Tuesday, April 14, 2015

ජාතිය

සියල්ලටම පළමු සඳහන් කළ යුතුව ඇත්තේ මේ ලියන අප සිංහල භාෂා විශාරදයෙක් හෝ දේශපාලන විද්‍යා චක්‍රවර්ති කෙනෙකුන් හෝ නොවන බවයි. එහෙත් දැන් කියන්නට යන දේ කීම පිණිස නම් අවශ්‍ය සුදුසුකම් අපට ඇත. ජාතිය යන වදනට අපට මෙතෙක් හමු වූ අරුත් තුනකි.
තීරු රහිත සිංහ කොඩිය
සිංහයා සිංහල ජාතියේ සංකේතයයි
  1. ජාති, දේවල්, වර්ග, යන තේරුම
  2. ජාති නම් පාලි පදය. පාලි ජාති යන්නේ අරුත උපත යන්නයි.
  3. Nation යන්නට යොදන පාරිභාෂික පදය
මේවා ගැන වෙන වෙනම සළකා බලමු.




මදුර සිංහල ඉංගිරිසි පරිවර්තකය යොදාගෙන "ජාතිය" යන වදනට දෙන තේරුම් සෙව්වොත් පහත පිළිතුරු ලැබේ.
  1. breed1
  2. category1
  3. genus1
  4. kind1
  5. nation3
  6. national3
  7. nationality3
  8. people1
  9. race1
  10. species1
ජාති නම් පාලි පදයට දෙන තේරුම එහි නැත.


එක එක ජාතියේ ඒවා


මේවායින් අංක 1 යොදා සළකුණු කර ඇත්තේ ජාතිය යන්නේ පළමු අරුත සහිත ඉංගිරිසි පද වේ. අප බොහෝ විටම ජාතිය හෙවත් දැය යන පදය යොදා ගන්නේ මේ අරුතිනි. පහත වාක්‍ය මේ අරුත සඳහා උදාහරණ වේ.
  • එක ජාතියේ කුරුල්ලෝ = එක වර්ගයේ කුරුල්ලෝ
  • කැමති කාර් ජාතිය = කැමති කාර් වර්ගය
  • මොන ජාතියේ සිංදුද = මොනවගේ සිංදුද
  • මොන ජාතියේ මිනිහෙක්ද = කොහොම මිනිහෙක්ද
  • ගොඩක් ජාති වල සමනල්ලු = බොහෝ විශේෂ වලට අයත් සමනලුන්
  • ඔබේ ජාතිය කුමක්ද = ඔබ අයත් ජනවර්ගය කුමක්ද
  • උන් මහා තක්කඩි ජාතියක් = ඒ පළාතේ මිනිස්සු මහා තක්කඩි
මේ අවස්ථා වලදී "ජාතිය" යන වදනේ තේරුම ඉතා ලිහිල්ය. එකිනෙකාට රුචි අයුරින් සමාන තේරුම් සහිත වෙනත් පද වෙනුවට යොදා ගත හැක. ජාතිය යන්නේ බහුවචන ස්වරූපය `ජාති` වන අතර දැය යන්නේ බහුවචන ස්වරූපය `දෑ` වේ. ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා කියා අහිකුන්ඨිකයින් විසින් ගැයෙන්නේ මේ අරුතින් ද යනු අපට ගැටළුවෙකි.


ජාතිපි දුක්ඛා


පාලි "ජාති" යන පදය එළෙසම සිංහලයට එකතු වී ඇත. මෙහි අරුත උපත යන්නයි. උපත සමගම හිමි වන දේ, එනම් ජරා, ව්‍යාධි, මරණ පමණක් නොව නෑසියන්, ඉඩකඩම් හරකබාන, සමාජ තත්වය පවා ජාතිය සමග ගැටගැසී ඇත. ඌ අඩුජාති කාරයෙක් යන යෙදුම සළකමු. මෙයින් කියවෙන්නේ මේ වාක්‍යයෙන් කියැවෙන තැනැත්තා උතුම් ය කියා හැඳින්වන වංශයක නූපන් බවයි. ඒ යෙදුමේ එන ජාතිය යන්න පරම්පරාව හා බැඳී ඇත.

ජාතකපාලිය, නැතිනම් එය උපකාර කොටගෙන රචනා කොට ඇති පන්සීය පනස් ජාතකය බෞද්ධ අප සියලු දෙනා දන්නා අසා ඇති ග්‍රන්ථයකි. මේ නමින් ම කියැවෙන පරිදි එහි එන්නේ (සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ) පෙර ජාති හෙවත් පෙර උපත් පිළිබඳ විස්තර වේ. මා ආර්ය ජාතියේ උපන් තැන් පටන් ...ය කියා අංගුලිමාල තෙරුන් වහන්සේ සත්‍ය ක්‍රියා කරන විට ද මේ අරුත දෙන බව සිතමි.


ජපන් ජාතිය


ජාතිය යන්නට දිය හැකි අවසන් අරුත භූ-දේශපාලනික අර්ථ දැක්වීමකි. nation යන වදනට සිංහල වදනක් ඇවැසි වූ තැන අපේ පඬුවෝ ඊට ජාතියයැයි නම් කළහ. එය දුරදිග නොසිතා කළ වැරදි අර්ථ ගැන්වීමක් බව දැනෙන්නේ එමගින් ජාතිය යන වදනේ ඉහත සඳහන් අරුත් වලට හානි සිදු වන බැවිණි.

Nation පිළිබඳ විකි-පීඩියා පිටුවට මෙතැනින් පිවිසිය හැක.

කාලයෙන් කාලයට Nation පිළිබඳ අර්ථ දැක්වීම සුළු වශයෙන් වෙනස් වෙතත්, Nation යනු අප මුලින් අරුත් ගැන්වූ පරිදි සමනලුන්, කුරුල්ලන් හෝ ගීත සඳහා යෙදිය නොහැක. එපමණක් නොව අප කැමති කැමති අයුරින් මිනිසුන් උදෙසා ද යොදා ගැනීමේ හැකියාවක් නැත. Nation යන්න උපතත් සමග ද කිසිදු සම්බන්ධයක් නැත.

Nation යනුවෙන් හඳුනා ගැනෙන්නේ අනිවාර්‍යයෙන්ම කිසියම් ජන කොට්ඨාශයකි. ඒ ජනයා පොදු මූලාශ්‍රයකින් පැවත ඒම, පොදු සංස්කෘතියකට අනුගත වීම, එක භාෂාවක් හෝ එකම භාෂාවක ප්‍රබේධ කථා කිරීම, හඳුනා ගත් සීමා සහිත නිශ්චිත ප්‍රදේශයක චිරාත් කාලයක් පුරා අඛණ්ඩව වාසය කිරීම සහ ජීවනෝපාය සළසා ගැනීම යනාදී අවශ්‍යතා සම්පූර්ණ කරන ජන වර්ගයක් වෙතොත් ඒ ජනතාව එකාවන්ව එක පාලන ක්‍රමයකට අනුගතව, ස්වෛරීව ස්වාධීනව ඒ පාලන ක්‍රමය ගෙන යත් නම් එකී ජනකාය Nation වශයෙන් හඳුනා ගැනේ. "ජපන් ජාතිය" යන්න මේ සඳහා අතිශයින් ගැළපෙන උදාහරණයකි.

ජපන්නු වසර දහස් ගණනක් පුරා ඉහත අවශ්‍යතා සපුරා ලමින් තමන්ගේ දූපත් කිහිපයේ ජිවත් වූහ. විශාල මහාද්වීපයක විශාල ප්‍රදේශයක පැතිරුණු භාෂා ප්‍රබේධ කිහිපයක් කතා කරන චීන්නු ද පොදු සංස්කෘතියක් තුල ඉහත අවශ්‍යතා බොහෝ දුරට සම්පූර්ණ කර ගත්හ. එසේම පැරණි මිසරවාසින් පාරාවෝ වරු යටතේ එවැනි ජාතියක් (Nation) ගොඩ නැගූහ. කාලයෙන් කාලයට දේශසීමා වෙනස් වන ලෝකයේ අස්ථාවරම දේශපාලන කලාපයක් වන යුරෝපා පෙදෙස් වල ජනයාත් ශිෂ්ඨාචාර ගොඩ නොනැගු අප්‍රිකානු සහ වෙනත් කලාප වල නොදියුණු ජනයාත් ජාති (Nation) ගොඩ නැංවීම පිණිස බොහෝ කල් ගත්හ. යුරෝපය අනුගමනය කරන බොහෝ දේශපාලන විශ්ලේෂකයන්ට අනුව නම් ජාතිය ඇති වන්නේ ප්‍රංශ විප්ලවයෙන් පසුව වේ. මේනම් අන්ධබාල නිගමනයකි.


ලංකාවේ ජාතිය


ඉහත නිර්ණායක වලට යටත්ව මෙරට ජාතිය (Nation) ගොඩ නැගුවේ සිංහලයන් පමණි. ඒ අඩු තරමින් මිට වසර දෙදහසකට පමණ පෙර වේ. නියම ජාතියකට (Nation) පුරාවෘතගත ඉතිහාසයක් තිබේ. මෙය ලිඛිත හෝ අලිඛිත හෝ විය හැක. පුරාවෘතගත බොහෝ විට ජනශෘති වශයෙන් පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන මේ ඉතිහාසය කිසියම් අවස්ථාවක පුරාවිද්‍යාත්මක සාධක මත සපුඨ කළ හැකි දෘඪ සාධක වලට ඉඩ ලබා දේ. එතැන් සිට ඉතිහාසය එම ජාතියේ නියම ඉතිහාසය වේ. සිංහලයාගේ ප්‍රාග් ඉතිහාසය, එනම් පුරාවිද්‍යාත්මක සාධක මත මෙතෙක් ඔප්පු නොකළ ඉතිහාසය, බුද්ධ කාලයටත් එපිටට යන අතර අනුරාධපුරය රාජධානිය ගොඩ නැංවූ පණ්ඩුකාභය රජුගෙන් අපේ පුරාවිද්‍යාත්මක සාධක සහිත ඉතිහාසය ආරම්භ වේ.


යකුන් විසින්, නාගයින් විසින්, දෙවියන් විසින් වෙන වෙනම බුදු රජාණන් වහන්සේට පූජා කළ මේ ලක්දිව රක්නා පිණිස උන් වහන්සේ විසින් සක් දෙව් රජුන්ට පවරණ ලදී. ලාට රටින් පිටමං කළ විජයයා මෙරට ගොඩ බැස කුවේණිය හා පවුල් කයි. පසුව පළවා හැරුණු කුවේණියගේ දරුවන්ගෙන් පුලින්දයන් ඇති වේ. මේ වර්තමාන වැදී ජනතාවගේ ආරම්භය පිළිබඳ කතාවයි. විජයයා දඹදිවින් කුමරියක් ගෙනා මුත් ඔහු දරුවන් නොලත් බැවින් පණ්ඩුවාසදේවයා රජ විය. පණ්ඩුවාසදේවයා ශාක්‍ය කුමරියක් වූ භාද්දකච්චයානා ඇගේ සොහොයුරන් හා සමගම මෙහි ගෙනා බැවින් ශාක්‍යයන්ට රජකම උරුමයක් ඇති විය. මේ වන විට විජයයා සමග පැමිණි පිරිස මෙරට ස්වදේශිකයන් පාගාගෙන යටත් විජිතයක් ලෙස පාලනය ගෙනගිය අයුරක් පෙනේ. ඔවුන් දඹදිවින් බිරින්දෑවරුන් ගෙනෙන්නේ එහෙයිනි.


භද්දකච්චයානා ගේ දියණිය ශාක්‍ය කුමරෙක් වූ දීඝ ගාමිණී හා පෙමින් වෙලීමෙන් පණ්ඩුකාභය උපන්නේය. උපන් සැණින් මාළිගයෙන් පිටමං කෙරෙන පණ්ඩුකාභය කුමරු ස්වදේශිකයින් හා සමග හැදී වැඩි නව යොවුන් වියේම ස්වකිය මාමාවරුන්ට එරෙහිව කැරළි ගසා ස්වදේශිකයන් හා එක්සත් රජයක් පිහිටුවා නියම ස්වදේශීය පාලන ක්‍රමයක් නැවත ඇති කරයි. ඒ විජයාගමනයට පෙර පැවති රාජ්‍යයම ද නොවේ, එසේම පණ්ඩුවාසදේව හෝ අභය හෝ යටතේ පැවති දඹදිවට නැමුණු දීන (යටත්) රාජ්‍යයද නොවේ. එසේම ඔහු එතෙක් පැවති සියළු ජනකණ්ඩායම් එක්සත් කිරීමට ද සමත් වේ. ලක්දිව නියම උරුමක්කරුවන් වන යක්‍ෂ, නාග, හා දේව වර්ගයාත්, විජයයා සමග කඩා පාත් වූ සිංහයන් ලෙස හඳුනා ගත හැකි 700 පිරිසෙන් පැවතෙන්නෝත්, පසුව පැමිණි ශාක්‍යයනුත් යන සියලු ජන කොටස් එක් කර පණ්ඩුකාභයා විසින් ගොඩ නගන පෙර නොවූ විරූ අභිනව රාජ්‍යය සිංහලය නම් විය; එසේම ඒ සඳහා එක්සත් වූ සියළුම ජනකණ්ඩායම් සිංහල නම් ජාතිය බවට පත් විය.


මෙසේ පණ්ඩුකාභයා විසින් ඇති කෙරෙන සිංහල ජාතියට වසර දෙදහසකට වඩා අති දීර්ඝ ලිඛිත ඉතිහාසයක් සහ සම්ප්‍රදායක් ඇත. ලෝකයේ වෙන කිසි ජාතියකට මෙවැනි අභිමානයක් නැත.


දෙමළ ජාතිය ?

