Friday, February 14, 2014

මනු ලොවින් දෙව්ලොවට



බෞද්ධ සූත්‍ර ඇසුරේ අප දකින සක්වල (හෙවත් චක්‍රාවාටය) බටහිර විද්‍යාවේ අපට උගන්වන 'චක්‍රාවාට' වලින් වෙනස් වන බව අප 'දෙව්ලොවින් මනු ලොවට' ලිපියේදී විස්තර කළෙමු. ඒ සක්වළ කවරාකාර දැයි 'සත්කුළු පව් වළලු මතින්' යන ලිපියෙන් විමසා බැලුවෙමු. සත්කුළු පව් සහ සත් සමුදුර ගැනත්, සතරමහාද්වීපය ගැනත් සාකච්චා කළෙමු. මේ ලිපි පෙළ අවසන් කරමින් අද ඒ ගැන වැඩිදුර විමසමු.

මේ කුමක් විය හැකිද?
බෞද්ධ "සක්වළ" යනු රොටියක් වැනි ද්විමාන තැටියක් නොවේ. වෙනත් අයුරකින් පැහැදිළි කළහොත් එය සෞර ග්‍රහ මණ්ඩලය වැනි දළ ඉලිප්සාකාර ව්‍යුහයක් හෝ ක්‍ෂිරපථ මන්දාකිණිය වැනි ද්විත්ව සර්පිලාකාර ව්‍යුහයක් හෝ නොවේ. අපේ සාහිත්‍යයේ හමුවන සක්වළ සැකැස්ම ඉහල සහ පහළ දිශා වලටත් විහිදේ.


මහමෙර, සුර ලොව හා අසුර ලෝකය

සත්කුළු පව් වළලු මතින් ලිපියේදී අප විස්තර කළ පරිදි ඉහලින් බැලූ කල සක්වළ මධ්‍යයේ පිහිටා ඇත්තේ මහාමේරු පර්වතයයි. මහාමේරුව පිරිවරා සප්ත කුඨ පර්වතය සහ සප්තමහා සාගරය වෙයි. ඒ වටා සිව් දිසාවේ සතර මහාද්විපයෝ වෙති. අවසාන සක්වළ ගල වෙයි. පැත්තෙන් බැලූ කළ මෙහි තවත් දේ පවතී.

මහමෙර වටා පිහිටි යුගන්ධර පර්වතය තරම් උසින් මහාමේරුව සිට සක්වළගල දක්වා තලයක පිහිටියේ චාතුර්මහාරාජිකයයි. මහාමේරු පර්වත මස්තකය තරම් උසින් සක්වළගල දක්වා විහිදී පැතිරී පවතින්නේ තව්තිසා දෙව් ලොවයි - හෙවත් තිදස පුරයයි. ඊට ඉහලින් අභ්‍යවකාශයේ පිළිවෙලින් යාමය, තුසිතය, නිම්මානරති සහ පරනිම්මිත වසවර්ති යන දෙව් ලෝ පවතී. සදෙව් ලොවට ඉහළින් පිහිටන්නේ බ්‍රහ්ම ලෝක වේ.

මහමෙර පාමුල (මහමෙර යනු සාගරයේ අඩක් ගිලුණු දණ්ඩක් - වඩාත් නිවැරදිව කිවහොත් මධ්‍යය සිහින් අග කෙළවර මහත් වන බෙරයක් - වැනි වස්තුවක් බව මතක ඇතැයි සිතමි.) සාගර පතුලේ තව්තිසා දෙව් ලොව වැනිම දෙව් ලොවකි. එය අසුර ලෝකයයි. අසුර ලෝකය ඇති වීම පිලිබඳ කතාව ද රසවත් එකකි. 'මඝ මානවක කතා' ලිපියේ විස්තර කළ පරිදි කුලාවක ජාතකය තුල මේ විස්තරය අඩංගු වේ. නපුරු ගති ඇති සුරයන් සමග බෙදා හදාගෙන විඳින ශක්‍ර සැප කුමටදැයි සිතූ ශක්‍ර දේවේන්ද්‍රයා විසින් සුරාව පොවා මත් කළ දෙවියන් දෙකකුලින් අල්ලා මුහුදට විසි කළ බවත් මුහුදට වැටුණු දෙවියන්ගේ පිං හේතුවෙන් මහාමේරු පර්වතයේ ප්‍රතිවිරුද්ධ දිශාවේ තව්තිසා දෙව්ලොවට සමාන දෙව් ලොවක් මැවී ගිය බවත් එහි සඳහන් ය. සුරයන් කෙරෙන් පළවා හරින ලද හෙයින් උහු අසුර නම් වී. ශක්‍රයා විසින් සුරාවෙන් මත් කර තමන් රවටන ලද බව දැන ගත් මේ අසුරයන් දිව්යාශ්ත්‍ර ගෙන තව්තිසා වැසි දෙවියන් හා යුධ වන් අයුරු කුලාවක ජාතකය වැඩිදුරටත් අපට කියා දෙයි. සුරාසුර යුද්ධය නම් එයයි. ධජග්ග සූත්‍රයට වස්තු බීජය සපයන්නේ මීට බොහෝ කාලයකට පෙර සිදු වූ මේ සුරාසුර යුද්ධයයි.

චාතුර්මහාරාජිකය, තාවතිංසය යන දෙදෙව් ලොවම ශක්‍ර දේවේන්ද්‍රයාගේ අධිපතිත්වය යටතේ පවතී. සතර වරම් රජ වරු ඒ චාතුර්මහාරාජික දෙව් ලොව සතර දිශාවට අධිපතීත්වය දරන්නේ ශක්‍ර දේවේන්ද්‍රයා යටතේය. අසුර ලෝකය තව්තිසා භවනට සැපයෙන් හා මහේශාක්‍ය බවින් සමාන වන මුත් මහමෙර පත්ලේ පිහිටි බැවින්දෝ නොහොත් නපුරු අදහස් හා නපුරු ක්‍රියා ඇති 'පින්වතුන්' උපදනා තැන බැවින්දෝ සුගති ගනයේ ලා නොසැළකෙයි. එසේ වුවත් රාහු අසුරෙන්ද්‍රයා, වේපචිත්ති අසුරේන්ද්‍ර ආදී අසුරයින් ගැන සාහිත්‍යයේ සඳහන් වේ. පහාරාද අසුරයා බුදුන් සරණ ගිය උපාසකයෙකි. එහෙත් අසුර නිකාය සැළකෙන්නේ සතර අපායෙන් එකක් ලෙසයි. සතර අපාය යනු නරකය, ප්‍රේත නිකාය, තිරිසන් යෝනිය හා අසුර නිකාය වේ. මින් නරකය පොළොව යට පිහිටයි. අසුර ලෝකය මහමෙර පත්ලේ පිහිටයි. තිරිසන් ලෝකය සහ ප්‍රේත ලෝකය මිනිස් ලොව ඇසුරේ වෙයි.

අසුරයින් විසින් රණකාමීව සුරයන් මථනය පිණිස මහමෙර නගින්නට වන් කළ පළමු බලසෙන් හමුව චාතුර්මහාරාජික දෙවියන් සමග වේ. එනයින් ගත් කළ ධ්‍රැතරාෂ්ඨ, විරූඪ, විරුපාක්ෂ සහ වෛශ්‍රවන යන සතර වරම් දෙවිවරු ශක්‍ර දේවේන්ද්‍රයාගේ ආරක්ෂක සෙන්පති වරු වේ. ධ්‍රැතරාෂ්ඨ වරම් රජු පෙරදිග දිශාව ආරක්‍ෂා කරන්නේ තමන්ගේ ලක්‍ෂ ගණන් ගාන්ධර්ව සේනාව පිරිවරාගෙනය. ගාන්ධර්වයින් යනු සංගීත සහ නෘත්‍ය ශාස්ත්‍රයේද කෙළ පැමිණියෝ ය. දෙව් ලොව මහා ගාන්ධර්වයා ලෙස සැළකෙන පංචසිඛ දිව්‍ය පුත්‍රයා ස්වකීය රූප විලාසයෙන් සහ නර්තන ලීලාවෙන් මත් කළ සූරියවච්චසා නම් දිව්‍යාංගනාවක් ගැන අපේ සාහිත්‍යයේ හමු වේ. ඈ තිම්බරූ නම් ගාන්ධර්ව දිව්‍යරාජයාගේ දියණියයි. දකුණු දිග ආරක්ෂා කරන්නේ විරූඪ නම් දෙවි රජ වේ. හෙතෙම නොයෙක් ලක්‍ෂ ගණන් තමාගේ කුම්භාණ්ඩ සේනාව පිරිවරා සිටී. විරුපාක්ෂ දෙවි රජ අපරදිග දිශාව රකින්නේ තමන්ගේ ලක්‍ෂ ගණන් නාග සේනාව පිරිවරාගෙනය. අනන්ත නම් නාග රාජයා, මුචලින්ද නම් නාග රාජයා, ඒරකපත්ත හා ඔහුගේ දියණිය වන අරුන්දතිය පමණක් නොව චූලෝදර-මහෝදර, මණිඅක්ඛිත ආදී නාගයින් පවා අයත් වන්නේ මෙකී විරුපාක්‍ෂ රජු යටතටය. උතුරු දිග ආරක්‍ෂා කරන වෛශ්‍රවන හෙවත් වෙසමුණි රජු මේ සියල්ලන් අතර වඩාත් ප්‍රසිද්ධ දෙවියන් වේ. හෙතෙම තමන්ගේ යක්‍ෂ පිරිවර සහිතව සිටී. සාතාගිර-හේමවත, ආලවක ආදීහු, එසේම කාලි නම් යක්ඛිනිය මේ වරම් රජුගේ පිරිවරට අයත් වේ. දැහැමි සිරිසඟබෝ රජ සමයේ ලක්දිව වසංගතයක් ඇති කළ රත්තකරාක්ෂයා පවා මේ ගණයට අයත් වේ. එපමණක් නොව සෝවාන් වී සිටී ඉතාම භක්තිමත් උපාසකයෙකු වූ බිම්බිසාර රජතුමා උපන්නේද වෙසමුණි රජුගේ යටතේ ජනවසභ නම් යක්‍ෂ සේනාධිපතියෙකු ලෙස බව දීඝ නිකායේ එනම ඇති සූත්‍රයෙන් හෙළි වේ.

කාම ලෝක, රූප ලෝක හා අරූප ලෝක

ඉහත විස්තර කළ සදෙව් ලොව සහ මනුෂ්‍ය ලෝකය ගත් කළ ඒවා කාම සුගති වේ. සතර අපායද කාම ලෝකයටම අයත් වුවත් ඒවා දුගති ලෙස හඳුනා ගැනේ. සතර අපාය සැළකූ කළ නරකය විශේෂ තැනක් ගන්නේ මෙහි දුකම මිස කිසි සැපයක් නැති බැවිණි. මහා නරක අටකි. ඒවා සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහාරෞරවය, තාපය, ප්‍රතාපය හා අවීචිය ලෙස නම් කෙරේ. මේවා එකිනෙකට පහළින් සමාන දුරින් පිහිටයි. දේවදත්ත තෙර, සුප්පබුද්ධ රජ ආදීහු කල්පයක් කල් පැසෙන්නේ මේ අවීචි මහා නරකාදියේ ය. මේ එක එක මහා නරකයක් පිරිවරා ඔසුපත් නරක ද සොළොස බැගින් වෙයි.

කාම සුගති

මනුෂ්‍ය ලෝකය සහ පහත දැක්වෙන දිව්‍ය ලෝක කාම සුගති නම් වේ.
  1. චාතුර්මහාරාජිකය
  2. තාවතිංසය
  3. යාමය
  4. තුසිතය
  5. නිම්මානරති
  6. පරනිම්මිත වසවර්ති
මෙයින් යාම නම් දෙව්ලොව පටන් අවසන් දෙව් ලෝ සතර මහාමේරු පර්වතයට ඉහලින් අභ්‍යවකාශයේ පිහිටයි.

රූප ලෝක

රූප ලෝක සහ අරූප ලෝක යනු බ්‍රහ්ම ලෝක වේ. මේවා සදිව්‍ය ලෝක වලට ඉහළින වඩාත් ඈතින් අභ්‍යවකාශයේ පිහිටා ඇත. රූප ලෝක සොළොසකි.
  1. බ්‍රහ්ම පාරිසජ්ජය
  2. බ්‍රහ්ම පුරෝහිතය
  3. මහාබ්‍රහ්මය - වශයෙන් ප්‍රථම ධ්‍යාන භුමි තුනකි.
  4. පරිත්තාභය
  5. අප්පමාණභය
  6. ආභස්සරය - වශයෙන් ද්ව්තිය ධ්‍යාන භුමි තුනකි.
  7. පරිත්තසුභ
  8. අප්පමාණසුභ
  9. සුභකිණ්ණය - වශයෙන් තෘතිය ධ්‍යාන භුමි තුනකි.
  10. වෙහප්ඵලය
  11. අසඤ්ඤතලය - වශයෙන් චතුර්ථ ධ්‍යාන භුමි දෙකකි.
  12. අවිහ
  13. අතප්ප
  14. සුදස්ස
  15. සුදස්සී
  16. අකනිට්ඨ - යනු පංච ශුද්ධාවාස වේ.
ප්‍රථම, ද්විතීය, තෘතිය හා චතුර්ථ ධ්‍යාන වැඩූ ඒ ධ්‍යානයෙන් නොපිරිහී මිය ගිය යෝගීන් මේ බ්‍රහ්ම ලෝක වල උත්පත්තිය ලබත්. අනාගාමි ඵලයට පත් වී මරණප්‍රාප්ත වූ සත්ත්වයෝ ශුද්ධාවාස වල උත්පත්තිය ලබා එහිදී රහත් බැව් ලබා පිරිනිවෙත්. බුදුබව (හෝ පසේ බුදුබව) පතන බෝධිසත්ත්වයෙක් කිසි විටෙක පංච ශුද්ධාවාසයේ නූපදිත්.

අරූප ලෝක

සියලු දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක අතරින් ඉහලින්ම පිහිටන්නේ අරූප ලෝක වේ. සංඛ්‍යා වශයෙන් සඳහන් නොකළත් ඉතාම අධික ආයුෂක් සහිත මේ බ්‍රහ්ම ලෝකයන්හි ඉපදුණා වූ සත්ත්වයෝ අරූප ලෝක හෙයින් බොහෝ බුදුවරු ඉපදී දහම් දෙසා කෙළ ගණන් සත්ත්වයන් අමා මහ නිවන් දක්වා පිරීනිවී ගියත් දහම් ශ්‍රවනයක් නොලබති. අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ තවුස් වෙස් ගෙන දුෂ්කර ක්‍රියා කරන සමයේ ගුරු වූ ආලාර කාලාම හා උද්දකරාමපුත්ත යන දෙදෙනා වහන්සේ ධ්‍යාන උපදවා මේ ලෝක වල උපන් බැවින් උන්ට මේ බුදු සසුන තුල නිර්වානාවබෝධයක් හිමි නොවිණි.
  1. ආකාසානඤ්චායතනය
  2. විඤ්ඤාණඤ්චායතන
  3. ආකිඤ්චඤ්ඤායතන
  4. නේවසඤ්ඤානාසඤ්ඤයතන යන සතර අරූප ලෝක වේ.
මෙසේ අරූප බ්‍රහ්ම ලෝක (4), රූප බ්‍රහ්ම ලෝක (16), සදිව්‍ය ලෝකය (6), සතර අපාය (4) සහ මනුෂ්‍ය ලෝකය ගත් කළ සත්ත්වයන් උපදනා භූමි හෙවත් තල එක්තිසක් (31) සළකන ලද එක සක්වළක් තුල පවතී. වෙනත් අයුරකින් පැහැදිළි කළොත්, බෞද්ධ සූත්‍ර ධර්ම ඇසුරේ අප ඉගෙන ගන්නා සක්වළ යනු ඉහත විස්තර කළ එක් තිස් ලෝක වල එකතුවයි. මේ සක්වළ අප බටහිර විද්‍යාවෙන් ඉගෙන ගන්නා පෘතුවි ගෝලය ලෙස හඳුන්වන ග්‍රහලෝකය සමගවත්, සූර්යයා මධ්‍ය කොට ගත් සෞරග්‍රහ මණ්ඩලය සමගවත්, ක්‍ෂිරපථ නම් මන්දාකිණිය සමගවත් සමපාත නොවේ - තුල්‍ය නොවේ.

එසේනම් අප දහම් අසන විට සක්වළ ගැන කියැවෙන තැනක් වෙයිනම් ඉහත විස්තර කළ සක්වළ විස්තරය සිත්හි දරාගෙන ඒ බණ දහම් ඇසිය යුතු. කිසියම් සම්භාව්‍ය කෘතියක සක්වළ ගැන සඳහන් වෙයිනම් ඒ ඉහත විස්තර කළ සක්වළ බව දැනගෙන ඒ කෘතිය කියැවිය යුතු. නොයෙක් ආචාර්ය මහාචාර්ය පට්ටම්ලාභී පඬිවරු රූප පෙට්ටියේ ප්‍රාදුර්භූත වී නිවුටන් නියම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇති සේක; අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය බුදුන් වහන්සේ දැන සිටි සේක; නවීන විද්‍යාව නම් දියුණු වී ගොස් යම් දිනෙක බුදු දහම විද්‍යාත්මකව ඔප්පු කිරීම පිණිසම සර්වබලධාරී දෙවියන් වහන්සේ කෙනෙකු විසින් මවා වදාළා වූ ධර්මයෙක යනාදී වශයෙන් ගර්ජනා කරත්නම් උන්ට මැතිවරණ කාලයේ එළිබහින නව සමසමාජ පක්‍ෂයේ අපේක්‍ෂකයෙකුට දෙනු ලබන සැළකිල්ලට සමාන සැළකිල්ලක් දීමට සිතට ගත යුතු.

සාදු සාදු සාදු !

18 comments:

  1. සිතුවිළිFebruary 14, 2014 at 12:54 PM

    පොහෝ දිනයේදීම අගනා ලිපියක් පල කලාට බොහෝ පින්
    පැහැදිලි කරගැනීම උදෙසා, බ්‍රහ්ම ලෝක තල පිහිටන්නේ මහා මේරුවට වඩාත් ඉහලින් අවකාශයේද නැතිනම් මේ ලිපියෙහි කියන අභ්‍යවකාශයේද?
    එය අභ්‍යවකාශය නම්, විද්‍යාවෙහි කියවෙන අභ්‍යවකාශය හා මෙම අභ්‍යවකාශය අතර ඇති සඹඳ කම හෝ වෙනස් කම කුමක්ද?

    ReplyDelete
    Replies
    1. [1] මහාමේරු පර්වතයේ අඩක් උසින් චාතුර්මහාරාජික දෙව් ලොව පිහිටයි. මහාමේරුව මත්තේ තව්තිසා දෙව්ලොව පිහිටයි. ඊට වඩා ඉහලින්, ඉහත දක්වා ඇති පිළිවෙලට සහ රුප සටහනේ රන්වන් පැහැයෙන් දක්වා ඇති ලෙසට එකිනෙකට ඉහළින් ඉතිරි දෙව් ලෝ සහ බඹ ලෝ පිහිටයි.
      [2] අවකාශය යනු මේ සැකැස්මට අදාළ වචනයක් නොවේ. එහි තේරුම "ඉඩ" එසේත් නැතිනම් ඉංගිරිසි 'space' යන්න වේ. අභ්‍යවකාශය යනු ඉහත සැකැස්මට අනුව බඹ ලෝක වලට පහලින් සහ පොළොවට ඉහළින් පිහිටි අවකාශය හෙවත් ඉඩ ප්‍රමාණය වේ. (ඉහත බඹ ලොව යැයි කී තැන අකනිඨා බඹ ලොව යැයි සිතමි. අරූතල වල අවකාශයක් ඇතැයි සිතීමට පැකිලෙමි)

      Delete
  2. සිතුවිළිFebruary 16, 2014 at 9:59 PM

    අකනිටා බඹ ලොව සිට අවීචි මහා නරකය දක්වා වූ මේ සැකැස්ම මිනිසාගේ පසිඳුරන්ට ගෝචරවන භෞතිකය ටුල පවතින්නන්ද? නැතහොත් වෙනත් ආකාරයක පසිඳුරන්ට ගෝචර නොවනා වූ මානයක ඇතිදෑ වෙත්ද?
    එය එසේ යැයි පිළිගත යුතු හේතු කවරේද?

    ReplyDelete
    Replies
    1. "මිනිසාගේ පසිඳුරන්ට ..."
      මේනම් ඇසිය යුතු ප්‍රශ්නයක් නොවේ.

      මිනිසාගේ පසිඳුරන්ට ගෝචර වන්නේ මනුෂ්‍ය ලෝකය මිස අනෙක් ලෝක නොවේ. "ලෝකය" යනු සමස්තය යන තේරුම දෙයි. ඔබට ගෝචර වන සියල්ල ඔබේ ලෝකයයි. අකනිඨා බඹ ලොව මනුෂ්‍යයාට ගෝචර වේනම් එය තවදුරටත් බ්‍රහ්ම ලෝකයක් දැයි ඔබ විසින් විමසා බැලීම අගනේයැයි යෝජනා කරමි.

      Delete
  3. සිතුවිළි: අකනිටා බඹ ලොව සිට අවීචි මහා නරකය දක්වා වූ මේ සැකැස්ම මිනිසාගේ පසිඳුරන්ට ගෝචරවන භෞතිකය ටුල පවතින්නන්ද? නැතහොත් වෙනත් ආකාරයක පසිඳුරන්ට ගෝචර නොවනා වූ මානයක ඇතිදෑ වෙත්ද? එය එසේ යැයි පිළිගත යුතු හේතු කවරේද?
    කණිෂ්ක: මිනිසාගේ පසිඳුරන්ට ගෝචර වන්නේ මනුෂ්‍ය ලෝකය මිස අනෙක් ලෝක නොවේ. අකනිඨා බඹ ලොව මනුෂ්‍යයාට ගෝචර වේනම් එය තවදුරටත් බ්‍රහ්ම ලෝකයක් දැයි ඔබ විසින් විමසා බැලීම අගනේයැයි යෝජනා කරමි.
    ---------------------
    ඇත්තෙන්ම අපූරු නිර්මාණාත්මක පිළිතුරක්. බොහෝ දෙනෙක් බොහෝ විට නගන, කිසිවෙකු විසින් පිළිතුරු නොදෙන, සමහර විට කිසි තේරුමක් නැති වැල් බයිලා වලින් පිළිතුරු දෙන, සමහර විට අභිධර්මයේ / සූත්‍ර පිටකයේ අහවල් තැන කියවන්න කියා ලිස්සා යන ප්‍රශ්නයකට කෙළින් පිළිතුරක්. සිතුවිළිට මතකද මම (සී නිවුස් වල වෙනනැති) k ගැන හඳුන්වා දෙන අවස්ථාවක කිව්වා සමහර ප්‍රශ්න වලට ඔහුගේ පිළිතුර වන්නේ පිළිතුරු නොදී සිටීම බව. මේ එවැනි පිළිතුරක්. ප්‍රශ්නයකට පිළිතුරක් නොදී සිටීමත් පිළිතුරක් බව මා ඉගෙන ගත්තේ ඔහුගෙන්. අප මෙවැනි කරුණු ගැන සී නිවුස් වල කොතරම් වාද කරනවාද... ඒ සියල්ල හිස්.

    දිව්‍ය ලෝක ගැන ප්‍රශ්නයට නිවැරදි පිළිතුර 'ගෝචරයි' හෝ 'ගෝචර නැත' හෝ නොකියා සිටීම බව දැන් මටත් සිතේ. අර දුටුගැමුණු රජු විසින් විතැන් කළ දේවතාවිය, අර බමුණාට 'ගෙදර ගියොත් අඹු නසී - මග හිටියොත් තෝ නසී' කියා අවවාද දුන් දේවතාවා ආදී අය ... ඒවා exceptions. Exceptions කියන්නේම thiory වලින් පැහැදිලි කරන්න බැරි දේවල්. මට හිතෙන්නේ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. සිතුවිළිFebruary 18, 2014 at 3:53 PM

      සසිත් රාජසූරිය නම් අයෙකු විසින් සී නිව්ස් වෙත ලියූ දිව්‍ය ලෝක පිළිබඳ සුරංගනා කථා පෙලට රුචි නොවූ මා අවධානයෙන් මෙම ලිපි කියැවීමටත් කණිෂ්කගෙන් මෙවන් වූ සරල ප්‍රශ්න ඇසීමටත් හේතුව කණිෂ්කගේ මෙම පිළිතුරෙහි ඇත.
      ඔබට පින් සහෝදරයා.
      ඔබ හරි ජෝසප්,
      දහම වටහා ගැනීමට ඔබ වටහා ගත් දේ වැමෑරීමෙන් පලක් නොවේ. පිළිතුරක් වෙනුවට ප්‍රශ්නයක් ඉදිරියේ අනෙකාට සිතීමට යොමු කිරීම ඉතාමත් පලදායක දෙයක්.
      අර exceptions ගැනනම් කියන්නට ඇත්තේ දැන් ඒ වගේ exceptional cases නැත්තේ ඇයි කියලායි.

      Delete
    2. පීඨාධිපති මහාචාර්ය නලින් ද සිල්වාගේ යටතේ ක්‍රියාත්මක වූ රජරට වකුගඩු රෝගය සම්බන්ද පර්යේෂණ කණ්ඩායම මෑත කාලින exception එකකි.

      Delete
  4. කණිෂ්ක

    කුම්භාණ්ඩයන් යනු කවරේද ?
    ("කවරේ නොවේයැ"යි නොකියන්න.)

    ReplyDelete
    Replies
    1. කුම්භාණ්ඩයන් වනාහී සිව් වරම් රජ වරුන්ගෙන් දකුණු දිගට අරක් ගෙන සිටින විරූඪ නම් දෙවියන්ගේ සේනාවෝය. කුම්භාණ්ඩයන් එක්තරා දේව කොට්ඨාශයක් ලෙස සැළකිය හැක්කේ චාතුර්මහාරාජිකය සදෙව්ලෝ වලට අයත් වන බැවිණි.

      විරූඪ හෙවත් විරූල්හක දිව්‍ය රාජයාත් කුම්භාණ්ඩයෙක් නොවේ යැයි කීමේ හැකියාවක් නැත. ඔහු එසේ නොවේනම් වෙසමුණි රජු ඇතුළු සිව් මහා රජ වරු චාතුර්මහාරාජිකය පාලනය කළත් ඔවුන් තව්තිසා දෙව් ලොව පාලනය කරන සක් දෙවියන් විසින් පත් කරන ලද ප්‍රතිරාජයන් හෝ ආණ්ඩුකාර වරුන් හෝ ලෙස සැළකිය හැකියි. එවැනි නිගමනයකට පොළඹවන සාධක ඇතත් තවදුරටත් මේ ගැන සෙවිය යුතු වේ.

      අප ඉහත නිගමනයේ එල්බ ගනීනම් චාතුර්මහාරාජික දෙව් ලොව යනු තව්තිසා දෙව් ලොවේ යටත් විජිතයකි. කිව්වා නාහන යක්කු සහ කුම්භාණ්ඩයින් ගැනත්, නාගයින් ගැනත් සඳහන් වන්නේ එබැවින් විය යුතුයි. ආටානාටිය සූත්‍රයේ කියැවෙන්නේ මේ ගැනයි. ලංකාවේ විසූ යක්‍ෂයින් සහ නාගයින් මෙසේ අවතැන් වූ ජීවින් විය හැකියි.

      මෙය බොහෝ දුර යා හැකි ගවේෂණයක් බව පෙනේ. ඔබේ අදහස කුමක්ද?

      Delete
    2. මෙය බොහෝ දුර යා හැකි ගවේෂණයක් බව පෙනේ. හික් හික් හික් !
      මොකටද බොහෝ දුර යන්නේ. ඔය අපූරුවට කියල තියෙන්නේ.

      මම ඇහුවේ මේකයි. යක්කු කුම්බාන්ඩයෝ පෙරේතයෝ පිසාචයෝ වගේ ගොඩක් අමනුෂ්‍යයෝ ගැන කියවෙනවානේ.දැන් ඔබ තුමා කියනවා යක්කුත් කුම්බාන්ඩයොත් දිව්‍ය කොට්ඨාශ කියලා. හැබැයි පෙරේතයෝ අපායේ. පිසාචයෝ අයිති කොහෙටද? හොල්මන් අවතාර ගැන කියන්න පුළුවන් මොනවද?

      Delete
    3. මිතුර ජොසෙෆ්,

      පිසාචයන් ගැන සඳහන් වී ඇති තැනක් ම-ගේ පොත් අතර හමු උනේ නැත. එහෙත් උන් ගැන සාමාන්‍ය ව්‍යවහාරයේ ඇති කරුණු අනුව මුන් ප්‍රේත විශේෂයක් ලෙසම සැළකීමේ හැකියාවක් ඇතැයි සිතමි. 'ගෙවල ප්‍රේත' කියා කොටසක් ගැන අසා ඇත.

      කුමන ආකාරයකින් සැළකුවත් නොයෙක් නම් වලින් හඳුන්වන අමනුෂ්‍ය විශේෂ බෞද්ධ විග්‍රහය අනුව අපට ඇතුල් කළ හැක්කේ කාම-රූප-අරූප යන භව තුනෙන් එකකට පමණි. රූප-අරූප භව යනු බ්‍රහ්ම ලෝක බැවින් මිනිසුන් හා අන්තර්ක්‍රියා කරන අමනුෂ්‍යයන් කාම භව වල සිටින්නන් විය යුතුය. ඉනුත් කාම ස්වර්ග යනු මිනිස් ලොව හා සදෙව් ලොව වේ. සදෙව් ලොවින් පළමු එක වන සිව් මහරජයේ වසන්නෝ යක්කුය-නාගයෝය-කුම්භාණ්ඩයෝය-ගාන්ධර්වයෝය. ඉහත සඳහන් කළ පිරිසට අයත් නොවන කෙනෙක් කාම දුගති වාසින් බව සැළකුව මනාය.

      දුගති සතරකි. අසුරයෝ තව්තිසා වැසි දෙවියන් වැනියහ. දෙව් සැප විඳිනාහ. එසේ හෙයින් පිසාචයින් යනු අසුරයින් විය නොහැක. නිරිසතුන්ට මනුලොව ඇසුරේ වසන්නට ඉඩක් නැත. තිරිසන් ලොව වනාහි ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂ (සැමට පෙනෙන- ඇසෙන-දැනෙන) තැනකි. කරුණු එසේ බැවින් පිසාචයින් කියා කොටසක් වෙත්නම් උන් ප්‍රේත කොටසටම අයත් විය යුතුය.

      නැතිනම් උන් බෞද්ධ විග්‍රහයට අයත් නොවන සමහර විට පැරණි (ප්‍රාග් බෞද්ධ) සිංහල දැනුමක අවශේෂ විය හැක. ලංකාවේ ප්‍රාග් බෞද්ධ යක්කු (සහ වැද්දන්ගේ නෑ යක්කු) බෞද්ධ විග්‍රහයේ එන වෙසමුණි රජුගේ යක් පිරිසෙන් වෙනස් වේ. නිට්ටෑවන් කියා මානව වර්ගයක් යටත් විජිත සමය දක්වා ලක්දිව විසූ බව කියවා තිබේ. පිසාචයන් යනු එවැනි කුලෑටි මානව වර්ගයක් වීමේ ඉඩකඩක් නැතුවාම නොවේ.

      මිතුර සිතිවිළි,

      ඔබට මේ ගැන එකතු කිරීමට යමක් ඇත්ද ?

      Delete
    4. සිතුවිළිMarch 2, 2014 at 10:58 PM

      මේ ගැන නම් යමක් කීමට මා සතුව දැනුමක් නොමැත.
      ඉතින් ඒකට මොකද කරන්නේ. ඕවා ගන හොයන වෙලාවෙත් මම නම් කැමතියි අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මය විමසන්න.
      මගේ උත්තරය හරිම "බෝරිං" එකක් බව දන්නවා ඒත් ඉතින් මක් කරන්නද ඇත්ත ඒක වෙන කොට.

      Delete
    5. හික් හික් හික්..

      ඊළඟ ප්‍රශ්නය:
      රාක්ෂයින් යනු කවරේද ?

      Delete
    6. රාක්‍ෂයින්...!
      ජොසෙෆ්, පහත පිළිතුරත් මා විසින්ම තනා ගත් පිළිතුරක්. පිළිගැනීම පරෙස්සමින්.
      ---

      රාක්‍ෂයින් සහ යක්‍ෂයින් අතර විස්තර අතින් ගත් කළ සැළකිය හැකි වෙනසක් නෑ. එකම පැහැදිලි වෙනස වන්නේ රාක්‍ෂයින් සෑම විටම පාහේ කිසියම් ස්ථානයකට හෝ වස්තුවකට හෝ අධිගෘහිතව වාසය කිරීමයි. නලපාන ජාතකයේ හමු වන දිය රකුසා (දොස්තර හොඳහිතගේ දිය රකුස් නොවේ) හෙවත් උදක රාක්‍ෂයා ඉතාම ප්‍රසිද්ධ රාක්‍ෂයා වෙයි. දේවධර්ම ජාතකයේත් දිය රකුසෙක් වෙයි. කාන්තාර වලට, වනාන්තර වලට සහ පර්වත වලට අරක් ගත් රකුසෝ වෙති. දහම්සොඬ රජු පනින්නේ රකුස් වෙස් ගත් ශක්‍ර දේවේන්ද්‍රයාගේ මුවටයි.

      නැවත සැකෙවින් කියතොත්, රාක්‍ෂ සහ යක්‍ෂ අතර වෙනසක් නැත. මේ දෙකොට්ඨාෂයම වෙසමුණි රජුගේ ගෝල බාලයෝය. යක්කු ජංගම සේවාවේ නියුක්ත අතර රකුසෝ එක තැනක් මුර කරති. (මේ අර්ථ දැක්වීමට අනුව අලව් යකා යකෙක් නොව රාක්‍ෂයෙක් බව කෙනෙකුට තර්ක කළ හැක - ඔහු එක්තරා ගසකට අරක්ගෙන සිටි බව හත්තාලවක කුමරු පිලිබඳ කතාවේ එයි.)

      ජොසෙෆ් - මොකද මේ වෙලා තියෙන්නේ? මොකද මේ යක්කු පෙරේතයෝ ගැන හොයන්නේ?

      මම දන්නවා ඊළඟ ප්‍රශ්නේ. "බහිරවයෝ යනු කවරේද?"

      Delete
    7. යක්කු පෙරේතයෝ ගැන හොයනවා නෙවෙයි. "මේ ලිපි පෙළ අවසන් ..." කියාගෙනම පටන් ගත් නිසා හිතුවා ඔක්කොම ප්‍රශ්න අහන්න. මම අහන්න ගියේ නම් බහිරවයෝ ගැන නෙවෙයි. ඒකත් අහල හිටියනම් හොඳයි කියලා හිතුනා.
      1. බහිරවයින් යනු කවරේද?
      2. ගුරුළා යනු තිරිසනෙක් ද නැතිනම් දිව්‍ය වර්ගයක්ද?

      Delete
    8. ගුරුළා තිරිසනෙකි. මෙසේ කියන්නේ කියවන්නට ලැබුණු දේ අනුවයි. හිංදු දෙවිවරුන්ට නිල රථ ඇති අතර ඒ තිරිසන්නුය. ගුරුළා විෂ්ණු දෙවියන්ගේ වාහනය වන බැවින් ඌ තිරිසනෙක් බව ඉඳුරා පැවසිය හැක. වෙනත් තැනෙක මොහු ගරුඬා නමින්ද හැඳින්වේ.

      බහිරවයින් ගැන කීමට හැක්කේ පිසාචයින් ගැන කී දෙයමයි. මුන් ප්‍රාග්-බෞද්ධ සිංහල ඇදහිළි වලට අයත් පිරිසක් විය හැක. ඒ අදහස නිවැරදි නොවේනම් විය හැකි අපූරුම දේනම් චාතුර්මහාරාජිකයට අයත් ගාන්ධර්ව පිරිස බහිරවයින් යන නමින් හඳුන්වනු ලැබීමයි. මෙසේ නිගමනය කෙරෙන්නේ ප්‍රමාණවත් අධ්‍යයනයක් කිරීමෙන් නොව බොහෝ බහිරව රූ සංගීත භාණ්ඩ සමග හමුවන බැවින් එයම ශාක්‍ෂි කොටගෙන බව මෙහිදී කිව යුතුයි.

      Delete
  5. දෙතිස් කඩේ වහලද ?

    ReplyDelete