Sunday, May 30, 2021

හුළං හොරුන්ගේ කතා වස්තුව - 2 කොටස

අප සතුව තිබෙන්නේ ලිට්‍රෝ (මීට පෙර ෂෙල්) සමාගමෙන් මිලදී ගත් කිලෝ ග්‍රෑම් 12.5 පිසින හුළං (ද්‍රවිකෘත පෙට්‍රෝලියම් වායු) ටැංකියකි. එය පසුගියදා අවසන් වූ අතර පුරුදු ලෙසින් එය මාරු කර ගැනීමට ගොස් (ඔව්, සංචරණ සීමා තිබියදීම තමා) සිදු වූ ඇබැද්දිය මීට පෙර සටහන් කෙරිණි. අද ලියවෙන්නේ එහි ඉතුරු කොටසයි.

ඊළඟට මොකද උනේ ?


ලිට්‍රෝ සමාගමේ උණු-අංකය හෙවත් හැමෝම දන්නා අයුරින් හොට්-ලයින් එක 0 112 505 808 වෙයි. නිවසට පැමිණි මා ටැංකිය ඉවත් කිරීමෙන් පසුව කළේ ඒ අංකයට ඇමතුමක් ගැනීමයි.


පරණ ටැංකියේ අඩංගුව තිබෙන වායුවේත් ඊනියා නව ටැංකියේ අඩංගු වායුවේත් වෙනසක් නොමැති බව වෙළෙන්දා හා සංවාදයෙන් ගම්‍ය වූ බව ඉහත පැවසිණි. මේ ගැන අදහසක් ඒ ඇමතුමෙන් නොකියැවිණි. ඒ වෙනුවට අප ඇමතුමට පිළිතුරු දුන් මහතා මගේ ගෑස් ටැංකිය අවසන් වීම නම් නිෂ්චිත ප්‍රශ්නය හඳුනාගෙන ඊට පිළිතුරු දීමට උත්සුක විය. ඔහුගේ යෝජනාව තමන්ගේ (ලිට්‍රෝ සමාගමේ) ජංගම-දුරකථන-යෙදවුම මගේ දුරකථනයට පටවාගෙන ඉන් ගෑස් ඇණවීම වූ නමුත් එය ප්‍රතික්‍ෂේප කළෙමි. තමන්ගේ ජංගම දුරකථනයට දමා ගන්නේ කුමන යෙදවුමද යන්න තනි පුද්ගල තීරණයකි. ඔය එක එක විකාර දමාගෙන ඒවායින් විය හැකි හානි වලට ඔය සමාගම් වග කියන්නේ නැත.

තරමක ආයාසයකින් පසු මගේ ප්‍රශ්නය ගෑස් ටැංකියක් මගේ නිවසට ගෙන්වා ගන්නේ කෙසේද ? යන්න නොව මගේ ප්‍රතිරූප දේශය තුල පිහිටි වෙළෙඳ සැල් වලට කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් ටැංකි සමාගම විසින් සපයා නොමැති වීම බව තේරුම් ගැනීමට ඒ මහතා සමත් විය. ප්‍රදේශයට ගෑස් බෙදා හරින නියෝජිත මහතාගේ අංකය ලබා දීමට ද ඒ මහතා කාරුණික විය.

ඒ අංකය සහ ඒ නියෝජිත මහතාගේ නම මෙහිදී සඳහන් කිරීමට සූදානම් නැතත් ඒ මහතා සමග සංවාදයෙන් සඳුදා දිනය තුල ගෑස් සැපයෙනු ඇති බව දැන ගතිමි. වෙලාව නිශ්චිතව නොකියැවුණු හෙයින් හෙටම (අඟහරුවාදා) ගොස් තත්වය පිරික්සමි. එසේම මේ ලිපියත් ඒ අනුව යාවත්කාලීන කරමි.

ඊට අමතරව ඒ මහතා සමග කළ සංවාදයෙන් කලින් මුදලාලි සමග කළ සංවාදයේ කරුණක් තහවුරු විය. එනම් සාමාන්‍ය ටැංකියේ සහ ඊනියා ප්‍රිමියම් හයිබ්‍රිඩ් ටැංකියේ අඩංගු ගෑස් අතර වෙනසක් නැති බවයි.

ඔහු මුලින්ම ගෑස් නැතැයි කී විට විස්මය පළ කළේය. ඇත්තේ ප්‍රිමියම් යන්න ගසා ඇති 18 L ටැංකි මිස 12.5 kg නොවන බව පැහැදිළි කළ විට දෙකම එකයි, ඒක ගත්ත නම් හරි යනුවෙන් යෝජනා කර ඇමතුම විසංධි කරන්නට උත්සාහ කළත්, මා ඔහුට පිළිතුරු දුන්නේ ගෑස් දෙකම එක බව ඔහු කීවත් මගේ 12.5 kg ටැංකිය 18 L ටැංකියකට මාරු කිරීමට අවශ්‍යතාවයක් නැති බවයි. මා මුලින් මුදල් ගෙවා මිලදී ගත්තේ 12.5 kg ටැංකියක් මිස 18 L ටැංකියක් නොවන බැවිණි. මා විස්මයට පත් කරමින් ඔහු ඊට පහසු පිළිතුරක් දුන්නේ ටැංකි දෙකම එකයි යනුවෙනි. මෙන්න මෙතැනදී නම් මා සිත තුල උත්පාදනය වූ පිළිතුරු සියල්ල සුද්ධ සිංහල ය.

ටැංකියත් එකම නම්, ඇතුලේ පුරවා ඇති වායුවත් එකම නම්, අර මිලියන ගණන් වියදම් කර පිරිසිදු බලශක්තිය, නව්‍යකරණය, ප‍්‍රිමියම් හයිබි‍්‍රඞ් සිලින්ඩරය වැනි වචන යොදාගෙන අමුකෙබර ප්‍රචාරය කර හරින්නේ ඇයි?



හොරා කෝ ?


ඉන් පසු මා යොමු වූයේ ඒ ප්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීමටයි. වායුවේත් වෙනසක් නැතිනම්, ටැංකියේත් වෙනසක් නැතිනම් ප්‍රිමියම් සහ හයිබ්‍රිඩ් යන වචන තේරුමක් ඇති වචන නොවේ. මා වෙළෙඳ සැලේදී හුළං ටැංකිය නැවත බෑවේ ම වායුවේ වෙනසක් තිබිය හැකි බව විශ්වාස කළ බැවිණි. මෙතෙක් කාලයක් නිකං වායුවෙන් රත් කළ උඳුන් දැන් හදිසියේ "පොෂ්" වායුවකින් රත් කර "පිරිසිදු බලශක්තිය" භාවිතා කරන්නේ යැයි අමුතුවෙන් ආතල් ගැනීම අපේ ක්‍රමය නොවේ.

වායුවේ වෙනසක් නැති බව මුදලාලි සහ බෙදාහැරීම් නියෝජිත තැන යන දෙදෙනාම තහවුරු කළ පසුව මා සිතුවේ 18 L ටැංකියේ අමුතු ආරක්‍ෂාවක් තිබිය හැකි බවයි. එසේනම් 12.5 ටැංකිය දී 18 ටැංකිය ගැනීමට මා පැකිළෙන්නේ නැත. නමුත් ගැටළුවකට තිබුණේ මා මුළින් මිලදී ගත්තේ 12.5 ටැංකියක් නිසා එය 18 ටැංකියකට මාරු කළහොත් නැවත අවශ්‍ය අවස්ථාවක 12.5 ටැංකියකට මාරු කර දීමට සමාගම කටයුතු කරනු ඇත්ද යන්නයි. මෙවැනි බොහෝ ගනු-දෙණු එක පසකට පමණක් ක්‍රියා කිරීම සාමාන්‍ය ක්‍රමයයි. උදාහරණයක් ලෙස ඔබේ දුරකථන සම්බන්ධතාවය මාසික ගාස්තුව වැඩි පැකේජයකට මාරු කිරීමට ගාස්තු අය නොකළත් එය නැවත අඩු මාසික වාරිකයකට සකස් කර ගැනීමට රටේ නැති ගාස්තු ගෙවා ඒවාට ආණ්ඩුවට බදුත් ගෙවීමට සිදු වේ.

නියෝජිත තැන පැහැදිළිවම සහ ස්ථිරවම ටැංකි දෙකම එක හා සමාන බව පැවසූයෙන් ඒ ප්‍රශ්නයත් විසඳිනි. එසේනම් රුපියල් 100 ක් අඩුවෙන් දෙන මේ හුළං ටැංකිය මිලදී නොගත යුත්තේ ඇයි? හැරත් 12.5 වෙනුවට 18ක් ම දෙනවා නොවැ !

ඒ ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් ලබා ගැනීමට මා යොමු වූයේ අන්තර්ජාලය වෙතයි. මක් නිසාද යත්, ගොරකා සහ දඩමස් සංසන්දනය කළ හැකි වුණත් කිලෝ ග්‍රෑම් සහ ලීටර සංසන්දනය කළ නොහැකි බැවිණි. එහිදී පහත වෙබ් අඩවිය හමු විය.

https://www.aqua-calc.com/calculate/weight-to-volume

පහත දර්ශන එයින් ලබා ගත් ඒවාය. මේ ගණිතමය පරිවර්තන සහ ගණනය සඳහා යොදා ගත් LP වායුවේ ඝනත්ව අගය නිවැරදි යැයි උපකල්පනය කරමු.

සාමාන්‍ය 12.5 kg ටැංකිය

ලීටර 12.5 අඩංගු LP වායු ප්‍රමාණය ලීටර වලින්
LP වායු කිලෝ ග්‍රෑම් 12.5 යනු ලීටර වලින් 25.35 කි

එසේම,

18 L ඊනියා ප්‍රිමියම් හයිබ්‍රිඩ් ටැංකිය

LP වායු ලීටර 18 යනු කිලෝ ග්‍රෑම් වලින් යන්තම් 8.875 පමණෙකි

මේ අනුව පෙනෙන්නේ මිලියන ගණන් ප්‍රචාරක වියදම් දරා රුපියල් සීයකුත් (හරියටම කීවොත් 98 ක්) අඩුවෙන් මේ අමාරු කාලයේ අපට ආදරය නිසාම ලිට්‍රෝ සමාගමෙන් අපට පුදන්නේ කිලෝ ග්‍රෑම් 12.5 - 8.875 = 3.625 අඩුවෙන් පිරවූ ටැංකියක් බවයි. හුදෙක් බර අඩු කර මිල අඩු කිරීම ම හොර කමක් නොවේ. හොර කම වන්නේ පාරිභෝගිකයාගේ ඇසට වැළි ගසා 12.5 තිබුණු තැන 18 ලියා බොරු, තේරුමක් නැති "ප්‍රිමියම් හයිබ්‍රිඩ්" වැනි වචන දමා එය කිරීමයි. මේ හොර හිත නොවේනම් වෙන කුමක්ද ?

මිල අඩු කිරීම ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් (1493 − 1395) ÷ 1493 × 100 = 6.5640 % කි. ගෑස් අඩු වීම (12.5 − 8.875) ÷ 12.5 × 100 = 29.0 % කි.
මෙය වෙනත් අයුරකින් කීවොත්, 8.875 kg ටැංකියක් විකිණිය යුතු බව සමාගම තීරණය කරයි නම් ලිට්‍රෝ සමාගම එය විකිණිය යුත්තේ (1493 ÷ 12.5) × 8.875 = 1060.03 කටය. නමුත් විකුණන්නේ 1395 කටය. හොර කමින් ලබා ගන්නා ගණන 1395 − 1060 = 335 වේ. මේ ටැංකියක හුළං අඩු කිරීම මගින් එක පාරිභෝගිකයෙකුගෙන් වරකදී සොරා ගන්නා මුදලයි.
හෙණ ගහන්නේ නැතිද ?

මතු සම්බන්ධයි...



ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !