Monday, June 1, 2015

මහින්දාගමනයට ප්‍රශස්ති කීම

මේ බුද්ධාන්තරය තුල ශ්‍රී ලංකාද්වීපය එහි සැබෑ උරුමක්කරුවන් විසින් ජීවමාන බුදුරජාණන් වහන්සේ වෙත තෙවරක් ම පූජා කර තිබේ. බුද්ධත්වයෙන් පළමු වර්ෂයේ වස්සාවසානයේ දී ප්‍රථම රහතුන් සැට නම ධර්ම ප්‍රචාරය පිණිස පිටත් කොට තනිවම උරුවෙල් දනව්වට වැඩි අප මහා ස්වාමිදරුවාණන් වහන්සේ, උරුවෙල් කසුප් තවුසාගේ අසපුවේ වැඩ වසන සමයේ දුරුතු පුර පසළොස්වක් දා සෘද්ධියෙන් ලක්දිව් වැඩම කර යකුන් දමනය කර ඔවුන්ගෙන් පූජා පිළිගන්නා ලදී.

බුද්ධත්වයෙන් පස් වන වර්ෂයේ බක් පෝ දා චූලෝදර-මහෝදර නා රජවරුන්ගේ කළහය සංසිඳවීම පිණිස වැඩම කළ උන් වහන්සේ නාගයින්ගේ පූජා පිළිගන්නා ලදී. ඒ අවස්ථාවේදී මණිඅක්ඛිත නා රජුගෙන් ලැබුණු ආරාධනය මත තෙවන වර කැළණිය ඇතුළු ස්ථාන තුදුසක් වෙත වැඩම කළ වැඩම කළ උන්වහන්සේ ශ්‍රී පාද ලාංජනය පිහිටුවා සබරගමුවේ සුමනසමන් දෙවියන් ඇතුළු දෙවියන්ගේ පූජා ලැබ ලක්දිව පූජා භූමියක් බවට පත් කළහ.

බිම්බිසාර නරපතීන් විසින් බෝසත් සිද්ධාර්ථයන්ට අංග-මගධ දෙරටේ අර්ධ රාජ්‍යය පැවරීමෙන් පසු දඹදිව වෙනත් කෙනෙකුන් විසින් උන් වහන්සේට රාජ්‍යය පවරා දී නැත. ඉහත කතා පුවත් අනුව පෙනී යන්නේ මේ ලක්දිව රාජ්‍යය තෙවාරයකදී උන් වහන්සේට පූජා කර තිබෙන බවයි. තමන් වහන්සේගේ සාෂණය පන්දහසක් කල් පවත්නේ මේ පුණ්‍ය භූමිය මත බව දත් මහසතාණෝ ලක්දිව් රාජ්‍යය පිළිගෙන වදාළහ. එසේ හෙයින් මේ ලක්දිව බුද්ධ රාජ්‍යය යැයි හැඳින්වීම අතිශයින්ම සුදුසුය.






ලක්දිව බුදුරදුනට පිදූ පුරාණ ලක්වැසියෝ


ඉහත දැක්වූ ලෙස ලක්දිව තථාගතයන් වහන්සේ වෙත පූජා කරන්නෝ මනුෂ්‍යයෝ නොවෙති. පළමුවර බිම්තැන්නට (පාළි: මහි+අංගන) වැඩම කළ අවස්ථාවේ උන් වහන්සේට හමු වන්නෝ යක්‍ෂයෝය. යක්‍ෂයෝ යනු සතරවරම් දෙවිවරුන්ගෙන් වෛශ්‍රවණ දේවයාට අයත් පිරිවර වේ. එහෙත් ආටානාටිය සූත්‍රයට අනුව ඔහුගේ ආඥාව නොපිළිගන්නා යක්කු වෙත්. ලක්දිව සිටි යක්කු මෙළෙස වෙසමුණි රජුට අනවනත යකුන් කොටසක් බව පෙනේ. බුදුරජාණන් වහන්සේ විසින් යග්ගිරි දිවයිනට නංවා පිටත් කළත් සමහරු ඉතිරි වී සිටි බව හෝ පසුකාලීනව නැවත තම මුල් ගොදුරුබිම සොයාගෙන පැමිණි බැව් පෙනේ.

දෙවනවර උන් වහන්සේ හමු වන්නෝ නාගයෝ ය. නාගයින් ද විරූපාක්‍ෂ නම් වරම් රජුගේ සේනාවට අයත් වේ. සුමන සමන් ඇතුළු දෙවිවරු ලෙස හැඳින්වෙන්නේ භූමාටු දෙවිවරුය. කඳු-පර්වත, ගංගා, වනස්පති වෘක්‍ෂ අරක්ගෙන වාසය කරන මේ අය අල්පේශාක්‍ය දෙවිවරු වේ.

සරලව ගත් කළ මේ සියළු දෙනා අමනුෂ්‍ය වර්ගයා වේ. බුදුරජාණන් වහන්සේ තෙවරක් ලක්දිව් වැඩි මුත් මනුෂ්‍යයන් හමු වූ බවටත් ඔවුන්ට දම් දෙසූ බවටත් සඳහනක් නැත. මනුෂ්‍යයින්ට බණ දෙසීම සහ ඔවුන්ට නිවන් දොර හැර දීම දීපචක්‍රවර්ති දම්සෝ නරනිඳු පුත්‍ර අනුබුදු මහින්ද මාහිමියන් විසින් පසුකාලීනව කරන්නට යෙදුණේ එහෙයිණි.



මහින්දාගමනයට පෙර ලක්දිව


සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ වෙසක් පුර පසළොස්වක් දා විජයයා ඇතුළු පිරිස ලක්දිව සැපත් වූ බව අපගේ වංශකතාවෝ කියත්. ඒ වන විට මෙරටේ සිටියෝ අමනුෂ්‍ය කොටස් පමණක් බවත් ඒ වංශ කතාම අපට කියත්. එසේම අමනුෂ්‍ය දුවක් වූ කුවේණිය හා සමග විජයයාගේ සහවාසයෙන් ජීවහත්ත හා දිසාලා නම් දරු දෙදෙනෙක් පහල වූ බවත් කියන්නේ ඒ වංශකතාවෝම ය. මෙය දෙස අප බැලිය යුතු වන්නේ බටහිර ජීවවිද්‍යාව අනුව නොව ලෝකෝත්පත්තිචරියාවංශය දෙස බලන අයුරිණි.

විජයයාගමනය විප්ලවයකි

විජයයාගමනයෙන් සැබැවින්ම සිදු වන්නේ ලක්දිව මනුෂ්‍යයින් - ස්වදේශිකයින් - විසින් එතෙක් පවත්වාගෙන ආ රාජ්‍යය විදේශිකයෙක් / පරයෙක් අතට පත් වීම වැනි සුළුපටු සංසිද්ධියක් වේ. විජයයා විදේශ ජන්මයක් ඇත්තෙක් බව සැබෑ මුත් ස්වකීය පියාණන් විසින් තමන්ට හිමි රාජ්‍යයෙන් පළවා හරින ලද පළවා හරින ලද බැවිනුත් ලක්දිව රාජ්‍යය හිමි කර ගැනීම පිණිස විදේශාධාර මත පදනම් නොවුණු බැවිනුත් හෙතෙම විදේශ නියෝජිතයෙකු වශයෙන් සැළකිය නොහැක. වෙනත් වචනයෙන් කියතොත් විජයයා විසින් ලක්දිව ස්වාධීනත්වය සහ ස්වෛරී භාවයට අංශුමාත්‍ර හෝ හානියක් කරන්නේ නැත. එහෙත් කුවේණියගේ සහය ලබන ඔහු ලක්දිව පාලක පෙළැන්තිය සමුලඝාතනය කර පාලනය තමා නතු කර ගනී. මෙය නූතන අර්ථයෙන් විප්ලවයකි.

මෙහි තවත් පැත්තක් ද වේ. මහාවංශ කතාව සිහියෙන් කියවන අපට හැඟී යන්නේ මෙකී ඊනියා විප්ලවය විජයයාගේ අදහසක් වීමට වඩා සම්පූර්ණ සැළැස්මම කුවේණියගේ සිතේ පහල වූ සංකල්පයක් වීමේ ඉඩකඩ වැඩි බවයි. විජයයාගේ පිරිවර සිරභාරයට ගන්නේත්, විජයයා තමා හා වාසයට පොළඹවා ගන්නේත්, සිරසවස්තු පුරයේ 'මළ ජංජාලය' පිණිස විජයයා පොළඹවන්නේත් කුවේණිය විසිනි. අවසන කුවේණියගේ සටකපටකම් වලින් වෙහෙසට පත් වන විජයයා විසින් තමාගේ පිරිවර බලය භාවිතා කර කුවේණිය පිටමං කර දැමීමට සමත් වේ. විමුක්ති යශෝදරා ජීවහත්ථ දිසාලා නම් දූ දරුවන්ගේ ද කුවේණියගේ ද අවසානය පමණක් නොව විජයයාගේ ද අවසානය ඛේදවාචකයකි.

සංක්‍රාන්ති කාලය: පණ්ඩුකාභය රජ සමය දක්වා

රාජ්‍යත්වයට උරුමකරුවෙක් නොමැතිවම විජයයා මරු වසඟයට ගිය පසු ලාට රටින් මීළඟ පාලකයා සපයා ගන්නා තෙක් වැඩි වියවුලක් නොමැතිව ලක්දිව පාලනය කර ගැනීමට විජයයාගේ පිරිවර සමත් වූ බව පෙනේ. කෙසේ වෙතත් විජයයා තම්බපන්නි නුවර සිටත් පඬුවස්දේවයා පඬුවස්නුවර සිටත් රාජ්‍ය විචාරීම පිළිබඳ ප්‍රවාදය අපට සිහි ගන්වන්නේ සිරිසේන රාජයා පොළොන්නරුවේ සිට රාජ්‍ය විචාරීම පිළිබඳ සැබෑ ප්‍රවෘත්තියයි. සත්‍යය නම් විජයයාගේත් පඬුවස්දේවයාගේත් රාජ්‍ය විචාරීම පමණක් නොව සිරිසේනයාගේ රාජ්‍ය විචාරීම ද හුදෙක් සංකේතාත්මක රාජ්‍ය විචාරීමක් පමණක් වීමයි. සමස්ථ රාජ්‍යය පුරා විහිදී ගිය සැබෑ පාලනයක් මෙවැනි තත්වයක් යටතේ තිබීමේ ඉඩකඩක් නැත.

පණ්ඩුවාසදේවයා දඹදිවින්, විශේෂයෙන් ලාට රටින්, පැමිණි පිරිසට නායකත්වයක් දුන් අතර රටේ විවිධ පෙදෙස් විවිධ පාලකයන් යටතේ පැවතිණි. නියම රජවරු නොවුණු මේ පිරිස් තම තමාට රිසි රිසි අයුරින් රිසි රිසි පිරිස් සමරමින් රිසි රිසි වනාන්තර කපා හෙළමින් පාකිස්ථාන් කොළණි පිහිටුවමින් ඒ ඒ පෙදෙස් වල කටයුතු කරන්නට ඇත.

මේ කාලයේදී සිදු වූ වැදගත්ම සිදු වීම ලක්දිව රාජ්‍යත්වය වෙත දඹදිව ශාක්‍ය වංශිකයින් විසින් උරුමයක් සාදා ගැනීමයි. කසී-කොසොල් දෙරට පාලනය කළ තරුණ විඩුඩභ රජු විසින් ශාක්‍ය සංහාරයක් කර කිඹුල්වත්පුරය අරාජික කිරීමේදී පලා ගිය ශාක්‍යයන්ට ලක්දිව අභය භූමියක් විය. පණ්ඩුකාභය කුමරු පැන නගින්නේ මෙකී ශාක්‍යයන් අතරිණි.

පණ්ඩුකාභය රජ

පණ්ඩුකාභය කුමරුගේ මව් - චිත්‍රාව - ලාට රටින් මෙරටට සැපත් වූ පණ්ඩුවාසදේව රජුට දාව ඔහුගේ දේවිය, එනම් පණ්ඩු ශාක්‍යයාගේ දියණිය වූ භද්දකච්ඡායනා කුමරිය ලැබූ එකම දියණියයි. පණ්ඩුකාභය කුමරුන්ගේ පියා වන්නේ එකී පණ්ඩු ශාක්‍යයාගේම පුත්‍රයෙකු වූ දීඝායු කුමරු ගේ පුත්‍ර දීඝ ගාමිණීය. ඒ අනුව චිත්‍රාව හා දීඝ ගාමිණී ඇවැස්ස නෑනා මස්සිනා වරුන් වන අතර ඔවුන් දෙදෙනාගේ මුත්තණුවන් පණ්ඩු ශාක්‍යයා වේ. හෙතෙම අමිතෝධන ශාක්‍යයාගේ පුත්‍රයෙකි.

අමිතෝධන යනු සුද්ධෝධන රජුගේ සොහොයුරන් අතරින් කෙනෙක් වන නිසා පණ්ඩු ශාක්‍යයා බුදුරජාණන් වහන්සේ හා සමකාලීන කොට සැළකිය හැක. එසේම බුදුන් දැක දහම් ශ්‍රවණය කළ කෙනෙක් වීම පිළිබඳ සැකයක් ද නැත. ඒ අනුව භද්දකච්ඡායනා කුමරිය සහ ඇගේ සොහොයුරන් පිරිස ද තෙරුවණ සරණ ගිය උපාසක පිරිසක් බව නිගමනය කිරීම අහේතුක නොවේ.

පණ්ඩුකාභය කුමරු රජ වීම පිළිබඳ කතාව බොහෝ දෙනා දන්නා බැවින් නැවත සඳහන් කිරීමේ අවශ්‍යතාවයක් නැත. එහෙත් ඒ ගැන සඳහන් කළ යුතු කරුණු කිහිපයක් වෙයි.

ඉහත දැක්වූ අයුරින් පණ්ඩුකාභය කුමරුවන්ගේ මව්-පිය පරම්පරාවන් ශාක්‍ය වංශයට නෑකම් කියයි. එසේම ඔහු ලාට රටේ සිංහබාහුගේ පෙළපතෙන්ද පැවත එයි. මීට අමතරව උපන් දා ම රජ ගෙයින් පිටමං කෙරෙන කුමරු හැදී වැඩෙන්නේ දොරමඬලා ගමේ ගොපල්ලන් අතර ය. පණ්ඩුවාසදේව රජුගේ ආඥා පරාක්‍රමයට යටත් නොවූ මේ ගම වැසියෝ විජයයා විසින් යටපත් කෙරුණු නොහැකි වූ ස්වදේශික ජනයා බව සිතිය හැක. කුමරු එගම වෙසෙන කාලයේ ඔහුගේ මාමා වරුන් විසින් ඔහු මැරීම පිණිස රාජ්‍ය අධිකාරය යොදා නොගෙන වරින් වර ගරිල්ලා ප්‍රහාර එල්ල කිරීම මගින් පෙන්නුම් කෙරෙන්නේ මේ ප්‍රදේශය තුල ඔවුන්ට කිසිදු බලයක් නොතිබුණු බවයි.

සොළොස් ඇවිරිදි වියට පත් වන පණ්ඩුකාභය කුමරු ශිල්ප ඉගෙනීමට යැවෙන්නේ පණ්ඩුල නම් බ්‍රාහ්මණයෙක් හමුවට බව මහාවංශය කියයි. මේ අනුව අවසානයේ නිර්මාණය වන්නේ සිංහබාහු පෙළපතට නෑකම් කියන, ශාක්‍ය පෙළපතින් පැවතෙන, වෛදික පන්නයේ ඉගැනුමක් ලැබූ මුත් ලක්දිව මුල් බැසගෙන තිබූ ස්වදේශීය සංස්කෘතියට අයත් වන කුමරෙකි. අටක් මාමාවරුන් සටනින් මරා දමන හෙතෙම මුල් වරට සකල ලංකාද්වීපයම එකච්ඡත්‍ර කොටගෙන රජ බවට පත් වෙයි. තමාම මහා සංස්කෘතික මිශ්‍රණයක ප්‍රතිඵලයක් වන පණ්ඩුකාභයා විසින් ගොඩනැගෙන්නේ ලොව පළමු අදේවවාදී (අනාගමික?) රාජ්‍යය විය හැක.

පෙර විසූ නාමමාත්‍රික රජුන් මෙන් නොවූ පණ්ඩුකාභය රජතෙම සර්වාංගසම්පූර්ණ අගනගරයක් ද නිර්මාණය කරයි. සියවස් පහළොවකට වඩා කල් ලක්දිව අගනගරය ලෙස පැවතීමෙන් පෙනී යන්නේ ඒ නගර නිර්මාණයේ අද්විතීය තිරපැවැත්මයි. ඒ කෙසේ වෙතත්, පණ්ඩුකාභයා විසින් දැන හෝ නොදැන නිර්මාණය කරන්නේ අනාගත බෞද්ධ රාජ්‍යයට අවශ්‍ය වටාපිටාවයි.



ලක්දිව බුදුසසුන මුල් බැස ගැනීමට හේතු


සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් දම් පිරූ මහබෝසතාණන් වහන්සේත් බුදුවන ආත්ම භාවයේදී පස් මහා බැලුම් බැලූ සේක. කාලය එහි පළමුවැන්නයි - දීපය දෙවැන්නයි. බුදු වීම පිණිස ජම්බුද්වීපය සුදුසු වන මුත් සම්බුදු සසුනේ තිර පැවැත්ම රඳා පවත්නේ දඹුද්විපයේ නොව ලංකාද්වීපයේ බව උන් වහන්සේ නොදැන සිටීමට හේතුවක් නැත. එහෙත් ජම්බුද්විපයේදී බුදුවීමට සුදුසු කාලය ලංකාද්වීපයේ සම්බුද්ධ සාශනය පිහිටුවීම පිණිස සුදුසු කාලය නොවීය. කකුසඳ, කෝණාගමන, කාෂ්‍යපාදී පෙර බුදුවරු මෙන් දීර්ඝායුෂ්ක බුදු කෙනෙකුන් නොවූ අප බුදුරජාණන් වහන්සේ ලක්දිව බුදුසසුන පිහිටුවීම අනාගතයට කල් තැබූ සේක. එහෙත් ඒ සඳහා ඇවැසි මූල බීජ සපයා තැබූ සේක. අප ඉහත විස්තර කළේ එකී මූල බීජ රෝපණය වී සම්බුදු සසුන පිළිගැනීම පිණිස ලක්දිව සැරසුණු අයුරුයි.

එහිදී අපට හමු වන ඉතාම වැදගත් කරුණු කිහිපයක් පහත අයුරින් ගෙනහැර දැක්විය හැක.
  1. ලක්දිව අමනුෂ්‍ය බලය බිඳ දැමීම: බලවත් අමනුෂ්‍යයන් සිටින තැනක මනුෂ්‍යයන් විසින් අමනුෂ්‍යයන් ඇදහිල්ල තරව කරත්. පලස්තීනයේ හා අරාබියාවේ ප්‍රාදේශීයව බලවත් අමනුෂ්‍යයන් අදහන ම්ලේච්ඡ මිනිසුන් ලෝකය පුරා විසිරී අද කරන දේ දෙස බැලූ කළ මෙහි වැදගත් කම පසක් වේ.

  2. නව අදහස් වලට විවෘත නොවන පාලක පෙළැන්තිය බිඳ දැමීම: මෙය කුවේණිය විසින් කෙරුණත්, විජයයා විසින් කෙරුණත් ඊට පහසුකම් සලස්වන ලද්දේ ශක්‍රයා විසිනි. ඒ පාලනය බිඳ දැමීමෙන් තොරව ඉතිරි කරුණු සම්පූර්ණ නොවේ.

  3. ශාක්‍ය වංශය ලක්දිව රජකමට සම්බන්ධ කිරීම: චිත්‍රාව පණ්ඩුශාක්‍යයාගේ මිණිපිරිය බැවින් ඕ තොමෝ බුදුරජාණන් වහන්සේගේ ද මිණිපිරිය වෙයි. මේ ඥාති කම මගින් පසුකාලීන රජවරුන්ට බුදුදහම පිළිගැනීමට නිසඟ අවශ්‍යතාවයක් ඇති කෙරිණි. තම පරපුරේ ආදී මුත්තෙක් විසින් දේශනා කළ විමුක්ති මාර්ගයක් පිළිපැදීම තමාට ආඩම්බරයක් වනු පමණක් නොව රටවැසියන් විසින් ඒ දහම පිළිපැදීම රජු කෙරේ අවනත බවක් ද ඇති කිරීමට උපස්ථම්භක වන බව රජ වරු නොදැන සිටීමට හේතුවක් නැත.

  4. සංස්කෘතික සම්මිශ්‍රණය: මේ වනාහී අතිශය වැදගත් කරුණකි. සංස්කෘතික සම්මිශ්‍රණයක් ඇති තැනක මිස නැති තැනක බුදුදහමට (හෝ වෙනත් දහමකට හෝ) ඉඩක් ලැබෙන්නේ නැත. එවැනි තැනක මනුෂ්‍යයෝ සමජාතීය වේ - වෙනස් අදහස් නැත්තෝ වේ. මේ සංස්කෘතික සම්මිශ්‍රණය ඇති කෙරෙන්නේ පණ්ඩුකාභය රජු විසිනි.

  5. සිතීමේ සහ ඇදහිල්ලේ නිදහස: සියළුම කරුණු අතරින් වැදගත්ම කරුණ මෙයයි. පණ්ඩුකාභය රජු විසින් ගොඩනැගූ රාජ්‍යයේ - සිංහලයේ - වැදගත්ම ලක්‍ෂණය වන්නේත් මෙයමයි. සිතීමේ සහ ඇදහිල්ලේ නිදහස පිළිබඳ ආදර්ශයක් ලෙස පැනවිය හැකි රාජ්‍යයක් මේ මිහිපිට වී නම් ඒ පණ්ඩුකාභය රාජයා විසින් ගොඩනැගූ සිංහල රාජ්‍යය පමණි. බුද්ධ කාලීන දඹදිව මේ නිදහස පැවතුණත් නැගී එන බ්‍රාහ්මණ බලය හමුවේ ඉතා ඉක්මණින් එය වියැකී ගියේය. ලක්දිව මේ නිදහස බොහෝ කල් රඳා පැවතිණි. පන්දහසක් කල් පවත්නා බුදුසසුන මුල් බැස ගන්නා දීපය වශයෙන් බුදුරජාණන් වහන්සේ ලක්දිව හඳුනා ගැනීමට හේතුව ලෙස අප දකින්නේ අප රටවැසියන් එදා අත්විඳි ඒ නිදහසයි. මේ නිදහස අපට අහිමි වීම ඇරඹුණේ අරාබින් හා පරංගින් ලක්දිව අවට මුහුදේ හොල්මන් කරන්නට පටන් ගත් විටය.

  6. දේශපාලන ස්ථාවර බව: ලක්දිව කුඩා බැවිනුත් සමුදුරෙන් වට බැවිනුත් පාලකයා නිවට නියාළු බෙලහීනයෙක් නොවන තාක් ඒකඡත්‍ර රාජ්‍යයක් ලෙස පැවතීම ස්වයංසිද්ධය. සම්බුදු සසුන බොහෝ කල් පැවැත්ම පිණිස මෙය අත්‍යාවශ්‍ය වන්නේ බාහිරින් ආ හැකි ත්‍රස්ත තර්ජන වලට බුදුදහම පහසු දඩයමක් විය හැකි බැවිණි. පණ්ඩුකාභය රජු විසින් ගොඩනැගූ සිංහල රාජ්‍යය තුල මේ ස්ථාවර බව ඉතා හොඳින් පැවති බව අනුරාධපුරය සියවස් පහළොවක් ඉක්මවා අගනුවර ලෙස පැවතීමෙන් පෙනේ.

  7. ජීවමාන සිද්ධස්ථාන: ලක්දිව වැඩම කළ තුන් ගමනේදී බුදුරජාණන් වහන්සේ ලක්දිව පුරා ස්ථාන සොළොසක් තමන් වහන්සේ විසින් සමවත් සුවයෙන් වැඩ සිටීමෙන් පූජනීයත්වයට පත් කළහ. පසුකාලීනව සම්බුදු දහම හඳුන්වා දුන් විටෙක මනුෂ්‍යයන් විසින් වන්දනා කිරීම පිණිස සිද්ධස්ථාන පැවැත්ම අත්‍යාවශ්‍ය ය. යම් හෙයකින් එවැනි ස්ථාන ලක්දිව නොතිබිණි නම් ලක්වැසියන්ට ලක්දිව පූජා භූමියක් නොවන්නට ඉඩ තිබිණි. එවැනි විටෙක සම්බුදු දහම තුරන් වී යාම පහසුය. මෙහි වැදගත් කම මැන ගැනීම පිණිස අපේ පැරැන්නන් විසින් අරාජික කාල වල වල් වැදී ජරාජීර්ණව ගිය අනුරාධපුරයේ සිද්ධස්ථාන රැක ගත් අයුරු - විශේෂයෙන් ශ්‍රී මහා බෝධිය රැක ගැනීම උදෙසා සිංහලයින් දිවි හිමියෙන් කටයුතු කළ ආකාරය - දැන ගැනීම ප්‍රමාණවත් වේ.
මෙසේ සර්වාංගසම්පූර්ණ වූ ලංකා දිවයිනකටයි අනුබුදු මහින්ද මහරහතන් වහන්සේ බුදුදහම හඳුන්වා දෙන්නේ. ඉඳින් සම්බුද්ධ ඥානයෙන් දැක දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයාට පැවරූ කර්තව්‍යයක් වැරදී යාමේ ඉඩක් ඇත්ද? කිසි සේත් නැත.

ලක්දිව වනාහී සම්බුද්ධ රාජ්‍යයයි. සිංහලයෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් තෝරා ගත් ජනතාව වේ. සිංහලයාගේ කාර්‍යය වන්නේ පන්දහසක් කල් පවත්නා සම්බුද්ධ සාශනය පර සතුරු උවදුරු වලින් රැක ගැනීමයි. ඒ වෙනුවෙන් ඉර හඳ පවත්නා තාක් සිංහලය රැක දීමට ශක්‍ර දේවේන්ද්‍රයා ඇතුළු සම්‍යක්දෘෂ්ඨික දෙවි දේවතාවුන් වහන්සේලා පේ වී සිටිත්.



මහින්දාගමනයේ අරුත එයයි. මහින්දාගමනයේ අරුත රැක ගැනීමට නොවෙහෙසී මේ පොසොන් සමයේ මහින්දාගමනයට ප්‍රශස්ති කීමෙන් කවර පලයක් ද?

34 comments:

  1. "අරුත රැක ගැනීමට නොවෙහෙසී ප්‍රශස්ති කීමෙන් කවර පලයක් ද?"
    ++++++++++++++++

    ReplyDelete
    Replies
    1. අරුත රැක ගන්නේ කෙසේද ?
      පොර ටෝක් දුන්නට මේ ප්‍රශ්නෙට උත්තර නෑ නේද?

      Delete
    2. අරුත රැක ගන්නේ කෙසේද ?
      මේ පිළිබඳ ඔබ අදහස් ඉදිරිපත් නොකරන්නේ මන්ද?

      Delete
  2. හරිම අපූරු ලිපියක්. ඇත්තටම කරුණු / කතන්දර අතින් නම් එච්චර අලුත් බවක් නෑ - මේවා පහුගිය කාලේ ලිපි වලත් කොමෙන්ට් වලත් ඔබ තුමාම කියූ කරුණු.

    ඒත්, ඒවා පෙළගස්වල අන්තිමට හොඳ ඉලක්කගත අවසානයක් කරා ලඟා වෙන හැටිනම් හරිම අපූරුයි. අපි තැන් තැන් වලදී බුදුරදුන් ශක්‍ර දෙවියන්ට ලක්දිව රැක ගැනීමට පැවරීම ගැන කතා කළත් ඒ කතාව මෙතනදී සම්පූර්ණ උන බව දැනෙනවා.

    නූතන කුවේණිලා-නූතන විජයලා සහ සිරිසේනලා ගැන වෙන ලිපියක කතා කළානම් තමා වඩා හොඳ... හික් !

    ඒත් දැන් කරලා තියෙන දේත් නරකම නෑ.

    ReplyDelete
    Replies
    1. තවත් දෙයක්.
      අන්තිමට පෙන්වා දෙන කරුණු 7 නම් අගය කරන්න වටිනවා. ලිපිය දිග වැඩි උනත් මුළු ලිපියේම සංක්‍ෂිප්තයක් විදියට ඒ කරුණු 7 පිළිගන්න පුළුවන්.

      Delete
    2. "නූතන කුවේණිලා-නූතන විජයලා සහ සිරිසේනලා ගැන වෙන ලිපියක කතා කළානම් තමා වඩා හොඳ... "

      දැන් කාලේ කතා කරන්න ඕනෙම ඔය යක්කු ගැනම තමයි.

      Delete
    3. ඉතිහාසය නැවත නැවත සිදු වේ.

      Delete
    4. නූතන කුවේණිලා-නූතන විජයලා සහ සිරිසේනලා ගැන ඇනෝට කියන්නට ඇත්තේ කුමක්ද?

      Delete
  3. ලිපියනම් ඉතාම හොඳයි, මේ කථා කරන්නේ ඉතිහාස ගත සිංහලයේ කථාවද නූතනයේ සිංහලයේ කථාවද?
    මගේ ඉතිහාසය පිළිබඳව දැනුම නම් ඉතා අල්පයි, ඒත් දැන් මාගේ දැනුම බොහෝ දියුණු වී ඇත්තේත් ඔබලාගේ ඇසුර නිසාමයි. මේ ලිපිය මගින් නූතනයේ සිංහලයාගේ අභියෝග ගැනනම් අපූරු රතු එළියක් දල්වා ඇතැයි සිතෙනවා.

    ReplyDelete
    Replies
    1. රතු එළි දල්ව දල්ව හිටියම ඔක්කොම හරිද?

      Delete
    2. ඔබ පමණක් නොව අද සමාජයේ බොහෝ දෙනෙකුගේ ඉතිහාස දැනුම අල්පය. ඉතිහාසය පාසැල් විෂය නිර්දේශයෙන් ඉවත් කළ රටකි මෙය - රාජ්‍ය නායකයා විසින් ඉතිහාසය කන්න දැයි ඇසූ රටකි මෙය.

      විභාග සමත් වීම කෙසේ වෙතත්, විෂයක් වශයෙන් ඉගෙන ගැනීම ඉතාම පහසු විෂයකි ඉතිහාසය. එසේම ඉතිහාසයේ නව ප්‍රවාද තැනීමත් ඉතාම පහසුය. පහත බැඳියෙන් ගොස් ආචාර්ය නලින් ගේ "සිංහල බෞද්ධ සංස්කෘතිය" ලිපිය කියවන්න.

      ඔහු විසින් නිර්මාණය කළ ඉතිහාස ප්‍රවාද කිහිපයක් ම එහි දිස් වේ. පිළිගැනීම නොගැනීම කෙසේ වෙතත් ඒවා දැනගෙන සිටීම වැදගත්ය.

      Delete
    3. "නූතනයේ සිංහලයාගේ අභියෝග ගැනනම් අපූරු රතු එළියක් දල්වා ඇතැයි සිතෙනවා"

      ඔව් ඒක ඇත්ත. අපිට පුළුවන් එච්චරයි.

      Delete
    4. 20 ත් අභියෝගයක් තමයි. වඩාම අභියෝගය ඒ පිළිබඳ තොරතුරු හිඟ කමයි. අපට අදහස් දැක්වීමට සිදු වී ඇත්තේ මතුපිටින් අත ගා පමණි.

      Delete
  4. "මෙසේ සර්වාංගසම්පූර්ණ වූ ලංකා දිවයිනකටයි අනුබුදු මහින්ද මහරහතන් වහන්සේ බුදුදහම හඳුන්වා දෙන්නේ. ඉඳින් සම්බුද්ධ ඥානයෙන් දැක දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයාට පැවරූ කර්තව්‍යයක් වැරදී යාමේ ඉඩක් ඇත්ද? කිසි සේත් නැත."
    පිස්සුද හැටිද? ඔය දැන් හරි අපූරුවට කෙලවිලා තියෙන්නෙ..................

    ReplyDelete
    Replies
    1. ඔබ අදහස් කරන්නේ "කෙළවිලා" තිබීමට ශක්‍රයා වගකිවයුතු බවද ?

      Delete
    2. සක්කරයාගේ එක දවසක් අපිට අවුරුදු 100 නම්, සක්කරයා ඔහුගේ පැය වලින් පැයකට සැරයක් ලංකාව monitor කළත් අපිට ඒ අවුරුදු කිහිපයකි.

      ඔබ යෝජනා කරන්නේ අසුරයින් 'ත්‍රස්තවාදී' තර්ජනයට මුහුණ දෙමින් දෙව් ලෝ දෙකක යහපාලනය කරන ගමන් අඩු තුන් කෙළක් සුරඟනන් ද සංහිඳියාවේ තබාගෙන අමාරුවෙන් ඇදගෙන යන සක්කරයා ඒ සියල්ල පසෙක ලා ලංකාව ගැන ඇස ගසාගෙන real time monitoring කළ යුතු බවද..... නෑනේ වැඩක් !

      Delete
    3. ජොසෙෆ්,
      මේ ඉතා හොඳ පැහැදිළි කිරීමක්. අපට කෙළවී ඇත්නම් එසේ වීමට හේතුව ශක්‍රයා නොවේ. වරද අපේමය. අප ජාතියක් වශයෙන් එක පිට එක කරන අමන මරි මෝඩ කම් තිබියදීත් මෙතෙක් කල් කෙළවී නැත්නම් ඊට හේතුව නම් ශක්‍රයාගේ බැල්ම තවමත් අප වෙත තිබීම විය හැක.

      Delete
  5. මෙසේ සර්වාංගසම්පූර්ණ වූ ලංකා දිවයිනකටයි අනුබුදු මහින්ද මහරහතන් වහන්සේ බුදුදහම හඳුන්වා දෙන්නේ. ඉඳින් සම්බුද්ධ ඥානයෙන් දැක දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයාට පැවරූ කර්තව්‍යයක් වැරදී යාමේ ඉඩක් ඇත්ද? කිසි සේත් නැත.

    ලක්දිව වනාහී සම්බුද්ධ රාජ්‍යයයි. සිංහලයෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් තෝරා ගත් ජනතාව වේ. සිංහලයාගේ කාර්‍යය වන්නේ පන්දහසක් කල් පවත්නා සම්බුද්ධ සාශනය පර සතුරු උවදුරු වලින් රැක ගැනීමයි. ඒ වෙනුවෙන් ඉර හඳ පවත්නා තාක් සිංහලය රැක දීමට ශක්‍ර දේවේන්ද්‍රයා ඇතුළු සම්‍යක්දෘෂ්ඨික දෙවි දේවතාවුන් වහන්සේලා පේ වී සිටිත්.

    මෙතන පොඩි නියතිවාදයක් තියෙනවා නේද? අපිට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැතිද? හොඳට ලියල නම් තියෙනවා ඒත් "Sure" ද ?

    ReplyDelete
    Replies
    1. අප දන්නා නියතිවාදය නම් මක්ඛලිගෝසාල විසින් ප්‍රකාශිත නියතිවාදයයි. එවැන්නක් නම් ඉහත අදහස් නොකෙරේ. ඔබ "නියතිවාදය" යනුවෙන් අදහස් කරන දේ පැහැදිළි කළොත් ගැළපෙන පිළිතුරක් නොවරදවා දෙමි.

      ඒ අතරම ඉල්ලීමක් ද කරමි. සංවාදයේ පහසුව තකා කිසියම් නාමයක් යොදා ගන්නේ නම් මැනවි.

      Delete
    2. නියතිවාදය
      * සිංහලයාගේ කාර්‍යය වන්නේ පන්දහසක් කල් පවත්නා සම්බුද්ධ සාශනය පර සතුරු උවදුරු වලින් රැක ගැනීමයි

      මෙහි ඔබ දකින 'නියතිවාදය' කුමක්ද?

      Delete
  6. අප්පච්චි මලා !

    19 වන ව්‍යවස්ථා සංශෝධනය රටට එකම එක විශාල සේවයක් කළේය. 225 ආසන ඇති පාර්ලිමේන්තුවේ සිටින සිංහල මන්ත්‍රී සංඛ්‍යාව සොයා ගැනීමට උපකාර කිරීමයි. මේ පාර්ලිමේන්තුවේ සිංහලයින් සිටින්නේ එකෙකි - අනෙක් උන් සිංහලයින් ලෙස පෙනී සිටින්නෝ ය, නැතිනම් පරයෝ ය. තමන් නියෝජනය කිරීමට එක මන්ත්‍රීවරයෙකුට වඩා පත් කර යැවීමට හැකි තරම් සිංහලයින් ලංකාවේ නැද්ද ? නැතිනම් සිංහලයින් 70% සිටිනවාය කියන රටේ පාර්ලිමේන්තුවේ සිංහල නියෝජනය 1-223 (කතානායක තුමා හැරුණු කොට) වීම ප්‍රජාතන්ත්‍රවාදය ද?

    මේ තත්වය යටතේ ඊනියා 'ස්වාධීන' සභා වල සිටීමට ඉඩ ඇති සිංහලයින් ගණනත්, ඒ සිංහලයින් විසින් සිංහලයින් ගැන සහ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ගන්නා ක්‍රියා මාර්ග ගැනත් සන්සුන් මනසින් සිතා බැලීමට සිංහලයින්ට කාලයයි.

    ලිපියට >>>


    19 ගැන ඔබේ ඔබේ අදහස එය නම් 20 ගැන අදහස කවරේද ?
    මගේ අදහස "මිශ්‍ර" එකකි - නොහොත් මා සිටින්නේ වැට උඩ වේ. එක පැත්තකට පැන ගැනීම අවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. ජෝසප්,
      223/1 ඇත්තටම මේක කිසිම තැනක සාකච්චාවට ලක් නොවුනු එහෙත් බොහෝ දෙනා හිතේ අමාරුව දරාගෙන බලා සිටි තැනක්. ඔව් අපිට මුළු දෙසිය විසි පහෙන්ම ඉඳලා තියෙන්නේ එකයි. ඒකයි ඇත්ත.
      මේ වැදගත් කරුන මතු කලාට ඔබට පින්.

      Delete
    2. 20 ට කැබිනට් අනුමැතිය ලැබුණු බවට අද ආරංචියක් ලැබිණ. එසේම විශ්වාස කටයුතු තවත් මාර්ගයකින් දැන ගන්නට ලැබුණේ තව දෙසතියක් තුල පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන බවයි.

      20 වන සංශෝධනයේ අරමුණ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමයි. ඒ අනුව කොට්ඨාශ අනුව 125, සමානුපාතික නියෝජනය අනුව 75 සහ ජාතික ලැයිස්තුවෙන් 25 වශයෙන් පාර්ලිමේන්තු ආසන 225 සකස් වන බවයි දැනට කිව හැක්කේ.

      මෙහි ගුණාගුණ පිළිබඳ විග්‍රහ කිරීමට ඉහත කරුණු ප්‍රමාණවත් නෑ. අඩු තරමින් කෙටුම්පත සොයා ගන්නට ලැබුණොත් මේ පිළිබඳ අපේ අදහස ඉදිරිපත් කරන්නම්.

      දැනට එක් දෙයක් කිව හැකියි. මීට වඩා කිසි කරුණක් දැන ගන්නට නොලැබුණොත් 20 ට විරුද්ධ වීම සුදුසුයි. හේතුව --- තුන් කල් දක්නා නුවණක් තිබූ ජනාධිපති ජයවර්ධන විසින් බොහෝ දුර සිතා බලා සකස් කළ ක්‍රමයක් මෙයින් අහෝසි වන නිසා. නව ක්‍රමය බෙදුම්වාදීන් සහ වර්ගවාදීන් ඇතුළු සකලවිධ සිංහල විරෝධීන්ට තවත් ආයුධයක් නොවන බවට සහතිකයක් නැත.

      Delete
    3. 20 වැනි සංශෝධනයට කැබිනට්‌ මණ්‌ඩල අනුමැතිය - මන්ත්‍රී සංඛ්‍යාව 225යි ඒ අද දිවයින.

      ඔබ තුමාට පුවත් ලැබෙන වේගය නම් පුදුමාකාරයි. විසුරුවන කතාව කොහෙන්ද ආවේ ?
      විසුරුවන්නේ 20 සම්මත කරගෙනද? නැතුවද?

      Delete
    4. විසුරුවන කතාව දැන ගන්නට ලැබුණේ අප පෞද්ගලිකව හඳුනන නීතිඥ වෘත්තියේ නිරත පුද්ගලයෙකුගෙනි. මේවා ක්‍ෂේත්‍රයේ පැතිරෙන කටකතා වේ.

      20 පිළිබඳ ලිපිය දක්නට ඇතැයි සිතමි.

      Delete
  7. බහු මන්ත්‍රී ක්‍රමය නැවත ක්‍රියාත්මක නොවිය යුතුයි. බහු මන්ත්‍රී ක්‍රමය ගේනවට වඩා මනාප ක්‍රමය හොඳයි.

    ReplyDelete
    Replies
    1. බහු මන්ත්‍රී ක්‍රමය යටතේ ඡන්දය ප්‍රකාශ කරනාකාරය පිළිබඳ අත්දැකීමක් නැත. එහෙත් කොට්ඨාශ ක්‍රමයට සාපේක්‍ෂව සමානුපාතික නියෝජනය යහපත් බව සිතමි.

      අද මේ අයියලා මනාප ක්‍රමය වෙනස් කිරීමට යෝජනා කරන්නේ මනාප ක්‍රමයේදී ප්‍රතිවාදීන් වැඩි ගණනක් සමග තරඟ වැදීමට සිදු වන නිසාත්, මේ ක්‍රමයේ අධික පිරිවැය වසර 5ක් තුල උපයා ගැනීම අසීරු නිසාත් මිස ජනතාව ගැන සිතා නොවේ.

      කොට්ඨාශ ක්‍රමය වඩා ප්‍රජාතන්ත්‍රවාදී වන්නේ කවර නිර්ණායක යටතේ දැයි තැටි රත් කරන නාග විහාරාධිපතින් වහන්සේවත් අපට කියා නොදීම දුකට කරුණකි.

      Delete
    2. බහු මන්ත්‍රී ක්‍රමය යනු එකම ආසනය නියෝජනය කිරීමට මන්ත්‍රීන් එකෙකුට වැඩි ගනනක් පත්වන ආකාරයයි.
      එහිදී කරනු ලබන්නේ ජන වර්ග හෝ කුල පදනම්ව බෙදීමක් ඇති පිරිස් ජීවත් වන පාලන ප්‍රදේශයක් සඳහා වඩා විශාල ජන කොටසක් සහිත ආසනයක් තනි මැතිවරණ කොට්ඨාශයක් ලෙසත් එය බහු මන්ත්‍රී ආසනයක් ලෙසත් නම් කිරීමයි.
      එහිදීත් නාම යෝජනා දීමේ සිට ඡන්ද ප්‍රකාශ කිරීම දක්වා වූ ක්‍රම වේදයෙහි ඒකල ආසන ක්‍රමයට වඩා වෙනසක් නැත. එහෙත් මන්ත්‍රීන් තෝරා පත් කර ගැනීමේදී ඒකල ආසනයක මෙන් නොව, වැඩිම ඡන්ද ප්‍රමානයක් ගත් පුද්ගලයා එහි පළමු මන්ත්‍රී ලෙසත්, දෙවැනුවට වැඩි මනාප ගත් උද්ගලයා දෙවැනි මන්ත්‍රී ලෙසත් තෙවැනි ආසනයක් ඇත්නම් තෙවැනියට වැඩිම ඡන්ද ගත පුද්ගලයා තෙවැනි මන්ත්‍රී හැටියටත් පත්වේ. එහෙත් පාර්ලිමේන්තුව තුලදී මෙම සැම කෙනෙකුම සමාන වරප්‍රසාද සහිත මන්ත්‍රීන්ය.
      ඒකල ආසන ක්‍රමයේදී එක් ඡන්දයකින් හෝ පරදින පුදගලයා ප්‍රථික්ශේප වන මුත් බහු මන්ත්‍රී ආසනයේදී දෙවැනි වැඩිම ඡන්ද ලාබියාද පත්වීම ලබයි.
      පෙර පැවති ආකාරයට නුවර එළිය-මස්කෙළිය යනු බහු ආසනයකි. එහි මන්ත්‍රී ආසන තුනක් විය. 1977 අවසන් වරට පැවති අනුපාත ක්‍රමයට නොවන මැතිවරනයෙන්
      එජාප අපේක්ෂක ගාමිණී දිසානායක පළමු මන්ත්‍රී ලෙසද
      කම්කරු කොංග්‍රසයේ නායක තොන්ඩමාන් දෙවැනි මන්ත්‍රී ලෙසද
      ශ්‍රීලනිප අපේක්ශක අනුර බණ්ඩාරනායක තෙවැනි මන්ත්‍රී ලෙසද
      තේරී පත්වුනි. එහි පරාජිතයෙක් සිටියාද නැතිදැයි මතකයක් නැත. ඇතැම් විට නොසිටියා වන්නටත් හැකිය.

      එසේම මෙය ආසන තුනක් සහිත බහු ආසනයක කිරීම මගින් මැතිනිය තම පුතුට පරාජය නොවන ආසනයක් තනා දුන් බවට එදා චෝදනා නැගිනි.

      තව දුරටත් එක් චන්දයකින් හෝ පරදින අපේක්ශකයා කිසිවක් නොලැබීම නිසා ඔහුට ඡන්දය දුන් උන්හට නියෝජනයක් නොලැබීම මෙම ක්‍රමයේ ස්වභාවය නිසා එය සාධාරණ නොවන බව මාගේත් දැක්මයි.
      එදා 77 දී මැතිණියගේ පක්ෂය ආසන 8කට හිඳෙන විට අනුපාත ක්‍රමය තිබුනානම් ඇය පාර්ලිමේන්තුවෙන් 45%ක් පමණ ආසන සංඛ්‍යාවක් දිනාගනු ලබනවා ඇත. එසේ වූවානම් ජේ ආර් "උතුමානන්ගේ" ජනාධිපති ව්‍යවස්තාව හෝ ඉන්දු ලංකා ගිවිසුම හෝ ලාම්පු කල ගෙඩි සෙල්ලමෙන් වාර දෙකක් (වසර 12ක් ) දක්වා දීර්ග කරගත් 6/5ක බලය සහිත පාර්ලිමේන්තුව බිහි නොවනු ඇත. මේවා ඉතිහාසයේ කිසිදා සිදු නොවීමට තිබුනු කාරනා බවට පත්වනු ඇත. මැතිවරණ සිතියම හකුලා වසර 12ක් හිතුමතේ රජකල යුගයක් බිහි නොවනු ඇත.
      මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සිහිනයක් වන්නට තිබුනි. මෙවන් තව බොහෝ කාරනා ගෙන හැර දැක්විය හැක.

      Delete
    3. හික් ! 77 වෙච්ච එව්වා ඉතිං අපි දන්නේ කොහොමෙයි. දන්නා අය එව්වා කියා දෙන එක හොඳයි.

      Delete
    4. 77 දී බහුහර සිංහලයා ජේ ආර් ගේ ඇට අට කන්නට ඡන්දය දුන්නත් ආසන ක්‍රමයේ වරද නිසා එදා උන්දෑට අසීමිත් 6/5ක බලයක් ලබුනා. එයින් මේ නව ව්‍යවස්ථාව සම්පාදනය කර ඒත් මන්ත්‍රීන් අවිශ්වාස නිසා සියල්ලන්ගෙන්ම දින රහිත ඉල්ලා අස්වීම් ලබා ගත්තා.
      ඉන් පසු 82වසරේදී සමානුපාතික ක්‍රමයට පැවැත්විය යුතු පාර්ලිමේන්තු මැතිවරනය නොපවත්වා ඊනියා ව්‍යවස්ථා විරෝධී ජනමත විචාරණයකින් පැවති ආසන පදනමින් පත්වූ 6/5 පාර්ලිමේන්තුවම තවත් සය වසරකට දිගුකර ගත්තා.
      ඔන්නා ප්‍රජාතන්ත්‍රවාදයේ පියා මෙන් අද බන දෙසන රනිල් වික්‍රමසිංහගේ දායකත්වයත් ඇතිව මාමණ්ඩිය ප්‍රජාතන්ත්‍රවාදීව රට කල හැටි.
      ඔබලාත් මේවා අත්දැක නැති බව කියනා විට, මේ යන්තම් අවුරුදු 18-19 වූ ෆේස් බුක් කොලු කෙලි රැල මොන්ගල් ප්‍රචාරක බලකායට රැවටෙන එක අරුමයක්ද?

      Delete
    5. ඒ කාලේ (88 ජනාධිපතිවරණ කාලේ) ප්‍රචාරය වූ ගීයක්...
      "කොස් ඇට අට ප්‍රේමේ අයියා දෙනවා කියපු දා..
      අහං ඉඳල අපේ ඔළුවට තොප්පි වැටුණු දා"


      ජේ ආර් බලලෝභය නිසා මොනවා කළත් මේ රට සිංහල රටක් ලෙසත් ඒකීය රටක් ලෙසත් පවතින්න අවශ්‍ය දේවල් සමහරක් 78 ව්‍යවස්ථාවට ඇතුලත් කළා. මෙයින් සමහරක් 72 ව්‍යවස්ථාවෙන් ගලා ආ දේවල්. එහෙම නැති දේත් තිබුණා. මට මතක විදියට 6 වන සංශෝධනය අතිවිශේෂයි. මට අංකය හරියටම මතක නැති නිසා විස්තරේ කියන්නම්.

      මේ සංශෝධනයෙන් කළේ රටේ ඒකීය භාවයට අවනත වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රතිඥාවක් ලබා ගැනීම.

      මහින්ද 2009 දී කළ යුතුව තිබුණේ 13 අහෝසි කිරීම කියල මම හැමදාම කිව්වා. එයාට උතුරු පළාත් සභා මැතිවරණය තියන්න කලින් අඩු තරමින් අරවගේ ප්‍රතිඥාවක් පළාත් සභා මන්ත්‍රී, ඇමති, මහඇමතිලාට අනිවාර්‍ය කරන්න තිබුණා. දැන් පරක්කු වැඩියි. මේ නිසයි මම මහින්ද හොරෙක් ය කියන කතාවට හුරේ නොදැම්මට මහින්ද සිංහල ජනතාවගේ නියෝජනය විදියට පිළිගන්නේ නැත්තේ.

      ජේ ආර්ට මීට වඩා අනාගත දේශපාලන දැක්මක් තිබුණා.

      Delete
    6. From lankacnews.com

      Joseph says: October 15, 2012 at 11:05 am

      ...
      සැබවින් ම 13 වන සංශෝධනය අහෝසි වනු දැක්ම මගේ පැතුමයි.

      13 වන සංශෝධනය යනු ජාතියක් ලෙස ශ්‍රී ලංකාව නින්දාවට පත් කළ නිවට කමේ සංකේතයයි. නිවට කමේ සංකේතය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තබාගෙන රටක් ඉදිරියට ගෙන යා හැකිද?

      13 වන සංශෝධනය දිවි නැගුම පනතට හරස් විය. එය පරිසර පනතට හරස් වූ අයුරු පහත යොමුවෙන් කියවිය හැකිය.
      >>> http://www.divaina.com/2012/10/01/feature01.html

      13 වන සංශෝධනය රන්මිණිතැන්න පනතටත් බලපාන අයුරු මේ යොමුවෙන් කියවිය හැක.
      >>> http://www.divaina.com/2012/10/15/feature01.html

      මා මිට පෙර මේ අඩවියේම සඳහන් කළ කරුණක් මෙහි උපුටා දක්වමි.
      “මා නම් 2005 දී චන්දය දුන්නේ කොටි විනාශ කිරීමට පමණි. එය ආණ්ඩුව කළේය. 2010 චන්දය දුන්නේ පළාත් සභා අහෝසි කර බෙදුම්වාදී දේශපාලනය තහනම් කර රටේ ඒකීය භාවය සුරැකිමටයි. එය කළොත් පමණක් ඊළඟ වර සලකා බලමි. මේ ආණ්ඩුවෙන් වෙන කිසි දෙයක් මට ඕනෑ නැත, වෙන කරුණු මට වැඩක්ද නැත.”

      පරමාධිපත්‍යය ඇත්තේ ජනතාවට මිස පාර්ලිමේන්තුවට, විධායකයට හෝ අධිකරණයට හෝ නොවේ. රටේ එක එක පෙදෙසට වෙන වෙන නීති පනවා ක්‍රියාත්මක කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති රටේ ජනතාවගේ අනුල්ලන්ඝනිය මුලික අයිතිවාසිකමක් වන නොවෙනස් ලෙස සැලකුම් ලැබීමේ අයිතිය පාවා දීමකි.

      ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් තුමාගේ මේ ප්‍රකාශයෙන්වත් ආණ්ඩුවේ ඇස් ඇරේවා. ඉන්දියාවට කුද ගසා ගැනීමට කියා පළාත් සභා අහෝසි කෙරේවා ! ඒ ටිකවත් කර ගැනීමට බැරි 2/3 බලය කුමටද? පාර්ලිමේන්තුවේ 2/3 මදිනම් ජනමත විචාරණයට යනු. ඉතුරු ටික අපි බලා ගන්නෙමු.

      Reply

      Delete
    7. "“මා නම් 2005 දී චන්දය දුන්නේ කොටි විනාශ කිරීමට පමණි. එය ආණ්ඩුව කළේය. 2010 චන්දය දුන්නේ පළාත් සභා අහෝසි කර බෙදුම්වාදී දේශපාලනය තහනම් කර රටේ ඒකීය භාවය සුරැකිමටයි. එය කළොත් පමණක් ඊළඟ වර සලකා බලමි. මේ ආණ්ඩුවෙන් වෙන කිසි දෙයක් මට ඕනෑ නැත, වෙන කරුණු මට වැඩක්ද නැත.” --- Joseph October 15, 2012 at 11:05 am"

      මසුරං කියුමක්. මෙහි අරුත අප සේම ඔබත් ජනවාරි 8 වැනිදා ජන්දපොළට නොයාමෙන් ජහඃපාලනයට අනියම් සහයක් දුන් බවද ?

      Delete
    8. අපේ යුතුකම් අප ඉටු කර තිබේ. ඔබේ යුතුකම පමණක් එක තැන පල් වේ.

      Delete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !