Friday, May 18, 2018

මළවුන් සැමරීම

අනුර කුමාරට විජේවීර සමරන්නට අවසර ඇත්නම් සම්පන්තන්ට පිරපාහරන් සමරන්නට අවසර නැත්තේ මන්දැයි සමහරු අසති. මේ ආණ්ඩුවෙන් ඇසිය යුතු පැනයකි. සම්පන්තන්ට පිරපාහරන් සමරන්නට ආණ්ඩුවෙන් අවසරයක් අවශ්‍ය නැත්තේ ඊට තහනමක් නැති බැවිණි. ඇසිය යුතු සැබෑ පැනය නම් පිරබාහන් සමරන්නට තහනමක් නැත්තේ මන්ද යන්නයි.




රෝහණ විජේවීරගේ ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ ආණ්ඩුවට විරුද්ධව සන්නද්ධ අරගල දෙකක් ඇති කළේය. ඒ දෙකම මර්ධනය කිරීමට එවක පැවති ආණ්ඩු කටයුතු කළෝය. මේ අවස්ථා දෙකේම ජනතා විමුක්ති පෙරමුණ පසුපස විදේශ බලවේග ක්‍රියාකාරීව සිටියේ නැත. ක්‍රියාත්මකව සිටියේනම් ඒ ඉතා සීමිතවය. ජනතා විමුක්ති පෙරමුණට සක්‍රිය විදේශ ආධාර නොලැබුණු අතර ආධාර ලැබුණේ පැවති රජයන්ටය. 88-89 සමයේ තරුණයන් නිරපරාදයේ මහමග අළු වී යන විට ගංගා වල කිඹුලන්ට, කැලෑ රොද වල කබරගොයින්ට ආහාර වන විට ජිනීවා වල යෝජනා සම්මත වුණේ නැත.

මෙයට සාපේක්‍ෂව පිරබාහරන්ගේ දෙමළ කැරැල්ල මෙරට තුලින් පැන නැගුණක් නොවීය. දෙමළ තරුණයන් පුහුණුව ලැබුවේ දෙමළ රටේදී ඒ නිත්‍යානුකූල රටේ පුහුණු හමුදා අතිනි. දෙමළ තරුණයන්ට ආයුධ ලැබුණේ ඉන්දියාවෙනි. පිරපාහරන් වඩමාරච්චියට කොටු වී දෙමළ කැරැල්ල අවසන් හුස්ම හෙළන්නට යන විට පරිප්පු බෝම්බ හෙළා ලංකා රාජ්‍යය ආක්‍රමණය කළේ ද ඉන්දියාවයි. මේ තුච්ඡ ආක්‍රමණයට ප්‍රතිචාර වශයෙන් ඇමරිකානු එක්සත් ජනපද, බ්‍රිතානිය ඇතුළු බටහිර බලවතුන් "ඉංදියාවත් එක්ක කතා කරලා බේරා ගන්නැ"යි කියා අහක බලා ගත් අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය බකං නිලාගෙන සිටියේය.

ඒ අනුව පිරපාහරන්ගේ දෙමළ කැරැල්ල එක්තරා දුරකට විදේශ ආක්‍රමණයකි. විජේවීරගේ නිර්ධන පංති අරගලය නිකංම අරගලයකි.


විජේවීර සටන් කළේ ප්‍රජාතන්ත්‍රවාදීව පත් වූ ආණ්ඩුව පෙරළා දැමීමටයි. එය සාර්ථක වී නම් පත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව පත් නොවූ ආණ්ඩුවකි. එය ප්‍රජාතන්ත්‍රවාදී හෝ එසේ නොවන හෝ ක්‍රම වලින් පෙරළා දැමීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. එහෙත් පිරබාහරන් සටන් කළේ ශ්‍රී ලංකා රාජ්‍යය පෙරළා දැමීමටයි. එමගින් ශ්‍රී ලංකා භූමියෙන් තුනෙන් එකක් සහ මුහුදු කලාපයෙන් තුනෙන් දෙකක් අත්පත් කර ගැනීමටයි.

විජේවීර ජය ගත්තේනම් අපට ප්‍රේමදාස ජනපතිගෙන් පසුව විජේතුංග වෙනුවට විජේවීර ජනාධිපති ලැබීමට තිබිණි. ඔහු අපට කෙතුමතිය පහළ කර නොදෙන බව සත්‍යයක් වුවත් එකල පැවතී ලෝක රටාව තුල රුසියාවේ චීනයේ හා කාම්බෝජයේ පෙරළි වලින් පසුව ඇති වූ ආකාරයේ ව්‍යසනයක් ඇති වීමේ ඉඩකඩක් ද තිබුණේ නැත.

පිරබාහරන් ජය ගත්තේනම් අපට වන්නේ අපේ රටේ භූමියෙන් තුනෙන් එකක් සහ මුහුදින් තුනෙන් දෙකක් අහිමි වීම පමණක් නොවේ. ලංකාවේ දෙමළුන්ගෙන් බහුතරය ජීවත් වන්නේ උතුරු හා නැගෙනහිර පළාත් වලින් පිටය. පිරබාහරන් ජයග්‍රහණය කිරීම හේතුවෙන් මේ දෙමළුන් උතුරු හා නැගෙනහිර පළාත් වල අභිනවයෙන් ඇති කෙරුණු රාජ්‍යයට පසු බසින්නේ නැත. සිදු වන්නේ ඒ පළාත් වල සිටි සිංහලයින් සරණාගතයින් ලෙස පළවා හැරීමයි. පරාජිත ලංකාව රනිල් වික්‍රමසිංහලාගේ-චන්ද්‍රිකා කුමාරතුංගලාගේ ග්‍රහණයේ තවදුරටත් බහු ආගමික බහු වාර්ගික බහුබූතයක් සේ පවතින අතරතුර ගිලිහී ගිය උතුරු හා නැගෙනහිර පළාත් වල දෙමළ ක්‍රිස්තියානි රාජ්‍යයක් ඇති වේ.


සිංහලයාගේ නිජ භූමිය - ක්‍ෂේම භූමිය - ජය භූමිය පැරණි රුහුණු හා පිහිටි රටවල් ය. වර්තමාන අනුරාධපුර - පොළොන්නරු - කුරුණෑගල දිස්ත්‍රික්ක හැරුණු කොට සිංහලයාගේ නිජ භූමියේ ඉතා වැඩි කොටසක් මේ අයුරින් සිංහලයාට අහිමි වේ. දීඝවාපිය - මුහුදු මහා විහාරය - ත්‍රිකුණාමලය ආදී තැන් වල සිදු කෙරුණු සිදු කෙරෙමින් පවතින පුරා වස්තු විනාශය තීව්‍ර කෙරෙන අතර සිංහල උරුමය මකා දමා ඒ මත දෙමළ ඉතිහාසයක් ලියැවෙනු ඇත. නාගදීපය පමණක් ඉතුරු වනු ඇත්තේ වන්දනාවේ එන සිංහලයින් ආදායම් නව දෙමළ රාජ්‍යයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන බැවිණි.

මෙසේ සෑදෙන අභිනව දෙමළ රාජ්‍යයට විශාල මුහුදු හා භූමි ප්‍රමාණයක් හිමිය. ධීවර කර්මාන්තයටත් තෙල් හා වායු කැණීමටත් නෝර්වේජියානු මිතුරන් හවුල් වනු ඇත. නොර්වේජියානුවන්ගේ ලංකාව කෙරේ පැවති අද්භූත ආදරයට හේතුව මන්නාරමේ කජු සිටවීමට ඔවුන් උනන්දු වීම කියා සිතන්නේ නම් ඒ මෝඩ කමකි. ජනගහණය අඩු පිරපාහරන්ගේ දෙමළ රාජ්‍යයට මුහුද බදු දීමෙන් පමණක් විශාල ආදායමක් උපදවා ගත හැක.

ලංකාවේ මෙතෙක් කර්මාන්ත වලට භාවිතා නොකළ ඛණිජ බොහෝ ප්‍රමාණයක් උතුරු සහ නැගෙනහිර පළාත් තුල තිබේ. මේ අපේ මුතුන් මිත්තන්ගේ රුධිරයයි. නමුත් දෙමළුන්ට ඒ දිනා ගත් දෙයකි. මේවා බටහිර බලවතුන්ට අළෙවි කිරීම ජනතා විරෝධතා මතු වීමට හේතුවක් වන්නේ නැත. ඇමෙරිකාව පොල්මුඩේ වැලි නිධිය දෙස ඇස ගසාගෙන සිටින්නේ අද ඊයේ සිට නොවේ.

ඊනියා වාර්ගික ප්‍රශ්නය දඩමීමා කරගෙන විදේශගත වූ ලක්‍ෂ සංඛ්‍යාත දෙමළ ප්‍රජාවක් ලෝකය පුරා සිටී. ඔවුන් සතු අතිමහත් ධනස්ඛන්ධයක්ද වෙයි. ඒ මහා ධනස්ඛන්ධය අභිනව දෙමළ රටේ ආයෝජනය කෙරෙණු ඇති අතර කර්මාන්ත සහ සංචාරක ව්‍යාපාරය දෙමළ රටට මහා ධන උල්පතක් වෙයි. මේ සියල්ල මනාව කළමනාකරණය කළහොත් ගරු පිරබාහරන් ජනාධිපති තුමා සිංගප්පූරුවේ ලී ක්‍වන් යූ, මැලේසියාවේ මහතීර් මොහොමඩ් වැනි තම ජනතාව සෞභාග්‍යයට පත් කළ ශ්‍රේෂ්ඨ ජන නායකයෙක් බවට පත් වනු ඇත.


පිරපාහරන් තුමා තමන් විසින් ජිවිත පරිත්‍යාගයෙන් උපයා ගත් රට ඒ තත්වයට පත් කරන විට රටේ සංවර්ධන වේගය පිරිමැසීමට ජනතාව මදි වනු ඇත. එතුමා ඉංදියාව සමග ETCA අස්සන් කරනු ඇත්තේ ඒ අඩුපාඩුව පිරිමසා ගැනීමටයි. ඉන්දියාවේ දෙමළ රටින් දෙමළුන් ලක්‍ෂ ගණනක් පැමිණීමෙන් පිරබාහරන්ගේ දෙමළ ජනතාව සංස්කෘතික ආක්‍රමණයකට ලක් වන්නේ නැත. මේ දෙමළුන් මෙහි පැලපදියම් වන අතර භූමිය සහ ජලය උදෙසා හිඟන ලංකාව සමග ආරවුල් ඇති වනු ඇත. ලංකාව හිඟන තත්වයට පත් වන්නේ අවුරුදු 30 පුරා රටේ සංවර්ධනයට කිසි දායකත්වයක් නොදුන් දෙමළුන් නඩත්තු කිරීමට පැවති ආණ්ඩු ණය ගත් හේතුවෙනි.

ණය සිංහලයින්ට ඉතිරි කර තබා දෙමළුන් තමන්ගේ රාජ්‍යය සාදා ගනු ඇත. ඉන් ඇති වන ප්‍රතිඵලය දුගී ලංකාවක් සහ සමෘධිමත් දෙමළ දේශයකි. ලංකාවේ ආර්ථික බලය දැනටත් ඇත්තේ දෙමළුන් හා මුස්ලිමුන් සතුව බැවින් සිංහලයින්ට ඇති වන ඉරණම ඉතාම දුක්ඛිතය. සැකෙවින් කියතොත් 1948 දී බ්‍රිතාන්‍යය විසින් පලස්තීනය දෙකඩ කර ඊශ්‍රායලය ඇති කිරීමෙන් පලස්තීනුවන්ට උරුම වූයේ යම් කිසි ඉරණමක්ද ඒ ඉරණම සිංහලයින්ට අඩු නැතිවම උරුම වනු ඇත.


පිරබාහරන් සහ ඔහුගේ ත්‍රස්තවාදී කණ්ඩායම පරාජය කිරීම කාගේ නැතත් සිංහලයින්ගේ ජයක් වන්නේ ඉහත හේතුව කරණ කොටගෙනය. පිරබාහරන් එදා දෑස් ඇරගෙන නන්දිකඩාල් කලපුවේ වැටී සිටියේ තනිවම නොවේ. ඔහු සමග එරික් සෝල්හයිම් සිටියේය - රොබට් බ්ලේක් සිටියේය - පැට්‍රීසියා බුටේනිස් සිටියාය - මිලිබෑන්ඩ් සිටියේය - කුච්නර් සිටියේය - සම්පන්තන් සිටියේය - රනිල් වික්‍රමසිංහ සිටියේය - පාක්‍යසෝති සරවනමුත්තු සිටියේය - මංගල සමරවීර සිටියේය - එපමණක් නොව අනුර කුමාර දිසානායක ද සිටියේය. අපේ විරෝධාර හමුදාව එදා පරාජය කළේ එවන් බලගතු සංධානයකි.

බ්‍රිතානිය දෙවන ලෝක සංග්‍රාමය ජය ගැනීම සමරන්නේ නැද්ද ? එක්සත් ජනපද, රුසියාව ඒ සමරන්නේ නැද්ද ? සමරයි - අවුරුදු පතා සමරයි. එසේනම් මේ අප ජයග්‍රහණය කළ අපේ ලෝක යුද්ධයයි. එය සැමරීම සිංහලයාගේ අයිතියයි.

අනෙක් අතින්, එදා පරාජය වූ අර කී කණ්ඩායමට දුක නැද්ද ? ඔවුන්ට දුක තිබේ. එදා තිරිසනෙක් ලෙස මැරී සිටියේ ජන කණ්ඩායමක බලාපොරොත්තුවයි. එසේනම් ඔවුන්ට ඒ මළ බලාපොරොත්තුව සැමරීමේ ඉඩ දීම යුතු නැද්ද ? විශේෂයෙන්ම, එදා රටෙන් කොටසක් ඉල්ලා සටන් වැදී පරාජය වූ කණ්ඩායම අද මුළු රටම අල්ලාගෙන සිටින විට, එදා බැරි වූ දේ අද ව්‍යවස්ථා සංශෝධන හරහා කර ගැනීමට පිඹුරුපත් සකසා අවසන් වෙමින් සිටින වකවානුවක එදා නන්දිකඩාල් කලපුවේදී මළ බලාපොරොත්තු උද්‍යෝගයෙන් සැමරීමේ හැකියාවක් ද ඒ අයට තිබේ.


එසේනම් ඒ අයට මළවුන් සැමරීමට ඉඩ දෙමු. අපි අප එදා ලැබූ ජය සැමරීමට ඒ දිනය යොදා ගනිමු. අද ජාතික ධජය ඔසවා අපේ අභිමානය ලොවට කියමු. ආණ්ඩුවේ ව්‍යවස්ථා උප්පරවැට්ටි පරාජය කර දෙමළ වර්ගවාදයට නිසි පාඩම් නිසි තැනදී උගැන්වීමට සිතට ගමු. වෙසක් පැමිණියා සේ දන්සැල් දෙමු - සැරසිළි කරමු - නන්දිකඩාල් කළපුවේ වැටී සිටි පිරපාහරන්ගේ මුහුණුවර සහිත වෙස් මුහුණු පැළඳ වීථි සංචාරය කරමු.



2 comments:

  1. "වෙසක් පැමිණියා සේ දන්සැල් දෙමු - සැරසිළි කරමු - නන්දිකඩාල් කළපුවේ වැටී සිටි පිරපාහරන්ගේ මුහුණුවර සහිත වෙස් මුහුණු පැළඳ වීථි සංචාරය කරමු."

    මා නිතර පැමිණ ප්‍රතිචාර දක්වන්නෙකු නොවේ. එහෙත් ඉහත උපුටා දැක්වූ අදහස මා අමන්දානන්දයට පත් කළ බව යුතුයි. අද උදෑසන නිවස ඉදිරිපිට ජාතික ධජය එසැවිමි. රාජකාරියට වාර්තා කරන ගමනේ කිසි තැනක ජාතික ධජ නොදිටිමි. අදෝ !
    සාමාන්‍යයෙන් මැයි මසට යෙදෙන වෙසක් දිනය පිං කම් වලට වෙන් කර තොරන්-සැරසිළි-තරඟ-සැණකෙළි ඇතුළු බෞද්ධ කමට නිගා දෙන බහු-රූ-කෝලම් ඔලු බක්කන් නැටවීම් ආදිය මැයි 18 රාත්‍රියට යොදා ගැනීම නරක අදහසක් නොවේ. එහෙත් නිවාඩු ඇත්තේ කාටද ?

    ReplyDelete
  2. දෙමළ කොටි ජය ගත්තේනම් උතුරු නැගෙනහිර පළාත් වල ඇති වන්නේ දෙමළ ෆැසිස්ට්වාදී පාලනයකි. එය හිංදු රාජ්‍යයක් නොව අනාගමික රාජ්‍යයකි. වෙල්ලාලයන් එහි ප්‍රමුඛස්ථානය ලබා ගැනීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. වෙල්ලාලයන්ට පසු දෙමළ ක්‍රිස්තියානින් ඒ ධුරාවලියේ මුල් තැන හිඳිනු ඇත. මුස්ලිම් ජනයාට දෙමළ කතා කරන බැවින් යම් තැනක් ගත හැකි වුවත්, සිංහලයන්ට දෙමළකරණයට ලක් වීම හෝ තම නිජ බිම අහිමි කෙරී පලා යාම යන දෙකින් එකක් තෝරා ගැනීමට සිදු වනු ඇත.

    නමුත් ඔබ කියන සෞභාග්‍යය දෙමළුන්ට සැබවින්ම ලැබෙනු ඇතිද යන්න ප්‍රශ්නයකි.

    ණය කන්ද අපට ඉතිරි කර දෙමළ දේශය ගොඩ නැගෙනු ඇති බව සත්‍යයකි. මෙහි ඛනිජ සම්පත් බහුල බවද ඇත්තකි. ඛනිජ තෙල් බහුල නයිජීරියාව හා වෙනුසුවේලා රාජ්‍යයන් දියමන්ති බහුල අප්‍රිකානු රාජ්‍ය සළකන්න. ස්වභාවික සම්පත් මුදල් බවට පත් කිරීම එතරම් පහසු කටයුත්තක් නොවේ. අඩු ජනගහණය වාසියක් සේම අවාසියක් වීමටද ඉඩ ඇත. ශේෂ ලංකාව සමග දෙමළ දේශයේ දේශ සීමාව ඉතා දිගය. මෙය ආරක්‍ෂා කිරීම පහසු කටයුත්තක් ද නොවේ. ඊට අමතරව නැගී එන ඉස්ලාම් වර්ගවාදය සමග ගණුදෙණු කිරීමටද අභිනව දෙමළ දේශයට සිදු වනු ඇත. තීව්‍ර වන ක්‍රිස්තියානිකරණයට එරෙහිව නැගී සිටින හිංදුවාදය තවත් ප්‍රශ්නයකි.

    මේ සියල්ලේ සම්ප්‍රයුක්ත ප්‍රතිපලය වන්නේ දෙමළ දේශය පළමුව නිල නොවන මට්ටමින් ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යයක් බවට පත් වීමයි. අවශ්‍ය විටෙක ඉන්දියාව විසින් එය ඈඳා ගනු ඇත.

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !