Saturday, May 29, 2021

හුළං හොරුන්ගේ කතා වස්තුව - 1 කොටස

මේ කියන සිද්ධිය සිදු වූයේ (අද) සෙනසුරාදා ය. එදින දහවල ආහාර පිසිමින් සිටින'තුර උඳුන නිවී ගියේය. මෙය ඕනෑම මධ්‍යම පංතියේ නිවසෙක ඕනෑම අවස්ථාවක සිදු විය හැකි සාමාන්‍ය සිද්ධියකි. අනවශ්‍ය අවදානම් නොගැනීම මූලික ප්‍රතිපත්තිය කර ගත් ගෘහ මූලිකයෙකුගේ පාලනයේ පවතින ඕනෑම නිවසක සිදු වන අයුරින් අප නිවසේද සිදු වූයේ හුළං (සාමාන්‍ය සිංහලෙන් කීවොත් "ගෑස්") ටැංකිය උඳුනෙන් ගළවා අනෙක සවි කිරීමයි.

ගෑස් මිල | 2021-මැයි-30 | මූලාශ්‍රය: https://www.litrogas.com/domestic
ගෑස් මිල | 2021-මැයි-30 | මූලාශ්‍රය: https://www.litrogas.com/domestic

අප නිවසේ භාවිතයට හුළං ටැංකි දෙකක් වෙයි. එකක් රජයට අයත් ලිට්රෝ සමාගමේ 12.5 kg ප්‍රමාණයේ නිල් පැහැ එකකි, අනෙක ලාෆ්ස් සමාගමේ කහ පැහැ කුඩා ප්‍රමාණයේ එකකි. අවසන් වී තිබෙන්නේ නිල් පැහැ ටැංකියයි. කහ පැහැ ටැංකිය සවි කර උඳුන අවුළුවා ගත්තත් ගැටළුවක් වෙයි. එය අවුරුදු කාලයේ කැවුම් පිසීම ඇතුළු වෙනත් පිසීම් සඳහා භාවිතා කර තිබුණු බැවින් එහි වායුව තව කොපමණ දින ගණනකට ප්‍රමාණවත් දැයි පැහැදිළි නැති වීමයි. ඒ හේතුවෙන් හිස් හුළං ටැංකිය රැගෙන ආණ්ඩුවේ සංචරණ සීමා තිබියදීම පාරට බැස්සෙමි.

පාරේ කුමන පැත්තකට හැරුණත් අප සාමාන්‍යයෙන් වායු ඉන්ධන මිළදී ගන්නා වෙළෙඳ සැල් දෙකක් කිලෝ මීටර බාගයක පමණ දුරින් හමු වේ. මේ දෙකින් මේ දිනයේ විවෘතව තැබීමට වඩාම ඉඩ ඇති වෙළෙඳ සැලට ගියෙමි. හුළං හොරුන් ගැන කතාව දිග හැරෙන්නේ එතැන් සිටයි.




මොකද උනේ ?


බලාපොරොත්තු වූ අයුරින්ම වෙළෙඳ සැල විවෘතව තිබිණි. "ගෑස් තිබේදැ"යි ඇසූ ප්‍රශ්නයට පිළිතුර ද සතුටුදායක වූ බැවින් ටැංකිය ලිහා බෑවෙමි. ඊළඟට ලබා දුන් අළුත් ටැංකිය පටවා "කීයද" යන පැනය සමගින් රුපියල් 1500 ක් දුනිමි. ඒ වෙළෙඳ සැලේ ඉතා පැහැදිළිව 12.5 kg ටැංකියක් රුපියල් 1493 ලෙස මිල දර්ශනය කර තිබියදීය. "එක්දාස් හාරසියයි නේ දැන්" කියූ මුදලාලි "ඉන්න ඉතුරු සල්ලි දෙනකම්" කියමින් නිවසට ගියේය. අපට සිතන්නට යමක් ලැබුණේ ඒ මොහොතේය.

මා බාර දුන් ටැංකියත් මට නැවත දුන් ටැංකියත් බැලූ බැල්මට වෙනසක් නැත. නමුත් අවධානයෙන් බැලූ විට 12.5 kg ලෙස මුද්‍රණය කර නැති බවත්, ඒ වෙනුවට "PREMIUM" යන්න රතුවට ලොකුවටත් 18 L පහළින් කුඩාවටත් පින්තාරු කර තිබෙන බව දිටිමි (පාසැල් ගිය එකෙක් ලීටර 18 යන්න 18 L ලෙස සටහන් කරන්නේ නැති වීම වෙනම කාරණයකි).

රුපියල් 100 ඉතුරු මුදල් රැගෙන පැමිණි මුදලාලිගෙන් "දොළහමාරේ ටැංකි නැද්ද මුදලාලි" යි විමසුවෙමි. "නෑ, මේ අලුත් ප්‍රිමියම් එක විතරයි මේ සැරේ බෑවේ" ය යන්න ඔහුගේ පිළිතුර විය. "මට මේක හරි යන්නේ නෑ, මට ඕනේ සාමාන්‍ය ගෑස් එකක්, දොළහමාරේ එක නැත්නම් මට හිස් ටැංකිය දෙන්න" යි කියමින් අලුත් ටැංකිය බා ඇතුළෙන් තැබීමි. මුදලාලි කතා කරන්නට පටන් ගත්තේ අන්න එවිටයි. ඒ කතාව බොහෝ කොටම ආණ්ඩුවට දෝෂාරෝපණය කිරීමක් වන හෙයින් එය මෙහි ඇතුළත් නොකරමි. නමුත් සාරාංශය වූයේ ගෑස් සමාගම 12.5 ගෑස් ටැංකි එකතු කර ඒ වෙනුවට අඩු මුදලට වෙනත් ටැංකි සපයන බවයි. එහි අඩංගු ගෑස් වල වෙනසක් ඇති බවක් ඔහුගේ කතාවෙන් ගම්‍ය නොවීය.

මා කළේ ඔහු ඉතුරු දුන් රුපියල් 100 නැවත දී, මගේ මුදල නැවත ලබාගෙන, ඔහුගේ හුළං ටැංකිය ආපසු දී ඔහු නැවත දුන් 12.5 kg ලෙස සඳහන් හිස් ටැංකියත් රැගෙන නැවත නිවසට පැමිණීමයි. ඒ එන අතරතුර වෙනත් මගකින් පැමිණ ඒ මග දිගට වෙළෙඳ සැල් පිරික්සුවත් තිබුණේ 18 L ටැංකි පමණි. සාමාන්‍යයෙන් එක කිලෝ මීටරයක ගමනකින් කර ගත හැකි කර්තව්‍යයකට කිලෝ මීටර 7-8 පමණ ගොසිනුත් කර ගැනීමට නොහැකි වීමයි අවසන් ප්‍රතිඵලය.

රජයට අයත් සිළුමිණ පුවත් පතේ පසුගිය අප්‍රේල් මස 24 දින පළ වූ පුවතකට දැන් අවධානය යොමු කරමු. මෙය ලිට්‍රෝ සමාගම මුදල් ගෙවා ප්‍රචාරය කළ එකක් වීමේ හැකියාව වැඩිය.

LPG ක්ෂේත්‍රයේ නව නැම්මක් ඇති කරන ලිට්රෝ ගෑස්ලීටර් 18 ප්‍රිමියම් හයිබ්‍රිඩ් සිලින්ඩරයක් ලිට්රෝ ගෑස් සමාගම හඳුන්වා දෙයි.

ජාතික LPG සැපයුම්කරු ලෙස වසර 150කට වැඩි උරුමයක් සතු ලිට්රෝ ගෑස් ලංකා සමාගම පාරිභෝගික අවශ්‍යතා සඳහා නව්‍ය විසඳුම් ලබාදීමට සැමවිටම ක්‍රියා කරන බව එම සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි අනිල් කොස්වත්ත පවසයි.

වැඩිවෙමින් පවතින පාරිභෝගික ඉල්ලුමට ප්‍රමුඛතාව දෙමින් LPGසඳහා සුවිශේෂී විසඳුමක් ලෙස ලීටර 18කින් සමන්විත ප්‍රිමියම් හයිබ්‍රිඩ් සිලින්ඩරය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන බවත් මෙම සිලින්ඩරය ගෝලීය පිවිතරයන්ට අනුකූල වන අතර විශිෂ්ට ආර්ථික ප්‍රතිලාභ ලබාදෙමින් ශ්‍රී ලංකාවේ LPG ක්ෂේත්‍රයේ නවතම වෙනසක් සිදුකිරිමට බලාපොරොත්තු වන බවත් ඔහුගේ අදහසයි.

රුපියල් 1,395.00ක මිලකට ලබාදෙන ලීටර් 18 ලිට්රෝ ප්‍රිමියම් හයිබ්‍රිඩ් සිලින්ඩරය සිවුදෙනෙකුගෙන් යුත් පවුලක මාසික LPGඅවශ්‍යතාවට සරිලන බව ආයතනය පවසයි.

ගෝඨාභය රාජපක්ෂයන්ගේ මඟ පෙන්වීම හා ”සෞභාග්‍යයේ දැක්ම” රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව LPG මිල ගණන් වසරකට වැඩිකාලයක් ස්ථාවරව පවත්වා ගෙන යෑමෙන් අපගේ පාරිභෝගිකයන්ට විශාල ආර්ථික ප්‍රතිලාභ ලබා දීමට අපට හැකිවූ අතර අපගේ මේ නව නිෂ්පාදනය එම පොරොන්දුවට ඉමහත් වටිනාකමක් එක්කරනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු යැයි ආයතනය පවසයි.

75% කට වැඩි වෙළඳපොළ කොටසක් හිමිකර ගනිමින් LPG ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස ලිට්රෝ ගෑස් සමාගම සිය පාරිභෝගිකයන්ගේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කර තිබේ.
මූලාශ්‍රය: https://www.silumina.lk/2021/04/24

මේ පුවත ලිට්‍රෝ සමාගම විසින් (ම නොවුණත් කිසියම් ඒකීය මුලාශ්‍රයක් විසින් ජනිත) කරන ලද ප්‍රබන්ධයක් බව තහවුරු වන්නේ ඒ නිශ්චිත තොරතුර අන්තර්ජාලයේ වෙනත් ඉසව් වලින්ද ඒ අයුරින්ම හමු වීම නිසයි. පහත දැක්වෙන්නේ එවැනි කිහිපයකි. සොයා බැලුවොත් ඉංගිරිසි සහ දෙමළ මාධ්‍යයෙන්ද මේ ප්‍රබන්ධයම සොයා ගැනීමට බැරි වනු නැත. මේ සියල්ලට අනුව "පිරිසිදු බලශක්තිය භාවිතා කිරීමට ලෝක ප‍්‍රජාව වැඩි වශයෙන් යොමුවේ. ඒ සඳහා තිරසාර විසඳුම් ලෙස නව්‍යකරණය උපයෝගීකරමින් නව නිෂ්පාදන හඳුන්වාදීමට දීමට LPG ක්ෂේත‍්‍රය කටයුතු කරයි".

ලිට්‍රෝ සමාගමේ ඊනියා `ප්‍රිමියම් හයිබ්‍රිඩ්` හුළං ටැංකිය මෙකී නව්‍යකරණයේ ප්‍රතිඵලයකි. එය "ගෝලීය පිවිතරයන්ට අනුකූල වන" අතර "පාරිභෝගිකයින් බලශක්ති විසඳුම් සඳහා වැයකරන මුදල් සඳහා වැඩි වටිනාකමක් ලබා දීම" එහි අරමුණක් වන බව ඒ දැන්වීම වැඩි දුරටත් කියා සිටී.



සිංහල භාෂාව ගැන අප තුල පවතින්නේ අප්‍රමාණ භක්ත්‍යාදරය කි. උක්ත දැන්වීමේ ඇතුළත් ගජබින්න ගැන වචනයෙන් වචනය ගෙන කතා කළ හැකි මුත් එයින් වන්නේ ලිට්‍රෝ සමාගම විසින් භාෂාව මේ අයුරින් වෛශ්‍යා වෘත්තියේ යෙදවීම පිළිබඳ උත්සන්න වන කෝපය විසින් හෘදයේ නහරයක් පිපිරී අප මරු කටට යාම විය හැකියි. මේ වසංගත කාලයේ එය නම් සුදුසු දෙයක් නොවේ. හැරත් එසේ වුවහොත් මේ ලිපිය පල කරන්නේ කවුද?

මතු සම්බන්ධයි...





ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !