Monday, December 16, 2013

සත්කුළු පව් වළලු මතින්



මහාචාර්‍ය චන්දන ජයරත්න 'චක්‍රාවාටය' සොයා ගත් විද්‍යාඥයා බව අසන්නන්ට දැනෙන සේ රූපවාහිනියේ දේශන දීමට සමත්ය. එතුමාට අනුව බටහිර විද්‍යාඥයින් විසින් දැන් දැන් ප්‍රකාශ කෙරෙන්නේ තිලෝගුරු බුදු රජාණන් වහන්සේ විසින් මීට වසර දෙදහස් හයසියයකට පෙර බුදුනුවණින් අවබෝධ කර දෑමය. උන් වහන්සේ අවබෝධ කර ගත් ද්විසහස්සී ලෝක ධාතු, ත්‍රිසහස්සී ලෝකධාතු ඈ සංකීර්ණ දේ බටහිර විද්‍යාව විසින් තවම සොයාගෙන නැති බව කොළොඹ විශ්ව විද්‍යාලයේ භෞතිකවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්‍යවරයා අපට කියා දෙයි. උගත් මහාචාර්‍යතුමා කියන දේ හරිද? නැතිනම් බුදු දහම 'චක්‍රාවාට' ලෙස හඳුන්වන්නේ වෙනත් කිසිවක්ද?

මේ බෙරයක් පමණක්මද
සත්කුළුපව් වළලු මතින් ලොවට වඩින හිරු
සත් සමුදුරු වළලු දියෙන් කිමිද නහන හිරු
සත් රුවනින් කිරණ තනා එළිය ගෙනෙන හිරු
සිත් තුල ඇති අඳුර මකන් එළිය පිරුණ හිරු
ඒ පණ්ඩිත අමරදේවයන් විසින් ගැයෙන මියුරු ගීයක මුල් පද පෙළ.
සත්ගිරිකුළු හිස එපිටිං - සත්මහසමුදුර එපිටිං
සක්වල දේශය එපිටිං - එන වන බමරෝ, එන වන බමරෝ...
විශාරද ටී.ඇම් ජයරත්නයි එසේ ගයන්නේ.
සත් සමුදුරු තරණය කර ආවා
සත්කුළු පව් අතරින් දිව ආවා
තරු එළියෙන් පියවර මැන ආවා
ඔබව සොයා ආවා
මෙසේ ගයන්නී විශාරද නන්දා මාලිනිය.

ඉහත දැක්වූ සියළු ගීත වල කියැවෙන එක පොදු වස්තුවක් නම් සත්කුළුපව් සහ සත් සමුදුර වේ. සක්වල ගැන කියැවෙන බොහෝ තැන් වල සත්කුළුපව් සහ සත් සමුදුර ගැනද කියැවේ. සක්වල ගැන බොහෝ දේ කියන උගත් මහාචාර්‍යතුමා මේ ගැන නිහඬයි. සත්කුළුපව් යනු මොනවාද, ඒවා පිහිටියේ කොහිද? එසේම සත් සමුදුර යනු කුමක්ද, එය කොහි පිහිටියේද යන කරුණු ගැන මේ ලිපියෙන් මදක් විමසා බලමු.

Wednesday, December 11, 2013

සිරකරුවා අභාවප්‍රාප්ත විය



දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනපති ලෙස තේරී පත් වූ නෙල්සන් මැන්ඩෙලා මහතා වසර අනූපහක් ආයු වළඳා පසුගිය පස් වැනිදා පරලෝ සැපත් විය. දේහය පිලිබඳ අවසන් කටයුතු එළඹෙන පහළොස් වැනිදා ඔහුගේ වාස භූමිය වන 'කුනු' ගම්මානයේදී සිදු කෙරේ.

මළගෙදර ගිය ඇත්තෝ - සාදර අනුග්‍රහය සී.ඇන්.ඇන්.
ඔහු පිලිබඳ අන්තර්ජාලයේ බොහෝ ලිපි පල වූ මුත් අප මිතුරු ජොසෙෆ් විසින් රචනය කරන්නට යෙදුණු ලිපියක් අපගේ සිත් ගති. මේ ලිපිය සංස්කරණය කළ යුතුද නොයුතුද යනු බොහෝ කොටම කල්පනා කර අවසානයේ සංස්කරණය නොකරන්නට තීරණය කළෙමි. පහත දැක්වෙන්නේ ඔහුගේ එම ලිපියයි. එය දුලංජන් විජේසිංහ නම් ලේඛකයෙකු විසින් "මැන්ඩෙලාලාගේ සුසමාදර්ශය ...." නමින් යුතුකම සංවාද කවය නම් වෙබ් අඩවියේ පල කළ ලිපියකට කළ විවරණයකි. දුලංජන්ගේ ලිපිය වෙත ඉහත බැඳිය මතින් ගමන් කළ හැක.

මැන්ඩෙලා පුනරුත්ථාපනය කිරීම


හිටපු ත්‍රස්තවාදියෙකු වන අභාවප්‍රාප්ත නෙල්සන් මැන්ඩෙලා, දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති තුමා ගැන දුලන්ජන් විජේසිංහ මහතා කියන මේ කතාවේ ඇත්තක් පවතී. මේ කරුණ ඔහු අභාවප්‍රාප්ත වූ දින වලම ලිවීමට සිතුනු මුත් නොලියා සිටියේ මලගිය ප්‍රාණකාරයාට අපහාස කලැයි සමහරු චෝදනා කළ හැකි නිසාය.

Sunday, November 24, 2013

අලින්නේ අපේ කතා



කුරු අලි ගැන කතා පැරැන්නන් විසින් කියනු අප අසා ඇත. කුරු අලි යනු වෙනම විශේෂයක්ද නැතිනම් අදිසි ජාන වෙනසක් හේතුවෙන් කුරු වූ සාමාන්‍ය අලියෙක්මද යන ප්‍රශ්නය ඒ අයට යොමු කළොත් ලැබෙන පිළිතුර කුමක් විය හැකිදැයි අපට අදහසක් නැත.

කුරු අලි ගැන අපේ මතකය අලුත් කරන සේයා රුවක් අද දිවයිනේ පල වෙයි.

උඩවලව වනෝද්‍යානයෙන් ලොව ප්‍රථම කුරු අලියා මතුවෙයි


උඩවලව කුරුඅලියා
උඩවලවින් හමු වූ කුරුඅලියාගේ බව කියන සේයාරුව
සිරිලක ඇත් - අලි පරපුරේ කතාන්දරයට තවත් වටිනාකමක්‌ එක්‌කරමින් ලෝකයේ ප්‍රථම සත්‍ය කුරු අලියා සත්ත්ව ලෝකයට හඳුන්වා දීමට ද දැන් ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබේ. ඒ උඩවලව ජාතික වනෝද්‍යානය තුළදීය. පසුගිය ජුලි මස 7 වැනිදා ප්‍රථම වතාවට ප්‍රවීණ වන සත්ත්ව ගවේෂකයකු වන රොහාන් විෙ-සිංහ මහතාගේ පූර්ණ හා මනා නිරීක්‍ෂණයට බඳුන් වුණු මෙම අසාමාන්‍ය හස්‌තියා ඉන්පසු ප්‍රවීණ අලි විශේෂඥයන් වන වෛද්‍ය පෘථිවිරාඡ් ප්‍රනාන්දු, නදීක හපුආරච්චි වැනි අයගේ පරීක්‍ෂාවට ද බඳුන් වී දැන් එය විද්‍යාත්මක තහවුරු කර ඇත්තේ විද්‍යා පර්යේෂණ සඟරාවක ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවය.

එනම්, ආසියානු අලින් පිළිබඳ සංගමයේ ප්‍රකාශනයක්‌ වන ගජා සඟරාවේ 38 (2013) 30-32 ඉකුත්දා ප්‍රකාශයට පත් කෙරිණි.
- ඒ දිවයින පුවත් පත.

දිවයින එසේ කීවත්, ඉන්දුනීසියාවට අයත් බෝනියෝ දූපතේ කුරු අලි විශේෂයක් වාසය කරති. බෝර්නියෝ පිග්මි අලි යන නමින් මුන් හැඳින්වේ. පහත දැක්වෙන ඵලකයේ මේ වර්ගීකරණය දැක්වේ.
ලෝකයේ ප්‍රධාන අලි වර්ග
අලි වර්ග

Sunday, November 17, 2013

දෙව්ලොවින් මනු ලොවට



පසුගිය ලිපි වලින් තිස්තුන්කෝටියක්‌ දෙවියන් යනු කවර දේව කොට්ඨාශයක්දැයි සාධක සොයා බැලුවෙමු; සාධක අනුව එක්තරා නිගමනයකට පැමිණියෙමු. මේ ලිපියෙන් ඒ ගැන තව දුරටත් විග්‍රහ කර ගැනීමත් සාධක ගලපා කතාවක් ගොඩ නංවා ගැනීමත් උත්සාහ කරමු.

ඒ කතාව ගොඩ නැංවීමට පෙර සිත්හි දරා ගත යුතු අදහසක් වෙයි. නා නා පෙදෙස් වල විසූ ජනයා ලෝකය මෙසේ වේ යැයි නා නා කතා ගෙතූහ. ලෝකය කවරාකාරදැයි ඒ ඒ සංස්කෘතීන්ට, ඒ ඒ ශිෂ්ඨාචාර වලට අනන්‍ය වූ ආවේනික හැඩයක් වෙයි. ලෝකයේ සම්භවය ගැනත් ලෝක විනාශය ගැනත් එවැනිම කතාන්තර වෙයි. නිදසුනක් ලෙස, පැරණි චීන්නු ලෝකය ගැන ගෙතූ කතාව පැරණි මිසරයින්, නැතිනම් ග්‍රීකයින් ඒ ගැන ගෙතූ කතාවට වඩා හාත්පසින්ම වෙනස් වේ. පැරණි ජම්බුද්වීපවාසීහු ද තමන්ට ආවේනික කතා කිහිපයක්ම ලෝකය ගැන ගොඩ නැගූහ. සිංහලයින් සතුව පවා එවැනි අදහස් නොතිබෙන්නට හේතුවක් නැත. සක්වල සිතියම, තාරකා දොරටුව වැනි හැඳින්වීම් විවිධ ගුරුකුල විසින් ලබා දෙන ලද, අනුරපුරයෙන් හමු වූ රේඛා සටහන ඇතැම් විටෙක මෙවැනි චිත්‍රයක් විය හැක.

තාරකා දොරටුවක් ද? සක්වල රූපයක් ද?

ලෝකය සහ පෘතුවිය

විශ්වය යනු ඉංගිරිසියෙන් Universe ය. ලෝකය World වේ. අප සිංහලෙන් ලෝකය හා පෘතුවිය (මහපොළොව≡පඨවිය) යන්න සමානාර්තයේ යොදා ගත්තත් මේ දෙක එකක් නොවේ. පෘතුවිය ඉංගිරිසියෙන් Earth ය. පෘතුවිය ගෝලාකාර බව සැබෑ වුවත් ලෝකය ගෝලාකාරද?

Wednesday, November 13, 2013

චෝංගං



කොල්ලයි බල්ලයි හැම එකාම මේ දිනවල කතා කරන මාතෘකාවක් ඇත. ඒ චෝංගංය. කාලෙන් කාලෙට එක එක තාලේ රැළි ඇවිත් යන මේ අබුද්දස්ස කාලේ මේ මොන විලම්බිතයක්ද රාළේ කියා බැලූ විට දැන ගන්නට ලැබුණේ චෝංගං, චෝංගං කියා කියන්නේ CHOGM ලෙස ඉංගිරිසියෙන් කෙටි කර හඳුන්වන පොදුරාජ්‍යමණ්ඩල රාජ්‍යනායක සම්මේලනයට බවය.

ඒකෙත් හැටි...

චෝංගං හංවඩුව ගැසූ දැන්වීම නිල වෙබ් අඩවියෙන්
අපි අද චෝංගං ගැන කතා කරමු. ඒත්, සියල්ලට පළමුව වචනයක් කිව යුතුමය. CHOGM ගැන දැන ගැනීමට කැමති අයවළුන් මේ හන්දියෙන් හැරී යා යුතුය. ඒ ගැන ඉගෙන ගැනීමට නොව, ඒ ගැන අප කියන දේ දැන ගැනීමට කැමති අය පමණක් කතාවේ ඉතිරි හරිය කියවිය යුතුය. මේ වනාහී දෙතිස් කතායැ.

Wednesday, November 6, 2013

හස්තිරාජ වර්ණනාව



කුලාවක ජාතකයේ දැක්වෙන මඝ මානවක කතාව පසුගිය ලිපියෙන් කියැවීමු. බෝසත් මඝ මානවකයා ඔහුගේ භාර්‍යාවන් සිව්දෙනා සහ ඔහුගේ පිරිවර දෙතිස් දෙනා දිවා රෑ පින් වැඩෙන මහා පිංකම් කොට තව්තිසා දෙව්ලොව මහේසාක්‍ය දිව්‍ය රාජයන්ව උපන් අයුරු ඒ කතාවෙන් පැහැදිලි කෙරේ.

තව්තිසා දෙව් ලොව උපන් ඒ උතුමා සුරා පානයට ලොල් වූ දේවතාවන් පිරිසක් තම පිරිවර සහය කොටගෙන තව්තිසාවෙන් පළවා හැරි ආකාරයත්, ඒ දෙව් ලොවින් පහළට ඇද වැටුණු දෙවියන් 'අසුරයින්' බවට පත් වුණු ආකාරයත්, අනතුරුව ඇති වූ සුරාසුර යුද්ධය පිළිබඳවත් ඒ කතාවේ ඊළඟ කොටසින් කියැවේ. එය මෙතැනින් කියැවිය හැක. මෙකී සුරාසුර යුද්ධයයි ධජග්ග සූත්‍රයට පසුබිම් වන්නේ.

සක් දෙවිඳු ඇතුළු ප්‍රධානම දෙවියෝ

ධජග්ග සූත්‍රයේ මෙසේ එයි.
මහණෙනි, පෙරවූදෙයක් කියමි. දෙවියන් හා අසුරයන් අතර මහත්වූ යුද්ධයක් විය. මහණෙනි, එවිට ශක්‍රදේවේන්‍ද්‍ර තෙම තව්තිසා වැසි දෙවියන්ට (මෙසේ) කථාකර කීවේය: ඉදින් පින්වතුනි, යුද්ධයට පැමිණි දෙවියන්ට බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුදැහැගැන්මක් හෝ උපදින්නේනම්, එකල මාගේ මේ කොඩිය බලව් මාගේ කොඩිය බලන්නාවූ තොපට වනාහි යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

ඉදින් මාගේ කොඩිය නොබලව් නම්, ප්‍රජාපති දේව රාජයාගේ කොඩිය බලව්. ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

ඉදින් ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය නොබලන්නාහු නම්, වරුණ දෙව් රජුහුගේ කොඩිය බලව්. වරුණ දෙව් රජහුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

ඉදින් වරුණ දෙව් රජහුගේ කොඩිය නොබලව් නම් අනතුරුව ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලව්. ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලන තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේද, එය නැතිවන්නේය.

Friday, November 1, 2013

මඝ මානවක කතා



තිස්තුන් කෝටියක්‌ දෙවියන් ගැන අසා නැති කෙනෙක් ලංකාවේ සිටීයැයි නොසිතමි. තිස්තුන් කෝටියක්‌ දෙවියන් යනු කවරහුද? දෙවියන් තිස් තුන් කෝටියක්‌ වූයේ කෙසේද? දෙවියන් තිස්තුන් කෝටියට වඩා වැඩි විය නොහැකිද? බුද්ධ කාලයේත් තිස්තුන් කෝටියක් දෙවියන් සිටියාද? දැනුත් ඉන්නේ තිස්තුන් කෝටියක්මද? ආදී පැන කුඩා කළ සිට ඕනෑම කෙනෙකුට වද දුන් ප්‍රශ්න වේ. අද පවා මිත්‍යාදෘෂ්ඨිකයින් මෙවැනි පැන වලින් අපට දමා ගසන අවස්ථා ඇත. ඒ නිසා තිස්තුන් කෝටියක් දෙවියන් ගැන මදක් සොයා බලමු.

තිස්තුන් කෝටියක්‌ දෙවියන් ගැන එක වරටම සොයා බැලීම පහසු නැත. එහෙත් කොතැනින් හෝ ආරම්භය ලබා ගත යුතුය. ඒ නිසා අප දහම් පාසැලේදී ඉගෙන ගත් බෝධිසත්වයන් වහන්සේගේ කතාවකින් ආරම්භ කරමු.

මඝ මානවක කතාව

යටගිය දවස මගධරට රජගහනුවර මගධ රජ්ජුරු කෙණෙක් රාජ්‍යය කරන්නාහුය. එසමයෙහි පුරණලද බෝධිසම්භාර ඇති අප මහා බෝසතානෝ යම්සේ දැන් ශක්‍රදේවේනද්‍රයෝ පූර්වාත්ම භාවයෙහි මගධරට මචල ග්‍රාමයෙහි උපන්නාහු ද එපරිද්දෙන්ම ඒ මවල ග්‍රාමයෙහි මහාසම්පත් ඇති කුලයක පුත්‍රව උපන්නාහුය. ඔවුන්ට නම් තබන දවස් මඝ කුමාරයෝ යයි කියා නම් තුබූය. බෝධිසත්වයෝ වැඩිවිය පැමිණ මඝ මානවකයෝ යයි මෙනමින් ප්‍රසිද්ධ විය. ඉක්බිත්තෙන් උන්ගේ දෙමව්පියයෝ සමජාති ඇති කුලයකින් කුමාරිකාවක් ගෙණවුත් පාවාදුන්නේය. ඒ බෝධිසත්වයෝ දුදරුවන් හා සමග වර්ධනය වෙමින් දානපති වූහ. නිරන්තරයෙන් පඤචසීලය රක්ෂා කෙරෙති, එකල ඒ ගම ගෙවල් තිසෙක් වන්නේය. ඒ තිසක් පමණ මනුෂයෝ එක්දවසක් ගම මධ්‍යයෙහි සිට කර්මාන්ත කරන්නාහුය. බෝධි සත්වයෝ සිටිතැන පයින් වැලි පීරා කසල ඉවත් කොට ඒ ප්‍රදේශය සිත්කළු කොට සිටියාහුය. එකල අනිකෙක් අවුත් එතැන්හි සිටියේය. බෝධිසත්වයෝ අනික් තෙනක් කසල හැර සිත්කළු කොට සිටියාහුය. එතැන්හී අනිකෙක් අවුත් සිටියේය. බෝධිසත්වයෝ නැවත අන්තෙනක නැවත අන්තෙනකයයි සියල්ලවුන්ම සිටිතැන් සිත්කළු කොට මෑතභාගයෙහි එතන මණ්ඩපයක් කරවූහ. පසුව මණ්ඩපයත් හැර ශාලාවක් කරවූහ. ඒ ශාලාවෙහි සැතපෙන්ට පෝරු අතුට පින් පැන්සලක් තැබ්බවූය. මෑතභාගයෙහි ඒ ගම්වැසියෝ දෙතිස් දෙනෙක් බෝධිසත්වයන් හා එක්වූහ.

Sunday, October 20, 2013

නීතිඥ මහතාගේ ආධාරය



ලංකාවේ දේශපාලනඥයන් වැඩි දෙනෙක් නීතිඥයන් වෙන්නේ මක් නිසාද කියා මොහොතකටවත් සිතුවාද?

මේ අය රැකියාව වශයෙන් ඒ වෘත්තියේ යෙදුනත් නැතත් සුදුසුකමක් වශයෙන් නීති විභාගය සමත් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් දැරීමට එය අතවශ්‍ය වන නිසාම නොවේ. බරහිර රටවල නම් මන්ත්‍රීවරු නීති සම්පාදනයේ යෙදුනත්, ලංකාවේ මන්ත්‍රීවරුන්ගේ කාර්‍යභාරය අත එසවීමෙන් ඔබ්බට ගමන් නොකරන බැවිනුත්, ඒ අත එසවෙන්නේත් තමන්ගේ හෘදය ශාක්ෂිය අනුව නොව පක්‍ෂ තීන්දුව අනුව වන බැවිනුත් .......... මේ ගැන කතා කරයි නම් බොහෝ දේ කතා කළ හැක.

ඒ නිසා මන්ත්‍රී වරු පසෙක තබා නීතිඥවරු ගැන කතා කරමු.

නීතිඥ මහතාගේ ආධාරය

දැන් කාලේ දායක සභාවල් උනත් හරිම දියුණුයි. භාවිතා කරන්නේ පරිගණක තාක්‍ෂණය. දායකයින්ට පන්සල් එන්න වෙලාවක්වත් නැති මේ කාලේ දායක සභාව දායකය වෙතට යන එක තමයි නිවැරදි ක්‍රමය කියල එයාලට හිතෙන්න ඇති. අනිත් එක, පන්සල් පවා වෙනස් වෙලා ස්වාමින් වහන්සේලා සීලය පරදුවට තියලා පේස්-බුකියේ ඔට්ටු සෙල්ලං කරන මේ අබුද්දස්ස කාලේ දායක සභාවල් ගැන කවර කතාවක්ද !

අපේ පන්සලෙත් දායක සභාව වාර්ෂික අය වැය වාර්තාව සපයන්න කලින් හොයල බලනවා එක එක දායකයා කොහොමද ආධාර කරලා තියෙන්නේ, පහුගිය අවුරුද්දට කී පාරක්, කීයක් ආධාර කරලා තියෙනවද... කියලා. ඔන්න එහෙම පරීක්‍ෂා කරලා බලන භාණ්ඩාගාරිකතුමාට පරිගණක දිව්‍යරාජයා පෙන්නුම් කරනවා ප්‍රදේශයේ ලොකුම නමගිය නීතිඥ මහත්තයා සත පහකින්වත් ආධාර කරලා නෑ කියලා.

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !