Tuesday, June 12, 2018

ආධාර හා සහනාධාර

පෙර කතාවෙන් අප ඉදිරිපත් කරන ලද්දේ පින්තූරයක් පමණි. බලාපොරොත්තු වූ අයුරින්ම ඒ ගැන හරවත් සංවාදයක් ඇති වුණේ නැත. මේ ගැන වරද අපේමය. සංවාද ඇති වීම පිණිස ඉක්මන් ප්‍රථිචාර අවශ්‍යම අංගයකි. අන්තර්-ග්‍රහලෝක තරණයේ යෙදෙන යානාවක් සේ එක පණිවිඩයකට ප්‍රතිචාර ලැබෙනු පිණිස දින ගණනක් බලා සිටීමට සිදු වේනම් එයමයි හරවත් සංවාදයකට ලොකුම බාධාව.

අප පෙර ඉදිරිපත් කරන ලද්දේ ආධාර එකතු කිරීම පිණිසම මුද්‍රිත පත්‍රිකාවකි. එය නියමිත මුදල ගෙවා මිලදී ගන්නා ලද්දේ තම දියණියයැයි උපකල්පනය කළ හැකි කුඩා දැරියක සමග ගෙන් ගෙට ආධාර එකතු කීරීමට ගිය තවම තරුණ විය නොඉක්මවූ කාන්තාවකගෙනි. ඈ කළ විස්තරයට හා ශාක්‍ෂි වශයෙන් ඉදිරිපත් කරන්නට යෙදුණු සේයා රූ වලට අනුව ඇගේ සැමියා ඔත්පළව කිසි ආර්ථික ක්‍රියාවලියකට දායක නොවී බටහිර ඖෂධ බලයෙන් දිවි ගැට ගසා ගන්නා අසරණ මනුෂ්‍ය ප්‍රාණියෙකි.

මෙවැනි ප්‍රාණීන් උදෙසා සමහර බටහිර රටවල "Voluntary euthanasia" නම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ. බටහිර දේ වන්දනා කරන යහපාලන ආණ්ඩුව විසින් ලංකාවේ එය නිත්‍යානුකුල කෙරුණත් දේශමාන්‍ය ලලිත් කොතලාවල වැනි කුවේරයින් මහාචාර්‍ය වියන්ගොඩ වැනි පුරෝගාමීන් මිස මෙවැනි අසරණ පුද්ගලයින් ඉන් ප්‍රයෝජන ගනු ඇතැයි සිතීම උගහටය. ජීවිතය ගැට ගසා ගැනීමට ප්‍රමාණවත් ධනයක් නැති කෙනෙක් නිත්‍යානුකුලව දිවි තොර කර ගැනීම පිණිස අවශ්‍ය නෛතික සහ වෛද්‍ය ගාස්තු ගෙවා ගන්නේ කෙළෙසද ?





ආර්ථික හේතු, එනම් රැකියාව අහිමි වීම හෝ ව්‍යාපාර බිඳ වැටීම හෝ හේතු කොටගෙන අසරණ භාවයට පත් වන පිරිසක් අප සමාජයේ සිටි. ඉන් සමහරක් දිවි තොර කර ගන්නා අතර සුළුතරයක් මනා උත්සාහයෙන් වඩා සැපවත් ජිවන මට්ටමක් ළඟා කර ගනී. මෙවැන්නකට මුහුණ දෙන බොහෝ දෙනෙක් පෙර සිටි මට්ටමට නොවුණත් සතුටු විය හැකි මට්ටමක ජිවන තත්වයක් ඇති කර ගැනීමට සමත්ය. එවැනි පවුලක දරුවන් ලොකු මහත් වී රැකියා වලට යොමු වන විට සියල්ල යථා තත්වයට පත් වනු ඇත.

එහෙත් කෙනෙක් ඔත්පළ වන හෝ රෝගී වන හෝ තත්වයකදී මෙය වෙනස්ය. රජරට වකුගඩු රෝගය, තැලිසීමියා වැනි ප්‍රවේණික රෝග, පිළිකා, පමණක් නොව අතොරක් නැතිව සිදු වන අනතුරු වලින්ද පුද්ගලයෙක් ආර්ථික ක්‍රියාවලියෙන් ඉවත් කර ඇඳට සීමා කරයි. මෙවැනි අවස්ථාවක ඔහු හෝ ඇය ඔත්පළ වන්නේ තමා වටා සිටින බොහෝ දෙනෙක් ආර්ථික ආගාධයට ඇදගෙන යමිනි.

සාමුහිකත්වය තවම සම්පූර්ණයෙන් බිඳ වැටී නැති සිංහල සමාජයේ මෙසේ අසරණ භාවයට පත් වන බොහෝ දෙනාට යන්තම් හෝ පිළිසරණක් ඇතත් මේ තත්වය බොහෝ කල් පවතී යයි බලාපොරොත්තු වීම මෝඩ කමකි. මිලදී ගන්නා තෙක් මොන බෛලා කීවද මිලදී ගත් කිසිම රක්‍ෂණාවරණයක් මෙවැනි අවස්ථාවක උදව්වට නොඑයි. රක්‍ෂණය යනු අවදානම අඩු කර ගැනීමේ මෙවළමක් බව සැබෑ වුවත් රක්‍ෂණ සමගම පළමුව කරන්නේ තමාගේ අවදානම සීමා කර ගැනීම බව රක්‍ෂණ ගිවිසුම කියවුවහොත් තේරුම් ගැනීම අපහසු නැත.

රක්‍ෂණයක් ඇතා නැතා අර පවුල පත් වී ඇත්තේ අතිශය ඛේදජනක ඉරණමකට ය. ඒ පවුලේ ආර්ථික දැතිරෝද කරකැවූ දෑත් අඩපණ වී ඇඳ මුල්ලේය. එපමණක් නොව ඒ සප්‍රණික කලේබරය ඒ තත්වයෙන් පවත්වාගෙන යාම පිණිස දහස් ගණනක් මුදල් මාස්පතා වියදම් කළ යුතුව තිබේ.

මෙසේ අසරණ නොවන ජීවිතද මේ ශ්‍රී ලංකාද්වීපයේ තිබේ. එහෙත් සුළු ප්‍රමාණයකි - හරියටම කිවහොත් 225 කි. මේ 225 වසර පහෙන් පහට අලුත් වන හෙයින් සැබෑ ගණන මිට වඩා වැඩි ය. ඔවුන්ට සුළු හෝ හානියක් වුවහොත් අපේ මුදලින් නඩත්තු කෙරේ. ඒ වනාහි පෙර පින් ඇති සුධිමතුන් ය. එයින් සමහරු සිංගප්පූරුවේ යවා පවා රෝග සුව කෙරෙත්. ඒ සඳහා ලෝස් නැතුව ලක්‍ෂ පනහ හැට ජනාධිපති අරමුදලෙන් ගෙවත්.

පළමුව කී අසරණ ජනයා ගෙන් ගෙට ගොස් ටිකට් විකුණා රුපියල් සියය බැගින් එකතු කරති. දෙවනුව කී මහේශාක්‍ය ජනයා එසේ එකතු කරන්නේ නැත. එසේ වුවත් ඔවුන්ට කිසි අඩුපාඩුවක් ද නැත්තේ එකතු නොකළත් නිකංම ලක්‍ෂ දහයේ පහළොවේ චෙක් පත් වලින් මුදල් ලබා දෙන දානපතියන් මේ සිරි ලංකාවේම සිටින බැවිණි. ඒ දානපතියන්ට ද පෙනෙන්නේ දයාසිරි ජයසේකර සුජීව සේනසිංහ වැනි සුඛිත මුදිත මහේශාක්‍ය ජිවිත මිස පානදුර පදිංචි ඒ ලසන්ත සමන් කුමාර වැනි අල්පේශාක්‍ය හාල් කෑලි නොවේ. ලසන්ත සමන් කුමාර ... ඒ කවුද ?

හාල් කෑලි අමතක කර ලක්‍ෂ තිහේ කෑල්ලක් සමග විනෝද සමයම මෙතැන් සිට ...


මම අල්ලස් ගත්තේ නෑ...
(ඒ ලක්‍ෂ තිහ කප්පං වෙන්නැති !)

6 comments:

  1. මම ගත්තේ නෑ. කව්ද එකෙක් සල්ලි ගනිද්දී ඌ මගේ කැම්පේන් මැනේජර් වෙලා හිටිය. එච්චරයි.

    මේ වැඩසටහ විනෝද සමයම නෙමයි විනෝද සමයන් තුන.

    ReplyDelete
    Replies
    1. මේ සමයං තුනක් බව සැබෑවකි. ඇත්තෙන්ම දිල්කා සමන්මලී සමයමක් බව දැන ගත්තේ ආචාර්‍ය නලින් ද සිල්වා හා කළ සංවාදයෙනි. ප්‍රශ්න අසනු මිස පිළිතුරු දීමට අවස්ථාවක් නොදීමත් දෙන පිළිතුර තේරුම් ගැනීම පිණිස අල්ප උත්සාහයක් හෝ නොදැරීමත් තමන්ගේ නොතේරුම් කම ගැන මද හෝ අවබෝධයක් නැතිව එකම ප්‍රශ්නය නැවත නැවත විමසීමත් මේ සංවාද අසන-බලන අප අපහසුතාවට පත් කරයි.

      මිනිසුන් තම වටිනා කාලයෙන් පැයක් දෙකක් මිඩංගු කර මේ වැඩසටහන බලන්නේ දිල්කාගේ "දිල්ස්කූප්" රසවිඳින්න නොව බනානා සුජීට කීමට ඇති නිදහසට කාරණා දැන ගැනීමට බව වැඩසටහන් සම්පාදක අංශයට වැටහෙන්නේ නැද්ද ?

      Delete
  2. දෙශපාලකයෝ මහජන මුදලින් සූදු කෙලිද්දී ඊනියා මාධ්‍ය ඔස්තාර්ලා විගඩම් කෙලිති.
    මේ දෙරණ 360 දෙබානක් බැඳ දැක්කවීම ඇරඹූ පළමු වැඩසටහන වූ විමල් වීරවංශ ගේ වැඩසටහන නැරඹීමි. අහෝ මුන් හෝදා හෝදා මඩේ දමනවාට වැඩියෙන් කිසිවක් කලේ නැත.

    කථා කතු තුමා කියා ඇති පරිදි බනා සුජී ගේ වැඩසටහනින් නම් බලා පොරොත්තු විය යුතුව තිබුනේ ඔහුට කියන්නට ඇති නිදහසට කරුනු මොනවාදැයි පමණක්මය.
    ඒත් ඊට ඉඩක් නොතබා සුජියාට මල පන්නා ගැනීම සාධාරණී කරනය කර ගැනීමට දෙරණ දෙබාන ඉඩ සලසා තිබුනි.

    මක් කොරන්නද....

    ReplyDelete
    Replies
    1. කෙනෙක් දුර්මුඛ කරවීමත් දක්‍ෂ කමකි. එහෙත් සංවාදයකට ආරාධනා කර ගෙන්වන කෙනෙක් දුර්මුඛ කිරීමට උත්සාහ දැරීම තේරුමක් නැති කර්තව්‍යයකි.

      පෙරද සඳහන් කළ පරිදි මිනිසුන් මේවා බලන්නේ දිල්කා සහ අනෙක් හාදයා ලවා ආරාධිතයා දුර්මුඛ කර හාත්පසින් පහර දෙන විට හුරේ දැමීමට ද ? ඔව් එසේ බලාපොරොත්තු වන අයත් සිටිය හැකියි. විශේෂයෙන්ම ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස් දරන්නන් තම ප්‍රතිවාදියා කවුරුන් හෝ විසින් දුර්මුඛ කරනු ලැබීම දක්නට කැමැත්තෝය.

      එසේ වුවත්, නිවේදකයා / නිවේදකයන් සහ ආරාධිතයා පමණක් සහභාගී වන මෙවැනි වැඩසටහනකදී ආරාධිතයා නිවේදකයාගේ ප්‍රතිවාදියා නොවන බව දත යුතුය. එවැනි විටෙක නිවේදකයාගේ කාර්‍යභාරය ආරාධිතයාගේ අදහස් නිරවුල්ව ඉදිරිපත් කිරීමට සහය වීමත් ශ්‍රාවකයාට සාධාරණය ඉටු කිරීමත්ය. ශ්‍රාවකයාට සාධාරණය ඉටු කරන්නේ ඔහු පිළිතුරු බලාපොරොත්තු වන ප්‍රශ්න මගහැර යාමට ආරධිතයාට ඉඩ නොදීම මගිනි.

      නමුත් මේ ලිපියෙන් අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වන ප්‍රස්තුතය ලංකාවේ නිවේදක කළාවේ වර්තමාන පරිහාණි තත්වය නොවේ.

      Delete
    2. ප්‍රස්තුතයට ඌන පූර්ණයක් එක් කරනු කැමැත්තෙමි. එනම් මහජන මුදලින් වැටුප් ලබන පොලිස් මහත්තුරුන්ගේ රාජකාරියයි. මොවුන්ගේ සැබෑ රස්සාව ඇමති/ මන්ත්‍රී ආරක්ෂාව නොව පවරන ඕනෑම පක්කලි සේවාවක නිරත වීමයි.
      පක්කලි ස්වාමියාටත් සේවකයාටත් අපි සමකරුණාවෙන් දිගටම පඩි ගෙවමු.

      Delete
    3. සාමාන්‍ය ව්‍යවහාරයේදී පොලිස්කාරයාය යනුවෙන් ලයාන්විතව ඇමතෙනු ලබන පොලිස් නිලධාරී මහතුන්ගේ රාජකාරිය දෙස මීට වඩා මානුෂික ඇසකින් බැලීමට කැමැත්තෙමි. ;)

      Delete