Saturday, March 28, 2015

සිංහලයින්ගේ අවුරුද්ද

ලැබුවා වූ අලුත් අවුරුද්ද සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා !
සැමට සුභ නව වසරක් වේවා !
ජනවාරි මස එළඹුණේ රෝමන් කාරයින්ගේ අවුරුද්දයි. මාර්තු මාසයේ චීනුන්ගේ අවුරුද්ද එළඹිණි. අප්‍රේල් මාසයේ දී සිංහලයින්ගේ අවුරුද්ද එළඹෙයි.

මේ සැරේ අපි අවුරුදු කන්නේ ඌඇම්පී ආණ්ඩුවක් යටතේ කියා ලඟදී පාරාජිකා වූ හිටපු මහලේකම් තිස්ස අත්තනායකගේ පටන් රංජිත් මද්දුමබණ්ඩාර, ලක්‍ෂ්මන් කිරිඑල්ල, රනිල් වික්‍රමසිංහ සිට සජිත් ප්‍රේමදාස දක්වා විවිධ පුද්ගලයින් විසින් නොයෙක් වර කියනු පසුගිය දශකය පුරා අසා ඇත. දෛවය එක දොරක් නොහැර එක දොරක් වසන්නේ නැතය යන කියමන සනාථ කරමින් ඒ අයගේ සිහිනය මෙවරනම් සැබෑ වී ඇති අයුරක් පෙනේ.

මෙතෙක් කල් තංගල්ලේ කාල්ටන් නිවසේ සිට රටටම බෙදා දුන් අවුරුදු සිරිය මෙවර පොළොන්නරුවේ සිට රටට බෙදා දීමට කටයුතු සූදානම්ය.





සිංහල දෙමළ අලුත් අවුරුද්ද

අපගේ සමහර මිතුරන්ට අනුව දෙමළු අප්‍රේල් මස අවුරුද්ද සමරත්. එහෙත් යටත්විජිතධාරී සටකපට බ්‍රිතාන්‍ය පාලකයන් සිංහල හිංදු අවුරුද්දය යනුවෙන් නම් කර අපට නිවාඩුවක් දුන්නේ මෙය සකල ලෝකවාසී දෙමළුන් විසින් ලංකාවාසී සිංහලයින් සමග එක්ව උත්සවාකාරයෙන් සමරන අන්තර්ජාතික කෙළියක් වන බැවින් නොවේ. සිංහලුන්ට යමක් දෙතොත් දෙමළුන්ට ද සමාන දෙයක් දිය යුතු බවට තමන් විසින් ම පනවාගෙන තිබූ ප්‍රතිපත්තිය හේතුවෙනි. ලංකාවාසී දෙමළ ඩයස්පෝරාව සිංහල බලපෑම හේතුකොටගෙන මේ උත්සවය සමරුවත් ලෝකවාසී දෙමළ ජනතාව, විශේෂයෙන් ඩයස්පොරවල් නොවන දෙමළ රටේ (Tamilnadu, தமிழ்நாடு) දෙමළු ජාතියක් ලෙස එකතු පහදු වී මෙවැනි උත්සවයක් මෙදිනට නොසමරන බැවින් ලංකාවේ මේ උත්සවය සිංහල දෙමළ (හෝ සිංහල හිංදු) ලෙස විශේෂණ ගැන්වීම සදොස්ය.


සිංහල අලුත් අවුරුද්ද සහ එහි ඉතිහාසය

සිංහලයෝ චිරාත් කාලයක් තිස්සේ අලුත් අවුරුද්ද සැමරූහ. චීනුන් හැරුණු කොට වැඩිම කාලයක් එක දිනක අලුත් අවුරුද්ද සැමරූ ජාතිය අප වීමේ ඉඩකඩ ඉතා විශාලය. අරිසෙන් අහුබුදු ශූරින් ඈ බස් ප්‍රේමී (මේ බස් රථයේ වම්පස අවසන් ආසනයේ ලගින සත්ත්ව කොට්ඨාශය නොවේ) උගතුන්ට අනුව සිංහල අවුරුද්දේ උපත වසර තිස්දහසකට වඩා අතීතයට යයි. එහෙත් බටහිර පරිනාමවාදය සහ මානව ඉතිහාසයට අනුව මේ කාලයේ සිටි ප්‍රාග්-ඓතිහාසික මානවයා ගල් ලෙනෙන්වත් එළියට බැස නැත. වගාවට යොමු වීම හා දේශව්‍යාප්ත උත්සවයක් පැවැත්වීම ගැන කවර කතාද.

ඉතිහාසවේදී පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමින් වහන්සේට අනුව සිංහල අලුත් අවුරුද්ද කාලිංඝ මාඝ විසින් හඳුන්වා දී ඇත. වර්තමාන කාලිංගයේ මෙවැනි උත්සවයක් නැති බැවිනුත් පැරණි කාලිංගයේ මෙවැනි උත්සවයක් පැවති බවට සාධක සොයා ගැනීමට අපහසු බැවිනුත් උන් වහන්සේගේ ප්‍රවාදය සත්‍ය නම් කාලිංඝ මාඝත් සිංහල ජාතියට අතිමහත් සේවයක් කළ උදාර රජ කෙනෙක් වශයෙන් පිළිගැනීමට සිදු වේ. මේ වනාහී ප්‍රසිද්ධ පිළිගැනීමට ප්‍රතිවිරුද්ධ අදහසකි.

මේ බොහෝ දෙනාට අපහසු වන්නේ යමක් ඇති සැටියෙන් පිළිගැනීම බව පෙනේ. සිද්ධාර්ථයන් එදා පාරම්පරිකව පැමිණි දේ එසේම පිළිගත්තානම් අද බුදුදහමක් නැත. වඩුවා පුත්‍ර ජේසුස් වහන්සේ එදා යුදෙව් පූජක පැලැන්තිය පවත්වාගෙන ගිය සම්මතයන්ට එරෙහිව කැරළි නොගැසුවා නම් අද කතෝලිකාගමක් නැත. ගැලිලියෝ කොපර්නිකස් ආදී පඬිවරු පල්ලිය කියන දේ පිළිගෙන ගෙදරට වී යාඥාවක් කියාගෙන සිටියානම් බටහිර විද්‍යාව අද පවතින තත්වයේ නැත. එහෙත් සමහර කරුණු ... සමහර කරුණු පවත්නා ආකාරයෙන්ම පිළිගැනීම සැමදෙනාගේම දෙලෝ වැඩ පිණිස පවතී. චීන අවුරුද්ද සහ සිංහල අවුරුද්ද එවැනි දේට උදාහරණ වේ.

චීන අවුරුද්ද ඇරඹුණේ එසේ නොවේය මෙසේය, අවුරුද්ද පිළිබඳ පුරාවෘත්තය වැරදිය, මකරුන්ය යනුවෙන් සත්ත්ව කොට්ඨාශයක් නැත ආදී වශයෙන් කියන්නෝ වෙත්නම් උහු මුග්ධයෝ ය. නැතිනම් චීන විරෝධී කෛරාටිකයෝය. සිංහල අවුරුද්ද සම්බන්ධයෙන් කතා ගොතන අයවලුන් සම්බන්ධයෙන් වුව ඔවුන් ස්ත්‍රී-පුරුෂ, ගෘහපති-ශ්‍රමණ යන කවර කොට්ඨාශයට අයත් වුවත් මීට වඩා වෙනස් හැඳින්වීමක් නැත.

සිංහල අවුරුද්ද සිංහලයින්ගේ ජාතික උරුමයකි. එය සිංහලයින් විසින් ඇති සැටියෙන් ඊළඟ පරපුරට උරුම කර දිය යුතුය. සිංහලයා සිංහල අනන්‍යතාවය රැක ගන්නේ නැතිනම් දෙමළා හෝ මරක්කලයා නැතිනම් ජාවා හෝ ලංසියා හෝ පැමිණ සිංහල අනන්‍යතාවය අප වෙනුවෙන් රැක දෙන්නේ නැත.

වඩා නිවැරදිව ගතහොත් මීට "සිංහල දෙමළ", "සිංහල හිංදු" ආදී විශේෂණ පද යෙදීමත් වැරදිය. චීනය, හොං කොං, මැකාවු, තායිවාන ආදී චීන ජාතිකයින් සිටින රටවල් විසින් මාර්තු මාසයේ සැමරෙන අවුරුද්ද චීන අවුරුද්දය කියන්නේ චීන්නු නොවන අපය. යුදෙව්වන් ඔවුන්ගේ අවුරුද්ද සමරන විට යුදෙව් අවුරුද්ද කියා හැඳින්වීමේ යුතුකමක් නැත. අප්‍රේල් මස අප විසින් සැමරෙන අවුරුද්ද අපේ අවුරුද්ද නම්, එය විශේෂණ රහිත "අවුරුද්ද" වීය යුතුය - තමාගේ මව් (හෝ භාර්‍යාව) හඳුන්වන විට තමාගේ නමත් සමග නොකියන අයුරිණි - නමක් කියන්නේම අනුන්ගේ දෙයක් නම් ය. එය සිංහල අවුරුද්ද යැයි එය හැඳින්විය හැක්කේ අසිංහලයින් විසිනි. ඒ බව සිහියේ තබාගෙන මෙවර අවුරුදූ සමරමු.


2015 වසර සඳහා අලුත් අවුරුදු චාරිත්‍ර

නව සඳ බැලීම

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 22 වන ඉරු දිනද, අභිනව සූර්යය වර්ෂය සඳහා අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා දිනද, නව සඳ බැලීම මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්‌නානය

අප්‍රේල් මස 13 වැනි සඳුදා දින දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්‌නානය කොට ඉෂ්ට දේවතා අනුස්‌මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා අපර භාග 1.47 ට අලුත් වුරුද්ද උදාවෙයි.

නොනගතය පුණ්‍ය කාලය

අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා පූර්වභාග 7:23 අපරභාග 8:11 දක්‌වා පුණ්‍ය කාලය බැවින්, අප්‍රේල් 14 වැනි අඟහරුවාදා පූර්වභාග 7:23 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

නොනගතයේ අපර කොටස තුළ එනම් අපරභාග 1:47 සිට අපර භාග 8:11 දක්‌වා මෙහි පහත දැක්‌වෙන අයුරු වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම ද මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා අපරභාග 2:05 ට රතු පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ, ගිණි මොලවා, දී කිරි සහ උක්‌ හකුරු මිශ්‍ර රතු කැකුළු කිරිබතක්‌ ද, විළඳ මිශ්‍ර කැවිලි වර්ගයක්‌ ද පිළියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 අඟහරුවාදා අපරභාග 2.42 ට රතු පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගෙනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම

අප්‍රේල් මස 15 වැනි බදාදා දින පූර්වභාග 9:06 ට ලා කොළ පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී දකුණ දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත්ද තබා තෙල් සහ කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්‌නානය කිරීම මැනවි.

රැකී රක්‍ෂා සඳහා පිටත්ව යැම

අප්‍රේල් මස 22 වැනි බදාදා ලා කොළ පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී හකුරු හා තල මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර පූර්ව භාග 6:02 ට රැකී රක්‍ෂා සඳහා නැගෙනහිර දිශාව බලා පිටත්වීම මැනවි.



31 comments:

  1. මෙතෙක් කල් තංගල්ලේ කාල්ටන් නිවසේ සිට රටටම බෙදා දුන් අවුරුදු සිරිය මෙවර පොළොන්නරුවේ සිට රටට බෙදා දීමට කටයුතු සූදානම්ය.

    හික් හික් හික් !
    බෙදයි පොළොන්නරුවෙන් ... හික් !
    බෙදයි පොළොන්නරුවෙන් ... දර !!!

    ReplyDelete
    Replies
    1. පොළොන්නරුවට ගින්ද පත්තු න මේ මොහොතේ එය උපහාසයට ලක් කිරීම යුතු නැතැයි සිතමු. එබැවින් එය රස නොකර, හානියට හා සිත් තැවුලට පත් පවුලේ සැමට අපගේ සංවේගය පල කරමු. එසේම පොලිසියට බාර වූ පුරවැසියාගේ සහ ඔහුගේ පවුලේ අයට ආරක්‍ෂාව ලැබේය කියා උදක්ම බලාපොරොත්තු වෙමු.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  2. "අප්‍රේල් මස අප විසින් සැමරෙන අවුරුද්ද අපේ අවුරුද්ද නම්, එය විශේෂණ රහිත "අවුරුද්ද" වීය යුතුය - තමාගේ මව් (හෝ භාර්‍යාව) හඳුන්වන විට තමාගේ නමත් සමග නොකියන අයුරිණි - නමක් කියන්නේම අනුන්ගේ දෙයක් නම් ය."

    හරියටම හරි ! මේ දේ ආචාර්‍ය නලින් ද සිල්වා කියන්නේ අවුරුදු ගානක (මහාචාර්‍ය කාලේ) ඉඳලා. කෝ කවුරුත් ගණන් ගන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මේ කතාව එතුමා විසින් කියන බව දනිමි. අප විසින් ද ඒ අදහසම ඉදිරිපත් කිරීම එතුමාට ශක්තියක් වේවා !

      Delete
  3. මේක ඇත්තටම කාලෙකින් හොඳ ලිපියක්. මම හිතන්නේ මාස තුනකින් විතර...
    චන්ද්‍රිකා රෝ එකත් එක්ක එකතු වෙලා රනිලුත් අල්ලාගෙන කුමත්‍රණය කරලා කතා32 තිබුණු ගතිය සම්පූර්ණයෙන් නැති කරලයි තිබුණේ. මේක නව ආරම්භයක් වෙයි කියල හිතනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. එහෙත් ඒ ගැන වෙනම විග්‍රහ කළ යුතු කරුණකි. පක්‍ෂ දේශපාලනය කිසි සේත් අපගේ සිත් ගන්නා මාතෘකාවක් නොවේ. අපි බලමු.

      Delete
  4. හහා හැඩයි රූපේ බෝ
    නිත්ති බාගේ සෝ බණ //
    ලස්සනයි හලෝ ඔයාලගේ වෙබ් සයිට් එක.

    ReplyDelete
    Replies
    1. කනිෂ්ක ,
      මේ නොහඳුනන මිතුරාගේ කොමෙන්ටුව දුටු විට මට සිහි වූයේ වරෙක මා ඔබ වෙත යොමු කළ ඊ මේල් පණිවුඩයයි.

      Delete
    2. එසේමය.
      ඒ ලිපිය තවම අප සතුව ඇතත් නිසි මොහොත තවම එළඹුණේ නැතය කියා සිතේ.

      Delete
  5. මේ ලිපිය උකහාගත යුතු සුවිශේෂී කාරණා කිහිපයක් දුටුවෙමි.

    ලංකා වාසී දෙමළ ඩයස්පෝරාව.
    මෙය ඉතා පැහැදිලි සත්‍යය හෙළිදරව් කරනා අගනා වචනයකි. මේ වචනය තුළින් පිටු දහස් ගනනක සත්‍යය පිළිබඳව වූ පැහැදිලි කිරීමක් දකිමි.

    ඉතිහාස වේදී,
    මෙය එක් පුද්ගලයෙකු අරමුණු කල අදහසක් ලෙස නොදකිමි. තමන් නොදන්නා දේ දන්නා සේ කතා කිරීමට රුචි උන් අතර වෙනත් වූ අරමුණු හෝ ව්‍යාපෘථි හේතුවෙන් තමන් නොදන්නා දේ හෝ වුවමනාවෙන් වැරදියට සකසා ගත් දේ සමාජ ගත කරන්නන් අද බොහෝවී ඇත. සිංහල සංස්කෘතියෙහි පැවැත්මට එරෙහි පළිබෝදයෝ අසීමිතය. තව ටික දිනකින් සැබෑ සිහල සංස්කෘතිය යනු කුමක්දැයි අපටවත් සොයා ගත හැකි වේවිදැයි දොම්නසක් පහල වේ.

    අවුරුද්දට සිංහල දෙමළ හෝ අඩුගනනේ "සිංහල" කියා යෙදීමත් නුවමනා වග තර්කානුකූලව වැදගත් අදහසකි. ජෝසප් කියන ලෙස මෙය නලින් ද සිල්වා මහැදුරු තුමාගේ වදනක් බවනම් නොදැන හුන්නෙමි. එහෙත් එම අදහස නිවැරදි වග පැහැදිලිවම පෙනේ.
    එහෙත් මෙවන් වූ දේ සමාජ ගත කරන්නේ කෙසේදැයි වටහා ගත නොහැකිය. වදන් සමාජ ගත කිරීමෙහි ප්‍රමුක කාර්‍ය භාරයක් උසුලන අද කාලයේ ගුවන් විදුලි නිවේදක නිවේදිකා ගිරා පරපුර ගැන කියනුම කවරේද?

    පොළොන්නරුවේ අවුරුදු ගැන මා යමක් නොකියමි.

    කථා 32 හි නැවත අවදිවීමක් ගැන වූ ජෝසප්ගේ අදහසට මා එකඟ වෙමි. පක්ෂ දේශපාලනය පසෙක ලා අප මෙතුවක් කතා කලේද රට දැය සමය ගැන මිස පක්ෂයක් ගැනනම් නොවේය යන්නයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. "ලංකාවාසී දෙමළ ඩයස්පෝරාව"

      හරියටම හරි සිතුවිළි,

      මට පුදුම මේ වැදගත් වචනය මට මිස් උනේ කොහොමද කියන එකයි. බටහිර රටවල දෙමළුන්ට "ඩයස්පෝරා" කියන එකට මම හැමදාම විරුද්ධයි. මම LcN එකෙත් මේ ගැන කියල ඇති. ඩයස්පෝරා කියන වචයට තේරුමක් තියෙනවා. ඒ තේරුම දෙමළුන්ට ගැලපෙන්නේ නෑ. දෙමළු මේ වචනය පාවිච්චි කරන්නෙම යුක්ති සහගත වාසියක් ලබා ගන්න. අපේ ගොන් තකතීරු උන්දැලත් මහලොකු උගත්තු වගේ මේ වචනය පාවිච්චි කිරීමෙන් කරන්නේ දෙමළ වර්ගවාදීන්ට උඩගෙඩි දීමක්. අපේ කනිෂ්කතුමා යෙදිය යුතු තැන හරියට වචනය පාවිච්චි කරලා තියෙනවා.

      දැන් අපි කරන්න ඕනේ මේක "ජනගත" කිරීම --- ඒ කියන්නේ එදිනෙදා පාවිච්චි කිරීම. එතකොට අනිත් අයත් එක්කෝ හරි තැන පාවිච්චි කරයි, නැත්නම් වැරදි තැන පාවිච්චි කිරීම අත හරියි. මොකද කියන්නේ...

      Delete
    2. ඇත්තෙන්ම ජෝසප්,
      මේ වචනය අපි කිහිප දෙනා වත් නිවැරදිව මාධ්‍ය ඉදිරියේ භාවිතා කලොත් මෙය ඉතා සෙමින් නමුත් ජනගත වීම සිදු වේවි.
      මේ වචනය ඇසූ සැනින් එහි ඇති ගැඹුරු අරුත වහාම අවබෝධ වෙන සුලුයි. මා දැනටමත් මෙය මගේ ගෙදර උදවියට සම්ප්‍රේශ්නය කොට අවසන්.
      ඩයස්පෝරා කියන වචනය දෙමළ මිනිසුන්ට යෙදීම ගැන මා කිසි දිනෙක එකඟ වූයේ නැහැ. ඒත් දැන් මා එයට එකඟයි. මේ ඒ වචනයට නිවැරදි අරුත ගෙන දෙන නිවැරදි යෙදුමයි.
      මෙතෙක් කල් උන් ඒ වචනය යොදා ගත්තේ දේශපාලන වාසි තකා බවට ඔබ දක්වන මතය හා මම සියයට සියයක්ම එකඟයි.
      මේ යෙදුම කතා 32 හි ඇති බවට උපුටනයක් කිසි තැනෙක නොදැක්වීම සුදුසුයයි මම සිතනවා. ඒ වෙනුවට අපි වෙනත් වෙබ් අඩවි වලදී හැකි තරම් මේ වචනය භාවිතා කරමු. සිහි බුද්ධිය ඇති බොහෝ දෙනෙකු මේ වචනය හරියට කියවාවි.
      මේ වචනය විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ප්‍රසිද්ධ සභාවල කියන දිනය අපගේ අරමුණ විය යුතුයි. (විමල් උන්නැහේ නම් මේ වගේ වචනයක් භාවිතා කරයිද කියලා සැකයකුත් ඇතිවෙනවා )
      මෙය කිසි සේත්ම දෙමළ ජනතාවට එරෙහි යෙදුමක් නොවෙයි. ඒත් තිත්ත උනත් ඇත්ත මේකයි !

      Delete
    3. දෙමළු මේ වචනය පාවිච්චි කරන්නෙම යුක්ති සහගත වාසියක් ලබා ගන්න.
      ජොසෙෆ්,
      ඉහත වැකියේ 'යුක්ති සහගත' යන්න අයුක්ති සහගත විය යුතු බව පෙනේ. ඒ හැරෙන්නට වෙන එකතු කළ යුතු දෙයක් නොදකිමි.

      Delete
    4. ලංකාවාසී දෙමළ ඩයස්පෝරාව
      බටහිර නොව ලොව කිසි තැනෙක වෙසෙන දෙමළුන් හැඳින්වීම පිණිස ඩයස්පෝරා යන වදන යෙදීම වැරදිය. ඒත් අප වැරදිය එපාය කී පමණින් ඒ යෙදුම යොදන්නෝ එය නවතන්නේ නැත. ජොසෙෆ් කියන අයුරින්ම මේ යෙදුම නොදන්නා කම නිසා කෙරෙන දෙයක් නොව දැන දැනම අයුතු වාසියක් ලැබීම පිණිස කෙරෙන යොදා ගැනීමකි. ඒ නිසා බටහිර ඉන්න ඈයින් ඩයස්පෝරා වන්නේ යම් සේද ඒ නිර්ණායක වලට යටත්ව ලංකාවේ වෙසෙන දෙමළුන් ද ඩයස්පෝරා බවට ඉබේ පත් වේ.

      අප කළ යුත්තේ මේ වදන ප්‍රචලිත කිරීමයි. දෙමළු ය කියා කියන විට හරි නෑ කියා එකල දමිළ නම් වදනක් හඳුන්වා දුන්නා මතකයි. ලංකාවාසී දෙමළ ඩයස්පෝරාව යනු ඊට වඩා අතිශය ගෞරවාන්විත යෙදුමකි. මෙය කිසිවෙකුගෙන් ණයට ගෙන නොව අපගේ සිත්හි ම පහල වූ අදහසකි. එහෙත් වෙන අයට අපෙන් ස්වායත්තව මේ අදහසම පහල නොවේය කියා කිව නොහැක. ඒ නිසා මේ යෙදුම තමාගේ කරගෙන යොදමු. හැකි සියලු තන්හි යොදමු. දිගටම යොදමු.

      Delete
  6. ලබන්නා වූ අලුත් අවුරුද්ද වෙනුවෙන්
    දෙතිස් කඩේ තද කර වසා ඇත.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි, මාත් මේ මුකුත් නොකියා බල බල හිටියා කවදා අරියිද කියලා.
      මේ කුම්බකර්ණයව සති දෙහෙකට සැරයක් ඇහැරවන්න ඕනෙනේ.
      සති දෙකෙන් දෙකට හයිබර්නේට් ගහන අමුතුම සතෙක් මේ !

      Delete
    2. https://lankacnews.com/sinhala/main-news/130305/#comment-1145238

      කුම්භකර්ණ නෙමේ මේක රාවනයෙක් - පොඩ්ඩ බැරි වෙනකොට දඩාවතේ යන්නේ. අපි යන්න ඕනේ දම්වැල අරං ... මෙයාව කුදලගෙන එන්න.

      Delete
    3. එහෙම කියන එක හරි නැහැනේ කොච්චර උනත්. අපේ යාළුවෙක්නේ.
      ඔය කියන ලිපියයි ඒකට දාලා තියෙන අපේ කනොෂ්ක මහත්තයාගේ පිළිතුරයි දෙකම මම කියෙව්වා. ඒ වගේම කිහිප සැරයක් ගිහින් බැළුවා කණිෂ්කට කවුරුවත් උත්තරයක් දීලාවත් තියෙනවද කියලා. ම්ම්හු, කිසිම වැදගැම්මක් නැහැ එතැන.
      අනික ඒ ලිපිය පොහොය් ලිපියකට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. අන්න එතකොට තමයි හිතෙන්නේ දාන්න හරි හමන් ලිපියක් නැතිනම් කනිෂ්ක වගේ නිකන් හිටියනම් හොඳයි කියලා.
      අනේ මන්දා, සුපුරුදු විදියට අපි දෙන්නා පාලු ගෙයි වළං බිඳිනවා.

      Delete
    4. මේ අවුරුදු කාලේ
      හිනා වෙයං රාළේ
      තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වා
      ගේ ඒ ඒ ...

      Delete
    5. හා හා ඔය කිව්වේ මේ අවුරුදු කාලේ
      කැවුමක් කාලා
      කට පියාගෙන ඉඳහල්ලා
      කියලනේ,

      හරි හරි
      ඕං අපි කට පියා ගත්තා

      (ටයිප් කොරන්නේ අතින් හොඳේ )

      Delete
    6. හික් !
      ඇරු මාටිය ඇරෝ ...
      වැටට වැටට උඩින් ඇරෝ ... !!!
      ඔහොම යං සිතුවිළි, ඔහොම යං !

      Delete
    7. මේක හරියන්නේ නැහැ. මේ වහල තියෙන්නේ අවුරුදු පහු වෙනකම් ආයේ අරින්න නම් නෙවෙයි.
      ඔන්න අපිත් කඩේ වැහැව්වා.
      අවුරුදු පහු වෙලා සුභ පැතුමකුත් එක්කම හමුවෙමු!

      Delete
    8. හික් !
      විනෝද සමයමක් කාලෙකින් වැටුනේ නෑ.
      හැබැයි මමත් සඳුදා අඟහරුවාදා නිවාඩු , ඕං කීවා.

      Delete
  7. සිංහල අවුරුද්ද කීම වැරදිනම්
    ඉංග්‍රීසි භාෂාව කියන එක වැරදියි, ඕකට කියන්න ඕන ඇමරිකානු හා එංගලන්ක භාෂාව
    , චෝගම් භාෂාව, චුයිම්ගම් භාෂාව වගේ එකක්

    ReplyDelete
    Replies
    1. ඔබ ඉන්ගිරිසිද, නැතිනම් අප ඉංගිරිසි බව ඔබට දැනේද ?

      Delete
  8. ඔන්න මම ආයෙත් ආවා,
    කථා 32 අඩවියේ අරක් ගත් සබ්බ සත්ත්ව සමූහයා හටම, මේ උදා වුනු අළුත් අවුරුද්ද.
    කිරියෙන් පැණියෙන් බත බුලතින් සරුසාර සිත් සතුට පවතින ශුභ නව වසරක් වේවායි මා ඉත සිතින් පතනෙමි.
    ඔබ සියළු දෙනා හට තෙරුවන් සරණයි!!!

    ReplyDelete
    Replies
    1. ඔබේ පැතුම මල්පල ගැන්වේවා !

      Delete
  9. මේ අළුත් අවුරුදු කථාව ගැන මට තවත් යමක් කීමට තිබෙනවා. ඒ අප මෙතැනදී කල කතා අනුව මේ අප්‍රියෙල් මැද සමරණ අලුත් අවුරුද්ද හුදෙක් සිංහලයාගේ අයිතියකි වැනි අදහසක් මෙතැනදී මතුවූ බවයි. මෙය හින්දුන් සමග හෝ ඩෙමළුන් සමග ගැට ගැසීමට යාම නම් කෘතීම බැම්මක් බව බොහෝම පැහැදිලියි.
    එහෙත් මා හට දැන ගැන්මට ලැබුනු පරිදි මේ දිනයන් වලම තායි ජාතිකයින් සමරණ අලුත් අවුරුදු උත්සවය කුමක්ද? ඔවුන්ගේ "සොංග්ක්‍රාන් ෆෙස්ටිවල්" එකෙ අරුත සංක්‍රාන්ති උත්සවයයි. මේ කුමක්ද? එසේම සූර්‍ය ගමන හා සම්බන්ධව අනෙකුත් පෙරදිග ආසියානු (ඈත පෙරදිග නොවේ ) රටවල (ලාඕසය වියෙට්නාමය වැනි ) සමරණ අළුත් අවුරුදු උත්සවය යනු කුමක්ද?
    මෙය ගැන කිසිදු සාකච්චා සභාවක් සාකච්චා වෙනවා අසා නැත. මේ පිළිබඳ අප මිතුරන්ගේ අදහස් දැන ගැනීමට කැමැත්තෙමි.

    ReplyDelete
    Replies
    1. මෙය අපගේ අදහසක් පමණි.
      ---------------------------------
      තායි, ලාඔස්, කාම්බෝජ සහ වියට්නාම් රාජ්‍ය වලත් ම්යන්මාර් රාජ්‍යයේත් පවත්නේ ලක්දිවින් තෑගි කරන ලද බුදුදහමකි. ඒ රටවල සංස්කෘති වලට සිංහල ලකුණ කාවැදී ඇත. මේ රටවල් සහ අද අපේ රටෙහි පවත්නා බුදුදහම විමසුවත්, ඒ රටවල් එකිනෙකා විසින් ඇදහෙන බුදුදහමේ ප්‍රබේධ අතර වෙනස විමසුවත් එය ඉතාම අල්ප වෙනසකි. විශේෂයෙන් මේ රටවල් වල ආරක්ෂා වී ඇති ත්‍රිපිටක ග්‍රන්ථ එකිනෙක මනාව ගැලපේ.

      මේ නිසා මෙකී රටවල් මේ කාලයේ අවුරුද්ද සමරත් නම් එය සිංහල දේශයේ සංස්කෘතික බලපෑමක් ලෙස සැළකීම සුදුසු බව සිතමි. තායි ජාතිකයන් අප වැනිම අවුරුදු උළෙලක් මේ කාලයේම පවත්වන බව අප මීට පෙර කියවා ඇත.

      Delete
    2. කණිෂ්ක, ඔබ පවා මේ පිළිබඳ දක්වන්නේ අනුමාන අදහසකි එනම් ඔබ සිතන හැටියකි. ඇත්තෙන්ම ඔබ දක්වන අදහසෙහි වරදක් නැත. මේ ගැන අපට පහසුවෙන්ම සිතිය හැක්කේ එලෙසිනි. එහෙත් තායි ජාතිකයන් මේ උළෙල නම් කොට ඇත්තේ "සංක්‍රාන්ති" යන සංස්කෘත වදනින් බිඳී ආ "සොංග්ක්‍රාන්" යන තායි නාමයෙනි. මෙහි මූලාස්‍රය හා සිංහල සම්බන්ධයක් ඇත්නම් මේ නාමය යම් විකෘති ස්වභාවයක් ගන්නවායැයි මට සිතේ.
      තව දුරටත් ඔවුන් අවුරුදු සමරණ ආකාරය ගැන ගැඹුරින් දැනුමක් නැති වුවත් ඔවුන් පොදුවේ මහා මාර්ග වල හා පොදු ස්ථාන වල එකිනෙකාට ජලය විසි කරමින් මේ උත්සව දිනයේදී ඉන්දියානු හෝලි උත්සවය ආකාරයේ විනෝදයක් ලබන බවනම් දනිමි.
      මෙය අපගේ ක්‍රමයන් හා කිසිදු සම්බන්ධයක් නොමැති කරුනකි. අනෙක අප ඉන්දියාවට මෙටරම් ආසන්නව සිටියත්, ඉන්දියානු බලපෑම කොතරම් උග්‍ර වුවත් මේ හෝලි උත්සව වැනි විප්‍රකාර අප සමාජය ග්‍රහනය කොට ගෙන නැත.
      එසේනම් තායි බෞද්ධ ජනතාව එයට නතු වූයේ කෙසේද?
      ඇත්තෙන්ම මේ අවුරුදු උත්සවය ලිකිත ඉතිහාසයට පෙර සිටම හෙළයා සතු වූ දැනුමක් මත ගොඩ නැගුනක්ද?

      Delete