Wednesday, April 1, 2020

ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා

මේ මොහොත වන විට මුළු දිවයිනටම ඇඳිරි නීතිය බල පැවැත්වෙන අතර ගම් ප්‍රදේශ දෙකක් සම්පූර්ණයෙන් වසා දමා නිදහස් ගමනාගමනය නවතා ඇත. ලංකාවේ දෙවන රෝගියා මළවුන් අතරට ගිය අතර ඒ මෘත කලේබරය රජයේ වියදමින් ආදාහණය කළ ආකාරය සම්බන්දයෙන් ජාතිවාදී මරක්කල දේශපාලනඥයන් සහ තවත් පිරිස් විසින් විවේචන එල්ල කෙරේ. ප්‍රස්තුත මරණකාරයා මරාගෙන මැරෙන මෙහෙයුමක සිටි බවයි ඊට පෙර සැළ වූයේ.



ඇඳිරි නීතිය යටතේ ජිවත් වීම අපේ පරම්පරාවේ උදවියට සහ අපේ වැඩිහිටියන්ට එතරම් අරුමයක් නොවේ. මෙයින් සමහරු තුන්ඩු කෑල්ලේ ඇඳිරි නීතියටත් යටත්ව විසුවෝ ය. එදා ඒ ඇඳිරි නීතිය පැනවූ උදවිය මෙදා මේ ඇඳිරි නීතිය විවේචනය කිරීමයි ලොකුම හාස්‍යය.

නරක වෙලාවට මෝල් ගහත් පත්තු වෙනවාය කියා සිංහල කියමනක් තිබේ. ඒ අයුරින්ම වෙලාව හොඳ නම් ගඟේ මූදේ දැමුවත් අනතුරක් වන්නේ නැත. නිදහසින් පසු ලංකාව රාජ්‍යයක් වශයෙන් මුහුණ දුන් දරුණුම ව්‍යසනය 19 වන ව්‍යවස්ථා සංශෝධනය නමින් පසුගිය යහපාලන ආණ්ඩුව විසින් කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණය යි. එහි කිසි හොඳක් අප මේ වන තුරු දුටුවේ නැත. මොන මොන ව්‍යසන ආවත් කවුරු මොන කුමන්ත්‍රණ කළත් මේ ලංකාද්වීපයට සම්‍යග්දෘෂ්ඨික දෙවි දේවතාවුන්ගේ බැල්ම වැටී තිබේ. ඒ හේතුවෙන් සමහර ව්‍යසන රටේ යහපත වෙනුවෙනුත් කැරකේ. මේ එවැනි අවස්ථාවකි.


19 වන සංශෝධනය නොවිණි නම් පසුගිය වසරේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නැත - එසේනම් තවමත් ජනාධිපති සිරිසේනමය. වික්‍රමසිංහ අගමැති වන සෞඛ්‍ය ඇමති ධුරය සේනාරත්න විසින් දැරෙන ආණ්ඩුවක් යටතේ තට්ට සේනානායක යුධ හමුදාපති ධුරයත් සින්නයියා නාවුක හමුදාපති ධුරයත් දරද්දී පිරිමි මිසී මහතා විසින් සෞඛ්‍ය සේවයේ ප්‍රතිපත්ති තීරණය කරන විටෙක නව කොරෝනා වෛරසය ලංකාව ආක්‍රමණය කළේ නම් ජනතාවට අබ සරණය - සදා ලෝක පූජිත සුවපති නාමධාරී නැව්පති සේනාරත්න තව නැව් දුසිමක් මිලදී ගන්නවා ඇත.




ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා


ඉහත මාතෘකාව දමා ලිපිය ලිවීමට ආරම්භ කරන විට පාසැල් වසා දමා තිබුණේ නැත. රටේ කිසි තැනෙක ඇඳිරි නීතියක් පනවා තිබුණේ ද නැත. නමුත් පසුව තත්වය වෙනස් වූ හෙයින් මාතෘකාව එසේම තිබියදී ලිපිය බොහෝ සෙයින් වෙනස් කිරීමට සිදු විය. ආපදා අවස්ථාවක ඕනෑ නැති බක පණ්ඩිත කම් කියන්නට යාම නුණුවන කමෙකි. එසේ හෙයින් ලිපිය කල් දැමීමි.

වර්තමානයේ රට සුරක්‍ෂිත දෑතක භාරකාරත්වයේ පවතී. රට ගැන සිතන, රටේ ජනතාව ගැන සිතන පුද්ගලයෙක් ජනාධිපති ධුරය දරමින් සිටියි. මෙවැනි අවස්ථාවක වගකීම කරට ගත හැකි ආරක්‍ෂක හමුදාවක් සහ හමුදාපති වරයෙක් අපට සිටියි. අපේ රටේ සෞඛ්‍ය සේවය මෙවැනි අභියෝගයක් කළමනාකරණය කර ගත නොහැකි මට්ටමට සිරිසේන ජනාධිපති යටතේ වත්, චන්ද්‍රිකා ජනාධිපතිනිය යටතේවත් වැටුණේ නැත. වර්තමානය ගැන කවර කතාද ?

ජනාධිපති රාජපක්‍ෂ සහ ඔහුගේ කණ්ඩායම අභියෝග හඹා ගොස් ජය ගැනීමට කැමති පිරිසක් බව ඔවුහු මේ වන විට ක්‍රියාවෙන් ඔප්පු කර ඇත්තාහ. නන්දසේන වෙනුවට මේ ලියන අප ඔය ජනාධිපති පුටුවේ සිටියේ නම් රටටම ඇඳිරි නීතිය දමා ආර්ථිකය එක තැන නවත්වා රටේම මිනිසුන් ගෙවල් තුලට ගාල් කර මිලියන බාගයක් පමණ වන රටේ ආරක්‍ෂක අංශ යොදවා පුඤ්චි වෛරසයක් සොයන මෙහෙයුමක් කිසි දා අරඹන්නේ නැත. අප පසෙක දමන්න, පසුගිය වසරේ ජනාධිපති වෙන්නට බලා සිටි පුතාණෝ ඔය ජනාධිපති පුටුවේ සිටියේ නම් කුමක් කරන්නට ඉඩ තිබිණිද ?

චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වුහාන් නගරයේ වෛරසය පැතිරී යමින් එය ලෝක අවධානය දිනා ගත් සමයට වඩා අද ලෝකය මේ වෛරසය ගැන දන්නේ යැයි කියැවෙයි. එහෙත් පෞද්ගලිකව අපට නම් විශේෂ කොට සැළකිය යුතු දැනුමක් අළුතින් ලැබී නැත. වෛරස් යැයි බටහිර වෛද්‍ය විද්‍යාත්මකව හඳුනා ගන්නා ජීවී විශේෂ (මෙය ජිවීද අජීවී ද යන්න ගැනත් විවාද පවතී) හේතු කොටගෙන පැතිරී යන රෝග කලින් කල ලොව පහල වේ. මේවා අපේ ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ දෙයියන්නේ ලෙඩ නමිනි. ඉහත මාතෘකාවෙන් අප ලියන්නට ගත් ලිපිය පල නොකරම අත් හිටවන්නට යෙදුණේ ආචාර්‍ය නලින් ද සිල්වා විසින් අපට වඩා හොඳ ලිපියක් ඒ සම්බන්ධයෙන් ලියා පල කළ හේතුවෙනි.

එතුමෝ මෙසේ කියති.

නිරෝධායනය ප්‍රතිකාරයක් නොවෙයි. මොන විධියට බැලුවත් ඒක වෙන් කිරීමක්. රෝගීන් සම්බන්ධයෙන් එක් විධියකටත් රෝගය ගැන සැකකරන්නන් සම්බන්ධයෙන් තවත් විධියකටත් ක්‍රියාත්මක වෙනවා. වෛරස් රෝගවලට ප්‍රතිකාර නැහැ.

අපේ පැරුන්නන් ඒවාට කිව්වෙ දෙයියන්නෙ ලෙඩ කියලා. ඒ දෙවියන් බෝ කරන ලෙඩ නිසා නොවෙයි. අවශ්‍ය වන්නේ යහපත් පැවැත්ම නිසා. කරන්න තියෙන්නෙ ඔරොත්තු දීමේ හැකියාව වැඩි කර ගන්න එක පමණයි. ඒ සඳහා උපදෙස් ලබා ගැනීමට සිංහල වෙදමහතකු හමුවන්න. එහෙමත් නැත්නම් ගෙදර ආච්චිලා සීයලා ඉන්නවා නම් ඔවුන්ගෙන් අහන්න.


එය මීට වඩා කෙටියෙන් පරිපූර්ණව කීමේ හැකියාවක් අපට නැත.



වෛරසය සහ ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව


කොරෝනා වෛරසය සම්බන්ධව රට පෙරලා දමා කටයුතු කිරීමේ උවමනාවක් අප එදා දුටුවේ නැත. අද දකින්නේද නැත. පුද්ගලයෙක් වශයෙන් ගතහොත් මසක් හෝ ඊට මදක් වැඩි කාලයක දරා ගැනීමේ හැකියාවක් අප සතුය. එහෙත් එවැන්නක් ඇත්තේ රටේ කීයෙන් කී දෙනාටද? හොඳයි, ඒ මාසය ඉක්ම ගිය පසු කරන්නේ කුමක්ද ?

රටේ සියළු දෙනා රජයේ වැටුප් ලබන සේවකයන් නොවේ. පෞද්ගලික අංශය වශයෙන් ගත් කල මෙවැනි දරා ගැනීමේ හැකියාවක් තිබෙන සමාගම් ලංකාවේ ඇත්තේ කවර ප්‍රතිශතයකින් ද ? අප සේවය කරන ආයතනය තොරතුරු තාක්‍ෂණය හා සම්බන්ධ එකක් නිසා සාමාන්‍ය කටයුතු බොහෝ දුරට දුරස්ථ උපක්‍රම භාවිතයෙන් කර ගනී. නමුත් බොහෝ දෙනා, ආයතන හිමිකරුවන් පවා, මෙහි ඇති අනතුර දකින්නේ නැත. සේවකයන් ගෙදරට වී වැඩ කරනු යනු ආයතනය විසින් බාහිර ජාලයට සාමාන්‍යයෙන් විවෘත නොකරන සේවා ඊට විවෘත කිරීමයි. මෙවැනි හදිසි අවස්ථාවක නිසි ආරක්‍ෂක පිළිවෙත් අනුගමනය කිරීමට සෑම ආයතනයකටම ඉඩ ලැබෙන්නේ නැත.

ලංකාවේ වැඩිමනක් පෞද්ගලික ආයතන මේ වන විට වසා දමා තිබේ. ලිපි ද්‍රව්‍ය කර්මාන්ත ක්‍ෂේත්‍රයේ කටයුතු කරන අපගේ ඥාති සහෝදරයෙක් "මේ සැරේ අවුරුදු නෑ අයියේ" යි අපට පැවසූයේ ඇඳිරි නීතිය දැමීමට පෙර පාසල් නිවාඩු දුන් අවස්ථාවේ ය. ඒ පෞද්ගලික ආයතන වලට සේවකයින්ට වැටුප් ගෙවා නඩත්තු කිරීමේ හැකියාවක් තිබේද ? පෞද්ගලික ආයතන වල සේවය ස්ථිර නොකළ සේවකයින් මේ ඇඳිරි නීතියේ පළමු ගොදුරු බවට පත් වනු ඇත. ස්වයං රැකියා වල නිරත වූවන් (කුලී රථ රියැදුරන් සහ හිමිකරුවන්, ත්‍රිරෝද මල්ලිලා, ගරාජ්, සැලුන්, යකඩ වැඩ, වඩු වැඩ, මේසන් වැඩ කළ අය, එදිනෙදා වෙළෙඳාම් කළ අයවලුන්) ක්‍ෂණික ගොදුර (0th) මිස පළමු ගොදුර ලෙස මෙහිදී නොසැළකේ.



කොරෝනා හැර වෙනත් රෝග තිබේද ?


කොරෝනා යනු වෛරස වර්ගයක් හඳුනා ගැනීමට භාවිත වන නාමයකි. පසුගිය වර්ෂයේ අග භාගයේ චීනයෙන් පැතිරී යාම ඇරඹුණු වෛරසය වෙසෙසින් හඳුනා ගැනීමට දුන් නාමය CoViD-19 නමි. මෙයින් හට ගන්නා රෝගයේ ලක්‍ෂණ කැස්ස සහ උණ ගතිය වේ. අසාධ්‍ය අවස්ථාවේ හුස්ම ගැනීමේ අපහසුව ඇති වී මරණය පවා සිදු විය හැක. හොඳයි, මරණය සිදු නොවුණොත් මේ රෝගය දින 14 - 21 අතර කාලයක් තුල විශේෂ ඖෂධයක් නැතුවත් සුව වේ. හුදී ජනයා වන අප රෝගය දැන ගත යුත්තේ ඔය ටික පමණි. මේ වෛරසය ආසාදනය වී සුව වුවන්ට බොහෝ විට මේ රෝගය නැවත ආසාදනය වනු ද නැත.

මේ වෛරසය ආසාදනය වූවන්ගෙන් කවර ප්‍රතිශතයක් අසාධ්‍ය තත්වයට (එනම් වෛද්‍ය සුපරීක්‍ෂණය අවශ්‍ය තත්වයට) පත් වන්නේද යන්න රටක් වශයෙන් සළකා බැලිය යුතු කාරණයයි. එසේ නොවන ආසාදිතයන් කෙරේ පිළිපැදිය යුතු වත් පිළිවෙත් අපේ සම්ප්‍රදාය තුල තිබේ. දැන් දැන් අවධාරණය කෙරෙන නිතර "සබන් දමා" අත් සේදීමත් මුහුණු ආවරණ (බුර්කා?) පැළඳීමත් එකතු කර ගත් කළ මහජනතාව විසින්ම රාජ්‍ය මැදිහත් වීමකින් තොරව මෙය පාලනය කර ගත හැකි තත්වයක් බවයි අපගේ අදහස.

පසුගිය දෙසැම්බර-ජනවාරි කාලයේ කැස්ස සහ උණ රෝග ලක්‍ෂණ වන වසංගතයක් ලංකාව පුරාම පැතිරී ගිය බව ලංකාවේ සෞඛ්‍ය අංශ වල නිරීක්‍ෂණයට ලක් වූයේ නැත්ද ? අප සේවා ස්ථානයේත් ඒ මාස දෙක තුල සමහරුන්ට සික් ලිව් දමා දින කීපයක් ගෙදර ඉන්නැයි අපත් උපදෙස් දී තිබේ. ඒ වසංගතය සෑම පළාතකම පාහේ පැතිරී තිබුණු බව ස්ථිරවම කිව හැක්කේ වයඹ පළාතේ වෙසෙන අප ඥාතියෙක් තමන්ගේ දරුවන්ට උණ සහ කැස්ස ඇති බැවින් දෙසැම්බර මාසයේ නොඑන ලෙස අප දැනුවත් කළ නිසාත් ඒ එළියෙන් වෙනත් පළාත් වල වෙසෙන ඥාති හිත මිතුරන් අමතා සොයා බැළූ කළ ඒ පෙදෙස් වලත් මෙවැනි ලක්‍ෂණ ඇති රෝගයක් තිබෙන බව දැනුම් දුන් නිසාත් ය. අන්න පාරම්පරික නිරෝධායනය.

වයඹ පළාතේ නොගියත් අපේ කුඩා දරුවා කැස්ස හදාගෙන ගෙදර ආවේය, ඒ කැස්ස සති දෙකක් තිබුණු අතර දින කිහිපයක් පාසල් පාඩු විය. කැස්ස අපටත් බෝ වූ නමුත් ඒ දරුවාගෙන් ද නැතිනම් සේවා ස්ථානයෙන් ද යනු කිව නොහැක. අප ප්‍රතිකාර වශයෙන් කළේ දුම් ඇල්ලීමත්, ඉඟුරු-කොත්තමල්ලි ඈ බෙහෙත් තම්බා බීමත්, උණ ගතිය ඇති විට විවේක ගැනීමත් පමණි. ඒ කොරෝනා නොවන බවට ඇති සහතිකය කුමක්ද ? ඒ පැතිරී ගිය වසංගතය ගැන කිසි මාධ්‍යයක සංවාදයට ලක් වනු දුටුවේ නැත. අඩු තරමින් fb පොස්ටුවක් වත් whatsapp සංවාද කව හරහා පැමිණියේ නැත.



තුන් බිය ගෙනෙන ආර්ථික ඝාතකයෝ


වෛරස් රෝගයක් පැතිරී යා නම් එහි අසාධ්‍ය වීමේ අනුපාතය සහ මරණ අනුපාතය ඉතා අඩුනම් ආණ්ඩුව මේ තරම් කලබල විය යුතු නැතැයි සිතමි. රෝගය පැතිරීමේ මුල් අවදියේ කිසිවෙකුට ප්‍රතිශක්තියක් නැති බැවින් වේගයෙන් එය පැතිරී යයි. ලතින් ඇමරිකාවේ ස්වදේශිකයන් අතර මිෂනාරී රෝග පැතිරී ගිය අයුරිණි. අසාධ්‍ය වීම අඩුනම් මරණ අනුපාතය අඩුනම් රජයේ රෝහල් එය බරක් කර ගත යුතු නැති අතර ප්‍රතිකාරය සාම්රදායික දැනුමට බාර දී රෝගියා ගෙදර යැවිය හැකිය. අසාධ්‍ය රෝගීන් පමණක් රෝහලේ තබා ගත යුතුය. ආණ්ඩුව කරන මේ අනිවාර්‍ය නිරෝධායනය මගින් රෝගය පැතිරී යාම තාවකාලිකව පාලනය කළත් ඉඩ ලැබුණු වහාම එය නැවත පැතිරෙනු ඇත. කළ යුතුව ඇත්තේ ඊට පැතිරීමට මෘදු බාදාවන් පමණක් යොදා වැඩි සෙනගක් තුල ප්‍රතිශක්තිකරණයක් ඇති වීමට ඉඩ සැලැස්වීමයි. එවිට යම් අවස්ථාවක වෛරසය පැතිරීම ස්වාභාවිකව නතර වනු ඇත.

මෙහිදී මෘදු බාදවන් යනු අසාධ්‍ය නොවන ආසාදිතයන් සඳහා දෙවියන්ගේ ලෙඩ සම්බන්ද වත් පිළිවෙත් ඇතුළු සාම්ප්‍රදායික දැනුම යොදා ගැනීම දිරිමත් කිරීම්, උණු වතුර පානය, සබන් භාවිතය, සැක සහිත අවස්ථා වල මුඛ-නාසාවරණ භාවිතය ආදී නූතන දැනුම ප්‍රචාරණය සහ ඒ ගැන මාධ්‍ය මගින් කෙරෙන දැනුවත් කිරීම් කෙරෙන අතර අනවශ්‍ය අයුරින් මහජනයා එක් රැස් වීම වළක්වා ගැනීමත් ඇතුලත් ය. එසේ වුවත් මුළු රටම එකවර අකර්මන්‍ය නොකර භාණ්ඩ සහ සේවා සැපයීම් යථා පරිදි පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය ය. පළාත් අතර හෝ දිස්ත්‍රික්ක අතර ගමනාගමනය නතර කළත් මනුෂ්‍යයින්ට තමන්ගේ සේවා ස්ථාන වලට වාර්තා කිරීම සහ ජීවනෝපායයන් පවත්වා ගැනීම අවහිර කිරීම නොකළ යුතුව තිබිණි.

එසේ නොකර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛරසය අතට ගැනීම ගැන අපේ පැහැදීමක් නැත. වෛද්‍යවරුන් ගේ රාජකාරිය රෝග පාලනය මිස රාජ්‍ය පාලනය නොවේ. දැන් සිදු වන්නේ රෝග පාලනය හමුදාවට බාර දී රාජ්‍ය පාලනය වෛද්‍ය වරුන් අතට ගන්නා තත්වයකි. ඇඳිරි නීතියට දැනට සති දෙකකි. අවුරුද්දට ඇත්තේ තව සති දෙකක් පමණකි. ඒ දෙකත් ඇඳිරිය ම තිබුණා යැයි සිතමු. ඊළඟට රැකී-රක්‍ෂා සඳහා පිටත්ව යන නැකතටත් ඇඳිරිය ඉවත් කර ගැනීමට නොහැකි වුණොත් වෛද්‍යවරු වැඩ වර්ජනය නොකිරීමටත් හමුදා කැරළි නොගැසීමටත් හේතු තිබේද ? රටේම ජනතාවට නිකං කන්න බොන්න ගෙදරටම ගෙනත් දී අර මිනිසුන්ට පඩි ගෙවීමටත් ආණ්ඩුවට මුදල් කොහෙන්ද ? සිරිසේනගේ පතෝල ආණ්ඩුව නොව රාජපක්‍ෂගේ කෙළින් ආණ්ඩුව නිසා හඳෙන් හෝ හාල් ගෙනැවිත් මිනිසුන්ට කන්නත් දී, චීනයෙන් ණයට ගෙන අර මිනිසුන්ට පඩිත් ගෙව්වා යැයි සිතමු. ගෙදරට වී නිකං කකා සිටින 3% හාල් පාරුවන්ගේ කුණු කතා නවත්වන්නේ කෙසේද ?

ඒවාත් නවත්වා ගත්තා යැයි සිතමු. මිනිසුන් ගෙවල් වලට ගාල් කර මේ වියදම් කරන්නේ රටේ මුදල් ය. ආණ්ඩුව එක අතකින් සියල්ල කරට ගෙන වියදම් කරයි, අනෙක් අතින් සියළු බදු ආදායම් අහිමි කර ගනිමින් රටේ ආර්ථික දැති රෝද නවත්වා දමා ඇත. ගෙදරට වී නිකං සිටින මිනිසුන් වැඩිමනක් කරන්නේ අනුන් විවේචනය කිරීමයි (මේ කරන්නේ වෙන අමුතු දෙයක් නොවේ). ඇඳිරි නීතිය තිබියදී පාරට බසින උන්ට පොලු වලින් තැලීමට, කොරෝනා උණ හැදුණු මරක්කලයන් ගෙදර එවා මුළු ගමම වසා දැමීමට යෝජනා කිරීම ආදිය හොඳ හිතින් කරන යෝජනා නොවේ. මෙයින් වර්ධනය වන්නේ අසහනය සහ නොරිස්සුම් සහගත බවයි. කිසියම් අවස්ථාවක මෙය පුපුරා යනු ඇත.

එය පුපුරා යනු ඇත්තේ තවත් කොළාහලයකින් නම් මේ රට තුන් බියටම මුහුණ දුන්නා වෙයි. රෝග බිය දැනටමත් පවතී, ආණ්ඩුව, වෛද්‍යවරු සහ මාධ්‍ය මගින් ඒ බිය මොහොතින් මොහොත තීව්‍ර කෙරෙමින් සිටියි. දුර්භික්‍ෂ බිය අත ළඟය. දැනටත් මිලදී ගන්නන් නැති බැවින් බෝග අපතේ යමින් පවතියි. ඇති මිනිසුන් ගෙවල් වල බඩු පුරවාගෙන, මුදල් පුරවාගෙන සිටින අතර නැති මිනිසුන්ට කිසිවක් නැත. රජය ගෙනත් දෙනවා ය කීවත්, දැන් ප්‍රශ්නය භාණ්ඩ මිලදී ගැනීමට මුදල් නැති කමයි. තව සති දෙකකින් ප්‍රශ්නය අනික් පිට පෙරළී මිනිසුන් අත තිබෙන මුදලට ගැනීමට කිසි භාණ්ඩයක් (විශේෂයෙන් ආහාර ද්‍රව්‍ය) නැති වනු ඇත. කොළාහල ඇති වන්නේ එවැනි වටපිටාවකයි. එවිට මුරුගසන් වරුසාව නැතුවත් මනුෂ්‍යයා මෘගයා වෙයි - ඒ අමනුෂ්‍ය බියයි.



රෝග ව්‍යාප්තිය පමා කිරීමේ වාසිය කුමක්ද ?


රටක් වශයෙන් අප තවම මේ රෝගයේ නපුරු අවස්ථාවට එළැඹියේ නැත. ඒ අවස්ථාව ඉක්මන් වන තරමට රටේ ආර්ථිකයට යහපත්ය. මෙවැනි රෝගය හේතුවෙන් මේ රටවත්, රටේ මහජනයාවත් හැඳි ගෑවී තුරන් වී යන්නේ නැත. එසේම මේ ගන්නා පාලන ක්‍රියා මාර්ග වලින් නපුරු අවස්ථාව පමා කෙරෙණු මිස නැවත්වීමට හැකි යැයි කීමට හැකියාවක් ද නැත. ආණ්ඩුවට උපදෙස් දෙන බටහිර වෛද්‍යවරුන් රෝගයේ උච්ච අවස්ථාව පමා කිරීම ඉලක්ක කරගෙන කටයුතු කරන්නේ මේ රෝගයට ප්‍රතිශක්තිකරණ එන්නතක් සොයා ගන්නා තුරුද ? හොඳයි, ඔය එන්නත තව මාසයක් පමා උණොත්, මේ අයුරින්ම රට නඩත්තු කිරීමට ආණ්ඩුවට ප්‍රතිපාදන තිබේද ?

ඒ නිසා ආණ්ඩුව මේ අනවශ්‍ය කලබගෑනිය නැවැත්විය යුතුය. පන්සල්-දේවාල වලින්, පල්ලි වලින්, කෝවිල් වලින්, වෙනත් කෙම් පහන් වලින් මේ රෝගයට සුවයක් ඇතැයි යම් කෙනෙක් කියානම් මහජනයාට ඒ සුවය ලබා ගැනීමට නිදහස දිය යුතුය. ඇඳිරි නිතිය දමා බලෙන් පාලනය කරනු වෙනුවට අවබෝධයෙන් පාලනය වීමට මහජනයා පෙළඹවිය යුතුය. සංවෘත කොළණි සාදාගෙන වෙනම රාජ්‍යයන් ලෙස සිතාගෙන කටයුතු කරන මරක්කලයන් වැනි සමහර සීමිත ජන කොටස් සීමාව ඉක්මවා යයි නම් පමණක් අටළුගම-අකුරණ වසා දැමුවා සේ ඒ ප්‍රදේශ පමණක් වසා දැමිය යුතුය. එසේ නැතුව ලංකාවේ තිබෙන්නේ කොරෝනා රෝගය පමණකැයි සිතා සියළුම කොරෝනා රෝගීන් සුවපත් කිරීමට තමන්ට පමණක් විශේෂ දේව බලයක් ඇතැයි සිතා කටයුතු කරන, බටහිර වෛද්‍යවරුන් වැදගත් රාජ්‍ය පාලන ප්‍රතිපත්ති තීන්දු ගැනීමේදී දුරස් කළ යුතුය.

මීට පෙරත් කියා ඇතත් මෙය නැවත සඳහන් කළ යුතුය. බ්ලොග් කඩමාල්ලක් ලියන අප වැන්නන් සිතන්නේ ලෝකයේ වැදගත්ම දේ බ්ලොග් ලිවීම බවයි. හංදියේ ත්‍රීවීල් මල්ලි සිතා සිටින්නේ ලෝකයේ උතුම්ම රැකියාව ත්‍රීවීල් එළවීම බවයි. අපේ කන්තෝරුවේ තේ හදන හාදයා සිතන්නේ උගේ තේ එක නැතිනම් කන්තෝරුවේ වැඩ නවතින බවයි. දොස්තරලා සිතා සිටින්නේ තමන් නොසිටියේ නම් සෑම රෝගියෙක්ම වාට්ටුවෙන් මෝචරියට මිස ගෙදර යනු නැති බවයි. මේ මහා මුළාවකි. දොස්තරලා මහන්සි වී කැප කිරීම් කර රාජකාරිය කරන බව සැබෑය. ඒ ගැන ඔවුන්ට අපේ ගෞරවය හිමි වේ. එහෙත් කොරෝනා වෛරසය කියා අමුතු භීතියක් මවාගෙන මේ කෙළින්නේ තනිකර පිස්සුවකි.

රට එක තැන නවතාගෙන මිනිසුන්ගේ ජීවිකා කඩාකප්පල් කර මේ කරන්නේ රටට හොඳක්වත් තමන්ට හොඳක්වත් නොවේ. මා මෙය සටහන් කරන්නේ අප ප්‍රදේශයේ ජන ජීවිතය පවත්වාගෙන යාම පිළිබඳව අදාළ රාජ්‍ය නිලධාරීන් හා සමග අද සන්ධ්‍යාවේ නිළ මට්ටමෙන් කෙරුණු සංවාදයෙන් උපන් සංවේගයෙනි. අපේ රටට මේ මට්ටමේ දරා ගැනීමේ හැකියාවක් නැත. ගරු නන්දසේන ගෝඨාභය මහතා හිත හොඳ වැඩි නිසා හෝ ඒ මහතා තුල නිසගයෙන් ඇති, වසර ගණනක හමුදා ශික්‍ෂණයෙන් පණ පෙවුණු, අප්‍රතිහත ධෛර්‍යය නිසා හෝ වෛරසය සමග ඔට්ටු වී පරාජය කරන්නට සිතුවා විය හැකියි. නමුත් පරාජය වන්නේ අපයි. අප සතු සියළු ශක්තින්, මේ පුංචි වෛරසයක් වෙනුවෙන් වැය කිරීම අපරාධයකි. හැරත් මේ පුංචි සතා ඕනෑවට වඩා ලොකු කර තිබෙන්නේ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය වලිනි.



ආරෝග්‍යා පරමා ලාභා


කලින් කලට රෝග බිය පැමිණීම ලෝක ස්වභාවයයි. ඒවාට යථා පරිදි පිළියම් යෙදීම අදාළ අංශ වලින් සිදු කළ යුතුය. බටහිර වෛද්‍යවරුන් මෙහි එක අංගයක් පමණකි. මේ වසංගතයත් දැන් පැමිණ තිබේ; ආණ්ඩුව තමන්ගේ මුළුමහත් ශක්තිය යොදා එහි ව්‍යාප්තිය පමා නොකළොත් බක් මාසය අවසානයට පෙර එය උච්චස්ථානයට පැමිණ වෙසක් මාසයේදී නීච වනු ඇත. එහිදී දස දහස් ගණනක් ආසාදනය වී දෙතුන් සීයක් ආදාහනය කරන්නට සිදු විය හැකිය. එහෙත් එසේ අවසන් වනු මිස මේවා අවුරුදු ගණන් ඇදෙන ප්‍රශ්න නොවේ.

ආණ්ඩුව කලබල වී මේවාට ප්‍රතිචාර දක්වන්නට ගොස් මහමැතිවරණය දින නියමයක් නැතුවම කල් දා ගත්තේය. කල් යන්නේ නෑ කියා කොතරම් කීවත් අගෝස්තු විභාගත් කල් යනු ඇත. දැන් හමුදා බලය යොදා දිය යට කරගෙන තිබෙන බෝලය ජූලි-අගෝස්තු වන විට කොහොමත් ඉහළට පනින බැවිණි. ඒ වන විට හමුදාවත් හෙම්බත් ය. තව මොන මොනවා කල් යයි දැයි කීමට තවම කල් වැඩිය.

ඒ නිසා බටහිර වෛද්‍යවරුන්ගේ බැරිකම් සහ මහන්තත්ත කම් වෙනුවෙන් රට ඇපයට තැබීම වහා නවතා පාලනයක් සහිතව සාමාන්‍ය ජන ජීවිතයට ක්‍රමානුකූලව ඉඩ දීමටත් රටේ ආර්ථික කටයුතු නැවත සකර්මන්‍ය කිරීමට පෞද්ගලික අංශයට ඇති බාධක ඉවත් කිරීමටත් අවධානය යොමු වේවා ! එසේම රෝගයේ ව්‍යාප්තිය පාලනය කිරීමට අවුරුදු දහස් ගණනක් අත්දුටු ප්‍රත්‍යක්‍ෂ පාරම්පරික වෙදකම් සහ වෙද නොවන උපක්‍රම (පිරිත් කීම, කිරි කලය නැටීම, කොහොඹා කංකාරිය වැනි ශාන්ති කර්ම, අල්ලඃ නම් අමනුෂ්‍යයාට සහ දෙවියන් වහන්සේ නම් වසවර්තියාට යැදීම) දිරිමත් කිරීමත්, රෝගය පැතිරීම පිළිබඳ නූතන දැනුම (සබන් භාවිතය, බුර්කා පැළඳීම වැනි) මහජනතාව අතරට ගෙන යාමත් කෙරේ අවධානය යොමු වේවා !

සම්‍යග් දෘෂ්ඨික දේව බැල්මක් හේතුවෙන් හෝ පන්දහසක් කල් සාශනය පවත්නා මේ ලංකාද්වීපයේ හුදී ජනයාගේ දුක දැක ශක්‍රයාගේ පඬුපුල් අසුන උණු වීම නිසා හෝ රතන සූත්‍රය දේශනා කිරීම නිසා හෝ දේශගුණ වෙනස් කම් නිසා හෝ මේ වෛරසය අප්‍රේල් මස අවසන් වන විට දුර්වල වී තුරන් වී ගියහොත් මිනී අඩු වීමේ ගෞරවය නිසැකවම ජනාධිපති තුමාටත් භාරකාර ආණ්ඩුවටත් රටේ පොදු සෞඛ්‍ය සේවයටත් හිමි වන බැවින් යථා කාලයේ පැවැත්වෙන මැතිවරණයකින් තුනෙන් දෙකේ බලයක් ලබා ගැනීමට මේ පවත්වාගෙන යන නිරෝධායන ක්‍රියාවලියේ සාර්ථකත්වයත් තීරණාත්මකව බලපානු ඇත.

එසේ වුවහොත් රනිල් වික්‍රමසිංහ විසින් අත්තනෝමතික ලෙස අගවිනිසුරුවරයෙක් පත් කර අධිකරණය රවටා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර ඇපයට ගෙන කරන ලද ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කර අපේ රටේ රාජ්‍ය පාලනය තානාපති කාර්‍යාල වලින් කුලී ලබන නොරාජ්‍ය සංවිධාන මාෆියාවෙන් මුදාගෙන නැවත මහජනතාව අතට පත් කර ගැනීමට ස්වර්ණමය අවස්ථාවක් ලැබෙනු ඇත. අන්න ඒ අධිෂ්ඨානය පෙරදැරිව ආණ්ඩුවේ මේ වැඩ පිළිවෙලට කොන්දේසි විරහිතව අපගේ සහය හිමි වනු ඇත. කොරෝනා වෛරසය, CoViD-19 රෝගය, නිරෝධායනය සහ ඇඳිරි නීතිය ගැන වෙන කිසිවක් මේ අඩවියේ නැවත ලියවෙනු නැත. මේවා ගැන කතා කිරීමට නියමිත සුදුසුකම් අපට නැත. මේ ලිපියෙන් කෙරෙන්නේ ඉදිරිය ගැන අපේ සිත්හි පහළ වන අවිනිශ්චිත අදහස් අක්‍රමවත්ව පෙළ ගැස්වීමයි.

සමහර විට මේ රෝගයේ මීළඟ ගොදුර අප විය හැක. එසේ වුවහොත් මේ අදහස් අපගේ කලේබරයත් සමගම වා තලයට මුසු වී යනු ඇති බැවිණි දැන්ම ඒ ලියා දැමුවේ.

ඔබ සැමට සුභ මෝඩයාගේ දිනයක් වේවා !



2 comments:

  1. Yatin tiyena photo eka nisa kiyawanna harima amaruyi

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, එය ඉවත් කළා.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !