Saturday, August 8, 2020

මහමැතිවරණයේ ජයග්‍රාහකයෝ සහ පරාජිතයෝ

ජයග්‍රාහකයෝ සහ පරාජිතයෝ මැයින් මීට දෙදිනකට පෙර පළ කෙරුණු ලිපිය ලිවීම ඇරඹුණේ ඉන් දෙසතියකට පෙර ජුලි 24 වැනිදාය. ඒ දෙසතිය තුල බොහෝ වෙනස් කම් සිදු විය. ඒ ගැන නොසළකා ලිපිය පල කළෙමි.

එහි ගුණ දොස් විමසීමට මේ කාලයයි. එක් පාඨකයෙක් අප කෙරේ අනුකම්පාවෙන් එහි කොටසක් උපුටා දක්වා This part alone shows your analytical skill. Time to learn to see things objectively. යනුවෙන් සටහනක් ද යොදා තිබිණි. ඒ සහෘදයාට පිං.

යාපනය දිස්ත්‍රික්කයේ උඩුප්පිඩි ජයග්‍රහණය


මෙහිදී පැහැදිළි කළ යුතු දෙයක් තිබේ.

ප්‍රස්තුත ලිපියෙන් අප අනාවැකි කීමට උත්සාහයක් දැරුවේ නැත. ඒ නිසා ඉලක්කම් එහා මෙහා වීම සැළකිය යුතු ප්‍රශ්නයක් නොවේ. ඒ ලිපියන් සහ ඊට පෙර ලිපියෙන් අප උත්සාහ කළේ මහමැතිවරණයෙන් පසු පත් වන පාර්ලිමේන්තුවේ සංයුතිය ගැන අපගේ අදහස ඉදිරිපත් කිරීමටයි. එය විශ්ලේෂණයක් යැයි ගැනීම හොබින්නේ නැත. සැකෙවින් කියතොත් ඒ ලිපි වල පැනවෙන සංඛ්‍යා අපගේ අනාවැකි වලට වඩා අපගේ පැතුම් ය. අප විසින් අනාවැකි කීම අත හැර දැමුවේ 2015 ජනාධිපතිවරණයේ දී ය.

වැඩි දුර නොයා මෙවර ඒ ඒ පක්‍ෂ ලබා ගත් ආසන ගණන වෙත යොමු වෙමු. මෙහි වරහන් තුල පළමුව දිස්ත්‍රික්ක වලින් සහ දෙවනුව ජාතික ලැයිස්තුවෙන් ලබා ගත් මන්ත්‍රී ධුර සංඛ්‍යා දැක්වේ.
  1. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 145 (128 + 17 )
  2. සමගි ජන බලවේගය 54 ( 47 + 7 )
  3. ඉලංකෙයි තමිල් අරසු කච්චි 10 ( 09 + 1 )
  4. ජාතික ජන බලවේගය 3 ( 02 + 1 )
  5. ඊලාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 2 ( 02 + 0 )
  6. අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් 2 ( 01 + 1 )
  7. තමිල් මක්කල් විඩුඔලෛප් පුලිකාල් 1 ( 01 + 0 )
  8. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය 1 ( 01 + 0 )
  9. මුස්ලිම් ජාතික සන්ධානය 1 ( 01 + 0 )
  10. තමිල් මක්කල් තේසිය කුට්ටානි 1 ( 01 + 0 )
  11. අකිල ඉලංකෙයි මහජන කොංග්‍රසය 1 ( 01 + 0 )
  12. ජාතික කොංග්‍රසය 1 ( 01 + 0 )
  13. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 1 ( 01 + 0 )
  14. එක්සත් ජාතික පක්ෂය 1 ( 00 + 1 )
  15. අපේ ජන බල පක්ෂය 1 ( 00 + 1 )
ඉහත විස්තරය අනුව පැහැදිළි වන්නේ පොදුජන පෙරමුණ බොහෝ දෙනා බලාපොරොත්තු වූ ලෙසම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය සාක්‍ෂාත් කරගෙන තිබෙන බවයි. එය අපේ පැතුම නොවීම වෙනම කාරණාවකි. ඉහත නිල් පැහැයෙන් සළකුණු කර ඇත්තේ පොදුජන පෙරමුණේ සංධානගත පක්‍ෂ සහ කණ්ඩායම් ය. ඔවුන්ට කිසි බාධාවකින් තොරව පැවති යහපාලන ජුන්ටාවේ 19 වන සංශෝධනය ප්‍රකාරව ජාතික ආණ්ඩුවක් තනා ඇමති ධුර ගණන හිතුමතේ වැඩි කර ගැනීමේ ශක්‍යතාව තිබේ.


මීට පරිබාහිරව දම් පාටින් සළකුණු කර ඇති අපේ ජනබල පක්‍ෂයේ මන්ත්‍රීවරයාගේ සහය ද අවස්ථානුකූලව ලබා ගැනීමේ හැකියාවත් ආණ්ඩුවට විවෘතය. අනෙක් පක්‍ෂ වලින් ද "දෑත් ශක්තිමත් කිරීම" පිණිස මන්ත්‍රීවරුන් ඉදිරිපත් වීමට ඉඩ ඇතත් ඔවුන් තබා ගැනීමේ ඉඩකඩ ප්‍රශ්නයක් විය හැක.

ඉහත කොළ පාටින් සළකුණු කර තිබෙන්නේ සාමාන්‍යයෙන් එක්සත් ජාතික පක්‍ෂය සමග සංධානගත වන මුත් මෙවර වෙනම තරඟ කළ එසේත් නැතිනම් වෙනම තරඟ කර පසුව එකතු වන පක්‍ෂ සහ කණ්ඩායම් ය. රතු පාටින් රතු අලි පැටව් ලෙස ප්‍රකට මාලිමාවේ රෝස පාට සමාජවාදීන් නිරූපනය කෙරේ.



පසුගිය පාර්ලිමේන්තුවේ සංයුතිය දළ වශයෙන් එජාප (106), පොඑපෙ (95), දෙරාප (16), ජවිපෙ (6) හැරුණු කොට මුකො (1) සහ EPDP (1) කට සීමා විය. මෙවර පක්‍ෂ 15 ක් පාර්ලිමේන්තුවේ නියෝජනය වේ.

නමුත් සිහි තබා ගත යුතු කරුණ වන්නේ ඉහත සංඛ්‍යා නොමග යවන සුළු බවයි. පසුගිය පාර්ලිමේන්තුවේ එජාප 106 තනි කණ්ඩායමක් නොවීය. එසේම පොඑපෙ 95 ද, දෙරාප 16 ද තනි කණ්ඩායම් නොවීය. එසේම මෙවර ද පොදුජන පෙරමුණේ මන්ත්‍රීධුර 145 තනි කණ්ඩායමක් නොවේ. ඉන් 20 පමණ මෛත්‍රීපාල සිරිසේන නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රී වරුන්ය. තවත් පිරිසක් දිනේෂ් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණේ ය. එසේම උදය ගම්මන්පිළ ගේ කණ්ඩායම, විමල් විරවංශගේ පක්‍ෂය ආදී කණ්ඩායම් එතුල තිබේ. තිස්ස විතාරණ (ලංකා සමසමාජ පක්‍ෂය), වාසුදේව නානායක්කාර (නව සමසමාජ පක්‍ෂය | ඔහු පත් වී දැයි නොදනිමි) ආදීන් ද එහි සිටී. ගෝඨාභය රාජපක්‍ෂගේ සහය ලබන වියත් මග මේ පක්‍ෂ වෙත සෘජු බැඳීමක් නැත.

කෙසේ වෙතත් අප පෙර ලිපියේ අනුමාන කළ ආසන 130 ඉක්මවා යාමට පොහොට්ටු සංධානය සමත් වීම ඉමහත් සතුටට කරුණකි. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් අප අනුමාන කළ ආසන 10 ඉක්මවා යාම යහපත් ප්‍රවණතාවයක් බව සිතමි. ඒ පක්‍ෂය නිකංම දිය වී යාම යුතු නැත.



අපගේ තක්සේරුව ඉක්මවා ජයග්‍රහණ ලබා තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් නොවේ. සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයත් විශාල ජයග්‍රහණයක් ලබා තිබේ. එක්සත් ජාතික පක්‍ෂය ගැන අප යට අදහස පල කර ඇත.
එක්සත් ජාතික පක්‍ෂය අඩු තරමින් ආසන 20 ක් දිනා ගනු ඇතැයි අනුමාන කරමි, එය 40 නම් ඉක්මවනු නැති බව ස්ථිරය. ඒ පක්‍ෂයට එවැනි තත්වයක් ඇති වීමට හේතුව පක්‍ෂය විසින් සිංහලයන් අතහැර දැමීමත් අසිංහලයන් විසින් පක්‍ෂය අතහැර රනිල් වික්‍රමසිංහට වඩා දේශපාලන පෞර්ෂය අඩු පතෝලයෙක් වන සජිත් වෙත විතැන් වීමත් බව කිව හැක.
එක්සත් ජාතික පක්‍ෂය සිංහලයන් අතහැර දමා තම දේශපාලන සමීකරණය ගොඩ නැගීම අළුත් ප්‍රවෘත්තියක් නොවේ. රනිල් වික්‍රමසිංහ යටතේ දිගින් දිගටම සිදු වූයේ එයයි. මුල් කාලයේ තකට තක චන්ද්‍රිකා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙහෙයවමින් සිංහල විරෝධීව කටයුතු කළ බැවින් බොහෝ දෙනාට එය ඇඟට දැනුණේ නැත. එසේ වුවත් රනිල් ට බලය ලැබුණු පළමු අවස්ථාවේම එය තේරුම් ගත් සිංහලයින් ඊට ප්‍රතිචාර දැක්වූයේ හෙළ උරුමය මහරගම සහ කැස්බෑව ඡන්ද බලප්‍රදේශ වලින් දෙවන තැනට පත් කරමිනි.

2010 දී සරත් ෆොන්සේකාත් 2015 දී මෛත්‍රිපාල සිරිසේනත් යන බැටළු හම් පොරවාගෙන ආවරණයක් සපයා ගත් රනිල් වික්‍රමසිංහට මෙවර නිරුවත වසා ගැනීමට අමුඩ ලේන්සුවක් ලෙස තිබුණේ සුනිල් හඳුන්නෙත්ති විසින් සංස්කරණය කළ මහ බැංකු කොල්ලය පිළිබඳ වාර්තාව පමණකි. එක්සත් ජාතික පක්‍ෂයට මේ සිදු වූ දේ ගැන කාලකන්ණි සතුටක් මිස සැබෑ සතුටක් අපට නැත. එක්සත් ජාතික පක්‍ෂය මෙසේ දිය වී යා යුතු නැත. ඒ පක්‍ෂයේ මීළඟ පරවේණි උරුමක්කාරයා වන රුවන් විජේවර්ධන වෙත පක්‍ෂ නායකත්වය පවරා දී රනිල් ක්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගත යුතුය. නැතිනම් රුවන් විජේවර්ධන අනාගත නායකයා ලෙස නම් කර ඔහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යැවිය යුතුය. නායකයා කවුරු වුවත් ඒ පක්‍ෂයේ සිංහල විරෝධී ප්‍රතිපත්ති අකුළා ගත යුතුය.

සජිත් ප්‍රේමදාස විසින් කොළොඹ දිස්ත්‍රික්කයෙන් රනිල් වික්‍රමසිංහ පරදවා ලනු දැකීම අපගේ අපේක්‍ෂාව වුවත් සජිත් කොළොඹින් ගන්නා මනාප ගණනවත් මුළු ලංකාවේ ඡන්ද එකතු කිරීමෙන් වත් ලබා ගත නොහැකි මට්ටමට පක්‍ෂය ඇද වැටීම අපගේ අපේක්‍ෂාව නොවීය. එක්සත් ජාතික පක්‍ෂය විසින් සිංහලයා අතහැර දැමීමේ ප්‍රතිඵලය මෙය නම් එය සතුටින් බාර ගනු මිස වෙන කළ හැකි දෙයක් නැත.



එසේම මෙහිදී සජිත් ඇතුළු එක්සත් ජාතික පක්‍ෂයෙන් කැඩී ගිය කණ්ඩායමටත් වගකීමක් තිබේ. මා මෙහිදී අදහස් කරන්නේ පාඨලී රණවක, රාජිත සේනාරත්න ඇතුළු ගන්ධබ්බයින් ගැන නොවේ, ඔවුන් තුවාලය ඇති තැන බලා ඉහඳ තියනු ඇත. නමුත් නියම UNP කාරයින්, එනම් සිරිකොත අල්ලා ගැනීම අරමුණු කර ගත් හාදයින් තමන් අසු වී සිටින උගුල හඳුනා ගත යුතුය.

මේ කණ්ඩායම ආසන 54 ක් දිනුවත්, ඉන් වැඩිමනක් අවශේෂ ජාතිවාදී පක්‍ෂ වල මන්ත්‍රීවරු ය. ඔවුන් දිගටම තමන් හා රැඳී සිටින්නේ නැතුවා පමණක් නොව ඔවුන් ගන්නා තීන්දු කෙරේ තීරණාත්මක බලපෑමක් කිරීමටත් මේ "හිටපු" UNP කාරයින්ට හැකියාවක් නැත. සමගි ජන බලවේගය සැළකිය යුතු සිංහලයින් පිරිසක්, විශේෂයෙන් බෞද්ධයින් පිරිසක්, ඡන්ද පොළ වෙත ආකර්ෂණය කර ගැනීමට අසමත් වූ බව පැහැදිළි ය. එක්සත් ජාතික පක්‍ෂය විසින් තමන් අතහැර දැමීම හේතුවෙන් අපේක්‍ෂා භංගත්වයට පත් බෞද්ධ UNP කාරයින් ජාතිවාදී ග්‍රහණයට නතු වී තිබෙන සමගි ජන බලවේගයට මනාපය පල කිරීමට නොගිය බව අමතක කර ඒ පක්‍ෂයට තම දේශපාලන සමීකරණය තැනිය නොහැක. මේ ආසන 54 ලැබී තිබෙන්නේ දෙමළ සහ මුස්ලිම් වර්ගවාදී කණ්ඩායම් වලිනුත්, සජිත්ගේ සමාජවාදී සුරංගනා කතා වලට ආකර්ෂණය වන අඩු වරප්‍රසාදිත කණ්ඩායම් සහ මුහුදුකරයේ (විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ) ගොබ්බ ඡන්ද වලිනුත් ය. මේවා කොහොමත් ලැබෙන මුත් ආණ්ඩු පිහිටුවීමට කවදාවත් ප්‍රමාණවත් වන්නේ නැත.

කණ්ඩායමක් වශයෙන් දේශපාලන අනාගතයක් ගැන සිතන්නේ නම් කළ යුතුව තිබෙන්නේ හැකි තාක් කේවල් කර එක්සත් ජාතික පක්‍ෂය සමග එකතු වීමයි. ඒ සඳහා මීට වඩා වාසිදායක අවස්ථාවක් සජිත්ට ලැබෙන්නේ නැත. එක්සත් ජාතික පාක්‍ෂිකයන් සෑම මැතිවරණයකදීම ගෙදරට වී සිටිනු නැත. සති දෙකකින් සිංහලයින්ට සියල්ල අමතක වන බව වේලුපිල්ලේ පඬි තුමා විසින් ප්‍රකාශ කර තිබේ.



රෝස පාට සමාජවාදීන් ගැන සටහනක් නොතැබුවොත් එය අඩුවකි. ඕනෑම මැතිවරණයක පරාජිතයා කවුදැයි අපට කියා දෙන්නේ මේ කණ්ඩායමයි. සුපුරුදු ලෙසින් මෙවරත් මාලිමාවෙන් මන්ත්‍රීවරු අඩුවෙන් පත් කර යැවීම නිසා ශ්‍රී ලංකාවේ මහජනයා පරාජිතයන් බව ඒ කණ්ඩායම විසින් මාධ්‍ය සාකච්චාවක් තබා පවසන්නට යෙදින. ඔවුන් ගැන අප පෙර ලිපියේ සටහන් කළේ මේ අයුරිණි.
මේ කණ්ඩායම බොහෝ විට ආසන කිහිපයක්, උපරිම වශයෙන් පහක්, දිනා ගනු ඇත; එසේම ජනාධිපතිවරණයට වඩා ඡන්ද ගණනත් වැඩි කර ගනු ඇත. නමුත් වඩා වැදගත් වන්නේ ජනතා විමුක්ති පෙරමුණට මින් මන්ත්‍රී ධුර කීයක් හිමි වනවාද යන්නයි.

ජනාධිපතිවරණයේදී AKD සහය දැක්වූයේ ගෝඨාභයගේ ප්‍රතිවාදියාටය. බොහෝ ජවිපාවුන් තම මනාපය සජිත්ට දෙන ලදී; එසේ තිබියදීත් වැටුණු 3% වන්නේ කට උල් කර ඇස් රවුම් කර කියන බොරු වලට පහසුවෙන් රැවටෙන ලංකාවේ මන්දම මන්ද බුද්ධික ඡන්දයි. ඒ ඡන්දත් බොහෝ විට මේ බලවේගයටම ලැබෙනු ඇති අතර ගිය වර සජිත්ට දුන් AKD ඇතුළු නියම ජවිපාවන් මෙවර තම තමන්ටම මනාප දී ගනු ඇති බැවින් ඒ කණ්ඩායමේ ඡන්ද ප්‍රතිශතය බොහෝ දුරට 5% ට ලං වනු ඇත.
අප ප්‍රකාශ කළ ලෙසින් මාලිමාව (ජවිපෙ නොවේ) 5% ට ඉතාම ආසන්න වූ අතර ඊට හේතුව එක්සත් ජාතික පාක්‍ෂිකයන් ගෙදරට වී සිටීම නිසා අනෙක් පක්‍ෂ වල ප්‍රතිශත වැඩි වීම බව AKD තේරුම් ගත්තේ දැයි පැහැදිළි නැත. ඔහුට පැහැදිළි උනත් ඔහු ඒ බව ප්‍රසිද්ධියේ පිළිගන්නේ නැත. විමල් විරවංශ පක්‍ෂයට කළ දෙයක් නැතැයි කියූ, කුමාර් ගුණරත්නම් කියා කෙනෙක් හඳුනන්නේ නැතැයි කියූ, නාමල් රාජපක්‍ෂගේ ලම්බෝගිනි වර්ගයේ රේසිං කාර් ගැන "පරම සත්‍යය" දේශනා කළේ යැයි කියූ, බොරුවේ සන්නාමය වන AKD කිසිදා මේ සත්‍යය පිළි ගන්නේ නැත. ඔවුන්ට අනුව ජනතාව තවම මෝරා නැත; දැන් කළ යුත්තේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ බොරුව මූලික කර ගත් දේශපාලනය වෙනස් කිරීම නොව තමන් කියන බොරුවට අනුගත වන අයුරින් මහජනතාව වෙත සන්නිවේදනය කිරීමයි. වෙනත් වචන වලින් කියතොත් තව තවත් මොළ සේදූ වහළුන් වර්ධනය කර ගැනීමයි.

මෙය මේ කපේදී සිදු වන්නේ නැත; සමාජයක සිටින මන්ද බුද්ධික ඡන්ද දායකයින් ගණනට ස්වාභාවිකවම සීමාවක් තිබේ; ඒ 3% කි. අනෙක් මනුෂ්‍යයන් ඡන්ද පොළට නොයෑම හේතුවෙන් මේ ප්‍රතිශතය කෘතිමව වැඩි වීමක් පෙන්නුම් කළද එය විකෘතියකි. තත්වය සාමාන්‍ය වූ වහාම මේ ප්‍රතිශතය ස්වභාවික සීමාව වන 3% වෙත අපගමනය වනු ස්වසිද්ධියකි.

ජවිපෙ පසුගිය අවුරුදු 5 දී කළ කී දැයෙහි අස්වැන්න නෙළාගෙන ඇත. රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්‍ෂය පරදවා ලීම පමණක් ඒ පක්‍ෂයේ ජයග්‍රහණයක් ලෙස සැළකිය හැකි නමුත් රනිල් වික්‍රමසිංහගේ නිල සුනඛයා වන AKD ත්, පාර්ලිමේන්තුවේ වික්‍රමසිංහගේ තුණ්ඩු එහා මෙහා ගෙනයන කොල්ලා හෙවත් අතවැසියා වන යටත්-විජිතයාත් මන්ත්‍රී කම් දරණ විට ඒ දෙදෙනාගේම ස්වාමියා වන වික්‍රමසිංහයා එහි නැති වීම දෙදෙනාට සංකාවට කාරණයක් සේ නොදැනේ දැයි දන්නේ ඔවුන්ගේම හෘද ශාක්‍ෂිය පමණෙකි.



කෙසේ වෙතත් මහමැතිවරණයේ ප්‍රතිඵල අතර එක මනාප ප්‍රතිඵලයක් අපගේ ඉමහත් ප්‍රීතියට හේතු වේ. ඒ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා තමන් 'එක' වන්නෙමැයි පම්පෝරි ගැසූ විමල් වීරවංශ ඉක්මවා කොළොඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පැමිණීමයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට හැරුණු කොට මෙවර වැඩිම මනාප ලාභියා ඒ මහතා බවයි අපගේ මතකය. ඒ සඳහා වචන කිහිපයකින් හෝ දායක වන්නට ලැබීමයි ආඩම්බරය.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළගේ පාර්ලිමේන්තුවේ සිටිය යුතු පුද්ගලයින් වන මුත් ඒ දෙදෙනාගේ මෑත කාලීන හැසිරීම ගැන අපගේ එතරම් පැහැදීමක් නැත. විමල්ගේ ඉදිමීම වැඩිය - ඔහු හැසිරෙන්නේ අධිතක්සේරුවකිනි. ඔහුට ඒ සඳහා සම්පූර්ණ අයිතිය ඇතත් ඉන් ජාතික ව්‍යාපාරයට ගෙන දෙන්නේ හානියකි. 2015 ජනාධිපතිවරණයේදී (මතක ලෙස) පිළියන්දල පැවති අවසන් රැස්වීමේ දී "සිරිසේනා...සිරිසේනා... කෝ මේ සිරිසේනා..." ආදී වශයෙන් අපහාසාත්මක අයුරින් කතා පැවැත්වූ චරිතය අපට අවශ්‍ය නැත.

උදය ගම්මන්පිළ සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේ උගතෙකු සහ බුද්ධිමතෙකු වශයෙනි; එහෙත් ඔහුගේ මෑත කාලීන සංවාද සහ මාධ්‍ය ප්‍රකාශ ඔහුගේ ප්‍රතිරූපයට ඉතාම හානිකර ඒවා බව සිතුනු වාර අනන්තය. තමන්ගේ පාසැල ගැන නිතර සඳහන් කිරීම අමු ගෝත්‍රික ලක්‍ෂණයකි, රනිල් වික්‍රමසිංහ "ලඟම ඉස්කෝලේ හොඳම ඉස්කෝලේ" කියා තමන් ගිය තුම්මුල්ලේ ඉස්කෝලය ඉහ උඩ තබාගෙන කටයුතු කරන විට ඊට අපහාස කළ අපට ගම්මන්පිළ ඊට වඩා ප්‍රභාශ්වර ගුණයෙන් අඩු තමන්ගේ පාසැල නිතර මතක් කරනු අනුමත කළ නොහැක. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තමන්ගේ ජාතිය ඇමතීමේ කතාවේදී පාසැල ගැන සඳහන් කළේය. ගම්මන්පිළ ඔහුගෙන් ඉගෙන ගත යුතුය. තමන්ගේ පාසැලේ ශිෂ්‍යයන් සහ ආදී ශිෂ්‍යයන් ගම්මන්පිළ නිසා ආඩම්බර වේනම් එකකි, ගම්මන්පිළ තමන්ගේ පාසැල නිසා ආඩම්බර වේනම් එය ඔහුගේ දුප්පත් කමයි. මේ ගෝත්‍රික ලක්‍ෂණය ගම්මන්පිළ අතහැර දැමිය යුතුය. ගම්මන්පිළ ආමන්ත්‍රණය කළ යුත්තේ සිංහලයින් මිස එක ඉස්කෝලේ එක ටවුමේ එක හන්දියේ එකට වල බැහැපු බැචාලා නොවේ.

ගම්මන්පිළ, කළින් බැරි උනානම් පාසැල හැර යාමේ සහතිකය ගැනීමට ඔබ තවම පරක්කු වැඩි නැත.



ඊට අමතරව තවත් සටහන් කළ යුතු කරුණු කිහිපයක් වෙයි.

පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවෙන් ගෙවිඳු කුමාරතුංග පත් කිරීම ගැනත් ඇත්තේ ප්‍රසාදයකි. ඒ මහතා මීට පෙර පාර්ලිමේන්තුවට තෝරා පත් කළ යුතුව සිටි උත්තමයෙකි. එසේම අනුරාධපුර දිස්ත්‍රිකයේ වෛද්‍ය චන්න සුදත් ජයසුමන පත් වීමත් සතුටට කාරණයකි. මීට අමතරව මුල සිටම ඒකීය රාජ්‍යය වෙනුවෙන් පෙනී සිටින දිනේෂ් ගුණවර්ධනත් විශ්වාසය තැබිය හැකි පුද්ගලයෙකි. එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අළුතින් පත් වූ අසංක නවරත්න තරුණ මහතා ගැනත් ඇත්තේ බලාපොරොත්තුවකි. මීළඟ මහමැතිවරණයෙන් ඒ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලාභියා වනු ඇතැයි අපගේ ප්‍රාර්ථනය වේ.

විශේෂම පත් වීම වන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් දෙමළ මහතෙකු මන්ත්‍රීධුරයට තේරී පත් වීමයි. මේ ඉතා වටිනා ආරම්භයකි; එසේම අප මීට පෙර කළ සඳහනක් තහවුරු කිරීමකි.
UNP සහය බලාපොරොත්තු නොවී තුනෙන් දෙකේ බලයක් සහිත පාර්ලිමේන්තු කණ්ඩායමක් තනා ගැනීමට ගෝඨාභය ජනාධිපති තුමාගේ අවධානය යොමු විය යුතුයි. ඒ සඳහා උතුර සහ නැගෙනහිර දිස්ත්‍රික්ක පහ (හෝ දිගාමඩුල්ල හැර ඉතිරි හතර) ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ප්‍රමුඛස්ථානය ලැබෙන පරිදි එක කණ්ඩායමක් වශයෙනුත්, දිවයිනේ ඉතිරි දිස්ත්‍රික්ක සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ප්‍රමුඛස්ථානය ලැබෙන වෙනම කණ්ඩායමක් වශයෙනුත් ඉදිරිපත් වී මැතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුවක් සෑදීම ප්‍රසස්ථ උපක්‍රමය බව සිතමි.

අප එසේ සිතුවත් බැසිල් සහ අනෙක් අය මා මෙන් නොසිතන බව නොදන්නවා නොවේ. ඔවුන් කෙසේ සිතුවත් අපගේ අදහස නම් දැන් පසිඳු වී ඇති පොහොට්ටු සළකුණ අනිවාර්‍යයෙන් ජය ගත හැකි දිස්ත්‍රික්ක වල භාවිතා කිරීමත්, ජනාධිපතිවරණයේ දී පරාජය වූ හෝ අඩු වැඩි ඡන්ද ගණනක් ලෑබූ දිස්ත්‍රික්ක වල පුටුව ලකුණෙන් තරඟ වැදීමත් වඩාත් ප්‍රතිඵලදායක වනු ඇති බවයි. මේ ගැන සංඛ්‍යානමය විශ්ලේෂණයක් කිරීමට එකී පක්‍ෂ වලට සම්බන්ද විද්වතුන්ගේ අවධානය යොමු වේවා.
පුටුව වෙනුවට ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අත ලකුණ තෝරා ගැනීම වඩාත් සුදුසු තීරණය බවට සැක නැත. පරම්පරාවකට පෙර අතට ඡන්දය දුන් අයවළුන් යාපනයේ තවමත් නොසිටින්නේ යැයි සිතීම නුණුවන කමෙකි; නැතත් ඒ ලකුණ රැගෙන යාපනයට යාම නව ආරම්භයකි. යාපන දිස්ත්‍රික්කයේ එක ඡන්ද බල ප්‍රදේශයක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජයග්‍රහණය කළේය, එය ඉතා පැහැදිළිවම හැරවුම් ලක්‍ෂයකි. මේ ජය පොහොට්ටුව ලකුණෙන් ඉදිරිපත් වී නම් ලැබෙන්නේ නැත. එහි ගෞරවය හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වර්ථමාන නායක මෛත්‍රිපාල සිරිසේන මහතාට හිමි විය යුතුය.



අවසන් වශයෙන් සටහන් කරන්නේ, අප සිතන අයුරින්, අත ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යාපනය දිස්ත්‍රික්කයේ උඩුප්පිඩි ඡන්ද බල ප්‍රදේශය ජයග්‍රහණය කිරීමත් දෙමළ මහතෙකු (ඔහුගේ හැකියාවන් සහ පරණ වාර්තා සඳහා වික්කිය බලන්නනේ නම් මැනවි) ඒ පක්‍ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වීමත් මේ මැතිවරණයේ වැදගත්ම සංසිද්ධියක් බවයි.

එසේ වුවත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යාපනය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමත්, ඒ පක්‍ෂයෙන් සිංහල මහතෙකු (සිංහල මහතෙකු කසාද බැඳ සිටින සිංහල නෝනා මහත්මියක වුවත් ගැටළුවක් නැත) මන්ත්‍රී ධුරයකට පත් වීමත් අප පතනා නියම ජයග්‍රහණය වෙයි.



14 comments:

  1. අංගජන් රාමනාදන්ට වඩා කරුණා අම්මාන් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අංගජන් රාමනාදන් මා හට නම් "දෙමළ මහතෙකු" පමණකි. කරුණා අම්මාන් නම් හිටපු LTTE සාමාජිකයා මගේ අදහස අනුව ඒකීය රාජ්‍යය වෙනුවෙන් සහ යාපනයේ දෙමළ වෙල්ලාලයින්ගේ ආධිපත්‍යයට එරෙහිව පෙනී සිටින්නෙකි. මුලින් කී දෙමළ මහතා එකී ආධිපත්‍යයට විරුද්ධ දැයි පැහැදිළි නැත.

      ඔහු ඒකීය රාජ්‍යය පිළිගනී යැයි උපකල්පනය කරමි. එහෙත් වචන හරඹයක් තුල ඊනියා ඒකීය රාජ්‍යයක් තුල බලය බෙදා හැරීමක් ගැන කතා කෙරේනම් ඒ ඒකීය රාජ්‍යයෙන් අපට පලක් නැත.

      Delete
  2. ශ්‍රීලනීපය යාපනයේ ජයග්‍රහණයක් ලැබීම හා TNA ඡ්න්ද ප්‍රමාණය අඩුවීම ඉතා සාධනීය ප්‍රවනතාවයන්. සාමයට ලැදි දෙමළා ඩයස්පෝරාවන්ගේ බොරු, බොරු ලෙස හඳනාගනිමින් සිටින බවක් තමා පෙන්නුම් කරන්නෙ...

    ReplyDelete
    Replies
    1. අංගජන් රාමනාදන් කියන්නේ දෙයියෙක් නෙමෙයි.

      විමල් විරවංශ විවේචනය කරනවා වගේම මූවත් විවේචනය කල යුතුයි.

      Delete
    2. වෙන්න ඇති. හැබැයි TNA එකෙන් නැතිව SLFP එකෙන් ඡන්දෙ ඉල්ලපු එක අගය කරන්න ඕනා.

      Delete
    3. TNA දැන් නැත, එය පක්‍ෂ කිහිපයක කණ්ඩායමක් හැඳින්වීමට යොදා ගත් නාමයයි. ඒකාබද්ධ විපක්‍ෂය මෙනි. ඔවුන් මැතිවරණයට ඉදිරිපත් වූයේ දෙමළ රාජ්‍ය පක්‍ෂය (අර සංධානයේ එක පක්‍ෂයක්) ලකුණිනි.

      මෙකී සංධානය බිඳ වැටී ඒවා වෙන වෙනම ඉල්ලීම ඡන්ද අඩු වීමට හේතුව ලෙස ගත් විට මෙහි සතුටට කරුණක් නැත. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යාපනයෙන් ආසනයක් දිනා ගැනීම ඊට වෙනස් ය.

      Delete
  3. විමල් විර වංශගෙ තියෙන වැරැද්ද ජාතික වාදයයි සමාජවාදයයි අනා ගැනීම.
    චාපා බණ්ඩාරත් ඔය වැරැද්දම කරනවා.

    ReplyDelete
    Replies
    1. ජාතිකවාදයයි සමාජවාදයයි අනා ගත්තම එන්නේ ජාතික සමාජවාදය.
      එතකොට ස්වස්තික ලකුණක් පෙනෙන්නේ මට විතරද ?

      Delete
    2. කරුනා අම්මාන් වගේ උන් සිංහල සිවිල් වැසියන්ව මැරුවා තමයි. ඒක හරියට අවුරුදු 3කට කලින් දෙමෙල්ලු කට්ටියක් අර කොටියව මැරුවා වගේ චර්යාවක්.

      නමුත් කරුනා අම්මාන්ල වගේ උන් හසුරවන්නේ "දෙමළ මහත්තුරු" තමයි.
      ප්‍රභාකරන් යුද්දෙන් දිනුවනම් ඌව අයින්කරලා "දෙමළ මහතෙකු"නායකයා වෙනවා.

      ජාතික වාදයයි සමාජවාදයයි අනා ගත්ත කෙනෙක්ට සිංහල ජාතියට අසාධාරණයක් වෙලා කියලා දැනෙනවා. ඒත් ඒක ආර්ථික සූරාකෑමක් සමඟ ගැලපීමට යාම නිසා විකාර කුමන්ත්‍රණ කතා කියන්න පටන් ගන්නවා.

      හැමදේටම ආර්ථික විද්‍යාව ගැලපීම කෂිකබල් මාක්ස්වාදී ක්‍රියාවක්.

      Delete
    3. "හැමදේටම ආර්ථික විද්‍යාව ගැලපීම කෂිකබල් මාක්ස්වාදී ක්‍රියාවක්."© අන්තෝනියෝ බහිජටා

      Delete
  4. ලිපිය කියවන්නට ලැබුනේ අදයි,
    බොහෝම පැහැදිලි විග්‍රහයක්,

    ඔබත් මාත් එකඟ වන කරුනු ගැන මා ආයෙත් ලියන්නේ කුමකටද

    විමල්ගේ 2015 අපගමනය ගැන ඔබ කියනා දෙය බොහෝම හරි මා පෞද්ගලිකව දකින්නේ එය ඔහු විසින්ම කල බරපතල අපරාධයක් ලෙසිනුයි.

    යාපනයේ අංගජන් රාමනාදන් ගේ ජයග්‍රහනය මාත් විමතියට පත් වූ හා සතුටට් පත් වූ පුවතක්. මේ සියළු වෙනස් කම් සිදුවන්නේ යම් ලෙසකින් දෙ රා පක්ෂය බිඳ වැටීම හා දුර්වල වීම නිසා යැයි මා සිතනවා.
    ඔවුන් ගේ තනි අධිකාරී බලය, සම්පන්දන් ගේ නායකත්වය, සුමන්තිරන්ගේ කූට උපක්‍රම කෙමෙන් දෙමළ ජනයා වෙතින් ප්‍රථික්ෂේප වීමක් නොවෙයිද මේ සිදුවන්නේ.

    ReplyDelete
    Replies
    1. සිතුවිළි, ඔබේ ප්‍රතිචාරයක් දක්නට ලැබීම සතුටක්. මිතුරු ජොසෙෆ්ගේ ප්‍රතිචාරයක් දුටුවා හා සමානයි.

      එහෙත්, "මේ සියළු වෙනස් කම් සිදුවන්නේ යම් ලෙසකින් දෙ රා පක්ෂය බිඳ වැටීම හා දුර්වල වීම නිසා යැයි මා සිතනවා." යන්න ගැන මා එකඟ නෑ.

      දෙමළ රාජ්‍ය පක්‍ෂය යාපනය මුල් කොට ගත් දෙමළ ජාතිවාදී පක්‍ෂ බර ගණනකින් එකක් පමණයි. එවැනි පක්‍ෂ බොහෝ ගණනක් තිබෙයි. දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පෙනී සිටීම මේ සැමගේ අභිලාශ අතර තිබුණත් ඔවුන් අවි අතහැර (මෙය ව්‍යාජයක්, ඔවුන් දිගටම අවි භාවිතා කළත් ඒ සෘජුවම රජයේ හමුදාවන්ට එරෙහිව නොවෙයි) සාම මාවතට එන්නේ LTTE සංවිධානය විසින් දියත් කළ සමූල ඝාතනයෙන් ගැලවීමටයි.

      පසුව පාර්ලිමේන්තු දේශපාලනයක් කිරීම පිණිස LTTE විසින් ඔවුන් සියල්ල එකතු කරනු ලබනවා. දෙමළ ජාතික සංධානය හෙවත් (TNA) නමින් පෙනී සිටින්නේ මේ එකතුවයි. එය පක්‍ෂ බොහොමයක එකතුවක්. ඒ එකතුව විසින් මැතිවරණයට ඉදිරිපත් වීම පිණිස දෙමළ රාජ්‍ය පක්‍ෂයේ ලකුණ තෝරා ගන්නවා. 2015 දී "යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ" (හෝ එවැනි නමකින් පෙනී සිටි දේශපාලන පක්‍ෂ සහ නොරාජ්‍ය සංවිධාන කට්ටලය) තමන්ගේ ලකුණ වශයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ "අලියා" ලකුණ තෝරා ගැනීමත්, 2020 දී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය තමන්ගේ ලකුණ වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ "පොහොට්ටුව" ලකුණ තෝරා ගැනීමත් මීට සමගාමී උදාහරණ.

      මෙවර යාපනයේදී (උතුරේදී) වූයේ සිදු විය යුතු පරිදි මෙකී පක්‍ෂ වෙන වෙනම තරඟ කර වෙන වෙනම ආසන දිනා ගැනීමයි. ඒ අතර යාපනය මූලික කර නොගත් එසේම දෙමළ ජාතිවාදයට විරුද්ධ මතවාදයක් දරණ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යාපනයෙන් ආසනයක් දිනා ගැනීම නම් ආශ්වාදයට කාරණයක්. නමුත් තාවකාලික ආශ්වාදයට වඩා වැදගත් වන්නේ මේ නැඹුරුව ඉදිරියට ගෙන යාමයි.

      Delete
  5. අර චාපා ගොයියට නම් හැමදේම කුමන්ත්‍රණ.
    හැබැයි පලාත්සභා චන්දෙට රනිල්ගේ නායකත්වයෙන් එජාපය ඉල්ලනවා කිව්වාම නම් මටත් කුමන්ත්‍රණ බයක් ආවා.
    රනිල් මේ හදන්නේ පොහොට්ටුවට සුපිරි බලයක් දෙන්නද?

    කෙහොමත් අපි පලාත්සභා වලට විරුද්ධයිනේ. අපිට අවශ්‍ය පලාත් සභා අවලංගු කරන්න මිසක්. පලාත්සභා පොහොට්ටුවට දිනවන්න නෙමෙයි. ඒ නිසා පලාත්සභා චන්දය වර්ජනය කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්‍ෂය සිංහල විරෝධී වීම හේතුවෙන් දෙතිස්කතාවේ රනිල්ගේ සහ ඔහුගේ පක්‍ෂයේ හොඳක් සඳහන් වුණේ නැත; එහෙත් ඔහුගේ ආණ්ඩුවෙන් කළ හොඳ දෙයක් නම් පළාත් සභා අවලංගු කර දැමීමයි. ඒ කටයුත්ත සාර්ථක කර ගැනීම උදෙසා ඔහු (වික්‍රමසිංහ) පළාත් සභා ලබා ගැනීම වෙනුවෙන් අවි බිම තැබූ දෙමළ පක්‍ෂ වල සහය සේම පලා බබා අපට එපා කියා පෙළපාලි ගොස් ලංගම බස් ගිණි තැබූ සිංහල ගැමි පක්‍ෂයේත් අනුප්‍රාප්තිකයන්ගේ සහය ලබා ගැනීමට ඔහු කූට විය. රනිල් වික්‍රමසිංහත් ඔහුගේ සිංහල විරෝධී පක්‍ෂයත් සිංහලයන් වෙනුවෙන් කළ එකම සේවය ඉතිහාසයේ වැළලී යාමට ඉඩ දිය යුතු නැත.

      මීට පෙර ලිපි වලින් සහ ප්‍රතිචාර වලින් කිහිප විටක් ප්‍රකාශ කර ඇති පරිදි පොහොට්ටු පක්‍ෂය හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහි හරයෙන් සිංහල ජාතිවාදී පක්‍ෂයක් නොවේ (අඩු තරමින් උදය ගම්මන්පිළගේ වන් මෑන් ෂෝ පක්‍ෂයවත් එසේ නොවේ). පොදුජන පෙරමුණේ නාම මාත්‍රික නායකයා වන මහින්ද රාජපක්‍ෂ ජනමතය හඳුනා ගන්නා ඊට නිවැරදිව ආමන්ත්‍රණය කිරීමට දන්නා කෙනෙක් වුවත් ඔහු මෙහෙයවෙන්නේ තවදුරටත් බලය ලබා ගැනීමේ අභිලාශය විසිනි. සිංහලයින්ගෙන් ලබා ගත හැකි ඡන්ද ප්‍රමාණය මේ වන විට ලෙල්ලටම සූරාගෙන ඇති පසුබිමක ඔහු ඒ වෙනුවෙන් අනෙක් පාර්ශව වෙත හැරීම බලාපොරොත්තු විය යුතුය. ඒ පක්‍ෂයේ නියම නායකයා වන බැසිල් රාජපක්‍ෂ සිංහලයින් ගැන වද වන බවක් පෙන්වා නැත. එහි ආරම්භක සභාපති සහ ප්‍රතිපත්ති සම්පාදනයේ තීරණාත්මක භූමිකාවක් ඉටු කරන G.L. පීරිස් දෙමළ ජාතිවාදියෙකි. ඔහුගෙන් සිංහලයින්ට සුගතියක් අත් වන්නේ නැත.

      ඒ තත්වය යටතේ ය පෙර ලිපියෙන් අප පොහොට්ටු + අත + අලියා තුනම එක් වීමෙන් පමණක් තුනෙන් දෙකේ බලයක් ලැබෙන මුත් පොහොට්ටුවට තනිවම ආණ්ඩුව පිහිටුවා ගැනීමට පමණක් සරළ බහුතරය ලැබෙන පාර්ලිමේන්තුවක් ප්‍රාර්ථනා කළේ. විශේෂ බහුතරය භාවිතා කර ඔවුන් විසින් කළ යුතු වැදගත්ම කාර්‍යය වශයෙන් අප දුටුවේ සරළ තනි වාක්‍යයේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් 19 වන සංශෝධනය මුළුමනින්ම අහෝසි කිරීම පමණි.

      දැන් උවමනා ප්‍රමාණයටත් වඩා බලයක් ලැබී ඇති බැවින් මේ හාදයින් පිස්සු කෙළීම ආරම්භ කිරීම කාලය පිළිබඳව ප්‍රශ්නයක්වත් නොවේ. පිස්සු කෙළීම දැනටම ආරම්භ වී ඇත. පළාත් සභා මැතිවරණ ගැන මැත දෙඩවීම එහි පිළිඹිබුවයි.

      පළාත් සභා අහෝසි කිරීම සිංහලයාගේ අවශ්‍යතාවයයි. මේ මුළු ලංකාවම සිංහලයාගේ නිජ භූමිය වෙයි, මුළු ලංකාවම හෝ එහි කොටසක් හෝ වෙනත් ජනවර්ගයක නිජ භූමියක් වන්නේ නැත. පදිංචි පළාත අනුව වෙනස් කොට සැළකීම අප අනුමත කරන්නේ නැත. මෙකී සමානාත්මතා මූලධර්මය උල්ලංඝණය කෙරෙන පළාත් සභා ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීම වහ වහා කළ යුතු වුවත්, මේ වන විට ස්වභාවික මරණයකට ලක් වී තිබෙන එකී සභා සක්‍රිය කර අප ආ මාර්‍ගයේ ආපසු හැරී යාමට නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂගේ ආණ්ඩුව උත්සාහ දරයි නම් මුළුමහත් ශක්තිය යොදවා ඊට විරුද්ධ විය යුතුය.

      පළාත් සභා මැතිවරණ සඳහා දින නියම කෙරෙන දින සිට දෙතිස්කතාව එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් පෙනී සිටීම ආරම්භ කෙරෙනු ඇති අතර පෞද්ගලිකව අපගේ ඡන්දය අලියා ලකුණ ඉදිරියේ (ඒ ලකුණින් ඉදිරිපත් වේ යැයි උපකල්පනය කර) සටහන් කර මුල සිට එක්සත් ජාතික පක්‍ෂයේ දේශපාලනය කළ හාදයන් තිදෙනෙක් වෙනුවෙන් මනාප ලකුණු කරන බව අද මෙහි සටහන් කර තබමි.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !