Friday, September 4, 2015

වි.නා.ස.: විපක්‍ෂ නායක සම්පන්තන්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිනව පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ධුරය පිළිබඳ නොයෙක් තැන් වල ඇති වූ විවිධ මාදිලියේ මතිමතාන්තර වලට නැවතීමේ තිත තබමින් දෙමළ ජාතික සංධානය ලෙස සිංහල ජනමාධ්‍ය විසින් වැරදි ලෙස ප්‍රචාරය කෙරෙන දෙමළ රාජ්‍ය පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක R සම්පන්තන් මහතා රජය විසින් අද දින තෝරා පත් කර ගන්නා ලදී.

R සම්පන්තන්
ලංකාවේ විරුද්ධ පක්‍ෂය
අද දෙතිස් කතාවේ කථානායක ඒ මහතාම නොවූවත් අද කතාව මෙකී පත්වීම පිළිබඳව වෙයි.





ලංකාවේ ආණ්ඩු සහ ලංකාවේ විපක්‍ෂ


නිදහස් ලංකාවේ ආණ්ඩු අඩු වැඩි වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හෝ එක්සත් ජාතික පක්‍ෂය හෝ මූලික වූ සංධාන විසින් හෙබුණේ වෙයි. මෙරට රාජ්‍ය නායකයා සෑම විටම මේ පක්‍ෂ දෙකින් එකක සාමාජිකයෙක් වුවත් විරුද්ධ පක්‍ෂ නායකත්වය වෙනත් පක්‍ෂයකට, විශේෂයෙන් ජාතික නොවන (විජාතික යන අරුතින් නොවේ) දේශපාලන පක්‍ෂයකට හිමි වූ අවස්ථාවක් අපගේ මතකයේ පවතී.

ඒ එදා 1977 මහමැතිවරණයෙන් ශ්‍රී.ලං.නි.ප.ය අන්ත පරාජයක් ලබා පාර්ලිමේන්තු ආසන 8 ට වැටුණු පසු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අප්පාපිල්ලේ අමිර්තලිංගම් මහතා ඒ තනතුරට පත් වීමයි. මැතිවරණයට පෙර ස්වාධීන දෙමළ රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටි අමිර්තලිංගම් විපක්‍ෂනායක කමින් සෑහීමට පත් වීම නිසා හෝ වෙනයම් අහේතුවක් නිසා හෝ තමා විසින්ම වර්ණනා කරමින් දිරි ගන්වමින් සිටි දෙමළ වර්ගවාදී ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත් විය.


මෑත කාලින ප්‍රවණතාව - රටට විරුද්ධ පක්‍ෂ


එංගලන්ත සම්ප්‍රදාය අනුව එරට විරුද්ධ පක්‍ෂය ආණ්ඩුවට විරුද්ධ මුත් රැජිණට හෝ රාජ්‍යයට හෝ විරුද්ධ නැත. එහෙත් පසුගිය දස වසර තුල අප දුටුවේ ශ්‍රී ලංකා ජාතියට සහ රාජ්‍යයට එරෙහි විපක්‍ෂයකි. ශ්‍රී ලංකා හමුදාවන් විසින් කිසිවෙකුට යටත් කර නොගත හැකි යැයි නම් කර තිබූ තොප්පිගල අවට ත්‍රස්තවාදී කඳවුරු සංකීර්ණය අල්ලා ගන්නා විට තොප්පිගල කියන්නේ විශාල කැලයක් ... ! යැයි කියමින් හමුදාවන්ගේ ජීවිත පරිත්‍යාගය ඔච්චමකට ගත්තේ ලංකාවේ විපක්‍ෂ නායක වරයාය. දෙමළ කැරැල්ල මැඩලීමට ශ්‍රී ලංකා හමුදාව ක්‍රියා කරන විට විපක්‍ෂ නායක වරප්‍රසාද ලබමින් ලෝකය පුරා සැරිසරමින් නොයෙක් රට-රාජ්‍ය සහ නොරාජ්‍ය සංවිධාන සමග යටි උගුල් ඇටවූයේ එතුමාය. එය නොහැකි වූ තැන දෙමළ කැරැල්ල මැඩලීමේ දී යුධ අපරාධ සිදු වී යැයි තමාගේ මිතුරන් ලවා චෝදනා කරවමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ කොන් කරවීමට එතුමා දැරූ උත්සාහය අතිමහත්ය.

මෙසේ ශ්‍රී ලංකාවට එරෙහිව සුවිශාල වැඩ කොටසක් කළ විපක්‍ෂ නායකයෙක් අග්‍රාමාත්‍ය ධුරයට පත් වීම හේතුවෙන් විරුද්ධ පක්‍ෂ නායකත්වය පුරප්පාඩු වූ කළ ඒ කටයුත්තට සුදුසු පුද්ගලයෙක් පත් කර ගැනීම පාර්ලිමේන්තුවේ කාර්යභාරය වේ. ශ්‍රී ලංකාව රාජ්‍යයට විරුද්ධ පක්‍ෂ නායකයෙක් පත් කර ගන්නේ නම් දෙමළ රාජ්‍ය පක්‍ෂයේ නායකයා තරම් ඊට සුදුසුකම් දක්වන කෙනෙක් මේ පාර්ලිමේන්තුවේ නැත.

එසේ හෙයින් අද කෙරුණු මේ පත් කිරීම, මෑත කාලින සම්ප්‍රදාය අනුගමනය කරමින් කෙරුණු සාකල්‍යයෙන්ම සුදුසු මනා පත් කිරීමක් බව දෙතිස් කතාවේ අදහසයි. ලංකාවේ විරුද්ධ පක්‍ෂ නායකත්වයට අභිනවයෙන් පත් වූ සම්පන්තන් මහතාට අපගේ සුභාශිංෂණ පිරිනමන අතරම තම පූර්වජයා ගිය මග නොපමාව යාමට එතුමාට වාසනාව ලැබේවා'යි ද පතමු. ත්‍රස්තවාදී දේශපාලනයක නියැලෙන්නන් යම් දිනෙක එහිම ගොදුරක් බවට පත් වීම ලෝක ස්වභාවයයි.


විරුද්ධ අදහස් වල පදනම


දෙමළ රාජ්‍ය පක්‍ෂ නායකයා ලංකාවේ විරුද්ධ පක්‍ෂ නායකත්වයට පත් වීම අනුමත නොකරන බොහෝ දෙනෙක් තම හේතුව කර ගන්නේ ඔහු "දෙමළෙක්" වීම නොවේ. ජාතික දේශපාලනයක නිරත නොවන ප්‍රාදේශීය දේශපාලනයක පමණක් නිරත වන, ඒ ප්‍රදේශයේ ද සියලු ජනතාව නියෝජනය නොකර එක් ජන කොටසක් පමණක් නියෝජනය කරන, ඒ ජන කොටසේ අධිපත්‍යය අනෙක් ජන කොටස් මත පැතිරවීම වෙනුවෙන් පෙනී සිටින දේශපාලන ව්‍යාපාරයක් අතට ජාත්‍යන්තරව පිළිගැනෙන ජාතික තනතුරක් පත් වීමේ අනතුරයි.

මේ තනතුරේ ජාත්‍යන්තර පිළිගැනීම පිළිබඳව අප එතරම් වටිනාකමක් දෙන්නේ නැත. සම්පන්තන් විරුද්ධ පක්‍ෂ නායක කම රැගෙන ලංකාවට කරනු ඇතැයි උපකල්පනය කෙරෙන හානිය ඔහුට එය නොදීමෙන් වළක්වා ගත හැකියැයි නිගමනයකට ඒමට අපට හේතු නැත. ජාත්‍යන්තරය කටයුතු කරන්නේ තමාට ඇවැසි අයුරින් මිස අපේ රටේ විරුද්ධ පක්‍ෂ නායකයා කියන අයුරින් නොවේ. දෙමළ රාජ්‍ය පක්‍ෂයේ නායකයා වශයෙන් රටට කළ හැකි හානියට වැඩි හානියක් විරුද්ධ පක්‍ෂ නායකයා ලෙස කිරීමේ හැකියාවක් ඔහු සතුව නැත.

අප වඩාත් අවධානය යොමු කළ යුතු වන්නේ කැබිනට් අමාත්‍ය ධුරයකට අදාළ වරප්‍රසාද ලැබෙන විරුද්ධ පක්‍ෂ නායකත්වය තබාගෙන දෙමළ රාජ්‍ය පක්‍ෂයේ නායකයා මේ රට තුල කරන්නට යන වැඩ කොටස් පිළිබඳවයි. සිංහල විපක්‍ෂ නායකයා සිංහලයින් වෙනුවෙන් කළ දේම තමාත් කරන බව R සම්පන්තන් මහතා ජනමාධ්‍යයට පවසා තිබිණි. පසුගිය අවුරුදු 10 (පමණක් නොව 94 සිට මේ දක්වා දිගටම සිටි) සිංහල? විපක්‍ෂ නායකයා සිංහලයින් වෙනුවෙන් කළ දේ (සහ නොකළ දේ) අපි දනිමු.



5 comments:

  1. https://www.youtube.com/watch?v=YT32Od6zm1k
    රට බෙදන්න ඕනේ නෑ, ඒකට අපි කැමති නෑ, හොඳ තීන්දුවක් ගේන්න ඕනේ...
    Guys, what's up here?

    ReplyDelete
  2. දිග වැඩියි, නිවාඩුවක් දාල කියවන්න වෙන්නේ.

    ReplyDelete
  3. https://www.youtube.com/embed/Kpej-45iQas

    ReplyDelete
  4. මේක ලොකු සැලැස්මක කොටසක්. සම්බන්ධන්ට විපක්ෂ නායක කම දෙන්න තීරණය කරන්න ඇත්තේ අවුරුද්දකටවත් කලින්.

    ReplyDelete
    Replies
    1. ඒ එසේම බව අපගේද අදහස වේ.
      සටන් විරාම ගිවිසුම හරහා රනිල් විසින් කරුණා LTTE යෙන් වෙන් කළ බව එජාප නායකයින් පමණක් නොව සරීරය පුරා මොළය ඇතැයි අපට සිතෙන උගතුන්ද කියනු/ ලියනු අසා / කියවා ඇත.
      ඒ අනුව දෙමළ රාජ්‍ය පක්‍ෂය දෙමළ රාජ්‍ය ව්‍යාපෘතියෙන් ඉවත් කිරීම පිණිස ඒ අයගේ මහා බුද්ධිමත් නායක තුමා වන රනිල් වික්‍රමසිංහ විසින් විපක්‍ෂ නායක තනතුර දීමේ ගිවිසුම් ගසන්නට ඇත'ය කියා එතරම් බුද්ධිමතුන් නොවන අපට නිකමට සිතේ..

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !