Friday, July 13, 2018

විජේවීර, විජේකලා හා රනිල්ගේ ආණ්ඩු

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා මහතාගේ වැන්දඹුව වන චිත්‍රාංගනී විජේවීර මහත්මිය, වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සාමාජිකයෙක් වූ ආණ්ඩුවක් යටතේ අත්අඩංගුවට පත්, තම සැමියා අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝ ඔහුට සිදු වූ දේ ප්‍රකාශ කිරීමට හෝ නියෝගයක් ඉල්ලමින් අධිකරණය ඉදිරියට ගියාය.

විජේකලා මහත්මිය සිය වර්තමාන නායකයාට තත්වය පැහැදිළි කරමින්
ඒ රනිල් වික්‍රමසිංහගේම වර්තමාන ආණ්ඩුවේ ඇමති වරියකද, වික්‍රමසිංහගේ හිතමිත්‍ර කොටි සංවිධානය විසින් මරා දමන ටී. මහේස්වරන් මහතාගේ වැන්දඹුවද, වන විජේකලා මහේස්වරන් මහත්මිය "කොටි සිටි කාලයේ දෙමළ අපට දැනට වඩා ආරක්‍ෂාවක් තිබුණේ යැ"යි යාපනයේදී ප්‍රකාශ කරන්නට යෙදුණාය.

මේ දෙකම මෑත අතීතයේ සිදු වූ වැදගත් සිද්ධි වන අතර සිදු විය යුතු ලෙසම මේ සිද්ධි දෙකම බොහෝ විවේචනයන්ට පාත්‍ර විය. මේ විවේචකයන් අතින් චිත්‍රාංගනී උපහාසයට ලක් වූ අතර විජේකලා අපහාසයට ලක් කෙරිණ.





විජේවීර ජීවත්ව සිටි කාලයේ චිත්‍රාංගනී බියෙන් වුව සැපවත් ජිවිතයක් ගත කළාය. විජේවීර මළ පසු ද ඇගේ සහ ඇගේ දරුවන්ගේ අවශ්‍යතා නාවික හමුදාව විසින් බලා ගන්නා ලදී. නාවික හමුදා නිවස්නයේ ඇය සහ ඇගේ දරුවන් සුඛෝපභෝගී නොවුනත් ලංකාවේ බොහෝ දෙනාට වඩා, විශේෂයෙන් අනෙක් ජවිපෙ වැන්දඹුවන්ට වඩා සුවපහසු ජීවීතයක් ගෙව්වාය. මේ හේතුවෙන් බාහිරයෙන් බලන කෙනෙකුට සිතෙන්නේ අවුරුදු 30 කට පසු තමාගේ වාහේ ගැන මතක් වී ඇත්තේ මේ ගෑනිට නාකි විසේ නිසා කියාය. (සිටිනා තැනක් දන්නේ නැති ජවිපෙ සාමාජික තම දරුවන් ගැන සිතමින් සිහි විකල් වූ මාතාවකට ජවිපෙ වර්තමාන නායකයා විසින් ම පාර්ලිමේන්තුවේදී අපහාස කළ අයුරු මතකයට නගා ගන්න.)


යුද්ධය වවාගෙන එයින් සයිඩ් බිස්නස් එකක් කරගෙන ප්‍රකොටිපතියෙකු වූ මහේස්වරන් කොළොඹ ඉහළ සමාජයේ වැජඹුණේ ය. එය උදව් කරගෙන ඔහු පාර්ලිමේන්තු ආවේය - නැතිනම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය විසින් ඔහුගේ ජාවාරම ඉතා ඉහල තලයකට ගෙන ගියේය. ඔහුගේ ඇඹේණිය පාර්ලිමේන්තු යන්නේ මෙකී ජාවාරමේ ආදායම් බෙදා ගැනීමේ ප්‍රශ්නයක් මත කොටින් විසින් මහේස්වරන් ඝාතනය කළ හේතුවෙනි.

මේ දෙකම කරගෙන යාමට මහේස්වරන් මහතා තුල පැවතෙන්නට ඇති හැකියාව ඒ මහත්මිය තුලත් ඒ අයුරින්ම තිබුණේ යැයි උපකල්පනය කළත් මහේස්වරන් සිටි කාලයේ බෙදාගෙන කළ දේ දැන් තනිවම කර ගැනීමට සිදු වී ඇත. හැරත්, ඇමැති ධුරයක් දැරීම ද නුපුරුදු කෙනෙකුට ලෙහෙසි පහසු කාර්‍යයක් නොවේ. ඇගේ ආතතිය අප විසින් පැහැදිළි කර ගත යුත්තේ ඒ අයුරිණි. එක පැත්තකින් ගිලෙන නැව් ය. අනෙක් පැත්තෙන් පැරදීමට ඉඩ ඇති මැතිවරණ ය හා ගිලිහෙන ඡන්ද දායකයන් ය. අනෙක් පැත්තෙන් රාජ්‍ය සහ නොරාජ්‍ය අනුග්‍රහය මත දෙමළ සමාජය ගිල ගනිමින් සිටිනා නග්න වර්ගවාදය ය. මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය කියන්නා සේ කොටි විසින් තම සැමියා මරා දමන ලද බව අමතක කර කොටි සමග සිට ගැනීමට විජේකලා තීන්දු කිරීම ඉහත තත්වය තුල තර්කාණුකුල තීරණයකි. හැරත් තම සැමියා මරා දැමූ ජවිපෙ සමග පරිවාසයකට යාමට ජනාධිපති චන්ද්‍රිකා තීන්දු කිරීම හා මෙය සැසඳීම වටී.


විජේකලාගේ කතාවේ හරය LTTE සංවිධානය තිබූ අවදියේ, එනම් 2009 ට පෙර, යාපනයේ මීට වඩා හොඳ ආරක්‍ෂිත තත්වයක් තිබූ බවයි. ඒ කාලයේ යාපනයේ පැවතියේ කොටි පාලනය නොව ශ්‍රී ලංකා රජයේ පාලනය බව ඈ නොකියයි. රජයේ පාලනයෙන් ගිලිහී යාපනය ජාවාරම් කාරයන් හා පාතාලයන් අතට පත් වන්නේ විජේකලා ඇමති ධුරයක් දරන වික්‍රමසිංහගේ ආණ්ඩුව විසින් තමන්ට බලයට පැමිණීමට උදව් කල බලවේග සැනසීම පිණිස ගත් අදුරදර්ශී ක්‍රියා මාර්ග හේතුවෙනි.

එසේ නැතිව යාපනයේ මිනිසුන් කපා කොටා පැන යන්නේ පුංචි ළදැරියන් මෙහි සඳහන් කළ යුතු නැති ඉරණම් වලට ලක් වන්නේ යාපනයේ දෙමළුන් අතින්ම මිස තිස්සමහාරාමයෙන්, ගිරාඳුරුකෝට්ටෙන් එහි ගිය සිංහලයින් අතින් නොවේ. කොළොඹින් ගිය මැරයන් විසින් යාපනයේ භිෂණය පැතිරූ දින කිහිපයක් ගැන ඉතිහාසයේ ලියැවී තිබුණත් ඒ වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ ඇමති ධුරයක් දැරූ ආණ්ඩුවක් යටතේ ය. එකල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ නොව රනිල් වික්‍රමසිංහගේ ම මාමණ්ඩිය යි.


රනිල් වික්‍රමසිංහ වහා ක්‍රියාත්මක වී විජේකලා ඇමති කමින් අස් කිරීම මේ තත්වය යටතේ ඉතා පැහැදිළි දේශපාලන පළිගැනීමකි. විජේකලාට ජිවිත තර්ජන මෙතෙක් කල් නොතිබිණි නම් දැන් පරිස්සම් වීමට කාලයයි. නැතිනම් තිස්ස අත්තනායක මෙන් දේශපාලන මරණයකට ස්ව කැමැත්තෙන් ගොදුරු වීම යහපති.



විජේකලාගේ වල්ලභයා වෙඩි පහරින් මරා දැමිණි. ඔහුගේ මිණිය නිවසට පැමිණි අතර ඝාතකයාට ද දඬුවම් ලැබිණි. මහේස්වරන්ගේ දේපළ විජේකලා අඩුවක් නැතිව භුක්ති විඳිමින් සිටියි. මේ සියල්ලට අමතරව මන්ත්‍රී ධුරයක් දරමින් සිටි මහේවරන් වෙනුවෙන් අඩු තරමින් රුපියල් ලක්‍ෂ පනහක් අපේ බදු මුදල් වලින් විජේකලා විසින් ලබා ගන්නට ඇත.

ඊට සාපේක්‍ෂව චිත්‍රාංගනී දුගියෙකි. ඈට ලැබුණු වන්දියක් හෝ රක්‍ෂණ මුදලක් ගැන සඳහනක් නැති අතර විජේවිරගෙන් ඈට උරුම වූ බූදලයක් ද නැත. තිබිණි නම් ඒවා එවකට පැවති ආණ්ඩුව විසින් පවරා ගන්නට හෝ පක්‍ෂයේ සහෝදරයන් විසින් ගසා කන්නට හෝ ඇත.

විජේවීරගේ මිණිය ඇයට දකින්නට නොලැබුණු අතර ඔහු පණ පිටින් හෝ මරා දමා හෝ බොරැල්ල කනතතේදී ආදාහනය කෙරුණු බවට කට කතා පවතී. මේ ආදරණීය බිරිඳක විසින් ඇසිය යුතු කතා නොවේ. තම සැමියාට ආණ්ඩුව විසින් කළ දේ දැන ගැනීමට ඇයට නිත්‍යානුකුල සහ සදාචාරාත්මක අයිතියක් ඇති අතරම ඒ කළ දේ නීත්‍යනුකුල නොවේනම් ඊට ප්‍රමාණවත් දඬුවමක් වගකිව යුත්තන්ට ලබා දීමේ වගකීමක් රටේ අධිකරණ පද්ධතියට ද තිබේ.



අවසන් වශයෙන් කිව යුත්තේ චිත්‍රාංගනී විජේවීරත්, විජේකලාත්, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත්, එක්නැළිගොඩ ආර්යාවත් (තවත් අවශ්‍යනම් ශ්‍රීමනි ඇතුලත්මුදලි, හේමා ප්‍රේමදාස, ශ්‍රීමා දිසානායක ඇතුලත් කළ හැක) දෙස අප බැලිය යුත්තේ එකම කෝණයකිනි.

මේ අය සමාජයේ අනුකම්පාව ලැබිය යුතු පිරිසකි. නමුත් අනුකම්පාව දැක්වීම යනු "අනේ අපොයි, මිනිහත් නැති ගෑණි නේ" කියා ඡන්ද පොළට ගොස් මනාපය පල කිරීම නොවේ. මේ අය යුද්ධයේ සහ දේශපාලන ප්‍රචණ්ඩත්වයේ ගොදුරුය, ඒ හේතුවෙන් මානසික තුවාල කරුවන්ය. ඔවුන් පුනරුත්ථාපනය කළ යුතුය. ඒ සමාජ වගකීමකි. එහෙත් මේ අය බරපතල සමාජ වගකීම් දැරීමට සුදුසු නැත. පුනරුත්ථාපනය නොකෙරුණු සමාජ වෛරය ඔවුන් හැකි තැනකින් පිට කරන බැවිණි. බොහෝ විට ඒ පහත් තැනිණි.



6 comments:

  1. එක්නැළිගොඩ ආර්යාවගේ ඇගේ වෛරය ඥානසාර පිටිං ගියා. ච.බ.කු. ගේ ඇගේ වෛරය අනෝජා ගේ පිටිං ගියා.

    දැන් අනෝජා කෝ ?

    ReplyDelete
    Replies
    1. අනෝජා කොහි වේදැයි අප දන්නේ නැත. මීට හේතුව සිනමාව ගැන උනන්දුව අල්ප වීමයි. නැතත් ඔබ අසන්නේ පිළිතුරක් බලාපොරොත්තුවෙන් නොවන බව දනිමි.

      Delete
  2. අම්මපා මේ හැමෝම ගැන අනුකම්පාවෙන් බලන්න ඕනේ. මෙගොල්ලගේ මහත්තුරු නැති වුණාම සිහි විකල් වෙලා ඇති.

    ReplyDelete
    Replies
    1. මේ අය සිටින තත්වයට අප පත් වී නැත, මේ ආත්ම භාවයේදී කිසි දා පත් වන්නේද නැත. එහෙත් ඔවුන් දෙස සානුකම්පිතව නොබැලීමට එය සාධාරණ හේතුවක් නොවේ. මා යෝජනා කරන්නේ ඔවුන් කෙරේ සානුකම්පිත විය යුතු අතරම ඔවුන් වගකිව යුතු තැන්හි නියුක්ත කොකළ යුතු බවයි.

      Delete
  3. දන් එතකොට ඔය අතුරුදන් වූවන් සොයන කොමිසම් වලට විජේවීර සහෝදරයා මහතාගේ අතුරුදන් වීම වලංගු නැද්ද?

    ReplyDelete
    Replies
    1. කවර කොමිසමකට වුව විභාග කිරීම පිණිස පැමිණිල්ලක් තිබිය යුතු වේ.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !