Thursday, June 12, 2014

මහින්දාගමනය සියල්ලේ ආරම්භයද?



පුරාවිද්‍යා ගවේෂණ කරන මහාචාර්‍ය රාජ් සෝමදේව ඇතුළු පිරිස
අසිරිමත් පොසොන් පෝ දා සිදු වූ මාර දූවරුන් පරාජය කර පළවා හැරීම ගැනත් මහින්දාගමනය ගැනත් අපි පසුගිය වසරේ කතා කළෙමු. එසේම, බුදුරදුන් තෙවරක් ලක්දිවට වැඩම කර යකුන් (ඊනියා යක්‍ෂ ගෝත්‍රිකයින් නොවේ) ගිරි දිවයිනට පළවා හැරීම ගැනත්, නාගයින් සමගි සමාදාන කිරීම ගැනත්, දෙවියන් උපාසකයින් බවට පත් කිරීම ගැනත් සාකච්ඡා කළෙමු. තථාගතයන් වහන්සේ ලක්දිව වැඩම කළ තුන් වන වාරයේ දී සමවත් සුවයෙන් වැඩ සිටි ස්ථාන සහ ප්‍රථම හා ද්විතීය ගමනේදී වැඩ සිටි ස්ථානත් සහිතව සොළොස්මස්ථානයක් පූජනිය බවට පත් කළ සැටි ඉගෙන ගත්තෙමු.

මහා කාරුණිකයන් වහන්සේ පරිනිර්වාණ ධාතුවට පත් වන දා දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා බනවා පස්වාන් දහසක් කල් පවත්නා බුද්ධ සාශනය ලක්දිව මුල් බැස ගන්නා හෙයින් ඊට උපස්තම්භක පිණිස එදින ලක්දිව ගොඩ බසින විජයයා ඇතුළු පිරිස රැක ගන්නා ලෙස ඔහුට පැවරූ බව කියවා දැන ගත්තෙමු. ශාක්‍ය සම්භවයක් සහිත පණ්ඩුකාභය විසින් යක්‍ෂයයන්ගේ ආධාර ඇතිව ලක්දිව ඒකඡත්‍ර කර සමස්ත ලංකාද්විපයේම රජ වූ සැටිත් විස්තර කර ගතිමු. ඔහුගේ මුණුපුරු දේවානම්පිය තිස්ස තෙමේ ලක්දිව නව සම්ප්‍රදායක් ආරම්භ කරමින් දඹදිව අශෝකයන් විසින් එවන ලද කකුධ භාණ්ඩ සහිතව ස්වකිය දෙවන රාජකීය අභිෂේකය වෙසක් දා පැවැත්වූ සැටි කතා කළෙමු. එසේ පැවැත්වූ තිස්සයා මාසයක් සැණකෙළි කෙළ අවසන දඩ කෙළියට ගිය විටයි මහින්ද මා හිමියන් සම්මුඛ වන්නේ.

එතැන් පටන් සිදු වූ දේ ඉතිහාසයයි.

ආශ්‍රිත ලිපි:

මහින්දාගමනයට පෙර...


මහින්දාගමනය සැමරීමට මුළු ලංකාවම ලක ලැහැස්ති වන වකවානුව වන විට පුවත්පත් අරක් ගත් එක්තරා පුවතක් වෙත අපේ අවධානය යොමු විය. මේ කරුණ අප මුලින් දුටුවේ දිවයින පුවත්පතින් නිසා එය උපුටා ගතිමු.

මෙය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්‍ය රාජ් සෝමදේව විසින් කරන්නට යෙදුණු පුරාවිද්‍යාත්මක ගවේෂණ අළලා ඔහු සමග කෙරුණු සාකච්ඡාවකි. මහාචාර්‍යවරයා සමග සංවාදය කළේ කවුදැයි සඳහන් නොවෙතත් පුවත්පතට අනුව 'සංවාද සටහන' ජානක ලියනආරච්චි සතුය.

මේ සාකච්ඡාවට ප්‍රස්තුත කරුණු මේ අයුරින්ම ඩේලි මිරර් ඇතුළු ඉංගිරිසි පුවත්පත් වලත් පළ වූ බැවින් මේ සාකච්ඡාව හුදෙකලා සිද්ධියක් යැයි සිතීමට ඉඩක් නැත. වෙනකක් තබා "සෙනෙවිරුවන්" යන තම නමින්ම බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන ප්‍රවීන ලේඛක මතුගම සෙනෙවිරුවන් මහතාද මේ මගුලට හවුල් කරුවෙක් වෙමින් තම බ්ලොග් අඩවියේ මේ සම්බන්ද ලිපියක් පල කර තිබෙන බව දිටිමු. එහෙයින් ප්‍රස්තුතයේ වැදගත් කම සළකා අපද දිවයිනෙහි පල වූ සංවාද සටහන ඒ අයුරින්ම ඉදිරිපත් කරමු.

මහින්දාගමනය සිද්ධවන්නේ බෞද්ධ ලංකාවකටයි...

දිවයින : බුදුන්වහන්සේගේ පහළවීම බෞද්ධ බැතිමතුන් වන අපට නිසැක කාරණාවක්‌. එහෙත් තර්කයෙන් ලෝකය දකින බටහිර චින්තනය තුළ යමක්‌ පිළිගැනීමට තහවුරු කිරීමක්‌ අවශ්‍යයි. බුදුන්වහන්සේගේ ධරමාන සමය පිළිබිඹු කරන, බුද්ධ ධර්මයේ ව්‍යාප්තිය ඉන්දියාව තුළ සිද්ධවන ආකාරය හෙළිකරන, පුරාවිද්‍යාත්මක සාධක මොනවාද?

මහාචාර්‍ය සෝමදේව : ගෞතම බුදුන්වහන්සේගේ ඓතිහාසිකත්වය ගැන ඇතැම් බටහිර විද්වතුන් අතර නොයෙක්‌ මතවාද තිබුණා. ඒ අතරින් සමහර දෙනා කල්පනා කළේ බුද්ධ යන සංකල්පය පවා නිර්මිතයක්‌ බවයි. බෞද්ධ දර්ශනය යනු එක්‌ පුද්ගලයකු විසින් අවබෝධ කර ගන්නා ලද එකක්‌ නොව දීර්ඝකාලයක්‌ තිස්‌සේ ඉන්දීය සමාජය තුළ පැවති දාර්ශනික අදහස්‌ මාලාවක සම්පිණ්‌ඩනයක්‌ ලෙස පැහැදිලි කිරීමට ඔවුන් වෑයම් කළා. මෙවැනි අදහස්‌ මතුවීමට බල පෑ ප්‍රධාන හේතුව නම් බෞද්ධ දර්ශනයේ තිබෙන පුඵල් ගැඹුරු චින්තාවයි. සමස්‌තය ආවරණය වන පරිදි ලෝකයේ සෑබෑ ස්‌වරූපය සහ මිනිසාගේ ඉරණම පිළිබද එවැනි හේතුඵල දහමක්‌ තනි පුද්ගලයෙකුගේ මනසට ග්‍රහණය වීම විය නොහැක්‌කක්‌ ලෙසයි ඔවුන් කල්පනා කළේ.

එවැනි අදහස්‌වල තිබෙන නිරර්ථක බව පෙන්වා දීමට යොදා ගත හැකි ප්‍රබලතම සාක්‌ෂියක්‌ වන්නේ ගෞතම බුදුන්වහන්සේගේ ජීවමාන සමයට අයත්ව පැවති බවට බෞද්ධ සාහිත්‍යයේ විස්‌තර කරන ස්‌ථානවලින් හමු වී ඇති පුරාවිද්‍යාත්මක සාක්‌ෂි යි. අප ගෞතම බුදුන්වහන්සේට ජීවක වෙදැදුරු විසින් ආරාමයක්‌ පුජා කරන ලද බවත් එය ජීවකාරාමය නමින් හදුන්වන ලද බවත් බෞද්ධ ඉතිහාසයේ විස්‌තර වෙනවා. මේ ගොඩනැගිල්ලේ නටබුන් සොයා ගැනීමට ඉන්දීය පුරාවිද්‍යාඥයින් සමත් වුණා. අද එය තහවුරු කොට මහජන ප්‍රදර්ශනය සදහා විවෘත කර තිබෙනවා. ඊට අමතරව සිද්ධාර්ථ කුමරු ඉපදුනු ලුම්බිණියේ ඓතිහාසිකත්වයත් මේ වන විට තහවුරු වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැදගත් වන අනෙක්‌ සාක්‌ෂිය ලෙස සැලකිය හැක්‌කේ ඉන්දියාවේ පිප්රාවා නම් ස්‌ථානයෙන් සොයා ගත් ධාතු කරඩුවයි. එය එතැන තිබූ පැරණි ස්‌තූපයක්‌ කැණීමේදී සොයා ගන්නා ලද්දක්‌. එම ධාතුකරඩුවේ යට බ්‍රාහ්මී අක්‌ෂරකින් පාඨයක්‌ කොටා තිබුණා. එම ධාතුකරඩුවේ අඩංගු භෂ්මාවශේෂ ශාක්‍යමුනි බුදුන්ගේ බවත් එය තැන්පත් කරන ලද්දේ උන්වහන්සේගේ ඥාතීන් වන සුකීර්ති පවුලේ සාමාජිකයින් විසින් බව එහි සදහන් කර තිබෙනවා. ගෞතම බුදුන්වහන්සේ පිළිබද තව බොහෝ පුරාවිද්‍යාත්මක සාධක තිබෙනවා. ඒ වුනත් මා කල්පනා කරන්නේ අපට වඩා වැදගත් වන්නේ උන්වහන්සේගේ ඓතිහාසිකත්වය සෙවීමට වඩා උන්වහන්සේගේ දර්ශනය නිසි පරිදි ජීවන දැක්‌මට අනුගත කර ගැනීම කියලයි.

දිවයින : මහින්දාගමනයට පෙර මෙරට බුදුදහම පැවතුන බව ඔබ කියනවා. එහි පදනම කුමක්‌ ද?. ඔබට අනුව මහින්දාගමනය සිද්ධවන්නේ බෞද්ධ ලංකාවකටද?

මහාචාර්‍ය සෝමදේව : මා එසේ අදහසක්‌ ප්‍රකාශ කළ බව සැබෑවක්‌. ඊට පදනම් වුණේ මේ දිනවල මවිසින් පවත්වා ගෙන යන පුරාවිද්‍යාත්මක ගවේෂණයක්‌. මීට පාදක වී තිබෙන්නේ මධ්‍ය කදුකරයේ දකුණු බෑවුම තැනිතලාවට සේන්දු වන කල්තොට සහ දියවින්න ප්‍රදේශයයි. මේ ප්‍රදේශයේ කදුකරයේ බෑවුම් ප්‍රදේශය ඉතා පරීක්‌ෂාවෙන් අප සොයා බැලුවා. මෙහිදී මා නිරීක්‌ෂණය කළ විශේෂිත කාරණය වන්නේ කල්තොට සිට කොට්‌ටිඹුල්වල දක්‌වා කිලෝමීටර 12 කට වැඩි දිගකින් යුත් ප්‍රදේශයක විහිදෙන කදුබෑවුම්වල අවම තරමින් ගුහාවිහාර 200 කට ආසන්න ප්‍රමාණයක්‌ පිහිටා ඇති බවයි. ඒ අතුරින් 50 කට ආසන්න ප්‍රමාණයක්‌ අප විසින් දැනට පරීක්‌ෂා කොට ක්‍රමානුකූල වාර්තාගත කරනු ලැබ තිබෙනවා.

මේ රටේ ගුහාවිහාර ගැන මෙතෙක්‌ තිබුණේ එකම අදහසයි. මිහිදු හිමියන්ගේ වැඩම කිරීමෙන් පසු ගුහා විහාර සම්ප්‍රදාය ආරම්භ වූ බවත් එහෙයින්ම ඒවායේ කොටා තිබෙන සෙල්ලිපි උන්වහන්සේගේ ආගමනය සිදු වූ කාලයට සම්පාත වන හෙයින් ඒවා ක්‍රිස්‌තු පූර්ව 250 හෝ ඒ ආසන්න කාලයකට අයත් වන බවයි. මහාධිරාජ අශෝක විසින් ඉන්දියාව පූරා පිහිටුවන ලද සෙල්ලිපි මීට සමාන කාලයකට අයත් වන නිසාත් ඒවා ලියා තිබෙන බ්‍රාහ්මී අක්‌ෂර මෙරට ගුහාවිහාරවල කොටා ඇති සෙල්ලිපිවල දක්‌නට තිබෙන අක්‌ෂර සමග සැසදෙන නිසාත් මෙම අදහස ප්‍රශ්න කිරීමට කවුරුත් උත්සාහ ගත්තේ නැහැ. ඇත්තෙන්ම මෙම අදහස ව්‍යාප්ත වුණේ ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මී සෙල්ලිපි ගැන අතිවිශිෂ්ට ශාස්‌ත්‍රීය ප්‍රකාශනයක්‌ කළ මහාචාර්ය සෙනරත් පරණවිතානයි.

අප විසින් දැනට පවත්වා ගෙන යන ගවේෂණයෙන් අනාවරණය වී තිබෙන සහ වෙමින් තිබෙන සාක්‌ෂි අනුව මා විසින් නගන ප්‍රධාන ප්‍රශ්න දෙකක්‌ තිබෙනවා. ඉන් පළමුවැන්න නම් ගල්ගුහාවක්‌ මහාසංඝරත්නයට පූජා කිරීමේදී ගල්ගුහාවක කටාරමට යටින් සෙල්ලිපියක්‌ කෙටීම සහ නොකෙටීම තීරණය වූයේ කුමන සාධකයක්‌ පදනම් කර ගෙන ද යන්නයි. සෙල්ලිපි නොකෙටු ගල්ගුහාවල දක්‌නට තිබෙන කටාරම් වැඩිමනක්‌ම අතිශයින් රඵ නිමාවක්‌ තිබෙන හා දැඩි ලෙස ඛාදනය වූ ඒවා බව නිරීක්‌ෂණය කළ හැකියි. මෙය සෙල්ලිපි කොටා තිබෙන ගුහාවලට වඩා වෙනස්‌ තත්ත්වයක්‌. සෙල්ලිපි කොටා තිබෙන ගල්ගුහාවල ඉතා ක්‍රමවත් නිමාවක්‌ දක්‌නට තිබෙනවා. සමහර විට සෙල්ලිපි නොමැති ගුහා සෙල්ලිපි සහිත ගුහාවලට වඩා පැරණී වීමට බොහෝ සෙයින් ඉඩ තිබෙනවා.
කූරගල ලෙන
දිවයින : මෙය විද්‍යාත්මක නිරීක්‌ෂණයක්‌ ලෙස ඔබ සලකනවාද?

මහාචාර්‍ය සෝමදේව : ඇත්ත. මෙය එතරම් විද්‍යාත්මක නිරීක්‌ෂණයක්‌ නොවෙයි. මෙම කල්පිතය වඩාත් හොදින් පැහැදිලි කිරීමට නම් එවැනි ගුහා දෙකක්‌ කැණීම් කොට ඒවායේ අභ්‍යන්තර ස්‌තර නිරීක්‌ෂණය කළ යුතුව තිබෙනවා. ඉදිරියේදී අප ඒ සදහා කටයුතු කිරීමට අදහස්‌ කරනවා. අනෙක්‌ කාරණය වන්නේ කල්තොට, දියවින්න ආදී රට අභ්‍යන්තරයේ පිහිටි ප්‍රදේශවල මිහිදු හිමියන් වැඩම කළ ආසන්න යුගයේදීම මේ තරම් තදබල බෞද්ධ සම්ප්‍රදායයක්‌ ස්‌ථාපනය වූයේ කෙසේ ද යන්නයි. ඊට පසුබිම් වූ හේතු ඉතිහාසය තුළ තවමත් අප්‍රකටයි. මා තදබල යන වචනය මෙහිදී භාවිත කරන්නේ හේතු සහිතවයි. අප දැනට මේ ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙන ඇතැම් ලිපිවල අන්තර්ගතය රටේ අන් කිසිදු ප්‍රදේශයක තිබෙන සමකාලීන ලිපිවල අන්තර්ගත දැවලට වඩා වෙනස්‌ බව පෙනෙනවා. ඒ වෙනස්‌කම පිළිබිඹුවන්නේ බුදුදහමේ තිබෙන ඇතැම් ගැඹුරු අදහස්‌ උපුටා දැක්‌වීමට එම ලිපි කරවූ දායක කාරකාදීන් විසින් දරා තිබෙන උත්සාහය වෙත සැලකිල්ල යොමු කරන විටයි.

නිදසුනක්‌ ලෙස දක්‌වන්නේ නම් කිරිමකුල්ගොල්ලෙන් අප සොයා ගත් ලිපියක එය කර වූ තැනැත්තා අදාළ ගල්ගුහාව හඳුන්වා තිබෙන්නේ පටිභාන කුටිය යන නමින්. පටිභාන යන වචනය විවිධ අදහස්‌ දෙන්නක්‌. පාරිශුද්ධත්වය හැදින්වීමටත් එහි පර්යාය පදයක්‌ ලෙස එය පාලි සාහිත්‍යයේ යෙදී තිබෙනවා. කෙසේ වෙතත් මෙවැනි පද හමුවන්නේ ගැඹුරු ධර්මශාස්‌ත්‍රිය සාහිත්‍යය තුළයි. තවත් සෙල්ලිපියක්‌ කෙට වූ තැනැත්තා එය පූජා කොට තිබෙන්නේ අපරිමිත ලෝකධාතුවේ වෙසෙන මහා සංඝරත්නය වෙතයි. ශ්‍රී ලංකාවේ ගුහාවිහාරවල දක්‌නට තිබෙන සෙල්ලිපි අතර මෙවැනි අදහසක්‌ ලියා තිබෙන එකම තැන මෙම සෙල්ලිපියයි. වෙනත් තැන්වල එය කියා තිබෙන්නේ සතරදිශාවෙන් ආවා වූ ද නොආවා වූද මහා සංඝයාට පූජා කළ හැටියටයි. කෙසේ වුවත් කල්තොට ප්‍රදේශයේ විසු දායකයින් සම්ප්‍රදායෙන් පිටත සිට කල්පනා කළ බව මින් පැහැදිලියි. ඉන් පිළිබිඹු වන්නේ ධර්මය ගැන ඔවුන් සතුව තිබූ ගැඹුරු අවබෝධයයි. මිහිදු හිමියන් පැමිණි කාලයේම මෙතරම් ස්‌ථාවර ලෙස බුදුදහම මෙතරම් රට අභ්‍යන්තරයේ ස්‌ථිර වීම විශ්වාස කළ නොහැක්‌කක්‌. අනෙක්‌ අතට එවැනි තත්ත්වයක්‌ හදිසියේ ඇති විය නොහැක්‌කක්‌ බව කාට වුවත් පහසුවෙන් වටහා ගත හැකි කාරණයක්‌. මගේ අදහස නම් කල්තොට, කූරගල සහ දියවින්න ප්‍රදේශයේ පිහිටා තිබෙන ගුහා විහාර මිහිදු හිමියන් පැමිණෙන අවධිය වන විටත් ස්‌ථාවරව පැවති බවයි. එවැනි ස්‌ථාවරයකට නොපැමිණ මෙම ප්‍රදේශයේ ගුහා විහාර විස්‌තර කළ නොහැකියි.

අනෙක්‌ අතට මෙම ප්‍රදේශයේ තිබෙන සෙල්ලිපිවල දක්‌නට තිබෙන ඇතැම් අක්‌ෂර රූප රටේ වෙනත් තැන්වල තිබෙන සමකාලීන සෙල්ලිපිවල තිබෙන අක්‌ෂරවලට වඩා ඇතැම් සුඵ වෙනස්‌කම් පෙන්නුම් කරනවා. ඒ වෙනස්‌කම් සුඵ වුවත් ඉන් ප්‍රකාශිත අර්ථය ඊට වඩා විශාල වීමට බෙහෙවින් ඉඩ තිබෙනවා. ඒ ගැන යමක්‌ කිව යුත්තේ හොදින් ඒ ගැන අධ්‍යයනය කිරීමෙන් පසුවයි.

දිවයින : මිහිදු හිමියන් මෙහි වැඩම කරවීමට පෙර ඔබ දැනට ගවේෂණ කටයුතු පවත්වා ගෙන යන බලංගොඩ ආශ්‍රිත රට අභ්‍යන්තරයට බුදුදහම ව්‍යාප්ත වූ ආකාරය ඔබ කියනවා. මහින්දාගමනයට පෙර සිද්ධවුණා යෑයි කියන මේ බුදුදහමේ ව්‍යාප්තිය සම්බන්ධ තර්කය සම්බන්ධ ප්‍රමාණවත් පැහැදිලි කිරීමක්‌ කළ හැකි ද?

මහාචාර්‍ය සෝමදේව : මේ සම්බන්ධයෙන් පළමුව මා කිව යුත්තේ දැනට මා ගවේෂණය කරන ප්‍රදේශය පමණක්‌ මීට අදාළව සුවිශේෂි භූගෝලීය කලාපයක්‌ ලෙස අවධාරණය කිරීමට මගේ අපේක්‌ෂාවක්‌ නොමැති බවයි. කදුකර ප්‍රදේශ ආශ්‍රිත රටේ සෙසු කලාපවලත් මෙවැනිම තත්ත්වයක්‌ පවතින බව මහාචාර්ය පරණවිතාන විසින් මීට පෙර ප්‍රකාශයට පත් කර තිබෙන සෙල්ලිපිවල භූගෝලීය ස්‌ථානගත වීම සැලකිල්ලට ගත් විට පෙනෙනවා. එසේ වුවත් මහාචාර්ය පරණවිතාන එහි පවතින සුවිශේෂීතාව යම් හේතුවක්‌ නිසා නිරීක්‌ෂණය කර නොමැති බව පෙනෙනවා.

ඔබ ඇසූ ප්‍රශ්නයට සෘජු පිළිතුරක්‌ දීමට තරම් මේ සම්බන්ධයෙන් මගේ අදහස්‌ තවමත් පරිණත වී නැහැ. ඊට ශාස්‌ත්‍රීය විශ්ලේෂණයක්‌ අවශ්‍යයි. එය කළ හැකිවන්නේ මා ක්‌ෂෙත්‍රයෙන් පිට වී මගේ පුස්‌තකාලයට පැමිණි විටයි. තත්ත්වය එසේ වුවත් ඒ පිළිබද අදහස්‌ කිහිපයක්‌ මා තුළ තිබෙනවා. එය අදාළ වන්නේ ඉතා ඈත කාලයකදී එනම් අඩුම තරමින් ක්‍රිස්‌තු පූර්ව 450 තරම් ඈත කාලයකදී වෙළෝදාම සදහා ඉන්දීය සාගරයේ යාත්‍රා කළ මෙරට යාත්‍රිකයින්ගේ ගමන්වලටයි. ඇතැම් විට ඔවුන් ඒ වෙළෝද ගමන්වලදී බෞද්ධ දර්ශනයට අයත් මූලික ඉගැන්වීම් ගැන අවධානය යොමු කරන්නට ඇති බව පෙනෙනවා. මේ රටේ කදුකර ප්‍රදේශවල ජනාවාස පැතිරීම පිළිබද ඉතිහාසය දැන් ක්‍රිස්‌තු පූර්ව 2400 දක්‌වා පුඵල් කිරීමට මගේ පර්යේෂණවලට හැකි වී තිබෙනවා. ඔවුන් නව ආගමික ඉගැන්වීමක්‌ ගැන උනන්දු වීම පුදුමයට කරුණක්‌ නොවෙයි. මේ කදුකර ජනාවාසවල විසූ ජනතාව මිහිඳු හිමියන් මෙහි වැඩම කිරීමට පෙර බුදුදහම දැන සිටි බව මහාවංසයේ කර්තෘවරයා පවා දැන සිටි බව පෙනෙන්නේ බුදුන්වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම වීමේ සිද්ධියට මෙරට කදුකරයේ විසූ යක්‌ෂයින් සම්බන්ධ කර තිබීමෙන්. බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කළ අවස්‌ථාවේ කදුකරයේ සිටි යක්‌ෂයින් බුරුතු පිටින් උන්වහන්සේ දැකීමට ගිය බව මහාවංසය රචනා කළ අවධියට වඩා පසුකාලයකට අයත් සමන්තකූට වර්ණනාවේ සදහන් කර තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ විසින් යක්‌ෂයින් ගිරිදිවයිනට පලවා හැරි බවට වංසකථාවල දැක්‌වෙන ප්‍රවෘත්තිය මට පෙනෙන්නේ මිහිදු හිමියන්ගේ ආගමනය ඉස්‌මතු කර හුවා දැක්‌වීමට වංසකථාකරුවන් විසින් දරන ලද දේශපාලනික උත්සාහයක්‌ ලෙසයි. යක්‌ෂයින් යනුවෙන් මෙහි අදහස්‌ කර තිබෙන්නේ ක්‍රිස්‌තු පූර්ව 2400 පමණ ඈත කාලයක සිට කදුකර ප්‍රදේශවල වාසය කළ මෙරට ස්‌වදේශීය පිරිසයි. ඔවුන් ඉතා ඈත කාලයකදී එනම් මීට අවුරුදු 125,000 කට පමණ පෙර මෙරට ජනාවාස කළ ආද්‍ය හෝමෝසාපියන්වරුන්ගේ ජාන සංචිතයට අයත් වූවන් බව මෙතෙක්‌ අප කළ පර්යේෂණවලින් සනාථ වී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් යක්‌ෂයින් ගිරිදිවයිනට පලවා හැරීම යනු ඔවුන් බෞද්ධ සම්ප්‍රදායයෙන් පිටමං කිරීමට දරන ලද සවිඥානික උත්සාහයක්‌ ලෙස මා දකිනවා. අප ගෞතම බුqදුරජාණන් වහන්සේ වැනි මහාකාරුණිකයන් වහන්සේ කෙනෙකු මෙරටට වැඩම කොට මෙහි ස්‌වදේශික වැසියන් බිය ගන්වා පලවා හැරීම පිළිබද සිද්ධිය මගින් උන්වහන්සේගේ කරුණාව ඉක්‌මවා වංසකථා රචනා කළ ඉන්දීය සම්ප්‍රදායට ලැදි කර්තෘවරුන් දේශීය ජනයා සහ සම්ප්‍රදාය සම්බන්ධයෙන් දැක්‌ වූ වෛරී ආකල්පය පැහැදිලි වෙතැයි මා සිතනවා.

දිවයින : අවසාන වශයෙන් ඔබෙන් ඇසිය යුතු වන්නේ මෙයයි. මහින්දාගමනය පුරාවිද්‍යාත්මකව තහවුරු කළ හැකි යථාර්ථයක්‌ද? නොඑසේනම් උත්කර්ෂවත් සාහිත්‍යයික නිර්මාණයක්‌ද?

මහාචාර්‍ය සෝමදේව : එය වැරදි අදහසක්‌. මහින්දාගමනය යනු මෙරට සංස්‌කෘතිය වෙත තීරණාත්මක බලපෑමක්‌ ඇති කළ ඓතිහාසික සිද්ධියක්‌. එය පුරාවිද්‍යාත්මකව සනාථ කිරීමට අවශ්‍ය සාධක තිබෙනවා. අම්පාර රජගලකන්දේ පිහිටි "යෙ ඉමදිප පඨමය ඉදිය අගතන" යන සෙල්ලිපිය ඊට කදිම නිදසුනක්‌. මා මෙහිදී අදහස්‌ දක්‌වන ලද්දේ ඊට පෙර පැවති තත්ත්වය පිළිබදවයි. මිහිඳු හිමියන් මෙහි වැඩම කළ විගස මේ රටේ බුදුදහම ඉතා හොඳින් පැලපදියම් වුණේ ඊට පෙර අවධියක සිට බුදුදහම මෙරට වැසියන්ට ආගන්තුක නොවූ නිසා යෑයි කල්පනා කිරීම සාධාරණයෑයි මම සිතනවා. මහින්දාගමනය පමණක්‌ ඉස්‌මතු කර දැක්‌වීමට වංසකථා රචකයින් විසින් දරා තිබෙන උත්සාහය නිසා ඊට පෙර අවධියක මෙරට විසූ බෞද්ධයින් යටපත් වීම සිතාමතා කළ සාහසික ඓතිහාසික ක්‍රියාවක ප්‍රතිඵලයක්‌ ලෙසයි මා දකින්නේ. මේ ගැන මීට වඩා තොරතුරු හෙළිදරව් කිරීමට අපට තව කාලයක්‌ අවශ්‍යයි.

මහාචාර්‍ය රාජ් සෝමදේවයන් දිවයිනට එවැනි සාකච්ඡාවක් දෙන අතරතුරේ "මහින්දාගමනයට ප්‍රථම බෞද්ධ සංස්කෘතිය සපරගමුවෙන් මතුවන ලකුණු" නමින් මතුගම සෙනෙවිරුවන් මහතා පල කළ ලිපියත් මේ කරුණුම කියයි.

කසකරුවන් ලක ලැහැස්ති වන අයුරින් පෙනී යන්නේ අමුතු පෙරහැරක් ළඟ ලඟම එන බවයි. මේ අයගේ සූදානම මොන අඩව්වක් අල්ලන්නද?

20 comments:

  1. අප්පට සිරි !!!
    අර වැදි නායකයාගේ කතාවක් ගැන අපි කාලෙකට ඉස්සර කතා කළා මතකද?

    ReplyDelete
  2. ඔබගේ පෙර ලිපි කියවිමේදීම අපට බොහෝ ගැටළු මතුවුවද ඒ පිළිබඳව නොවිමසා සිටියේ ඔබට හෝ වෙනත් කිසිවෙකුට හෝ නිවැරදිම ඉතිහාසය මෙය වේ යනුවෙන් පෙන්වා දිය හැකි මුලාශ්‍රයක් නැති බැවිනි. ඔබ මෙහිදී ජනප්‍රිය කතාව (යකුන් බිය වද්දා පලවා හැරීම, විජය රකින ලෙස සක්‍ර දෙවියන්ට පැවරීම ආදිය) නියෝජනය කිරීම නිසා ඔබට වත්මන් දැනුමේ අදිපති බව හිමිය. එහෙත් එම ජනප්‍රිය කතාවද තහවුරු කළහැකි සාක්ෂි නැහැ නේද? මහාවංශය රචනා කල යුගයට පෙර අනුරාධපුර යුගයේ චිත්‍ර තුලින් හෝ එසේ යකුන් පලවා හැරීමක් නිරුපනය වන අවස්ථා හමුවේද? බුදුරජාණන් වහන්සේ දේශනා කල ධර්මය සහ ඉන්දියාවේදී යකුන් යයි සම්මත වුවන් (ආලවක ) ආදීන් සම්බන්දයෙන් අනුගමනය කල ක්‍රමයෙන් සහ එහිදී අනුගමනය කරන ලද සියලුම පර්තිපතින්ගෙන් අන්‍ය ක්‍රමයක් මෙරට යකුන් සම්බන්දයෙන් අනුගමනය කිරීම ප්‍රශ්න කිරීම වඩාත් තාර්කික වීම ඔවුන්ගේ කතාවට පැවැත්මක් වීමට හේතුවයි. ජනප්‍රිය වීම ඔබටත්, තාර්කික වීම ඔවුන්ටත් යම් පැවැත්මක් ලබාදී ඇත. වඩා ක්‍රියාශීලි සහ සාක්ෂි සොයා යන්නා ජයගනු ඇත. ලක්දිව දේශිත සුත්‍ර, සුත්‍ර පිටකයේ නැත. විජය රැකගන්නා ලෙස සක්‍ර දෙවියන්ගෙන් කල ඉල්ලීමක් ගැන සදහනක් මහා පරිනිර්වාණ සුත්‍රයේ හෝ තිබේද? මේ පිළිබඳව වෙනත් කතාවක් මහාචාර්‍ය නලින් සිල්වාට ඇත. ඔහු වරිග පුර්ණිකාව ඇසුරින් තවත් සංගත, තාර්කික කතාවක් කියමින් සිටි. කතන්දර ලෝකයක්!
    කසකරුවන් ලක ලැහැස්ති වන අයුරින් පෙනී යන්නේ අමුතු පෙරහැරක් ළඟ ලඟම එන බවයි. මේ අයගේ සූදානම මොන අඩව්වක් අල්ලන්නද?
    මෙය කාලයට බාරදෙමු. ජනප්‍රිය (හෝ ප්‍රසිද්ද ) වීමම පැවැත්ම සදහා ප්‍රමාණවත් නොවේ නම් "ගනු කඩුව යනු සටනට".
    අප ප්‍රේක්ෂකයන් පමනි.

    ReplyDelete
    Replies
    1. මහින්දාගමනයට පෙර ලංකාව බෞද්ධයින් ("බෞද්ධයා" ඇති වුනේ සුද්දන්ගේ පාලනය යටතේ බව මගේ අදහසයි) නොසිටි රටක් බව කේ කියනු ඇතැයි මගේ බලාපොරොත්තුවක් නැත. මේ ලිපියේ වැරැද්ද ඔහු තම අදහස කෙලින් හෝ හරහට හෝ ඉදිරිපත් නොකිරීමයි. අවිද්‍යාව, ඔබ සිටගෙන ඉන්නේ සෝමදේව කණ්ඩායම සමගද? ඔබේ ප්‍රතිචාරයෙන් එසේ ගම්‍ය වේ. නමුත් ඔබ කියන්නේ "අප ප්‍රේක්ෂකයන් පමනි" කියාය.

      Delete
    2. අපගේ ජනප්‍රිය මතය කෙරෙහි යම් අපුල බවක් ඇතත් කෙලින්ම සෝමදේව (ඔහු ගැන මුල් වරට ඇසුවේ මෙම ලිපියෙනි) පාර්සවයට ගැති නොවේ. මත කිහිපයක් ගැටී නිවැරදි මතය මතුවේනම් එය හොඳයයි සිතමු. මහාචාර්‍ය නලින් සිල්වාගේ පාර්ශවය හෝ සෝමදේව පාර්ශවය ඔවුන්ගේ මතය තහවුරු කරන්නේ නම් එයට වැඩි කැමැත්තක් ඇත. එම මතයන් තාර්කික හා ස්වාදීන හෙළ මුලික වීම එයට හේතුවයි.

      Delete
    3. "අප ප්‍රේක්ෂකයන් පමනි" යනුවෙන් සදහන් කලේ අපට කිනම් පාර්ශවයකට හෝ පක්ෂව හෝ විපක්ෂව ඉදිරිපත් කිරීමට විශේෂ (බොහෝ දෙනා දන්නා කරුණු නොවන) දැනුමක් නොමැති නිසාත් එවැන්නක් ලැබීමට අවශ්‍ය මුලික දැනුමක් (පාලි හෝ සංස්කෘත ආදී භාෂා දැනුම) නැති නිසාත් වෙනත් විශේෂ මුලාශ්‍රයක් මෙතෙක් හමුවී නැති නිසාත්ය. ප්‍රේක්ෂකයන් වීමට මුලික අවශ්‍යතාවය යම් පාර්ශවයකට හෝ විශේෂ කැමැත්තක් තිබීම බව අපගේ වැටහීමයි ( උදා තරගයක ප්‍රේක්ෂකයන්). එසේ නොවන උදාසීන උන්ට "මොකක් උනත් අපට මොකෝ" කියල හිතෙන්න ඕන නේද?

      Delete
    4. සෝමදේවයා හැරෙන්නේ මොන පොල් පැලේ කන්නදැයි පැහැදිලි අදහසක් නැතත් මමත් ඔහුගේ කැනීම් සහ ඒවායේ නිගමන ගැන එක්තරා මට්ටමක පැහැදීමකින් සිටිමි. ඔහු කරන්නේ ශිරාන් දැරණියගල නැවතූ තැනින් පටන්ගෙන ඉදිරියට ගමන් කිරීමයි. මෙතැනදී වංශකතා හා සංගත නොවීම සිදු විය හැක්කකි.

      ඒත් කණියා නම් සෙනෙවිරුවන් උන්නැහේගෙන් ගේම ඉල්ලා තිබෙනු දිටිමි.

      Delete
    5. We have identified Sinhala Buddhism as a culture and the main question that has drawn our attention is the survival of this culture in Sri Lanka while many forms of Theravada cultures had disappeared from the face of the earth. We have also said that prior to the arrival of Arhant Mahinda there had been a Hela Buddhist culture according to Varigapurnikava which even claims that Rathnavali or Agnipali, the mother of Kuveni (Mahapali according to Varigapurnikava. It should be mentioned that Kuveni is a degrading name coined by non Yakshas. Even Yaksha is a name given by the non Yakshas as the inhabitants of the country had called themselves Yagu Kaurana) had been an Arhant Therin and that Arhant Yashodhara Therin had visited Lanka during the time of Arhant Rathnavali Therin. It is also said that Agnipali or Rathnavali Therin was ordained by Arhant Yashodara Terin and Arhant Rathnavali Therin had lived where Ruvanveliseya is found today, and the Seya had been named after the Arhant Rathnavali Therin.

      http://www1.kalaya.org/2014/05/protect-sinhala-buddhism-from-educated_28.html

      අපහට වඩාත් තාර්කික වන්නේ ඉහත අදහස් වේ. ඉතිහාසය ගවේෂණය කල හැක්කේ "කථා " ඇසුරෙන් බව අපගේද වැටහීමයි. වෙනත් දැනුම් පද්දතියක නිර්මාණ තවත් දැනුම් පද්දතියක් ඇසුරෙන් විග්‍රහ කිරීම විහිළුවකි. (ලැබෙන ඵලය විකුර්තියකි). සෝමදේව සහ දැරණියගල මෙම විකුර්ති නිර්මාණ කරනු ඇත. ඔහු ජනකතා ඇසුරේ අවසන් නිගමනයන් ලබාගතහොත් යම් හෝ සාර්ථකත්වයක් ලබනු ඇත යනු අපගේ අදහසයි.

      We have to depend on stories to understand what has happened in history more than in any other subject and our conjecture is that though the Yagu Kauranas became Buddhists they would not have given up their rituals to become rationalists or empiricists or any other category that is identified in western terms.

      Delete
    6. Joseph, අප කණිෂ්කව නිවැරදිව කියවා නැතැයි සිතමු. අප නොදැනුවත්වම අප විසින් ප්‍රදාන වැරදි කිහිපයක් සිදුකර ඇත.
      1) කණිෂ්ක මතුකරන නව අදහස් තේරුම් නොගැනීම.
      2) ඔහුව ජනප්‍රිය මතයට ලඝු කිරීම.
      3) ඔහුගේ සමස්ත ලිපි පෙළ එක්ව ගෙන නොවිමසා හුදකලා ලිපි විමසීම.

      ඔහු සිංහල සංස්කෘතිය නිර්මාණයට හේතු වශයෙන් ප්‍රදාන හේතුන් කිහිපයක් නිවැරදිව හදුනාගෙන ඇත. අප වටහා නොගත්තේ හෙළය වෙනුවට සිංහලය බිහිවීම අත්‍යයන්තයෙන්ම සිදුවිය යුත්තක්ව තිබු බවත් එය හෙළයේ අනර්ග දැනුම වූ "නිවැරදිම පැවැත්ම" සමග "නැවැත්ම වෙනුවෙන් නිවැරදි පැවැත්ම " බිහිවීම සදහා සිදුවූ බවයි. හෙළය තුලට ථේරවාදී බුදුදහම අවශෝෂණය ඔහු ලිපි පෙළ හරහා නිවැරදිව මතුකර ඇත. එහි සිදුවූ අතිශය අත්‍යවශ්‍ය සිදුවීම්ද මැනවින් මතුකර ඇතයි සිතමු. ජනප්‍රිය මතය වූ යකුන් දමනය වෙනුවට ඔහු යකුන් කැමැත්තෙන්ම වෙනත් දිවයිනකට පිටත් වූ බව දක්වා තිබුණි. බුදුරජාණන් වහන්සේ තෙවරක් වැඩම කර හෙළය තුලට දහම ඇතුල්කිරීම තුලින් "ධර්මය" කෙරෙහි හෙළයන්ගේ පැහැදීම ඇතිකිරීමත්, විජය කුමක් කලත් ඔහු හරහා නව සංස්කෘතියක් තුලින් හෙළයන්ගේ අදිපති කම තුලනය වීමත්, නැවත පණ්ඩුකාභය හරහා අලුත් සංස්කෘතිය හෙළ සංස්කෘතිය හා මුසු වීමත් සිදු නොවිණි නම්, හෙළයන් මිහිදු හිමියන් පිලි නොගැනීමට ඉඩ තිබුණි. එය හෙළයන් දැන සිටි ක්‍රමානුකුල නොවූ ධර්මය වෙනුවට ක්‍රමවත්ව පවත්වා ගත හැකි ධර්මය හදුන්වා දීමයි. හෙළයන් සතුවූ නිවැරදි පැවැත්ම සමග ක්‍රමවත් ධර්මයේ මුහුවීම දුටුගැමුණු රජු සමයේදී සිදුවන්නට ඇත. අප කලයුත්තේ සිංහලය බිහිවීම සිදුවිය යුත්තක්ව ඉවසා, නැවත එම දැනුම සොයා ගැනීමයි. නැවත හෙළය මතුකිරීමට දරන උත්සාහයක් වේ නම් ඔවුන් පරාජය කල යුතුය.

      Delete
    7. "හෙළය වෙනුවට සිංහලය බිහිවීම" යන්නේ "හෙළය වෙනුවට" යන්න ගැන මගේ එතරම් විශ්වාසයක් නැත. නමුත් ඉතිරි කොටස් ගැන එතරම් ගැටුමක් නැත. විශේෂයෙන් "නැවත හෙළය මතුකිරීමට දරන උත්සාහයක් වේ නම් ඔවුන් පරාජය කල යුතුය." යන කොටස සම්බන්ධයෙන් ('හෙළය' ගැන කෙසේ වෙතත්...) සම්පුර්ණයෙන් එකඟ වෙමි.

      මා LcN හි මේ බව නැවත නැවත කියා ඇත. විශේෂයෙන් රාවණ ඉහල දමමින් මහාවංශය පහල හෙළීමට දක්වන උත්සාහයන් පරාජය කළ යුතුය.

      Delete
    8. හෙළය වෙනුවට සිංහලය බිහිවීමක් අප කතා කරන්නේද නැත. අප පවසන්නේ හෙළය තුල සිංහලය බිහිවීමකි. කෙසේ උවත් එසේ බිහිවූ සිංහලයක් වර්තමානයේ පවතින්නේ යයි අප කියා නැත. එයින්ද "හෙළ දැනුම" වර්තමානයේ නොපවතින බව අපගේ හැගීමයි. අපගේ වාසනාවකට ථේරවාදය ආරක්ෂා වී පවතී. හෙළ දැනුම යලි මතු කල හැකි නම් ඒ ථේරවාදය අකුරක් නොහැර විස්වාස කිරීමෙන් සහ පිලිපැදීමෙන් පමණි. සෝමදේව යන ක්‍රමයට ඔහුට කිසිදා එය හමු නොවනු ඇත.

      Delete
  3. සිතුවිළිJune 15, 2014 at 5:47 AM

    අනේ මන්දා, මටනම් මේ වැනි ලිපියක් ගැන කිසිම අදහස්ප්‍රකාශ කිරීමක් කරන්න අසීරුයි.
    බුදු හිමියන් තෙවරක් වැඩීමෙන් පසු ලක්දිව තෙරුවන් සරණ ගිය උපාසකයන් සිටියා යන්න පිළිනොගන්නේ ඇයිදැයි මට නොවැටහේ. එහෙත් සසුන නම් නොපිහිටි බව සිතාගත හැක. ඒ බුදු හිමියන් විසින් හෝ අන් ස්‍රාවක සංඝයා වහන්සේ නමක විසින් ලාංකිකයෙකු මහන කල බවට තොරතුරු ඇතැයි අසා නැති බැවිනි. ඇතැම් විට එවන් මහනුන් සිටියාද වන්නට හැක. නොවන්නටද හැක.
    එදා කුමන ජන වර්ගයක් සිටියද අද වන විට ඒ සියල්ල කලවම් වීමෙන් ඊට අමතරව, යුරෝපියානු ජන වර්ග හා දකුණු ඉන්දියානු ජන වර්ග මුහු වීමෙන් සෑදුනු ජන වර්ගයක් බවට ලක් දිව වෙසෙන්නන් පත්ව ඇති බව මට සිතේ. ඉතින් ඒවා සොයමින් වෙහෙසීම ඵල රහිත දෙයක්ම බවනම් මා සිතමි.
    මුල්ම බෞද්ධයා කවුදැයි සොයනවාට වඩා මා සැබෑ බෞද්ධයෙකුදැයි සෙවීම වඩා ඵලදායක බව මානම් සිතමි.
    මෙවන් ඉතිහාස සාකච්චාවකට ඉතිහාස තොරතුරු වලින්ම දායක වීමේ හැකියාවක් මාහට නොමැතිවීම ගැන කනගාටු වෙමි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ කුල ගැන ඔබේ අදහස කුමක්ද?

      Delete
    2. සිතුවිළිJune 16, 2014 at 7:16 PM

      ඒ ගැන ගැඹුරින් සිතා හෝ කියවා නැත. ලංකාවේ ඇති කුල මොනවාදැයි දෙක තුනක් හැරෙන්නට නම් කිරීමටවත් නොදනිමි

      Delete
    3. "එදා කුමන ජන වර්ගයක් සිටියද අද වන විට ඒ සියල්ල කලවම් වීමෙන් ඊට අමතරව, යුරෝපියානු ජන වර්ග හා දකුණු ඉන්දියානු ජන වර්ග මුහු වීමෙන් සෑදුනු ජන වර්ගයක් බවට ලක් දිව වෙසෙන්නන් පත්ව ඇති බව මට සිතේ." -- සිතුවිළි

      ලංකාවේ කුල යනු මෙයයි. ඔබ කුලය ගැන දන්නේ නැතැයි කියයි. අවාසනාවකි. ඔබ දන්නා දෙක තුන නම් කරන්න.

      Delete
    4. සිතුවිළිJune 17, 2014 at 2:33 PM

      ගොවිගම , කරාව, දුරාව, දේව, රදා ආදී වශයෙන් අසා ඇත. එහෙත් පුද්ගලයෙකු පරම්පරා නාමයෙන් කුල වශයෙන් හඳුනා ගන්නේ කෙසේදැයි හා කුල වල සැබෑ පදනම නොදනිමි.

      Delete
    5. මැදින් පැනීම ගැන සමාවෙත්වා!.
      මේ සිතුවිළි කියන කුල නම් මාර්ටින් වික්‍රමසිංහ මහත්මයාගේ කාලයේදීම නැති වුනාලු නේද. හැබැයි වර්තමානයේ අප හදුනාගත් කුලයන් සහ අනුකුලයන් බොහෝ ගණනක් ඇත. කුලයන් කිහිපයක්,
      සිංහල බෞද්ධ, සිංහල ක්‍රිස්තියානි, ද්‍රවිඩ හිංදු, ද්‍රවිඩ ක්‍රිස්තියානි, ද්‍රවිඩ බෞද්ධ, මුස්ලිම් ආදී වශයෙන්ද අනුකුලයන් වශයෙන්
      සිංහල බෞද්ධ දේශපාලන, සිංහල බෞද්ධ වෛද්‍ය, සිංහල බෞද්ධ ඉංජිනේරු, සිංහල බෞද්ධ නීති, සිංහල බෞද්ධ කම්කරු, සිංහල බෞද්ධ ගොවි, සිංහල බෞද්ධ වෙළෙඳ, ආදියද දැක්විය හැකිය. අනෙකුත් කුලයන්ද මෙලෙසම අනුකුලවලට අඩු වැඩි වශයෙන් බෙදී ඇත.

      Delete
    6. සිතුවිළි, ලංකාවේ කුල ගැන සෙවීමෙන් ධර්මාවබෝධය නම් නොලැබේ. එහෙත් ඔබ එදා සිටි 'ජනවර්ග' ගැන කියන විට ඒ කතා කරන්නේ විවිධ කුල ගැන බව දැනගෙන සිටිය යුතුයි. ගොවිගම, කරාව, දුරාව, දේව, රදා ආදී කුල ගැන මමත් දන්නා දෙයක් නැත. නමුත් ලංකාව එදත් අදත් කුල වලට බෙදී සිටි සහ සිටින රටක් බවයි සත්‍යය. අපේ රටේ රෝහල් පද්ධතිය තුල ඇති සියලු අරගල කුල ගැටුම් බවයි මගේ අදහස. මේ ගැන අවිද්‍යා සතුව බොහෝ කරුණු ඇති බව පෙනේ.

      Delete
    7. කුල ගැන කිව හැකි දේ බොහෝ වෙතත් සංගත කතාවක් ගොතා ගැනීමට දන්නා කරුණු ප්‍රමාණවත් නැති බව පෙනේ.

      Delete
  4. හනේ හනේ මෙහෙමත් පිස්සෝ සැට්ටෙකක් මහින්ද මැරිලා කොයි කාලෙද විජේ මැරිලා කොයි කාලෙද

    ReplyDelete
    Replies
    1. සොම්බිලත් මැරිලා යයි

      Delete