Monday, May 19, 2014

මංමුලා වූ බටහිර දැනුම ! ප්‍රශ්න සහ පිළිතුරු



මංමුලා වූ බටහිර දැනුම ! ලිපියට ලැබුණු ප්‍රතිචාර අරභයා ලේඛකයාගේ පිළිතුරු මේ ලිපියේ සංග්‍රහ වේ.

මෙයට අදාළ මූලික ලිපිය මෙතැනින් කියැවිය හැකිය.

පෛතගරස් නිරූපනය කරන නූතන චිත්‍රයක්

පෛතගරස් පිළිබඳ සංවාදය


ප්‍රතිචාරය 1 - ජොසෙෆ් (මැයි 8 දින): ඇත්තම කියනවානම් පෛතගරස් ගැන මේ කියන කතාව මුළුමහත් ග්‍රීසියටම කල අපහාසයක් කොට සිතමි. භාරතීයයන්ට මෙන් ග්‍රීකයන්ට ද අනන්‍යතාවයක් හා අභිමානයක් හිමිය. සියල්ල එක මූලයකින් (දෙවියන් වහන්සේ) ඇරඹුනා යැයි සිතන මුග්ධ පණ්ඩිතයෙකුට පමණි මෙවැනි තකතීරු ගවේෂණයක් (අනාර්ය පර්යේෂණ) කිරීමට හිත හදා ගත හැක්කේ.
අප අත්දුටු අනර්ගම ගනයේ එහෙත් සුළු දෝෂ සහිත අදහස් දැක්වීම මෙය වේ. මෙහි දෝෂයක් ඇත්නම් ඒ "ඇත්තම කියනවානම් පෛතගරස් ගැන මේ කියන කතාව මුළුමහත් ග්‍රීසියටම කල අපහාසයක් කොට සිතමි." වැකියේ යෙදෙන "අපහාසයක් කොට සිතමි" යන කොටසේය. යමෙකුගේ අදහසක් ඍජුව විවේචනය කල යුතුනම් එය කල යුතුමය. නමුත් එහිදී පුද්ගලික මතය මත යැපීම අනුමත නොකරන්නෙමු. ඉන් නොනැවතී එම මතය නිවැරදි යයි ගෙන ඉදිරියට ගෙනයන තර්කය තමාගේ පණ්ඩිත බව හුවා දැක්වීමට විනා අන්‍යන්ගේ හිතසුව පිණිස වන්නක් විය හැකිද?

Wednesday, May 14, 2014

සිංහලයේ ආරම්භය



කෝට්ටේ යුගයේදී වීදාගම මාහිමියන් විසින් විරචිත බුදුගුණ අලංකාරය "අරහං" යන බුදු ගුණය මෙසේ විස්තර කරයි.
රහසත් පව් නොකොට
කෙලෙසරයනුත් දුරකොට
නිසි වූයෙන්පුදට
`අරහ` යැයි නම කියතිමුනිදුට
ස්වර්ණමාලි මහා චෛත්‍යය - අනුරාධපුරය
මුළුලෝවැසියන් විසින් කරණ ලද ආමිස පූජා-ප්‍රතිපත්ති පූජාවට සුදුසු හෙයින් ද, තමන් රහස ත් පව් නො කරණ හෙයින් ද, කෙලෙසුන් කෙරෙන් දුරුවූ හෙයින් ද, කෙලෙස් නමැති සතුරන් නැසූ හෙයින් ද, අවිජ්ජා-සංඛාර නමැති නාභි ඇති, ජරා මරණ නමැති නිම්වළලු ඇති, ආශ්‍රය සමුදය නමැති චක්‍රයාගේ කුශලාකුශලකර්ම නමැති අර බෝමැඩ දී ම සීල නමැති පොළොවෙහි, වීර්ය නමැති පයින් සිට ශ්‍රද්ධා නමැති හස්තයෙන් ගත්, කර්මක්‍ෂයකරඥාන නමැති ඵරසුවෙන් පලා, සුණුවිසුණුකොට මුලොච්ඡින්න කළ හෙයින් දැ යි යන මේ ආදී අර්ථයෙනුදු අර්හත් නම් වන ඒ මහා මුනීන්ද්‍රයන් වහන්සේ මහපොළෝ ගුගුරවා මාර පරාජය කොට සම්මා සම්බුද්ධත්වය සාක්‍ෂාත් කර ගත් වෙසඟ පාළොස්වක් පෝ දිනය අදට යෙදී තිබෙයි.

සකල ලෝක ධාතුවම මලින් පිරී ගඳින් පැතිරී දහම් එළියෙන් ඒකාලෝක වී බබළන ගගන තලයම සාදු නාදයෙන් ගිගුම් දෙන මේ වෙසක් පෝ දිනයේ වැදගත් කම සිහි කර ගනිමු.

Monday, May 5, 2014

හෙල්මට් ගලවමුද...



කොල්ලකරුවෙක්ද, ගනුදෙනුකරුවෙක්ද 
පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා කලින් කලට විවිධ දේ කියයි. මීට මාස කීපයකට පෙර ගෑණුන්ගේ මාල කැඩීම් හා බැංකු කොල්ලකෑම් සිදු වන්නේ පූර්ණ ශීර්ෂාවරණ හේතුවෙන් යැයි නවතම විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සොයා ගත් ශ්‍රී ලංකා පොලීසියේ පඬි වරු අපි ෆුල් ෆේස් හෙල්මට් තහනම් කර ශ්‍රී ලංකාව මේ ව්‍යසනයෙන් ගලවා ගම්හ යි ඉහත නම් සඳහන් අහිංසක මහත්මයා ලවා කියැවූහ. දින කීපයක් ඇවෑමෙන් ඒ තීරණය හකුලා ගැනුණේ ජනමාධ්‍ය තුලින් පැන නැගුනු අතිමහත් ජනතා විරෝධය හේතුවෙන්ද නැතහොත් නීති පැනවීමේ බලය ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියට නොව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට බව සිහි වීමෙන්ද යන ප්‍රශ්නයට පිළිතුරක් නැත. ඒ විලි ලැජ්ජාව වසා ගැනීමට දෝ අනතුරුව මේ පඬිවරු අත ගැසුවේ හෙඩ් ලයිට් යන නමින් හඳුන්වන ප්‍රධාන ලාම්පුව වෙතටයි. ප්‍රධාන ලාම්පු දැල්වීමේ ඊනියා නීතිය බලාත්මක කළ දා බොහෝ දෙනෙක් මෙය පිළිපැද්දද දැන් දැන් මේ විකාරය කරන කෙනෙක් නැත.

ප්‍රධාන ලාම්පු දැල්වීම ගැන කතා කිරීම මදකට කල් තබා මහදැනමුත්තා සිහි ගන්වන තීන්දුවක් සේ පෙනෙන හෙල්මට් නීතිය ගැන කතා කරමු.

මහදැනමුත්තා මුට්ටිය බේරා ගත් හැටි

පිපාසයෙන් එහේ මෙහේ ඇවිද ගිය එළුවෙක් මුට්ටියක අඩියේ තිබූ දිය ස්වල්පයක් දැක එය බීමට හිස මුට්ටියට දැමූ විට අං දෙක හේතුවෙන් එළු හිස මුට්ටියේ හිර විය. හිස පිටතට ගැනීමට අපෝසත් වූ අසරණ එළුවා බෑ බෑ ... කියමින් ඇවිදියි. එළුවාට බැරි බව එයින් දැන ගත් ගමයා මහදැනමුත්තාට පණිවිඩය යැවුවේ එළුවාත් මුට්ටියත් දෙකම බේරා ගැනීමටයි.

Monday, April 28, 2014

මංමුලා වූ බටහිර දැනුම !



ලිපි කෙටි කරන ලෙස ඉල්ලීම් බොහෝ බැවින් අප හැකිතාක් කෙටියෙන් විමසීමක් කිරීමට උත්සහ කරමු. මෙහි බාහිර සබැදි නොකියවා නියම ලෙස අපගේ අදහස් ඔබට ග්‍රහණය වනු ඇතැයි නොසිතමි.

බටහිර යම්කිසි සැලකිය හැකි දැනුමක් නිර්මාණය වන්නේ පයිතගරස්‌ නම් ග්‍රීක දාර්ශනිකයාගෙන් පසුවය. නමුත් අපට හමුවූ කරුණු අනුව ඔහුද පෙරදිග දැනුමේ අභාසය ලද, වඩාත් නිවැරදිව පවසන්නේ නම් අප මහා බුදුරජාණන් වහන්සේගේ සරණ ගිය මහ රහතන් වහන්සේ නමක් බවය!. පයිතගරස්‌ගේ චින්තනය ලෙස හැදින්වෙන මෙම ඉගැන්වීම්, යම් හේතුවක් හෝ හේතූන් නිසා ගණිත දැනුම තුලට බුදුදහම ඇතුල්කොට කරන ලද ඉගැන්වීම් බවද අපට දැඩි වෙහෙසකින් තොරව පැහැදිලි කල හැකිය. ඉන්පසුව ක්‍රමයෙන් දියුණුවක් ලබමින් පැමිණ ඇති මෙම චින්තනය, ඉන්දියාවේදී මෙන්ම, පසුව ඇතිවූ මුස්ලිම් ආක්‍රමණයකින් අග මුල අහිමි වන තරමටම විනාස කර ඇති බවක් පෙනේ.

Tuesday, April 22, 2014

හඳුනා ගත්තොත් ඔබ මා



දෙතිස් කතා කියවන සියලු සහෘදයන්ට අලුත් අවුරුද්දේ අලුත් ආරංචියක් කියන්නයි මේ සූදානම. මේ ගෙවෙන්නේ දෙතිස් කතා අඩවියේ දෙවෙනි වසර. මෙතෙක් දෙතිස් කතා හි පල කෙරී ඇති සියලු ලිපි රචකයන් තිදෙනෙකුගේ.

ඒ තිදෙනා අතරට තවත් අලුත් රචකයක් එක් වන පුවත තමයි මේ අලුත් අවුරුද්දේ දෙතිස් කතා ඔබ හා බෙදා හදා ගන්නා නවතම ආරංචිය.

මේ අලුත් රචකයා දෙතිස් කතා කියවන සහෘදයන්ට නම් අලුත් කෙනෙක් නෙවෙයි. පසුගිය වසරක පමණ කාලයක පටන් අප හා එක්ව අදහස් බෙදා හදා ගත් දෙතිස් කතා ආදරයෙන් වැළඳගත් අප හා සංවාදයේ යෙදුණු ඒ වගේම තමන්ගේම බ්ලොග් අඩවියක් පවත්වාගෙන යමින් තමන්ගේ වටිනා අදහස් ලෝකයා වෙත බෙදා දුන්, ඒ නිසාම දෙතිස් කතා නොකියවන පාඨකයින් අතර පවා දන්නා හඳුනන කෙනෙක් තමයි ඔහු.

Saturday, April 12, 2014

අලුත් අවුරුදු චාරිත්‍ර



සිංහල අපේ අවුරුද්ද පිලිබඳ සාරවත් ලිපියක් පසුගිය වසරේ පල කෙරිණ. එහි අන්තර්ගතය අදටත් වලංගුයි. එබැවින් අවුරුද්ද ගැන වැඩිදුර සාකච්චාවට නොගෙන නැකත් විධි හා චාරිත්‍ර යෙදී ඇති වේලාවන් පමණක් දක්වමු.

අලුත් අවුරුදු චාරිත්‍ර

එළඹෙන අලුත් අවුරුද්ද සඳහා නැකත් වේලාවන් පහත දැක්වෙන පරිදි වේ.

නව සඳ බැලීම

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අප්‍රේල් මස 4 වන සිකුරාදා දිනද, අභිනව සූර්යය වර්ෂය සඳහා මැයි මස 1 වන බ්‍රහස්පතින්දා දිනද, නව සඳ බැලීම මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්‌නානය

අප්‍රේල් මස 12 වැනි සෙනසුරාදා දින නුගපත් යුෂ මිශ්‍ර නානු ගා ස්‌නානය කොට ඉෂ්ට දේවතා අනුස්‌මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 7.37 ට අලුත් වුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 1:13 (හෙවත් ඉරිදා මධ්‍යම රාත්‍රියේ) සිට අප්‍රේල් 14 වැනි සඳුදා අපරභාග 02:01 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 14 වැනි සඳුදා පූර්ව භාග 01.13 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීමද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් පූර්ව භාග 07:37 සිට අපර භාග 02:01 දක්‌වා පහත දැක්‌වෙන අයුරු වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම ද මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 10:17 ට සුදු පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොලවා, දී කිරි සහ උක්‌ හකුරු මිශ්‍ර කිරිබතක්‌ ද, කැවිලි වර්ගයක්‌ ද, පිළියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 සඳුදා පූර්ව භාග 11.05 ට සුදු වස්‌ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගෙනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම

අප්‍රේල් මස 16 වැනි බදාදා දින පූර්වභාග 11:16 ට කොළ පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී දකුණ දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත්ද තබා තෙල් සහ කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්‌නානය කිරීම මැනවි.

රැකී රක්‍ෂා සඳහා පිටත්ව යැම

අප්‍රේල් මස 17 වැනි බ්‍රහස්‌පතින්දා පූර්ව භාග 06:16 ට රන් වන් පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී තල මිශ්‍ර කිරිබත් සහ හකුරු අනුභව කර බටහිර දිශාව බලා රැකී රක්‍ෂා සඳහා පිටත්වීම මැනවි.

සැ.යු.:- ඉහත සියලු නැකැත් වේලාවන් පිළියෙල කර ඇත්තේ ශ්‍රී ලංකා සම්මත ඔරලෝසු වේලාවට අනුව සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සිංහල අලුත් අවුරුදු නැකැත් කමිටුව විසිනි.


Monday, March 31, 2014

සැළසුම් සහගත යල්පැන්නවීම



Poster Image of the documentary film The Light Bulb Conspiracy (2010)
විදුලි බුබුලේ කුමන්ත්‍රණය...
කසල ආර්ථිකය ගැන අප හදිසියෙන් ලියූ ලිපිය බොහෝ විවාදයන්ට බඳුන් විය. ඊට හේතුව නම් එහි වූ කරුණු වල අපැහැදිලි බවයි. කසල ආර්ථිකය යන වචනය වෙන තැනක නො-යෙදෙන බව මිතුරු ජෝසෙෆ් විසින් පෙන්වා දෙන තුරු ඒ බව අපට පසක් නොවීය. මේ ලිපිය පසුගිය ලිපියේ අපැහැදිලි තැන් පැහැදිළි කර ගැනීමට දරන උත්සාහයක් සේම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ලෙස විශේෂකරණය කිරීමකින් තොරව පොදුවේ අපද්‍රව්‍ය ගැන කතා කිරීමට ගන්නා ආරම්භයකි.

"සැළසුම් සහගත යල්පැන්නවීම" යනු අද හඳුන්වා දෙන වචනයකි. කසල ආර්ථිකය යන්න අපේම වචනයක් වන මුත් සැළසුම් සහගත යල්පැන්නවීම, Planned Obsolescence යන ඉංගිරිසි වචනයට අප තනා ගත් සෘජු පරිවර්තනය වේ. ඊට ගැළපෙන වෙනත් පාරිභාෂික වචනයක් ඇතොත් අප දැනුවත් කෙරෙත්වා.

Wednesday, March 12, 2014

කසල ආර්ථිකය



මාර්තු මාසයේ දී ශ්‍රී ලාංකික අප සංවේගයෙන් සමරණ සිද්ධිය නම් දෙදහස් වසකට වඩා පැරණි නිදහස් අභිමානවත් ජාතියක් වූ සිංහලයා හිරු නොබසින අධිරාජ්‍යය නම් ලත් තක්කඩි රාජ්‍යයක ආධිපත්‍යයට හසු වීමයි. එක්සත් රාජධානිය ලෙස නම් කර ගත් නමට සමුහාණ්ඩුවක් සාදාගෙන වේල්සය, ස්කොට්ලන්තය හා අයර්ලන්තය යන රටවල් අදටත් පාගාගෙන සිටින එංගලන්තය නම් මේ තක්කඩි රාජ්‍යයයේ ග්‍රහණයට අසු වීමෙන් අප ලත් කරදර අපමණය. එංගලන්තය ඇතුළු ඊනියා 'සිවිලයිස්' රටවල් ගැන්සිය අදටත් අප යුධ අපරාධ නම් මස් කොක්කේ එල්ලීම පිණිස භාවිතා කරන කල්ලතෝනි (diaspora) ප්‍රශ්නය එකක් පමණි.

කසල සහ ආර්ථිකය


ඉංගිරිසින්ට යටත් වීමට පෙර සිංහල අපට අපද්‍රව්‍ය කියා කළමනාකරණය කළ යුතු දෙයක් නොතිබුණේ ඊනියා කළමනාකරණය සිංහලයින් නොදැන සිටි නිසා නොවේ. ලෝකයේ විශිෂ්ඨතම ජල කළමනාකරණ ක්‍රමයක් උපදවා ගත් පැරණි සිංහලයින්ට අපද්‍රව්‍ය කළමනාකරණය අවශ්‍ය නොවුණේ ඔවුන් අපද්‍රව්‍ය නො-නිපදවූ බැවිණි.

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !