Wednesday, January 15, 2014

ඉතිහාසය අලුතින් ලිවීම



"ලංකාවේ ඉතිහාසය අලුතින් ලියම්හ"යි අභිනවයෙන් තේරී පත් වූ උතුරු පළාතේ මහඇමතිවරයා පාරම් බා තිබේ. නව වසරේ කදිම අදහසකි. උතුරු පළාතේ ජනයා මේ වන විට කේතුමතී පුරයක සැපසේ වෙසෙන බැවින් විය යුතුයි මහජන මුදලින් වැටුප් ලබන ඒ පළාතේ මහඇමතිතුමාට මෙවැනි අදහස් පහල වන්නේ. උතුරු පළාතත් ලංකාවේ කොටසක් බැවින් ලංකාවේ පුරවැසියෙක් වශයෙන් ඉතිහාසය ලිවීමේ අදහසක් පහල වීම සාමාන්‍ය දෙයක් බවත්, ඒ අදහස පහල වූ ප්‍රථම හා එකම පුද්ගලයා තමන් නොවන බවත් එතුමා නොදන්නා බව පෙනේ. ලක්දිව වංශකතා ලියැවුණු ඉතිහාසයකි. දීපවංශය, මහාවංශය, බෝධිවංශය, දළදාවංශය, එළුඅත්තනගලුවංශය ඈ වංශකතා ලියැවුනේ මේ රන් පොළොව මතයි. ඉතිහාසය ලිවීමේ මෙකී ආසාව කොතරම් සාමාන්‍යකරණය වූ කටයුත්තක්දැයි පැහැදිළි වන්නේ මීට වසර හාරසීයකට පෙර යාපනය ආදී ලංකාවේ මුහුදුබඩ පළාත් කිහිපයක් යටත් කොටගත් ලංසින්ට පවා මේ අවශ්‍යතාවය ඇති වීමෙනි. ඉතිහාසයකැයි ඒත්තු ගැන්විය හැකි යමක් ලියා ගත නොහැකි වූ ලංසින් විසින් යාල්පාන වෛපවමාලෙයි නම් කෘතියක් එකල යාපනයේ විසූ මයිල්වාගන පුලවර් නම් තක්කඩියෙකු ලවා ලියවා ගත් බව පෙනේ. මේ පොත ලියූ පුලවරයා තක්කඩියෙක් බව ඒත්තු යන්නේ ලක්දිව ලියවුණු වෙනත් කිසිම වංශකතාවක් සමග නොගැළපෙන අත්‍යන්ත කෙබර වලින් පිරුණු විකාරයක් ඉතිහාසකැයි ඉදිරිපත් කිරීමෙනි. මේ සමහර විටක පුලවරයාගේම වැරද්දක් නොව, ඔහු විසින් ලියැවුණු ප්‍රබන්ධය සැබෑ ඉතිහාසයක් ලෙස පටලවා ගත් අපේ කාලයේ පණ්ඩිතයින්ගේ තකතීරු කමක්ද විය හැකිය.

ඉතිහාසය ග්‍රන්ථකරණය
වඳ වී ගිය ත්‍රස්තවාදී ජන කණ්ඩායමක වර්තමාන අවශේෂයන්හි නියෝජිතයා වන උතුරු පළාත් මහඇමති වරයා නොදන්නා මුත් (නොඑසේනම් නොදන්නා බව පෙන්වන මුත්) ලංකාවේ ඉතිහාසය ලිවීම නම් බෝ වන රෝගයකි. කැඩුණු කුඹ ගසක් සාදා ගැනීමට ලංකාවට ගොඩ බැස මෙහි වසර කීපයක් ගත කර ආපසු ගිය නැවක සුළු සේවකයෙක් තම ගමන් විස්තරය අළලා පොතක් ලිවීය. එහි හරි වැරදි බැලීමට ලක්දිව ගැන දන්නා උගතෙක් එංගලන්තයේ නොසිටි ඒ කාලයේ සුද්දන් විසින් ඒ පොත හරිය කියා පිළිගැනීම ගැටළුවක් නැතත් අද වෙසෙන සමහරු (මුන් සුද්දන් නම් නොවේ) ඒ පොත බයිබලය මෙන් පිළිගෙන පුරාතන සිංහලයට ගරහත්. මේනම් ඉතිහාසය පාසැල් වලින් ඉවත් කිරීමේ දෝෂය මිස වෙන කිසිත් නොවේ. රොබට් නොකොස්‌ නම් ඒ සුළු සේවකයා සිය රට ගිය පසුත් ඊට පෙරත් බොහෝ බටහිරයින් විසින් ලක්දිව විස්තර ලියා තබා තිබේ. ඒවා අදට ඉතිහාස වාර්තා ලෙස සළකුණත් ඒවා ලියැවුණු කාලයේ නම් එදිනෙදා වාර්තා, පෞද්ගලික මතවාද සහ ප්‍රබන්ධ පමණකි.

පෙරදිග දැනුම බටහිර නොයෙක් විද්‍යාවන් විසින් උකහා ගැනීමට උත්සාහ දරන කාලයේ, එනම් ක්‍රි.ව. 18 වන සහ 19 වන සියවස් වලදී ලංකාවේ ඉතිහාසය බටහිරයින්ගේ අවධානයට පාත්‍ර විය. එහි ප්‍රතිඵලයක් ලෙස ජර්මන් ජාතික විල්හෙල්ම් ගෛගරයන් විසින් මහාවංශය ඉංගිරිසියට පරිවර්තනය කරන ලදැයි කියැවේ. එතැන් පටන් බටහිර රටවල විවිධ විද්වත්හු ලක්දිව ඉතිහාසය තම තමන්ට රුචි අයුරින් නැවත නැවත ලිවීම විනෝදාංශයක් කර ගත්හ. මෙකලනම් මේ කටයුත්ත ජයටම කෙරෙන්නේ සුවිඩන නම් උතුරු කෙළවරේ ඇති රාජ්‍යයක උප්සලා නම් සරසවියක බවයි ආරංචිය. උතුරු කෙළවරේ ඇති මේ රාජ්‍යයන් අර වඳ වී ගිය ත්‍රස්තවාදී නඩයට උපකාර කළේ නිකංම විය නොහැක. එසේම උතුරු පළාතේ මහඇමති වරයා "ඉතිහාසය නැවත ලියම්හ"යි දැන් දැන් වහසි බස් දොඩන්නේ පුලවරයාට වඩා වැඩිතර තක්කඩියෙක් වන සුවිඩන විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පීටර විසින් කරගෙන යනු ලබන සිංහලයේ දෙමළ ඉතිහාසයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය අවසන් අදියරට ලං ලං වී ඇති බැවින්ද?

මේ මහාවංශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරිශිෂ්ඨයක් ලෙස ඇතුල් කිරීමට සුදුසු කාලයයි.

ප්‍රබන්ධ ඉතිහාස ගැන කතා පසෙක තබා අපේ සැබෑ ඉතිහාසය වෙත නැවත එමු.

ලංකාවේ ඉතිහාසය

ලේඛනගත ඉතිහාසයට අනුව මේ කල්පයේ පහල වූ පූර්ව බුදුවරයන් වහන්සේලාගේ කාල වල ඔජදීප, වරදීප සහ මන්ඩදීප යන නම් වලින් හැඳින්වුණු අපේ මේ දිවයින ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ලංකාදීප නම් වූ බව අපේ වංශකතා අපට කියයි. වංශකතා වලට අනුව වර්තමාන සිංහලයේ ඉතිහාස කතාව ඇරඹෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනයෙනි.

පූජාවලියේ සම්‍යක් ප්‍රතිපත්ති පූජා කථා

මහාවංශයට පසු මෑත භාගයේ ලියැවුණු පූජාවලිය ඒ ලංකාගමනය විස්තර කරන අයුරු විමසා බලමු.
තවද: සතර වනු ව බුදු වූ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වූ නව වන මස උරුවේලා නම් දනව්වෙහි වැඩහිඳ මතු මාගේ ශාසනය මා අයාමෙහි නිර්මල කොට කොයි පිහිටා දෝ හෝයි බලා වදාරා මේ ශ්‍රී ලඞ්කාද්වීපය දැක ඒ දැන් යක්ෂයන්ට ම නිවාස වෙයි, දැන් ම මම ගොස් ඒ යක්ෂයන් ප්‍රලය කොට ශාසන ප්‍රතිෂ්ඨාවට ආධාර වන සේ අරක්ගන්මියි සිතා වදාරා දුරුතු මැදි පොහෝ දිනයෙහි ලක්දිවු වැඩ ශ්‍රී ලඞ්කාද්වීප නමැති ඒ පද්මයෙහි කර්ණිකාවක් බඳුවූ මණිභෙද නම් දනව්වෙහි ලඞ්කාඞ්ගනාව පලන් මුක්තාහාරයක් බඳු වූ මහා වාලුකා නම් ගඞ්ගාව සමීපයෙහි දිග තුන් යොදුන්, පුළුල යොදුන් පමණ ඇති මහා නාගවන නම් උද්‍යානයෙහි කඳවුරු බැඳ අතුරු නො දී සතුරුව හුන් මහා යක්ෂ කඳවුරට වැඩ ආකාශයෙහි සිට අහස පොළොව ගුගුරුවා යක්ෂයන් තැති ගන්වා පෙනී අපටත් තිලින් වැද හිඳිනා තරම් අවකාශයක් දෙවයි වදාළ සේක. එ වේලෙහි යක්ෂයෝ මේ උයන කුඩා හෙයින් සියුම් වෙස් මවා ගෙන ගැහැටි ගැහැටි වසම්හ, භවත්නි! තොපට කෙසේ අවකාශයක් දෙමෝ දැයි කීහ. එ වේලෙහි බුදුහු සියලඟ දුමවා දුම්කඳු හරනට පටන් ගත් සේක. එ වේලෙහි යක්ෂයෝ දුමින් පීඩා විඳ මොහු මහා ඍඬිවන්ත කෙනෙක, දැන්දක් දිලිහී ගියෝ නම් අප හැම දවා අළුමිටක් කරවා පියති, බිමක් අරුම්හයි මන්ත්‍රණය කොට ඔවුනොවුන් ඇඟ වැතිර සම්කඩකට බිම් හැර මහතාණෙනි! මේ අවකාශයෙහි වැඩහිඳුව, අපට අභය දානය දෙවයි යාච්ඤා කළාහ. ඉක්බිත්තෙන් බුදුහු සඟල සිවුර සතරපටින් අතුට පුර්වදිග් බලා වැඩහිඳ තෙජොකසින සමාපත්තියට සමවැද සතරදිගින් ගිනිකඳු සතරක් මවා යක්ෂයන් කරා මෙහෙයූ සේක. එ කෙණෙහි ගිනි ගුගුරා දිවත් දිවත් යක්ෂයෝ ගිනි භයින් වෙවුලා ආදි සම්කඩකට බිම් දීගත නුහුණුවෝ තුන් යොදුන් උද්‍යාන භූමිය බුදුන්ට ම අවකාශ කොට පිටතට දිවනදෑ, ගිනි ගුගුරා දිවන හෙයින් ලඞ්කාද්වීපය මුළුල්ලෙහි නො එක් පර්වත වන දුර්ගවලට වැද ගිය ගිය තැන්හි ම ගිනිකඳු ම දිවන හෙයින්, මේ සා මහත් ලඞ්කාද්වීපයෙහි අල්ලක් සා අභයස්ථානයකුත් නො ලදින් සියලු යක්ෂයෝ ම මුහුදු බත් වන්නට පටන් ගත්හ. එ වේලෙහි ස්වාමිදරුවෝ යක්ෂයන් කෙරෙහි අනුකම්පා ඇති ව යග්ගිරි දිවයින අධිෂ්ඨාන කොට ගෙන්වා යක්ෂයන් ඊට නංවා නිදුක් කොට දුරු කළ සේක.
මෙකී විස්තරයට අනුව සම්මා සම්බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය සිදු වන කාලය වන විට ලක්දිව මනුෂ්‍ය වාසයක් නොවේ. යක්‍ෂයෝ මනුෂ්‍යයින් නොවන බව අපි දනිමු. එහෙත් දඹදිව විසූ යක්‍ෂයින් කෙරේ සහනශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කළ බුදුරදුන් ලක්දිව යක්‍ෂයන් කෙරේ වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කළේ මන්දැයි තේරුම් ගැනීමට අපි සමත් නොවෙමු. නොයෙක් ඇදහිළි හා විශ්වාසයන් ඇති වී නැති වී යන දඹදිව් තලයේ යක්‍ෂයන් වාසය කිරීම ගැටළුවක් නැතත් සාපේක්‍ෂව මහත් නොවූ ලංකාද්වීපයේ යක්‍ෂයින් විසීම මනුෂ්‍යයින්ට අපලයකැයි උන් වහන්සේ බුදු නුවණින් දකින්නට ඇත. හැරත් ඒ යකුන් ගිරි දිවයිනට පිටත් වී ගියේ අද ලංකාවේ 'පිස්සු යක්කු' ඕස්ට්‍රේලියාව බලා යන්නා සේ ත්‍රිවිධ බියෙන්* බියපත්ව ගැහී ගැහී නොව බුදුරදුන්ට නමස්කාර කරමින් ස්වකීය දරුමල්ලන් සමග ප්‍රීතියෙන් යුතුව බව වංශකතා අපට කියයි.

සිංහල දීපවංශය

පහත ඡේදය උපුටා ගැනෙන්නේ උස්සාපිටිය සුධර්මාලංකාර පිරුවන් විද්‍යායතනයේ චන්ද්‍රදාස කහඳවආරච්චි මහතා විසින් පරිවර්තනය කරන ලද සිංහල දීපවංශයෙනි.
පිපාසිත වූ මුවන් ග්‍රීෂ්ම සමයෙහි ගඟට දිවෙන්නේ යම්සේද ඒ ආකාරයෙන් සියළු යක්‍ෂයෝ එකෙකුද ඉතිරි නොවන සේ සියල්ලෝම ගිරිදිවයිනට ගියාහුය. මෙසේ තථාගතයන් වහන්සේ ලක්දිව අමනුෂ්‍යයන්ගෙන් නිදහස් කළ සේක. තමන් බලාපොරොත්තු වූ අයුරින්ම දිවයිනක් ලැබූහයි එම යක්‍ෂයෝ ප්‍රීති ප්‍රමෝධයෙන් ඉපිල ගියාහුය. යහපත් දිවයිනක් ලැබුවාවූ ඔවුහු එයින් පසු කිසිවකට හෝ බිය නොවූහ. සතුටින් උත්සව පැවැත්වූ හ. ඒ පතළ මහා කරුණා ගුණයෙන් හෙබි තථාගතයන් වහන්සේ එම අවස්ථාවේ ඒ අමනුෂ්‍යයන් සුවපත් වූ බව දුටු සේක. ඒ දුටු තථාගතයාණෝ ඔවුන් තවත් සැපවත් කිරීම පිණිස මෙත් පිරිත වදාළහ. අනතුරුව තෙවරක් ලක්බිම පැදකුණු කොට අමනුෂ්‍යයන් දුරු කොට ලක්බිම ආරක්‍ෂා කළ සේක.
මහාවංශය ඇතුළු අපේ වංශකතා වලට අනුව මෙකී සිද්ධිය සිදු වන්නේ අද වැනි දුරුතු පොහෝ දිනයකයි. එහෙයින් මේ උතුම් ලංකාද්වීපයේ වර්තමාන ඉතිහාස කතාව ඇරඹෙන්නේ දුරුතු මාසයෙනි. එබැවින් සිංහලයාගේ අවුරුද්ද බක් මස නොවේයැයි බෑගිරි ගාන්නා වූ ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ විසින් අවුරුද්ද සැමරීම උදෙසා වෙනත් දිනයක් යෝජනා කෙරෙත්නම් ඊට සුදුසුම දිනය සිංහල දුරුත්ත (දුරුතු මස) ආරම්භ වන දිනය වන දුරුතු පුර පෑළවිය නම් තිථිය වේ. නොඑසේ වී නම් ඊට සුදුසු අනෙක් දිනය සම්මාසම්බුදුරදුන් විසින් ලක්දිව මිනිස් වාසයක් බවට පත් කිරීම පිණිස මෙරට වැඩම කර සම්බුද්ධ පාදස්පර්ශයෙන් පරිශුද්ධ පූජාභූමියක් බවට පත් කළා වූ දුරුතු පුර පසළොස්වක දිනය වේ.

මෙසේ බුදුරදුන් විසින් බුද්ධත්වයෙන් ප්‍රථම වර්ෂයේම ලක්දිව අමනුෂ්‍ය යකුන්ගෙන් තොර කළ බැවින් ඊට පන්සාලිස් වසරකට පසු බුදුරදුන් පිරිනිවන්නා වූ දිනයේ ලක්දිව ගොඩ බසින විජය තෙමේ හමුවට පැමිණෙන්නී කුවේණිය මහාවංශය කියනායුරු අමනුෂ්‍ය යක්‍ෂණියක් වීම නම් අභව්‍යයි. කුවේණිය පමණක් නොව විජයයා විසින් කඩු ගා දැමුණු සිරසවත්ථුපුරයේ මගුල් සැණකෙළි කෙළි සියලු යකුන් සහ ඒ වරිග සංහාරයෙන් දිවි ගලවාගෙන වල් වැදුණු සියලු යක්කු අමනුෂ්‍යයන් නොව මනුෂ්‍යයන් බවයි පිළිගත හැකි සත්‍යය. උන් අමනුෂ්‍ය යකුන් වී නම් විජයයා තබා සිංහබාහු පැමිණියත් යකුන් කඩු ගා දැමීම කළ හැකි දෙයක් නොවේ. අමනුෂ්‍ය ගණයේ ගැනෙන යක්‍ෂයින් වනාහි චාතුර්මහාරාජික දෙව් ලොව රජකරන බුදුබණ අසා සෝවාන් බවට පැමිණි වෛශ්‍රවණ නම් වරම් රජ තුමාගේ සේනාවෝය. එහෙයින් යක්‍ෂයින් යනු කුම්භාණ්ඩ, නාග, ගාන්ධර්ව වැනි තවත් එක්තරා දේව විශේෂයකි. දෙවියන් කඩු ගෑම මනුෂ්‍යයෙක් වූ විජයයා විසින් කළා යැයි කීම මහාවංශය කීවත් පිළිගැනීම නොහොබී. එහෙත් මහාවංශය යනු ප්‍රබන්ධයක්ම නොවේ. එසේනම් සිදු විය හැකි එකම දේ කුවේණිය සහ ඇගේ වරිගය එකල විසූ මනුෂ්‍ය වර්ගයක් වීමයි. යකුන් ගැන කතා අනුරාධපුර යුගයෙන් අවසන් නොවේ. අපේ ඉතිහාසය පුරාම යක්කු නොයෙක් අයුරින් පෙනී සිටියහ - අදත් නොසිටින බව කිව හැකිද?

අනුරාධපුරය, මන්නාරම සහ වව්නියා පෙදෙස් වල මෙකී යකුන්ගෙන් පැවතෙන්නේ යැයි සිතිය හැකි ජන කණ්ඩායම් අදත් සිටිති. සමහරු සිංහල ය. සියවස් කිහිපයක දෙමළකරණය සහ දශක කිහිපයක ත්‍රස්තවාදය හේතුවෙන් සමහරු දෙමළ වන්නට ඇත. විදෙස් රාජ්‍ය ආධාර ලබන නොරාජ්‍ය සංවිධාන විසින් සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම යටතේ ඉන්දියාවට පටවා යැවීමට සිටි දෙමළ වාලුන් බුරුතු පිටින් ගෙන ගොස් උතුරේ පාරම්පරික සිංහල වාසභූමි මත පදිංචි කළ බව ඉතිහාසයට එක් වූ කාරණයකි. පසුකාලීනව පිරබාහරන් නම් ත්‍රස්තවාදී නායකයා යටතේ ඉන්දියාවේවත් නැති ඊනියා නිජභූමියක් ලබා ගැනීමට ගොස් වෙඩි කෑවේ මේ ජනයාගේ ඊළඟ පරම්පරාවේ තරුණයන්ය.

බස්නාහිර පළාතෙන් ගොස් උතුරු පළාතේ මහඇමති වී සිටින විශ්‍රාමික නඩුකාර තුමා මේ රැවටිල්ලට හසු වූ ජනයාගේ සත්‍ය ඉතිහාසය සියලු දෙනාගේ දැන ගැනීම උදෙසා ලියා තබන්නේ නම් ඒ ජාතික සේවයකි. එසේ කිරීමෙන් මේ ජනයාගේ නව පරම්පරාව විදෙස් රටවල සිට මේ රටවල රූකඩ නටවන ඩයස්-පොරවල් විසින් කෙරෙන රැවටිල්ල ගැන දැනගෙන ඊට නොරැවටී සිටීමට නුවණක් ලබනවා ඇත. එය එතරම් අපහසු කාර්යයක් නොවන්නේ ලක්දිව අද සිටින දෙමළ ජනයාගේ (සහ මුස්ලිම් ජනයාගේ) ඉතිහාසය 1505 න් එහාට කිසි සේත් ගමන් නොකරන බැවිණි. එසේ නොකර පුලවරයා කළ ලෙස ඓතිහාසික සාධක සමග සංගත නොවන ගජබින්නාලංකාරයක් ලිවීම ඔහුගේ අභිප්‍රාය නම් ඔහුට තාවකාලිකව ඩයස්-පොරවල්ගේ වීරයා බවට පත් විය හැකිය. එහෙත් එමගින් ඔහු අර අසරණ දෙමළ තරුණයන් තුල රෝපණය කරන අවිශ්වාසයේ සහ වෛරයේ බීජය දළු ලා වැඩෙන දිනක ත්‍රස්තවාදීන් "අපේ කොල්ලන්" කියා හුරතල් කළ අමිර්තලිංගම් සමග එක ලෝදිය හැලියේ පැසීම පිණිස අපායට යෑමට ටිකැට් එක අර තරුණයෙක් විසින් ගේ දොරකඩටම ගෙනැත් දෙනු ඇත.

සිංහලයේ ඉතිහාසය නැවත ලිවීමට, අපේ ඉතිහාසය ඇරඹෙන්නේ විජයයාගෙන් නොවැ රාවණයාගෙන්යැ යි කීමට, කුවේණිය ඇතුළු යක්කු දෙමළ යැ යි කීමට, සිංහලයා යකුන්ගෙන් පවතෙන්නේයැ - යක්කුනම් නොදියුණු ගෝත්‍රිකයින්යැ - දියුණු මනුෂ්‍යයෝ නම් දෙමළුයැ - රජරට රජ කළෝ දෙමළුයැ යි කීමට, බුදුන් උපන් දඹදිව නම් මේ ලංකාද්වීපයයැ යි කීමට උත්සුක වන්නා වූ ගිහියන් පැවිද්දන් සහ සකලවිධ මිත්‍යා දෘෂ්ඨිකයින් විසින් සිහියට ගත යුතු දෙයක් තිබේ. ඉතිහාසය වනාහි ජයග්‍රාහකයාගේ අයිතියයි. ඉතිහාසය ලියන්නේ ජයග්‍රාහකයාය. පරාජිතයාට කළ හැක්කේ එය පිළිගැනීම පමණි. අපි එකාවන්ව දෙමළ ත්‍රස්තවාදය පැරදුවෙමු. දෙමළ ත්‍රස්තවාදය සමග සිටි අදත් සිටින තක්කඩින්ට අපේ ඉතිහාසය ගැන ආඩපාලි කීමේ අයිතියක් නැත.

අද ඩයස්-පොරවල් සමග එකතු වී කෙරෙන රාජ්‍යතාන්ත්‍රික ආක්‍රමණය අපේ රට හමුවේ ඇත. මෙය පරාජය වීනම් ඉතිහාසය ලිවීමේ අපේ අයිතිය අහිමි වුණා වේ. එහෙත් අමතක නොකළ යුතු එක් දෙයක් වේ. ලක්දිව සිංහලයින්ගේ නිජ භුමියයි. වෙන කිසිවෙක් තමන්ගේ නිජබිම මෙහි ඇතැයි කියයිනම් ඔහු වැද්දෙකි - නැතිනම් ත්‍රස්තවාදියෙකි. වැද්දාටත් ත්‍රස්තවාදියාටත් එක ලෙස සළකන රටවල් ලෝකයේ ඇත්තේ නැත.

සිංහල ඉතිහාසයේ මෙවැනි ආක්‍රමණ ඉදිරියේ පරාජයයන් සටහන් වී ඇත. එහෙත් අපට කිසිදා නිජ බිම අහිමි වී නැත. අපේ සමහරු රාජ්‍යතාන්ත්‍රිකව ගොබ්බයින් සේ හැසිරෙන්නේ මේ නිසා යැයි සිතමි. නීති ක්‍ෂේත්‍රයේ පරිචයක් සහිත දක්‍ෂ සිංහලයින් ඉදිරියේදී වැඩි වැඩියෙන් අවශ්‍ය වනු ඇත. අපේ සැබෑ ඉතිහාසය දැන ගැනීම මේ කාර්යය පරිපූර්ණ කර ගැනීමට අත්‍යවශ්‍ය අංගයකි. අපේ ඉතිහාසය ගැන දෙතිස් කතා විසින් ඉදිරිපත් කෙරෙන කෙටි සටහන් මෙකී ව්‍යායාමයට මද හෝ වහලක් වේවා !

දෙතිස් කතා වෙනුවෙන් නව වසරේ කකියන ලෙයින් සහ සැලෙන හදින් සටහන් කෙරෙන අවුරුදු ප්‍රාර්ථනය එයයි.


සටහන:
* බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාව බලා යන්නා වූ පිස්සු යක්කු තුල ඇති වන ත්‍රිවිධ බිය:
  1. ලංකාවේ නාවික හමුදාව කෙරේ ඇති බිය.
  2. සාගරයේ විය හැකි ආපදා පිලිබඳ බිය.
  3. ඕස්ට්‍රේලියානු වෙරලාරක්ෂකයින් කෙරේ ඇති බිය.

17 comments:

  1. උන් ඉතිහාසය විකෘති කරල ලියන පොත එළිදැක්වීමේ උත්සවයටත් අපේ සර්වාගමික දේශපාලන අඥයෝ ගිහින් අනේ ෂෝක් කිව්වෙ නැත්නම් තමයි පුදුමෙ. වත්ත බද්දට දීලා ඇස්සට දත නියවනව වගේ මුන්ට මනාපෙ දීලා අපිත් අනේ අපොයි කිය කිය ඉන්නවා.

    ReplyDelete
  2. ඉතාම අපූරු ලිපියක්. නව වසරේ සිතීමට සහ සාකච්චා කිරීමට කරුණු බොහොමයක් මේ ලිපියේ අඩංගුයි. මෙතෙක් කියැවූ ලිපි වලින් ඉතාම වැදගත් ලිපිය මෙය බව සැකයෙන් තොරව කිව හැකියි.
    කේ, මේ ලිපිය සම්බන්දයෙන් ඔබට සුබ පැතුම් !

    මේ ලිපිය තේරුම් ගැනීම අපහසු අය සඳහා:
    ඉහත ලිපියේ කතා දෙකක් අඩංගුයි.
    [1] එකක් දෙමළ ජාතිවාදීන්ගේ ඉතිහාස ව්‍යාපෘතිය සහ ඔවුන් විසින් 'සිංහල' ඉතිහාසයට එල්ල කරන අභියෝගය ගැන.
    [2] අනෙක සිංහල ප්‍රතිරූපකයන් විසින් සම්මත ඉතිහාසයට සහ සිංහල සම්ප්‍රදායන්ට එල්ල කරන අභියෝගය ගැන.

    දෙතිස් කතා ලියන කණිෂ්ක මේ අභියෝග දෙකටම දැඩි ප්‍රතිචාරයක් දක්වා ඇති බවයි මටනම් පෙනී යන්නේ. සාකච්චා කිරීමට කැමති අයට - (විශේෂයෙන් සිතුවිළි සමග යක්කු ගැන පසුගිය වසරේත් සාකච්චාවක් ඇති වුණු බව මතකයි) - ඉතා හොඳ ප්‍රස්තුතයක්.

    ReplyDelete
  3. මොකද පාළුවට ගිහිල්ල.

    ReplyDelete
  4. සිතුවිළිJanuary 25, 2014 at 4:11 PM

    නිශන්ත කියන දේ සහතික ඇත්ත, පාළුවට ගිහින්.

    මමනම් වැඩිය කථාවට නාවෙ, ඉතිහාසය හා ජාතිවාදය යන මාතෘකා ගැන මගේ වැඩි උනන්දුවක් වගේම දැනීමකුත් නැති හින්දයි.
    දන්න දේවල් ගැන මිසක් නොදන්න දේ ගැන මොනවා කථා කරන්නද?

    අළුත් ලිපියක් එනතුරු බලා ඉන්නවා.
    දැන දැන් සී නිව්ස් එකේ පොහොය ලිපියට පලවන අදහස් මහා විප්‍රකාර වෙලා, කෙනෙක් ධර්ම කරුනක් ගැන කීවාම පිළිතුරු නොදී අපහාස කරන්නන් බෝ වෙලා. එතැන තව දුරටත් සාකච්චාවක් නැහැ. ජෝසප් මේ ගැන එකඟ ඇති.
    අපේ කණිෂ්ක සහෝදරයා කාර්‍ය භහුලත්වය තුල හිඳිමින් හෝ මෙය පවත්වාගෙන යාම ගැන සතුටුයි.
    අළුත් ලිපියක් හා සාකච්චා කල හැකි යමක් ලැබේවියැයි බලා ඉන්නවා.

    ReplyDelete
  5. සිතුවිළිJanuary 30, 2014 at 6:45 PM

    කථා 32 දින 15ක් කිසිදු යාවත්කාලීන වීමකින් තොරව ගත කර ඇත.
    ඒ කුමක් නිසාද?
    කථා 32ට මෙහෙම කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. http://seneviruwan.blogspot.com හිතවත් සිතුවිළි, ජෝසෙප්, කණිෂ්ක වෙලාවක් ඇත්නම් ගිහින් බලන්න.

      Delete
    2. Nishantha,

      මතුගම සෙනෙවිරුවන් මහතාගේ ලිපි සංග්‍රහය වෙත පිවිසුණා. මේ බැඳිය අප හා බෙදා ගත්තාට ඔබට පින්.

      Delete
  6. මිතුරනි, අප දෙතිස් කතා නොසළකා හැරියානම් නොවේ. ඔබලා අතර කිසියම් සාකච්ඡාවක් ඇති වේ යැයි නිහඬව බලා සිටියා පමණි.

    මිතුරු ජොසෙෆ් ඔහුගේ ප්‍රතිචාරයෙන් ඉඟි කළ'යුරු සාකච්ඡාවකට ප්‍රස්තුත කර ගත හැකි ඉතා වටිනා යැයි අප විසින් සැළකෙන කරුණු සංගෘහිත කරගෙන ඉහත ලිපිය ලිවීමි. එය මැදට නැවත පැන ඔබලා, එනම් පාඨක සමූහයා, අතර ඇති විය හැකි සාකච්ඡාක් දියාරු කිරීම අපේ අභිප්‍රාය නොවීය. අපට කිව යුතුව ඇති දේ ඉතා වෙහෙස මහන්සියෙන් කියා ඇති නිසා ඒ කරුණු පුන පුනා කීමේ අවශ්‍යතාවයක් ද නොවීය. අපේ නිහඬතාවයට හේතුව එයයි.

    ජොසෙෆ් පෙන්වා දෙන කරුණු දෙක, එනම් පරයින් විසින් ලංකා ඉතිහාසය ග්‍රහණයට ගැනීම සහ සිංහල ලෙස පෙනී සිටින කඳ පණුවන් විසින් ඉතිහාසය ආහාරයට ගැනීම ගැන කතා බහක් ඇති කිරීමට අපට අවශ්‍යතාවයක් තිබුණු බව පිළිගත යුතුයි. ඒ සමගම අප විසින් ඉදිරිපත් කළ නවමු අදහසක් මේ ලිපියේ වෙයි.

    * "ලංකාද්වීපයේ වර්තමාන ඉතිහාස කතාව ඇරඹෙන්නේ දුරුතු මාසයෙනි."
    * "අවුරුද්ද සැමරීම උදෙසා වෙනත් දිනයක් යෝජනා කෙරෙත්නම් ඊට සුදුසුම දිනය සිංහල දුරුත්ත (දුරුතු මස) ආරම්භ වන දිනය වන දුරුතු පුර පෑළවිය නම් තිථිය වේ. නොඑසේ වී නම් ඊට සුදුසු අනෙක් දිනය සම්මාසම්බුදුරදුන් විසින් ලක්දිව මිනිස් වාසයක් බවට පත් කිරීම පිණිස මෙරට වැඩම කර සම්බුද්ධ පාදස්පර්ශයෙන් පරිශුද්ධ පූජාභූමියක් බවට පත් කළා වූ දුරුතු පුර පසළොස්වක දිනය වේ."

    ඉහත අදහස ඔබලාගේ අවධානයට ලක් වීමත් බලාපොරොත්තු වීමි. එය අප විසින්ම (මේ දැන් කළ අයුරින්) නුසුදුසුයැයි සිතීමත් නිහඬව සිටීමට හේතුවකි.

    දෙතිස් කතා පරිශීලනය කරන මිතුරෝ අප කෙරේ සමාව භජනය කරත්වා !

    ReplyDelete
    Replies
    1. සිතුවිළිFebruary 1, 2014 at 5:11 AM

      මිතුර කණිෂ්ක,
      ඔබ සමාව යැදීමට වරදක් සිදු කොට නැත, (මාගේ දැක්ම අනුව )
      ඔබගේ අරමුණ පැහැදිලියි. ජෝසප් විසින් මෙහිදී හා සී නිව්ස් අඩවියේදි වර්නණා කරන ලද හා සී නිව්ස් හට උපුටා පල කිරීමට නිර්දේශ කරන ලද ඔබගේ ලිපිය සාකච්චාවට නොගැනීමෙන් අවතක්සේරුවකට ලක් නොකළෙමි.
      මෙවන් ලිපි කියවීමේදී මා ස්වභාවයෙන්ම කිපෙන සුළු බැවින් එහි එන ඇතැම් සියුම් තැන් ග්‍රහණය කර නොගනිමි. එම නිසාම එවන් මාතෘකා ගැන සාකච්චාවට අකැමැත්තෙමි. ඒ හැර අන් දොසක් නොවෙයි.
      කෙසේ වෙතත් කථා 32 කියවන අනෙක් පාඨක සමූහයා මේ ගැන හරවත් සාකච්ඡාවක් ගොඩනගනවානම් මැනැවැයි මාද එකඟ වෙමි.
      ඔබගේ අගනා ලිපිය ගැන මාද ඔබ පසසමි.

      Delete
    2. බලං ගියාම හැමෝම කොරල තියෙන්නේ හොර ගල් අහුලන එක.
      ආඬි හත් දෙනාගේ කැඳ හැළිය ගැන කතාව කවුරු හරි දන්නවද ?
      හික්...

      Delete
  7. ඊයේ අලුත් ලිපියක් පල වෙයි කියා බලාපොරොත්තු උනා.
    මේ ගිය වසරේ ජාතික දිනය ලිපිය
    >> http://katha32.blogspot.com/2013/02/independenceday2013.html
    ඔබ තුමා ජාතික දිනය ගනන් ගන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඊයේ ජාතික දිනය බව සැබෑවකි.
      ඒ දිනය ඉතා වැදගත් බවත් සැබෑවකි.
      ඒ නිදහස සමරමින් නිදහස් දිනයක් ගත කළ බැවින්ම ලිපියක් නොලියැවුණු බව ඊටත් වඩා සැබෑවකි.

      (ඇරඹු ලිපිය අවසන් කර නැත. අඩක් හෝ ඉක්මනින් පළ කරන්නම්)

      Delete
    2. '... අඩක් හෝ ඉක්මනින් ...'
      නිදහස් දිනය පසු වී සතියකට පසු පල කරනු ලබන නිදහස් ලිපිය ඇල්මැරුණු කිසි කමකට නැති ලිපියක් වීම නොවැලැක්විය හැක.
      එයිනුත් අඩක් පල කිරීමෙන් ඇති පලය කිම ?

      Delete
    3. Joseph, ඇත්ත!

      අද අන්තර්ජාල සම්බන්දතාවය සඳහා මුදල් ගෙව්වා. දෙතිස් කතාහි කතාවක් පල නොවී තිබීම අපටත් සතුටට කරුණක් නොවෙයි. මේ සති අන්තයේ මීළඟ ලිපිය බලාපොරොත්තු වන්න.

      සිතුවිළි නම් අප විසින් අඩක් ලියා පල නොකර තිබුණු ලිපි කිහිපය දකින්නට ඇති කියා සිතනවා.

      අප විසින් ලිපියක් පල නොකෙරෙන අවස්ථාවක ඒ ඉඩ හසර සිතුවිළි මිතුරා විසින් ප්‍රයෝජනයට ගත හැකිනම් අගෙයි. මිතුරු ජොසෙෆ්ටත් මේ ආරාධනය විවෘතයි.

      පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ...

      අප අද සිටියා හෙට සිටී කියා කිව නොහැකියි. දෙතිස්කතා පමණක් නොව ඕනෑම දෙයක් ඉදිරියට ගෙන යාමට පිරිසක් අවශ්‍යයි.

      Delete
    4. සිතුවිළිFebruary 11, 2014 at 3:09 PM

      මිතුර කණිෂ්ක,
      ලිහන්නට තිබෙන මල්ල ඔබා බැලීමෙහි සිරිතක් මා හට නැතැයි මා කලින් කීවා මතකය.
      ඔබගේ අඩක් ලියා ඇති ලිපි ගනනාවක් ඇති බව මා දැක ඇත්තෙමි. එහෙත් ඒවා කියවීමට උනන්දු නොවීමි.
      කෙසේ වෙතත් ඔබ මෙම බ්ලොගය පවත්වාගෙන යාම පිණිස කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට කරන ආරාධනය යහපත් යැයි සිතමි. එහෙත් මාගේ අදික කාර්‍ය භහුල තාවය මා හට වැට කඩොළු බැඳ ඇත.
      හැකි සෑම විටම යමක් ලිවීමටත් අඩුම තරමින් ප්‍රථිචාරයක් හෝ දැමීමටත් සැම විට උත්සහ දරමි.
      අපේ ජෝසප් සහෝදරයා ටිකක් ආඩම්බර නැතුව මෙතැනට මොනවා හරි වැදගත් යමක් ලියුවානම් මම හිතනවා අඩු පාඩුව මග හැරෙයි කියලා.
      ම්මත් හැකි උපරිම දායකත්වය දෙන්නම්.

      Delete
    5. ඔන්න කිව්වා කතාවක් !
      මම මුන්දැට ලිපි එවල තියෙනවා. ඒවා හමස් පෙට්ටියේ. අඩු ගානේ ඒ එකක්වත් පල කරන්න තිබුණා. හික් !
      මෙයාගේ ඉන්ටනෙට් කපලලු මෙච්චර කල්. ඒකයි පල කරන්න බැරි වෙලා තියෙන්නේ. පව් !!

      Delete
  8. අපේ රටේ අපේ ඉතිහාසය ගැන කතිකාවතක් ඇති කිරීමේ අරමුණින් ඉහත ලිපිය පල කළෙමි. එය අසාර්ථක වීම ගැන කණගාටුයි. එහෙත් උත්සාහය අත හැර නැත. වෙනම අවස්තාවක තවත් උත්සාහ දරන්නම්.

    ReplyDelete