දෙමළ ජාතියක් දෙමළුන්ගේ නිජ බිම ලෙස පිළිගත හැකි වර්තමාන දකුණු ඉන්දියාවේවත් නැත. ලංකාවේ කිසි සේත් නැත - මක් නිසාද යත් ලංකාවේ දෙමළු ජාතිය (Nation) පිළිබඳ නිර්ණායක නොසපුරණ බැවිණි. ලංකාවේ ඉස්ලාම් භක්තිකයන් ගේ තත්වය මීට වඩා සෝචනීය වේ. ලංකාවාසී දෙමළු අඩු තරමින් අධිරාජ්‍යවාදීන් විසින් ඉන්දියාවෙන් විප්‍රවාස (diaspora) කරන ලද බව කිව හැකි මුත් ඉස්ලාම් භක්තිකයන්ට ඒකීය මූලයක්වත් නැත. ඉන්දියාවෙන්, පකිස්තානයෙන්, බංග්ලාදේශයෙන්, බුරුම හෙවත් ම්යන්මාර් රටෙන්, ඇෆ්ගනිස්ථානයෙන්, මාල දිවයින් වලින්, මැලේසියාවෙන් සහ ඉන්දුනීසියාවෙන් පමණක් නොව ඉස්ලාම්කරණය කෙරුණු සිංහලයින්ගෙන් ද මේ ජන කොටස සමන්විත වේ.


සමහරු වැද්දන් ද ජාතියක් කිරීමට උත්සුක වෙතත් වැද්දන් යනු සිංහල ජාතියේම අනු-කොටසක් පමණෙකි. වැද්දන් පමණක් නොව, පද්දන්, කෙවුලන්, ගොයියන්, බයියන් සහ ටොයියන්ද කරා, දුරා, දහජරා ආදී මෙකී නොකී සෑම දෙනාමත් සිංහල ජාතියේ කොටස් කරුවෝ වේ.


ලංකාව තුල වෙනම ජාතියක් (Nation) ඇති කර ගැනීමට සමහර දෙමළුන්ට ආශාවක් තිබේ. එහෙත් එය බොරුවෙන් කපටිකමින් මිස සැබැවින් පවත්නා සාධක මත ගොඩ නැගිය නොහැකි දෙයකි. කෝටි ගණනක දෙමළ ජනකායක් සිටින දෙමළුන්ගේ නිජබිම වන ඉන්දියාවේවත් ජාතියක් ගොඩ නැගීමට නොසමත්ව, සුද්දන් විසින් කෘතිමව ඇති කෙරුණු ඉන්දීය ජාතිය තුල ගිලී සිටින කල ඒ දෙමළ ගහනයෙන් අංශුමාත්‍රයක් පමණක් වන ශ්‍රී ලංකාවේ දෙමළ ඩයස්පෝරාව විසින් ලංකාව තුල දෙමළ ජාතියක් ඇති කිරීම පිළිබඳව කතා කිරීම විහිළුවකි. ලංකාවේ ඇත්තේ එකම ජාතියකි. ඒ සිංහල ජාතිය සහ එයම පමණකි.



සාරාංශය:
  • ජාතිය යන පදයට සිංහල භාෂාවේ තේරුම් කිහිපයක් තිබේ.
  • මින් ඉංගිරිසි Nation යන්නේ සිංහල පදය ලෙස යෙදීම ඉතා වැදගත්ය. මූලිකව ගත් කළ Nation යන්නේ සිංහල පදය ලෙස ජාතිය යන්න යෙදීම වැරදි වැටහීම් වලට තුඩු දෙන නිසා ඒ තෝරා ගැනීම වරදකි.
  • ජාතියක් (Nation) වන්නේ නිශ්චිත අවශ්‍යතා සපුරණ ජන වර්ගයක් පමණකි.
  • සිංහලයින් එම අවශ්‍යතා සපුරා ඇති අතර වසර දහස් ගණනක් පුරා ජාතියක නිර්ණායක සපුරමින් අඛණ්ඩව පැවතී ඇත.
  • සිංහලයින් හැර වෙන කිසි ජන වර්ගයක් ලංකාව තුල ජාතියක් (Nation) නොවේ - ඒ සඳහා නිර්ණායක සැපිරූ වෙනත් කිසිදු ජන වර්ගයක් නැත.
  • ලෝකයේ කිසිම තැනක දෙමළ ජාතියක් නැත. තමන්ගේ නිජබිම වන තමිල්නාඩුවේ දෙමළු කෘතීම ඉන්දීය ජාතිකත්වයක් තුල කිඳී ජිවත් වෙති.
දේව, නාග, යක්‍ෂ ජන වර්ගයා ස්වකිය අනන්‍යතාවය එකතු කර සිංහලය ගොඩ නැගුවා සේ දෙමළ සහ වෙනත් ජා, මරක්කල, හම්බ, ඇෆ්ගන් ඈ ජනවර්ග වලටත් ස්වකිය සංස්කෘතික ලක්‍ෂණ එක් කර ගනිමින් මහා සිංහල ජාතියට අවශෝෂණය වී කිඳා බැසීමට හැකියාව තිබේ. බලය යොදා පරම්පරා තුනක් තුල (අඩසියවසක් තුල) එය කළ හැකිය. ලංකාවේ සියළුම ගැටළු වලට පිළිතුර එයම පමණක් වෙතත් එසේ කිරීමට තරම් ශක්තිමත් ජාතික අභිලාශයක් ඇති සෘජු දැක්මක් සහිත අභිමානවත් නායකයෙක් ලක්දිව නැත.

ඒ නිසා ලැබුවා වූ නව වසරේ දෙතිස් කතාවේ ප්‍රාර්ථනය - ජාතික අභිලාශ සහිත සිංහල ජාතික නායකයෙක් මේ වසරේවත් අපට පහල වේවා !

13 comments:

  1. නව වසරේ උදාවත් සමගම ඇත්තෙන්ම හොඳයැයි කිව හැකි ලිපියකි.
    යමක් ලිවීමට ඉදිරිපත් වූයේ කිහිප වරක් කියැවීමෙන් පසුවයි.
    කෙසේ වෙතත් ඔබගේ ප්‍රාර්ථනය "ජාතික අභිලාශ සහිත සිංහල ජාතික නායකයෙකු" ගැන බලාපොරොත්තු තබා හිඳිමු.
    ඒ කුමන ජාතික නායකයෙකු බිහි වුවද, එවන් වූ නායකයා සොරෙකු වංචාකාරයෙකු හැටියට හංවඩු ගසනු ඇත, එම ජාතික නායකත්වය නිසා තම පසුම්බියට පාඩු වන අධිරාජ්‍ය වාදී ගැත්තන් සමූහය සිංහල ජාතික වාදීන් ලෙස පෙනී සිටිමින් අර කිවූ සොරාගෙන් ජාතිය බේරා ගැනීමට ඉදිරියට එනු ඇත. මෙය 1815 සිට අද දක්වාමත් සිදු වෙමින් පවතින භූමියේ යථාර්තයයි.
    සැබෑ ජාතික නායකයෙකු බිහි වීමට නම් අප පළමුව ජය ගත යුත්තේ මේ කුමන්ත්‍රනයයි. එසේ පසුබිම නොසකසා නායකයෙකු බිහි කිරීමට වෙර දැරීම ගඟට ඉනි කැපීමකි.

    ReplyDelete
    Replies
    1. අප පතන ජාතික අභිලාශ සහිත නායකයා පනස් අට ලක්‍ෂයක ජනකායකගේ ප්‍රාර්ථනා දරා ගනිමින් මේ දින වල මද විවේකයක් ගන්නා හිටපු 'මහරජා' නොවේ. එසේම ඔහුට අංචි ඇද යටි උගුල් ගසා ගල්ලෙන බිඳ දැමූ දිගංචියාද නොවේ. මේ කිසි කෙනෙක් ජාතික අභිලාශ ඇති නායකයින් ලෙස නොදකිමු.

      සිතුවිළි,

      චෝදනා එන්නේ එක්කෝ ඇත්ත වශයෙන්ම වැරදි කරුවන්ට වේ. නැතිනම් වැඩක් කරන පුද්ගලයින්ට වේ. චෝදනා ඇත්ත නම් ඒවා විභාග කර වැරදිකාරයන් නීතිය හමුවට පැමිණවිය යුතුය. චෝදනා බොරුනම් බොරු චෝදනා කරන්නන් නීතිය හමුවට පැමිණවිය යුතුය. චෝදනා කරන්නන්ට දොළ පිදේනි දී කට වැසීම අප පතන ක්‍රමය නොවේ.

      එදා සමහර එජාප මන්ත්‍රීවරු හැසිරුණේ අද හිටපු ජනරාල් හැසිරෙන අන්දමටය. කට්ට ලැබුණු පසු මුල්ලකට රිංගා එය සූප්පු කිරීම මේ හාදයින්ගේ ක්‍රමයයි. අපට මේ ක්‍රමය පිළිබඳව ඇත්තේ නීමද අපුලකි.

      Delete
  2. හොඳ ලිපියක් . කරුණු මැනවින් ශාරංශ කර තිබෙනවා. උතුරු නැගෙනහිර දෙමල නිජ බිම් යන සංකල්පය ගැනත් ලිව්වා නම් වඩාත් අගෙයි .
    සමරසේකර

    ReplyDelete
    Replies
    1. මිතුර සමරසේකර,
      පළමුව ඔබ දෙතිස් කතාවට සාදරයෙන් පිළිගන්නා අතර ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ස්තූතිය පුද කරමි. ඔබේ ප්‍රතිචාරය පිළිබඳව අපට බොහෝ දේ කීමට නැත.
      1. 'උතුරු නැගෙනහිර' යන යෙදුම ගැන අපගේ ඇත්තේ අප්‍රසාදයකි. ජවිපෙ විසින් නඩු කියා වෙන් කර ගත්තායින් පසු මෙනමින් පෙදෙසක් මේ මිහිපිට නැත.
      2. නිජබිම් සංකල්පය පිළිබඳව අපට වඩා ඒ ගැන දන්නා බොහෝ දෙනා විසින් බොහෝ දේ කියා/ලියා ඇත. ඒ පිළිබඳ ලිපියක් ලිවීමට තරම් අපගේ දැනුම ප්‍රමාණවත්ය කියා නොසිතේ. එබැවින් ඒ ගැන මෑත අනාගතයේ නම් ලිපියක් ලිවීමේ ඉඩකඩ අඩුය. එහෙත්,
      ඔබ හෝ අන් කෙනෙක් හෝ මෙවන් ලිපියක් තමාගේ කතෘත්වයෙන් පළ කිරීමට කැමති නම් ඒ සඳහා ඉඩහසර ලබා දීමට අපට හැක. එවැනි විටෙක මේ පිළිබඳ අපේ අදහස් ද සංවාදයට බඳුන් කළ හැක.

      ඔබටත් ඔබේ පවුලේ සැම හා ඤාති වර්ගයාටත් දෙතිස් කතා කියවන සහෘද පාඨක සමූහයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

      Delete
    2. ඔබ තුමාගේ පහත රචනය (සහ තවත් දුසිමක් පමණ) කියෙව්වා.
      http://wmks98.blogspot.com/2013/03/blog-post.html
      එය කියවීමෙන් "මිතුර සමරසේකර" යි කළ ඇමතුම ගැන අතිශය ලැජ්ජාවක් ඇති වූවා. ඒ පිළිබඳ සමා වන්න. ඔබ තුමා මිතුරු නොව ගුරු කොටගත යුතු කෙනෙක්.

      Delete
    3. සමරසේකර මහතාගේ බ්ලොගයෙන් බොහෝම අපූරු ලිපි ගනනාවක් කියෙව්වා. ඇත්තෙන්ම මා ඉතාමත් ගරු කරන දැක්මක් ඔබතුමා සතුයි.
      ඉදිරියේදී ඔබතුමාගේ බ්ලොගයේ පලවන ලිපි කියැවීමට කැමතියි.
      ඇතැම් ලිපිවල ඔබතුමාගේ අදහස් සමග සුළු එකඟ නොවීම් ඇති වුනත් ඒ තැන්වල ප්‍රථිචාර නොදැක්වූයේ එම ලිපි වසර කිහිපයක් පැරනි නිසා පිළිතුරු ඔබගේවත් අවධානයට ලක් නොවීමේ ඉඩක් ඇති නිසයි.
      ඉදිරියේදී ඔබගේ බ්ලොග් අඩවිය ඉඩ ලැබෙන හැටියට කියැවීමට කැමතියි.
      එය ඉදිරියටම ගෙන යන්න.

      Delete
  3. ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ඉතාම කාලීන ලිපියක්. ජාතිය යන වචනය 'Nation' යන්නෙහි සිංහල පරිවර්ථනය ලෙස යෙදීම ගැන මමත් ඉඳුරා විරුද්ධ වෙමි. දෙමළ යනු 'ජාතියක්' නොවේ යැයි කීම හෝ පිළිගැනීම බොහෝ සිංහලයින්ට අපහසු කරුණක් වන්නේ දීන බව නිසාම නොවේ. සිංහලයන් ජාතිය යන්න තේරුම් ගන්නේ එහි සරළ සිංහල තේරුමින් මිසක Nation යන්නෙහි අර්ථකථනය අධ්‍යයනය කිරීමෙන් නොවේ. බොහෝ සිංහලයින් 'Tamil is a race but not a nation.' යැයි කීවොත් පිළිගනු ඇති බව (ඉංග්‍රීසි වැටහේ නම්) මගේ විශ්වාසයයි. Nation යන්න ජාතිය ලෙස ගැනීම එය පරිවර්ථනය කල උගතුන්ගේ අත් වැරදීමක් ද නැතහොත් උවමනාවෙන් කල සූක්ෂම එබ්බවීමක් ද යන්න නොදනිමි. මෙයට ගැලපෙන සිංහල වදනක් යෝජනා කල හැකිද?

    ReplyDelete
    Replies
    1. Nation යන්නට සිංහල පාරිභාෂික පදයක් ! එය ඉතාම අසීරු කර්තව්‍යයක්.

      Nation යන්න state හෙවත් රාජ්‍යය යන්න සමග ඉතාම තදින් බැඳී තිබෙනවා. ඊට අමතරව, අහඹු ලෙස සිදු වන සහ සැළසුම් සහගතව සිදු කෙරෙන විවිධ දේශපාලන අලකලංචි සමග සංගත වන'යුරින් වදනක් තැනීමට තරම් අප පෝසත් නෑ.

      උදාහරණයක් බලමු. United Nations (UN) යනු එක්සත් ජාතීන්. මෙහිදී ජාතිය (Nation) රාජ්‍යය (State) සමග සමපාත වනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින් වන්නේ රාජ්‍යයන්.

      අද රුසියාව එහි දරන ස්ථානය 1991 ට පෙර හිමිව තිබුණේ සෝවියට් සමාජවාදී එක්සත් සමුහාණ්ඩුව (Union of Soviet Socialist Republics = USSR) ට. මෙය නමේ අර්ථයෙන්ම බැලුවත් ජාතීන්ගේ එකතුවක්. රුසියානු, උක්රෙන, ටජික්, කසාක්, ඈ වෙන වෙනම ජාතීන් තම තමාගේ රාජ්‍යයන් තනා ගනිමින් වෙන් වූයේ මේ හේතුවෙන්. එහි 1991 සිදු වූයේ ජාතීන් විසින් වෙනම රාජ්‍යය තනා ගැනීම.

      අනෙක් අතින් ඇමරිකානු එක්සත් ජනපද (United States of America = USA) සළකමු. මෙය නවලෝකය ලෙස හඳුන්වා යුරෝපීයයන් විසින් ස්වදේශීය ජනයාගෙන් පැහැර ගැනුණු ඉඩකඩම් මත වෙන් වෙන්ව තැනූ කොළණි හෙවත් ජනපද එක් කර තනා ගත් කෘතීම රාජ්‍යයක්. නම බහු වචනයෙන් තිබුණත්, එහි පුරවැසියන් කවර මූලයකින් පැවත ආවත්, එහි ජාතිය එකක්. එහි වෙන් වෙන් ජනපද වලට වෙන් වෙන් ජාතිකත්වයන් නෑ.

      අඩු තරමින් ඉතාම කෛරාටික ලෙස කුමන්ත්‍රණයක් මගින් ඈඳා ගත් හවායි වල පවා ස්වදේශික (Native) ජාතිකත්වයක් ඉතිරි නොකිරීමට ඇමරිකානුවන් සූක්‍ෂම වී තිබෙනවා. මහාද්වීපික ඇමරිකානු ස්වදේශිකයන්ගේ ජාතිකත්වය සම්පූර්ණයෙන් මරා දමා තිබෙනවා. එසේ කර කෘතීම ඇමරිකානු ජාතිකත්වයක් ඔවුන් මත පටවා තිබෙනවා. මේ රාජ්‍යය විසින් ජාතිය තැනීමේ උදාහරණය.

      ඇමරිකානුවන් සිය පක්‍ෂපාතිත්වය දිවුරුම් දෙන්නේ මේ කෘතීම ඇමරිකානු ජාතියට (සහ එහි ව්‍යවස්ථාවට). සංක්‍රමණිකයන් රටේ ජාතිය (Nation) තුලට සංකලනය කිරීම ඉතාම හොඳින් හා ඉතාම තදින් කරන රාජ්‍යයකට මෙය උදාහරණයක්.

      Delete
    2. අපේ රටේ නොකෙරෙන්නේ ද මෙයයි.

      ලංකාවට රිංගන කල්ලතොනින්ට සිංහල අනිවාර්‍ය කිරීම වෙනුවට අපේ නිවට ආණ්ඩු කරන්නේ රටේ ජාතියට ආණ්ඩුවේ රැකියා ලබා ගැනීම පිණිස පර බසක් අනිවාර්‍ය කිරීමයි. 1956 දී කළ යුතු ලෙසම ඉංගිරිසිය වෙනුවට සිංහලය රජබස කළත් බත් පතට ගොම දමන්නා සේ දෙමළ බසටත් නිල පිළිගැනීමක් දීම මුග්ධ කමක්.

      එදා එසේ නොකළා නම් දෙමළුන් සිංහල උගෙනගෙන සිංහල ජාතියට බොහෝ දුරට සංකලනය වී සිටීමට ඉඩ තිබුණා. එසේ සිටීමට නොකැමැති (සිංහල රජබස කරන්නේ නම් දෙමළත් රජබස කරන ලෙස ඉල්ලූ, එහෙත් තම තමන් ඉංගිරිසියෙන් කතා කළ) දෙමළු, ලංසි කළ සේ සිංහලය හැර ඉංගිරිසිය රජබස වූ ඕස්ට්‍රේලියාදී රටවලට සංක්‍රමණය විය හැකිව තිබුණා. එසේ විණි නම් මේ බොහෝ ප්‍රශ්න අද නෑ.

      "භාෂාව" මේ සංවාදයට කෙළින්ම අදාළ නොවුණත් "ජාතිය" ගොඩනැගීමේ දී භාෂාව අමතක කළ නොහැකි නිසායි ඉහත කරුණු සඳහන් කළේ.

      Delete
    3. ඉඳින්, ඔබේ ආරාධනය වනුයේ Nation යන්නට සිංහල වදනක් යෝජනා කිරීම නම්, ඊට අප පෝසත් නැති බව පැහැදිළිය කියා සිතමි. ඊට හේතු ඉදිරිපත් කළෙමි. තව දෙයක් කීමට අවසර.

      Nation යනු එකකි. Citizen යනු තවකෙකි. දෙවැන්න පුරවැසියා ලෙස අර්ථ කථනය කර ඇත. Citizen යන්න අවශ්‍ය වූයේම Nation ට අයත් නොවන ආක්‍රමණිකයන් සහ සංක්‍රමණිකයන් රාජ්‍යය තුලට ක්‍රමවත්ව අන්තර්ග්‍රහණය / ඇතුල් කර ගැනීම පිණිසයි. ලංකාවේද පුරවැසි පනතක් ඇත.

      Nation වෙනුවට රටවැසියා තරමක් දුරට සුදුසු පදයකි. එහෙත් Citizen සහ Nation අතර දනවන අර්ථ වල වෙනස රටවැසියා සහ පුරවැසියා අතර නැත. භූමිපුත්‍ර යනු තවත් සුදුසු වදනක් වුවත් එය Native යන්නට යෙදිය හැකි යෙදිය යුතු පදයයි.

      Delete
    4. සංඝය යන්න අපේ සිතට නැගෙන වදන් අතරින් ඉතාම සුදුසු වචනය වේ.

      Nation යන පදයේ අර්ථයට සමාන අර්ථයක් (බොහෝදුරට සමජාතීය, නොවිසිරුණු අභිලාශ සහිත, එක්ව ක්‍රියා කරන, උතුම් හිමිකාරිත්වයක්/අධිකාරිත්වයක් දරන සමූහයක් පිළිබඳ අදහසක්) මේ තුලින් අප තුල ජනිත වේ.

      සංඝය අප්‍රාණවාචී වේ - එසේම එය Nation යන වියුක්ත පදයේ සිංහල පරිවර්තිත පදය වේ. සංඝයා (රටවැසියා) සප්‍රානවාචී වේ. මහාසංඝයා යනු සාරිපුත්ත මොග්ගලානාදී පරපුරෙන් පැවතෙන භික්‍ෂු සංඝයා වේ.

      ජපන් ජාතිය වෙනුවට ජපන් සංඝය කීවොත් ඔබට කෙසේ දැනේවිද? මෙය කියවන අප මිතුරන්ට කෙසේ දැනේවිද?

      සිංහල ජාතිය වෙනුවට සිංහල සංඝය වෙනුවෙන් දිවි කැප කිරීමට ඔබට සිත් පහල වේද?

      Delete
    5. Nation යන්නට අලුත් වදනක් අවශ්‍යම බව මම නොකීවෙමි. එහෙත්, ජාතිය යන වදන ජන වර්ගය (race) යන්නට සමාන අර්ථයෙන් බොහෝ දෙනා ග්‍රහණය කර ගනී. ජන වර්ගයක් ජාතියක් (Nation) වීමට සුවිශේෂ අවශ්‍යතා සම්පූර්ණ කල යුතු බව සමාජය තුලට කාවැද්දීමට අවශ්‍ය බව මගේ විශ්වාසයයි. සමාජය තුල ප්‍රබල කතිකාවතක් ඇති වීම මගින් ජාතිය යන වදනට පූර්ණ අර්ථකථනයක් සැපයීම එක් විකල්පයකි. Nation යන්නෙහි අරුත දනවන නව වදනක් සමාජගත කිරීම (එසේ කල හැකි නම්) තවත් විකල්පයකි.

      Delete
    6. එසේය. ජාතිය යන්නට නව වදනක් තැනීමට අප අපොහොසත් බවයි අප විසිනුත් කියැවෙන්නේ.

      ඔබ ජාතිය (nation) සහ ජනවර්ගය (race) ගැන පවසන අදහස සමග ඉඳුරා එකඟ වෙමි. ඔබ සපයන විකල්ප දෙකින් අප තෝරා ගන්නේ පළමුවැන්නයි. ඉහත ලිපිය ලියවෙන්නේ ම ඒ අදහසිනි.

      Delete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !