Friday, November 1, 2013

මඝ මානවක කතා



තිස්තුන් කෝටියක්‌ දෙවියන් ගැන අසා නැති කෙනෙක් ලංකාවේ සිටීයැයි නොසිතමි. තිස්තුන් කෝටියක්‌ දෙවියන් යනු කවරහුද? දෙවියන් තිස් තුන් කෝටියක්‌ වූයේ කෙසේද? දෙවියන් තිස්තුන් කෝටියට වඩා වැඩි විය නොහැකිද? බුද්ධ කාලයේත් තිස්තුන් කෝටියක් දෙවියන් සිටියාද? දැනුත් ඉන්නේ තිස්තුන් කෝටියක්මද? ආදී පැන කුඩා කළ සිට ඕනෑම කෙනෙකුට වද දුන් ප්‍රශ්න වේ. අද පවා මිත්‍යාදෘෂ්ඨිකයින් මෙවැනි පැන වලින් අපට දමා ගසන අවස්ථා ඇත. ඒ නිසා තිස්තුන් කෝටියක් දෙවියන් ගැන මදක් සොයා බලමු.

තිස්තුන් කෝටියක්‌ දෙවියන් ගැන එක වරටම සොයා බැලීම පහසු නැත. එහෙත් කොතැනින් හෝ ආරම්භය ලබා ගත යුතුය. ඒ නිසා අප දහම් පාසැලේදී ඉගෙන ගත් බෝධිසත්වයන් වහන්සේගේ කතාවකින් ආරම්භ කරමු.

මඝ මානවක කතාව

යටගිය දවස මගධරට රජගහනුවර මගධ රජ්ජුරු කෙණෙක් රාජ්‍යය කරන්නාහුය. එසමයෙහි පුරණලද බෝධිසම්භාර ඇති අප මහා බෝසතානෝ යම්සේ දැන් ශක්‍රදේවේනද්‍රයෝ පූර්වාත්ම භාවයෙහි මගධරට මචල ග්‍රාමයෙහි උපන්නාහු ද එපරිද්දෙන්ම ඒ මවල ග්‍රාමයෙහි මහාසම්පත් ඇති කුලයක පුත්‍රව උපන්නාහුය. ඔවුන්ට නම් තබන දවස් මඝ කුමාරයෝ යයි කියා නම් තුබූය. බෝධිසත්වයෝ වැඩිවිය පැමිණ මඝ මානවකයෝ යයි මෙනමින් ප්‍රසිද්ධ විය. ඉක්බිත්තෙන් උන්ගේ දෙමව්පියයෝ සමජාති ඇති කුලයකින් කුමාරිකාවක් ගෙණවුත් පාවාදුන්නේය. ඒ බෝධිසත්වයෝ දුදරුවන් හා සමග වර්ධනය වෙමින් දානපති වූහ. නිරන්තරයෙන් පඤචසීලය රක්ෂා කෙරෙති, එකල ඒ ගම ගෙවල් තිසෙක් වන්නේය. ඒ තිසක් පමණ මනුෂයෝ එක්දවසක් ගම මධ්‍යයෙහි සිට කර්මාන්ත කරන්නාහුය. බෝධි සත්වයෝ සිටිතැන පයින් වැලි පීරා කසල ඉවත් කොට ඒ ප්‍රදේශය සිත්කළු කොට සිටියාහුය. එකල අනිකෙක් අවුත් එතැන්හි සිටියේය. බෝධිසත්වයෝ අනික් තෙනක් කසල හැර සිත්කළු කොට සිටියාහුය. එතැන්හී අනිකෙක් අවුත් සිටියේය. බෝධිසත්වයෝ නැවත අන්තෙනක නැවත අන්තෙනකයයි සියල්ලවුන්ම සිටිතැන් සිත්කළු කොට මෑතභාගයෙහි එතන මණ්ඩපයක් කරවූහ. පසුව මණ්ඩපයත් හැර ශාලාවක් කරවූහ. ඒ ශාලාවෙහි සැතපෙන්ට පෝරු අතුට පින් පැන්සලක් තැබ්බවූය. මෑතභාගයෙහි ඒ ගම්වැසියෝ දෙතිස් දෙනෙක් බෝධිසත්වයන් හා එක්වූහ.

බෝධිසත්වයෝ ඔවුන් දෙතිස්දෙනා පංචශිලයෙහි පිහිටුවා එතැන් පටන් ඔහුන් හා සමග කුසල් කෙරෙමින් ඇවිදිති. ඔවුන් හැමදෙනත් බෝධිසත්වයන් හා සමග කුසල් කරන්නාහු උදැසනම නැගීසිට වෑ පොරෝ මෝහොල් ගත් අත් ඇතිව සතරමන් සන්ධි ආදීයෙහි මෝලීන් ගල් ඇන උදුර පෙරලත්, රථයක් ආදීයෙහි වැදගත් නාවූ ගල්කපාදමති, විසමතැන් සමකරති. ඒ දඬු ලති, පොකුණු කණ්ති ශාලාවල් කෙරෙති. දන්දෙති, සිල් රක්ෂා කෙරෙති, මෙසේ බොහෝසේ බෝධිසත්වයන්ගේ අවවාදයෙහි පිහිටා ශිලසංරක්ෂණය කලාහුය එකල්හි ඔවුන්ගේ ගම්මුදලි මෙසේ සිතීය. මම පෙර මේ මනුෂ්‍යයන් රා බොන කල්හි ප්‍රාණගාතාදීය කරණ කල්හි රා සැලකට කහවනුවක් නියායෙන් දඩ මුඩු නොමද අයපඬුරු අරගැනීම් වශයෙන් වස්තුලබමි. දැන්වූ කලී මඝමානවකයෝ සිල් රක්වමි කියා ඔවුන් ප්‍රාණගාතාදිය කළ නොදෙති. දැන් වනාහි උන්ලවා පන්සිල් රක්වන්නේමි වේදැයි කියා කිපී රජ්ජුරුවන් කරා ගොස් කියන්නේ ස්වාමීනි බොහෝ හොරු එක්ව ගම් පැහැකිරීම් ආදිය කෙරෙමින් ඇවිදිති කීය. රජ්ජුරුවෝ ඔහුගේ වචනය අසා තෝගොස් ඔවුන් හැමදෙනා ගෙණවයි කීවුය. එතෙම ගොස් සියල්ලවුන්ම බැඳ ගෙණ අවුත් රජ්ජුරුවන් වහන්ස සොරුන් ඇමදෙනාම ගෙණනලදැයි රජ්ජුරුවන්ට දැන්වීය. රජ්ජුරුවෝ ඔවුන් කළ කාරිය නො විචාරා ශුද්ධනොකටම මුන් ඇමදෙනාම ඇතුන්ලවා මඬව වයි කිවුය.

ඉක්බිත්තෙන් ඒ සියල්ලවුන්ම රාජාංගණයෙහි වැදහොවා ඇතු ගෙණවාහු, එකල්හි බෝධිසත්වයෝත් තමන්ගේ සියලු පර්ෂිදට අවවාද කරන්නෝ තොපි සියල්ල සීලයෙන් ආවර්ජනා කරව කේලාම් කී තැනැත්තහු කෙරෙහිත් රජ්ජුරුවන් කෙරෙහිත් ඇතුන් කෙරෙහිත් තොපතොපගේ ශරීරයෙහිත් සමකොට මෛත්‍රී කරවයි කිවුය. ඔවුහුත් එපරිද්දෙන්ම කළාහුය. ඉක්බිත්තෙන් ඔවුන් හැමදෙනාම මඩන පිණිස ඇතුන් අකුස්සෙන් කොටලාහට මෙහෙයාලුය. ඒ ඇත් ලඟට නොවදන්නේය, මහහඬින් හඬා පලායන්නේය. ඒ දැක අනික් ඇතෙකු ගෙණාවාහුය. ඔහුත් එපරිද්දෙන්ම ගියේය. රජ්ජුරුවෝ ඒ අතුන් මිනිසුන් නොමඩනා බැව් දැක මොහුන් අත කිසි ඖෂධයක් වන්ට උවමැනවයි පරීක්ෂා කරවයි කිවුය. පරික්ෂා කරන්නාහු නොදැක නැත රජ්ජුරුවන් වහන්සැයි කිවුය. එසේවීනම් කිසි මන්ත්‍රයක් ඇත. පරික්ෂා කරව තොප පිරිවන මන්ත්‍රයෙක් ඇද්දැයි ඔවුන් අතින් විචාරවයි කීවුය. එබස් අසා රාජපුරුෂයෝ විචාළාහුය. බෝධිසත්වයෝ ඇතැයි කිවුය. රාජපුරුෂයෝ ඔවුන් පිරිවන මන්ත්‍ර ඇතැයි රජ්ජුරුවන්ට දැන්වුය. රජ්ජුරුවෝ ඔවුන් හැමදෙනාම සමීපයට කැඳවා තොප දන්නා මන්ත්‍රය කියවයි කිවුය. බෝධිසත්වයෝ කියන්නෝ රජ්ජුරුවන් වහන්ස අනික් අපගේ මන්ත්‍රණයක් නම් නැත්තේය. අපි තිසක් පමණ දෙනා ප්‍රාණවධ නොකරම්හ. සොරකම් නොකරම්හ, කාම මිත්‍යාචාර නොකරම්හ, බොරු නොකියම්හ, රා නොබොම්හ, මෛත්‍රී භාවනා කරම්හ, දන් දෙම්හ, මං සමකරම්හ, පොකුණු කරම්හ, ශාලා කරම්හ, මේ අපට මන්ත්‍රවන්නේය පිරිතුත් වන්නේය වැඩක් වන්නේයයි කිවුය. එබස් ඇසු රජ්ජුරුවෝ ඔවුන් කෙරහි පැහැද කේලාම් කී තැනැත්තහුගේ සියලු වස්තුවත් ඔහු තුමුත් ඔහුන්ටම පාවාදුන්නේයෙ. ඔහු ඇමදෙනාම එතැන් පටන් කැමති පරිද්දෙන් වඩ වඩා කුශල් කරන්නාහුය. සතර මංසන්ධියෙහි මහත් වූ ශාලාවක් කරම්හයි වඩුවකු කැඳවා ශාලාවක් කරන්නට පටන්ගත්තුය. ස්ත්‍රීන් කෙරෙහි ආලය මදබැවින් ඒ ශාලාව කිරීමට ස්ත්‍රීන් සමාදන් නොකරවූහ.

එසමයෙහි බෝධිසත්වයන්ගේ ගෙයි සුධර්මා, චිත්‍රාය, නන්දාය, සුජාතා යයි ස්ත්‍රීහු සතර දෙනෙක් වෙති. ඔවුන් අතුරෙන් සුධර්මාවෝ වඩුවා හා එක්ව බෑනනි මේ ශාලාවට මා නායක කරවයි කියා අත්ලස් දුන්නුය. වඩුවා යහපතැයි ගිවිස පළමුකොටම කැණිමඩලට දණුඩක් කපා වියලා සැස විත් විද කැණිමඩලකොට නිමවා කඩකින් වසා වෙලා තුබූයේය. ඉක්බිත්තෙන් ශාලාව කොට නිමවා කැණිමඩල උඩනගන අවස්ථාවෙහි අනේ අපි එකක් සිහි නොකළම්හයි කීය, පින්වත කුමක්දැයි කී කල්හි කැණිමඩලක් උවමනා වේදැයි කිය, වන්නාට අපි ගෙණයම්හයි කී කල්හි දැන් කැපුදණ්ඩකින් කරන්ට නොපිළිවන් වන්නේ යයි පළමුකොට කපා සැප විඳ තුබූ කැණිමඩලක් ලදමැැණවයි කීය. දැන් කුමක්කරමෝදැයි කී කල්හි ඉඳින් කිසිකෙණෙකුන්ගේ ගෙයි කර්මාන්තකොට නිමවා තුබූ කැණිමඩලක් ඇත්නම් එසේ වූ කැණිමඩලක් සොයවයි කිවුය. ඔහු ඇමදෙන සොයන්නාහු සුදර්මාවන්ගේ ගෙයි තුබූ කැණිමඩල දැක මිලයට ඉල්වා නොලද්දාහ, එකල සුදර්මාවන් විසින් ඉදින් මා ඒ ශාලාවට එක්කොට ගණුනම් කැණිමඩල දෙන්නෙම්වේදැයි කී කල්හි අපි ස්ත්‍රීන් සමාදන්කොට නොගනුම්හයි කිවුය, එබස් ඇසූ වඩුවා කියන්නෝ ආර්යාවෙනි තොපි ඇම කුමක්කියව්ද, බ්‍රහ්මලෝකය හැර සෙසු ස්ත්‍රීන් නැති තෙනක් නම් නැත කැණිමඩල ඇරගණුව එසේ කල්හි අපගේ කර්මාන්ත වහා සමෘද්ධ වන්නෝයයි කිය ඔහු හැමදෙනා යහපතැයි කියා කැණිමඩල ගෙණ ශාලාවකොට නිමවා ඉන්නා පෝරු අතුට ඒ ඒ තැන පින් පැන්සල් තබ්බවා නිරන්තරයෙන් දුගී මගී යාචකයන්ට දෙන ලෙස කැඳ බත් තැබ්බවුය තවද ඒ ශාලාව වටකොට පවුරක් බඳවා දොරක් ලවා පවුර ඇතුළත වැලි තබ්බවා පවුරේ පිටත තල්පැල පන්තියක් රෝපනය කරවූය. චිත්‍රාවෝත් ඒ ශාලාව සමීපයෙහි උයනක් කරවූය. ඒ උයන මල් පලගන්නාවුත් අසවල්ගසෙක් නැතැයි නොකියහැකි සියලු ගස්ම ඇත්තේය. නන්දාවෝත් එතනම පොකුණක් කරවූය. ඒ පොකුණ පස්වණක් පියුමෙන් සැදින,සිත්කළුය, සුජාතාවෝ වූ කලි කිසි පින්කමක් නොකරවූය. ඉක්බිත්තෙන් මහබෝසතානෝ මවුන්ට උපස්ථාන කිරීමය, පියන්ට උපස්ථාන කිරීමය, කුල දෙටුවන්ට උපස්ථාන කිරීමය, බොරු නොකිම්ය, පරුෂ වචන නොකීමය, කේලාම් නොකීමය, මසුරුමල දුරුකිරීමය යයි යන සප්ත විධ වූ ව්‍රතසමාදානයන් පූරා
මාතාපෙත්ති භරං ජන්තුං කුලෙජෙට්ඨා පචායිනං
සරණං සඛිල සමහාසං පෙසුණෙය්‍යප්පහායිනං
මචේඡරවිනයෙ යුත්තං සච්චං කොධාභිභුං නරං
තං චේ දෙවා තාවතිංසා ආහු සප්පූරිසෝ ඉතිං
මෙසේ ප්‍රසංසා කටයුතු බවට පැමිණ ජීවිතාන්තයෙහි ගොස් තව්තිසා දිව්‍යලෝකයෙහි ශක්‍රදේවේන්ද්‍රව උපන්නාහුය. බෝධිසත්වයනගේ සහාය මනුෂ්‍යයෝද ඒ දිව්‍යලොකයෙහි උපන්නාහුය.

ඉහත විස්තර කෙරුණේ බෝධිසත්වයන් වහන්සේ මචල ග්‍රාමයේ මඝ මානවක නමින් ඉපිද, ස්ත්‍රීන් සිව් දෙනෙක් සරණ පාවාගෙන, ගම්වැසියන් දෙතිස් දෙනෙක් පිරිවරා ඔවුන්ට උපදෙස් දෙමින් උන් පවින් වළක්වා පිරිවර සමග පින් දහම් පුරා තව්තිසා දෙව් ලොව ශක්‍ර දේවේන්ද්‍ර පදවි ලබා ගත් ආකාරයයි. මඝ මානවක කතාව ඇතුලත් වන්නේ කුලාවක ජාතකයේය.

ඒ ජාතක කතාවේ වර්තමාන කතාව සහ බෝසත් මඝ මානවකයා ඇතුළු පිරිස දිව්‍ය ලෝකෝත්පත්තිය ලැබ, අසුරයන් දිව්‍ය ලෝකයෙන් පළවා හැරි අයුරුත්, බෝසතුන්ගේ සිව් වන භාර්‍යාව, සුජාතාව, මේ කිසිත් පිනකට සම්මාදම් නොවී සිට මිය පරලොව ගොස් එක්තරා වනරැළියක කෙකිණියකව උපන් අයුරුත්, ඈ ගැන සොයා බැලූ ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ කෙකිණිය සිල් ගන්වා තමන් වෙතටම ගෙන්වා ගත් අයුරුත් දැන ගැනීමට කැමති සුධිමත්හු ජාතක පොත් වහන්සේ කියවා ඒ දැන ගනිත්වා.

කියැවිය යුතු මූලාශ්‍ර: මීළඟ ලිපියෙන් තව්තිසා වැසි මහේශාක්‍ය දෙවියන් ගැන කියවමු.

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !