Sunday, June 13, 2021

හුළං සහ තෙල්

හුළං සොරුන් ගැන කතාව මෙතෙකින් නිමි'යි පසුගිය ලිපිය අවසන් කළෙමු. එසේ ලියා තබා නිදා ගන්නටත් පෙර ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දමා තිබේ. අප මුළින් සංවාදයට ගත් පිසින වායු ටැංකි මගඩිය සමාගමේ ක්‍රියාවක් වුවත් ද්‍රව ඉන්ධන මිල ඉහළ දැමීම ආණ්ඩුවේම ක්‍රියාවකි.

ද්‍රවිකෘත ඛණිජ වායු (LPG) සමාගම් ඔවුන්ගේ 18 L හොර ටැංකි එළියට දමන්නේ පසුගිය අප්‍රේල් මාසයේදී ය. ඒ කාලයේ සිටම එකී ව්‍යාපාරය පාඩු පිට පවත්වාගෙන යන බව සමාගම් විසින් ප්‍රචාරය කරන්නට යෙදිණි. සමාගම් පාඩු පිට පවත්වාගෙන යා යුතු නැත. කළ යුත්තේ මිළ වැඩි කිරීමයි. මිල වැඩි කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර දිය යුතුය. එතැනට ගිය විට තවදුරටත් ඒ තීරණය ව්‍යාපාරික තීරණයක් නොව දේශපාලන තීරණයක් බවට පත් වෙයි. කිලෝ ග්‍රෑම් වෙනුවට ලීටර වලින් ප්‍රමාණය සටහන් කර මහජනයාගේ ඇසට වැලි ගැසීමට සමාගමට සිදු වන්නේ මෙකී ස්තර දෙකෙහි මූලික අභිප්‍රායන් අතිපිහිත නොවන බැවිණි. පසුගිය ලිපියේ සඳහන් කළ ගැසට්ටුවේ ලාමක ටිං ටිං ගතියට හේතුව එයයි. සැමට තේරෙන අයුරින් කීවොත් මෙහිදී යොදාගෙන තිබෙන්නේ අපි විරුද්ධ වෙන්නම්, ඕගොල්ලෝ කරගෙන යන්න යන කුප්‍රකට යහපාලන+රතන ක්‍රමවේදයයි.



අප සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. එබැවින් ලිට්‍රෝ සමාගම පාඩු ලබමින් අඩු මිලට අපට හුළං ගැසිය යුතු යැයි රෙද්දක් ඇඳගෙන කීමේ හැකියාවක් අපට නැත. ඒ සමාගම නිත්‍යානුකූල ක්‍රමවේදය අනුව තම ටැංකියේ මිල ඉහළ නංවයි නම් අප ඒ වැඩි මිල ගෙවා මිලදී ගැනීමට එකඟය. අප මෙතෙක් කළේ එය මිස වෙනකක් නොවේ - කොටින්ම ලාෆ්ස් විසින් ටැංකිය රුපියල් පනහක් පමණ අඩු මිලට දෙද්දීත්, ලිට්‍රෝ ටැංකි ලබාගෙන ලාෆ්ස් නිකුත් කරද්දීත් අපි ලිට්‍රෝ සමග දිගටම සිටියෙමු. එසේ වුවත්, 18 L ලෙස ගණන් බැරි සාමාන්‍ය ජනයා මුලා කර වැඩි මිලට අළෙවි කරන ටැංකි බලෙන් ඇඟේ ගසන විට ඒවා බාර ගැනීමට තරම් අප ගොනුන් යැයි සමාගම් සිතන්නේ නම් අපට වෙනත් විකල්ප තිබේ.

ලිට්‍රෝ සමාගම රජයේ සමාගමකි. විදුලිබල මණ්ඩලයත් ඛණිජ තෙල් සමාගමත් එසේමය. මේ දිනවල ආණ්ඩුව කරගෙන යන වෛද්‍ය සංගමය කොරෝනා පිට දමා තමන්ගේ දීමනා වැඩි කරගෙන තිබෙන අතර අනෙක් වෘත්තීය සමිති වැටුප් විෂමතා ඉස්මතු කරමින් වෘත්තීය ක්‍රියා මාර්ග වලට අවතීර්ණව ඇත. මීළඟට විදුලි ඉංජිනේරුවන්ගේ ඉල්ලීම් ඉදිරිපත් වනු ඇති අතර අනෙක් වෘත්තීය සමිතිත් බකං නිලාගෙන බඩ උලාගෙන සිටීවි යැයි කවුරු හෝ සිතන්නේ නම් ඒ ගොනෙකි.

අනිත් අතින් ආණ්ඩුව ලෝකය පුරා ඩොලර් හිඟමනේ යයි. වාහන ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීම සීමා කර දැන් අවුරුද්දකට වැඩිය. සමහර භාණ්ඩ ඒවායේ අත්‍යාවශ්‍ය බව සළකාම පනවා ඇති සීමා නොසළකා ගෙන්වීමට කැබිනට් පත්‍රිකා අනුමත වී ඒවා අත්හිටුවීමටත් කැබිනට් පත්‍රිකා අනුමත වේ. එසේ නැතිනම් ආණ්ඩුව අපකීර්තියට පත් කිරීමට ව්‍යාජ පුවත් මවන fb යූසරයෙක් ලංකා බැංකුවේ ණයවර ලිපි විවෘත කරන අතර ආණ්ඩුව මැදිහත් වී වහා එය අත්හිටුවයි. හේතුව මේ අවස්ථාවේ වාහන ගෙන්වීමට වඩා එන්නත් ගෙන්වීම වඩා වැදගත් බව රජයට වැටහී යාම නිසයි.

රජය විනිමය අර්බුදයක සිටින බව පැහැදිළිය. එසේම කොරෝනා නම් ලත් කාවිද රෝගය පාලනය කිරීමේ නාමයෙන් කෙරෙන සැළසුමක් නැති අපබ්‍රංශ වැඩ හේතුවෙන් රටේ ආර්ථික දැති රෝද කැරකෙන්නේ ඉතා මන්දගාමී ලෙසිණි. අපට ඩොලර් හිඟ වීමට මේ හේතුවත් බලපායි. එහෙත් ලෝකයම කොරෝනා විප්ලවය මතින් "සමාජවාදී" වෙමින් සිටින මේ අවස්ථාවේ අපේ රටට පමණක් ඉන් ගැළවීමක් තිබේ යැයි සිතිය නොහැක.



අනික් අතින් ආණ්ඩුව රටේ වියදම් සොයා ගත යුතුය. පෞද්ගලික අංශය නැත්තටම නැති කළ විට බදු ආදායම් ලැබෙන්නේ කොතැනින්ද ? ඇත්ත වශයෙන් මෙවැනි අවස්ථාවක සුපිරි ආදායම් ලැබිය හැක්කේ "සමාජවාදී" පන්නයට (එනම් ආණ්ඩුවේ බර අත්තකට කොක්කක් ගසාගෙන) මොකක් හෝ ජාවාරමක් කර ගන්නා ගොබිලෙකුට පමණි. ඒවායේ බදු ආදායම් ඒ ඒ අතු වලට එකතු වන අතර රජයේ සේවකයන්ගේ පඩි-නඩි ගෙවීමට ඒවා වැය නොවේ. දැන් ආණ්ඩුව පත් වී සිටින තත්වය තේරුම් ගත හැකි පහසුම අවස්ථාව වාහන ආනයනය වසරකට වඩා වැඩි කාලයක් නතර කර තිබියදීත් අභිනව අධිවේගී මාර්ග පහකට මුල් ගල් තබන අතරම වාහන ඉන්ධන මිල එකවර 10% වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ නැංවීමයි.

රජයක් ලෙස ශ්‍රී ලංකාව පත් වී සිටින තත්වය පැහැදිළිය. ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඉතා පහළ ගියත් ආණ්ඩුව පසුගිය වසර එකහමාර පුරා තෙල් මිල පහළ දැමුවේ නැත. එසේ අධික වාසිදායක තත්වයකදීත් සමාගම පාඩු ලබන්නේ නම් ඊට හේතුව අප වැනි සාමාන්‍ය පාරිභෝගිකයන් තෙල් ගසාගෙන මුදල් නොදී මාරු වීම නොවේ - ඊට හේතුව සමාගම තුළ මුල් බැසගෙන ඇති අකාර්යක්‍ෂමතාවයත් දූෂිත ක්‍රමවේදත් අදක්‍ෂ පරිපාලනයත් ය. සැබෑ උවමනාවක් ඇතිනම් ත්‍රිකුණාමලේ වරාය ආශ්‍රිතව ලෝකයටම තෙල් බෙදන තෙල් ආර්ථිකයක් සෑදීමට අපට හැකිය. චීනා ළඟදීම එය හම්බන්තොටදී කර පෙන්වනු ඇත. එදාට අපි රනිල්ට පොල් ගසමු.

බටහිර ලෝකයම එපා කියද්දී දෙමළ ත්‍රස්තවාදය පැරදූ අපට උවමනාව ඇත්නම් කළ නොහැක්කක් නොමැත. නමුත් කරුමෙට දැන් රට කරවන්නේ ඡන්දයෙන් පත් වූ ජනාධිපතිද නැත්නම් වෛද්‍ය වෘත්තීය සමිතිද යන්න පැහැදිළි නැත. අපට මේ අදහස ඇති වීමට ආසන්න හේතුව වෛද්‍ය සංගමයක ලොකු තැනක් විසින් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ එහි ආනුෂාංගික ආයතන වලට කෘෂිකර්මය ඉගැන්වීමට ප්‍රසිද්ධියේ ඉදිරිපත් වීමය. සමහර විට උසස් පෙළ ලකුණක් දෙකක් වැඩිපුර ගැනීම නිසා තිබෙන ඔහුගේ අධිමානය තවම පහ වී නැතිවා විය හැක, එසේ නැතිනම් බටහිර වෛද්‍යවරුන් තුල එකී කුලය විසින් මුල සිටම ඇති කෙරෙන කුල පීඩනය පහ කරන ක්‍රමය විය හැක.

කාවිද රෝගය විසින් ඇත්ත වශයෙන්ම වැඩිම පිඩාවට පත් කෙරුණු ජන කොටස ලංකාවේ නම් බටහිර වෛද්‍යවරු ය. කෘෂිකාර්මිකයින්ට කෘෂිකර්මය ඉගැන්වීමට ඉදිරිපත් වීම, පොලීසියට සංචරණ සීමා රකින්නේ කෙසේද යන්න ගැන ටියුෂන් දීම, පමණක් නොව මාළුන්ට පිහිනීමට ඉගැන්වීමට ද මේ අය නුදුරු දින වල ඉදිරිපත් වීම බලාපොරොත්තු විය යුතුය. පසුගිය අවුරුද්ද පුරාම ඒ අය (බටහිර වෛද්‍යවරු) අසාර්ථක වූයේ කාවිද රෝග පාලනය සම්බන්ධයෙන් පමණි.



තෙල් මිල වැඩි කිරීම: මෙය විය යුතුව තිබුණු දෙයකි. මෙය කාවිද රෝගය දඩමීමා කරගෙන සැබෑ ලෝක සමාජවාදය වෙත යන ගමනේ එක් විප්ලවීය සන්ධිෂ්ඨානයකි. ගෑස් මිලත් කොහොමත් වැඩි වනවා පමණක් නොව ක්‍රමානුකූලව සමාගම් විසින් 12.5 අමතක කරනු ද ඇත (එයනම් සමාජවාදය නොව තුප්පහි ධනවාදයයි). නමුත් තෙල් මිල ඉහළ දැමීම සමග සියළුම පාරිභෝගික භාණ්ඩ වල මිල ගණන් සැළකිය යුතු තරමකින් ඉහළ යන අතර දැනට 5000 නොලබන (සහ සවිඥානිකව සහනාධාර ප්‍රතික්ෂේප කරන අප වැනි) අයත් සහනාධාර ඉල්ලන මට්ටමට වැටෙනු ඇත. ඒ අවස්ථාව වන විට 5000 ප්‍රමාණවත් නොවන අතර විපක්‍ෂ නායක පුතාණෝ කියන ආකාරයට 25000 ක් වත් දීමට සිදු වනු ඇත.

ආණ්ඩුව විසින් රටේ වැඩි දෙනාට සහනාධාර දෙන අතර ඒ මුදල් ආණ්ඩුවට සම්බන්ධ (බලපත්‍ර ලාභී) භාණ්ඩ සහ සේවා සැපයුම්කරුවන් කිහිප දෙනෙක් (රාජ්‍ය අංශයත් ඇතුළත්ව) විසින් අවශෝෂණය කෙරෙන ආර්ථිකයක් සමාජවාදී ආර්ථිකයක් නොවන්නේ කෙසේද ?



පසු සටහන 1

පහත දැක්වෙන්නේ ආණ්ඩුව අපකීර්තිමත් කිරීම පිණිස විපක්‍ෂය විසින් ප්‍රචාරය කර තිබෙන කූට ලේඛණයකි. එය උපුටා ගත්තේ lankacnews නම් ගොසිප් වෙබ් අඩවියෙනි. එය නිර්මාණය කර තිබෙන්නේ ආණ්ඩුව වෙනුවෙන් මහජනතාවට විහිළු සැපයීමට පිං මන්ත්‍රී ධුරයක් ලබා දී තිබෙන හාල් කෑල්ලක් විසින් නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක් විලසිනි. එවැනි මන්ත්‍රීවරුන් සිටියේ පසුගිය ආණ්ඩුවේ බවත්, ඒ අය දැන් වැලිකඩ වැසිකිළි වල ටෙලිවිෂන් බලන බවත් මේ ආණ්ඩුවේ එවැනි මන්ත්‍රීවරු නැති බවත් මෙවැනි ප්‍රචාර කරන අය සිහියේ තබා ගැනීම මැනවි.

A joke by an MP

මූලාශ්‍රය : https://lankacnews.com

එසේම තෙල් මිල තීරණය කිරීමේ බලයක් විෂය බාර ඇමතිට ඇද්ද නැද්ද යන්න මේ අය විසින් සොයා බැලිය යුතුව යුතුව තිබුණු බව අපේ හැඟීමයි.



පසු සටහන 2

පසුව ඇමති උදය ගම්මන්පිල විසින් නිකුත් කළේ යැයි කියන මාධ්‍ය නිවේදනයක් ඒ අවවියෙන්ම අපට හමු විය. එහි තිබෙන්නේ ඉන්ධන මිල වැඩි කිරීම හෝ අඩු කිරීම තීරණය කරන්නේ මහා භාණ්ඩාගාරය විසින් බවත් බලශක්ති අමාත්‍යාංශය විසින් සිදු කළේ එය ප්‍රකාශයට පත් කිරීම බව අමාත්‍යංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය. යනුවෙනි. එසේනම් විපක්‍ෂයේ සැළසුම පැහැදිළිය. විපක්‍ෂයේ සැළසුම ගැන අපේ හෙළිදරව්වත් නිවැරදිය.

විපක්‍ෂයට අවශ්‍ය මහා භාණ්ඩාගාරය බාර මුදල් ඇමතිතුමා (එනම් අග්‍රාමාත්‍ය තුමා) ඒ තනතුරින් ඉවත් කිරීමයි - එමගින් විප්ලවය වෙත අපගේ ගමන අදාළ කිරීමටයි. කොහොමද පුතාණෝගේ ටිකිරි මොළේ.



ආශ්‍රිත ලිපි:

18 comments:

  1. ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා එදා (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශයේදී කුප්‍රකට යහපාලන+රතන™ ක්‍රමවේදය එතුමාත් පාවිච්චි කරන්නට යන බව කී වගක් නම් අපට මතක නැත.

    මේ දිනවල ආණ්ඩුව කරගෙන යන්නේ වෛද්‍ය සංගමය යයි පැවසීමෙන් ඔබ අතිගරු ජනාධිපති තුමා හෑල්ලුවට ලක්කරන්නේ ඇයි ?
    කැබිනට් පත්‍රිකා අනුමත කරන්නෙත් ඒවා අත්හිටුවීමටත් කැබිනට් පත්‍රිකා අනුමත කරන්නේත් වෛද්‍ය සංගමයද?
    රනිල්ට ගසන පොල් සෙක්කුවක දමා ඔබ වැනි අයෙක්ට (ගවයාගේ කාර්යය ඔබම කර) වස විස නැති තෙල් ටිකක් හිඳ ගත්තොත් කොපමණ අගනේද

    කාවිද රෝගයට හෙළ ඔසු ලෙස ලබාදුන් සැමන් කාවිද සහ පරිප්පු කාවිද ඔබට නොලැබුණේ නම් සාන්ත(විශ්‍රාමික) ජනරාල් තුමා දැනුවත් කරන්න. එතුමා වෙළෙන්දන්ගේ කණ පලා හෝ ඒවා ඔබට ලබාදෙන බව මටනම් ඉර හඳ සේ විශ්වාසය.

    පසු සටහන 1 ලෙස ඉතා වැරදි සහගත දේ නොලියන සේ ඔබගෙන් ඉල්ලා සිටිමි.
    lankacnews යනු අතිගරු විමල් විරවන්සයානෝ ගෙන් ගරුතර බැසිල් රාජපක්ෂයන් මිලදී ගත් අමිල වෙබ් අඩවියකි.
    පොහොට්ටු පක්ෂයේ න්‍යායාචාර්ය ධුරන්දර ආචාර්ය මහින්ද පතිරණයෝ ඔහුගේ FB අඩවියෙත් මේ ලිපිය එලෙසම පළකර එය ගැන ගැන සාරගර්භ කතිකාවතක් පළකර තිබේ.

    කරුණාකර නොදන්නා හුයනු නොලියා https://mudiyansemalaya.blogspot.com/2021/06/blog-post_12.html අඩවියට ගොස් "නිවසේදීම ගෑස් සාදාගන්නා ආකාරය" පරිශීලනය කරනු මැනවි. එහි පලමුවැනි අමු ද්‍රව්‍යය සඳහා ඔබටම ඉදිරිපත් විය හැකිය.

    ReplyDelete
    Replies
    1. * ශ්‍රී ලංකාවේ සත් වන ... බව කී වගක් නම් අපට මතක නැත.
      -- අපටත් මතක නැත.

      * දිනවල ආණ්ඩුව කරගෙන යන්නේ වෛද්‍ය සංගමය ...
      -- අප ඔය මර්ධන කමිටු ආදියට සහභාගී වන්නේ නැත. අප දන්නේ මාධ්‍ය ඔස්සේ කියන දෙයත් මාධ්‍ය ඔස්සේ නොකියන දේ ගැන හිතළු ත් පමණි. මේවා හරි හැටි සංකලනය කර ගත් විට අපට සිතෙන්නේ ආණ්ඩුව කරගෙන යන්නේ සෞඛ්‍ය වෘත්තීය සමිති බවය.

      * රනිල්ට ගසන පොල් සෙක්කුවක ...
      -- රනිල්ට පොල් ගසන විට ඇනෝට රිදෙන්නේ ඇයි?

      * කාවිද රෝගයට හෙළ ඔසු ...
      -- කාවිද රෝගයට හෙළ ඔසු නැත. හෙළ ඔසු තිබෙන්නේ හෙළ රෝග වලට ය.

      * පසු සටහන 1 :
      -- lankacnews කාගේ දැයි දනිමි. සමහරු අදහස් කරන දේ නොව ඊට හාත්පසින් වෙනස් දේ සමහර විට ලියත්. එවැනි අවස්ථා වල එහි අදහස තේරුම් ගැනීම කියවන්නා සතුය. ඔබට මේ සටහනේ අදහස නොතේරුණිනම් කණගාටුව.

      Delete
  2. චීන ජන කථාවක තියෙනවා මෙහෙම...
    ඔන්න එක වයසක පොරක් ඉඳියලු.... පොරට රෑට නින්ද යන්නෙ නෑලු.... හේතුව පොරගෙම නිදි ඇඳේ, ඇඳ පොලු ටික "කිරි කිරි " ගාන සද්දෙ ඇහෙනවලු....
    ඔන්න ඉතින් ඩෑල් එක මේකට විසඳුමක් සොයාගන්න ගියාලු ගියැම් හුවෝ කියලා පඬිවරයෙක් ළඟට ...
    "ගෙදරට බල්ලෙක් ගෙනෙන්" පඬිවරයා කිව්වලු...
    අරූ බලු කුක්කෙක් අරගෙන ආවලු....ඔන්න එදා රෑ ඇඳ කිරි කිරි ගානවට අමතරව බල්ලත් බුරනවලු....කොහෙත්ම නින්ද යන්නෙ නෑලු....ආයෙ හැරෙන තැපෑලෙන් ගියා පඬිවරයා ළඟට...
    "ගෙදරට පූසෙක් ගෙනෙන් " පඬිවරයා කිව්වලු...
    අරූ පූසෙක් අරන් ආවා....දැන් එදා රෑ ඇඳ කිරි කිරි ගානවට අමතරව, බල්ලා බුරනවා, පූසත් ඥාව් ගානවා... ලොවෙත් නින්ද යන්නෙ නෑ....
    ගියා පඬිවරයා ගාවට...
    "ජනේලෙ ගාව ටකයක් ගැට ගහපන් " උපදෙස් ලැබුණලු......
    දැන් එදා රෑ, ඇඳ කිරි කිරි ගානවට අමතරව, බල්ලා බුරනවා, පූසා කෑ ගහනවා, හුළඟට අර ටකෙත් කඳු වලට දෝංකාර දෙන්න වදිනවලු....ආයෙ කන්දොස්කිරියාවේ බෑලු...
    පොර ගියා පඬිවරයා ගාවට, පහුවදා උදේම....
    "උඹ දැන් අද ගෙදර ගිහින්, ටකෙයි, බල්ලයි, පූසයි වෙන කාට හරි දීපන් " කිව්වලු....
    අපේ ඩෑල් එකත් ආපු ගමන් බලු තඩියයි, පූසයි, අන්සතු කරලා, ටකෙත් ගලවලා විසික් කරලා දැම්මා....
    එදා රෑ ඇඳ කිරි කිරි ගාන සද්දෙ විතරයි.....අරූට නින්ද ගියාලු යෑමක්, ආයෙ පහුවදාටත් දවල් කෑම ටයිම් එක අල්ලලා තමයි නැගිට්ටෙ....
    අන්න ඒ වගේ, ආණ්ඩුවක් පිස්සු කෙළලා, කෙළලා, මිනිස්සුන්ගෙ පිටේ නොසෑහෙන්න බර පටවලා, වාහන ගන්න මුදල් නාස්ති කරලා, පාරිසරිකව බිහිසුණු විනාශයක් කරළා, වසංගත අනාගෙන, අවිද්‍යාත්මක හූදු කෙළමාවල් වලින් උවමනාවෙන්ම මිනිස් ජීවිත වසංගතයට බිළි කරලා, හත්පොළේ ගාගෙන, රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපයත් බල්ලටම දාලා, අන්තිමට ඡන්දයක් ලංවෙලා, පරිප්පුයි සාඩින් ටින් එකයි, තව ඕන් නම් කීරි සම්බයි, පෙට්‍රල් රුපියල් දහයකිනුයි අඩු කළොත්,
    "මොන තරම් සහනයක්ද?....බැලුවාම ඉතින් ඒ හැටි වරදක් නෑ අනේ..." කියාගෙන ගිහින් ඡන්දෙ දෙන මිනිස්සුත් නැද්ද බලාපල්ලා....

    ReplyDelete
    Replies
    1. අම්මප ඒ කතාව නම් සහතික ඇත්ත.
      රෙදි නැතුවම ඒ චන්ද පෝලිමේ මුලින්ම ඉන්නේ මේක ලියන කතා කතු.
      (ඇත්තටම ලංකාවේ හෙළුවෙන් චන්දෙ දාන්න තහනම් ද?)

      Delete
    2. කතා කතුගේ ඡන්දය පාවෙන එකකි. එය ඕනෑම ලකුණක් ඉදිරියේ වැටෙන්නට ඉඩ තිබේ. යම් හෙයකින් මේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණ පැවැත්වුවොත් එහිදී කතා කතුගේ ඡන්දය අලියා ලකුණ ඉදිරියේ යොදනු ඇති බව දැනටමත් ප්‍රකාශිතය.

      ලංකාවේ හෙළුවෙන් (නිරුවතින් යන අර්ථයෙන්) ඡන්දය දැමීම වැළැක්වීමේ නීතියක් නැත. නමුත් ඔබ මේ වචනය විශ්වාස කර එසේ ගියහොත් ඡන්ද පොළේ පෝලිමට එක් වීමට පෙර ඔබව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පාදඩ ආඥාපනත යටතේ උසාවියට ඉදිරිපත් කෙරෙනු ඇත.

      Delete
  3. ඉන්ධන මිල වැඩි කලේ ජනාධිපති හා අගමැතියි.. අස්වෙන්න කියන්නේ ඔවුන්ටයි…- ගම්මන්පිල පොහොට්ටු ලේකම්ට ප‍්‍රසිද්ධ අභියෝගයක් කෙරේ..
    ----------
    ඉන්ධන මිල වැඩි කරන තීන්දුව ගන්නා ලද්දේ ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයා ඇතුළු කමිටුවක තීරණයක් අනුව බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

    තමන් විසින් සිදු කළේ ජනාදිපති හා අගමැතිගේ තීරණයක් අනුව සිදු කල මිල වැඩි කිරිම පත්කිරීම පමණක් යැයිද ඔහු කියා සිටියේය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ලිඛිතව දැනුම් දීමක් ඒ සම්බන්ධයෙන් කර තිබූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්ධන මිල වැඩි කරන ලෙස දැනුම් දී තිබූ බවද ඔහු පැවසීය.

    තමන් හේතුවෙන් ඉන්ධන මිල වැඩි කලේ නම් ඒ සම්බන්ධයෙන් සාක්‍ෂි රැගෙන තමන් සමග විවාදයකට පැමිණෙන ලෙස ඔහු මාධ්‍ය හමුවක් අමතමින් ඉල්ලා සිටියේය.

    තම නායකයා වන මහින්ද රාජපක්‍ෂ මහතාගේ නියෝගයක් මෙසේ අභියෝගයට ලක් කලේ කෙසේදැයි පරීක්‍ෂණයක් කල යුතු බවත් ඒ මහතා එහිදී පැවසීය.

    සාගර කාරියවසම් නම් ප‍්‍රාණියෙක් මේ මහ පොලොවේ ජීවත් වන බව තමන්ද මීට වසර 05කට පමණ පෙර දැන සිටියේ නැතැයිද පැවසූ ඇමතිවරයා අද ඒ ප‍්‍රාණියා මහින්ද රාජපක්‍ෂ නම් චරිතයට අභියෝග කරන තැනට පත් වූයේ කෙසේදැයි ඔහු මවිතය පල කලේය.

    මහ ලේකම්වරයා විසින් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පින්තූරය භාවිත කරමින් මහින්ද රාජපක්‍ෂ මහතාටම විරුද්දව ලිපියක් ලියා ඇතැයිද කී ඇමතිවරයා මෙම නිවේදනය ගැන ජනාදිපති හෝ අගමැති පවා කිසිදු දැනුවත් වීමක් නැතැයිද පැවසීය.

    එමෙන්ම නිවේදනය නිකුත් කිරිම සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු එකගතාවයක් නොතිබූ බවත් එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව හෝ ඉදිරිපෙල කිසිවෙකු හෝ දැනුවත් කර නැති බවත් කී ගම්මන්පිල මහතා මේ ගැන ඇමතිවරුන් කිහිප දෙනෙකුම තමන් අමතා දැන්වූ බවත් පැවසීය.

    මෙම සිදුවීම පසුපස බැසිල් රාජපක්‍ෂ මහතා සිටින්නේදැයි මාධ්‍ය කල විමසීමේදී ඇමතිවරයා සදහන් කලේ තමන් පසුපසනම් බැසිල් රාජපක්‍ෂ මහතා නැති බවත් සාගර කාරියවසම් පසුපස මහතා බැසිල් රාජපක්‍ෂ මහතා සිටින්නේදැයි දන්නේ ඔහුම බවත්ය.

    මහින්ද රජපක්‍ෂ මහතාට පහර දීමට උවමනා කිසිවෙකු සෘජුව ඔහුට පහර නොදී ඔහුගේ තීන්දු වලට හා ඔහු සැබෑ ලෙසම රකින්නන්ට පහර දෙන්නේ කවුදැයි සොයා හෙලිදරවු කර ගැනිම ජාතික උවමනාවක් යයිද ඔහු එහිදී තව දුරටත් අවධාරණය කලේය.

    ReplyDelete
  4. කොවිඞ්-19 වසංගතය හේතුවෙන් 2020 වසරේ මාර්තු මාසයේ දී ගෝලීය බොරතෙල් මිල ගණන් අනපේක්ෂිත ලෙස පහත වැටුණු අතර, වසර අවසානය වන විට මිල ගණන් ශීඝ‍්‍රයෙන් යථා තත්ත්වයට පත් විය. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිලෙහි සාමාන්‍යය පසුගිය වසරේ පැවති එ.ජ. ඩොලර් 64.04ක සිට 2020 වසරේ දී එ.ජ. ඩොලර් 43.35ක් දක්වා සියයට 32.3කින් පහළ ගියේය. කෙසේ වෙතත්, වසර පුරා බොරතෙල් මිල ගණන් සැලකිය යුතු මට්ටමක ඉහළ විචලනයක් පෙන්නුම් කළේය. වසර ආරම්භයේ දී භූ දේශපාලනික ගැටුම් හේතුවෙන් ඉහළ ගිය බොරතෙල් මිල ගණන්, කොවිඞ්-19 වසංගතය පැතිරීමත් සමඟ තියුණු ලෙස පහත වැටුණි. 2000 වසරේ සිට මේ දක්වා වාර්තා වූ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක අඩුම මිල 2020 අපේ‍්‍රල් මැද භාගයේ දී වාර්තා විය. ඉල්ලූම දුර්වල වීම සහ ගබඩා ධාරිතාව ප‍්‍රමාණවත් නොවීම මධ්‍යයේ වුව ද නිෂ්පාදනය අඛණ්ඩව සිදු කිරීම හේතුවෙන්, 2020 අපේ‍්‍රල් මාසයේ දී බැරලයක මිල එ.ජ. ඩොලර් සෘණ 37.63ක අගයක් වාර්තා කරමින් වෙස්ට් ටෙක්සාස් ඉන්ටමීඩියට් (ඩබ්.ටී.අයි.) මිල ගණන් ඉතිහාසයේ ප‍්‍රථම වතාවට සෘණ අගයක් දක්වා පහත වැටිණි. ඉල්ලූම සම්බන්ධයෙන් සැලකීමේ දී, වසංගත තත්ත්වය හේතු කොටගෙන ආර්ථික හා සමාජ කටයුතු සීමා කිරීම් සහ සංචරණ සීමා පැනවීම් මිල ගණන් මත සෘණාත්මක බලපෑමක් ඇති කළ අතර, සැපයුම් සම්බන්ධයෙන් සැලකීමේ දී, මිල ඉහළ නැංවීම සඳහා ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය (ඔපෙක්) විසින් වසර පුරා කිහිප වරක් සැපයුම් කප්පාදු සිදු කරන ලදී. කෙසේ වෙතත්, සුභවාදී ආර්ථික අපේක්ෂා සමඟ 2020 වසරේ නොවැම්බර් මාසයේ සිට ගෝලීය බොරතෙල් මිල ගණන්වල ඉහළ යෑමේ ප‍්‍රවණතාවක් දක්නට ලැබුණි. ඒ අනුව, වසර අවසානය වන විට බොරතෙල් බැරලයක දෛනික මිල එ.ජ.ඩොලර් 51.34ක් දක්වා ඉහළ ගියේය. ගෝලීය බොරතෙල් මිල ප‍්‍රවණතාවන්ට අනුකූලව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (ලං.ඛ.නී.සං.) විසින් ආනයනය කරන ලද බොරතෙල් බැරලයක මිලෙහි සාමාන්‍යය, 2019 වසරේ වාර්තා වූ එ.ජ. ඩොලර් 68.80ට සාපේක්ෂව 2020 වසරේ දී එ.ජ. ඩොලර් 45.57ක් දක්වා පහළ ගියේය. 2021 වසරේ පළමු කාර්තුව තුළ දී ද, බොරතෙල් මිල ගණන් දෛනික වශයෙන් විචලනයක් පෙන්නුම් කළ අතර, කොවිඞ්-19 එන්නත සම්බන්ධයෙන් වූ බෙදාහැරීම්, සැපයුම් හා සෞඛ්‍ය ගැටලූ, කොවිඞ්-19 රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම හා නව වෛරස ප‍්‍රභේද හමුවේ ආර්ථික හා සමාජ කටයුතු සඳහා අලූතින් සීමා පැනවීම්, ආර්ථීකයන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජයයන් විසින් අඛණ්ඩව කටයුතු කිරීම සහ ඔපෙක් සංවිධානයේ සැපයුම් කප්පාදු මෙන්ම, සූවස් ඇළ මාර්ගයේ තාවකාලිකව මතු වූ අවහිරය යනාදී සාධක හේතුවෙන් වෙළඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල එ.ජ. ඩොලර් 60-70ත් අතර පරාසයක බොහෝ දුරට රැඳී පැවතුණි. 2021 පළමු කාර්තුවේ පැවති බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල එ.ජ. ඩොලර් 61.22කි.

    2019 සැප්තැම්බර් මස සිදු කරන ලද මිල සංශෝධනවලින් අනතුරුව, ප‍්‍රධාන ඛනිජ තෙල් නිෂ්පාදිතවල දේශීය සිල්ලර මිල ගණන්වල කිසිදු සංශෝධනයක් සිදු නොවීය. කෙසේ වුවත්, තාප විදුලිබල උත්පාදනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය (ලං.වි.ම.) වෙත යම් සහනයක් ලබා දීමේ අරමුණින්, 2020 වසර තුළ දී දැවි තෙල් 800 සහ දැවි තෙල් 1,500 ලීටරයක මිල රුපියල් 70.00ක් දක්වා රුපියල් 26.00කින් අඩු කරන ලදී. මෙම සහනය පසුව ස්වාධීන විදුලිබල නිෂ්පාදකයින් වෙත ද ලබා දෙන ලදී. මේ අතර, ලංකා අයි ඕසී පොදු සීමිත සමාගම (LIOC) 2020 මුල් භාගයේ දී දේශීය සිල්ලර මිල තෙවරක් සංශෝධනය කළේය.

    අසාමාන්‍ය ලෙස ජාත්‍යන්තර වෙළඳපොළේ පහළ ගිය තෙල් මිලෙහි ප‍්‍රතිලාභ ආර්ථිකය පුරා සාධාරණ ලෙස බෙදා හැරීම සහතික කිරීම සඳහා දේශීය ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම වෙනුවට 2020 මාර්තු මාසයේදී ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල පිහිටුවන ලදී. 2020 මාර්තු මාසයේ දී එම අරමුදල ස්ථාපිත කරන විට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම ඔස්සේ ශ‍්‍රී ලංකා මහ බැංකුව වෙතින් රුපියල් බිලියන 47.5ක අරමුදල් රැස් කර ගන්නා ලදී. 2020 අපේ‍්‍රල් මාසය අවසානයේ සිට පෙට‍්‍රල්, සුපිරි ඞීසල් සහ සුදු ඞීසල් ආනයනය සඳහා ඉන්ධන අධිභාර පැනවූ අතර, අධිභාර හරහා රැස් කරන ලද අරමුදල් ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල වෙත යොමු කරන ලදී. කෙසේ වෙතත්, පෙට‍්‍රල් 92 ආනයනය සඳහා වන අධිභාරය 2020 ජුනි මාසයේ දී ඉවත් කරන ලද අතර, පෙට‍්‍රල් 95, සුදු ඞීසල් සහ සුපිරි ඞීසල් සඳහා වන අධිභාරය පහළ හෙළමින් සංශෝධනය කරන ලදී. පසුව, ඛනිජ තෙල් නිෂ්පාදිත ආනයනය කිරීම සඳහා පැවති සියලූම අධිභාර 2021 පෙබරවාරි සිට ක‍්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලදී. ශ‍්‍රී ලංකා මහ බැංකුව වෙතින් ලබාගත් අරමුදල් ද ඇතුළුව, 2020 වසර තුළ දී දළ වශයෙන් රුපියල් බිලියන 69.2ක මුදලක් ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදලෙහි එකතු වු අතර, එයින් රුපියල් බිලියන 48.0ක් ලං.වි.ම. වෙතින් ලං.ඛ.නී.සං.ට ලැබිය යුතු හිඟ මුදල් අර්ධ වශයෙන් පියවීම සඳහා යොදාගෙන ඇති අතර, දළ වශයෙන් රුපියල් බිලියන 21.0ක් ශ‍්‍රී ලංකා මහ බැංකුව වෙත නිකුත් කෙරුණු භාණ්ඩාගාර බිල්පත් පියවීම සඳහා යොදා ගැනුණි.

    ...

    ReplyDelete
    Replies
    1. විශේෂයෙන්ම වසරේ දෙවන කාර්තුවේ දී, කොවිඞ්-19 ව්‍යාප්තිය මගින් ඇති කරන ලද අවහිරතා හේතුවෙන් මන්දගාමි වූ ආර්ථික ක‍්‍රියාකාරකම් හා සංචරණ සීමාවල බලපෑම පිළිබිඹු කරමින්, වසර තුළ දී දේශීය වෙළඳපොළ තුළ ඛනිජ තෙල් නිෂ්පාදිත අලෙවිය සියයට 16.8කින් පහළ ගියේය. ඒ අනුව, ලං.ඛ.නී.සං.හි සහ ලංකා අයි ඕසී පොදු සීමිත සමාගමේ විකුණුම් පරිමා, පිළිවෙළින්, සියයට 16.9කින් සහ සියයට 15.7කින් අඩු විය. දේශීය වෙළඳපොළ තුළ ඛනිජ තෙල් නිෂ්පාදිත අලෙවියෙහි සමස්ත පහළ යෑමට සමගාමීව, ලං.ඛ.නී.සං. මගින් ප‍්‍රවාහන අංශය වෙත අලෙවි කළ ප‍්‍රමාණය 2020 වසර තුළ දී සමස්තයක් වශයෙන් සියයට 13.6කින් පහළ ගියේය.

      මේ අතර, විදුලිබල උත්පාදන සංයුතිය තුළ තාප විදුලිබල උත්පාදනයේ දායකත්වය පහළ යෑමත් සමඟ, විදුලිබල උත්පාදනය සඳහා වූ ඞීසල් අලෙවිය 2020 වසර තුළ දී සැලකිය යුතු ලෙස සියයට 61.0ක පහළ යෑමක් වාර්තා කළ අතර, තාප විදුලිබල උත්පාදනය සඳහා දැවි තෙල් අලෙවිය සියයට 8.9කින් පමණ ඉහළ ගියේය. තවද, කර්මාන්ත හා ගුවන් සේවා අංශවල කටයුතු කෙරෙහි කොවිඞ්x-19 ව්‍යාප්තිය මගින් ඇති කළ අහිතකර බලපෑම හේතුවෙන් 2020 වසර තුළ දී මෙම අංශ සඳහා සිදු කළ ඛනිජ තෙල් නිෂ්පාදිත අලෙවිය පහළ ගියේය.

      2020 වසර තුළ ලං.ඛ.නී.සං.හි පිරිපහදු නිෂ්පාදිතය සමස්තයක් ලෙස සියයට 7.7කින් පහත වැටුණි. සමස්ත බොරතෙල් යෙදවුම් ප‍්‍රමාණය සියයට 9.6කින් පහළ ගිය අතර, ඞීසල් සහ පෙට‍්‍රල් පිරිපහදු නිෂ්පාදනය, පිළිවෙළින්, සියයට 13.9කින් සහ සියයට 11.6කින් පහළ ගියේය. කොවිඞ්-19 ආශ‍්‍රිත සංචරණ සීමා හේතුවෙන් දේශීය වශයෙන් ඉන්ධන සඳහා වන ඉල්ලූම පහළ යෑම පිළිබිඹු කරමින්, ලං.ඛ.නී.සං. විසින් ආනයනය කරනු ලැබූ පිරිපහදු කළ නිෂ්පාදන ධාරිතාවය ද වසර තුළ දී සියයට 22.0කින් පහළ ගියේය.

      ගෝලීය තෙල් මිල සාපේක්ෂ වශයෙන් පහළ මට්ටමක පැවතිය ද, ප‍්‍රධාන ඛනිජ තෙල් නිෂ්පාදිතවල දේශීය මිල ගණන් නොවෙනස්ව පවත්වා ගෙන යෑම හේතුවෙන් ලං.ඛ.නී.සං.හි මූල්‍ය ක‍්‍රියාකාරීත්වය 2020 වසරේ දී වර්ධනය විය. විගණනය නොකළ තාවකාලික මූල්‍ය ඇස්තමේන්තුවලට අනුව, ලං.ඛ.නී.සං.හි පසුගිය වසරේ පැවති රුපියල් බිලියන 19.1ක මෙහෙයුම් අලාභය හා සැසඳීමේ දී 2020 වසරේ දී රුපියල් බිලියන 33.9ක මෙහෙයුම් ලාභයක් වාර්තා විය. ප‍්‍රවාහනය, විදුලිබල උත්පාදනය, ගුවන් සේවා සහ කර්මාන්ත අංශවලට අලෙවි කරන ලද ඛනිජ තෙල් නිෂ්පාදනවලින් 2020 වසරේ දී මෙහෙයුම් ලාභ ඉපැයිණි. කෙසේ වෙතත්, ලං.ඛ.නී.සං. විසින් ලබාගෙන තවම නොපියවා ඇති විදේශීය මුදලින් නාමනය වූ විශාල ණය ප‍්‍රමාණය හේතුවෙන්, 2020 වසරේ දී එ.ජ. ඩොලරයට සාපේක්ෂව රුපියල අවප‍්‍රමාණය නිසා ඇති වූ විනිමය අනුපාත විචල්‍යතා අලාභය රුපියල් බිලියන 21.8ක් විය. එමගින් ලං.ඛ.නී.සං.හි සමස්ත ලාභයට (බදුවලට පෙර) සෘණාත්මක බලපෑමක් ඇති කරන ලද අතර, පෙර වසරේ වාර්තා වූ රුපියල් බිලියන 11.8ක අලාභයට සාපේක්ෂව 2020 වසරේ දී, එම අගය රුපියල් බිලියන 2.4ක ලාභයක් ලෙස සටහන් විය. මේ අතර, ලං.ඛ.නී.සං. විසින් බැංකු අංශයෙන් ලබා ගත් ණය ප‍්‍රමාණය 2020 වසරේ දී රුපියල් බිලියන 381.8ක් දක්වා රුපියල් බිලියන 74.1කින් ඉහළ ගිය අතර, දේශීය බලපත‍්‍රලාභී වාණිජ බැංකුවල පැවති ලං.ඛ.නී.සං.ට අයත් තැන්පතු ප‍්‍රමාණය 2019 වසර අවසානයේ දී පැවති රුපියල් බිලියන 30.0ක සිට 2020 වසර අවසානය වන විට රුපියල් බිලියන 63.9ක් දක්වා වර්ධනය විය. වසර තුළ දී ලං.වි.ම. විසින් අර්ධ වශයෙන් සිය ණය වගකීම් ගෙවීම හේතුවෙන් රාජ්‍ය ආයතනවලින් ලං.ඛ.නී.සං.ට අයවිය යුතු හිඟ මුදල 2020 වසරේ දී රුපියල් බිලියන 142.7ක් දක්වා රුපියල් බිලියන 10.5කින් පහළ ගියේය. 2020 වසර අවසානයේ දී, ලං.වි.ම. හා ශ‍්‍රීලංකන් ගුවන් සේවය වෙතින් අය විය යුතු හිඟ මුදල, ලං.ඛ.නී.සං. වෙත අය විය යුතු සමස්ත හිඟ මුදලින් සියයට 89.2කට පමණ දායක විය.

      ...

      Delete
    2. 2020 වසර තුළ දී ඛනිජ තෙල් අංශයේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති මන්දගාමී ලෙස අඛණ්ඩව ක‍්‍රියාත්මක විණි. ආයෝජන නොමැති වීම හේතුවෙන් පසුගිය දශකය තුළ සපුගස්කන්ද තෙල් පිරිපහදුව පු`ඵල් කිරීමේ සහ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය (SOREM) එතරම් ප‍්‍රගතියක් අත්කර නොගත් අතර, 2020 වසරේ දී ලං.ඛ.නී.සං. මගින් එය නවතා දමන ලදී.

      රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ, දිනකට බැරල් 100,000ක ධාරිතාවක් සපයන නව පිරිපහදුවක් සපුගස්කන්දෙහි පිහිටුවීම සඳහා අවශ්‍ය නව ශක්‍යතා අධ්‍යයනයක් ආරම්භ කිරීමට 2020 නොවැම්බර් මාසයේ දී අමාත්‍ය මණ්ඩලය විසින් ලං.ඛ.නී.සං.ට අනුමැතිය ලබා දෙන ලදී. එම ශක්‍යතා අධ්‍යයනය මගින් ආර්ථිකය තුළ වෙනස්වන ඉන්ධන අවශ්‍යතා සහ අදාළ තාක්ෂණ ක‍්‍රමවේදයන්හි මෑත කාලීන දියුණුව ද සලකා බැලීමට නියමිතය. රජය විසින් සිදු කරනු ලබන අක්වෙරළ හයිඩ්‍රොකාබන් ගවේෂණය, සංවර්ධන හා නිෂ්පාදන කටයුතු සඳහා වන නියාමන ආයතනය වන ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය විසින් ශ‍්‍රී ලංකාවේ ස්වභාවික වායු පිළිබඳ ගවේෂණය කිරීම සඳහා ආයෝජකයින්ගේ රුචිය ඇති කිරීමේ උත්සාහයක් ලෙස ස්වභාවික වායු පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය 2020 ඔක්තෝබර් මාසයේ දී ගැසට් පත‍්‍රයක් මගින් ප‍්‍රකාශයට පත් කරන ලදී.

      Delete
    3. ඔබට ස්තූතියි !

      Delete
  5. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ප්‍රතිපාදන විසි හයක් තරම් සංඛ්‍යාවක් ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයක් අවශ්‍ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. ඉන් ප්‍රතිපාදන නවයක් සඳහා ජනතාවගේ අනුමැතිය ජනමත විචාරණයකදී ලබා ගත යුතු බවද තීරණය විය.

    කෙටුම්පතට වූ අභියෝග අතර වූයේ එය ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාවය මෙන්ම ජනතාවගේ පරමාධිපත්‍යය උල්ලංඝනය කරන බවය. පාර්ලිමේන්තුව වෙත පවරා ඇති ජනතාවගේ ව්‍යවස්ථාදායක බලතල වගන්ති කීපයකින් උල්ලංඝනය කෙරෙන බවද සඳහන් විය. වගන්ති කීපයක් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත් ඒ හේතුවෙන් ව්‍යවස්ථාවේ 3 වන සහ 4 වන වගන්තිද උල්ලංඝනය වන බවද සඳහන් විය. අභියෝගවල තව පදනමක් වූයේ පනත් කෙටුම්පතේ සමහර වගන්ති පළාත් සභා ලැයිස්තුවේ සඳහන් කාරණා පිලිබඳ හෙයින් කෙටුම්පත පිලිබඳ තම අදහස් ප්‍රකාශ කිරීමට එය 154උ(3) වගන්තිය ප්‍රකාර පළාත් සභා වලට යොමු කළ යුතුව තිබුණු බවය.

    අදාළ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන..
    අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන වගන්තිය අනුව ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇති අතර එය අත්හල නොහැක්කේය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ඇතුලත්ය. 83 වන වගන්තියේ දක්වා ඇති ව්‍යවස්ථා ප්‍රතිපාදන වලට අනුකූල නොවන යම් ප්‍රතිපාදනයක් පනත් කෙටුම්පතක වුවහොත් එය සම්මත කිරීමට තුනෙන් දෙකක වැඩි ඡන්දයට අමතරව ජනමත විචාරණයකදී ලබා ගන්නා ජනතාවගේ අනුමැතියද අවශ්‍යය. 3 වන වගන්තිය එවැනි විශේෂිත වගන්තියකි.

    ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන සහ භුක්ති විඳින ආකාර 4 වන වගන්තියේ පැහැදිලි කර ඇත. ඒ අනුව, “මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරු කළ යුත්තේය; ආරක්ෂා කරනු ලැබිය යුත්තේය; වර්ධනය කරනු ලැබිය යුත්තේය; තවද මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම, සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේය” යනුවෙන් 4(ඈ) වගන්තියේ දක්වා ඇත. 4 වන වගන්තිය 83 වන වගන්තියේ ලැයිස්තුගත කර ඇති ප්‍රතිපාදනයක් නොවේ. එහෙත් 2002 වසරේ 18 වන සහ 19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ සත්-පුද්ගල විනිශ්චය සභාවක් ප්‍රකාශ කර සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට පෙරද කීප වතාවක් සඳහන් කල පරිදි 3 වන වගන්තිය 4 වන වගන්තියට සබැඳි බව සහ වගන්ති දෙක එකට කිවයුතු බවය. මෙම තර්ක රේඛාව පසුගිය වසරේ දී විසිවන සංශෝධනය පිලිබඳ සිය තීරණයේදී ශ්‍රේෂ්ඨාධිකරණය නැවත අනුගමනය කළේය.

    ReplyDelete
  6. පළාත් සභා ලැයිස්තුවේ සඳහන් කරුණු පිලිබඳ නීති සැදීමට පාර්ලිමේන්තුවට හැකි වුවද, 154උ(3) වගන්තිය ඒ පිලිබඳ කොන්දේසි නියම කර ඇත. එවැනි කාරණයක් පිලිබඳ පනත් කෙටුම් පතක් ගැසට් පත්‍රයේ පලකළ පසු සහ එය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීමට පෙර ජනාධිපතිවරයා ඒ පිලිබඳ සිය අදහස් ප්‍රකාශ කිරීම සඳහා සියලු පළාත් සභාවකටම යොමු කළ යුතුය. සියලු පළාත් සභා කෙටුම්පතට එකඟ නම් එය සරල බහුතරයකින් සම්මත කළ හැක. එක් පළාත් සභාවක් හෝ එකඟ නොවේ නම් එකඟ නොවූ පළාත් සභා පිහිටුවා ඇති පළාත්ද ඇතුළුව මුළු රටටම එම කෙටුම්පත අදාළ කිරීමට නම් එය තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කළ යුතුය. එවැනි අවස්ථාවක එය සරල බහුතරයකින් පමණක් සම්මත වුවහොත්, එය අදාළ වන්නේ එකඟත්වය පලකළ පළාත්වලට පමණි.

    මූලික අයිතිවාසිකම් උල්ලංඝනය සහ ජනමත විචාරණයක අවශ්‍යතාවය..
    වරාය නගර පනත් කෙටුම්පතේ වගන්ති ගණනාවකින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව පෙත්සම්කරුවන් තර්ක කළහ. 12(1) වගන්තියෙන් සහතික කර ඇති සමානත්වය සහ සර්ව සාධාරණත්වය, 14(1)(උ) වගන්තියෙන් සහතික කෙරෙන නීත්‍යානුකූල රැකියාවක, වෘත්තීයක, කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ති වීමේ නිදහස සහ 14(1)(ඌ) වගන්තියෙන් සහතික කර ඇති යාම් ඊම් නිදහස ඒ අතර ප්‍රධාන විය. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ හේතුවෙන් 3 වන සහ 4 වන වගන්තිද උල්ලංඝනය වන බැවින් ඒ සඳහා ජනමත විචාරණයකදී අනුමැතිය ගත යුතු යයි සමහර පෙත්සම්කරුවන් ප්‍රකාශිතවම සඳහන් කළහ.

    පනත් කෙටුම්පතේ වගන්ති කීපයක් මූලික අයිතිවාසිකම් වලට පටහැනි බැවින් ඒවා තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කළ යුතුයයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. එහෙත් එම හේතුවෙන් එම වගන්ති ව්‍යවස්ථාවේ 4(ඈ) වගන්තියත්, ඒ අනුව 3 වන වගන්තියත් උල්ලංඝනය කරන නිසා ජනමත විචාරණයකදී අනුමත කළ යුතුද යන කාරණය පිලිබඳ විනිශ්චයක් නොදෙන ලදී.

    1979 අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවා පනත් කෙටුම් පත ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය (කෲර, අමානුෂික හෝ අවමන් සහගත දඬුවම් වලට භාජනය නොකළ යුතු බව) සහ 14 වන වගන්තිය උල්ලංඝනය කරන බවට අභියෝග කරන ලදී. එහිදී එච්. එල්. ද සිල්වා මහතා තර්ක කළේ ඕනෑම මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වන විට ව්‍යවස්ථාවේ 4(ඈ) වගන්තියත්, ඒ අනුව 3 වන වගන්තියත් උල්ලංඝනය වන බවය. එකී පනත් කෙටුම්පත 11 වන වගන්තිය පමණක් උල්ලංඝනය කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. 11 වන වගන්තිය ජනමත විචාරණයක් අවශ්‍ය එකක් ලෙස 83 වගන්තියේ දක්වා ඇති එකකි. “ආණ්ඩුක්‍රම නීතිය පිලිබඳ වාද කරුණක් අධිකරණය ඉදිරියේ ඇති නඩු කටයුත්තට ඍජුවම අදාළ නම් මිස, ඒ ගැන තීන්දුවක් නොදිය යුතුය” නම් වූ සුප්‍රසිද්ධ ආණ්ඩුක්‍රම නීති මූල ධර්මය අනුව යමින්, පනත් කෙටුම්පත මගින් 3 වන වගන්තියද උල්ලංඝනය වන්නේද යන්න තීරණය කිරීමට අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර සිටියේය.

    ReplyDelete
  7. කොහෙන් ආපු ඇනෝවෙක්ද බොලේ මේ??
    මෙතුමාගේ පිළිතුරු කියවන්න දවස් දෙකක් සියළු වැඩ අත හැර පේවී සූදානම්ව අසුන්ගෙන කියැවිය යුතුය.
    අනේ ඒ වෙලාවේ රේරුකානේ හිමියන්ගේ පොතකින් එක පිටුවක්වත් කියවා ගත්තොත් යන තැනකටවත් වැඩක් වේවී.

    ReplyDelete
    Replies
    1. දිග වැඩි වීම සහ මාතෘකාවට ඇති අදාළත්වය කෙසේ වුවත් මේවා උපුටන ලෙස හැඟෙන විට ප්‍රතිචාර දැක්වීම පමා වෙයි. ඒ මිස සාමාන්‍ය ප්‍රතිපත්තියක් ලෙස ඇනෝ ලෙස දමන ප්‍රතිචාර දෙස වපරැසින් බැලීමේ පුරුද්දක් නැත.

      කවුරු දැම්මත්, මේවා බොහෝ විට මූලික කතාවේදී අපට මගහැරුණු, එසේ නැතිනම් යාවත්කාලීන කෙරුණු කරුණු අඩංගු වන විට ඒවා ලිපියේ අගය වැඩි කරන බවයි අපගේ අදහස.

      Delete
  8. http://sinhala.adaderana.lk/news/155615/ගෘහස්ථ-ගෑස්-පිළිබඳ-ගැසට්-නිවේදන-2ක්

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !