Sunday, April 19, 2015

ජාතිවාදය

පහත දැක්වෙන්නේ පසුගිය ඉරු දින සිළුමිණේ මුල් පිටුවේ පල කෙරුණු පුවතක්.

ජාතිවාදය හා ආගම්වාදය අවුළන දේශපාලන රැස්වීම් තහනම්!


ජාතිවාදය සහ ආගම්වාදය අවුළන දේශපාලන රැස්වීම් පවත්වන පුද්ගලයන් සහ ඒවාට අනුබල දෙන පාර්ශ්ව අත්අඩංගුවට ගෙන, ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රජයේ ඉහළ පෙළේ ප්‍රකාශකයෙක් සිළුමිණට පැවසීය. ජාතිවාදී ප්‍රකාශ තහනම් කැරෙන නීති ගෙන ඒමට රජය දැනටමත් පියවර ගෙන ඇති අතර ජාතිවාදය ඇවිස්සෙන අන්දමින් දේශපාලන රැස්වීම් පවත්වන පුද්ගලයන් සම්බන්ධයෙන් ද එම නීති ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ෆේස් බුක් වැනි සමාජ ජාල මාධ්‍ය හරහා ජාතිවාදය ඇවිස්සෙන ප්‍රකාශ පළ කරන පුද්ගලයන් හඳුනාගෙන, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු ප්‍රකාශ කළේය. ‘ෆේස් බුක්’ වෙබ් අඩවිය ඔස්සේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව අපහාසාත්මක සහ සාවද්‍ය ‍තොරතුරු පළ කළ පුද්ගලයකු දැනටමත් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා ඇති අතර, ජාතිවාදී සහ ආගම්වාදී අදහස් පළ කරන පුද්ගලයන් සම්බන්ධයෙන්ද පොලීසිය ඒ අයුරින් ම කටයුතු කරනු ඇතැයි එම ප්‍රකාශකයා සිළුමිණට පැවසීය.


විස්තර »
වසර නවයක රාජපක්‍ෂ රජයක් යටතේ ජනාධිපති රාජපක්‍ෂට පොළෝ නූහුලන තරම් අපහාස කර තිබියදීත් ඒ හේතු කොටගෙන කිසිවෙක් අත්අඩංගුවට නොගත් පසුබිමක් යටතේ, ඒ රජය යටතේ මාධ්‍ය නිදහසක් නැතැයි කියා හොටු පෙරමින් බෑඟිරි ගාමින් සාදා ගත් චන්ද්‍රිකා-රනිල් ප්‍රමුඛ විධායකසභා ජුන්ටාව විසින් පාලිත, `නමට මෛත්‍රීපාලනය` විසින්, දින 100 මධුසමය නිමා වීමටත් පෙරාතුව ජනාධිපතිට අපහාස කළැයි චෝදනා කර ශ්‍රී ලංකා පුරවැසියෙක් අත්අඩංගුවට ගනී නම්, ඊනියා සාධාරණසමාජ කාරයින් ඇතුළු මෙකී වෛරී පාලනයට පාර කැපූ කස කාරයින්ට එළඹියා වූ නව වසරේ දී තම තමන්ගේ පශ්චාත් භාග අත ගා සිතීමට යමක් තිබේ.

මෙය සිළුමිණ විසින් පල කළ පුවතකට වඩා සිංහලයින් වෙත කළ සුපැහැදිළි තර්ජනයක් බවයි දෙතිස් කතාවේ අදහස. එසේ වන්නේ කවර හෙයින්ද ?




ජාතිවාදය සහ වර්ගවාදය

මේ පුවත පළ වූයේ සිළුමිණේ පමණක් නොවේ. තව බොහෝ පුවත් මූලාශ්‍ර වල මෙය පල විය, එසේම සමාජ මාධ්‍ය, විශේෂයෙන් facebook සහ blog තුල, මෙය සංවාදයට බඳුන් විය. බොහෝ දෙනාගේ අදහස වූයේ බොදුබල සේනාව සහ සිංහල රාවය සංවිධාන ඉලක්ක කර ආණ්ඩුව මේ ක්‍රියා මාර්ග තෝරාගෙන ඇති බවයි. ඒ උපකල්පනය මත පිහිටමින් ඉදිරිපත් කළ බොහෝ තර්කානුකූල ලෙස පෙනෙන එක් අදහසක් විය. එහි සාරාංශය වූයේ ජාතිවාදය තහනම් කරන්නේ නම්, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, උලමා සභාව වැනි ඉස්ලාම් සංවිධානද, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, ඊලම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය, වැනි දෙමළ, ද්‍රවිඩ, ඊලම් ඈ දෙමළ ජාතිවාදය පතුරන සංවිධාන ද තහනම් කළ යුතු බවයි. (ඒ තැන් වල මෙවැනි සංවිධාන දුසිමක් පමණ වුවත් අපට ඒවා මේ මොහොතේ මතක නැත.)

එහෙත් මේ සැම දෙනාම 'ජාතිය' නිවැරදිව නිර්වචනය කරගෙන තිබුණේ නැත. ඒ හේතුවෙන්ම බොහෝ ජනප්‍රිය වූ සංවාද අර්ථ විරහිත වූ බව පෙනේ. අප මීට පෙර ලිපියෙන් සාකඡ්චා කළ පරිදි ඉංගිරිසි nation යන පදයට වර්තමානයේ යොදන සිංහල පදය ජාතිය වේ. සාස්වතවාදය, උච්ඡේදවාදය, අමරාවික්ඛේපවාදය ආදී පාලි භාෂා මූලයක් සහිත පද පමණක් නොව පානදුරාවාදය වැනි පදත් සිංහලයේ ඇත. එහෙත් ජාතිවාදය යන පදයක් සිංහලයේ නැත. එය nationalism යන ඉංගිරිසි පදයට තනා ගත් සිංහල පාරිභාෂික පදයයි. ආණ්ඩුව විරුද්ධ වන්නට යන්නේ එයට මිස අපිට සිතෙන ජාතිවාදයකට නොවේ.

පෙර ලිපියේ විස්තර කළ අයුරින්, ලංකාවේ ජාතින් සිටින්නේ එකක් පමණක් නම්, ඒ ජාතිය සිංහල නම්, ජාතිවාදය ලෙස අර්ථ ගැන්වෙන්නේ අර්ථ ගැන්විය හැකි වන්නේ සිංහල ජාතිවාදය පමණි. දෙමළ, මුස්ලිම් ආදී වශයෙන් ජාතිවාද නැත.


ඉංගිරිසි භාෂාවේ racism නම් පදයක්ද ඇත. ඒ වෙනුවෙන් සිංහලයේ යෙදෙන්නේ වර්ගවාදය යන යෙදුමයි. ඒ race යන්න ජනවර්ගය ලෙස නිර්වචනය කෙරෙන බැවිණි (race යන්න nation යන්නට වඩා සංයුක්ත සහ හඳුනා ගත හැකි අර්ථ දැක්වීමට පහසු යෙදුමකි). ජාතියක් වීමට පූර්ණ සුදුසුකම් නැති මුත් යම්තාක් දුරකට අනන්‍යතාවයක් සහිත ජන සමූහයක් මෙනමින් හඳුනා ගැනේ. මේ අර්ථ දැක්වීමට යටත් වන ජන වර්ග කිහිපයක් ලංකාවේ වෙසේ. ලංකාවේ දෙමළ ජනවර්ග (දුසිම් බාගයක් පමණ), ඉස්ලාම් අදහන ජනවර්ග (දුසිමකට වඩා), ලංසි හෙවත් බ'ග' ජනතාව, නොයෙක් ක්‍රිස්තියානි ඇදහිළි සහිතව සිංහල ජාතියෙන් වියෝ වූ ජනකොටස් (මෙයට කතෝලිකයන් අයත් යැයි අප සිතන්නේ නැත), කාපිරි වාලුන්ගෙන් පැවතෙන්නන්, පාර්සිවරුන්, ආදී විවිධ ජනවර්ග පනහක් හැටක් ලක්දිව ජීවත් වෙති. මේ අය විෂයේ පොදුවේ යෙදිය හැකි වචනය වර්ගවාදය වේ.

ආණ්ඩුව සැරසෙන්නේ වර්ගවාදය (racism) තහනම් කිරීමට නම් සමාජයේ මේ සංවාද සම්බන්දයෙන් කෙරුණු බොහෝ සංවාද අර්ථ සහිත වෙතත්, ආණ්ඩුව සැරසෙන්නේ ජාතිවාදය (nationalism) තහනම් කිරීමට නම් ඒ සංවාද සහ ප්‍රති-යෝජනා කිසි පලකට නැත. මේ යෝජනා සහ සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන නීති රීති අනපනත් තිඹිරි ගෙයි දීම මරා දැමීමෙන් තොරව සිංහල ජාතික සංවිධාන වලට පැවැත්මක් නැත.

මේ ඉදිරියේ තර්ජනයට ලක් වන්නේ බොදු බල සේනාව සහ සිංහල රාවය පමණක් නොවේ. ත්‍රස්ත විරෝධී එකමුතුව, දේශහිතෛෂී ජාතික පෙරමුණ, සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය, තරුණ බෞද්ධ සංගමය, නගරබද බෞද්ධ වෙළෙඳ සංගම් පමණක් නොව ආචාර්ය නලින් ද සිල්වාගේ චින්තන පර්ෂදය වැනි කුඩා සංවිධාන පවා තර්ජනයට ලක් වී ඇත. ඒවාත් නුදුරු අනාගතයේ තහනම් කෙරෙණු ඇත. අනාගතයේ සිංහල'ය කියා අපේ දරුවන්ට ඉතුරු වන්නේ සිංහල ක්‍රීඩා සමාජය පමණක් වෙතොත් පුදුම වීමට දෙයක් නැත.


8 comments:

  1. මේ පනත් ගේන එවුන් ජාතිවාදය ආගම්වාදය කියල කියන්නේ මොන වගේ දේකටද කියන එක තමයි ගැටළුව.

    ReplyDelete
    Replies
    1. මිතුර, මේ පනත් ගෙනෙන පුද්ගලයින් මේවායේ අන්තර්ගතය දන්නේ නැත. ඒ අය දන්නේ කවුරු හෝ ලියා දෙන දේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමණි.

      එසේම මේවාට පක්‍ෂව / විපක්‍ෂව ඡන්දය ප්‍රකාශ කරන අයවළුන්වත් මේවායේ අර්ථ දන්නේ නැත. ඒ අය කරන්නේ පක්‍ෂ තීන්දුව අනුව අත ඉස්සීම / පහත හෙළීම පමණි.

      මෙය ඉහත මාතෘකාවට පමණක් නොව සියල්ලට වලංගු ධර්මතාවකි. ගෙන ඒමට නියමිත 19 වන සශෝධනය පිළිබඳ මේ අයගේ කියැවීම් අසා සිටින්න - ඔබටම මා කියන දේ ස්පුඨ වේවි.

      Delete
  2. කණිෂ්ක සහෝදරයාගේ මේ අපූරු ලිපිය පල වුනුදාම කියෙව්වා. ඒත් මේ ගැන අදහස් පල කරන්න මම කවුද වැනි හැඟීමක් නිසා කිසිවක් කියන්න දිරියක් තිබුනේ නැහැ.
    ඇත්ත, ජාති වාදය හා වර්ග වාදය වැනි සංකල්ප පටලවා ගනිමින් මේ පාලකයන් අපව ගෙන යන්නට තැත් කරන්නේ කොතැනටද?
    ඇත්තෙන්ම ඒ කෙවිට පාරට දැක්කෙන්නට අපි කවුද?


    තව දෙයක්, මේ දිනවල කිසිදු ලිපියකට පිළිතුරක් අපේ ජෝසප් සහෝදරයාගෙන් ලැබෙනු දුටුවේ නැහැ. අලුත් අවුරුද්දෙන් පසු ඔහු හට කුමක් වීද?

    ReplyDelete
    Replies
    1. ජොසෙෆ් සම්පූර්ණයෙන් අතුරුදහන් වී නැතැයි සිතීමට සාධක ඇත. ඒ නිසා ඔහු ගැන වද නොවීමි. එහෙත් සෑම ලිපියකටම නොවරදවා ප්‍රතිචාර දමන එතුමාගේ අඩුව අපටද දැනිණි.

      එන තෙක් ඉවසා සිටිමු.

      Delete
    2. සිතුවිළි,

      පාලකයන් අපව ගෙන යන්නට තැත් කරන්නේ කොතැනටද? යන්න වැදගත් ප්‍රශ්නයක් බව සැබෑ මුත් අපට ඇත්තේ වෙනත් ප්‍රශ්නයකි. ඔවුන්ට අපව දැක්කිය නොහැක, එහෙත් බොහෝ දේ අපට අහිමි කිරීමට ඔවුන්ට හැක.

      මේ ඊනියා පාලකයන්ගේ ස්වාමිවරුන් මොවුන්ව දක්කන්නේ කොතැනටද යන්න අපට ඇති ප්‍රශ්නයයි. අපට එසේ අසන්නට සිතෙන්නේ මේ දැක්කිල්ලෙන් ඒ ස්වාමිවරුන්ට මිස අපටවත් මෙකී දාසයන්ටවත් අත් වන සුගතියක් නොපෙනෙන නිසයි.

      Delete
  3. ජාතිවාදය(racism) සහ ජාතිකවාදය(nationalism) යැයි වචන දෙකක් ඇත...

    ReplyDelete
    Replies
    1. ඒ අනුව
      race = ජාතිය
      national = ජාතික
      කියලද ඔබ තුමා කියන්නේ?

      Delete
    2. ජාතිකවාදය යන්න සමහරුන් විසින් භාවිතා කරනු අපද දැක ඇත. එහෙත් එය 'ජාතිවාදය' යන වචනය භාවිතා කිරීමට ලැජ්ජා වීම හෝ බිය වීම නිසා හෝ ඒ වෙනුවට භාවිතා කරනු මිස ඔබ පෙන්වන අරුතින් භාවිතා කරනු දැක නැත.

      Racism යන්න ජාතිවාදය ලෙස නිර්වචනය කළ විට ඒ හා සම්බන්ද සෑම වරනැගුමක්ම නැවත නිර්වචනය කළ යුතු තත්වයට පත් වේ. අප සිතන අයුරින් නම් ජාතිකවාදය යනු වැරදි සිංහල වචනයකි. එය නිවැරදි නම් ජාතිවාදය වැරදි විය යුතුය. කවරක් වුවත් එය racism යන්නෙහි සිංහල තේරුම ලෙස ගැනීම අත්‍යන්තයෙන්ම වැරදි වේ.

      Delete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !