Tuesday, September 4, 2018

තිස් පහට (35) අඩු උන්ට ත්‍රී වීල් පැදවීම තහනම් කල යුතුය?

"තිස් පහට (35) අඩු උන්ට ත්‍රී වීල් පැදවීම තහනම් කල යුතුය"

ඒ අප හිත මිතුරු සිතුවිළි තම බ්ලොග් අඩවියේ මීට දෙසතියකට පෙර එබූ ලිපියක ශීර්ෂපාඨය. පහත දැක්වෙන්නේ ඊට අප දුන් ප්‍රතිචාරය.
කිසිවෙක් විසින් නව්‍ය ආර්ථික අවස්ථාවක් උදා කර ගැනීම රටකට සම්පතකි. දුගී ඉන්දියාව විසින් තම රටේ තරමට නිපදවා ගත් වාහනය තෙසකරියයි. ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජපානය විසින් මේ කාරණය උදෙසාම තනා ගත් වාහනය kei car ලෙස හඳුන්වයි. පසුගිය දින වල රජය විසින් 50% පමණ ප්‍රතිශතයකින් බදු මුදල් වැඩි කරන ලද්දේ මේ කාර් රථ උදෙසා වේ.

රාජපක්‍ෂ රජය විසින් ලංකාවේ මහාමාර්ග වල ගුණාත්මක භාවය විප්ලවීය වෙනසකට බඳුන් කිරීමට පළමුව ත්‍රිරෝද රථ නමින් හඳුන්වන ඉන්දීය නිෂ්පාදනය මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ සැළකිය යුතු භූමිකාවක් ඉටු කළේය. විශේෂයෙන් ඉන්දීය සංක්‍රමණිකයන් වෙසෙන කඳුරට ප්‍රදේශ වල බස් රථ නොදුවන මං මාවත් වල මේ රථ විසින් කළේ ජනතා සේවයකි.

එහෙත් මහා මාර්ග පද්ධතියේ සිදු වූ වෙනසට සමගාමීව ඉන්දීය නිෂ්පාදිත ත්‍රිරෝද රථ ජපානයේ නිෂ්පාදිත සූක්‍ෂම රථ (kei car) විසින් ආදේශ වීම වේගයෙන් සිදු වෙමින් පැවතිණි. තෙසකරිය යනු කිසි සේත්ම ආරක්‍ෂාකාරී වාහනයක් නොවේ. පැයට කිලෝමීටර 20 - 30 මිස ඊට වඩා වේගයෙන් යා හැකි, යා යුතු මාර්ගයක මේ වාහන ධාවනය කරවීම අනෙක් වාහන වලට කෙරෙන අසාධාරණයකි. මේවායේ නිත්‍යානුකූල වේග සීමාව 40 kmph ලෙස නිර්ණය කිරීම අහඹුවක් නොවේ.

අනෙක් අතින් තෙසක රිය එහි නඩත්තු වියදම් හා එය නියෝජනය කරන සමාජ මට්ටම හේතුවෙන් ලාංකික සමාජය විසින් ප්‍රතික්ෂේප කෙරෙමින් පැවතිණි. AMW සමාගම පිළියන්දල පිහිටි එක්ලස් කරන කම්හලක් දැනටමත් වසා දමා ඇති බව මාගේ මිතුරෙක් කළ ප්‍රකාශය සත්‍යයක් බව සිතමි. රජය විසින් පැනවූ බදු ද ඊට එක හේතුවකි. මේ ආණ්ඩුව සේම පසුගිය ආණ්ඩුවද ත්‍රිරෝද රථ වල බදු ඉහළ දැමීය.

ඉහත කාරණා අනුව තෙසක රියේ මගී ප්‍රවාහනය කිරීම පිණිස අවම වයස් සීමාවක් පැනවීමට උත්සාහ කිරීම අනවශ්‍ය කර්තව්‍යයකි. තෙසකරිය මහමගින් ඉවත් වෙමින් පවතී නම් එය බලෙන් ඉවත් කිරීමට දහදිය හෙළිය යුත්තේ ඇයි ?
තෙසක රිය ගැන වැඩිදුරටත් කතා කරමු.





පළමුවෙන්ද සඳහන් කළ පරිදි මේ රථය අවම නිෂ්පාදන පිරිවැයකින් නිමැවූ රළු වාහනයකි. වෙනත් රථ, විශේෂයෙන්ම මෝටර් කාර් රථ සහ වෑන් රථ ධාවනය කළ නොහෙන දුෂ්කර සහ පටු මාර්ග වලට ඉතා සුදුසු රථයකි. පසුගිය දශකයේ ලංකාවේ මාර්ග පද්ධතියේ සිදු වූ විප්ලවීය වෙනස්කම නොවන්නට මේ රථය ලංකාවට ඉතා ඔබින රථයක් බවට සැකයක් නැත.

තෙසකරිය වේගයෙන් ධාවනයට සකස් කළ වාහනයක් නොවේ. වැඩි වේගයෙන් ගොස් තිරිංග තද කරන විටත්, වංගු ගන්නා විටත් මේ රථය පෙරැළි යාමේ නැඹුරුවක් තිබේ. එකල අප නැරඹූ "නයිට් රයිඩර" කතා මාලාවේ දැකිය හැකි KITT නම් මෝටර කාර් රථය මෙන් එක පැත්තක් ඉහළට ඔසවා රෝද දෙකෙන් කෙටි දුරක් ගමන් කළ තෙසකරිය මා දැක ඇත. අනතුරුව අංශක අනූවකින් භ්‍රමණය වන ඒ රථ ගමනාන්තය කරා ක්‍ෂණයෙන් ළඟා වීම වෙනම කතාවකි.

ලංකාවේ සිදු වන මාරාන්තික රිය අනතුරු වලින් බොහෝමයක එක් පාර්ශවකරුවෙක් බවට තෙසකරිය පත් වන්නේ අහඹුවකින් නොවේ. ඊට හේතු කිහිපයක් නැත - ඇත්තේ එකම එක හේතුවකි. ඒ හේතුවනම් මේ රථය එහි අපේක්‍ෂිත අරමුණෙන් බැහැරව භාවිතා කිරීමයි. අපේක්‍ෂිත අරමුණ වෙනුවෙන් භාවිතා කෙරෙන තෙසකරියක් අනතුරකට බඳුන් වන්නේ නම් ඒ අනෙක් පාර්ශවයේ වරදක් හේතුවෙනි.

වාහන වේගයෙන් ගමන් කළ හැකි නගරයේ පුළුල් මාර්ග වලින් තෙසකරිය ඉවත් කෙරෙන්නේ නම්, ඒවා නියමිත වේග සීමාව තුල ගමන් කෙරෙන්නේ නම්, මුළු ගමන පුරා මාර්ගයේ වම් තිරුවේම රැඳී තිබෙන්නේ නම් සහ රියැදුරන් විසින් මාර්ග විනය නිසි පරිදි අනුගමනය කෙරෙන්නේ නම් මේ රිය හා සම්බන්ධ අනතුරු 100% අඩු කර ගත හැක.


මේ ලිපියට ප්‍රස්තුත වූ, අවුරුදු 35ට අඩු පුද්ගලයන්ට තෙසකරිය යොදාගෙන මගී ප්‍රවාහනයට අවසර නොදීමේ ආණ්ඩුවේ යෝජනාවට හේතු භූත වන්නේ මේ රථය කරණ කොටගෙන සිදු වන රිය අනතුරු නොවේ. රටේ නිෂ්පාදනයට (ශ්‍රම හමුදාවට) එක් කර ගත හැකි තරුණ ජීවිත මහමගට නිකරුනේ ගෙවී යාම වළක්වා ගැනීම එහි ප්‍රකාශිත අභිප්‍රායයි.

තරුණයෙකු තෙසකරියක් ගෙන හංදියට පැමිණෙන්නේ අනෙක් විකල්ප වලට සාපේක්‍ෂව එහි ආකර්ෂණයක් පවතින හේතුවෙනි. පෞද්ගලිකව මා හෝ මගේ ඥාති සනුහරේ කිසිවෙකු හෝ තෙසකරිය නොපදවන්නේ ඊට වඩා ආකර්ශනීය විකල්ප අප සතු වන නිසාය. රජය විසින් තෙසකරිය පදවන ජීවිත විකල්ප ජීවනෝපාය වෙත යොමු කිරීමට උත්සාහ ගන්නේ නම් කළ යුතු වන්නේ තෝරා ගත් විකල්ප වඩා ආකර්ශනීය කිරීමේ ක්‍රමෝපාය සැකසීම මිස මහජනතාවට තිබෙන විකල්පයත් අහිමි කිරීම නොවේ.

ලංකාවේ ශ්‍රම බළකාය අර්බුධයක පවතින බව සත්‍යයකි. මලික් සමරවික්‍රම වැනි ව්‍යාපාරිකයින් ETCA වැනි ක්‍රමෝපාය හරහා ඉන්දීය ශ්‍රමිකයින්ට දොර විවර කිරීමට උත්සාහ දරන්නේ ඊට කෙටි කාලින විසඳුමක් දීමට බව අපට නොතේරෙනු නොවේ. එහෙත් එය විනාශයට මාර්‍ගය බව සමාජයේ බහුතරයකට තේරුම් යාම වාසනාවකි. ඉන්දීය ශ්‍රමිකයින් මෙරටට වැද්දා ගැනීමේ අනිවාර්‍ය ප්‍රතිඵලය ඉන්දියාව විසින් අප ගිල ගැනීම මිස වෙනකක් නොවේ. හවායි දිවයින් ඇමරිකානු එක්සත් ජනපද විසින් ගිල ගත්තා මෙනි.


මේ රථය හේතුවෙන් තරුණ පරම්පරාව මහමගට රස්තියාදු වීම ගැන කෙරෙන විවේචන දෙතිස් කතාව පිළිගන්නේ නැත. එවැනි විවේචන කරන අයවළුන් විසින් තරුණ පරම්පරාවට විකල්ප පෙන්වා දිය යුතුය. දෙතිස් කතාවේ අප තෙසකරිය පැදවීමේ හෝ එය භාවිත කර මගී ප්‍රවාහනයේ අවම වයස් සීමාවක් නියම කිරීමට තරයේ විරුද්ධය. එහෙත් විරුද්ධ වන්නෙකු විසින් තෙසකරිය කරණ කොටගෙන සිදු වන රිය අනතුරු වැළක්වීමේ ක්‍රමෝපාය ඉදිරිපත් කළ යුතුය.

අප මුලින්ද හුවා දැක්වූ පරිදි මේ රථය සංවර්ධිත මහාමාර්ග වලට ගැළපෙන්නක් නොවේ. ඒ නිසා ක්‍රමානුකුල ක්‍රියාවලියකින් මේවා මහමගින් ඉවත් කළ යුතුය. එසේම මගී ආරක්‍ෂාව අතිනුත් පරිසර පැවැත්ම අතිනුත් ඉතා පහළ මට්ටමක පවතින මේ රථය දීර්ඝ කාලින සැලසුමකට අනුව මුළු රටින්ම ඉවත් කළ යුතුව තිබේ.

ඒ සඳහා අප කරන යෝජනා කිහිපයකි.
  1. ක්‍රමානුකූලව කෙරෙන ආනයනික බදු වැඩි කිරීම් මගින් නව රථ වෙළෙඳපොළට පැමිණීම අධෛර්යය කිරීම.
  2. තෝරා ගත් නාගරික ප්‍රදේශ වලට (උදා: කොළොඹ නගර සීමාව, මහනුවර නගරය, ගාල්ල කොටුව) මේ වාහන ඇතුල් කිරීම අධෛර්‍යයමත් කිරීම. මේ සඳහා විශේෂ බලපත්‍රයක් හඳුන්වා දිය යුතුය. ඉහත කී ප්‍රදේශ තුල තෙසකරිය මේ වන විටත් හිමි ස්ථිර පදිංචි කරුවන්ට එකී බලපත්‍රය 50% සහන මිළට ලබා දිය හැක.
  3. තෙසකරිය භාවිතයෙන් මගී ප්‍රවාහනය කරන රියැදුරන් ලියාපදිංචි කිරීම හා සහන කාලයකින් පසු (උදා: වසර තුනක්) ඒ ලියාපදිංචිය රහිතව මගී ප්‍රවාහනය තහනම් කිරීම.
  4. ඉහත අංක 3 මගින් තෙසකරිය පිළිගත් මගී ප්‍රවාහන සේවයක් බවට රජය විසින් පිළිගැනේ. ඒ පිළිගැනීමෙන් අනතුරුව ඒ සේවය නියාමනය කිරීම රජයට කළ හැක. අප මෙහි යෝජනා කෙරෙන ප්‍රධානම කරුණ නම් මාර්ග විනය සම්බන්ධ වැරදි වලට, විශේෂයෙන් අපරික්ෂාකාරී ධාවනය, මගී ප්‍රවාහණ බලපත්‍රය තාවකාලිකව තහනම් කිරීමයි (මෙය රථවාහන පොලීසියට සුභදායක ආරංචියකි).
  5. මගී ප්‍රවාහන බලපත්‍ර නැතිව හෝ තහනම් බලපත්‍රයක් සහිතව මගී ප්‍රවාහනය කරන විට එකී රියැදුරාගේ රථ ධාවන බලපත්‍රය සියළුම වාහන කාණ්ඩ සඳහා අඩු වශයෙන් මාස තුනකට තහනම් කළ යුතුය. මෙමගින් මාර්‍ගය භාවිතා කරන අනෙක් මහජනයාගේ ආරක්‍ෂාව සැළසේ.
ඉහත යෝජනා වල අරමුණ තෙසකරිය මගී ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් අධෛර්යමත් කිරීමයි. එසේ කළ නොහැකිනම් අඩු තරමින් පිළිගත හැකි විනය ක්‍රියාවලියකට යටත් කිරීමයි.

එසේ කරන අතරතුර රජයකට කළ හැකි තවත් දෑ තිබේ. උදාහරණයක් දැනට භාවිතා වන තෙසකරියට විකල්පයක් විය හැකි වෙනත් රථ සඳහා පහසුකම් සැළසීම දැක්විය හැක.
  1. ඉහත අංක 2 යටතේ ඇතුළු වීම තහනම් කළ නාගරික ප්‍රදේශ වලට විදුලි බලයෙන් දුවන, වේගයෙන් ධාවනය කළ නොහැකි, කුඩා මෝටර රථ හඳුන්වා දීම එක පිළියමකි. මෙය පෞද්ගලික අංශයෙන් කෙරෙනු හැකි මුත් රජය විසින් බදු සහන ලබා දීමෙනුත් ණය ලබා දීමෙනුත් උදව් විය හැක.
  2. අගෝස්තු මස බදු වැඩි කිරීමට පෙර ජපන් kei මෝටර රථ කුලී රථ වශයෙන් ජනප්‍රිය වෙමින් පැවතිණි. තෙසකරිය පදවන පංතියත් kei රථ පදවන පංතියත් එකම නොවුණත් සමහරු තෙසකරිය වෙනුවට හෝ තමන් සතුව පැවති තෙසකරිය විකුණා දමා හෝ kei රථයක් මිලදී ගැනීමට පෙළඹීමේ ප්‍රවණතාවයක් තිබිණි. ඉහත අංක 1 අනුව තෙසකරියෙහි බදු වැඩි කරන විට kei රථ වල බදු ක්‍රමානුකූලව අඩු කළ යුතුය.
kei කාර් රථ වල බදු අඩු කිරීම කළ හැක්කක් නොවේනම් තමන් සතු තෙසකරිය වෙනුවට kei රථයක් හුවමාරු කර ගන්නා අයට රජය මැදිහත් වී කිසියම් සහනයක් දිය හැක. එය පොලී අනුපාත අඩු කිරීමක් හෝ රජයට අය විය යුතු බදු මුදල් අඩු කිරීමක් හෝ වෙනයම් ඕනෑම ආකාරයක් විය හැක. මෙහිදී අවධානය යොමු කළ යුතු වන්නේ මෙවැනි ක්‍රමයක් අවභාවිත කිරීමේ වැඩි හැකියාවක් තිබීමයි.


කුලී රිය රටකට අවශ්‍ය පාරිභෝගික සේවාවකි. ඉතා දියුණු පොදු ප්‍රවාහණ සේවාවක් ඇති සිංගප්පූරුවේ පවා කුලී රථ තිබේ. මහජනයාට අවශ්‍ය සෑම ගමනක්-බිමනක්ම පොදු ප්‍රවාහන මාධ්‍යයන් විසින්ම කළ හැකිනම් පමණක් රටකට කුලී රිය අවශ්‍ය නැත. එහෙත් එය ඉටු කර ගත හැකි ප්‍රයෝගික යථාර්තයක් නොවේ. මේ හේතුවෙන් රජය විසින් කළ යුත්තේ කුලී රථ රටේ වැදගත් ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් පිළිගෙන එය සුදුසු පරිදි නියාමනය කිරීමයි.

මේ ආණ්ඩුවෙන් නොකෙරෙන්නේද එයමයි. ඊළඟ රාජපක්‍ෂ ආණ්ඩුවකින් කුලී රිය සේවාව යථා පරිදි නියාමනය කළහොත් කවදා හෝ ඊළඟට බලයට පත් වන රනිල් වික්‍රමසිංහ විසින් ඒ නියාමන අධිකාරියත් කවුරු හෝ පරයෙකුට විකුණා දමනු ඇති බවට මෙන්න කැට !



ප.ලි.: සිතුවිළිගේ බ්ලොග් අඩවියේ දැමූ ප්‍රතිචාරයේ AMW සමාගම යැයි සටහන් වීම අපගේ වරදකි. අප දන්නා තරමින් පිළියන්දල එකලස් කිරීමේ අංගනයක් පවත්වාගෙන යනු ලබන්නේ ඩේවිඩ් පීරිස් සමාගම විසිනි. එහි එකලස් කරනු ලබන්නේ තෙසකරිය ද නැතිනම් දෙසකරිය ද යන්න අප හරි හැටි දන්නේ නැත.

අප මිත්‍රයා විසින් සඳහන් කරන්නට යෙදුණේ "එහා පැත්තේ ත්‍රීවිල් ප්ලාන්ට් එකෙත් වැඩ නවත්තලා" යනුවෙනි. ඒ කියැවුණේ පිළියන්දල දීය.

6 comments:

  1. ඔබේ නිවැරදි කිරීම හා සම්බන්ධව:
    මාත් දන්නා තරමට පිළියන්දල ප්‍රදේශයේ එකලස් කිරීමේ වැඩපොල රිචර්ඩ් පීරිස් සමාගමේය
    එහි ඔවුන් දෙසක් හා තෙසක් රිය දෙවගයම එකලස් කලේය.
    නවතා දැමූ බවනම් නවමු පුවතකි.

    ReplyDelete
  2. 35න් අඩු උන් මේ වෘත්තියෙන් බැහැර කිරීමට එකම හේතුව ලෙස ඔබ දක්වන ශ්‍රම බලකාය පිළිබඳ ප්‍රශ්නය මා නම් එලෙසම දකින්නේ නැත.
    මලීක් සමරවික්‍රමගේ අදහස එය විය හැකිය.

    එහෙත් මා දකිනාකාරයට, මේ රථය නිසා ලාබාල තරුනයින් විශාල වශයෙන් සමාජ දුස්චරිතයන්හී නියෝජිතයන් බවට පත් වේ.
    පිට රට සිටින නැන්දෙකුගෙන් මාමෙකුගෙන් ලක්ෂ දෙකක් ඉල්ලා ගත් විට ඔවුන්ට ලීස් කර තෙසකක් මිලදී ගත හැකිය. එවිට එතැන් පටන් ජීවිතය මම මගය.
    ගනිකා තැරැව් කරුවන්ගේ ග්‍රහණයට මේ ලාබාල කොල්ලන් කදිම ගොදුරුය. මේ කොලු ගැටවුන්ට ගනිකාවන් ප්‍රවාහණය වැනි කාරනා මහා වීර කම්ය
    ඊලඟට ගන්ජා ටිකක් ලඟ තබාගෙන විකුනා අරබන ව්‍යාපාරික දිවිය පාතාල සොල්දාදුවන් බවටත් කුඩු වෙලෙඳන් කප්පම් එකතු කරන්නන් දක්වා ඔවුන්ගේ ක්‍රියා කාරීත්වයන් විහිදී යාමට පටන් ගනීයි.

    තිස් පහෙන් අඩු උන්ට තෙසකය තහනම් වුවහොත් ලක්ස විසි පහක් දී කුඩා කාර් රථයක් ගැනීම ඔවුන්ට පහසු නොවනු ඇත.
    එසේම මා යෝජනා කල පරිදි දැනට තෙසකය පදවන හැමට එහි නිරත වීමට බලපත්‍ර නිකුත් කල හොත් එමගින් කුලීරථ සේවාවට පහරක් වදින්නේද නැත.

    අපිට මේ සියල්ල කථා කල හැකිය
    ගමරාලට ඕනෑ එක පෑන් පහරක් පමණි
    බෝල්පොයින්ට් පෑන් පහරකින් ඌට මෙවැනි යෝජනා නොව කෝටි ගනන් වැය කොට අමාත්‍යාංශ නිලධාරීන් තැනූ යෝජනා කුනු බක්කියට දැමිය හැකිය.

    ඉතින් අපි කාලය කා දමන්නේ මොකටද?

    ReplyDelete
    Replies
    1. ඔබ පවසන සමාජ විරෝධී ක්‍රියා වලට තෙසකරිය පදවන තරුණයන්ගේ දායකත්වයක් ඇති බව පිළිගනිමි. එහෙත්, තෙසකරිය පදවන මැදි වයසේ අයත් මහල්ලනුත් ඔය කියන අපචාර වලට දායකත්වය නොදක්වන සත් ගුණවත් උපාසකයින් නොවේ. තරුණ වයසේ කල්ලි ගැසීමට ඇති නැඹුරුව හේතුවෙන් ඇති වන සාමුහික විඥානය මත සම්මතයට විරුද්ධ දේ කිරීමටත් එමගින් පොරත්වයක් ආරෝපණය කර ගැනීමටත් පෙළඹීමක් ඇත. එහෙත් වැරදි දේට ඇති බියද මේ කාලයේ වැඩිය.

      මැදි වයසට එන විට හුදෙකලා තීරණ අනුව කටයුතු කිරීමට තරම් ස්වාධීනත්වයක් ළඟා කර ගන්නා අතර වැරදි දේට ඇති බියත් තුනී වේ. තම දෙමාපියන් ජිවිතයෙන් තුරන් වීම හෝ බෙලහීන තත්වයට පත් වීම මීට හේතුව ලෙස දකිමි. ඉහත හේතු නිසා සමාජ විරෝධී ක්‍රියා වැඩි වශයෙන් කෙරෙන්නේ තරුණයින් අතින් නොව වැඩිමහල්ලන් අතින් බව සැකයකින් තොරව පවසමි.

      එසේම ගණිකාවක් රථයේ ප්‍රවාහණය කිරීම නීතිමය වරදක් නොවේ. එහි සදාචාරමය වරදක් ද නොදකිමි. නමුත් නීති විරෝධී ජාවාරමක නිරත වන සංවිධානාත්මක ජාලයක ප්‍රතිලාභ ලබන සාමාජිකයෙකු බවට දැන දැන පත් වීම මෙමගින් අනුමත නොකෙරේ.

      මේවා හෝ ඔබ පෙන්වා දෙන මත්ද්‍රව්‍ය ජාවාරම හෝ වැළක්වීම පතන ආණ්ඩුවක් විසින් කළ යුතු වෙනත් දේ තිබේ. ප්‍රතිකර්මය යෙදිය යුතු වන්නේ ආබාධය ඇති තැනටයි. ඉහත විස්තර කළ අපචාර වැළක්වීම පිණිස වයස 35 ට අඩු උන්ට ත්‍රිරෝද රථ පදවා මගී ප්‍රවාහණය තහනම් කිරීම, බැංකු කොල්ලයන් වැළක්වීම පිණිස පූර්ණ ශිර්ෂාවරණ තහනම් කිරීමේ යෝජනාවට දෙවැනි නොවන තකතීරු යෝජනාවක් බව කියමි.
      ---

      Delete
    2. ගමරාළ අසරණයෙකි. අප මීට වසර තුනකට පෙර ඔහු ගැන කී දේ අදටත් වලංගුය.
      "ඔහුට කරන්නට ඇත්තේ "සකල බුජං අරක ගෙනෙන්" කියා අගමැති රනිල් කියන විට ඒක ගෙනත් දීමත්, "සකල බුජං මේක ගෙනෙන්" කියා කාර්‍ය නියමයක් නැති ඇමති චන්ද්‍රිකා කියන විට ඒක ගෙනත් දීමත් පමණි. අන්න ඒ ටිකනම් හරියට කරන්නට මේ හාදයාට හැකි බව අපට ඉර හඳ සේ විශ්වාසය."

      පල්ලෙවත්ත ගමරාළ මැදමුලනේ පර්සි මහේන්ද්‍ර කෙරේ දැඩි බියකින් පෙළේ. ඊටත් වඩා ඔහුට බැසිල් පෙන්නන්නට බැරිය. මේ ආරෝව හේතුවෙන් රට දිනෙන් දින පිටරටුන්ටම අයිති වෙමින් යයි.

      1. ගමරාළ හිතට පුරුෂ ධෛර්‍යය ගෙන 19 වන සංශෝධනය අහෝසි කිරීම පිණිස ජනමත විචාරණයක් කැඳවිය යුතුය.
      2. නැතිනම් තට්ට දුමියා ඇතුළු කුමන්ත්‍රණ කාරයින්ගේ පුකට පයින් ගසා මීළඟ ජනාධිපතිවරණයට තමන්ම ඉදිරිපත් වීම පිණිස රාජපක්‍ෂලාගේ උදව් ඉල්ලා සිටිය යුතුය.

      සිංහලයන් එකතු කිරීමෙන් තොරව අපට පැවැත්මක් නැත. 1815 දී අපට රට අහිමි වූයේ සිංහල නායකයන්ට තමන්ගේ ප්‍රශ්න තමන් අතර විසඳා ගැනීමට නොහැකි වූ නිසාය. 1818 දී සිංහල නායකත්වය සමූලඝාතනය වී සිංහලයන් වාර්ගික සංහාරයට ලක් වී සිංහලේ රටවල් පිටින් ජනශුන්‍ය වන්නේ අප අතරම තීබූ අසමගිය නිසාය.

      වසර දෙසීයකට පසු පුනරාවර්තනය වෙමින් පවතින්නේ එකම ඉතිහාසය බව වැටහෙන්නේ අපට පමණද !

      Delete
  3. අද රටේ ලොකුම ප්‍රශ්නය "ත්‍රීවිල් පාරෙන් ඉවත් කිරීම"
    ඔන්න මහා ප්‍රඥයා ඒකට විසඳුමක් දීල !

    දැන් ඕව පාරෙන් අයින් කළාම උන් යන්න ඕනේ කුඹුරු උඩින්ද ?

    ReplyDelete
    Replies
    1. "ත්‍රීවිල් පාරෙන් ඉවත් කිරීම" ප්‍රශ්නයක් බව කීවේ කවුද?

      "පහත් තැනින් යයි ගලා ජලේ" යනු පැරණි ගීයක පද පෙළකි. ජලය පහත් තැනින් ගලා යන්නේ එය සතු ශක්තියෙන් කළ හැක්ක පහතට ගලා බැසීම පමණක් වන හෙයිනි. අප්‍රාණික ජලය පමණක් නොව සප්‍රාණික සත්ත්වයාද කරන්නේ එයමැයි.

      ත්‍රිවිල් පාරට පැමිණීමටත් පහත් තැනින් ජලය ගලා යාමටත් ඇත්තේ එකම හේතුවකි. ඒ තම තම ශක්ති ප්‍රමාණයෙන් තම තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමේ අවශ්‍යතාවයයි. ජලය පහතට ගලා යාම කෙනෙකුට ප්‍රශ්නයක් නම් කළ යුත්තේ පහත් තැනින් ගලා යාම ජලයට තහනම් කිරීමද ?

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !