරන නමුත් 'ප්‍රඥාඝාතක කර්ම' ගැන මා කිසි තැනක අසා නැත. ඔබට Sith විසින් ඉදිරිපත් කළ මාතර ආතර හා =/? කුපිත කළ මාර ප්‍රවාදය මතක ඇතැයි සිතමි. ;)

      කෙසේ වෙතත් ඔබේ ලිපියේ ඉදිරිපත් කෙරුණු k විසින් සකච්ඡා නොකෙරුණු කරුණු දෙකක් මට ගැටළු වේ.

      1. මිනිස් ලොව අප සැපයයි කියනා නොයෙක් දේ විඳිමු, එහෙත් ඒ සියල්ල අවසන් වන විට දුක්වෙමු, කෙතරම් පින් කර ලදද දෙව්සැපයත් සීමා සහිත බව මා දනිමි. එම නිසා මා කිසිවිට එවැන්නක් නොපතමි. වැඩි වැඩියෙන් දෙව් සැප පැතීම තුල මාගේ කෙලෙස් වැඩේයැයි මා බිය වෙමි.

      2. මා අදහස් කලේ දීමෙන් ලෞකික යමක් පැතීම මගින් ඔබගේ නිවන දුරස් වන බවයි, එහෙත් භහුතරයක් කාම භෝගී ගිහියන් සැපතෙහි භයානක කම නොදකින නිසා ඔවුන් මෙය කෙරෙහි බැඳෙනා බව සැබැවි.

      ඉහත කරුණු දෙක ගැනම මගේ එකඟත්වයක් නැත. පළමුවැන්න බොරු බියකි. දෙවැන්න නාස්තියකි. ඒ මට සිතෙන සැටියි.

      කෙසේ වෙතත්, ඔබ kට හා මට දෙන පිළිතුරු අනුව ඉදිරි සාකච්ඡාව කළ හැකියි. ඔහුගේ විස්තරය මගේ එකට වඩා වැදගත් බව සිතේ.

      තවත් දෙයක්, ?/= ඒ පිළිතුර දුටුවොත් ඔබට කුමක් කියාවිදැයි මටනම් සිතා ගැනීමටත් නොහැක.

      Delete
    4. සිතුවිළිDecember 16, 2012 at 8:30 PM

      මිතුර "කේ" සහ ජෝසප්,
      කේ විසින් දුන් දෙවැනි පිලිතුරට මා කිහිප වරක් පිළිතුරු ගොනු කිරීමට වෙහෙසුනද එය නියමා කාරයෙන් ගලපා ගත නොහැකි විය. මෙය සී නිව්ස් හි ලියනවාට වඩා ගෞරවයකින් හා වගකීමකින් සැරිය යුතු තැනකැයි සිතේ.
      කඨින පූජාවෙන් දැන් අප පින් පව් හා ප්‍රඥා කාරක/ඝාතක කර්ම දෙසට හැරී ඇත. කේ විසින් පෙරදී කී පරිදි, කඨින පූජාවේත් අරමුණ පින්/ කුසල් බැවින් එහි වරදක් නැතැයි සිතමි.
      මාතෘකාවට නැවත එමි.
      කේ ගේ රූපවාහිනී උපමාව ඉතා හොඳින් කරුනු පැහැදිලි කරයි, ප්‍රාර්ථනා කිරීමත්, පින් පව් පිළිගැනීමත් වෙනස් බව ඔබ හොඳින් තහවුරු කරයි, කෙසේ වෙතත් අසවල් පින කල විට අසවල් විපාකයත් අසවල් පවට අසවල් විපාකයත් යන සංකල්පය පිළිගැනීමට තවමත් මා මැලිවෙමි. එම නිසාම බොහෝ ලෞකික සැප සාදනවායයි කියන පින්කම් මාහට එතරම් වැදගත් කමක් සිතට නොදනවයි.
      මා ප්‍රඥාව රුචි නිසා මා අන් අය ප්‍රඥ්ඥාවන්ත වීම අගයමි. ප්‍රඥාවන්ටයින් ඇසුර ලොල් වෙමි. මා දකින හැටියට හොඳම ප්‍රඥා කාරක පුන්‍ය ක්‍රියාව මේ සිතුවිල්ලයි. ඒ තුලින් ඔබ කියූ ක්‍රියාවන් බොහෝ කොට ඉපදවිය හැකි වෙයි. මේ සීතුවිල්ලෙහි තදින් රැඳුනු විට එම ක්‍රියා නිතැතින් උපදියි, මා එය අත්දකිමි.
      (මා ජෝසප් හා සාකච්චාවට වැටුනු හැටිත්, ජෝසප් විසින් මා ඔබහට හඳුන්වා දුන්සැටිත් සිතන්න මා හට මෙය ඉතා වටිනා ප්‍රඥ්ඥාකාරක කර්මයක අගනා පිනක් ඵලදීමකි )
      පස් වැනි සිල් පදය ප්‍රඥා ඝාතක කර්මයකියි ඔබ කියයි, සිහියෙන් විමසන විට එය එසේයැයි පිලිගත හැක. මේ කරුන ගැන මා මේ වන විට අප මිතුරන් දෙදෙනෙකු හා බරපතල වාදයක පටැලී සිටිමි. ඒ පිළිබඳ ඔබහා වෙනමම සාකච්චාවක නිරත වීම යෙහෙකියි සිතේ. දීර්ඝව කථා කල හැකි මාතෘකාවක් බැවින් මෙහිදී ඒ ගැන කථා නොකරමු.
      මිලදී ගත් රූපවාහිනිය රැකගන්නවා මෙන්, උපදවා ගත් ප්‍රඥ්ඥාව රැක ගත යුතුය, මෙහි භයානකම සතුරා කෙලෙස්මය, උපදවා ගත් ප්‍රඥ්ඥාව යොදා කෙලෙස් වඩවන කාරියන්හී යෙදීම මගින් ඔබ එම ප්‍රඥ්ඥාව හානිකරගනියි, එය නැවත ඉපදවීම පෙරට වඩා ඉතා අසීරුය. මේ දෙය මා පවසන්නේ අත්දැකීමෙනි.
      කර්මයන් ඵල දීමට මීලඟභවය දක්වා සිටිය යුතු නැති බවත් එය මෙහිදීම පලදෙන බවත් මා අත්දැකීමෙන් දනිමි. සිහියෙන් ජීවත් වන කෙනෙකුට මෙය දැකීම අසීරු නැත. එසේ මා දකිනා හැටියට මිනිසුන් කථා කල යුත්තේ හා වෙහෙසිය යුත්තේ අතීත කර්ම ගැන නොව (අපල ගෙවා ගැනීමට බෝධි පූජා පැවැත්වීම වැනි ) අනාගත කර්ම සංස්කරනය කිරීමටය.
      ප්‍රඥ්ඥා කාරක ධර්ම පිළිබඳ සූත්‍ර පාඨ මා නොසොයමි, ලැබුනහොත් ඔබහට දන්වන්නම්. මා ප්‍රඥාකාරක ධර්ම ගැන වැඩිපුර නොවෙහෙසෙමි. එහෙත් ප්‍රඥාව සෙවිය යුත්තේ ඇයි යන පැනයට දීර්ඝව පිළිතුරු සොයමි.පොත පතින් නොව මා තුලින්ම.
      මා දකින හැටියට ඔබ හෝ මා වැරදි නැත, කෙලෙසුන් එකිනෙකා මත යැපෙමින් අප භවය කරා ගෙන යන්නේ කෙසේද, එලෙසින්ම අප එකිනෙකා මත යැපෙමින් භවයෙන් මිදීම සොයනා උන් බව වැටහේ.

      ජෝසප්,
      රූපවාහිනී උපමාව ගැනත්, උදාහරණය ගැනත් මා තුටු වෙමි. සිත්ගේ හා ඔබගේ මාර ප්‍රවාදය ගැන මා මගේ අදහස් ඉතා සැකෙවින් එහි පල කලෙමි, ඒ පිළිබඳව මා සතුව ඇත්තේ වෙනමම කියවීමකි. ඒ පිළිබඳ ඉඩ ලැබුනු විටෙක සාකච්චා කරමු.
      කේ විසින් සාකච්චාවට ගෙන නැති මා කී කරුනු දෙක පිළිබඳව,
      1, එය බොරු බියක් නොවන්නේ මන්දැයි මා ඉහතින් පැහැදිලි කර ඇත. දහම අංශු මාත්‍රයක් හෝ දුටු මිනිසා සසරට බිය විය යුතුය. එය ඇතුලතින්ම දැනිය යුතුය. මේ මා දකින හැටියි. බිය විය යුතුය කියා බිය වීම පලක් නැත. එය තම සිතට එකඟව දැනිය යුතුය.
      2, දෙවැන්න නාස්තියකියි යන ඔබගේ මතය සමගද එකඟ විය නොහක. ස්වභාවයෙනම ලොව බොහෝ දේ ලැබෙන්නේ එය නොපතන්නාටමය, අනවශ්‍ය පුද්ගලයාටමය, මෙය තහවුරු කිරීමට මා උපමා දිය යුතු නැත, ඔබ දෙපලම එය කී විගස වටහා ගන්නා සුළු ප්‍රඥාවන්තයින්ය. ඉතින් නිවනම පතා යමෙකු තම මග පවත්වයි නම් ඔහු තුල නිතැතින් ප්‍රඥාව වැඩේ, එලෙසම කොතෙක් එපා කීවත් ලෞකික සම්පත් වැඩේ. ඒ ලෞකික සම්පත් වලට ගිජුවීමෙන් ප්‍රඥාව පිරිහේ (මේකත් අර මාරයාගේම වැඩක්දැයි විටෙක මට සැකයි )
      ඍජු අරමුණු පැවැත්වීමෙහි සමතා පමණක් මග හෙලිකර ගනී.
      මේ මා දකිනා හැටියි.
      ඔබ දෙපලගේම දැක්ම මා අගයමි.

      ජෝසප්,
      =/? මෙහි නැති නිසා කියමි, ඔහු මා හා ගැටුනත් මා ඔහු ඉතා යහපත් මිනිසෙකු සේ දකිමි, ඔහු තුල තෙරුවන කෙරෙහි ඇති අති විශාල ගෞරවය නිසාම ඔහු එසේ හැසිරේයැයි සිතමි. එය ඉතා යහපත් දෙයක් ලෙස දහමද කියාපායි. ඔහු හා මාගේ ගැටීමක් නැත. මා ඔහුට රුචිවෙමි. ඔබ කී පරිදි ඔහු කුමක් කියාවිදැයි සිතා ගැනීමටවත් මටනම් නොහැක.

      Delete
    5. සිතුවිළිDecember 17, 2012 at 8:45 AM

      මිතුරනි,
      ඉහත ලිපියේ එක් තැනක වාක්‍ය ගැලපීමේ අඩුවක් නිසා අරුත විකෘති වන සෙයක් දැනුනි.
      අපල ගෙවීමට බෝධි පූජා පැවැත්වීම අතීත කර්මය ගැන වෙහෙසීමයි. මෙය පලක් නැති ක්‍රියාවකි (කල කම් දුරු නොවෙයි පව් පල දෙවා මිස ) අහෝසි කම්මයක් සිදු නොවුනතින් මෙය සත්ත්‍යයැයි මා සිතමි.
      මා දකිනා අයුරු මිනිසුන් වෙහෙසිය යුත්තේ අනාගත කර්ම සංස්කරනය කිරීමටය. එයත් නොපෙනෙන කුසලාකුසල ශක්තියක් මත පදනම්ව නොව, තමන් කරන දෙයෙහි විපාක එවෙලේම සිහියෙන් දැකීමෙනි.

      Delete
    6. බොරු බියක් නොවන බවට ඔබ දුන් විස්තරයෙන් මට සිතෙන්නේ එය බොරු බියක් බවමයි. නාස්තියකි කියා මා කියූ දේ ඔබ තේරුම් ගෙන ඇත්තේ වැරදියටයි. "ස්වභාවයෙනම ලොව බොහෝ දේ ලැබෙන්නේ එය නොපතන්නාටමය, අනවශ්‍ය පුද්ගලයාටමය," යන ප්‍රකාශය තහවුරු කිරීමට නම් ඔබ උපමා නොව උදාහරණ දිය යුතුමය. අගවිනිසුරු දෝෂාභියෝගයක් නොපැතූ බව වැනි උදාහරණ නොදෙන්න.

      මේ පැතීම ගැන තවදුරටත් සාකච්චා කළ හැකි බව හැඟේ. එහෙත් k ගේ පිළිතුර ලැබෙන තුරු ඉවසමි. සියල්ලට පළමුව ඔහු මා දැක්වූ කරුණු දෙක මග හැරියේ මන්දැයි දැන ගත යුතුය.

      Delete
  5. ජොසෙෆ්,

    ඔබ උපුටා දක්වන කරුණු දෙක මා නොදුටුවා නොවේ. ඒ ගැන අදහස් නොදැක්වීම එය අනුමත කිරීමක්ද නොවේ. ඇත්තෙන්ම මගේ පිළිතුර දිග වැඩි වී කොටස් දෙකකට කැඩීමට සිදු වූ නිසාත් ඒ කරුණු සාකච්චා කිරීමට තරම් වැදගත් නැතැයි සිතුනු නිසාත් ඒවා මග හැරියෙමි.

    * දෙව් සැපත් සීමා සහිත වන නිසා සිතුවිළි ඒවා නොපතන්නේ යැයි කියන්නේ නම් ඔහුට පැතිය හැක්කේ නිවන පමණි. එහෙත් වෙන තැනක ඔහු ප්‍රඥාව පතන බව කියයි. එය එවෙලාවේ පෙන්වා දීමට ගොස් ඔහු වෙහෙසවිම පලක් නැත.

    * ලෞකික සැපත් පැතීම මගින් නිවන දුරස් වන බව කීම තේරුමක් නැත. හොඳ හෝටල් වල නැවතී සැප වාහන වල යාමෙන් ගමන දිගු වන බව කෙනෙක් කීවොත් එකඟ විය හැකිද? එසේ නොවේ. දුර එකමයි, නමුත් සැප විඳීම හේතුවෙන් වැඩි කාලයක් ගත වන බවනම් දැනිය හැකියි. නමුත් කිසි සැපක් නැතිව පයින් යන්නන් හා සසඳන විට ඒ ගමන ඉක්මනකි.

    මා මෙසේ කීවත් මුල් අවස්ථාවේ ඒ ගැන කතා නොකළේ සිතුවිළි පින් කර ප්‍රර්ථනා නොකරන බව මිස පින් නොකරන බව කියා නැති නිසයි. සිතුවිළි ගේ අදහසේ වැරද්දක් නැත.

    ReplyDelete
  6. සිතුවිළි,

    ඔබේ ප්‍රකාශ කිහිපයක් ගැන අදහස් දැක්වීම සුදුසු යැයි සිතමි.

    1. කෙසේ වෙතත් අසවල් පින කල විට අසවල් විපාකයත් අසවල් පවට අසවල් විපාකයත් යන සංකල්පය පිළිගැනීමට තවමත් මා මැලිවෙමි.
    2. උපදවා ගත් ප්‍රඥ්ඥාව යොදා කෙලෙස් වඩවන කාරියන්හී යෙදීම මගින් ඔබ එම ප්‍රඥ්ඥාව හානිකරගනියි,
    3. මා දකිනා හැටියට මිනිසුන් කථා කල යුත්තේ හා වෙහෙසිය යුත්තේ අතීත කර්ම ගැන නොව (අපල ගෙවා ගැනීමට බෝධි පූජා පැවැත්වීම වැනි) අනාගත කර්ම සංස්කරනය කිරීමටය.


    (අ) පින් පව් විපාක දෙන්නේ අනුපිළිවෙලටය. මෙය බැංකු ගිණුමක් වැනි දෙයක් නොවන බව කීවේ එහෙයිනි. බැංකු ගිණුමක ඔබ වරින් වර එකතු කරන අගයන් හා ආපසු ගන්නා මුදලේ අගයන්හි (අවශ්‍ය නම් පොලිය හා අය කිරීම් ද ඇතුලත් කර ගන්න.) ශුද්ද ශේෂය ඔබේ බැංකු ගිණුමේ ඇත. එසේ නමුත් ඔබට කිසි විටෙක ජනවාරි මස 23 දින දැමූ රුපියල් ලක්ෂය ආපසු ලබා ගත නොහැක. ගිණුමේ ශේෂය පමණක් ඔබට කැමති ලෙස වියදම් කළ හැක.

    පින් පව් එසේ නොවේ. ඔබ පිනක් හෝ පවක් හෝ කළ විට ඊට අනුරූප විපාකය ඒ මොහොතේම සකස් වේ (බුද්ධ කාලයේ සමහරු දන් දුන් විට දිව්‍ය ලෝකයේ විමාන පහල වූ බව ඔබ කියවා ඇතැයි සිතමි). ඔබ විභාගයකට පිළිතුරු දුන් වහාම ඔබේ ලකුණු ප්‍රමාණය තීරණය වී අවසන්ය (පරීක්ෂකයා කැමති පරිදි ලකුණු දිය හැකි විෂය නොසළකමු-පින් පව් විනිශ්චය කරන්නෙක් බුදු දහමේ නැත). නමුත් ඔබ ලකුණු ලැබුවා යැයි කියන්නේ ඒ උත්තර පත්‍ර පරික්ෂා කර ලකුණු ලබා දී ඒවා නිකුත් කළාටත් පසුවය. කර්ම විපාක දීම මේ උපමාව ආකාර වේ. ඔබ ගණන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා ඉංගිරිසි සමත් විය නොහැක. හරියටම කළ කර්මයට ගැලපෙන විපාකය පමණක් ලැබේ.

    කර්ම ගැන ඉගෙනීමේදී කර්ම වර්ග ගැන ඉගෙන ගෙන ඇතැයි සිතමි. ඉතා කුඩා කර්ම මේ භවයේදී පමණක් විපාක දෙයි. මේ භවයේදී විපාක දීමට නොලැබුණු ඉතාම ක්ෂුද්‍ර කර්ම මරණින් අහෝසි වේ. මරණයෙන් පසු අනිවාර්යයෙන්ම භවය සදමින් විපාක දෙන්නේ ගරුක කර්ම නමින් හඳුන්වන ඉතා බරපතල කර්ම වේ. මේවා කිසි ලෙසකින් අහෝසි නොවේ; කර්ම ගෙවා දැමීමෙන් පමණක් අවසන් වේ.
    මේ දෙක අතර ඇති කර්ම සුදුසු පරිදි විපාක දේ. ඒවා විපාක දෙන්නේ මේ මේ අනු පිළිවෙලටයි යන්න හෝ මේ විපාකය ලැබුනේ මේ කර්මය හේතුවෙන්ය යන්න හෝ අපට කිව නොහැක. කර්ම විෂය අචින්ත්‍ය බව බුදු රජාණන් වහන්සේ වදාළේ එහෙයිනි.

    (ආ) ප්‍රඥාව උපදවූ පසු එය හානි වන බවක් මා දැන සිටියේ නැත. එසේ වන අයුරු පෙන්වා දෙන්නේ නම් උදව්වකි. මා ඔබට ප්‍රඥාඝාතක කර්ම ලෙස පෙන්වා දුන්නේ ඔවැනි අරුතක් නම් නොවේ. උපදවා ගත් ප්‍රඥාව ප්‍රයෝජනයට ගත නොහැකි වීම එකකි, ප්‍රඥාව හානි වීම යනු අනෙකකි.

    (ඇ) ඔබේ තෙවන ප්‍රකාශය සිනා දනවයි. ඇත්තෙන්ම ඔබ ඒ කතාව සිතාමතා කීවාද, නැතහොත් කොතැනකින් හෝ කියෙව්වාද? ඒ ප්‍රකාශය නිශේධනය කිරීමට නොවෙහෙසී මගේ අදහස පමණක් කියමි.

    මා සිතනා ලෙසට අප කළ යුත්තේ වර්තමානය, එනම් මේ මොහොත, සාර්ථක කර ගැනීමය; අතීතය ඉකුත් විය-නැවත නොඑයි, අනාගතය පැමිණියේ නැත.

    සිතුවිළි,

    ඔබ 'නිගණ්‌ඨසුත්‍රය' (මෙය නිජ්ජරා විශුද්ධි සුත්‍රය නමින් ද හැඳින්වේ යැයි සිතමි) කියවා ඇත්ද? මෙහිදී ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ අභය ලිච්ජවී කුමරුට දේශනා කරන්නේ නිජ්ජරා විශුද්ධිය (නිවන) ඇති කර ගැනීම පිණිස '...සො නවඤ්‌ච කම්‌මං න කරොති, පුරාණඤ්‌ච කම්‌මං ඵුස්‌ස ඵුස්‌ස බ්‍යන්‌තීකරොති...' කරන ලෙසයි. මෙහි තේරුම "නව කර්ම නොකරයි; පැරණි කර්ම ස්පර්ශ කරමින් කරමින්ම නැති කරන්නේ වෙයි" ආකාර වේ. මේ කීවේ කර්මක්ෂය කිරීමෙන් නිවන ලබා ගන්නා ආකාරයයි. ඔබ කියන "පැරණි කර්ම ගැන නො වෙහෙසී අනාගත කර්ම 'සංස්කරණ' කිරීමට" මේ ප්‍රතිපදාව ඉඳුරා පටහැනි බව මට නම් ලෙහෙසියෙන් කිව හැක.

    ReplyDelete
    Replies
    1. සිතුවිළිDecember 19, 2012 at 6:49 PM

      "K" and Josaph,

      අනවශ්‍ය ලෙස දිගින් දිගට කථා කරමින් ඔබහට බාදාවක් වනවායැයි හැඟේනම් පිළිතුරු නොදුන්නාට අමනාපයක් නැත.

      ඔබගේ අදහස් දැක්වීම මා තේරුම් ගත් හැටියට මාගේ අදහස් කියන්නම්.

      ඔබ ජෝසප්ට කියූ කරුනු අනුව,
      1, ඔවු මා පතන්නේ නිවන පමණි.
      2, මා ප්‍රඥාව පතන්නේ එය නිවනට කෙටිම මග සකසන බැවිනි.
      3, ඔබගේ හෝටල් හා සැප වාහන උප්මාවනම් මා එකඟ නොවෙමි, මන්ද, ඔබ උවමනාවට වඩා සැප වාහනයකින් යන විට ඔබ අතරමග සැප හෝටල් වල නවතින විට දිනක් දෙකක් වැඩිපුර සිටීමට සිතිය හැක, ගමන ප්‍රමාද කරමින් සැප විඳිය හැක, ගමන අවසානයේ ලැබෙන්නේ මෙවන් සැපයක් නොවන නිසා ඉලක්කය වෙනස් කිරීමට සිතෙන්නට පුළුවන්.
      අවසානයේ ගමන නිම නොවන්නටත් පුළුවන්. හරවාගෙන වෙන දිහාවක යන්න හිතුනොත්! (කෙලෙස් දුරු වනතුරු සිත යනු ඉතා අවිනිශ්චිට ඉන්ද්‍රියකැයි සිතමි )
      මේ මා දකින හැටියි,
      එහෙත් ඔබ දුශ්කර මග ගෙවා ඉලක්කයට යනවානම් ඔබට ඇති එකම සැනසීම ඉලක්කයට ලඟා වීම මිස අන් කුමක්ද? මග නතර වීම කටුක බැවින් යා යුත්තේ ඉලක්කයටම නොවෙයිද?

      අ )ඔබ පින් පව් ගැනත් කර්ම ගැනත් දක්වා ඇති විස්තර අගයමි,
      මා බැංකු ගිණුම් කථාව කීවේ මා විසින් ගිණුමක මුදල් රැස් කරන අයුරින් පින් රැස් කිරීමට අකැමැති බවත් ගිණුමෙන් පොලී ලබන අයුරින් ලබන ආත්මයේ තිරික්කල දහසක් ලැබීමට මගේ තිරික්කලය දන් දීම පලක් නැති බව කීමටත්ය. මෙය මාගේ ම සිතුවිල්ලකින් පහල වූ අදහසකි (තිරික්කල කථාව නොවේ )
      භව සැදීමට දායක වන කර්ම යන කරුන ගැන ටිකක් පැහැදිලි කර ගැන්මට ඇත්නම් යෙහෙකැයි සිතේ.
      අතීත කර්මය සුවපත් කිරීමට දැන් වෙහෙසීම පලක් නැතිබව මා කීවේ මා එසේ සිතන බැවිනි, කර්මයක් ඇත්නම් පල දෙවී එය මට පාලනය කළ නොහැකිනම් ඒ පිළිබඳ වෙහෙසෙන්නේ කුමටදැයි මා සිතමි. එම නිසා එය නොතකමි.

      ආ) ඔබ නිවැරදියි, ඔබගේ කථාව කියවූ සැනින් මා වටහා ගත්තේ මා නැතිකර ගත්තේ මාගේ ප්‍රඥාව නොව, යෝනිසෝ මනසිකාරයයි, ප්‍රඥාව දුබල වී නැත, එහෙත් යෝනිසෝ මනසිකාරය බොහෝවිට බිඳවැටී ඇත, එය යතාවත් කර ගැනීමට වෙහෙසෙමින් සිටිමි.

      ඇ ) ඔබ කියන්න හා අවිවාදිතව එකඟ වෙමි, මා මේ අදහස කීවේ මාගේම සිතුවිල්ලකින්ම මිස අනෙකෙකුගෙන් ගෙන නොවෙයි. එමෙන්ම මෙය නිවන අරමුණු කර කීවක්ද නොවෙයි. මා තවමත් කාමභෝගී ගිහියෙකි, එමනිසා කර්ම සංස්කරණය අතහැරිය නොහැක. එමනිසා මේ මොහොතෙහි මා සිතන අයුරු කළ හැකි හොඳම ක්‍රියාව අනාගත කර්ම සිහියෙන් සංස්කරණය කිරීමයි. සියළු කර්ම සිහියෙන් සකසන මට්ටමට ක්‍රමයෙන් එළඹීම අප වැන්නන්ට යහපත් යැයි සිතමි. එහෙත් අවසන් අරමුණ පැහැදිලි විය යුතුය. සියළු කර්ම ක්ශය කිරීමේ මට්ටමට පැමීනීමට අනිවාර්‍යයෙන්ම කාමභෝගී දිවියෙන් මිදිය යුතුය. එය කකුල් දෙක දෙපොලේ තබාගෙන අඩමානයට කළ හැකි කර්තව්‍යයක් නොවේ යැයි සිතමි.

      තුන්කල් අත්හැරීමද කාම භෝගී ගිහියෙකුව කල නොහැක්කකැයි සිතේ, ගිහි ජීවිතයේ වගකීම් හැර දැමීම හිතන තරම් පහසු කටයුත්තක් නොවේ.

      පිළිතුරු දීමට තරම් ප්‍රශ්නයක් මා අසා නතිවා විය හැකියි, කේ ගෙනුත් ජෝසප්ගෙනුත් යම් අදහසක් පල වේ නම් අගයමි, සැම අදහසකින්ම එක් කරුනක් ගැන හෝ අවබෝදයක් එකිනෙකාට ලැබේනම් එය ඉතා යහපතියි සිතමි.
      තෙරුවන් සරනයි.


      ජෝසප්,
      පොඩි ළමයා, දියෙස් (පිස්සා), ඔරිජිනල් පෛසර පීතර, සිත් වැන්නන් අපට මේ සාකච්චාවට කැඳවා ගත හැකිනම්, මා පුද්ගලිකව ඉදිරිපත් කරන කරුනු වලට වඩා බොහෝ හරවත්ව "K" සමග අපට මේ සාකච්චාව කල හැකි වේවි නේද?.

      Delete
    2. සිතුවිළි,

      මේ අඩවියේ කිසියම් හෝ සාකච්චාවක නිරත වෙන්නේ ඔබයි. එය මගහැර යාමෙන් මටවත් ඔබටවත් සෙතක් නැත. දිනක් දෙකක් කල් ගියත් පිළිතුරක් නම් නොවරදවා ලියමි.
      ---
      ඔබ හෝටල් හා වාහන උපවාට එකඟ නොවන බව කියයි. සැපට ලොල් වී ගමන අමතක වේයැයි බිය වෙයි; එහෙයින් දුගී ගමන යහපත් යැයි සිතයි.

      හොඳයි, අප දෙදෙනා එකම ගමනක් යමු. ඔබ දුගියෙකි, පයින් යයි, අම්බලම් වල හෝ බස් නැවතුම් වල හෝ නවතියි. මම මගියෙකි, මගේ රථයෙන් ගමන් කරමි, හෝටල් වල නවතිමි. මේ ගමනේ යෙදෙන්නේ අප දෙදෙනා පමණක් නොවේ. තව දහස් ගණනක් දුගී, මගී බොහෝ දෙනෙක් මේ ගමනේම යෙදෙත්. අපට එකිනෙකා පෙනේ.

      මහ වැස්සක් සමග බස් නැවතුම යට වෙයි, නැතහොත් වල් අලින්ගෙන් කරදර ඇති වෙයි, සමහර විට ජන ශුන්‍ය පෙදෙස් හරහා යාමට සිදු වෙයි, ජලය ආහාර හිඟ වෙයි, වඩා සුරක්ෂිත ඔබේ ගමනද, මගේ ගමනද? මා ඔබ යන ගමන දකී, මා එවැනි ගමනක් පතනවාද? ඔබ මා යන ගමන දකී, ඔබ එවැනි ගමනක් පතන්නේ නැතිද? ඔබ එකම ඉලක්කයකැයි සිතමින් ගියත් මා ගමන තුලදී විඳින සැප දකින ඔබ තුල ඒ සැපයට ගිජු බවක් ඇති වන්නේ නැතිද? ඔය බාධක කිසිවක් නැතිව ඔබ පයින් ගමන ගියත් මා මගේ රථයෙන් මග දිගට පමා වී උවත් ඔබට පෙර ගමන නිම කරමි.

      ඔබ මේ භවයේදී දුගියෙක් නොවේ; දුගියෙකුට දුගී බව නැති කර ගැනීම ඉතා අපහසුය, නමුත් පොහොසතෙකුට එය රැක ගැනුම ඊට සාපේක්ෂව ලෙහෙසිය. ඔබ එය රැක ගැනීමට වෙහෙසිය යුතුය. ලෞකික සැප ලැබෙන පින් කම් කළ යුත්තේ ඒ නිසාය.
      ---
      (අ) කර්මයක් ඇත්නම් පල දේවි, එය පාලනය කළ නොහැකිය යන්න බලවත් මිත්‍යා දෘෂ්ටියකි. එය නිඝන්ඨ භාෂිතයක් මිස බුද්ධ භාෂිතයක් නොවේ. ගරුක කර්ම නොවන දුර්වල කර්ම වඩා බලවත් කර්ම මගින් වසා දැමිය හැකිය, ප්‍රමාද කළ හැකිය, පල දීමට අවස්තාවක් නොදීම මගින් අහෝසි කර දැමිය හැක. වැඩි දුර යා යුතු නැත. අප එදිනෙදා දකින දේ තුලින් මෙය අවබෝධ කර ගන්න. මට්ඨකුණ්ඩලි/ ඡත්ත මානවක දෙව් ලොව යැවීම හා අංගුලිමාල තෙරුන් අපාගත නොවීම උදාහරණ ලෙස දෙමි. මුල් අවස්ථා දෙකේදී දුර්වල කර්ම වසා දමන ලදී, පසු අවස්ථාවේ ඉතා ප්‍රබල කර්ම මගින් සාපේක්ෂව දුර්වල කර්ම අහෝසි කෙරිණ.

      (ආ) පිළිතුර කියවීමි.
      (ඇ) ඔබ කියන අනාගත කර්ම සංස්කරණය කිරීම නම් මට වැටහෙන්නේ නැත. සංස්කරණය කිරීමට නම් යමක් මුලින් තිබිය යුතුයි. කර්ම අනාගත නම් මෙහි දෙයක් නැත. නැති දෙයක් සංස්කරණය කිරීම... ඔබ පුවත් පතෙක සංස්කාරක නම් ඔබේ වාර්තා කරු හෙට ලියා බාර දෙන ලිපිය අද සංස්කරණය කළ හැකිද?
      ---

      ඔබලා කැමති කෙනෙක් කැටුව එන්න. වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට කියවීම සුදුසු දෙයක් ලියන්නේ නම් ඕනෑම කෙනෙකුට ආරාධනාව විවෘතයි. සුදුසු නැති දෙයක් තිබුනොත් ප්‍රතිචාරය මකා දැමීමට සිදු වේවි.

      සාකච්චාවට බඳුන් විය යුතු අදහසක් ඔබ සතුනම් ප්‍රතිචාරයක් (comment) ලෙස නොව ලිපියක් ලෙස ලිවීමට (article) වුවත් ඉඩ සළසා දෙමි. මෙතෙක් පිළි නොගත්තත් මේ ආරාධනය ජොසෙෆ්ට කර ඇත. දැන් සිතුවිළිට ඒ ආරාධනයම කරමි.

      Delete
    3. සිතුවිළිDecember 20, 2012 at 9:12 PM

      ඔබගේ වාහන උපමාව මා තුළ වෙනසක් ඇති කරමින් තිබෙන බවනම් දකිමි. මා තවම එය පිළිගත්තේ නැත, එහෙත් වෙනත් මානයකින් සිතීමට පෙලඹවීමක් ලදිමි. ලෞකික සැපත් ප්‍රඥාවත් එක්ව වැඩේනම් අරමුණ මග නොහැරෙනු ඇත. ඒ අනුව බලන විට ජෝසප් කියන බොරු බියකි යන්නද තර්කානු කූල බව මට පෙනේ. ලෞකික සැපයට බිය වීම දුබල මානසිකතවයක්යැයි දැන් මා කීවොත් ඔබ එකඟද? ලෞකික සැප වැඩෙන්නට වැඩෙන්නට ස්‍රද්ධාවද දියුනු කරගත යුතුයැයි සිතමි, එය අංශ දෙකකින් එක් විට විය යුතුයැයි හැඟේ.

      අ ) හි මා කථා කර ඇත්තේ අංගුලි මාලයන්ගේ ප්‍රාන ඝාතය, හෝ ඔබ දක්වා ඇති අනෙක් උපමා වල ඇති ආකාර බරපතල කර්ම ගැන නොවේ. එදිනෙදාජීවිතයේදී අප මුහුන දෙන නොයෙක් අත්දැකීම්හා බැඳී විපාක දෙන සුළු කර්මයන් ගැනමය. ඒවා කොහින් එන්නේදැයි කෙලෙස විපාක දෙන්නේදැයි අප කිසිවෙකුත් නොදනී. එසේ අයහපත් ඵලයකට මුහුණ දුන් විට අප කියන්නේ පූරුවේ කරුම කියාය. එහෙත් සැබැවින්ම එය කරුමයක්ද , අහම්බයක්දේ වෙනයම් දෙයක්දැයි අප නොදනී. ඉතින් මෙයාකාරව අප හිස මත වැටෙන දුක් කරදර, සිදු වූවායින් පසු ඒ ගැන තැවීම ඵලක් නොවනා බවයි මා කීවේ. ඒ කෙරෙහි උපේක්ශා සහගත වීමෙන්ම මනස සන්සිඳුවා ගත යුතු බවකි මා කීවේ.

      ඇ ) අනාගත කර්ම සංස්කරනය කිරීම යනුවෙන් මා අදහස් කල දේ පැහැදිලිව කියවී නැතැයි සිතමි. අනාගත කර්ම ලේස මා දුටුවේ අනාගතයේ සිදු කරන කර්ම නොව, අනාගතයේ ඵල දෙන අයුරින් අප අද කරන කර්මයන්ය, අද මේ මොහොතේ කරනා දේ සිහියෙන ඵල දකිමින් කිරීම මගින් අනාගතයේ ඇති වන ඵල බොහෝ දුරට සිහියෙන් සංස්කරනය කල හැකි බවකි මා කීවේ.
      ඒ පිළිබඳව ඔබ එකඟ වනු ඇතැයි මා සිතමි.

      මෙලෙස පිලිතුර දෙමින් ඔබ කරනා උපකාරය සොයුරෙකුගෙන් ඤාතියෙකුගෙන්වත් ලැබිය නොහැක්කකි. ගිහි අපට මෙලෙස දහම පහදා දීමට කෙනෙකු සොයා ගැනීම ඉතා අපහසුය. මා සාකච්චාවට තව පිරිසක් කැඳවීමට යෝජනා කලේ ඉන් බොහෝ දෙනා සෙතක් ලබාවියැයි සිතූ නිසාමය. මා යෝජනා කල උන් දහම ගැන යම් පැහැදිලි දැක්මක් ඇත්තන් බවට ජෝසප් සාක්ශි දරනුඇත.
      මා කොතෙක් දුරට ලිපි ලිවීමට දක්ෂදැයි මා තවම උරගා බලා නැත. එහෙත් ඔබගේ යෝජනා ව සලකා බැලීමට කැමැත්තෙමි. කාලයත් සමග උත්සහ කර බලන්නම්. ජේසප් නම් මේ සඳහා දායක් වීමට ඉතා සුදුස්සෙකු බව මාද ඔබ හා එකඟව යෝජනා කරමි

      Delete
    4. සිතුවිළි,

      ඔබ මල පහකරමින්ම කැකිරි කෑමට උත්සාහ දරනු පෙනේ... එය කළ නොහැකි බව මම නොකියමි, එහෙත් දුෂ්කරයි.

      මීට කලින් ඔබේ පිළිතුරේ ඔබ තමන් ගැන 'මා තවමත් කාමභෝගී ගිහියෙකි' යි පිළිගනී. ඉතින් කාමභෝගී දිවිය ගෙවන තැනැත්තෙක් කරන්නේ ලෞකික සැප සම්පත් සෙවීම නොවේද? ඔබ මීට පෙර ලියූ 'මේ භවයේ නිවන් දැකීම කෙසේ වෙතත් මේ භවයෙන් පසු සුගතිගාමී වීමට මා පතමි, කරනා සෑම පිනක් පාසාම නැවත මිනිස් භවයක් ලැබුනහොත් ප්‍රඥාවෙන් සරු භික්ෂූත්වයක්ම පතමි, කාම භෝගී දිවිය නොපතමි.' යන වැකියට අවධානය යොමු කරමු. මෙය සාකච්චා කිරීමට සුදුසු කාලය නොවූ නිසා ඒ මොහොතේ එය නොසළකා හළෙමි.

      දැන් අප ඉදිරියේ පැහැදිලි චිත්‍රයක් ඇත.

      එහි 'කාමභෝගී ගිහියෙකි'. ඔහු පින්කම් කරයි, ලෞකික සැප නොපතයි, සුගතිය පතයි, මිනිසත් බව ලැබුනොත් ප්‍රඥාවත් භික්ෂුත්වයක් පතයි.

      පින් කම් කර ලෞකික සැප නොපැතීම ගැන මට ගැටළුවක් නැත. නොපැතුවත් ඒ ඒ පින් කම් හේතුකොට ගෙන අනුරූප විපාක ලැබෙන බැවිණි. සුගතිය පැතීම... එයද ගැටළුවක් නැත, කළ පින් කම හේතුවෙන් මිස පැතුම හේතුවෙන් එය නොලැබෙන බැවිණි. භික්ෂුත්වය... ඔබ දැන් සුගතිගාමිය, මිනිසත් බවක් ලබා ඇත, භික්ෂුත්වයට නොගැලපෙන (අංග විකල, රජෝපරාධ කළ ආදී) අංගද ඔබ සතු නොවේ. භික්ෂුත්වයට අදාළ සියළු සුදුසු කම් මේ භවයේදී සපුරා සිටින ඔබ දැන් භික්ෂුවක් නොවී මතු භවයක භික්ෂුවක් වීමට 'පැතීම' ගැන අනුකම්පා කරමියි කීම ගැන උරන නොවන්න. ප්‍රතිඵල එන තුරු ෆාමසියක සේවය කළ සිසුවෙක් වෛද්‍ය විද්‍යාලයට තේරුන පසු මා මේ අවුරුද්ද ෆාමසියේ වැඩ කර ලබන අවුරුද්දේ නැවත ලියා වෛද්‍ය විද්‍යාලයට යමියි කියයි නම් ඒ ගැන කිව හැක්කේ කුමක්ද. ඔහු තකතිරුවෙක් නොවේ, මක් නිසාද යත් කලින් අවුරුද්දේ වෛද්‍ය විද්‍යාලයට තේරීත් නොගිය බව මීළඟ අවුරුද්දේ ප්‍රතිඵල එන විට ඔහුට මතක තිබෙන නිසයි. ඉතුරු ටික හිතා ගැනීම ඔබට බාරයි.

      නැවත පැහැදිලි කරමි. මා කියන්නේ පින් කම් කර ලෞකික සැප පැතිය යුතු බව නොවේ. ඒවා නොපැතුවත් ලැබේ. මා කියන්නේ තමන් පතන දේට අනුරූප පින් කම් තෝරාගෙන ඒවා කළ යුතු බවයි. ඒ අතර අනෙක් අය කරන සෙසු පින් කම් වලට අපහාස නොකර සුදුසු පරිදි සහභාගී වීමෙන්, දායකත්වය දීමෙන් තමන්ට ඊට අනුරූප විපාක ලබා ගත හැක. ඒවා 'බෝනස්' පින්කම්ය. භික්ෂුත්වය නම් ප්‍රර්ථනා කළ යුතු නැත. ඔබ ඊට කැමතිනම් ඔබ මහණ විය යුතුය. මහණ කම ලැබීම පිණිස හේතු වන පින් කම් (මා දන්නා තරමින්) නැත, ඇත්තේ මහණ වී ලබා ගන්නා සසර පුරුද්ද පමණි. මහණ වීමට කැමැත්ත ඇති වුනු මේ භවයේ මහණ නොවුණු කෙනෙක් ඊළඟ භවයේ මහණ වෙයි කියා බලාපොරොත්තු තබා ගැනීම බොල් බවකි මට හැඟෙන්නේ.

      'ලෞකික සැපයට බිය වීම දුබල මානසිකතවයක්යැයි' කීම තරමක් සැර වැඩි යැයි සිතේ. එය කරුණු නොදන්නා කම යැයි සිතීමට කැමැත්තෙමි, සැප විඳීමට බිය අය මේ සමාජයේ සිටීද. බෝසත්හු බොහෝ අවස්ථා වල සැප හැර දමා ගොස් පැවිදි වුහ. ඒ ලෞකික සැපයට බිය වීම නිසා නොව ලෞකික සැපයේ ආදීනව පිලිබඳ යථා සිහිය නිසාය.

      Delete
    5. (අ) පූරුවේ කරුම නොව මේ බොහෝ දේ මේ භවයේ කළ කර්මය. සුළු සුළු දේ මේ භවයේ විපාක දෙයි, බැරි වූ විට අහෝසි වෙයි. කර්මයට අමතරව තවත් නියාම ධර්ම සතරක් ඇති බවත් ඒවාද සිද්ධි සිදු වීමට දායක වන බවත් ඔබ දන්නවා ඇතැයි සිතමි. ඔබ නොසැලකිලිමත් ලෙස මහමග ගමන් කොට අනතුරකට ලක් වුවොත් එය මේ භවයේ කර්මය මිස වෙන දෙයක් නොවන බව ඔබ දත යුතුයි. ගංවතුර නාය යාම් ආදී ස්වභාවික ව්‍යසන වලට ලක් වීමට උතු නියාම, ධම්ම නියාම හා කම්ම නියාමය බලපානු ඇත. සක්විති හිරේ (රිමාන්ඩ්) ගියේ, ෆොන්සේකා විශ්‍රාම වැටුපත් අහිමි කර ගත්තේ පූරුවේ කරුම නිසාම නොවන බව ඔබ දනී. ඒවාට සුදුසු ප්‍රතිකර්ම කරගෙන ගැලවී යාමද නොහැකි දෙයක් නොවේ. කාල, ගති, උපධි, හා ප්‍රයෝග සම්පත්ති ගැනත් ඒ නමින්ම කියැවෙන විපත්ති ගැනත් ඔබ දත යුතුයි. සරත් ෆොන්සේකා මහතා කළ කර්මය ඉතා සුළු වුවත් ප්‍රයෝග විපත්තිය හේතුවෙන් එහි විපාක මහත් විය. ඔහුට සාපේක්ෂව ශිරාණි බණ්ඩාරනායක කළ කර්ම මහත් වුවත් ඇගේ ප්‍රයෝග සම්පත්තිය හේතුවෙන් මේතාක් ඇදගෙන යයි. ජූනියස් රිචඩ් මහතාට පසු පහල වූ විශිෂ්ඨතම ප්‍රයෝග සම්පත්තිය දරන දේශපාලනඥයා වන මහින්ද රාජපක්ෂ හා ඈ අතර වන ඝෂ්ඨනය අපට මේවා ගැන අළුතින් හිතීමට ඉඩක් විවර කර දෙයි.

      (ඇ) ඔබ අදහස් කරන්නේ එය නම්, පින්-පව් අදහාගෙන කිරීම යනුවෙන් මා අදහස් කළේද එය බව මතක් කරමි. වචනය ගැන නොව අදහස ගැන එකඟ වෙමි.

      සිතුවිළි, වෙනත් අය මේ අඩවියට පැමිණීම ගැන ඕනෑම වෙබ් අඩවි හිමිකරුවෙක් මෙන් මමද සතුටු වෙමි. එක අතකින් මගේ අදහසම උලුප්පා දැක්වීමට වඩා බොහෝ අදහස් ගැටීම දැකීමට මා ප්‍රිය කරමි. මගේ බොහෝ ලිපි නිගමන රහිතව අවසන් කිරීමට මම කැමතියි. ඒ කියවන අයට සිතීමටත් සාකච්චා කිරීමටත් දෙයක් ඉතුරු කිරීම පිණිසයි. ඔබ බොහෝ ප්‍රශ්න ඇසූ නිසා නිගමන සහිත පිළිතුරු දුන්නත් මේ පිළිතුරු වල පවා බොහෝ විවෘත තැන් ඇති බව ඔබට පෙනේවි.

      මේ වසර තුල තව ලිපි තුනක් (නත්තල/ උඳුවප් පෝය/ 2013 සුබ පැතුම) ලිවීමට ඇති නිසා ඔබට පිළිතුරු ප්‍රමාද විය හැකි බව මතක් කරමි. ඒ ගැන සමා වන්න.

      Delete
    6. සිතුවිළිDecember 23, 2012 at 11:23 PM

      සොයුර කේ,
      ඔබගෙන් ඉක්මන් පිළිතුරක් අපේක්ශා නොකරමි, මේ එක් සාකච්චාව තුල ඔබ බොහෝ දුරට මා නිවැරදිකරවීය. සෝම හිමිගෙන් පසු මා මේ දහමෙහි ධනාත්මක භාවිතය ගැන සාකච්චා කරන පලමු පුද්ගලයා ඔබයි.
      මා කාම භෝගි ගිහියෙකි,එහෙත් දැන් මා ලෞකික සැප සෙවීමේ මානයෙන් ඉවත් වී ඇති සැටියක් හැඟේ, මා කරනුයේ යුතුකම් ඉටු කිරීමකි, මා බිරිය හා දරුවන් ස්වාධීන වූ සංසාරගත සත්ත්වයින් බව මා දනිමි.මේ භවයේ ඔවුන්ගේ ජීවිත වල සුන්දරත්වය මා වටා ගොඩ නැගී ඇත. මුලුමනින්ම පහනොවූ මාගේ මෝහය ඔවුන් වෙත වූ මාගේ යුතුකම් මාහට බන්ධනයක් කොට ඇත.
      පැවිදි දිවියට මා අදද සුදුසු බව ඔබ කරනා මතක් කිරීම මා සසල කරවයි. ඔවු ඔබ ඉතාමත් නිවැරදියි, මා ඊට සුදුසුයි, එහෙත් පෙර කී බැඳීම් මා වලකයි. මී ලඟ භවයක මහන බව පතා මා පින් නොකරමි, එහෙත් මාගේ පුන්‍ය ශක්තිය සරු නම් මා පතන එවන් තත්වයක් ලැබීමේ භග්‍යය මට ලැබෙනු ඇතැයි සිතමි. බන්දන පිරි ගිහි දිවිය නම් මින් මතු නොපතමි
      එය වරදකැයි මා නොසිතමි. මේ දිවියේ එම මහඟු අවස්ථාව මා හට නොලැබුනේ යම් පූරුවේ අකුසලයක් නිසාම බව සිතමි. මා එය වටහා ගන්නා විට ප්‍රමාද වැඩි වී ඇත.
      මී ලඟ බවය ගැන පැතුම් තබා ගැනීම බොල බවක් ඇතියයි ඔබ කියන්න මාද පිළිගනිමි. එමනිසාම මෙයින් මතු භවය සුගතිගාමී කිරීම සැලැසුම් කිරීමට වෙහෙසෙමි.
      ලෞකික සැපයට බියවීම දුබල බවට කී කථාව මා රුචි වෙමි. සුගති ගාමී වීමට දැඩි වීර්‍යය ඉතා ප්‍රයෝජනවත් නේද?

      අනාගතයේ ඵලදෙන කර්ම සිහියෙන් සැකසීම යයි මා කී කරුනුම ඔබ ප්‍රයෝග සම්පත්ති ලෙස දක්වයි. මා වචනය දැන නොසිටියෙමි. ගැටළුව වූයේ එතැනයයි සිතමි.

      ඔබට බොහෝ පින්.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !