Saturday, October 31, 2020

පොම්පෙඕ ආවෝ !

පොම්පෙඕ ගියෝ !

Michael Richard Pompeo: an American politician, diplomat, businessman, and attorney who, since April 2018, has serving as United States Secretary of State.
මයික් පොම්පියෝ මහතා

ඇමරිකානු රාජ්‍ය ලේකම් ලෙස සාමාන්‍යයෙන් සඳහන් කෙරෙන, ලංකාවේ හැටියට නම්, ඇමරිකානු ඔරුමිත්තනාඩුවේ විදේශ ඇමති ලෙස සැළකිය හැකි මයික් පොම්පියෝ මහතා පසුගියදා මෙරටට සැපත් විය. සැපත් වූ හෙතෙම ආ පයින්ම පිටත්ව ද ගියේය. ලංකාවට පැමිණීමට පෙර ඇමරිකාවේ සුවච රටක් වන ඉන්දියාවට ගොස් එහිදී ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබූ ඒ මහතා ලංකාවේදී අත්සන් තැබූ ගිවිසුම් ගැනවත් හමු වීම් වලදී පැමිණි එකඟතා ගැනවත් විස්තරයක් ප්‍රසිද්ධ වූයේ නැත. එසේම ලංකාවෙන් පිටව යාමෙන් පසු ඒ මහතාට සිදු වූයේ කුමක්දැයි වාර්තා වූයේ ද නැත. අදහන්නා වූ දෙවියන් ඒ මහතා සුවෙන් රැක ගනිත්වා.

පොම්පියෝ මහතා පිටත්ව යාමට පෙර දෙරණ මාධ්‍ය ජාලය සමග කෙටි සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබිණි. එය අන්තර්ජාලයෙන් නැරඹීමි. එහි පවසන දේ අනුව නම් ඔහු විවෘත මනසක් ඇති ප්‍රියමනාප මහත්මයෙකි. චීනය ගැන කියූ දේ අනුව නම්, කාට වුවත්, කිව යුතු දේ කෙළින්ම කියන පුද්ගලයෙකි. මේ බලය ඔහුට ලැබෙන්නේ ඔරුමිත්තමාඩුවේ ජනාධිපති ධුරන්ධර ශ්‍රීමත් ඩොනල්ඩ් නාමධාරී ට්‍රම්පට් මහතාගෙනි. චීනය සමග එළිපිට ගේම ඉල්ලීම ඒ මහතාගේ සංකල්පයකි. හෙට අනිද්දා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් එතුමා නැවතත් ජනාධිපති වේවා !



පොම්පියෝ මහතා ලංකාවට පැමිණීමට පෙර එතුමාගෙන් අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් කරුණු දෙකක් අපේක්‍ෂා කළෙමු. මින් පළමුවැන්න ශ්‍රී ලංකාවේ යුධ හමුදාපතිට ඔරුමිත්තනාඩුවට පැමිණීමේ තහනම ඉවත් කිරීමයි. තමන්ට ඇමරිකාවට යාමේ අපේක්‍ෂාවක් නැති බව අපේ හමුදාපතිතුමා නම් තහනම පැනවූ දින වලම පවසා තිබිණි. හැරත්, තහනම පනවා ඇත්තේ ශ්‍රී ලංකා යුධ හමුදාපති තුමාට නොව ශවේන්ද්‍ර සිල්වා නම් හමුදා නිලධාරියාට ය. යුධ හමුදාපති වශයෙන් නිළ තත්වයෙන් එරටට යාමට අවශ්‍ය වේ නම් ඒ සඳහා අවස්ථාව තිබේ යැයි සිතමි. එසේ වුවත් නැතත් ශවේන්ද්‍ර සිල්වා යුධ හමුදාපති සහ වැඩබලන මාණ්ඩලික ප්‍රධානී බැවින් ඒ තහනම තිබීම රටේ තත්වයට හොඳ නැත. කෙසේ වුවත් දෙරණ මාධ්‍යවේදිනිය ඒ ගැන විමසූ විට එය නැවත සළකා බැලිය හැකි බව පොම්පියෝ මහතා පැවසුවේය.

දෙවැනි කරුණ මීට වඩා වැදගත්ය. ඒ ශ්‍රී ලංකා පුරවැසියෙකුගේ (රටවැසියෙකුගේ) ඔරුමිත්තනාඩු රටවැසිභාවය සම්බන්ධයෙනි. ලංකාවේ සහ ඇමරිකානු යන රටවැසිභාවයන් දෙකම හිමිව සිටි ඒ මහතා, ඔබ අප කවුරුත් දන්නා පරිදි නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා, ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම උදෙසා ඇමරිකානු ඔරුමිත්තනාඩු රටවැසි භාවය අත් හළේය. එසේ සිදු වූයේ 2015 දී එවකට රටේ පාලන බලය අල්ලාගෙන සිටි වික්‍රමසිංහ ප්‍රමුඛ ජුන්ටාව විසින් 19 වන සංශෝධනය නමින් ගෙන ආ ව්‍යවස්ථා කුමන්ත්‍රණය හේතුවෙනි. පොම්පියෝ මහතා පැමිණීමට පෙර 20 වැනි සංශෝධනය ගෙනැවිත් 2015 ව්‍යවස්ථා කුමන්ත්‍රණය ආපසු හැරවීමට ගෝඨාභය රාජපක්‍ෂට තිබුණු කුලප්පුව දෙවෙනි වූයේ නම් ඒ දෙතිස් කතා ලියන අපගේ ඒ සඳහා තිබූ කඩි කුලප්පුවට පමණි.

දැන් 20 වන සංශෝධනය සම්මත වී තිබේ; මන්ත්‍රීධුරයකට ඉල්ලීම / දැරීම සඳහා ද්විත්ව රටවැසි කම තවදුරටත් බාධකයක් නොවේ; එසේම එය ජනාධිපති ධුරය දැරීමටත් බාධකයක් නොවේ. අපනම් සිතුවේ දඹදිව යන ගමන් පොම්පියෝ මහතා ලංකාවටත් ගොඩ බසින්නේ රාජපක්‍ෂ මහතාගේ රටවැසි සහතිකය තමන් අතින්ම බාර දී දිවුරුම ගැනීමට බවයි. පෙනෙන අයුරින් එයත් සිදු වී නැත. එසේනම් විමල් විරවංශ, උදය ගම්මන්පිළ ඇතුළු පිරිස ඉදිරියේ ඒ මහතා අර තරම් "හැඟීම්බර" වූයේ ඇයි? සමහර විට වෙන හේතුවක් ඇති.



පොම්පියෝගමනය ලංකා දේශපාලනයට තවත් වැදගත් වෙනසක් එකතු කළේය. ඒ ජවිපාවුන් නැවත දේශප්‍රේමී මාවතට ඇදගෙන ඒමයි. මේ නම් එසේ මෙසේ කර්තව්‍යයක් නොවේ.

2015 දී ජෝන් කෙරී ලංකාවට සැපත් වන විට ජවිපාවුන් සිටියේ ලිබ්බෝක්කේ බුදියාගෙනය. ඊට පෙර පැවති ආණ්ඩුවට ඔවුන් කෝචෝක් කළේ අපට ඉතුරු වී තිබෙන්නේ ගඩාෆිගේ ලිබියාවත් ස්වාසිලන්තයත් පමණක් බව කියමිනි. ඔවුන් ස්වාසිලන්තය ගෝත්‍රික රාජ්‍යයක් බව සඳහන් කළේ ඒ රටේ මනුෂ්‍යයින්ගේ සංස්කෘතිය ගැන අබමල් රේණුවකවත් හැඟීමක් ඇතිව නොවේ. ස්වාසිලන්ත ජනතාව සිංහල නොදැන සිටීම වාසනාවකි; නැතිනම් ජවිපාවුන් සිංහල නොවන බවත්, සිංහලෙන් "ගෝත්‍රික" යන්න අපහාසයක් නොවන බවත්, ශාක්‍යමුණින්ද්‍රයානන් වහන්සේ ද ගෞතම ගෝත්‍රයේ බවත් අප කෙසේ ඒ මනුෂ්‍යයන්ට පහදා දෙන්නද.

එසේම 2015 - 2019 කාලයේ ජවිපේ නායකයා අරලිය ගහ මන්දිරයට එක කාමරකට වී හොරු අල්ලන සැළසුම් සකස් කරන විට ඊට එහා කාමරයේ ඇමරිකානු අනුග්‍රහ ලබන MCC ආයතනය ලංකාව අල්ලා ගැනීමට සැළසුම් සකස් කළේය. අපනම් සිතන්නට කැමති MCC එක ලපකුමාර ගැනවත් ලපකුමාර MCC ගැනවත් නොදැන තම තමන්ගේ කටයුතු කරගෙන යන්නට ඇති බවයි. නමුත් රනිල් වික්‍රමසිංහ ජුන්ටාව MCC එකෙන් මිලියන ගාණක් අරගෙන පොඩි පොඩි ගිවිසුම්ද ගසා ඇති බව මොකද්දෝ කමිටුවකින් හෙළි කළ විට ලප කුමාර කී දෙයින් අපගේ අදහස බිඳ වැටිණ. ලප කුමාර මේ මුදල් ගැන දැන සිට ඇතුවා පමණක් නොව ඔහුට අනුව එසේ මූලික ගිවිසුම් වලට අත්සන් කිරීමේ වැරද්දක් ද නැත (අවසන් ගිවිසුම අත්සන් කිරීම පමණයි වරද !).

මයික් පිංපියෝ © යටත් විජිත හේරත්, JVP
ජවිපාවුන් දේශප්‍රේමී මාවතට එන මුල් ලකුණු පෙන්නුම් කළේ චීන රජයේ නියෝජිත පිරිස නිරෝධායන ක්‍රියාවලියෙන් බැහැරව මෙරටට ඇතුල් වුන මොහොතේය. එසේ වුවත් ඔවුන් චීනයට එරෙහිව මෙතරම් දැඩිව "දේශප්‍රේමී" වූයේ නැත. නමුත් දැන් සැකයක් නැතිවම ඔවුන් 100% දේශප්‍රේමීය.

කොළොඹ ඇමරිකානු ඔරුමිත්තනාඩු තානාපති කාර්‍යාල සංකීර්ණය ඉදිරිපිට ඔවුන් පැවැත්වූ විරෝධතාවයෙන් අපත් ඇතුළු මුළු ලංකාවටම තේරුම් ගියේ ලංකාවේ "JVP නම් දේශප්‍රේමී - දේශප්‍රේමී නම් තවමත් JVP" යන තේමා පාඨය සත්‍ය බවයි. සල්ලි දීලා වත් කර ගන්නට බැරි (එසේ සල්ලි දී වෙන වෙන දේ කර ගත් අය සිටි / සිටින බව රහසක් නොවේ. එසේම එසේ ලක්‍ෂ 25 ක් ද කොහේදෝ දෙන විට විජේදාස රාජපක්‍ෂ මහතා ද එතැන හිටියා ... "එච්චරයි !" ) වැඩක් නිකංම වාගේ කර දුන් ජෝන් කෙරී මහතාට - සොරි ! මයික් පොම්පියෝ මහතාට - අපගේ හද පිරි ප්‍රමාණය හිමි වේ.



මෙහිදී තව කරුණක් සඳහන් කළ යුතුයි.

සමහරු කියන්නේ ජවිපෙ මේ විරෝධතාව කළේ පොම්පියෝට විරුද්ධව නොව ආණ්ඩුවේ සිටින විමල් වීරවංශට විරුද්ධව බවයි. අපනම් ඒ කතාව පිළිගන්නේ නැත. කුමාර් ගුණරත්නම් ගැන නොදන්නා ලපකුමාර ඇතුළු ජවිපෙ ඊටත් පෙර ඉන් ඉවත් වූ විමල් විරවංශ ගැන දැන සිටීමට හැකියාවක් කිසි සේත් නැත.

කොටින්ම එහා කාමරේ සිට MCC එක රට අල්ලන සැළසුම් හදන විට මෙහා කාමරේ සිට ලපකුමාර හොරු අල්ලන සැළසුම් හැදූ බව දැන් කීවොත් ලපකුමාරවත් පිළි ගනු ඇත්ද.

ඒ වගත් මෙසේම...




2 comments:

  1. මේ වනචර කොල්ලො කියපු කතා විශ්වාස කරලා මාත් හිතන් හිටියේ පොම්පෙයෝ කියන්නෙ විදුහල්පති කෙනෙක් වගේ සැර පරුෂ පොරක් කියලා.. අපරාදෙ කියන්න බෑ හරිම ප්‍රියමනාප මනුස්සයා.. තේ එකක් බීලා යන්න මෙහෙට ගොඩ වැදිලා ගිය එක අපිට මහ ආඩම්බරයක් !

    ReplyDelete
    Replies
    1. අද හෙටම එතුමාගේ විශ්‍රාම දිවිය පටන් ගනී.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !