Saturday, May 2, 2020

විකල්ප නෑ

අප්‍රේල් මාසය කොරෝනා සමගම ගෙවී ගියේය. මැයි මාසය කලබලයක් නැතිවම ආවේය. වෙනදා මැයි පළමු වැනිදා ඇසෙන්නේ කම්කරුවන් නැති කම්කරු පෙළපාලි වල හිස් ඝෝෂාවයි. අද ඒ කිසිවක් නැත. අප්‍රේල් මාසය ආරම්භයේදී අපට කිසි සුභවාදී බලාපොරොත්තුවක් අනාගතය ගැන තිබුණේ නැත. දැනුත් නැත. එහෙත් අවිනිශ්චිත භාවය යම් තරමකින් අඩු වී තිබේ. කොරෝනා වසංගතය සමග පුළු-පුළුවන් හැටියෙන් ජීවත් වීම මිස අපට වෙන විකල්පයක් නැති බව අප්‍රේල් පළමු වැනිදා අප කීවෙමු. ආණ්ඩුවත් දැන් දැන් ඒ වග තේරුම් ගනිමින් සිටින බව පෙනීම පමණක් සතුටට කාරණයකි.

කොරෝනා වසංගතයට පෙර බඩගින්නට බිත්තියේ පස් කෑ, මඤඤොක්කා කොළ කෑ, තව විවිධ දේ කෑ අය ගැන පුවත් පල වුවත් අප්‍රේල් මාසය තුල එවැනි දේ වාර්තා වූයේ නැත. ඒ ජනමාධ්‍යයේ ප්‍රමුඛතා වෙනස් වීම හේතු කොටගෙන මිස බැසිල් රාජපක්‍ෂගේ අමුතු සාර්ථකත්වයක් හේතුවෙන් සිදු වූවක් නොවේ. සත්‍යය නම් රටක් මෙසේ වසා දමාගෙන දිගු කාලයක් ගත කිරීම ප්‍රායෝගික නැති බවයි.

රුපියල් 5000 ගැන විවිධ කතා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. අපට නම් එවැන්නක් ලැබුණේ නැත (එය ලබා ගැනීමට තරම් අහේනියක් තවම ඇති නොවීම වෙනම කතාවකි). එහෙත් රටේ වැඩි දෙනාගේ ආදායම් මාර්ග මේ වන විට ඇහිරී ගොස් තිබේ. අප විසින් පෞද්ගලිකව මූල්‍යාධාර ලබා දී අපේම ඥාතියෙකු විසින් කොළොඹ දිස්ත්‍රික්කයේ සුළුවෙන් ආරම්භ කෙරුණු ව්‍යාපාරයක් ඇඳිරි නීතිය සමගම වල පල්ලට ගියේය. ඒ සඳහා මිලදී ගත් යන්ත්‍ර සූත්‍ර නිකරුනේ දිරා යන එයට යට වූ ණය කන්දක් පමණක් ඉතිරිව තිබේ. වැටුප් ගෙවන ආයතන බොහොමයක සම්පූර්ණ වැටුප් ගෙවීමත් ප්‍රශ්නයකි. අප සේවාස්ථානයත් ඇතුළු බොහෝ ආයතන වැටුප් කප්පාදුව ආරම්භ කර ඇත.




මැයි මාසය තරමක් සුභවාදී මාසයකි. අවිනිශ්චිතතා මග හැරී යාමම පමණක් වුවත් සුභවාදී තත්වයකි. දැන් වන විට ඊනියා සුවාධීන කොමිසම විසින් මහමැතිවරණයට දින නියම කර තිබේ. එක එකා මොනවා කීවත් විසුරුවා හළ පාර්ලිමේන්තුව නැවත රැස් නොකරන බව ජනාධිපති විසින් ස්ථිරවම ප්‍රකාශ කොට තිබේ (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එසේ කැඳවිය නොහැකි වීම වෙනම ප්‍රශ්නයකි, ලංකාවේ වැඩ කෙරෙන්නේ "ව්‍යවස්ථාවේ කුමක් සඳහන්ව තිබුණත්" මිස ව්‍යවස්ථාවේ සඳහන් පරිදිම නොවේ. 19 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වීම සහ මොහාන් පීරිස් අගවිනිසුරු තැන ධුරයෙන් ඉවත් කිරීම උදාහරණ වේ). එසේම හඳුනා ගත් කොරෝනා පොකුරු එකින් එක කෙමෙන් සිඳී යනු දැක්මත් හොඳ ප්‍රවණතාවයකි. දැන් ප්‍රමුඛතාවය දිය යුත්තේ රටේ සාමාන්‍ය කටයුතු යථා තත්වයට පත් කිරීම කෙරෙහිය.

මේ පවතින ඇඳිරි නීතිය වෙසක් පසු වන තෙක් පවත්වාගෙන යාම සුදුසුය. පාසැල් නම් අඩු තරමින් ඇසළ පෝය තෙක් වත් වසා තැබිය යුතුය. අවශ්‍යම නම් කණිෂ්ඨ ද්විතීයික (9,10,11) සහ උසස් පෙළ (12,13) පංති පමණක් ඊට පෙර විවෘත කළ හැක. උසස් පෙළ විභාගය අඩු තරමින් මාස දෙකක් කල් යනු ඇතැයි අපේක්‍ෂා කෙරෙන අතර විභාග දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ අවසන් තීරණ නොපමාව ප්‍රසිද්ධ කිරීම යහපත්ය. විෂය නිර්දේශ ආවරණය නොකර විභාග පැවැත්වීම සුදුසු ක්‍රමය නොවේ.



ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු උදා වන්නේ අලුත් ලෝකයකි. ඒ ලෝකයේ කොරෝනා නමින් හඳුනා ගන්නා වසංගතයක් පවතින අතර සියළු දෙනා තනි පුද්ගලයන් වශයෙනුත් සාමූහිකවත් ඒ වසංගතයෙන් බේරී සිටීම පිණිස කටයුතු කළ යුතුය. නමුත් මෙහිදී සිහි තබා ගත යුත්තේ කොරෝනා වසංගතය හෙවත් CoViD-19 ආසාදනය මාරාන්තික එකක් නොවන බවයි. මෙහි පිටතට පෙනෙන රෝග ලක්‍ෂණ ඉතා අවමය - බොහෝ දෙනෙක් තමන්ට මේ රෝගය වැළඳුණු බව නොදැනම සුව වෙති. රෝග ලක්‍ෂණ පහළ වූ අයගෙන් අසාධ්‍ය තත්වයට පත් වන්නේ ද ස්වල්ප ප්‍රතිශතයකි. අසාධ්‍ය අයගෙනුත් වැඩි දෙනෙක් නිසි ප්‍රතිකාරයෙන් සුව වෙති.

මෙහිදී ප්‍රතිකාර ගැන කී නිසා තවත් දෙයක් කිය යුතුය. මෙකී ආසාදනයට ඇලොපති වෙදකමේ තවම බෙහෙතක් නැත. ප්‍රතිකාර යැයි කියන්නේ ආසාදනයට ලක් වූ පුද්ගලයාගේ ජීව පද්ධති බිඳ නොවැටී පවත්වාගෙන යාම පිණිස කෙරෙන බාහිර උපකාරක වලට මිස මේ රෝගය නිශ්චිතවම සුව කෙරෙන ඖෂධයකට නොවේ.

කලින් ද කියා ඇති පරිදි වසංගතය සමග ජීවත් වීමට හිත හදා ගැනීම කළ හැකි සුදුසුම දෙයයි. ඒ සමගම සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, කරුණාරත්න ජඩසූරිය ඇතුළු හිටපු මන්ත්‍රීවරුන්ද හිත හදා ගත යුතුය. මේ හොඳ යහපත් තත්වය මේ අයුරින්ම පැවතුණොත් අර කොළණි වල සිටින ශ්‍රී ලංකා නීතියට අනුගත නැති "ශ්‍රී ලාංකිකයන්" සහ "කුඩ්ඩන්" යම් හික්මීමක් පෙන්නුවොත් ලබන මාසයේ පැවැත්වෙන මැතිවරණයකින් සමහර විට ඒ අයට මන්ත්‍රී ධුර හිමි වීමටත් ඉඩ ඇත.



දෛවය එක දොරක් වසන විට තව දොරක් අරින්නේය යනුවෙන් කියමනක් වෙයි. ඒ අනුව මේ ඇඳිරි නීති හේතුවෙන් ආපදාවට ලක් වූ (කොරෝනා හේතුවෙන් ය යනු බොරුවකි) ව්‍යාපාර සමහරක් වැසී යනු ඇත. බොහෝ විට ඒ අමාරුවෙන් දිවූ, එසේ නැතිනම් යන්තම් පටන් ගත්, ආකර්ශනීය ලාභ නොලැබූ ව්‍යාපාරයන්ය. මින් සමහරක් ඇඳිරි නීති නොදැම්මත් වැසී යනු ඇත. සමහර ආයතන කොරෝනාවත් වාසියක් බවට පත් කරගෙන තිබේ - භාණ්ඩ ප්‍රවාහන සේවා උදාහරණ වේ. ඇඳිරි නීති බලපත්‍ර අත යට දීම වැනි ව්‍යාපාර මෙහිදී නොසළකමු. තවත් සමහර ආයතන තමන්ගේ වියදම් අඩු කරගෙන තිබේ. අප සේවාස්ථානයේ විදුලි බිල පමණක් දස ගුණයකට වඩා අඩු වන්නට ඇත.වැටුප් කප්පාදුව විසින් ඒ සඳහා වන වියදම 60% පමණ දක්වා අඩු කරගෙන තිබේ. මෙවැනි පියවර බොහෝ ආයතන විසින් ගෙන තිබෙන අතර බොහෝ ආයතන දුරස්ථ උපක්‍රම මගින් සේවා සපයා ගැනීම කෙරේ යොමු වෙමින් සිටියි. එයත් වාසියකි. එසේම දුරස්ථ සේවා සැපයීම නව රැකියා අවස්ථා ජනිත කර තිබේ.

මහජනයා පොදු ප්‍රවාහන සේවාවන්ගෙන් විතැන් වීමත් ඇඳිරි නීති ඉවත් කිරීමෙන් පසු අත්දැකිය හැකි තත්වයක් වනු ඇත. ආණ්ඩුව ඒ සඳහා උදව් කළ යුතුය (පොදු ප්‍රවාහනය ආණ්ඩුවට බරකි, එය පද්ධතියක් වශයෙන් අකාර්‍යක්‍ෂම ය). විශාල ප්‍රමාණයේ සහ මධ්‍යම ප්‍රමාණයේ මගී ප්‍රවාහන රථ වල ඉල්ලුම වැඩි වනු ඇති අතර පාසැල් වෑන් රථ සහ මේ බස් රථ නියාමනය ආණ්ඩුව විසින් කළ යුතු යැයි සිතමි. එසේම මගී ප්‍රවාහන රථ, කාර්‍යාල වැඩබිම් වල විෂබිජහරණය නව ව්‍යාපාරික අවස්ථාවකි. මේවාද නිසි නියාමනයට ලක් විය යුතුය. නව නිපැයුම් වලටද මෙය හොඳ අවස්ථාවකි. අතින් නොව පාදයෙන් ක්‍රියා කරවිය හැකි ජල කරාම සහ වෙනත් එවැනි උපක්‍රම භාවිතා කරන (ස්වයංක්‍රිය) සනීපාරක්‍ෂක උපාංග අළෙවියට මේ හොඳ අවස්ථාවකි. බොහෝ ව්‍යාපාර දැනටමත් on-line හෙවත් අන්තර්ජාලය ඔස්සේ සේවා සැපයීමට යොමු වී සිටී. බැංකු සහ මූල්‍ය ආයතන, ISP හෙවත් අන්තර්ජාල සේවා සපයන ආයතන සහ Telecom සේවා සපයන ආයතන වලට මෙය වෙස් වලාගත් ආශිර්වාදයකි.



සමස්තයක් වශයෙන් ගත් කළ, අප බලාපොරොත්තු වන්නේ ඇඳිරි නීති ඉවත් කළ ලෝකය ඇඳිරි නීති දැමීමට පෙර ලෝකයට වඩා යහපත් එකක් වීමයි. මෙහිදී මනුෂ්‍යයින්ගේ ආකල්ප වල වෙනසක් අනිවාර්‍යයෙන්ම විය යුතුය. ඒ වෙනස නම් සමස්තය දැකීම ය. මෙවැනි ව්‍යසන අවස්ථාවක සාර්ථක වීමට නම් එක් එක් පුද්ගලයා තනි තනිව ගන්නා තීරණ වල සමස්ථ බලපෑම ගැන අවබෝධයක් තිබිය යුතුය. එසේම ආයතන (රාජ්‍ය සහ පෞද්ගලික) කාර්‍යක්‍ෂම විය යුතුය. ලංකාවේ රාජ්‍යය විශාලය. ආණ්ඩුව තිබේ පළාත් සභා තිබේ ප්‍රාදේශීය පාලන ආයතන තිබේ. මේවායේ රාජකාරී කරන (සහ නොකරන) පිරිස ලක්‍ෂ ගණනකි. එකම කාර්‍යයට කිහිප දෙනෙක් යොදවා තිබෙන අතර මින් සමහරකගේ කාර්‍යභාරය වන්නේ නියමිත කාර්‍යය ප්‍රමාද කිරීමට වැඩි දෙයක් නොවේ.

ආණ්ඩුව විසින් මහමැතිවරණයෙන් පසුව කළ යුතු ප්‍රමුඛ කර්තව්‍යය රාජ්‍යය කුඩා කිරීම සහ කාර්‍යක්‍ෂම කිරීමයි. කොරෝනා වසංගතය ඒ සඳහා දෙවියන් විසින් දුන් අවස්ථාවකි. පැවති යහපාලන ආණ්ඩුව විසින් දෙමළ ජාතිවාදී සංධානයේ සහය මත පළාත් සභා අක්‍රිය කොට තිබීම අභිනව ආණ්ඩුව විසින් ප්‍රයෝජනයට ගත යුතුය. 19 අහෝසි කිරීම තරම් ම ප්‍රමුඛතාවයක් දිය යුතු අනෙක් කරුණ නම් 13 අහෝසි කිරීමයි. 13 අහෝසි කිරීම සංකීර්ණ කටයුත්තක් බැවින් වහ වහා කළ යුතුව ඇත්තේ පළාත් සභා වල අනුමැතිය නැතිව පාර්ලිමේන්තුව විසින් නීති පැනවීමට ඇති බාධා ඉවත් කිරීමත්, පළාත් සභාව විසින් පැනවූ නීතියක් ප්‍රඥප්තියක් පාර්ලිමේන්තුව විසින් නිශේධ කිරීමට හෝ ඉක්මවා යාමට ඇති බාධා ඉවත් කිරීමත්ය. ඒ දෙක කළාට පසු පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම මගින් ස්වභාවික මරණයකට ලක් වීමට ඉඩ දිය හැක. මෙහිදී පරෙස්සම් විය යුත්තේ බැසිල් සහ GL පීරිස් ගෙන් ය. පළාත් සභා මැතිවරණ පවත්වන බවට ඉන්දියාවට පොරොන්දු දෙනු ඇත්තේ මේ අයයි.



සුභවාදී බලාපොරොත්තු ගොන්නක් අතර අසුභවාදී කතාවක් ද තිබේ. ඒ ඊළඟ ආණ්ඩුවට සාධනීය විවේචන කිරීමට සහ එය පාලනය කර ගැනීමට සමත් විපක්‍ෂයක් නැති වීමයි. සිංහල විරෝධී යහපාලන නරුම කැඳ හැළිය එහෙම පිටිංම විපක්ෂයේ වාඩි වී සිටිද්දී සිංහල ජනයාගේ හිත සුව පිණිස නොවන තීරණ ආණ්ඩුව ලවා ක්‍රියාත්මක කරවා ගැනීමට තානාපති කාර්යාල හරහා ක්‍රියාත්මක වන සංවිධාන උත්සුක වනු ඇත. එවැනි විටෙක අපට විශ්වාසය තැබිය හැකි කණ්ඩායම කවුද ?

එවැනි කණ්ඩායමක් නැතිනම් එවැන්නක් සෑදීම පිණිස සක්‍රිය දේශපාලනයේ නොයෙදෙන ජාතික ව්‍යාපාර වල නිරත වන නායක කාරකාදීන් දැන්ම සිට කටයුතු කළ යුතුය. පවත්නා ඇඳිරි නීතිය ඒ සඳහා බාධාවක් නොවේ. තමන්ට ලැබී තිබෙන හෝ ලැබෙන්නට ඉඩ ඇති තානාපතිකම්, සභාපතිකම්, උපදේශකකම්, සුරා සැල් බලපත්‍ර, එසේත් නැතිනම් අඹර දමිළ චීවරධාරියාට මෙන් සන්නාම තානාපතිකම්, පිං පඩි, වාහන බලපත්‍ර මෙකී නොකී පෞද්ගලික වාසි ප්‍රයෝජන ජාතික ආපදාවක් හමුවේ නිෂ්ප්‍රයෝජන බව සිහියේ තබා ගත යුතුය.



No comments:

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !