Friday, May 10, 2019

ඉයන් හිතන හැටි

ඉයන්ගේ අඩවිය හෙවත් Ian's Den අප ඉඳහිට ගොඩ වැඩෙන බ්ලොග් අඩවියකි. එහි නවතම ලිපියෙන් උපුටා ගත් කොටසක් යට දැක්වේ.

පාස්කු බෝම්බෙන් වැඩක් ගමුද?

"පාස්කු ඉරිදා සිදුවීම් ගැන විවිධ අදහස් දැක්වීම් විවිධ මාධ්‍යය වල තිබුණ. මේ ගැන මගේ අදහස නම් ටිකක් වෙනස්. හැමෝම මරාගෙන මැරුණ අයට සහ පාලකයන්ට දොස් කියනව. මේ දෙගොල්ල මේ සිද්ධියට දැනුවත්ව හෝ අතපසු කිරීම් වලින් පහසුකම් සැපයීමක් (facilitate) කලත් මේ මරණ වලට වගකියන්න ඕන ඒ මැරුණු අයමයි.

බුදු දහමේ යමෙක්ගේ මරණය වෙන අවස්ථා 4 ක් ගැන උගන්වා තියෙනව. ඒවා නම්;
  1. ආයුක්ඛය - සත්ත්වයාගේ හෝ පුද්ගලයා ගේ ආයුෂ අවසන් වීම.
  2. කම්මක්ඛය - සත්ත්වයාගේ හෝ පුද්ගලයා ගේ ජීවත්වීමට ඇති කර්ම ශක්තිය අවසන් වීම.
  3. උභයක්කය - ආයුෂ සහ කර්ම ශක්තිය යන දෙකම අවසන් වීම.
  4. උපච්ඡේදක මරණ - හදිසි කර්ම විපාක නිසා සිදුවන මරණය.
ඉහත හේතු හතරට අමතරව ඉස්ලාම් අන්තවාදීන් මරාගෙන මැරීම නිසා සිදුවන මරණ හෝ සිරිසේනගේ ඔක්තෝබර් 'විප්ලවයෙන්' පසු සරත් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යාංශය නොදීම නිසා ඇතිවූ මරණ කියා මරණයට හේතූන් බුදු දහමේ උගන්වන්නේ නැහැ."
මා ඉයන්ගේ අඩවිය කියවන්නට පෙළඹුනේ ම එහි දෙමළ බෙදුම්වාදය හා එහි ඉතිහාසය සම්බන්ධව පළ වූ ඉතා වටිනා කරුණු ඇතුලත් ලිපි හේතුවෙනි. එය විවිධ මාතෘකා යටතේ රසවත් ලිපි පල වූ සංවාද මණ්ඩපයකි. පසු කාලීනව ඉයන් පාගාගෙන සිරිකොතේ ප්‍රචාරක අංශය මේ අඩවිය අත්පත් කර ගැනීම නිසා ඊට පිවිසීම කෙමෙන් අඩු විය. එහෙත් මේ කතාවට ඒවා අදාළ නැත.




බුදුරජාණන් වහන්සේ "සම්මා සම්බුද්ධ" නම් වන සේක. එසේ හෙයින් බුදුගුණාලංකාරයේදී කියන ලදී.
තුන් කල්හි මැ පැවැති
පදරුත් සියල් ලොවැ ඇති
අතැඹුල සෙ දැනගති
එයින් ‘සම්මා සම්බුදුනැ’ යෙති
උන් වහන්සේගේ ධර්මය "ස්වාක්ඛාත" ය. තෙමේම ආඛ්‍යාන කොට ඇති, නැතිනම් මනා කොට දේශනා කරන ලද්දක් බව එහි අර්ථයයි.

උදාහරණයක් දෙතොත් "මහණෙනි, ආර්ය සත්‍යයෝ නම් සතරෙකි" යනුවෙන් තථාගතයන් වහන්සේ දේශනා කර ඇති විටෙක "නෑ, නෑ, බුදු හාමුදුරුවනේ ඔයාට එකක් මිස් උනා, ආර්ය සත්‍යයන් පහක් තිබෙනවා" යි ප්‍රකාශ කිරීමට හෝ "පිස්සුද බුදු හාමුදුරුවනේ, ආර්ය සත්‍යයෝ කොහෙද හතරක්, දෙකයි තියෙන්නේ" යි ප්‍රකාශ කිරීමට හෝ සමත් දෙවියෙක්, මනුෂ්‍යයෙක්, බ්‍රහ්මයෙක් හෝ මාරයෙක් ඇතුළු කිසිදු සත්ත්වයෙක් මේ තුන් ලෝකයේම ඇත්තේ නැත. ඉයන් ගැන කියනුම කවරේද.

ඉහත ඉයන්ගෙන් ගත් උපුටනයේ දම් පැහැයෙන් වර්ණ ගන්වා ඇති කොටසයි වරද.



මේ සංසාරයේ භවයෙන් භවයට යන සත්ත්වයා මරණයට පත් වන විට ඒ මරණ බෙදා දැක්විය හැකි කොටස් සතරක් ගැනයි ඉහත දේශනා පාඨය විස්තර කරන්නේ. මේවා ඉයන් සිතා සිටින ආකාරයේ "මරණයට හේතු" නොවෙයි. මරණයට හේතු කීම පශ්චාත් මරණ පරීක්‍ෂකගේ කාරිය යි - බුදුවරයෙකුගේ කාරිය සත්ත්වයා සසරින් එතෙර කිරීමයි.

උක්ත දේශනා පාඨයට අනුව මරණය සිව් වැදෑරුම් වේ.
  1. ආයුක්ඛය මරණ - සත්ත්වයාගේ ආයුෂය ක්‍ෂය වී යාම.
  2. කම්මක්ඛය මරණ - සත්ත්වයාගේ කර්මය ක්‍ෂය වී යාම.
  3. උභයක්කය මරණ - ආයුෂ සහ කර්මය යන දෙකම ක්‍ෂය වී යාම.
  4. උපච්ඡේදක මරණ - ආයුෂ සහ කර්මය යන දෙකම ක්‍ෂය වී නොතිබියදී ජීවිතය තොර වී යාම.
මේ ගැන මා කියනු වෙනුවට වෙනත් තැනකින් ගත් උපුටනයක් හුවා දැක්වීමට අවසර.
මෙම මරණ සතර පහනකින් අර්ථ දැක්වුවහොත් පත්තු කළ පහනේ තෙල් අවසන් වීමෙන් පහන නිවෙනවා එය ආයුක්ඛය මරණය වගෙයි. පහනේ තෙල් තිබෙද්දී තිරේ ඉවරනම් පහන නිවෙනවා. තෙල් තිබුණට වැඩක් නෑ එය කම්මක්ඛය මරණය වගෙයි. පහනෙ තෙලුත් ඉවරයි තිරෙත් ඉවරයි නම් පහන නිවෙනවා ඒක උභයක්ඛය මරණය වගෙයි. එසේ නම් තෙලුත්, තිරෙත් තිබියදී පහන ආලෝකය විහිදුවද්දි හදිස්සියේම සුළඟක් විත් පහන නිවීයන්න පුළුවන් . එය හරියට උපච්ඡේදක මරණයකට සමානයි. මේ අනුව මරණයක ධර්මතාවය පුද්ගලයාට තේරුම් ගන්න පුළුවන් වෙනවා.
ඉහත විස්තරය අනුව පෙනී යා යුත්තේ ජීවිත පැවැත්ම ආයුෂය සහ කර්මය යන දෙකම මත රඳා පවතින බවත් ජීවිත නැවැත්ම ඒ දෙක මත සහ වෙනත් බාහිර සාධක මත රඳා පවතින බවත් ය. ඉයන්ට නොපෙනුනාට ඉස්ලාම් හෝ (වෙනයම් හෝ) ත්‍රස්තවාදීන් විසින් කෙරෙන මරණ කිසි සැකයක් නැතිවම ඉහත විස්තර කළ සතර වන අංගය යටතට වැටේ. එපමණක් නොව මහමග රිය අනතුරු නිසා, වැඩපොළේ නිවසේ සිදු වන අනතුරු නිසා, මැර ප්‍රහාර වලට ලක් වීම නිසා ආදී වශයෙන් බාහිර හේතුන් ගෙන් සිදු විය හැකි අනතුරු පමණක් නොව දුම්රියට පැනීමෙන්, ගඟේ පැනීමෙන්, ගෙල වැල ලා ගැනීමෙන් ආදී වශයෙන් සිය දිවි තොර කර ගැනීමත් එහිම අඩංගු වේ. ෆොන්සේකාට අමාත්‍යාංශයක් බාර නොදීම හෝ බද්‍යුර්දීනයාට දෙපාර්තමේන්තු බර ගණනක් බාර දීම හෝ මීට අදාළ නැත.

උක්ත පැහැදිළි කිරීම අනුව කිව හැක්කේ ඉහල ඉයන් විසින් ලියා තිබෙන (අප විසින් යටින් ඉරක් ගසා දක්වා තිබෙන) "මේ මරණ වලට වගකියන්න ඕන ඒ මැරුණු අයමයි" යන ප්‍රකාශය ඉස්ලාම් ත්‍රස්තවාදියෙකු නැතිනම් ඔවුන්ගේ අනුග්‍රාහකයකු විසින් මිස බෞද්ධයෙකු විසින් නොකිව යුතු අල්ප දැනුමැත්තන් නොමග යවන සුළු ඉතා සාහසික ප්‍රකාශයක් බවයි.



දැන් ඉයන් පැත්තකින් තබමු. තබා අර කී සිව් වැදෑරුම් මරණ වෙත එමු. පහත විස්තර කෙරෙන්නේ ඒ පිළිබඳ අපගේ අදහසයි. ඒ කිසියම් දේශනාවකින්, පොත පතකින් උපුටා ගත්තක් නොවන බැවින් හා අපගේ අවබෝධය අනුව විස්තර කෙරෙන්නක් වන බැවින් ධර්මධර කෙනෙකුන් විසින් අඩුපාඩුවක් පෙන්වා දෙතොත් බාර ගම්හ.

ආයුක්ඛය මරණ

මේ සත්ත්වයාගේ ආයුෂය අවසන් වීමයි.

සමහර සත්තු දින ගණනක් පරමායුෂ ඇත්තෝය, සමහරු වසර කිහිපයකින් මෙලෝ හැර දා යති. තවත් සමහරු වසර සිය ගණනක් ජීවත් වෙති. දෙවියෝ බ්‍රහ්මයෝ හා නිරිසත්තු වසර දහස් ගණන් දිගු ජීවිත ගත කරත්. කිසියම් සත්ව යෝනියෙක උපන් සත්වයෙකු එකී යෝනියට අදාළ පරමායුෂ ගෙවා අපවත් වීම ආයුක්ඛය මරණය නම් වේ.

මේ ගැන අපට සිහියට එන ඉතාම සුන්දර උදාහරණය එන්නේ අමාවතුරේය. ඒ ශක්‍ර දේවේන්ද්‍රයා සම්බන්ධයෙනි. ශක්‍රයා දෙදෙව් ලොවට අධිපතියාය, ඔහුගේ දෙවියන්ගේ ආයුෂ අවසන් වන විට ඔහුට ඒ බව දැනෙන නිමිති පහල වේ. ජීවිතය අවසන් වේගෙන එන බව දැනුණු ශක්‍රයා තමාගේ පාණ්ඩුකම්බල ශෛලාසනය, නන්දන උයන, වෛජයන්ති ප්‍රාසාදය ඇතුළු සම්පත් දමා යාමට කැමති වූයේ නැත. 2014 අවසන් වේගෙන එන විට මහින්ද රාජපක්‍ෂට දැනුණා මෙනි.

මෙහි දීර්ඝ කතාව අමාවතුරෙන් ම බලා ගත යුතු අතර කෙටියෙන් කියතොත්; මේ සඳහා සතුටුදායක විසඳුමක් දිය හැකි තුන් ලෝකයේ එකම තැනැත්තා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ බව ශක්‍රයා දැන සිටියේය. තමන් පමණක් ගියහොත් මේ වැඩේ නොකෙරෙන එකක් නම් උන් වහන්සේ ගණන්වත් ගන්නේ නැති බවත් ශක්‍රයා දන්නේය. එසේ හෙයින් දෙදෙව් ලෝකයේම මහා සෙනග එක්රැස් කරගෙන පංචසිඛයා ද සූදානම් කරගෙන එක්තරා රාත්‍රියක බුදුන් දක්නට ගියේය. ... දේශනාව අවසානයේ සෝතාපන්න වන ශක්‍රයා ආයුෂය ගෙවී යාමෙන් බුදුන් වැඳගෙනම මරණයට පත් වී බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කරද්දීම නැවත ශක්‍රාත්මභාවයේම උපත ලබයි. මේ චුති ප්‍රතිසන්ධිය දකින්නේ ශක්‍රයා හා බුදුරජාණන් වහන්සේ පමණෙකි. ඒ ආයුෂය ගෙවී යාමෙන් මරණය සිදු වීමයි. ශක්‍රාත්මභාවයට උපස්තම්භක වන කර්මය නිම වී තිබිණි නම් ඔහු නැවත එහිම ප්‍රතිසංධි ගන්නේ නැත.

සුදොවුන් මහරජාණන් වහන්සේගේ මරණය ද මීටම තවත් හොඳ උදාහරණයකි. පියාණන් වහන්සේගේ ආයුෂය ගෙවී අවසන් බව දත් තථාගතයන් වහන්සේ මාළිගාවට වැඩම කර මරණ මංචකයේ සිටි රජුට දහම් දෙසා ඔහු මහරහත් භාවයට පත් කරන ලදී.

කම්මක්ඛය මරණ

ආයුෂය ඉතිරිව තිබියදී කර්මය අවසාන වීම (උපස්තම්භක කර්මය), කර්මය ක්‍රියාත්මක වීම (උපඝාතක කර්මය) මෙහිදී සිදු වෙයි. මේ ගැන දිය හැකි උදාහරණය මුගලන් මහා රහතන් වහන්සේගේ මරණයයි. උන් වහන්සේ පරමායුෂ ගත කළේ නැත. මුගලන් ස්වාමින් වහන්සේගේ ප්‍රබල ජනක කර්මයට අනුව ඉතා ධනවත් බලවත් බ්‍රාහ්මණ කුලයක උපත ලැබුවත් ඒ සමග සාහසිකයින්ගේ පහර දීමකින් මරණයට පත් වීම ගැට ගැසී තිබිණි. මේවා වැළක්වීම බුදු කෙනෙකුන්ට හෝ නොහැකි බව සිතමි.

මුගලන් මහරහතන් වහන්සේ සෘද්ධි ප්‍රාතිහාර්‍ය පෑමෙන් අග්‍රය හ. අන්‍ය තිර්ථකයින්ගේ අත්ලස් ගත් හොරුන් (මෙකළ නම් කොන්ත්‍රාත් ගත් පාතාලයන්) පහර දීමට පැමිණි පළමු දිනයේ උන් වහන්සේ කුටියේ යතුරු සිදුරෙන් පළා ගියහ. දෙවන දිනයේ උන් වහන්සේ කැණී මඬල පළාගෙන වැඩියහ. තෙවන දිනයේ මේ කුමක්දැයි දිවැසින් මෙනෙහි කරන්නෝ තමා පසුපස එන කර්මය දුටහ. දැක එතැනින් ඉවත්ව නොයා සමවතට සමවැදී උන්හ.

සොරුන්ගේ පහර දීමෙන් උන් වහන්සේ බලවත්ව අබලන් වූහ. සෘද්ධිමත් නොවීනම් සමවතට සම වැදී නොසිටියේ නම් මරණයට පත් වනු ඒකාන්තය. කුඩුසංසාරයක් වූ ශරීර කූඩුව සෘද්ධියෙන්ම ඔසවාගෙන බුදුන් දක්නට පැමිණි මහතෙරුන් වහන්සේ අවසර ගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයා දැක පිරිණිවන් පෑහ.

සිද්ධාර්ථ කුමරුන් ඉපදී සත් දිනකින් සිදු වූ මහාමායා දේවියගේ අපවත් වීම කම්මක්ඛය මරණයට තවත් උදාහරණයක් යැයි සිතමි. දෙව්දත් තෙරුණ් පොළෝ පළාගෙන අපාගත වීම කම්මක්ඛය නොවේනම් වෙන කුමක්ද ?

උභයක්කය මරණ

ආයුෂය සහ කර්මය යන දෙකම එකවර අවසන් වීම මෙහිදී සිදු වෙයි. බොහෝ මහරහතන් වහන්සේලාගේ පිරිණිවන් පෑම් මේ අංගයට ඇතුළත්ය. පළමු ධර්ම සංගායනාවේ ප්‍රධානත්වය ඉසිලූ ආනන්ද මහරහතන් වහන්සේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ආදීන්ගේ චරිත කතා මේ ගැන උදාහරණ කොට දිය හැක. බුදුරජාණන් වහන්සේගේ සුළු මව වූ ප්‍රජාපතී ගෞතමියගේ පිරිණිවන් පෑම ද එවැන්නකි.

උපච්ඡේදක මරණ

මුලින් විස්තර කළ පරිදි, බොහෝ කොටම අනුන්ගේ උපක්‍රමයෙන්, ආයුෂ තිබියදීම ජීවිත හානි වීම මේ යටතට ගැනේ. ආයුෂය ඉතිරි බව අපටත් පැහැදිළි මුත් කර්ම විෂය අචින්ත්‍ය බැවින් මේවා කම්මක්ඛය මරණ වලින් වෙන් කොට ගැනීම අපට පහසු නැත. අංගුලිමාල තෙරුන් වල් වැදී ඇඟිලි කපන සමයේ ඔහුට ගොදුරු වූ දහසකට වැඩි මනුෂ්‍යයින් එක වරම සිහියට නැගෙන උදාහරණය වේ. පසුගිය සුනාමියේදී මිය ගිය හතළිස් දහස පමණක් නොව පාස්කු ඉරිදා බෝම්බයෙන් මිය ගිය අයද ගතහොත් වැඩි පිරිසක් මේ ආකාර මරණයකට ලක් වූවන් ය.

වැදගත් කාරණය මේවා වළක්වා ගත හැකි මරණ වීමයි. බුදුරජාණන් වහන්සේ කාලි යකින්න විසින් කෑමට පැමිණි කුමාරයෙක් ගළවා ගත්හ. ආලවක යක්‍ෂයාට ගොදුරු වීමට ගිය හත්ථක ආලවක කුමාරයාට ජීවිතය ලැබුණේ තථාගතයන් වහන්සේ එතැනට වැඩම කළ නිසාය. ශාක්‍ය කෝළිය යුද්ධයෙන් වැනසීමට ඉඩ තිබුණු සහස් ගණන් ජීවිත උන් වහන්සේ ගළවා ගත්හ. නමුත් අවසානයේ විඩූඪභගේ අතින් ශාක්‍යයන් සංහාරයට ලක් විය - ඒ කම්මක්ඛය මරණ බව බුදුරජාණන් වහන්සේම දෙසා වදාරා ඇත. ඒ සංහාරය කර පෙරළා එන විඩූඪභ සහ ඔහුගේ පිරිසෙන් වැඩි දෙනෙක් අචිරවතී ගං තෙරදී ගංබත් වන්නේ ද කර්මය ම හේතු කොටගෙනය. එහෙත් සියලු අවස්ථාවන් සඳහා මෙය ප්‍රකාශ කිරීමේ හැකියාවක් අපට නැත.



කෙසේ වුව කර්මය හේතු කොටගෙන සිදු වන මරණ වැළැක්වීමේ හැකියාවක් බුදුරජාණන් වහන්සේට පවා නොමැති බවත් එසේ නොවන උපච්ඡේදක මරණ යනු සුපරීක්‍ෂාවෙන් සහ මනා වත් පිළිවෙත් පිළිපැදීමෙන් වළක්වා ගත හැකි මරණ බවත් මෙහි සටහන් කළ යුතුය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර තමන්ට ලැබුණු බුද්ධි තොරතුරු වලට නිසි බරක් දුන්නේ නම් වළක්වා ගත හැකිව තිබුණු ඒවාය. නොතිබුණේ නිසි මැදිහත් වීම ය. මරණ සිදු වන්නට ඉඩ දී ත්‍රස්තවාදීන් හුරතල් කරමින් බලා සිටි වගකිවයුත්තන් නිදහස් කොට අහිංසක මරණ කරුවන්ට වෙතම වරද පැටවීම බෞද්ධයෙකුට තරම් නොවේ.



ආශ්‍රිත ලිපි:
  • https://lankanian.blogspot.com/2019/05/blog-post.html
  • https://www.facebook.com/namobuddhaya.srilanka/posts/ලෝකාග්ර-වූ-භාග්යවත්-බුදුරජාණන්-වහන්සේ-දිනක්-සිව්වනක්-පිරිසටම-එක්තරා-කාරණා-පහක්-ඉ/1052658981436847/

7 comments:

  1. බුද්ධාගම ස්වාක්ඛාත නම් මරණ සිදුවන හේතු හැටියට හේතු තුනක් නොකියා හේතු 4ක් දැක්වීම තේරුමක් ඇතුව සිදුවූවක් විය යුතුයි.
    එනම් උභයක්කය මරණය යනු ආයුක්ඛය සහ කම්මක්ඛය කියන දෙකේ එකතුවකට වඩා ගුණෘත්මකව වෙනස් දෙයක් විය යුතුයි. මේි ගැන මොකද හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. මට තේරෙන අයුරින් මෙය චතුස්කෝටිකය වැනිය. සාධක දක්වා ඇත්තේ දෙකකි.
      1. ආයුෂය
      2. කර්මය.

      දැන්,
      1. ඒක
      2. මේක
      3. ඒකත් මේකත්
      4. ඒකත් නැත මේකත් නැත.
      ආදී වශයෙන් ඉහත සාධක යෙදෙන ආකාරය අනුව සත්වයාගේ මරණය සිව් වැදෑරුම් වේ.

      කණිෂ්ක කියන ආකාරයට ඒකත් මේකත් යෙදෙන මරණ බුදුන් පැමිණ හෝ වැළැක්විය නොහැක. ඔය දෙකම නොයෙදෙන මරණ අපටත් වැළැක්විය හැක.

      Delete
    2. ජෝසප් ගේ පැහැදිලි කිරීම නම් හරිම ආකර්ශනීයයි.
      බොහෝ සිත් ගන්නා පැහැදිලි කිරීමක්.

      Delete
  2. අපේ කථා කතු තුමා මේ ඓයන්ගේ ලිපිය පැහැදිලි කිරීමට ඉදිරිපත් වීම මම ඉතාම අගේ කොට සලකනවා.
    ඔබතුමාගේ ගැඹුරු දර්ම කාරනා විවරණයක් දැක්කේ වසර ගනනාවකින්.

    ඉහත් බ්ලොගයේ රචක ඉයන් ලින්තොට ගැන කියනවානම්, මා දන්නා තරමින් ඔහු උපතින් කතෝලිකයෙකි. එසේම බුදු දහමේ හරවත් තැන් දැක ඒ කෙරෙහි ආකර්ශනය වූවෙකි.
    එසේම දැන් වන විට සැලකිය යුතු තරමේ හොඳ දහම් දැනුමක්ද ඇත්තෙකි.
    ඔහු දැන් බෞද්ධයෙකුද නැතිදැයි කීමට නම මම නොදන්නෙමි.

    කෙසේ වෙතත් ඔහුගේ මේ ලිපියෙහි පැහැහ්දිලි කිරීම ධර්මානුකූලවම වැරදි යැයි මා එක් වරම කීවෙමි. එය මා කී විට මගෙන් එය පැහැහ්දිලි කරන මෙන් අයෙක් ඉල්ලා සිටි මුත් එය මාවෙතින් මග හැරුනි.
    කෙසේ වෙතත් මා කලා නම් කරන්නට තිබුනු පැහැදිලි කිරීමට බොහෝ එහා ගිය අපූරු පැහැදිලි කිරීමක් කථා කතු තුමාගෙන් ලැබී තිබීම ගැන බොහෝ සතුටු වෙමි.

    ඉයන් යූ එන් පී කාරයෙකු වුවත්, මා දන්නා තරමින් නිහතමානී පුද්ගලයෙකි. ඔහු ගේ අවධානයට මේ ලිපිය පත් වේවා යි මම පතන්නෙමි.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් මගේ ලිපි කෙනෙකුගේ අවධානයට පාත්‍ර කිරීමට විශේෂ උත්සාහයක් නොගනිමි. ඉයන් මෙය කියවන්නේද නැත්ද යන්න ගැන අපට අදහසක් නැත. ඉයන් නොකීවත් වෙනත් අය විසින් මීට සමාන අදහස් ඉදිරිපත් කරනු දැක තිබේ. මේ අදහස ඉදිරිපත් කරන පණ්ඩිතයන් බොහෝ විටම දක්නට ලැබෙන්නේ අඩු වයසින් මිය ගියවුන්ගේ මළ ගෙවල් වලදීය.

      ඔවුන්ට අනුව මරණය ආකාර දෙකකි. ආයුක්ඛය හා කම්මක්ඛය යි. මහල්ලෙක් මළොත් "ආ ! ගෙනා ආයුෂ තමයි ඉතිං", තරුණයෙක් මළොත් "එයාගේ කරුමේ !". මෙවැනි බොහෝ අවස්ථා වල කරබාගෙන සිටීමට සිදු වන්නේ ස්ථානය සහ එහි වෙසෙන්නන්ගේ මනෝභාවය සැළකිල්ලට ගැනීමෙනි. අප රහමෙර පානය කරන්නේ නැත.

      Delete
    2. රහමෙර පානය නොකරන නිසා එවැනි සභා වලදී කළු බැටළුවා වී නිහඬව සිටීම වඩා යෙහෙකැයි සිතීම නරක අඩහසක් නොවෙයි.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !