Sunday, November 8, 2020

කාවිද රෝගය

පසුගිය බ්‍රහස්පතින්දා බස්නාහිර පළාතට පැනවූ ඇඳිරි නීතිය සඳුදා ඉවත් කිරීමට යන බව කියැවෙයි. මෙය කතාවම ගිය සඳුදා ගැනත් මෙලෙසින්ම කියැවුණු බැවිනුත්, මහජනතාව අවසන් ප්‍රතිඵලය දන්නා බැවිනුත් ඒ ගැන වචන නාස්ති නොකරමි. මෙසේ හිතුමතේ (පිස්සුවෙන් වගේ) පනවන ඇඳිරි නීති වලින් බංකොලොත් ලිඳේ මුවවිටේ (ගැට්ටේ) කරක් ගාන ආණ්ඩුවට දඩ මුදල් අය කර දී සහනයක් වීම හැර වෙන යහපතක් ඇත්දැයි ඇත්තේ විමතියකි.

මුලින් ඇඳිරි නීති පණවන විට සඳුදා ඉවත් කරන බව ප්‍රකාශයට පත් කළේ නම් ආණ්ඩුව එසේ කළ යුතුව තිබිණි. එසේ නැතිව කණා-බල්ලන් ගැසීමෙන් ආණ්ඩුවේ ප්‍රතිරූපයට වන්නේ අයහපතකි. ලඟදී මැතිවරණයක් නැති වීම වෙනම කතාවකි.



දැන් දින කීපයක සිට නිවී සැනසිල්ලේ කෙනෙකුට දුරකථන ඇමතුමක් ගත නොහැක. කොහේදෝ යන ගෑණියෙක් ඉඳගෙන "මේ දිනවල පැතිර යන එක ඉස්සර එකට වඩා" බයානක බව කියයි. මේ දින වල පැතිර යන්නේ (සීසන් 2) ඉස්සර පැතිර ගිය එකට (සීසන් 1) වඩා බයානක එකක් නම් එහි තේරුම දැන් යන එක පරණ එකම නොවන බවයි. එසේනම් ඊට CoViD-20 නොකියා CoViD-19 ම කියන්නේ ඇයි?

එසේම ඔය පිස්සු හටන මුල්ම දිනයේ කීවේ "සංසර්ගය සීමා කරන්න" යනුවෙන් බව දිවුරා කියමි. වරක් දෙකක් ගිය පසු මේ කියන්නේ සංසර්ගය නොව සංසරණය බව වටහා ගතිමි. සංසරණය යනු අතින් අත යාමයි. අතින් අත යන අයට සාමාන්‍යයෙන් කියන වචනය "බඩුව" යන්නයි. මේ වසංගතයක් අස්සේ සැළසුමක් නැතිව ඇඳිරි නීතිය පනවා ඇති පසුබිමක බඩු ගැන කතා කිරීම අහිංසක අපටත් වෙසමුණියා ආරූඪ වන වැඩකි.

දින කීපයකට පසු ඒ බඩුවටම අවුලක් ඇති බව වැටහී යාමෙන් නොහොත් ඈ අතින් අත යැවූ කෙනෙකුට ව්‍යවහාර බුද්ධිය පහළ වීමෙන් ඒ වචනය සංචරණය ලෙසට වෙනස් විය. ඉඳින් මේවා සැළසුම් කරන අයවළුන්ගේ සිංහල දැනීම මෙයාකාර නම් අනෙක් ඒවා ගැන කතා කිරීමේ පළක් ඇද්ද ?



කෙසේ හෝ දැන් නැවත ඇඳිරි නීතිය පනවා ඇත. පසුගිය වර ඇඳිරි නීතියෙන් නැට්ටටම වැටුණු ව්‍යාපාර යන්තම් ඉහ ඉස්සුවා පමණය. මෙතැනින් කොතැනට දැයි දන්නෝ ඇත්ද ? ගියවර, එනම් මාර්තු අග සිට මැයි මැද දක්වා, තිබුණු ඇඳිරි නීතිය හේතුවෙන් ආදායම් අහිමි වූවන්ට රු.5000 ක සහනයක් ආණ්ඩුව ගණනේ දුන් බව සැළයි, එය මෙවරත් දුන් බවට ආරංචි පවතී. එසේ වුවත් අපට නොලැබුණු (මේ ආණ්ඩුවේ වරදක් නොවේ - හේතුව අපට ඒ ගැන උනන්දුවක් නැති වීමයි) දෙයක් ගැන චරිත සහතික දීමට අවශ්‍යතාවයක් නැත.

නමුත් ඒ ගැන සඳහන් කළ යුතු දෙයක් වෙයි, ආණ්ඩුව සල්ලි අච්චු ගසා බෙදීම නම් හොඳ දෙයක් නොවෙයි. පසුගියදා හාල් මිල සම්බන්ධව තවත් මිළ සීමා (මේ කී වෙනි එකද?) ගැසට් පත්‍රයක් නිකුත් කරන්නට සිදු වීම අහම්බයක් යැයි සිතන්නේද ? සාමාන්‍යයෙන් මෙවැනි පිං-පඩි දීමක ආනිසංශ මාස 6 කින් පමණ පසු ආපසු ලැබෙයි. වර්තමාන කහ මිල මීට සම්බන්ධයක් නැතත් මේ අනෙක් පාරිභෝගික භාණ්ඩ වල මිළට පිං පල දෙන කාලයයි.

රුපියල් ලක්‍ෂය ඉක්මවන වැටුපක් ලබන, එහෙයින්ම දැනට අහේනියක් නැති අප වැනි මධ්‍යම පාංතිකයන්ට (හෙවත් රටේ බහුතරයට) ළඟදී ම කෙළවෙන්නේ මේ සැළසුමක් නැති ඇඳිරි නීතියෙනුත්, නිකං බෙදන සල්ලි බෙදිල්ලෙනුත් ය. මා රු.5000 ගැනීමට කිසි දිනෙක නොගියේ එයින් වන යහපතට වඩා අයහපත වැඩි බැවිණි. නමුත් රටට වන යහපත කවරක් වුවත්, අද ලැබෙන 5000 අරගෙන එයට තව කීයක් හරි දමා singer එකට, abans එකට, නැතිනම් දම්රෝ එකට පිදූ අය කී ලක්‍ෂයක් ඇතිද ? එය ගෙදරවත් නොගෙනියා බාර් එකේදිම අවසන් කළ හාදයන් කී ලක්‍ෂයක් ද ? අළුත් ෆෝන් එකක් ගනිමි'ය කියා ඒ මුදල චීනයේ ජංගම ගිණුමට බැර කළ අය කී දාහක් ද ? (මාර්තු, අප්‍රේල්, මැයි මාස තුනේම 5000 බැගින් 15000 ක් ගත් අයයි වැඩි).

ඇඳිරි නීතිය හේතුවෙන් සැබැවින්ම අමාරුවේ වැටුණු අයට එවැනි මුදලක්වත් ලැබෙන්නට සැළැස්වීම ආණ්ඩුවේ වගකීමකි. මහජනයා ඇඳිරි නීති දැමීමට ඡන්දය දුන්නේ නැති බැවිණි. එහෙත් එය සැබැවින් අවශ්‍ය නොවන බහුතරය එය ලබා ගැනීමට ඉදිරිපත් වීම නොකළ යුතු දෙයකි. එහි අයහපත ඉදිරියට අප සැමටම විඳීමට සිදු වේ. රුපියල් 5000 කින් මේ කාලයේ මාසයක් යැපීමට ආචාර්‍ය බන්දුල ගුණවර්ධනගේ පවුලටවත් හැකියාවක් නැත. ඉඳින් එවැනි මුදලක් වෙනුවෙන් අභිමානය පාවා දෙන්නේ ඇයි? ඓතිහාසිකව අප මුදලට වාල් උන ජාතියක් නොවේ.



පහත කොටස උපුටා ගැනෙන්නේ අප ඇඳිරි නීති පැනවීම සම්බන්ධයෙන් අප්‍රේල් 1 වැනිදා පළ කළ ලියමනෙනි.
කොරෝනා වෛරසය සම්බන්ධව රට පෙරලා දමා කටයුතු කිරීමේ උවමනාවක් අප එදා දුටුවේ නැත. අද දකින්නේද නැත. පුද්ගලයෙක් වශයෙන් ගතහොත් මසක් හෝ ඊට මදක් වැඩි කාලයක දරා ගැනීමේ හැකියාවක් අප සතුය. එහෙත් එවැන්නක් ඇත්තේ රටේ කීයෙන් කී දෙනාටද? හොඳයි, ඒ මාසය ඉක්ම ගිය පසු කරන්නේ කුමක්ද ?

රටේ සියළු දෙනා රජයේ වැටුප් ලබන සේවකයන් නොවේ. පෞද්ගලික අංශය වශයෙන් ගත් කල මෙවැනි දරා ගැනීමේ හැකියාවක් තිබෙන සමාගම් ලංකාවේ ඇත්තේ කවර ප්‍රතිශතයකින් ද ?
ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා" නම් ඒ ලිපිය තුල ඉදිරිපත් කළ කරුණු කරනා වලින් බොහොමයක් අදටත් වලංගුය. එදාට වඩා අද අලුත් දැනුමකට ඇත්තේ මේ රෝගයේ විවිධ ප්‍රබේධ ඇති බවත්, එකකින් ආසාදනය වී සුව වුවත් තවෙකකින් නැවත ආසාදනය වීමේ ඉඩකඩ බැහැර නොවන බවත් ය.

එසේම මේ රෝගයට මුහුණ දෙමින් ඒ සමග ජීවත් වී ජාතියක් වශයෙන් ජය ගනු මිස ඇඳිරි නීතිය නම් කඩතුරාව (රෙද්ද) අස්සේ හැංගී සිටීමෙන් ලබන ජයග්‍රහණයක් නැති බව ඊළඟ ලිපියෙන් අවධාරණය කළෙමි.
ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු උදා වන්නේ අලුත් ලෝකයකි. ඒ ලෝකයේ කොරෝනා නමින් හඳුනා ගන්නා වසංගතයක් පවතින අතර සියළු දෙනා තනි පුද්ගලයන් වශයෙනුත් සාමූහිකවත් ඒ වසංගතයෙන් බේරී සිටීම පිණිස කටයුතු කළ යුතුය. නමුත් මෙහිදී සිහි තබා ගත යුත්තේ කොරෝනා වසංගතය හෙවත් CoViD-19 ආසාදනය මාරාන්තික එකක් නොවන බවයි. මෙහි පිටතට පෙනෙන රෝග ලක්‍ෂණ ඉතා අවමය - බොහෝ දෙනෙක් තමන්ට මේ රෝගය වැළඳුණු බව නොදැනම සුව වෙති. රෝග ලක්‍ෂණ පහළ වූ අයගෙන් අසාධ්‍ය තත්වයට පත් වන්නේ ද ස්වල්ප ප්‍රතිශතයකි. අසාධ්‍ය අයගෙනුත් වැඩි දෙනෙක් නිසි ප්‍රතිකාරයෙන් සුව වෙති.

මෙහිදී ප්‍රතිකාර ගැන කී නිසා තවත් දෙයක් කිය යුතුය. මෙකී ආසාදනයට ඇලොපති වෙදකමේ තවම බෙහෙතක් නැත. ප්‍රතිකාර යැයි කියන්නේ ආසාදනයට ලක් වූ පුද්ගලයාගේ ජීව පද්ධති බිඳ නොවැටී පවත්වාගෙන යාම පිණිස කෙරෙන බාහිර උපකාරක වලට මිස මේ රෝගය නිශ්චිතවම සුව කෙරෙන ඖෂධයකට නොවේ.

කලින් ද කියා ඇති පරිදි වසංගතය සමග ජීවත් වීමට හිත හදා ගැනීම කළ හැකි සුදුසුම දෙය වේ.
මැයි දෙවැනිදා විකල්ප නෑ නමින් පල කළ ලියමන තුල මේ සම්බන්ධ බොහෝ දේ සංවාදයට ගෙන තිබේ. ඒවා නැවත ලිවිම නිරර්ථක කර්තව්‍යයකි. අවශ්‍ය අයවළුන්ට නැවත ගොස් කියැවිය හැකි ලෙස මේ සියල්ල ගූගල් දෙයියන්නේ පිහිටෙන් දෙතිස් කතාවේ ම ලියැවී තිබේ.



කරුණු එසේ හෙයින්, අප මේ ලිපියෙන් අවධාරණය කරන්නේ මේ රෝගයට ඇලොපති ක්‍රමයට බෙහෙතක් නැති බවත්, රෝග නිර්ණයත් අවිනිශ්චිත බවත් ය. (මාගේ පෞද්ගලික අදහස නම් මෙය ගණන් ගත යුතු රෝගයක්වත් නොවන බවය - එහෙත් මා කියනා දේ පිළිගන්නෝ කවුද).

රෝග ලක්‍ෂණ සමූහයකට බය හිතෙන නමක් දෙයි; ඊට පසු ජනමාධ්‍ය කාරිය කරවන රාළලා බවට පත් වෙයි. මහජනයා බියපත් වේ, ආණ්ඩු වික්‍ෂිප්ත වේ, බිල් ගේට්ස් වැනි ධන කුවේරයෝ අප වැනි සොච්චම් රටවල් එක්කෝ test lab බවට පත් කර ගනී, නැතිනම් වෙනත් කොන්දේසි දහසක් සමග වෛද්‍ය ආධාර ප්‍රදානය කරයි. පසුගිය දා නෑගම් ආ පොම්පි මාමා වෙන්ටිලේටර සිය ගණනක් දී ගියේ නැද්ද (ඒවායේ වියදම ඇමරිකානු බදු ගෙවන්නන්ගෙනි - ආදායම ඒවා නිෂ්පාදනය කළ, එරට ආණ්ඩුව සමග සම්බන්ධතා ඇති ධන කුවෙරයන්ටය)? කෙසේ වුවත් අවසානයේ වාසිය ගන්නේ කොහෙවත් යන පර බල්ලෙකි. අප මේවාට අසු වී රටේ දෛනික පැවැත්ම කඩාකප්පල් කර ගත යුතුද? නැත. බ්‍රැන්ඩික්‍ෂ් මුදලාලි කළ දේ වැරැද්දක් නොකියමි. ඔහුගේ කිසි සේවිකාවක් මෙකී රෝගයෙන් මළේ නැත.

මා නම් යෝජනා කරන්නේ මේ ඊනියා රෝගය කාවිද රෝගය ලෙස නම් කරමු. CoViD (Corona Virus Decease) යන්න ඒ අයුරින්ම කීම සිංහල කම නොවේ. අප ඩේවිඩ් (David) දාවිත් කළ ජාතියකි. කාවිද රෝගය කී කළ එහි දැන් තිබෙන මහන්තත්ත කම් ඉබේම බසී. එවිට අපට මෙය ගණන් ගන්නේ නැතුව සිටිය හැක. මහජනයා ගණන් ගන්නේ නැතිනම් ජනමාධ්‍ය ද එය මළකුණක් සේ අත හැර දමනු මිස එක එක පඟර නැට්ටන්ට දිනපතා voice cut දෙමින් මෙය තොරොම්බල් කරගෙන යාමේ අවශ්‍යතාවයක් ඇති නොවේ. එවිට ආණ්ඩුවට මීට වඩා වැදගත් දේ ගැන අවධානය යොමු කිරීමේ අවස්ථාව හිමි වේ.
උද්දාමයට පත් වී සිටින ජෝ බයිදාන සහ ඔහුගේ සහචර කමලා හැරිස්
ජනාධිපති රාජපක්‍ෂගේ ධුර කාලයෙන් වසරක් ගෙවී අවසන් ය. කොරෝනාවක් තොරොම්බල් කරමින් සිටියා මිස කර ඇත්තේ කුමක්ද ? ඉතිරි වසර හතර තුලදී වත් රටට වැඩක් කළ යුතු නැද්ද ? පුතාණෝට ඉදිරි වසර හතරටම හරි හමන් වැඩක් නැත. කාවිද රෝගය ගැන සොයා බැලීම ඔහුට බාර දෙමු. ඇලොපති වෛද්‍යවරුන් විසින් ජනතා බලයක් නොමැතිව පවරාගෙන ඇති ආණ්ඩු බලය තුනෙන්-දෙකේ ආණ්ඩුව අතට ගනිමු. වෛද්‍යවරුන්ට රටේ සෞඛ්‍යය බාර දී හමුදාව සහ බුද්ධි අංශ නිදහස් කර ගනිමු. එවිට හමුදාවට පැවරී තිබෙන නිත්‍යානුකූල රාජකාරිය වන රටේ ආරක්‍ෂාව සැපයීමට හැකි වේ. නැතිනම් ජෝන්-වැල්-ජෝන් - සොරි - ජෝ බයිදාන ජනාධිපති යටතේ ඔරුමිත්තනාඩු හමුදාවේ විශේෂ බලකායක් පැමිණ අපේ රටේ කෝවිද රෝග මර්ධන ප්‍රධානියා කුදලාගෙන ගියත් අප කෝවිද මරණ ගනිමින් ම සිටිනු ඇත.




No comments:

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !