Tuesday, June 1, 2021

හුළං හොරුන්ගේ කතා වස්තුව - 3 කොටස

අප සතුව තිබෙන්නේ ලිට්‍රෝ (මීට පෙර ෂෙල්) සමාගමෙන් මිලදී ගත් කිලෝ ග්‍රෑම් 12.5 පිසින හුළං (ද්‍රවිකෘත පෙට්‍රෝලියම් වායු) ටැංකියකි. එය පසුගියදා අවසන් වූ අතර පුරුදු ලෙසින් එය මාරු කර ගැනීමට ගොස් (ඔව්, සංචරණ සීමා තිබියදීම තමා) සිදු වූ ඇබැද්දිය මීට පෙර සටහන් කෙරිණි. ඒ කතාව අවසන් කෙරුණේ ලිට්‍රෝ සමාගම කිලෝ ග්‍රෑම් 12.5 ටැංකිය පාරිභෝගික අපගෙන් ලබාගෙන ඊටම කිලෝ ග්‍රෑම් 9 ක් පමණක් පුරවා රුපියල් 100 ක් අඩුවෙන් අපට විකුණන්නේය යන නිගමනයට එමිණි.

අද එතැන් සිට.

ඉවරද ?


කතාව මෙතැනින් ඉවර වන්නේ නැත. සමාගම විසින් 12.5 kg ටැංකි වෙළෙඳ පොළෙන් ඉවත් කිරීම ක්‍රමානුකූලව කෙරේ. මා මුහුණ දුන් අත්දැකීමට මුහුණ දෙන වැඩි දෙනෙක් 18 L ටැංකියක් ගෙදර ගෙන යනු ඇත. ඔවුන්ට නැවත කිසිදා 12.5 ටැංකියක් ලැබෙන්නේ නැත. සමාගම එකතු කරගෙන යන සෑම ටැංකියක්ම අළුතින් පින්තාරු කර 18 L ලියා හුළං අඩුවෙන් ගසා නැවත එවනු ඇත. මාස දෙක තුනකින් වෙළෙඳ පොළේ ඉතුරු වන්නේ 18 L ටැංකි පමණි.



තවත් සදහන් කළ යුතු දෙයක් වෙයි. ලංකාවේ ගෑස් අළෙවිය නියාමනයට ලක් කෙරී තිබෙයි. ඒ අනුව 12.5 kg ටැංකියක් අළෙවි කළ හැකි නිශ්චිත උපරිම මිළක් තිබේ. ලිට්‍රෝ සමාගම කර තිබෙන්නේ නීතියේ කණෙන් රිංගිමකි. මේ තක්කඩි ක්‍රියාවට ගරු ජනාධිපති තුමාවත් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයත් ඈඳා ගෙන ඇත (පුවත් නිවේදන බලන්න). මා දන්නා තරමින් නීතියේ එක් මූලික ප්‍රතිපාදනයක් නම් යම් දෙයක් අරමුණු කරගෙන යම් නීතියක් පනවා ඇත්නම් වචන වල නැතිනම් ඉලක්කම් වල අඩුපාඩු යොදාගෙන ඒ නීතිය ඉක්මවා යාමට නිත්‍යානුකූල අවස්ථාවක් නොමැති බවයි. කවුරු හෝ හැකි කෙනෙක් මේ තක්කඩි කම් වලට එරෙහිව නඩු පැවරිය යුතුය. සාමාන්‍ය පාරිභෝගිකයාට වෙනත් හුළං කුරුල්ලෙක් අල්ලා ගැනීම (මෙහිදී නම් ලාෆ්ස් සමාගම) විකල්පයක් නොවේ. හැරත් සමාගම් දෙකක් පමණක් සිටින පාලිත වෙළෙඳ පොළක එකෙක් තක්කඩි කමක් කර නිදහසේ සිටීනම් අනෙකාත් ඒ තක්කඩි කමම වැඩි තීව්‍රතාවයකින් කිරීම හුදෙක් කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණෙකි.

මෙහි තවත් පැත්තක්ද තිබේ.

සමාගම එක ටැංකියකින් එක වරකට වංචනිකව රුපියල් 335 ක් ලබා ගන්නා බව ඉහත සාධනය කළෙමු. මේ මුදල සමාගමට ලැබෙන්නේද ? නැත.

කළින් කිලෝ ග්‍රෑම් 12.5 ගෙන ගිය පුද්ගලයා දැන් ගෙනියන්නේ 8.875 පමණි. එහි අර්ථය ඔහුට නැවත ඉක්මණින් ටැංකිය මාරු කිරීමට සිදු වන බවයි (මේ වසංගත කාලේ ඒකත් නියමයි). තුන් වරක් 12.5 ටැංකිය මාරු කළහොත් ඒ තැනැත්තා වායුව කිලෝ ග්‍රෑම් 37.5 ගෙදර ගෙන යයි. දැන් 8.875 ටැංකිය භාවිතා කරන කෙනෙක් සිව් වරක් ටැංකිය මාරු කළද ලැබෙන්නේ වායුව කිලෝ ග්‍රෑම් 35.5 පමණි. ප්‍රවාහන වියදම වැඩි වුණත් ගෑස් අඩුය.

මෙය සමාගම පැත්තෙන්ද සිදු වේ. අර මනුෂ්‍යයාට ටැංකිය තුන් පාරක් ප්‍රවාහනය කළා වෙනුවට දැන් හතර පාරක් ප්‍රවාහණය කළ යුතුය. ගෑස් අඩු කළත් ටැංකිය පොඩි වී නැති බැවින් එක වරකට ප්‍රවාහණය කෙරෙන ටැංකි ගණන වැඩි වන්නේ නැත. ඒ වෙනුවට වන්නේ වාර ගණන වැඩි වීමෙන් මෙහෙයුම් (පිරවීමේ, නඩත්තු කිරීමේ, ප්‍රවාහණ, සහ නාස්තිය) වියදම ඉහළ යාමයි. වැටුප් සහ දීමනා වියදම් වැඩි වීමට අමතරව මේ වියදමෙන් වැඩිමනක් ටයර්, අමතර කොටස්, සහ ඉන්ධන වශයෙන් කිසි ප්‍රයෝජනයක් නැතිවම රටින් පිටවන විදේශ විණිමය වේ.

මේ පිස්සු වියදම් කරන්නේ ඉන්ධන පිණිස වැය වන විදේශ විණිමය ඉතුරු කර ගැනීම පිණිස මුළු රටටම සංචරණ සීමා පනවා, කඩයට යන්නේ නම් එයත් වාහනයක නොයා පයින් යන්නට නියෝග දෙන, එසේම සඳුදා දින කොළඹට ඇතුල් වූ වාහන ගණන පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් මාධ්‍ය සාකච්ඡාවක් තබා ප්‍රකාශයට පත් කෙරෙන පසුබිමක වීමයි විහිළුව.



ඉතිං ...


මේවාට කුමක් කළ යුතුදැයි අපට නම් වැටහෙන්නේ නැත. මේවා ගැන තීන්දු තීරණ ගන්නේ "වියත් මග" උගතුන් බුද්ධිමතුන් විය යුතුය. අපට තේරෙන එකම දේ අපට නොතේරෙන යම් කිසි දෙයක් සිදු වෙමින් පවතින බවයි. ශ්‍රී ලංකාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "සමාජවාදී" ජනරජයක් බවට පත් වෙමින් ද තිබෙන්නේ ?

මෙය කියවන ආර්ථික විද්‍යාව අතැඹුලක් සේ දන්නා ප්‍රාඥයන් විසින් මේ කරුණ අපට පැහැදිළි කර දෙත්වා. එසේම සංචරණ සීමා පනවා ඇති විටෙක තෝ හුළං ගසන්නට ගියෙහි නේදැයි චෝදනා කෙරෙමින් පොලිස් ඇණියක් අප නිවෙස නොවටලාවා.



නව තත්වය : හෙටම (අඟහරුවාදා) ගොස් තත්වය පිරික්සමි. එසේම මේ ලිපියත් ඒ අනුව යාවත්කාලීන කරමි. යි ඉහත ලිපියේ සඳහන් කළෙමි. මේ ඒ පොරොන්දුව ඉටු කිරීමයි.

අද සවස නැවත සුපුරුදු වෙළෙඳසැලට ගියත් 12.5 ටැංකි ලැබී තිබුණේ නැත. මා එවිට කළේ ඉහත සඳහන් කළ නියෝජිත මහතාට දුරකථන ඇමතුමක් ගැනීමයි. අප අයත් ප්‍රදේශයේ බෙදා හරින්නා ක්‍ෂණිකව සම්බන්ද කර ගත් ඒ මහතා මාගේ ප්‍රකාශය තහවුරු කර ගත් අතර නැවත පණිවුඩයක් දීමට පොරොන්දු විය.

පොරොන්දු වූ පරිදි ඔහු අප නිවසට යන්තම් කිලෝ මීටරයක් පමණ දුරින් පිහිටි ආයතනයක විස්තර සැපයූ අතර එහි 12.5 kg ටැංකි තිබිණි. ඒ මහතා අපට දැක්වූ උපකාරය වෙනුවෙන් පෞද්ගලිකවම ඒ මහතාට පින් දෙමි.

එසේම දෙතිස් කතාව මුළින් මේ සම්බන්දයෙන් දැක්වූ ස්ථාවරය, එනම්, "ලිට්‍රෝ සමාගම 12.5 kg ටැංකිය මුළුමනින්ම වෙළෙඳ පොළෙන් ඉවත් කර ඒ වෙනුවට 18 L ටැංකිය ලබා දීමට යන්නේය" යන ස්ථාවරය ළිහිල් කර ගනිමින් ලිට්‍රෝ සමාගම මේ වර්ග දෙකම වෙළෙඳ පොළේ තිබෙන්නට ඉඩ හරින මුත් 18 L වෙත පාරිභෝගිකයන් විතැන් කර ලීමට සවිඥානිකව කටයුතු කරන බව නිරීක්‍ෂණය වූ බව සටහන් කර තබමි.




සම්බන්ධිත අනෙක් ලිපි:

6 comments:

  1. හැබැයි මේකේ ප්‍රොපෙන් 50% යි බුටෙන් 50% යි තියෙන නිසා ඒ තර්කෙ පිළිගන්න බෑ.
    මේකේ ප්‍රොපෙන් 25% යි බුටෙන් 75% යි තියෙන නිසා ඒක පිළිගන්න බෑ.
    https://www.youtube.com/watch?v=JkYxJd-BE-Q

    ReplyDelete
    Replies
    1. මේ ටැංකි වර්ග දෙකෙහි සංයුතියේ වෙනසක් තිබිය යුතු බව මුල සිටම අපගේද අදහස විය. මුල් අවස්ථාවේ 18 L ටැංකිය රැගෙන නො ආවේම ඒ හේතුවෙනි.

      LPG යනු වායු මිශ්‍රණයක් බව සාමාන්‍ය දැනුම වුවත් එය ප්‍රොපේන් සහ බ්‍යුටේන් මිශ්‍රණයක් බව අද වන තෙක් අමතකව තිබූවකි. ඔබේ මේ ප්‍රතිචාරය දශක දෙකක් පමණ පැරණි දැනුමක් අලුත් කළ බැවින් ඊට තුති පුදමි.

      එසේම මෙය තව අධ්‍යයනය කළ යුතු මාතෘකාවකි. මේ ලිපිය ලිවීමේ අරමුණ අප පෞද්ගලික අත්දැකීමක් කියවන්නා සමග ඒ භාවයෙන් යුතුවම බෙදා ගැනීමයි. අත්දැකීම පරණ වන විට භාවය වෙනස් වී යයි. පෞද්ගලික අත්දැකීමක් වශයෙන් නොව දෙතිස් කතාවේ අනුගමනය කෙරෙන ක්‍රමය අනුව සාමාන්‍ය සංසිද්ධියක් ලෙස ගෙන ලියන අවස්ථාවක ඔබේ බැඳිය ත් ප්‍රයෝජනවත් වේ යැයි. සිතමි.

      ස්තූතියි.

      Delete
  2. දැන් ඔබතුමා අපෙන් අහන්නෙ 'මා ගෝඨාභයට චන්දය දුන්නේ ඇයි?' කියාද

    ReplyDelete
    Replies
    1. මා ඔබලාගෙන් අසන්නේ "ශ්‍රී ලංකාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "සමාජවාදී" ජනරජයක් බවට පත් වෙමින් ද තිබෙන්නේ ?" යනුවෙන් මිස "ගෝඨාභයට චන්දය දුන්නේ ඇයි?" කියා නොවේ.

      Delete
    2. "අපට තේරෙන එකම දේ අපට නොතේරෙන යම් කිසි දෙයක් සිදු වෙමින් පවතින බවයි"
      ඔව්නේ, Oracle එයින් ගියාම AI අපට තේරෙන්නේ නෑනේ. අන්න ඒවායින් තමා මේ ගණන් මිනුම් සිදු වෙමින් පවතින්නේ.
      ගෝඨාභය ස' හරි. කියපුදේ කරනවා. වියත්මග බැහැල වැඩ. ඉතිං ඔබතුමාට ඇති "සමාජවාදී' ප්‍රශ්නෙටත් ළඟදීම පිළිතුරු ලැබෙයි.
      ඉවසන්න පින්වත. ඉවසන්න.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !