Monday, May 31, 2021

සමාජවාදාගම සිංහලයාට කරන විනාශය

ලංකාවේ බොහෝ දෙනාට ධනවාදය පිළිබඳ විවේචන තිබේ. සමාජවාදය ආගමක් වශයෙන් අදහන අයවළුනුත් මෙරට සිටී. සමාජවාදාගම අදහන සමහර විශ්වවිද්යාලවාසී / නේවාසිකාගාරවාසි භික්ෂූන් වහන්සේලා පවා මෙරට වැඩ වසන අතර උන් වහන්සේලා සමහර ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ වලදී පොලිස් ප්‍රහාර හමුවේ තාප්ප සහ වැටවල් මතින් එර්දි වන්නේ (සෘද්ධි නොවේ) මුගලන් සාමින් පවා විලියෙන් අඹරවමිනි.


මෙවැනි එක්තරා සාමින් කෙනෙක් අද දින (නැතිනම් ඊයේ රාත්‍රියේ) කෝවිද රෝගය වැළඳී අභාවයට පත් වූ බව දැන ගන්නට ලැබුනේ අපේ හිත මිතුරු අසල්වැසි පාර්ලිමේන්තු මන්ත්‍රී තුමෙකුගේ fb පණිවුඩයකිනි. ඒ මන්ත්‍රී තුමාට අර භික්‍ෂුව සටන් සගයෙකි - එසේ නොවේනම් අප මිතුරු මන්ත්‍රී තුමා අර භික්‍ෂුවගේ සටන් සගයෙකි.

අභාවයට පත් භන්තේ බද්දේගම සමිත සහෝදරයාට දෙතිස් කතාවේ විප්ලවීය ආචාරය !




සමිත සහෝදරයාගේ අභාවය පිළිබඳව ගරු ජනාධිපති තුමා ඇතුළු බොහෝ දෙනාගේ සංවේගය පල වී තිබිණි. ඒ බොහෝ දෙනා අගය කර තිබුණේ සක්‍රිය දේශපාලනඥයෙක් ලෙස සමිත සහෝදරයාගේ භූමිකාව මිස චීවරයක් දැරූ භික්‍ෂුන් වහන්සේ නමක් ලෙස සමිත ස්වාමින් වහන්සේගේ භූමිකාව නොවේ. සමිත ඇත්ත වශයෙන් භික්ෂුවක් වීද යන්න මෙහිදී සාකච්චාවට ගැනීමට අදහස් නොකරන්නේ හේතු දෙකක් නිසාය.

  • පළමුවැන්න ගිහියෙක් වශයෙන් එසේ කිරීම යෝග්‍ය නැති වීමයි - සරලවම එවැනි භාරධූර කර්තව්‍යයකට අප සුදුසු නොවේ.
  • දෙවැන්න භික්ෂූන් විවේචනය කිරීම ආරම්භ කළහොත් එය අවසන් කරන තැන සොයා ගැනීම අපහසු වීමයි - එක එක භික්ෂු චරිත ගෙන විවේචනය කරන්නට ගියහොත් අපේ පාංශුකූලය දෙන දිනයට කාසාව කන්ඨකයෙක්වත් ඉතුරු වන්නේ නැත.
එබැවින් අභාවයට පත් සමිත සහෝදරයා ගැන වචන දෙකක් සටහන් කර තැබීමට අවසර.
  1. චීවරය දැරුවත් සමසමාජ කාරයෙක් වන මොහු බෞද්ධයෙක් යැයි මා සිතන්නේ නැත; ඔය දෙක එකට අදහන්නට හැකියාවක් නැති බැවිණි. මොහුගේ දේශපාලනය අප දන්නා කාලයේ සිට සිංහල විරෝධී එකක් විය. දෙමළ ෆැසිස්ට්වාදී ත්‍රස්තවාදීන් සමග සාකච්ඡා කර (ඉල්ලන දෙයක් දී) රටට ඊනියා සාමයක් ගෙන ඒම වෙනුවෙන් මොහු එළිපිට පෙනී සිටියා පමණක් නොව ක්‍රියාද කළේය. එය සිංහල භික්‍ෂුවක් විසින් කෙරේනම් පාරාජිකා වූවා හා සමානව සළකමි.
  2. මොහු ගැන කිව යුතු දෙවැන්න පාර්ලිමේන්තුව හා සම්බන්ධය. පාර්ලිමේන්තුවේ සාම්ප්‍රදායිකව පිළිගත් ඇඳුම් තිබේ. මතක අන්දමට මෑතක දී ත් එක්තරා මුස්ලිම් මන්ත්‍රී වරයෙක් ඇඳගෙන පැමිණි සරුවාලයක් වැනි ඇඳුම් ගැන මතභේදාත්මක තත්වයක් ඇති විය.

    සමිත සහෝදරයා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් ලෙස දිවුරුම් දුන්නේ පිළිගත් ඇඳුම වූ ජාතික ඇඳුමින් හෝ සම්පූර්ණ යුරෝපිය ඇඳුමින් හෝ සැරසී නොවේ. ඔහු අරහත් ධජය පාර්ලිමේන්තුවට ගෙන ගිය අතර සම්බුද්ධ සාශන ඉතිහාසයේ පළමු වරට චීවරය ගිහියෙක් ඉදිරියේ (කතානායක) බාල්දු කළේය. ඔහු අනුගමනය කරමින් ඊළඟට පාර්ලිමේන්තු වැඩි හක්ගෙඩි රත්නය විසින් අරහත් ධජය පාපී මිනිසුන්ගේ පයට පෑගෙන පාවඩයක් බවට පත් වන්නට ඉඩ හැරීම වෙනම කතාවකි. එසේ වුවත් එහි මූලාරම්භකයා මේ අවසන් ගමන් ගිය සමිත සහෝදරයා ම ය. එයත් බෞද්ධයන් විසින් මොහුට බ්‍රහ්මඃ දණ්ඩය පැනවිය යුතුව තිබුණු අවස්ථාවකි.
බොහෝ කාලයක සිට, එනම් මීට දශක දෙකට පමණ පෙර සිට, ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට අවශ්‍යව තිබූ කාරණාවක් මතු කර දුන්නේ ඊයේ අවසන් ගමන් ගිය සමිත සහෝදරයාය. ඒ සහෝදරයාට දෙව් මිනිස් සැප කෙළවර, පතන්නා වූ බෝධියකින්, ඔහු එසේ පතන්නේ වී නම්, අජාරාමර සංඛ්‍යාත නිර්වාණ සම්පත්තිය සාක්‍ෂාත් වේවා !


1 comment:

  1. අහෝ මා ඔබගේ මේ ලිපිය දුටුවේ දැනුයි.
    මේ විප්ලවීය සටන්කරුවාගේ අභාවය පිළිබඳ මගේ මුහුණු පොතේ මිතුරන් බෙදාගෙන තිබූ පුවත් වල මා ප්‍රථිචාර දැක්වූයේද මේ වදන් කිහිපයෙනි.
    "සමිත සහෝදරයාට මාගේ විප්ලවීය ආචාරය"

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !