Saturday, September 5, 2015

වි.නා.ස. වීමට හේතුව

ශ්‍රී ලංකා රාජ්‍යය බෙදා ඒකවාර්ගික රාජ්‍යයක් තනා ගැනීම මුඛ්‍ය අරමුණ කර ගත් දෙමළ රාජ්‍ය පක්‍ෂයේ නායක තැන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්‍ෂ නායකත්වයට පත් වීම පිළිබඳවත් ඊට එරෙහිව සමාජයේ ඇති වූ කතිකාවත් පිළිබඳවත් පෙර ලිපියේදී සඳහන් කළෙමු.
5 එකතු වී හය වැන්නාගේ අඬු කැඩිම
පහක් එකතු වී හය වැන්නාගේ අඬු කැඩිම
මේ ලිපියෙන් අවධානය යොමු කෙරෙන්නේ එසේ වීමට හේතුව පිළිබඳව වේ.





වි.නා.ස. වූයේ ඇයි?


මේ පිළිබඳ අපගේ අදහස ඉදිරිපත් කිරීමට පෙර අප්‍රේල් මස 26 දින පල කළ "වෙසක් සතිය" ලිපියට අවධානය යොමු කළ යුතුය. කාල වෙලා ඇති පාඨකයින් විසින් ඒ ලිපිය නැවත පරිශීලනය කළ යුතු බව යෝජනා කරමි. මේ පත් කිරීමේ නියම දිග පළල සහ ගැඹුර පිළිබඳ අදහසක් ඉන් ඇති කරගත හැක.

එහි අප විසින් මෙසේ සඳහන් කරන්නට යෙදිණි.
ඊනියා ස්වාධින කොමිෂන් යනු අපට පෙන්වන ඇස් බැන්දුමක් පමණි. නිරපේක්‍ෂ ලෙස 'ස්වාධින' වන කොමිෂන් සභා නැත. අල්ලස් කොමිසමට වික්‍රමසිංහ විසින් පත් කෙරුණු 'හිතවතිය'ගේ ස්වාධින බව අප අත්දැක්කෙමු.

අධිකරණයේ ස්වාධින කම පසුගිය සමයේ කෙරුණු පත් කිරීම් සහ ඉවත් කිරීම් වලින් මොනවට පැහැදිළි විය. අනෙක් සභා වලත් වෙනසක් නැත. මේ මොන මොන කොමිෂන් සභා දැම්මත් ඒවාට පත් වන්නේ තම තමාගේ හිතවතුන් සහ හිතවතියන් නම්, ඒ කොමිෂන් සභා වලට තබන නම් වල ඇති 'ස්වාධින' පදයේ වටිනාකම කොකාකෝලා™ බෝතලයේ සිටීමට ඉඩ ඇති කොකාගේ සහ කෝලා වලසාගේ වටිනාකමට වඩා වෙනස් නොවේ.

මිලදී ගත් කොකාකෝලා™ බෝතලයේ කොකෙක් හෝ කෝලා වලසෙක් හෝ හමු වූ කෙනෙක් උන් රැගෙන පැමිණ අපට පෙන්වාම කීවොත් මිසක මේ කොමිෂන් සභා වල ස්වාධින කමක් ගැන විශ්වාස කිරීම උගහටය.
මේ ලිපිය අවසානයේ අප ඉල්ලූයේ එකම එක දෙයකි.
ඉහත කරුණු සළකා බැලූ කළ සිංහලයින්ට, විශේෂයෙන් සිංහල බෞද්ධයින්ට මේ වසරේ වෙසක් සතියක් නොතිබිය හැක. සිංහල බෞද්ධයින් නිදි වැදී සිටියොත් අපට අහිමි වන දේ දිනා ගැනීමට තව වසර 50 කටත් හැකි වේය කියා කිව නොහැක. අපට 1956 දී වාරයක් ආවේය. සිංහලය රජබස කර ගනු මිස ඊට වඩා දෙයක් කර ගැනීමට අපට හැකි වූයේ නැත. 2005 දී අපට ලැබුණු අවස්ථාව දෙමළ කැරැල්ල මැඩ පැවැත්වීමෙන් එහා ජයග්‍රහණයක් කරා ගියේ නැත. මීළඟ අවස්ථාව කවදා ආවත් ඒ වන තෙක් අප ජීවත්ව සිටීදැයි කිව නොහැක. ඒ නිසා අද කළ යුතු දේ අදම කළ යුතුව තිබේ.

ඒ නිසා යෝජිත 19 වන සශෝධනයට එරෙහි වෙමු. සියළු සිංහලයින් දැනුවත් කරමු. ඊට විරුද්ධ කරවිය හැකි සෑම මන්ත්‍රී වරයෙකුටම බලපෑම් කරමු. පාර්ලිමේන්තුවේ දී එය පරාජය කරවමු. පරාජය කළ නොහැකි නම් තුනෙන් දෙක ලබා ගැනීමට ඉඩ නොදෙමු. ඒ අද දවසේ සිංහලයාගේ ජාතික කර්තව්‍යයයි.
එදා අප හා එකඟ වූයේ වගකිව යුතු එකම එක පුද්ගලයෙක් පමණි. එතුමාගේ ප්‍රතිපත්තිය අගය කරමින් දෙතිස් කතාවේ ඊළඟ ලිපිය - "අප්පච්චි මළා" - ලිපියට සඳහනක් එක් කළෙමි.
19 වන ව්‍යවස්ථා සංශෝධනය රටට එකම එක විශාල සේවයක් කළේය. 225 ආසන ඇති පාර්ලිමේන්තුවේ සිටින සිංහල මන්ත්‍රී සංඛ්‍යාව සොයා ගැනීමට උපකාර කිරීමයි. මේ පාර්ලිමේන්තුවේ සිංහලයින් සිටින්නේ එකෙකි - අනෙක් උන් සිංහලයින් ලෙස පෙනී සිටින්නෝ ය, නැතිනම් පරයෝ ය. තමන් නියෝජනය කිරීමට එක මන්ත්‍රීවරයෙකුට වඩා පත් කර යැවීමට හැකි තරම් සිංහලයින් ලංකාවේ නැද්ද ? නැතිනම් සිංහලයින් 70% සිටිනවාය කියන රටේ පාර්ලිමේන්තුවේ සිංහල නියෝජනය 1-223 (කතානායක තුමා හැරුණු කොට) වීම ප්‍රජාතන්ත්‍රවාදය ද?

මේ තත්වය යටතේ ඊනියා 'ස්වාධීන' සභා වල සිටීමට ඉඩ ඇති සිංහලයින් ගණනත්, ඒ සිංහලයින් විසින් සිංහලයින් ගැන සහ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ගන්නා ක්‍රියා මාර්ග ගැනත් සන්සුන් මනසින් සිතා බැලීමට සිංහලයින්ට කාලයයි.
ඒ පාර්ලිමේන්තුවේ සිටි එකම සිංහල මන්ත්‍රීවරයා අද විශ්‍රාමිකයෙකි. මේ පාර්ලිමේන්තුවේ සිංහලයින් ඇත්තේම නැද්ද ?

දැන් නැවත මාතෘකාවට එමු.


වාලුන් විසින් වාලුන් ගැන කතා කිරීම


පසුගිය දස වසර පුරා අපට සිටි විපක්‍ෂ නායක තෙමේ ශ්‍රී ලංකාවට විරුද්ධව කටයුතු කළ බව අපි කීමු. ඔහු අද අග්‍රාමාත්‍යවරයාය. ඔහුගේ වාලා ජනාධිපති තනතුරේ වැඩ බලයි. 'ප්‍රජාතන්ත්‍රවාදී' මල් මාලයක් සේ පෙනෙන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විලංගුව ඔහුගේ ගෙලට සිර කර තිබේ.

කැමැත්තෙන් පැළඳ ගත් විලංගු එසේ තිබියදීම කිසි චකිතයක් නැති මේ වාලා ශ්‍රී.ලං.නි.පක්‍ෂය තම ග්‍රහණයට ගෙන පාගාගෙන සිටී. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඡන්ද ලක්‍ෂ 47 ක් දැවැන්ත ජනතා නියෝජනයක් සහිත මන්ත්‍රී ධුර 95 ක් හිමි මේ පක්‍ෂයට හිමි විය යුතු විපක්‍ෂ නායකධුරය අහිමිව තිබේ. එක්සත් ජාතික පක්‍ෂය ගෝත්‍රික යුගයකට ගෙන ගොස් 'රාජකීය විද්‍යාල' ගෝත්‍රය ඉහළට ගැනීමට කටයුතු කරන ලංකාවට විරුද්ධ අගමැතිගේ කූටෝපක්‍රම මෙහි කොණක තිබේ.

විපක්‍ෂ නායක ධුරය සහ පාර්ලිමේන්තුවට තේරී පත් වූ පක්‍ෂ

මෙවර මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තේරී පත් වූයේ පක්‍ෂ සයකින් පමණි. එක්සත් ජාතික පක්‍ෂ ලැයිස්තුවෙන් සෙසු ප්‍රදේශ තරඟ කළ මුස්ලිම් කොංග්‍රසය තනිව තරඟ කර එක ආසනයක් ලැබීය. විය යුතු ලෙසම ඒ ආසනය එක්සත් ජාතික පක්‍ෂයට හිමි ලෙස ගණන් ගත යුතුය. ඕනෑම පක්‍ෂයක ආණ්ඩුවක ඇමති ධුරයක් හොබවන ඩග්ලස් දේවානන්දා ද ඒ පක්‍ෂයටම සහය දෙන ලෙස සැළකිය හැකි බැවින් විපක්‍ෂයේ තව ඉතිරි වන්නේ පක්‍ෂ සතරකි.

මෙයින් දෙමළ රාජ්‍ය පක්‍ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් යන දෙක ඒවාට වෙන වෙනම අභිලාශ ඇතත් මේ මොහොතේ අගමැති වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්‍ෂ සමග එකඟතා මත ක්‍රියා කරන පක්‍ෂ වේ. පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයාට සහය දැක්වූ මේ පක්‍ෂ මහමැතිවරණයේ දී වෙන්ව තරඟ කළත් ඊනියා ජාතික විධායක සභා ජුන්ටාවේ රනිල් සමග සිටි මේ පක්‍ෂ සමස්ථ මැතිවරණ ව්‍යාපාරය තුල කටයුතු කළ අයුරින්ම මැතිවරණයෙන් පසුවද එක්ව කටයුතු ඇති බව පැහැදිළි ය. මේ අප්‍රකාශිත එකඟතා (හෙවත් හොර ගිවිසුම්) හේතුවෙන් ඒ පක්‍ෂ වලට පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්‍ෂය ලෙස ක්‍රියා කිරීමේ සදාචාරාත්මක අයිතියක් නැත. හැරත් යන්තම් ඡන්ද ලක්‍ෂ 5 ක් ලබා ගත් මේ පක්‍ෂ දෙකට පාර්ලිමේන්තුවේ ඇත්තේ ආසන 16 සහ 6 බැගින් පමණි.

පොදුජන එක්සත් පෙරමුණට හිමි විය යුතු විපක්‍ෂ නායක ධුරය දෙමළ රාජ්‍ය පක්‍ෂයට හිමි වන්නේ ඇයි ?


දෙමළ රාජ්‍ය පක්‍ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් අගමැති වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්‍ෂය සමග එකඟතා මත ක්‍රියා කරන විට විපක්‍ෂයක් ලෙස ඉතුරු වන්නේ පොදුජන එක්සත් පෙරමුණ පමණි.

පොදුජන විපක්‍ෂය ලෙස හැඳින්විය හැකි පොදුජන එක්සත් පෙරමුණට විපක්‍ෂ නායක ධුරය අහිමි වීම පිළිබඳ කතාව ඒකාධිපති රෙජීමයක පාලනයක් යටතේ රටක ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්, අධිකරණයේ ස්වාධීනත්වය පමණක් නොව මූලික මිනිස් අයිතිවාසිකම් ද වැටිය හැක පහළම මට්ටම හෙවත් තුච්ඡත්වය පිළිඹිබු කෙරෙන කැඩපතෙකි.

සම්ප්‍රදාය විරෝධී ලෙස බැලූ බැල්මට පෙනෙන,
කැබිනට් චිට් එකෙන් පත් කර ගත් අග්‍රවිනිශ්චයකාරයෙක් යටතේ පවතින අධිකරණයකින්,
ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස බැලූ බැල්මට හැඟෙන අයුරින් අධිකරණ නිවාඩු සමය එන තෙක් කල් අල්ලාගෙන සිට ලබා ගත් වාරණ නියෝගයකින්
ඒ පෙරමුණේ ලේකම් තැන තනතුරේ ක්‍රියා කිරීම බල රහිත කර,
හොර පාරෙන් පත් කර ගත් ලේකම්වරයෙක් යොදාගෙන
එම පෙරමුණ දේශපාලන පක්‍ෂයක් වශයෙන් ක්‍රියා විරහිත කිරීමෙන් අනතුරුව
තමන් විධායක ජනාධිපති ධුරයේ බලතල අවභාවිතා කර
නීති විරෝධී ලෙස අයිති කර ගත් සභාපති තනතුර භාවිතා කරමින්
ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස ඒකාධිපති අයුරින් පත් කරගත් ලේකම්වරයෙක් යොදාගෙන
ඊනියා ජාතික ආණ්ඩුවක නාමයෙන් ශ්‍රී.ලං.නි.පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂයේ සක්කිලි කර්තව්‍යයට අල්ලාගෙන ගිය පසු
පොදුජන එක්සත් පෙරමුණ හිස සුන් කවන්ධයක් බවට පත් විය.

පෙරමුණේ සභාපති එක්සත් ජාතික පක්‍ෂයේ වාලා ලෙස සිටිමින් එහි ලේකම් ලෙස තමාගේ රූකඩයක් පත් කර ඇති මොහොතක ප්‍රයෝගික තත්වය නම් පොදුජන එක්සත් පෙරමුණ ද මෘත ශරීරයක් මිස කවන්ධයක්වත් නොවීමයි. මේ තත්වයට ඉඩ පාදමින් සදාචාර විරෝධී ලෙස පොදුජන එක්සත් පෙරමුණේ ලේකම්ධුරය දරණ විශ්වා වර්ණපාල දේශපාලන අලුකුත්තේරුවෙක් වන්නේ යම් සේ ද, අධිකරණය ඉදිරියේ මේ කුප්ප ක්‍රියාවට අභියෝග නොකර සමාදානයෙන් පොදුජන එක්සත් පෙරමුණේ ලේකම් තනතුරින් ඉල්ලා අස් වීමේ ලියුමක් යැවූ සුසිල් ප්‍රේමජයන්ත ද එවැනිම දේශපාලන තක්කඩියෙකි.

මේ තක්කඩි කම් වල ප්‍රතිඵලයක් වශයෙන් කොමියුනිස්ට් පක්‍ෂයේ DEW ගුණසේකර, සමසමාජ පක්‍ෂයේ තිස්ස විතාරණ ආදී පැරණි දේශපාලනඥයන්ට තම පාර්ලිමේන්තු අසුන් අහිමි විය. (මේ අයගේ පාර්ලිමේන්තු අසුන් අහිමි වීම පිළිබඳව අපට කණගාටුවක් නැතත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පොදු පෙරමුණ පිහිටුවීමේදී අන් පක්‍ෂ සමග ඇති කර ගත් එකඟතා වලට පා පහර දීම අනුමත කළ නොහැක. අනෙක් අතින් ඒ වෙනුවට පාර්ලිමේන්තුවට කැන්දාගෙන පැමිණ ඇත්තේ මහජනතාව විසින් සවිඥානිකවවම ප්‍රතික්‍ෂේප කළ චරිත සහ මන්ත්‍රී විමල් වීරවංස පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ පරිදි රෝ නියෝජිතයන්ය.)

ගණන් ගන්න නිලධාරී කෝ ???
මේ අනුව බලන කළ ඉතා පැහැදිළිවම පෙනී යන කරුණ නම්, සදාචාරය අනුව පොදුජන එක්සත් පෙරමුණට හිමි විය යුතු විපක්‍ෂ නායක ධුරය දෙමළ රාජ්‍ය පක්‍ෂයට හිමි වන්නේ බොහෝ දෙනා කියන අයුරින් ශ්‍රී.ලං.නි.පක්‍ෂය ඊනියා ජාතික ආණ්ඩුවකට එකතු වීම නිසා නොව පොදුජන එකසත් පෙරමුණ දේශපාලන ව්‍යාපාරයක් ලෙස අක්‍රිය වීම නිසා බවයි.

සාධාරණ සමාජ හැදීමට තැටි රත් කළ නාග විහාරේ රොටී ස්වාමින් වහන්සේ සහ හුචක්කු පෞරුශේ ඇතුළු ඊනියා ආචාර්ය මහාචාර්ය ප්‍රබුද්ධ වෘත්තිකයන් පොළොවේ පස් කමින් බෙරිහන් දුන් දේ ඇසූ නාගරික සබුද්ධික මහජනතාව ඇතුළු ලංකාවේ අතිමහත් බහුතර ජන්දදායක පිරිස අපට දීමට යන ප්‍රජාතන්ත්‍රවාදී, නීතියේ අධිපත්‍යය සුරැකෙන, ඒකාධිපති කම ගෑවිලාවත් නැති, යහපාලන ස්වර්ග රාජ්‍යය මෙය නම් මේස් නැතිව අත දෙන මහාරාජිනීන් වහන්සේගේ බලු ගැත්තන් වී බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වීම මැනවි. ඔවුන්ට බලය තිබූ කාලයේ රට බෙදා කල්ලතෝනින්ට දුන්නේ නැතුවා පමණක් නොව ඔවුන් ඉල්ලූ 50:50 දුන්නේ ද නැත.

මේවා හෙට දේ නම්, කල්ලතොනින් ලංකාවට ගෙනැවිත් මේ ප්‍රශ්න ඇති කළ බ්‍රිතාන්‍යයන් විසින්ම ඒවා දෙනු බලා සිටීම සිංහල ලෙස පෙනී සිටින අසිංහලයින් විසින් දෙනු බලා සිටීමට වඩා අත්‍යන්තයෙන්ම නම්බුකාරය.


6 comments:

  1. සන්සුන් වන්න සහෝදරයා. අවේගසිලි බව හොඳින් පෙනේ. සත්‍ය මෙය උවත් සිංහලයන් තම නායකයා වශයෙන් තෝරා ගත් (මහින්ද ) මහතා සැබෑ මහතෙක් උනා නම් මෙවන් විපතක් නැත!. එතුමන්ගේ වරද නොවුනද ඔහුටද මගක් තිබුනේ නැත. ඔහුට අයෝමය පවුර්ශයක් ඇති බවත් සිංහලයන් මෙහෙයවිය හැකි බවත් සත්‍ය සේ පෙනුනද අවශ්‍යතාවක් තිබුනේ නැත. දැන් එය ඇතිවී තිබුනද ඔහුද අපද අද මන්මුලවී ඇත. සත්‍ය පවසා නැගී සිටිය හැකි සමාජයක් අප ඉදිරියේ පවතීද? සාදාරනය නොව යුක්තිය ගරුකරන සමාජයක් පවතීද? බොරුවෙන් සහ කැටයමින් (සෝබනයෙන් ) සියල්ල වැසිය හැකි බව නොවැටහෙද? නිර්මානසිලි බොරුවෙන් හැර වෙනත් මගකින් යලි බලය ගත හැකිද? සත්‍ය වෙනුවෙන් මාධ්‍ය සහය නැත. සියල්ල (ජඩ මාධ්‍ය ඇතුළුව ) රුපියල හෝ ඩොලරය මගින් පාලනය වේ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ සහෝදරයා, මා ඔබෙ අදහස හා එකඟයි

      ඒත් කණිෂ්ක කරනුයේ ජන මාධ්‍යයන් විසින් මහා කුණු හරුපයක් ලෙස බැහැර කරන පරම සත්‍යය එලිපිට කියා පෑමකි.

      Delete
    2. හිතවත් මිත්‍රය,

      ඔබ නමක් යොදාගෙන පැමිණේ නම් සංවාද රසවත් සහ හරවත් වේය සිතමි. ඔබේ අවවාදයට පින් දෙමි.

      ඇත්ත වශයෙන් බැලුවොත් අප කරන්නේ සංසුන් වීම ම තමයි. මෙසේ ලියන විට ආවේග පිට වන බැවින් චිත්තාභ්‍යන්තරයේ සංසුන් බව ඇති කෙරේ. ලියන වදන් තරමක ආවේගාත්මක වීම එහි අතුරුඵලයක් පමණි.

      Delete
  2. Anonymous සහෝදරයා,
    සන්සුන් වන්න වෙලාව ද මේක ?
    අනිත් එක මරාට බැන බැන ඉඳීමෙන් වන සෙතක් නැත. දැන්ම මොකක් මුත් නොකළොත් කිරීමට කාලයක් එන්නේද නැත.

    ReplyDelete
    Replies
    1. @josep ,
      ඔබ පවසන දෙය සත්‍යකි. නමුත් මම පෙන්වා දීමට උත්සහ කලේ නොයෙක් හුදෙකලා සිද්දීන් ගෙන එහි අමු සත්‍ය පෙන්වා දීමට දරන වෑයම සඵල විය හැකි අවම ඉඩක් පවතින බවයි. නිර්මාණාත්මක බොරුව වින්දනයක් සපයමින් (අපහාස සහ උපහාස) සත්‍ය වසන් කරමින් සිටි. දීර්ග කියවීමකට නුතන මානවයාට වෙලාවක් නැත. හෝ ඒ සදහා අවශ්‍ය සංයමය සහ ධාරණ සහ අවබෝද ශක්තියක් නැත. නැතිනම් අත්දැකීම් (ප්‍රත්‍යක්ෂ දැනුමක් ) නැත. කෙටි නිර්මාණාත්මක අර්ධ සත්‍ය කාලින අවශ්‍යතාවක් බවයි මට හැගෙන්නේ. මහින්දට බැනලා වැඩක් නැත. මහින්දට හෝ වෙනත් නායකයෙකුට ඉදිරියට ගෙන යා හැකි තරමට අපේ දැනුමක් (නිර්මාණ කල හැකි ) පවතී යයි නොසිතමි. කල හැක්කේ පවතින දැනුම රැක ගැනීම පමණි. ඔහු එය බොහෝ දුරට ඉටු කරන ලදී. ඉතා සීමිත අවකාශයක හැර ජාතික තලයක සිංහල බොදු දැනුම සහ බටහිර දැනුම අතර වෙනස සාකච්චාවට ලක්වී නැත. එම වෙනස පුළුල්ව සමාජ ගත කිරීම හුදෙකලා සිද්දීන් සමග පොරබැදීමට වඩා වටිනාවා යයි සිතුනි.

      Delete
    2. Anonymous මිතුරාගේ අදහස ඉතා වටී.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !